This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 18 May 2020

ගෝමස් සාප්පුව සහ මීගමුව මහවීදියේ අතීත සමාජ වටපිටාව පිළිබද තොරතුරු කිහිපයක්


මීගමුවේ පැවති ප්‍රකට වෙළදසැලක්වූ ගෝමස් වෙළදසැලේ පැරණි ජායාරූපයක් දැනට සති කිහිපයකට පෙර (05/05/2020) මම මගේ facebook පිටුවේ පලකලෙමි. 1900දී ගනු ලැබූ එම ජායාරූපය මීගමුවේ අතීත විභූතිය කියාපාන්නකි. රටබීම, දේශීය සහ වීදේශීය මත්පැන්, බිස්කට්, චොක්ලට් ආදී ද්‍රව්‍ය විකිණීමේ ප්‍රමුඛයෙක්වූ මීගමුවේ සුප්‍රකට  ගෝමස් වෙළදසැල 1896 දී ස්ථාපිත කල ව්‍යාපාරයකි. එම ව්‍යාපාරයේ ශාඛාවන් දෙකක් කෑගල්ල සහ රත්නපුර ප්‍රදේශවල පිහිටුවා තිබුණි. එහෙත් මීගමුවේ ගෝමස් වෙළදසැල තරම් කාලයක්වත් එම ශාඛා දෙක පැවතී නැත. වසර සීයකට අධික කාලයක් ව්‍යාපාර කටයුතුවල නිරතවූ මීගමුව ගෝමස් වෙළදසැලද 1996දී වසාදමන ලදී. 

එහෙත්, මීට වසර 120කට පෙර, එනම් 1900දී, ගනු ලැබූ ගෝමස් වෙළදසැලේ පැරණි ජයාරූපය අතීත මීගමුව නගරය පැවති ආකාරය පිලිබදව විශාල උනන්දුවක් ජනිත කළේය. වර්තමානයේ මීගමුව නගරය මාරිස්ටේලා විදුහල ආසන්නයේ සිට ලෙල්ලම දක්වාත්, තෙල්වත්ත හන්දියේ රේල්ගේට්ටුව අසල සිට නව බස් නැවතුම්පොළ, පරණ හලාවත පාර ඔස්සේ පෙරියමුල්ල, දළුපොත දක්වාත්, කාමච්චෝඩයේ සිට ලුවිස් පෙදෙස ඔස්සේ කොච්චිකඩේ දක්වාත් පැතිර ගියද, නගරයේ ප්‍රධාන කේන්ද්‍රය ගොඩ නැගී තිබුනේ මහවීදිය මුල්කරගෙනය. පෘතුගීසි සහ ලන්දේසි යුගයේදී නම් එහි නාභිය මීගමුව කොටුවවිය. අතිඅලංකාර, ගොතික් සහ බැරොක් ගෘහ නිර්මාණ ශිල්පය ඔස්සේ ගොඩ නැන්වූ මීගමුව මහවීදිය පල්ලිය ගොඩ ගොඩනැගීමෙන් අනතුරුව මීගමුවේ නගර කේන්ද්‍රය මහවිදීය පල්ලිය මැදිකරගෙන ගොඩනැගුණි. (මහවීදිය පල්ලිය ගැන වැඩි විස්තර මෙම යොමුවට පිවිසීමෙන් කියවිය හැක)

ගෝමස් වෙළදසැල මෙන්ම අනෙකුත් ප්‍රකට ව්‍යාපාර සහ ව්‍යාපාර ගොඩනැගිලි රාශියක් ඉදිවන්නේ මහවීදිය පල්ලිය ආසන්නයේය. ගෝමස් වෙළදසැලේ පරණ ජායාරූපයත් සමග ඒ අවටවූ පරිසරය, වටා පිටාව, අවට පැවති ගොඩනැගිලි සහ ජීවත්වූ ජනයා ආදිය ගැන දැනගැනීමට විශාල උනන්දුවක් මතුවුයෙන් අපි ඒ සම්බන්දයෙන් පුළුල් විමසුමකට යොමුවූවෙමු. එහිලා පැරණි වාර්තා පමණක් නොව දැනට වසර 70 ඉක්මවූ, ඒ අවට පරිසරයේ ජීවත්වූ මීගමුවේ ජේෂ්ඨ පුරවැසියන්ගෙන්ද කරනු එකතුකර ගත්තේය. ඒ ඇසුරෙන් පසුගිය සියවසේ (1900) මීගමුව නගරය පැවති ආකාරය ගැන චිත්‍රයක් මෙන් ඇදිය හැකි  තොරතුරු රාශියක් අපිට සොයාගත හැකිවිය. එකී තොරතුරු පිලිබදව යමක් ලියා තැබීමට සිත්වූයේ අද සිටින පරම්පරාවට එම ප්‍රදේශය ගැන යම් අදහසක් ඇතිකර ගැනීමටත්, මතු දවසක පරිගණක තාක්ෂණය ඇසුරින් පැරණි මීගමුව නගරය ප්‍රතිනිර්මාණය කරගැනීමට කිසිවෙක් උන්නදුවන්නේ නම් ඒ සදහා ප්‍රයෝජනවත්වන නිසාත්ය. එවැනි පරිගණක ප්‍රතිමානයක් මීගමුව නගරයේ පැරණි විභූතිය යලි මතුකරනවා පමණක් නොව අද ඇති කිසිදු රසයක් , කලාවක් නැති කොන්ක්‍රීට් කුණු ගොඩවල්වලට වඩා කෙතරම් ආකර්ශණීයද, චමත්කාරජනකද යන්න ගැන මොනවට කියාපායි. 

ලැබී ඇති තොරතුරු අනුව දැන් මහවීදිය පල්ලිය ඉදිරිපිට ඇති 'හකොට්ස්' පාමසිය ලෙස හදුන්වන පාමසිය පිහිටි තැන කලින් තිබී ඇත්තේ මෙයට වඩා විශාල 'මෙඩිකල් ස්ටෝස්' නම් පාමසියය. පාර පලල් කිරීමට යැමේදී එම ගොඩනැගිල්ලෙන් විශාල ප්‍රමාණයක් කඩා ඉවත්කර ඇත. ඇත්තවශයෙන්ම, 'මෙඩිකල් ස්ටෝස්' (medical store) පාමසියට වඩා විශාල ගොඩනැගිල්ලක් ඊට පෙර එහි තිබී ඇත. එය 'ඩේවිඩ් ස්ටෝ' (David stores) හෙවත් 'ඩේවිඩ් සාප්පුව' නමින් හැදින්වූ බවක් කියවේ. එම ව්‍යාපාරය දකුණු ඉන්දීය ව්‍යාපාරික පවුලකට අයත්ව තිබී ඇත. පසුව 'මෙඩිකල් ස්ටෝස්' (medical store) බවට පත්වූ එකී 'ඩේවිඩ් සාප්පුව' ඉදිරිපිට තිබි ඇත්තේ මීගමුවේ 'රික්ෂෝ' (Rickshaw) රථගාලය. 

එකී රික්ෂෝ රථගාලේ රික්ෂෝ රථ කිහිපයක් නතරකර තිබී ඇත. එම රික්ෂෝ රථ පදවා ඇත්තේ මලයාලම් ඉන්දියානු ජාතිකයන්ය. ඇතැම් රික්ෂෝ රථ රියදුරන්ගේ නම්ද මීගමුවේ ජේෂ්ඨ පුරවැසියන්ගේ මතකයේ තවමත් රැදී තිබේ. ලේච්චම්, ශිවන්, වේළු, කෝවින් සහ මුන්යාඩි එකී මතකයේ රැදුන නම්ය. මුන්යාඩි ප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු විය. ජුපිටර්ස් ක්‍රීඩා සමාජයට (Jupiter Sport Club) පෙර මීගමුවේ පැවති ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයක්වූ මීගමුවේ 'රේන්ජර්ස්' පාපන්දු ක්‍රීඩා සමාජයට (Rangers Football Club) ක්‍රීඩාකල මුන්යාඩි වම්පාදයෙන් දුරසිට දැලවෙත පාපන්දුව යොමුකිරීමට උපන් හපන්කමක් දක්වා තිබුවෙක් බව කියවේ. මෙකී 'රික්ෂෝ' (Rickshaw) රථකරුවන්ගෙන් ඇතමෙක් මීගමුව නගරසභාවේද කම්කරුවන් ලෙස සේවයකර ඇත. එකල මීගමුව නගර සභාව පැවතියේ තෙල්වත්ත හන්දියේ නොව නිවුස්ටෙඩ් බාලිකා විදුහලට දැන් අයත්වී ඇති පැරණි නගරසභා ගොඩනැගිල්ලේය. 

රික්ෂෝ රථගලාට පිටුපසින්, පැත්තකින්, කුඩා උද්‍යානයක් තිබී ඇත. මීගමුව නගරයේ  කුඩා උද්‍යානය කිහිපයක්ම තිබී ඇති නමුත් රික්ෂෝ රථගාල පිටුපස, මහවීදිය පල්ලිය ඉදිරිපිට පිහිටා තිබු කුඩා උද්‍යානය මාරගස්වලින් වටවූ හරිතවර්ණ උද්‍යානයක් විය. අද එහි උද්‍යානයක් දැකිය නොහැකි නමුත් මාරගස් කිහිපයක් පමණක් ඉතුරුව ඇත. කලින් කලට මලින් බරවෙන එකී මාරගස්වලින්වුවද අතීතයේ පැවති එකී  කුඩා උද්‍යානයේ සුන්දරත්වය අදද  හිතාගත හැක. 

රික්ෂෝ රථගාලට පසකින්, කුඩා උද්‍යානයට ඉදිරිපිටින් පිහිටා තිබුනේ ශා. සෙබස්තියන් ගොඩනැගිල්ලය. අපි පාසැල් යන සමයේ පවා පැවති මෙම ගොඩනැගිල්ල වැල්ලවීදිය පල්ලියට අයත්වූ දෙමහල් ගොඩනැගිල්ලක් විය. එහි සුප්‍රකට තොසේ කඩයක්ද, ඔරියන්ට් නමින් හැදින්වූ බාබර් සාප්පුවක්ද, කලකට පෙර සිනමා සගරා විකුණු කඩයක්ද විය. පැරණි ස්පාඤ්ඤ ගොඩනැගිලි නිර්මාණ ශිල්පය අනුව ඉදිකර තිබු මෙම ගොඩනැගිල්ල පසුව කඩා දැමු අතර අද එහි ඇත්තේ හිස් ඉඩමකි. දැන් එය රථගාලක් ලෙස භාවිතාකරයි. අතීතයේ පැවති සා. සෙබස්තියන් ගොඩනැගිල්ල මීගමුවට අහිමිවූ පැරණි ගොඩනැගිලිවලින් වැඩිම අවධානයක් දිනාගත් ගොඩනැගිල්ලකි. මෙම කුඩා වපසරිය මට නම් සිහිකැදවන්නේ යුරෝපයේ කොහේ හෝ කුඩා ටවුමක පෙනුමය. එවැනි කුඩා නගර කිහිපයක්ම මම ඉතාලියේ, ස්පාඤ්ඤ සහ පෘතුගාලයේ දැක තිබේ. අද මීගමුවේ ඇති කසිකබල් ගොඩනැගිලි හා සැසදීමේදී අතීත මීගමුව කෙතරම් නම් චමත්කාරජනකද? ඒගැන මෙම ලිපිය ඔස්සේ කියවිය හැක.

සා. සෙබස්තියන් ගොඩනැගිල්ලේ පසකින් ඇත්තේ විස්ත්‍රීන් මාවතය (Vistarini Road). එහි මුල්ම කඩය ලෙස කලින් පැවත ඇත්තේ ලොන්ඩරියකි. ෆ්‍රැන්සි අය්යාගේ ලොන්ඩරිය ලෙස හැදින්වූ මෙම ලොන්ඩරිය පවත්වාගෙන ගොස් ඇත්තේ ෆ්‍රැන්සි නම් තැනැත්තෙකි. ඊට පසකින් වලන්කඩයක් තිබී ඇත. නොන්නක්කාගේ වලන්කඩය ලෙස ලෙස හදුන්වා ඇත්තේ මෙම වලන් කඩය.  මෙකී වලන් කඩය කරගෙනගිය 'රෙද්ද-හැට්ටේ ඇදි, කළු සුරුට්ටු බොන' නොන්නක්කා වූකලී වෙන කිසිවෙකු නොව මීගමුව ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් ලෙස මෑතක් වෙනතුරැම කටයුතුකල, පසුගියදා මියගිය, සෝමදාස මහතාගේ ආදරණීය මෑණියන්විය. 

එකී වලං කඩයට එහායින් මීගමුව නගරසභාවට අයත්ව තිබු කුඩා ඉඩමක් තිබී ඇති අතර එහි පදිංචිකරුවන් කිහිපදෙනෙකුම සිට ඇත.  ටාසන් එහි එක්කෙනෙකි. පිරිමි දරුවන් 5දෙනෙකු සහ ගැහැණු දරුවෙකු විසු විල්ෆ්‍රට් පවුල තව එකකි. බස් රියදුරෙක්වූ එකී විල්ෆ්‍රට් මහතාට සිටි පිරිමි දරුවන් දරුවන් පස් දෙනා නම් නෙල්සන්, බබා, කෝසල, සේපාල, රූපස් නම්විය. රූපස් විවාහවී සිට ඇත්තේ ටාසන්ගේ අක්කා සමගය. එක් පිරිමි දරුවෙක් මීගමුවේ මාළු වෙළද පොලේ සේවයකර ඇත. බබා නමින් හැදින්වූ අනෙක් තරුණයා මීගමුවේ පැරණි 'නඩරාජා ටෝකීස්' නම් පැරණි චිත්‍රපටි ශාලාව තුල තරුණියකට ලිංගික අඩත්තේට්ටම් කිරීම නිසා විසි වසරකට සිරගතකර ඇත. රටපුරා පුවත්පත්වල මේ විස්තරය ලොකු අකුරින් පලවී ඇත්තේ 'මීගමුවේ චිත්‍රපටි ශාලාවක් තුල තරුණියක් දුෂණය කරයි' යනුවෙනි. එය එක්තරා ආකාරයකට නඩරාජා සිනමා ශාලාවට අපකීර්තියක්, ආරක්ෂාව පිළිබද අනතුරක් මතුකළ පුවතක් විය. මීගමුව සා.මරියා විදුහලේ සේවය කල, මීගමුවේ හිටපු (පත්කල) මන්ත්‍රී ජෝන් රොද්‍රිගු (Joseph Emmanual John Rodrigo) මහතාගේ බෑනා කෙනෙකුවූ, කිංස්ලි ඩී කෲස් (Kingsley de Croos) මහතා මෙම ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාව බැංකු ණයක් මගින් මිලට ගෙන එය 'මීගමුව කිංග්ස්' සිනමා ශාලාව ලෙස නම් කරන ලදී. මෑතකදී එය වසාදමන තුරුම ‘නඩරාජා ටෝකීස්’ සිනමාශාලාව හැදින්වුයේ 'මීගමුව කිංග්ස්' සිනමා ශාලාව ලෙසය. මීගමුවේ පැරණි සිනමා ශාලා ගැන මෙම යොමුවෙන් කියවන්න.  

ඉහතකී විල්ෆ්‍රට් පවුලේ තරුණයන් අතර සිටි වඩාත්ම ප්‍රකට චරිතය නෙල්සන් අමරසේකරය. කුලියාපිටිය සත්‍යවාදී ස්ටෝස් හී සේවයකළ නෙල්සන් අමරසේකර දක්ෂ ගායකයෙකි. ඔහු ගායනාකල ''වීදි පුරා, පාර අබ්බගාතයෝ'' නම් ගීතය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කර ඇත. කලක් ඉතා ජනප්‍රියව පැවති මේම ගීතය සොයාගැනීමට මම යම් උත්සහයක් දරමින් සිටී. නෙල්සන් අමරසේකර විවාහවී සිට ඇත්තේ ස්ටීවන් නම් මීගමුව මහවීදියේ රෙදි වෙළදාමේ යෙදුන වෙළද ව්‍යාපාර කල තැනැත්තෙක්ගේ දියණිය වූ නීටා සමගය. මීගමු හිරගෙදර සේවය කල මීගමුවේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයෙක්වූ නන්දසේන ඔවුන්ගේ නෑයෙක්විය. රෙදි-කෝට් ඇදි 'ස්ටීවන් මාමා' ලෙස හැදින්වූ මෙම තැනැත්තාගේ පුතා පසුව ගුරුවරයෙක් ලෙස විභාග සමත්වී රජයේ ගුරු වෘත්තීයට එක්වී ඇත. එම නිසා මහන්සිවී යහපත් ව්‍යාපාරයක් කරමින් දරුවන් හොදින් ඇතිදැඩිකර, ඔවුන් රජයේ රැකියාවලට යොමුකරවන මාදිලියේ සාර්ථකත්වයක් ලැබූ පුද්ගලයෙක් ලෙස රෙදි-කෝට් ඇදි 'ස්ටීවන් මාමා' මීගමුව මහවීදියේ නමක් දිනාගත් ව්‍යාපාරිකයෙක්ව සිට ඇත


විස්ත්‍රීන් මාවත මහවීදිය පාරට වැටෙන කෙලවරේම පිහිටි කඩය කල 'කාක්කා' ස්ටීවන් මාමා ගේ විලෝමය නියෝජනය කර ඇත. 'ස්ටීවන් මාමා' මහවීදියේ පරමාදර්ශී ව්‍යාපාරිකයෙකු ලෙස සැලකේ නම් 'කාක්කා' එහි සම්පුර්නයෙන්ම නරකට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුවිය. කාක්කා කරගෙන ගිය කඩය 'කාක්කාගේ කඩය' ලෙස හැදින්වූ අතර එහි විවිධ ද්‍රව්‍ය විකුණීමට තිබු නැති දෙයක් නැති කඩයක්විය. එහෙත් එම කඩය වඩා ප්‍රසිද්ධව ඇත්තේ ගංජා විකිණීම සම්බන්ධවය. ගංජා විකිණීම නීතිවිරෝධීවුවද, නිතර කොල්ලෝ කුරුට්ටෝ එම කඩයේ රෝද බැදගෙන සිටියද, කඩය පිටුපස කාඩ් ගසමින්, කැරම් ගසමින් තරුණයින් ඕනෑ තරම් සිටියද, මේ කඩේ ගංජා විකුණන බව සියල්ලෝම දැනසිටියද, කාක්කා කිසිදු බලපෑමකින් තොරව සිය ව්‍යාපාරය කරගෙන ගොස් ඇත. 1950-1980 දක්වා පැවති මෙකී ව්‍යාපාරිකයා පරම්පරා කිහිපයක මීගමු තරුණයින් ගැවසුන තැනකි. වයසට ගොස් සිය ව්‍යාපාරය විකුණා දමන තෙක්ම කාක්කා සිරගතවීමකින් තොරව සිය ව්‍යාපාරය කරගෙන ගියබව කියවේ. 

ඉන් එහාට තිබී ඇත්තේ ප්‍රනාන්දු සහෝදරයින්ගේ සපත්තු කඩය (Fernando brothers shoe shops). එය මීගමුවේ සා.මරියා විදුහලේ ඉංග්‍රීසි ඉගැන්වූ කොන්ස්ටන්ටයින් ප්‍රනාන්දු ගුරුවරයාට අයත්විය. 

ඉන් ඉදිරියට පැවති ව්‍යාපාර ස්ථාන කිහිපයක්ම අයත්ව තිබී ඇත්තේ මීගමුවේ ඩී කෲස්(de Croos)වරුන්ටය. මීගමුවේ ප්‍රබල ව්‍යාපාර ප්‍රජාවක්වූ ඩී කෲස් (de Croos) පරපුර බර්ත ජන ප්‍රජාවට අයත්විය. මීගමුව නගරය තුල මෙන්ම කොළඹ නගරයතුලත් ප්‍රබල ව්‍යාපාරික ප්‍රජාවක් වශයෙන් මෙන්ම ප්‍රකට දානපතීන් ලෙසද ඔවුන් ලබාදුන් දායකත්වය වෙන්නම ම සාකච්ඡා කලයුතුය. මීගමුව නගර මධ්‍යයේද ඔවුන්ට විශාල දේපොලක් උරුමව පැවතුනි. මහවීදිය පල්ලිය වැට මායිමේ තිබු ප්‍රකට කෲස් මාර්කට් (Croos Market) ගොඩනැගිල්ල අයත්ව තිබුනේ ජෝන් ලියෝ ඩී කෲස් මහතාටය (John Leo de Croos). මෙලෙස මීගමුව මහවීදියේ මෙන්ම මීගමුව නගරයේ පැවති ඩී කෲස් වරුන්ගේ සහ බර්ත ජනයාගේ වෙනත් බොහෝ ව්‍යාපාරික ගොඩනැගිලි විවිධ ව්‍යාපාරිකයින්ට බදු දී තිබු අතර ඇතැම් ව්‍යාපාර ඔවුන්ගේ ජනයා විසින්ම සිදුකරගෙන යමින් තිබුණි. මේසේ බදු දී තිබු එක් ගොඩනැගිල්ලක මීගමුවේ පැවති ප්‍රකට බේකරියක්වූ සොයිසා බේකරිය පවත්වාගෙන ගොස් ඇත. පානදුරේ පිරිසක් විසින් කරගෙන ගිය මෙකී බේකරිය පාන් නිෂ්පාදන සම්බන්දයෙන් විශාල ප්‍රසිද්ධියක් ඉසිලීය. 

ඊට යාබදව පැවතියේ නිගම්මු ප්‍රින්ටස් (Negombo Printers) සහ නිගම්බු (Negombo Toyshop) ටෝයිෂොප් ආදිය අයත්ව තිබුනේද අරුල් බෙනඩික් (Arul Benedict) නම් ලාංකික දෙමළ ව්‍යයාපරිකයෙකුටය. එම ගොඩනැගිල්ලේ එක් කෙරවලක අබ්දුල් රහිමාන් නම් සිංහල බෙහෙත් බඩු කඩයක් තිබී ඇත. ඒ අලියා මරිකාල් බෙහෙත් බඩු කඩයට අමතරවය. මදන මෝදක විකිණීම එහි එක් වෙළද ද්‍රවයකි. එය මෙකී බෙහෙත් බඩු කඩවලට හොද ආදායමක් ගෙන දුන්නකි.

එම ගොඩනැගිල්ලේ අනෙක් කෙරවලේ තිබී ඇත්තේ අම්බිගා ස්ටෝස් නම්  තුනපහ, කුළු බඩු ආදී ද්‍රව්‍ය විකුණු කඩයකි. එකල සත 10යකට ඌරුමස් ගොඩක් ගන්නා (රාත්තල්, කිලෝ වශයෙන් මෙන්ම ගොඩවල්  වශයෙන්ද මස්, මාළු විකුණීම අදද මීගමුවේ දැකිය හැක්කකි) මීගමුවේ ජනයා කුළු බඩුගැනීමට පැමිණ ඇත්තේ මෙකී අම්බිගා ස්ටෝස් නම් කඩයටය. සත 5ක් ඒ සදහා හොදටම ප්‍රමාණවත්වී ඇත. සත 5ක් දුන්විට, සත 4කට කුළු බඩුගෙන සතයක 'මීබෙටි' හෙවත් 'සූදුරු සීනි බෝල' කෑමට ළමුන් පුරුදුවී සිටිබව මාගේ පියා කියනු මම අසා ඇත.    

ගෝමස් වෙළද සැල Gomez's Shop and Confectioneries පිහිටා තිබී ඇත්තේ එකී ගොඩනැගිලිවලට මුහුණලා පාරෙන් අනෙක් පැත්තේය. ඒ අසලම ඇපෝතිකරි (Apothecary) නම් තවත් වෙළද සැලක් පිහිටා තිබී ඇත. මීගමුවේ ජනයාට දෙස් විදෙස් ඉස්තරම් කෑම, බීම,  චීස්, බිස්කට් චොකලට් අදිය විකිණීම සදහා මෙකී වෙළද සැල් දෙකම විශාල ප්‍රසිද්ධියක් ඉසිලීය. 

මා මේ සියළු කරුණු එකතු කරනුයේ ඉතිහාසය යනු හුදෙක් ගොඩනැගිලි සහ සිද්ධීන්වලට ලඝුකොට දක්වනවා වෙනුවට එම යුගයේ ජීවත්වෙන ජනයාගේ එදිනෙදා ජීවිතවලටද යම් අරුතක්ගෙන දීම සහාය. එක් ජායාරූපයක් ඔස්සේ අපි මතුකර ගත් කරුණු මීගමුව නගරයේ බොහෝ පැතිකඩවල් විවර කිරීමට සමත්විය. තවත් ලිවිය යුතු, ලිවිය හැකි දෑ බොහොමයකි. දැනට මෙතනින් නවතමි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
18/05/20. 





10 comments:

  1. Happy to read, we should know about Negombo as we are living here, thank you for very valuable article.

    ReplyDelete
  2. Mr Constantine is my grand father (Fernando brothers shoe shop), thank you for mention him on your post

    ReplyDelete
  3. There was an old Gomez Liquor shop in Kandy, Peradeniya Road, it was belongs to Negombo Gomez Liquor Shop. (1900- 1985..)

    ReplyDelete
  4. Thanks for the very vital information about history of Negombo. I am from Negombo.

    ReplyDelete
  5. wonderful and insightful read! I Commute to Negombo on a regular basis and this has shed more light on the colorful history that lays unexplored. top job hands down!

    ReplyDelete
  6. Thank you for sharing this article. Love it

    ReplyDelete