This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 13 May 2020

ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුව-දෙවැනි කොටස

මෙහි පලවනුයේ දේවමාතාවන්ට කැපකල මේ මැයි මාසය තුල ''දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත්'' ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා දිනපතා ලියන ලිපි එකතුවේ දෙවැනි කොටසය. සටහන් හයකින් සමන්විතවූ මේම ලිපි මාලාවේ පලමු කොටස ඉකුත් මැයි මස 05වෙනිදා පලවිය. එය මෙම යොමුව ඔස්සේ කියවිය හැක. හත්වන සටහනේ සිට දිගහැරෙන දෙවන කොටස තුල එතුමා ''ශුද්ධවූ කතෝලික සභාව විසින් දේවමාතාවන්ට ලබාදී ඇති අනෙකුත් විශේෂ නාමයන් කීපයක් පිළිබඳව දැනුවත්'' අප දැනුවත් කරනු ඇත. 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්වූ දේව මාතාවන්වන මරියතුමිය පිලිබදව කතෝලික සභාව තුල ඇත්තේ ඉතා පුළුල් කතිකාවකි. දේවධාර්මික (theological), දෘෂ්ටිවාදී (ideological), දර්ශනවාදී (philosophical) සහ තවත් පැතිමාණයන් රාශියකින් ජුවලිත කරන ලද එකී කතිකාව මරියතුමිය පිළිබද අචල භක්තියකට සහ විශ්වාසීය යැදුමට කිතුනුවන් රැගෙනයයි. එහෙත් මරියබැතිය ගැන හෝ දේව මාතාවන් පිළිබදව හෝ අඩුම තරමින් දේවමාතාවන්වන මරියතුමියව ගෞරවපුර්වක පුදන විවිධ දේවමාතා නාමයන් පිලිබදව හෝ සිංහල භාෂාවෙන් තවමත් සාකච්ඡාවී ඇත්තේ ස්වල්පයකි, පලව ඇත්තේද එයිනුත් ඉතා අල්පයකි. විශේෂයෙන්ම දේව මාතාවන් පුදන මේ මැයි මාසය තුල ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඒ සදහා ඒ සදහා යම් උත්සහයක් දරා ඇත. 'දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ' සාකච්ඡා කිරීමට එතුමා මුලපුරා ඇත. පහතින් දැක්වෙන්නේ දිනපතා පලවන එකී සාකච්ඡාවේ ලිපි එකතුවකි. එහි ඇත්තාවූ අනගි වටිනාකම සලකා එකී සාකච්ඡාව කොටස් වශයෙන් මෙහි පලකිරීමට මම අදහස් කලෙමි. පහතින් පලවෙන්නේ ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ එකී සටහන්වල එකතුවකි. 

***********************************************************

7. "වික්ෂෝප දේව මාතාව" - Mother of Sorrows.
==================================
අපගේ බස තුළ දේවමෑණියන් 'වික්ෂෝප මාතාවන්' ලෙස හැඳින්වූවද, ඉංග්‍රීසි භාෂාව තුළ දේව මෑණියන් වින්ද දුක, වේදනාව හා සම්බන්ධකොට භාවිතා කරන නම් කිහිපයක් ඇත. Our lady of Dolours(අවර් ලෙඩි ඔෆ් ඩොලර්ස්), Our lady of the seven Sorrows (අවර් ලෙඩි ඔෆ් ද සෙවන් සරොස්), Our lady of seven Dolours (අවර් ලෙඩි ඔෆ් සෙවන් ඩොලර්ස්) යනු ඒ සමහර නාමයන්ය. ලතින් භාෂාවෙන් එතුමිය හඳුන්වන්නේ 'මාටෙර් ඩොලරොසා' (Mater Dolarosa) යනුවෙනි. මේ සියලු නාමයන් තුළ ගැබ්ව ඇත්තේ දේවමාතාවන් ජීවිත කාලය පුරාවටම වින්ද දුක සහ වේදනාව පිලිබඳ කරුණුය. මෙයට පාදකවන්නේ ජෙරුසලම් දේව මාලිගාවේ දී මරියාවන් ජේසු බිළිඳුන් පුදදුන් මොහොතේදී සිමියොන් දිවැසිවරයා පැවසූ වදන් ය. "එසේ ය ඔබේම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙන් තුවාළ වනු ඇත. මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත් හි රහස් කල්පනා එළිදරව් වන පිණිසය (ශු. ලූක් 2/ 35). එබැවින් දේවමාතාවන් තම ජීවිතය තුළ වින්ද වේදනාවන් සත කිමෙක් දැයි අපි විමසා බලමු.

1. සමිඳුන් දේව මාලිගාවේ දී පුද දුන් විට සිමියොන් දිවැසිවරයා ප්‍රකාශ කළ වදන්(ශු. ලූක් 2: 33 - 35).

2. හෙරොද්ගේ කඩු පහරින් ජේසු බිළිඳුන් බේරාගැනීම සඳහා වේදනාව පිරුණු හදවතකින් මිසරයට පලා යෑම (ශු. මතෙව් 2: 13 - 15).

3. දේව මාලිගාවේ දී ජේසු සමිඳුන් නැතිවීම (ශු. ලූක් 2: 41- 50)

4. කුරුස ගමනේදී මරියාවන්ට ජේසු සමිඳුන් මුණගැසීම (ශු. ලූක් 23: 27).

5. කල්වාරි කන්ද මුදුනේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පත්වීම (ශු. ජුවාම් 19: 25 - 27).

6 ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ ශ්‍රී සිරුර කුරුසියෙන් බාන ලදුව තම උකුලේ හොවා ගැනීම (ශු. මාක් 15: 43 - 45).

7. උන්වහන්සේ ගේ ශ්‍රී ශරීරය සොහොනක තැන්පත් කිරීම (ශු. ජුවාම් 19: 38 - 42).

වර්ෂ 1232 දී ඉතාලියේ ටස්කනි නැමති නගරයේ සිටි තරුණයින් දොළොස් දෙනෙකු එකතු වී 'මරියාවන්ගේ සේවකයෝ' (Order of the Servants of Mary) හෙවත් 'සර්වයිට් ඕඩර්' (Servite Order) පටන් ගත් අතර ඔවුන්ගේ ප්‍රධානතම යැදුම් මෙහෙයක් ලෙස මරියාවන්ගේ මෙම වේදනාත්මක සිද්ධීන් 7 හා බැඳුණු යැදුම් මෙහෙය ගොඩ නගා ගත් බව ඉතිහාසය තුළ පැහැදිලිය. දේව මෑණියන්ගේ මෙම වේදනාවන් හා බැඳුණු කළු බෙන්තිඤ්ඤය (Black Scapular) ඔවුන්ගේ නිර්මාණයක් විය. වික්ෂෝප 7 වෙනුවෙන් කරන මෙම යෙදුම් මෙහෙය දොළොස් වන ශතවර්ෂය තුළ වර්ධනය වූ නමුදු දේවමාතාවන් අත්දුටු වේදනාවන් ගැන බොහෝ ලිපි ලියැවෙන්නට පටන් ගත්තේ එකොළොස්වන ශත වර්ෂයේ පටන්මය.

1423 දී ජර්මනියේ කොලෝන් නගරයේ තිබූ රදගුරු සම්මේලනයකදී ගත් තීරණයක් අනුව මෙම භක්ති අභ්‍යාසය, මංගල්‍යයක් ලෙස එම ප්‍රදේශ තුළ සැමරීම ආරම්භ වූ අතර පළමුව එය සමරන ලද්දේ උත්ථාන සමයේ තුන්වන ඉරුදිනට පසුව එන සිකුරාදාය. මෙම භක්ති අභ්‍යාසය වර්ෂ 1600 දී ප්‍රංශය පුරා ඉතා ප්‍රචලිත වූ අතර 1727 අප්‍රියෙල් 22 දිනදී XIII වන බෙනඩික්ට් ශුද්ධෝත්තම පියාණන් විසින් ගොබ් ඉරිදා ට පෙර පැමිණෙන සිකුරාදාව 'වික්ශෝප සිකුරාදා' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. අදටත් වික්ශෝප සිකුරාදා ව අප සමරනු ලබන්නේ ගොබ් ඉරිදා ට පෙර එන සිකුරාදාය. එසේම 1913 දී X වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් සැප්තැම්බර් 15 දා දිනය වික්ෂෝප දේව මාතාවන්ගේ මංගල්‍යය සමරනු ලබන දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින් අද දක්වා වික්ෂෝප මාතාවන්ගේ මංගල්‍යය, සභාව සමරනු ලබන්නේ සැප්තැම්බර් පහළොස් වැනිදාය. සියලු වේදනාවන් හමුවේ දෙවියන් වහන්සේ අත්නොහැර දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ගැඹුරු ඇදහිල්ලක් තුළ ජීවිත වේදනාවන්ට මුහුණ දෙන්නට වික්ෂෝප

මාතාව අපට කියා දෙන්නීය. " වික්ෂෝප මාතාවෙනි- අප නිසා යාච්ඤා කළ මැනවි". ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැන ගැනීම සඳහාද මෙය හැකි නම් SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදූගේ පියතුමා.
(07/05/2020). 
8. "ශුද්ධාත්මයාණන්ගෙන් පිරිපුන් වූ මරියාවන්" - Mary filled with the Holy Spirit.
================================================
මගේ දැනුමට අනුව 'ශුද්ධාත්මයාණන්ගෙන් පිරිපුන් වූ දේවමාතාව' ලෙස මරියාවන් ට කැප වූ දේවස්ථාන කිසිම රටක ගොඩනැගී නැත. එනමුදු මෙම නාමය ඔස්සේ බැඳුණු බොහෝ චිත්‍ර හා නිර්මාණ රාශියක් ඇති බව දනිමි. එබැවින් මරියතුමිය තුළ තිබූ ශුද්ධාත්ම ක්‍රියාකාරිත්වය පිළිබඳව කතා කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස මම දකිමි.

ශු. ලූක් 1: 25 - 38 තුළ සඳහන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ මාංශගත වීමේ සිද්ධිය තුළ පැහැදිළි වන කරුණු කිහිපයක්ම ඇත. ගැලවුම්කාරයාණන්ගේ මව වීමට දෙවියන් වහන්සේ තෝරා ගත්තේ නාසරෙත්හි දිවිගෙවූ, සරල සාමාන්‍ය දියණියකි. ඇයගේ කුස තුළ බිහි වූයේ ශුද්ධවූ ත්‍රිත්වයේ දෙවන තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. ඇය ජුසේ නැමැති තරුණයා සමග විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටි මොහොතක ඇයගේ කුසෙහි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කලලය බිහිවූයේ ශුද්ධාත්ම ආලේපනය තුළය. "ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක. පරමෝත්තමයාණන්ගේ ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක" (ශු. ලූක් 1/ 35). එලෙසම ශුද්ධවු ජුසේ මුනිතුමා ජේසුස් වහන්සේගේ පිළිසිදීම පිළිබඳව දැනගන්නා ලද්දේ "දාවිත්ගේ පුත් ජෝශප් ඔබේ බිරිඳ වන මරිය පාවා ගන්නට බිය නොවන්න. මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි."(ශු. මතෙව් 1:18 - 20) යන වදන් තුළ ය.

එබැවින් මෙම මාංශ ගත වීමේ සිද්ධිය තුල ශුද්ධවූ ත්‍රිත්වයීක ක්‍රියාකාරීත්වය අපි දකින්නෙමු. විශේෂයෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේ මරියාවන්ගේ ජීවිතය වසා ගත් අයුරු ශුද්ධ ලියවිල්ල තුළ ඉතාමත්ම පැහැදිලිය.

එසේම මරියාවන්ගේ ජීවිතයේ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය දකින අනෙක් සිද්ධිය නම් පෙන්තකොස්ත සිද්ධියයි. කුරුසිය පාමුල ශුද්ධවූ ජුවාම් ගෝලයාට ජේසුස් වහන්සේ විසින් දේව මාතාවන් භාර දීමත් සමඟම ශ්‍රාවක සංඝය ඔවුන්ගේ ජීවිතවලට 'ඒ මොහොතේම' ඇය පිළිගත් බව පැහැදිලිය (ශු. ජුවාම් 19: 25- 27). බියෙන් සැකෙන් සිටි එම ශ්‍රාවක සංඝය ට ශක්තිය දුන් 'අම්මා' මරියාවන් විය. සේනාකුළු ශාලාවේ ශ්‍රාවක සංඝය සමග ඇය යාඥාවේ නිරතව සිටින අයුරු අපි දකින්නෙමු (ක්‍රියා 1: 12 - 14). ජුදා පාස්කුවෙන් දින පනහකට පසුව එන දිනය පෙන්තකොස්ත දිනය වූ අතර එය යුදෙව්වන්ගේ පළමු අස්වැන්න නෙළීමෙ මංගල්‍යය සමරන දිනය විය (නික්මයාම 23 :10, ලෙවී 23 : 15 සිට).

එහෙත් පෙන්තකොස්ත දිනය දා සේනා කුළු ශාලාවේ රැස්ව සිටිය මරියාවන් ඇතුළු පිරිසට ශුද්ධාත්මයාණන් පැමිණි අතර (ක්‍රියා 2: 1-4) එදිනම නව ඊශ්‍රායලීය ජනතාව වන කිතුනු සංඝයේ පළමු අස්වැන්න නෙළීම සිදු විය. එදින පමණක් 3000 දෙනා ශුද්ධවූ පේදුරු තුමාගේ දේශනාව නිසා බව්තීස්මය ලැබූ බව අපි දකින්නෙමු (ක්‍රියා 2: 41). ශුද්ධාත්මයාණන්ගේ පැමිණීමත් සමග බිහිවූ මුල් කිතුනු සංඝයේ 'විශේෂිත මාතාව' වූයේ මරියතුමිය. එබැවින් මරියාවන් නැති කිතුනු සංඝයක් අද දවසේ තිබිය හැකිදැයි මා නගන ප්‍රශ්න යයි.

එබැවින් මෙම විශේෂ සිද්ධීන් දෙක තුළ මරියාවන්ගේ ජීවිතයේ තිබූ ශුද්ධාත්ම ක්‍රියාකාරීත්වය ඉතා පැහැදිලිය. 'මරියාවන් සහ ශුද්ධාත්මයාණෝ' යන ඉගැන්වීම ඔස්සේ බොහෝ දේවධර්ම විශාරදයන් විසින් බොහෝ ලිපි ලියා ඇත. විශේෂයෙන්ම මෙහිදී ශුද්ධ මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමා (1894- 1941) ගොඩනගන ලද දේව ධර්මය ඉතා වැදගත් වේ. එසේම 1974 පෙබරවාරි 2දා හයවන පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් 'මරිය බැතිය' ගැන දීර්ඝ වශයෙන් ලියන ලද Marialis Cultus (මරියාලිස් කුල්ටුස්) නැමති විශ්ව ලේඛනයේද, 1979 ඔක්තෝබර් 16 එළිදැක්වුණු Catechesis Tradandae (කැටකෙසිස් ට්‍රඩන්ඩෙ) නැමති වර්තමානයේ ධර්මය ඉගැන්වීම පිළිබඳව ලියැවුණු සභා ලේඛනය තුළ ද, ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් 1986 මැයි 18 'ශුද්ධවූ සභාව හා ලෝකය තුළ ශුද්ධාත්මයාණෝ' යන තේමාව ඔස්සේ ලියැවුණු Dominum et Vivificantem (ඩොමිනුම් එට් විවිෆිකාන්ටෙම්) විශ්ව ලේඛනයේද මරියාවන්ගෙ ජීවිතය තුළ ශුද්ධාත්මයාණන් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කර ඇත.

ශ්‍රාවක ජීවිත බියෙන් සැකයෙන් අන්ධකාරයෙන් පිරී තිබූ මොහොතක, එම අන්ධකාරය පලවා හරින්නට ශ්‍රාවක සංඝය යාඥාවේ සංගයක් බවට පත්කරමින්, ශුද්ධාත්මයාණන්ගෙන් පිරෙන්නට දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත් වූ මාතාව මරියාවන් විය. අද දින දී ද මරියාවන්, අපව ද කැඳවන්නේ වර්තමානයේ අප අත්දකින අන්ධකාරය තුළ, බිය හා සැකය තුළ,යාඥාවේ සංගයක් බවට පත්වෙමින්, ශුද්ධාත්ම බලය ඉල්ලා යදින්නට හා එම බලයෙන් පිරෙන්නට ය. "ශුද්ධාත්මයාණන්ගෙන් පිරිපුන් වූ මාතාවනි අප නිසා යාච්ඤා කළ මැනව."ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.

ගරු. ටෙරන්ස් බොදියාබදුගෙ පියතුමා.
(08/05/2020).
9. "පරලෝක රාජේශ්වරියනී" - Mary Queen of Heaven.
========================================
ශුද්ධවූ ලියවිල්ල හා සම්බන්ධ දේවමාතාවන් ලැබූ විශේෂ නාමයන් පිළිබඳ අවබෝධයක් ලබා ගත් අප මින් පසුව පිවිසෙන්නේ ශුද්ධවූ කතෝලික සභාව විසින් දේවමාතාවන්ට ලබාදී ඇති අනෙකුත් විශේෂ නාමයන් කීපයක් පිළිබඳව දැනුවත් වන්නට ය. මේ අතර පළමුව අප පිවිසෙන්නේ "පරලෝක රාජේශ්වරියනී" නැමැති නාමය පිළිබඳ දැනුවත් වන්නටය. "මරිය රැජිණියේ- දයාබර මවේ" යන ගීතිකාව අප සියලු දෙනා ගයන ගීතිකාවකි. මරියාවන් 'ස්වර්ගයේ රැජින' ලෙස දැකීම කතෝලික සභාව තුළ මරියාවන්ට දක්වන ආදරයේ තවත් විශේෂ ප්‍රකාශණයකි.

ක්‍රිස්තු වර්ෂ 431 දී බිහි වූ තුන්වන මන්ත්‍රණ සභාව වූ එෆෙසස් (Ephesus) මන්ත්‍රණ සභාවේ දී මරියාවන් 'දේවමාතාවන්' ( THEOTOKOS) ලෙස ප්‍රකාශයට පත්කළ අතර අයුරු මීට ඉහත අපි දැනගත්තෙමු. "දේවමාතාවන්" යන විශ්වාසයේ ඉගැන්වීමත් සමගම පැමිණි අනෙකුත් සංකල්පය නම් දේවමාතාවන් "ස්වර්ගයේ රැජින" ලෙස පිළිගැනීමයි. මෙයට හේතු පාදක වුයේ ඊශ්‍රායල් ජනසමාජය තුළ තිබූ දැක්මයි. ඊශ්‍රායලයේ බිහිවූ රජුන්ගේ මෑණියන් නිරතුරුවම 'මව් රැජින' ලෙස දැකීමට ඊශ්‍රායල් ජනතාව පුරුදු වී සිටියහ. 1 රාජාවලිය 2:19- 20 අනුව සලොමන් රජු තම මෑණියන් වූ බෙත්ෂෙබාට විශේෂ ආසනයක් පැනවූ බවත්, ඇය ඉල්ලන ඕනෑම දෙයක් දීමට සූදානම්ව සිටිය බවත්, අපි දකින්නෙමු. ඊශ්‍රායලයේ තිබූ මෙම සංකල්පය මරියාවන් සම්බන්ධයෙන්ද මුල් කිතුනු සභාව තුළ වර්ධනය වී ඇති අයුරු පැහැදිලිය. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයේ රජාණන් වන බැවින් දේවමාතාවන් ද 'ස්වර්ගයේ රැජින' ලෙස දකින්නට ඔවුහු යොමු වූහ.

හතර වන ශත වර්ෂයේදී ශුද්ධවූ එෆ්රෙම් මුනිතුමා තමාගේ ලියවිලි තුළ ද, ඔරිගන් සහ ජෙරම් මුනිතුමන්ගේ ලියවිලි තුළ ද, මරියාවන් "ස්වර්ගයේ රැජින" ලෙස බලන්නට යොමු වූ අයුරු අපට අපි දකින්නෙමු. 13 වන හා 14 වන ශත වර්ෂයන්හි කිතුනු චිත්‍ර ශිල්පීන් විසින් 'ස්වර්ගයේදී දේවමාතාවන්ට ඔටුනු පැළඳවීම' තම නිර්මාණ තුළින් ඉදිරිපත් කරන්නට යොමු විය. මෙලෙස සභා සම්ප්‍රදාය (Tradition) තුළ පැමිණි මෙම විශ්වාසය නිලවශයෙන් 1954 ඔක්තෝබර් 11 දින XII වන පයස් ශුද්ධෝත්තම පියාණන් ගේ Ad Caeli Reginam ( අඩි චෙයිලි රෙජිනම්) නමැති විශ්ව ලේඛනය තුළින් ජේසුස් වහන්සේ ඊශ්‍රායලයේ පමණක් නොව සමස්ථ ලෝකයේම රජාණන් බවත්, ඒ නිසාම උන් වහන්සේගේ මාතාව "ස්වර්ගීය රැජින" ලෙස ප්‍රකාශ කිරීම සුදුසු බවත් ප්‍රකාශයට පත් කරන ලදී.

මේ සඳහා පදනම් වූ ශුද්ධ ලියවිලි පාඨයන් දෙකක් උන්වහන්සේ ගෙනහැර දක්වයි. "උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක. පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ප්‍රදානය කරන සේක. උන්වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහටම රජකම් කරන සේක. උන්වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදකින්නේය ( ශු. ලූක් 2:32-33). ක්‍රිස්තුස් වහන්සේගේ රාජකීයත්වය මෙම පාඨය තුළ ඉතා පැහැදිලිය. එම රජාණන් ලොවට බිහි කළ උන්වහන්සේගේ මාතාවද ස්වර්ගයේ රැජින ලෙස දැකීම නිවැරැදි බව ශුද්ධෝත්තම පියාණෝ ප්‍රකාශ කළහ. එසේම "තව ද අහසෙහි පුදුම ලකුණක් විය. එනම් සූර්යයා පැළඳගෙන, පාද යට සද මඩළ ද හිස මත තාරකා දොළසකින් යුත් කිරුළක් ද ඇති ස්ත්‍රියකි."(එළිදරව්ව 12:1) තුළ ද ප්‍රකාශ වන්නේ රැජිනක් ලෙස ස්වර්ගයේ වැඩසිටින දේවමාතාවන් ගැන බව ශුද්ධෝත්තම පියාණෝ ප්‍රකාශ කළහ. ආත්ම ශරීර පිටින් ස්වර්ගයට ඔසවනු ලැබූ ඇයට ශුද්ධ වූ ත්‍රිත්වය විසින් මේ මහ පොළොව මත ඇය ඉටු කරන ලද ශුද්ධ වූ කාර්යය නිසා ස්වර්ගයේදී දිය හැකි උතුම්ම තිළිණය ලබාදුන් බව ප්‍රකාශ කරන ලදී.

ජපමාල මෝක්ෂ අභිරහස් තුළ 4 වන ජපමාල පන්තියට පෙර 'ආත්ම ශරීර පිටින් මරියාවන් ස්වර්ගයට වැඩම කිරීම' හා 5 වන ජපමාල පන්තියට පෙර 'මරියාවන්ට ස්වර්ගයේ දී ඔටුනු පැළඳවීම අප මෙනෙහි කරන්නේ ඒ නිසාය.

කතෝලික සභාව තුළ දේවමාතාවන් ස්වර්ගයේ රැජින ලෙස පිළිගැනීම හා ස්වර්ගයේ ඔටුනු පැළඳවීමේ මංගල්‍යය, XII වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ප්‍රකාශයට පත් කළ Ad Caeli Reginam විශ්ව ලේඛනය ලබාදුන් මගපෙන්වීම අනුව මැයි 31 මුලින්ම සමරනු ලැබූ අතර, 1969 සිට VI වන පාවුළු ශුද්ධෝත්තම පියාණන් විසින් එම මංගල්‍යය සැමරීම අගෝස්තු 22 දක්වා ගෙන එන ලදී. අගෝස්තු 15 මරියාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරන අතර, අගෝස්තු 22 එතුමිය ඔටුනු පැළදවීම හා පරලෝක රාජෙශ්වරිය වීමේ මංගල්‍යය ශුද්ධවු සභාව සමරනු ලබන්නීය.

පරලෝක රාජේශ්වරිය වූ දේව මාතාව අප කැඳවන්නේ ජේසුස් වහන්සේගේ රාජකීයත්වය අප ජීවිතය තුළ පිළිගන්නට හා එම ස්වාමිත්වය තුළ නිරතුරු දිවි ගෙවන්නටය. "පරලෝක රාජේශ්වරියනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(09/05/2020). 
10. "ආදීපීතෘවරුන් ගේ රාජේශ්වරියනී"- Mary Queen of Patriarchs.
===============================================
"පරලෝක රාජේශ්වරියනී" යන නාමය යටතේ දේවමාතාවන්ට "රාජේශ්වරියනී", "රැජිණෙනී" යන නාමය භාවිතා කරන්නේ කුමන හේතූන් නිසා දැයි මීට ඉහත ලිපියේ දී අපි දැනගත්තෙමු. දැන් අප පිවිසෙන්නේ 'රාජේශ්වරියනී' යන වදනත් සමග දේවමාතාවන් සම්බන්ධයෙන් භාවිතා වන තවත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව දැනුවත් වන්නටයි.

දේවමාතා ප්‍රාර්ථනය උච්චාරනය කිරීමේදී "ආදී පීතෘවරුන්ගේ රාජේශ්වරියනී - අප නිසා යාච්ඤා කළ මැනව" කියා උත්තර දුන්නද අප බොහෝ දෙනෙකුට මෙම නාමය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැත. ආදීපීතෘවරුන් අපට මුණගැසෙන්නේ ශුද්ධ වූ බයිබලයේ පුරාණ ගිවිසුමේ උත්පත්ති පොතේය. ඒ අය නම් ප්‍රධාන වශයෙන්ම ආබ්‍රහම්තුමා, ඊසාක්තුමා, යාකොබ්තුමා, ය. නමුත් ක්‍රියා 7/8,9 අනුව ජාකොබ්ගේ පුත්‍රයන් දොළොස් දෙනා ද, එසේ ම ක්‍රියා 2 / 29 අනුව දාවිත් රජු ද ඊශ්‍රායලයේ ආදිපිතෘවරුන් ලෙස සලකා ඇති බව පැහැදිලිය. නමුත් මෙහිදී අප ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ ආබ්‍රහමිතුමා, ඊසාක්තුමා හා යාකොබ්තුමා ගැනය. ආදීපීතෘවරුන් යනු මූලික වශයෙන්ම ඊශ්‍රායලයේ ජන සංඝය ට නායකත්වය දුන්, මඟ පෙන්වූ, 'පීතෘ චරිතය' ජීවත් කළ පුද්ගලයන්ය. (ඌරු වරිගේ වන්නිල ඇත්තෝ වර්තමානයේ වැදි පරම්පරාවේ පියාය. නායකයාය).

ජුදා දහම, කිතුනු දහම හා ඉස්ලාම් දහම ඉහත නම් සඳහන් කළ ආබ්‍රහම්තුමා, ඊසාක්තුමා යාකොබ්තුමා යන තිදෙනාම ආදීපිතෘන් ලෙස පිළිගැනේ. ආබ්‍රහම්තුමා යනු තම උපන් දේශය 'අත්හැර' දෙවියන් වහන්සේ කෙරෙහි උපන් ගැඹුරු විශ්වාසයකින් යුතුව වෙනත් දේශයකට ගමන් කළ ආදි පීතෘවරයා. එම නිසා 'අත් හැරීම' සහ දෙවියන් වහන්සේ කෙරෙහි ගැඹුරු විශ්වාසයකින් යුතුව ජීවත්වීම ඔහුගේ ජීවිතයේ ප්‍රබලතම කරුණු විය. ඔහු 'විශ්වාසය පියා' විය. දෙවියන් වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය නිසාම දෙවියන් වහන්සේගේ ඉල්ලීම පරිදි මොරියා කන්දේ දී තම එකම පුතනුවන් වූ ඊසාක් පවා පූජා කරන්නට සූදානම් වූ ආදි පීතෘවරයා ඔහු විය. ඊසාක් ආබ්‍රහම්තුමා හා සාරාගෙ පුත්‍රයා විය. 'ඊසාක්' යන නමෙහි තේරුම 'සිනාසෙන්නා' යන්නයි. ඔහු තම ජීවිතය තුළින් සිනහව, සැනසීම රැගෙන ආ ආදි පීතෘවරයා විය.

ජාකොබ් යනු දරුවන් දොළොස් දෙනෙකුගේ පියා වූ අතර මෙම දරුවන් දොළොස් දෙනා ඊස්රායල් ගෝත්‍ර දොළහේ ආරම්භය වූ අතර. ඊශ්‍රායල් ජනතාව ගොඩනැගුනේ එම ගෝත්‍ර දොළහෙන්ය. එබැවින් අලුත් ජනතාවක පියා වූයේ ජාකොබ් නැමති මෙම ආදි පීතෘවරයා ය. මරියාවන් සහ ආදීපීතෘවරුන් අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? මරියාවන්ද ආබ්‍රහම් සේ 'අත්හැර දැමීම' සිදුකළ මාතාවයි. විවාහ වන්ට පෙර දරු ගැබක් ඇතිවීම ඊශ්‍රායල් නීතියට අනුව ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ හැකියාව ඇති බව ඇය තේරුම් ගෙන සිටියදී, මාංශ ගත වීමේ සිද්ධිය තුල "මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි" යි (ශු ලුක් 2/38) ප්‍රකාශ කරමින්, දෙවියන් වහන්සේගේ වචනයට අවනත වෙමින්, ඇයගේ 'ජීවිතයට ඇති අයිතිය' ඇය අත්හැර දැමුවාය. මරියාවන්ගේ මුළු ජීවිතයම ගැඹුරු විශ්වාසයේ ජීවිතයක් විය. ආබ්‍රහම් තුමා මෙන් තම පුතුන්වූ ජේසු සමිඳුන් කල්වාරි කන්ද මුදුනේදී කුරුසිය මත යාගයක් වන අයුරු ඇගේ දෙනෙතින් ඇය දැක්කා පමණක් නොව ඇය ඊට මුහුණ දුන්නාය.

ජාකොබ්තුමා ඊශ්‍රායලීය ජනතාවගේ ගෝත්‍ර දොළහේ පියා වූවාසේ, පෙන්තකොස්ත දිනය සමග ආරම්භ වූ 'නව ඊශ්‍රායලීය ජනතාව' හෙවත් කිතුණු සංඝය ගොඩ නගන්නට මූලිකත්වය ගත් ශ්‍රාවක සංඝයේ 'අම්මා' මරියතුමිය විය.

එබැවින් ශුද්ධවු බයිබලය තුළ අපට හමුවන ආදීපීතෘවරුන් ගේ ජීවිතය හා මරියාවන්ගේ ජීවිතය අතර ඇති සම්බන්ධය මෙලෙස අපි දකින්නෙමු. දේවමාතා ප්‍රාර්ථනාව තුළ අපට හමුවන 'ආදීපීතෘවරුන් ගේ රාජේශ්වරී' යන නාමය මරියාවන්ට ලැබීම ඇයට කතෝලික සභාව තුළ ඇති ආදරය, සෙනෙහස හා ගරුත්වය ප්‍රකාශ කරනු ලබන ආදරවන්ත නාමයකි.

මරියාවන් අපවද කැඳවන්නේ ආදීපීතෘවරුන් සේ දෙවියන් වහන්සේ කෙරෙහි උපන් ගැඹුරු විශ්වාසයේ ජීවිතයක් ගත කරන්නට ද, ජීවිතේ අත්හැරිය යුතු දේ අත් හරින්නට හා කිතුනු සංඝය ගොඩනගන 'අම්මාවරු' හා 'පියවරු' වන්නටය. "ආදීපීතෘවරුන්ගේ රාජේශ්වරියනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැන ගැනීම සඳහාද කරුණාකර මෙය SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා.
( 10/05/2020).  

11. "දිවැසිවරුන්ගේ රාජේශ්වරියනී" Mary Queen of Prophets.
============================================
දේවමාතා ප්‍රාර්ථනාව තුළ අපට මුණගැසෙන මරියාවන් හා බැඳී අනෙක් විශේෂිත නාමය "දිවැසිවරුන්ගේ රාජේශ්වරී" යන්නයි. දිවැසිවරුන් යනු කවුරුහුද? ඔවුන්ගේ දූත කාර්යය වූයේ කුමක්ද? දිවැසිවරුන් හා මරියාවන් අතර ඇති සම්බන්ධතාවය කුමක්දැයි මෙම නාමය තුළ අපි විමසා බලමු. ශුද්ධවූ බයිබලයේ ආදීපීතෘවරුන් ට පසුව අපට මුණගැසෙන ඊළඟ පරපුර දිවැසිවරුන්ගේ පරපුරයි.

1. දිවැසිවරයෙකු යනු ප්‍රධාන වශයෙන්ම දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන, උන්වහන්සේ විසින්ම දූත කාර්යය සඳහා කැප කොට, එම දූත කාර්යය සඳහා දෙවියන් වහන්සේ විසින්ම යවනු ලැබූ පුද්ගලයෙකි. "මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. නුඹේ උපතට පෙර මම නුඹ කැප කළෙමි. ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කළෙමි". (ජෙරමියා 1: 4).

2. දිවැසිවරයෙකු ගේ ප්‍රධානතම කාර්යය වූයේ දෙවියන් වහන්සේගේ වචනය කතා කිරීමය. "උන්වහන්සේ මට කතාකොට 'මනුෂ්‍ය පුත්‍රය නැගිට සිටින්න; මම නුඹ සමග කතා කරන්නෙමි' යි වදාළ සේක". (එසකියෙල් 2:1). එමනිසා සෑම දිවැසිවරයෙකු ම මූලික වශයෙන් දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය තුළ ලැබූ, දෙවියන් වහන්සේගේ වචනය සියලු අභියෝග හා පීඩාකාරී තත්වයන් මැද ප්‍රකාශ කොට ඇති බව, කතා කර ඇති බව ඉතාමත් පැහැදිලිය.

3. දෙවියන් වහන්සේගේ වචනය හරහා ජනතාව නිරතුරුවම ජීවිත වෙනසකට (Metanoia) කැඳවූ අතර, දිවැසිවරුන්ගේ වචනය නිසාම විනාශයෙන් ගැලවුණු ජනතාව ගැන අපි ශුද්ධ ලියවිල්ල තුළ දකින්නෙමු. (ජෝනා 3:1-9). "දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක. (ජෝනා 3: 10)

ශුද්ධවු බයිබලයේ පුරාණ ගිවිසුමේ අපට හමුවන දිවැසිවරුන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.

1. ප්‍රධාන දිවැසිවරු - යෙසායා ජෙරමියා, එසකියෙල් හා දානියෙල් වේ.

2. සුළු දිවැසිවරු - හොසියා, ජෝවෙල්,ආමෝස්, ඔබිදියා, ජොනා, මීකා, නාහුම්, හබකුක්, ෂෙපානියා, හග්ගායි, සෙකාරියා හා මලාකි වේ. නව ගිවිසුමේ අපට හමුවන දිවැසිවර පරම්පරාවේ අවසාන දිවැසිවරයා ශුද්ධවූ ස්නාවක ජුවාම් වේ.

ශුද්ධවූ බයිබලයෙහි පුරාණ ගිවිසුමේ හමුවන මෙම දිවැසිවරුන් පිළිබඳ යම් දැනුමක් ලබාගත් අපි මරියාවන් හා දිවැසිවරුන් අතර ඇති සම්බන්ධතාවය සොයා ගන්නට යොමු වෙමු.

1. දිවැසිවරුන් මෙන්ම මරියාවන්ද, දෙවියන් වහන්සේගේ විශේෂ තෝරා ගැනීමට ලක්වූ මාතාවයි. ඇය ශු. ආනා මුනිවරියගේ කුස පිළිසිද ගත්තේ කිසිම පාපයක් නොමැතිව නිර්දෝෂව ය. ඒ තුළම ඇය දෙවියන් වහන්සේට විශේෂිත වූ දියණියක් වූ බව පැහැදිලිය. එලෙසම මාංශ ගත වීමේ සිද්ධිය තුළ, ශුද්ධාත්ම ආලේපනය තුළ, ජේසුස් වහන්සේගේ මව්වීමට වරම් ලැබීම දෙවියන්වහන්සේ තුළ ඇය ලැබූ එම විශේෂ කැඳවීම කුමක්දැයි අපට පැහැදිලි කර දෙයි.

2. දිවැසිවරුන් කතා කළේ දෙවියන් වහන්සේගේ වචනයයි. මරියාවන්ගේ කුස පිළිසිඳ ගත්තේ හා ලෝකයට ඇය බිහි කළේ "ශ්‍රී වචනයාණො" බවට පත් වූ දෙවියන් වහන්සේයි. (ජුවාම් 1:14)

3. ඇය නිරතුරුවම ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට යොමු කළ බව පැහැදිලිය. "මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවද කරන්න" (ජුවාම් 2:5). එසේ ම ජේසුස් වහන්සේ තමන් අභිමුවට පැමිණි හැම ජීවිතයක්ම මුළුමනින්ම වෙනස් කළ බව ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය. (සාකෙවුස්, පව්කාර ස්ත්‍රිය, මග්දලාහි මරියා). එබැවින් දිවැසිවරුන් තුළ ප්‍රකාශ වූ කාර්යභාරය ඉතාමත් ශ්‍රේෂ්ඨ අයුරින් මරියාවන් තුළ ප්‍රකට වූ නිසා එතුමිය "දිවැසිවරුන්ගේ රාජේශ්වරී' යන සෙනෙහෙවන්ත නාමයෙන් ශුද්ධවූ කතෝලික සභාව ඇය අමතන්නීය.

මරියාවන් අපවද කැඳවන්නේ මෙම දිවැසිවර කාර්යයේ පංගුකාරයන් වන්නටය. මවු කුසේ පටන් විශේෂ දූත කාර්යයක් සඳහා දෙවියන් වහන්සේ ඔබවද තෝරාගෙන ඇති බැවින් ඔබ කරන එම දූත කාර්යය හරහා මේ යුගයේ දිවැසිවරු වන්නටද, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිත වෙනස් කරන්නට ද, ඇය අද අප සැම කැදවන්නීය. "දිවැසිවරුන්ගේ රාජේශ්වරියනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් යම් දැනුමක් ඔබ ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(11/05/2020). 
12. "අපෝස්තුළුවරුන්ගේ රාජේශ්වරියනී" - " "Queen of the Apostles"
================================================
දේව මාතා ප්‍රාර්ථනාව තුළ "රාජේශ්වරියනී" යන නාමය හා සම්බන්ධව දේවමාතාවන් හැදින්වීමට භාවිතා වන අනෙක් නාමය "අපෝස්තුළුවරුන්ගේ රාජේශ්වරියනී" යන නාමයයි. අප රටේ මෙම නාමයෙන් ගොඩනැගුණු දේවස්ථාන නොතිබුණද, ඇමරිකාවේ හා යුරෝපීය රටවල්වල මෙම නාමයෙන් දේවමාතාවන්ට කැප වූ බොහෝ දේවස්ථාන ඇති බව පෙනේ. එසේම 'අපෝස්තුළුවරුන්ගේ රාජේශ්වරිය" ට කෙරෙන මරිය බැතිය ශුද්ධවූ සභාව තුළ ඉතා ඉපැරණි මරිය බැතියක් බවද අප හට පෙනේ.

අපෝස්තුළුවරයකු යනු කවුරුන්ද? ජේසුස් වහන්සේගේ දූත කාර්යය තුළ දී උන් වහන්සේගේ වචනය අසා, ක්‍රියාවන් දැක, බොහෝ පිරිසක් උන්වහන්සේ පසුපස ගමන් කළ බව ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය. නමුත් මෙම මහා පිරිස අතරෙන් උන්වහන්සේ විසින් ම විශේෂිත වූ දොළොස් දෙනකු තෝරාගෙන ඇති බව අපි දකින්නෙමු. විශේෂ කරුණු තුනක් තෝරා ගත් එම දොළොස් දෙනා සම්බන්ධයෙන් මෙලෙස සනිටුහන් කළ හැක. 1. මෙම දොළොස් දෙනා උන්වහන්සේ විසින්ම විශේෂ ලෙසම 'තෝරාගෙන', 'බලය පවරා', දූත කාර්යය සඳහා 'යවනු ලැබූ' පුද්ගලයන් විය (ශු. මාක් 3: 13 -19)

2. මෙම දොළොස් දෙනාම 'උත්ථාන වූ සමිදුන්' (Risen Lord) දෑසින් දුටු, එම අත්දැකීම අත්දුටු අය ය.

3. මෙම දොළොස් දෙනාම පෙන්තකොස්ත දිනයේදී ශුද්ධාත්ම ආලේප ලත් පිරිසය. (ක්‍රියා 2:1-4). ජූදස් ගේ පාවාදීමත් සමග ඔහු සිය ජීවිතය හානි කරගත් බැවින් ඔහු වෙනුවට ශුද්ධ වූ මතියස් අපෝස්තුළුතුමා තෝරා ගත් බවටත් ඔහු ද ශුද්ධාත්ම ආලේපනයෙන් පිරුණු බවටත් ක්‍රියා පොත තුල අපි දකින්නෙමු. ( ක්‍රියා 1: 15 - 26).

නමුත් මෙම දොලොස් දෙනා සහ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිහිමත ජීවත්ව සිටින විට, ඔවුන්ගේ දිවිපෙවත තුළ තිබූ දිස්වූ යම් යම් දුබලතාවයන් ගැන ද පැහැදිලිය. ඇදහිල්ලේ ජීවිතයකට ඔවුන් කැද වුවද එම ඇදහිල්ල ඔවුන්ගේ ජීවිතයෙන් හීනවී ගිය අවස්ථාවන් එමටය. (මාරුත දමනය ශු. ලූක් 8 22 - 25, මීමැස්මොර රෝගී ළමයෙකු සුව කිරීම ශු.මතෙව් 17: 14 - 21). ජේසුස් වහන්සේ සමඟ, උන්වහන්සේට 'ලංවී' දිවිගෙවන්නට කැදවුවද උන් වහන්සේගේ පාවාදීමත් සමග උන් වහන්සේ අත්හැර ඔවුහු පලාගියහ. උන්වහන්සේ අඳුරන්නේ වත් නැතැයි ප්‍රකාශ කළේය. කුරුසිය අබියස ඔවුන් අතරින් සිටියේ එක්කෙනෙක් පමණි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ඔවුන්ට කලයුතු දූත කාර්යයක් ලබාදුන්නද කුරුසය දැකීමත් සමඟම එම දූත කාර්යය අත්හැර සුපුරුදු රැකියාවට ඔව්හු පිටත් ව ගියහ. (ශු. ජුවාම් 21: 1- 6).

අපෝස්තුළුවරුන් ගැන යම් දැනුමක් ලැබූ අපි දැන් අපෝස්තුළුවරුන්ගේ ජීවිතය හා මරියාවන්ගේ ජීවිතය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද? යන්න විමසා බලමු. දිවැසිවරුන් හා අපෝස්තුළුවරුන් දෙවියන් වහන්සේ විසින් විශේෂ කැඳවීමක් සඳහා කැඳවූවා සේ මරියතුමිය ද ලැබුවේ ඉතා විශේෂ දූත කාර්යයක් සඳහා සුවිශේෂ කැඳවීමකි. මෙසියා ලොවට බිහි කිරීම එම සුවිශේෂ වූ කැඳවීමයි. අපෝස්තුළුවරුන් ජේසුස් වහන්සේට 'ලංව' දිවිගෙවන්නට කැඳ වූ අය බව අපි දකින්නෙමු. මරියතුමියගේ මුළු ජීවිතයම ජේසුස් වහන්සේගේ ජීවිතය හා බද්ධව ගත කළ ජීවිතයක් විය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ලොවට බිහි කළේ ඇයයි. ජේසු පුතාට දෙතනේ කිරි උරා බොන්නට ඉඩ හැරියේ ඇයයි. පුංචි කාලේ ජේසු පුතා වැටුණු විට ඔසවා ගත්තේ ඇයයි. කානා නුවර දී පළමු ප්‍රාතිහාර්ය සිදු වන විට එම ප්‍රාතිහාර්ය සඳහා උන් වහන්සේව යොමු කළේ ඇයයි. කුරුසිය හමුවේ ශ්‍රාවකයින් පැන දුවන විට පිලාත්ගේ නඩූ ශාලාවේ සිට කුරුස කන්ද තෙක් ක්‍රිස්තූස් වහන්සේ සමඟ ගමන් කළේ ඇයයි. උන් වහන්සේ කුරුස බරින් වැටුනු විට එම කුරුසියට අතගැසුවේ ඇයයි. කුරුසියෙන් බාන ලද ශ්‍රී සිරුර උකුලේ හොවා ගත්තේ ඇයයි. තම පුතණුවන්ට අත් වූ කුරිරු මරණය හමුවේ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප නොකොට ගැඹුරුවූ ඇදහිල්ලෙන් යුතුව ජීවිතයට මුහුණ දුන්නේ ඇයයි. අපෝස්තුළුවරුන් ජේසුස් වහන්සේ දුන් කැඳවීමෙන් පලා ගියද, මරියතුමිය ඇය ලැබූ ජීවිත කැදවීමෙන් පලා නොගිය මාතාවයි. විශේෂයෙන්ම කලකිරුණු ශ්‍රාවක සංඝය ශක්තිමත් කරන්නට, කුරුසිය මත තම පුතුනුවන් පැවරූ කාර්යය ඉටු කරන්නට ශ්‍රාවක සංඝයා සමග යාඥාවේ දිවියක් ගත කළේ ඇයයි. අපෝස්තුළුවරුන් ශුද්ධාත්ම බලයෙන් පිරෙද්දි එම සංඝය සමඟ සිටියේ ඇයයි. ඇය ශුද්ධාත්ම බලයෙන් පිරුනේ 'මාංශ ගතවීමේ' සිදුවීම සිදුවූ මොහොතේදීය.

එබැවින් ඇයගේ මෙම ජීවිත පැවැත්ම නිසා මරියාවන් හඳුන්වන්නේ "අපෝස්තුළුවරුන්ගේ අපෝස්තුළුවරිය" ( Apostle of the Apostles) ලෙසයි. ඇය අද දිනයේදී අපවද කැඳවන්නේ ජේසුස් වහන්සේගේ ජීවිතයට ළං ව ජීවත් වන්නට ද, උන්වහන්සේගේ දූත කාර්යය ඉටුකරන අපෝස්තුළුවරයකු වන්නටයි. "අපෝස්තුළුවරුන්ගේ රාජේශ්වරියනී - අප නිසා යාච්ඤා කල මැනව". ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.

ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 12/ 05/ 2020) 
13. "සුරදූතයින්ගේ රාජේශ්වරියනී" - ' Queen of Angels"
========================================
"රාජේශ්වරියනී" යන නාමයත් සමග දේවමාතා ප්‍රාර්ථනාවේ අපට හමුවන දේව මාතාවන් හා බැඳුණු අනෙක් විශේෂ නාමය "සුරදූතයන්ගේ රාජේශ්වරියනී" යන්නයි. 'සුර දූතයින්' හෙවත් 'දේවදූතයින්' යනු ජුදා දහම, කිතුනු දහම හා ඉස්ලාම් දහම තුල විශ්වාස කරන විශේෂ සංකල්පයකි. දේවදූතයින් හෙවත් සුර දූතයින් යනු දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසුන් අතරට රැගෙන එන පණිවුඩකරුවන් ( Messengers) හා දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ආරක්ෂකයින් (Guardians) ලෙස හැඳින්විය හැක. දේවදූතයින් පිළිබඳ ශුද්ධවූ බයිබලය පුරා තුන්සිය වතාවක් පමණ සඳහන් වී ඇති බව අපට පෙනේ. විශේෂයෙන්ම දේවමාතාවන්ගේ ජීවිතයේදී දේවදූතයින් විශේෂ කාර්යභාරයක් ඉටුකර ඇති බව පැහැදිලිය.

ජේසුස් වහන්සේගේ උපත දේවමාතාවන්ට දන්වන ලද්දේ ගාබ්‍රියෙල් නම් දේවදූතයා විසිනි. ගාබ්‍රියෙල් දේව දූතයා මරියාවන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ "විපුල ප්‍රසාද ලත් උත්තමිය" ලෙසය. ඒ තුළ දේවමාතාවන්ට දේවදූතයින් අතර ඉතා ඉහළ ස්ථානයක් හිමිව තිබූ බව පැහැදිලිය. (ශු. ලුක් 1: 26 - 38). ශු. ජුසේ මුනිතුමන් මරියාවන් 'රහසින් අත්හැර දමන්නට' සිතමින් සිටියදී මරියාවන්ගේ කුසෙහි පිළිසිඳගත් ජේසු පුතුනුවන් ගැන ශුද්ධවූ ජුසේ මුනිදුන් දැනුවත් කරන්නේ දේවදූතයෙක් විසිනි. (ශු. මතෙව් 1: 19 - 24). ජේසු බිළිඳුන්ගේ උපත එඬේරුන් ට සුබ ආරංචියක් ලෙස රැගෙන ඒමෙන්, මරියාවන්ගේ තනිය මකන්නට එඬේරුන් ගවලෙන කරා යොමු කළේ දේවදූතයින් විසිනි. (ශු. ලූක් 2: 8 - 15). හෙරොද් රජතුමා දරුවා මරන්නට යොමු වෙද්දී ඒ පුවත පිළිබඳ ශුද්ධවු ජුසේ මුනිදුන් හා දේවමාතාවන් දැනුවත් කොට, ඔවුන් ආරක්ෂා සහිතව මිසරයට රැගෙන ගියේ දේවදූතයින් විසිනි. (ශු. මතෙව් 2 :13 - 15). ඉතිහාසගත සම්ප්‍රදායට අනුව මරියාවන් 'සදා නින්දකට' යොමුවන මොහොත ඇයට ප්‍රකාශ කළේ ශුද්ධවූ මයිකල් අග්‍රදූතයා විසින් බව සැලකේ. පෙරදිග ඕතඩොක්ස් සභාවට ( Eastern Orthodox Church) අනුව 'සදාකාලික නින්දකට' පත් වූ මරියාවන්ගේ ආත්මය ස්වර්ගයට ගිය බවත්, ශරීරය දේවදුතයින් විසින් මිහිමත ඇති 'පාරාදීසයට' රැගෙන ගිය බවත් සැලකේ.

එබැවින් මරියතුමිය හා සුර දූතයින් අතර ඇති බැඳියාව අපට මෙලෙස පැහැදිලිවේ. ශුද්ධවූ කතෝලික සභාව දේවමාතාවන් "සුරදූතයන්ගේ රාජේශ්වරිය" ලෙස සලකන්නට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ ක්‍රිස්තු වර්ෂ 431 දී එෆෙසස් මන්ත්‍රණ සභාවේ ඇය ලැබූ "දේව මාතාව" ( THEOTOKOS) යන නාමයයි. ඇය 'දේවමාතාවන්' වූ නිසාම ස්වර්ගයේ සිටින සියළු ශාන්තුවරයින් අතරත්, සුර දූතයින් අතරත් ඉහළම තැන ඇය වැජඹෙන බව ශුද්ධවූ කතෝලික සභාව අපට උගන්වන්නීය.

එසේම මෙම නාමය ඇයට ලබන්න හේතු වූ තවත් විශේෂ කාරණාවක් ඉතිහාසය තුළ අපට හමුවේ. එය වර්තමානයට ද ගැළපෙන බැවින් මෙලෙස සනිටුහන් කරන්නට සිතුවෙමි. ක්‍රිස්තු වර්ෂ 596 දී රෝමය පුරා මීයන් නිසා පැතිරුණු ඉතා දරුණු වසංගතයක් නිසා දහස් ගණන් ජනතාව මිය ගියහ. එවිට ශුද්ධවූ ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් විසින් ශුද්ධවු ලුක් තුමා විසින් සිතුවම් කළ බවට සලකන දේවමාතාවන්ගේ පින්තූරයක් පෙරදැරි කරගෙන ඉතා විශාල පෙරහැරක් ගිහි ජනතාවගේ සහ සියලුම පැවිදි, පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් යුතුව රෝමයේ ශාන්ත මරියා බැසිලිකාවට (The Basilica of Mary Major) ගමන් කරන ලදී. මෙම පෙරහැර හාඩියන් ස්මාරකය (Tomb of Hardian) පසුකරන විට ශුද්ධ වු මිඛායෙල් අග්‍රදූතයා ගිනි දළු සහිත කඩුවක් රැගෙන දර්ශනය වූ බවත්, එය දෙවියන් වහන්සේගේ ආරක්ෂාව දේවමාතාවන්ගේ මැදිහත් බව තුළ රෝමයට ලැබෙන බවත් ඔවුහු විශ්වාස කළහ. එලෙසම එම පෙරහැරෙන් පසුව මෙම වසංගතය රෝමයෙන් දුරු වී ගිය බව ඉතිහාසය තුළ සඳහන් වී ඇත. අදටත් එම ස්ථානය හඳුන්වන්නේ Castel Saint' Angelo ( කාසල් සෙන්ට් ඇන්ජෙලො) ලෙසය.

එබැවින් දේවමාතාවන් සුරදූතයන් අතර රැජිනක් බව පිළිගැනීම එදා සිටම සභාව තුළ තිබූ විශේෂ ඇදහිල්ලකි. සුරදූතයන්ගේ රැකවරණය අප ජීවිත වලට ඇති බව අපි විශ්වාස කරමු. සුරදූතයන්ගේ රාජේශ්වරියවූ, දේවමාතාවන්ගේ රැකවරණය හා මැදිහත් බව ඊටත් වඩා ප්‍රබලය. "සුරදූතයන්ගේ රාජේශ්වරියනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.

ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 13/05/2020 - පාතිමාවේ මෑණියන්ගේ මංගල්‍යය දා).

******************************************************
ඉහත ලිපියේ කතෘත්වය සහ අයිතිය ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා සතුබව කරුණාවෙන් සලකන්න.

මාකස් ප්‍රියන්ත පෙරේරා
13/05/2020 

No comments:

Post a Comment