This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 5 May 2020

ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුව - පළමුවෙනි කොටස


ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්වූ දේව මාතාවන්වන මරියතුමිය පිලිබදව කතෝලික සභාව තුල ඇත්තේ ඉතා පුළුල් කතිකාවකි. දේවධාර්මික (theological), දෘෂ්ටිවාදී (ideological), දර්ශනවාදී (philosophical) සහ තවත් පැතිමාණයන් රාශියකින් ජුවලිත කරන ලද එකී කතිකාව මරියතුමිය පිළිබද අචල භක්තියකට සහ විශ්වාසීය යැදුමට  කිතුනුවන් රැගෙනයයි. එහෙත් මරියබැතිය ගැන හෝ දේව මාතාවන් පිළිබදව හෝ අඩුම තරමින් දේවමාතාවන්වන මරියතුමියව ගෞරවපුර්වක පුදන විවිධ දේවමාතා නාමයන් පිලිබදව හෝ සිංහල භාෂාවෙන් තවමත් සාකච්ඡාවී ඇත්තේ ස්වල්පයකි, පලව ඇත්තේද එයිනුත් ඉතා අල්පයකි.  විශේෂයෙන්ම දේව මාතාවන් පුදන මේ මැයි මාසය තුල ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඒ සදහා ඒ සදහා යම් උත්සහයක් දරා ඇත. 'දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ' සාකච්ඡා කිරීමට එතුමා මුලපුරා ඇත. පහතින් දැක්වෙන්නේ දිනපතා පලවන එකී සාකච්ඡාවේ ලිපි එකතුවකි. එහි ඇත්තාවූ අනගි වටිනාකම සලකා එකී සාකච්ඡාව කොටස් වශයෙන් මෙහි  පලකිරීමට මම අදහස් කලෙමි. පහතින් පලවෙන්නේ ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ එකී සටහන්වල එකතුවකි.

******************************************************      

දේව මාතාවන්ට කතෝලික සභාව තුල ඇත්තේ ඉතා සුවිශේෂ වූ ස්ථානයකි. ඒ නිසාම දේව මාතාවන්ට කැප කරමින් විවිධ දේව මාතා නාමයන්ගෙන් ගොඩ නැගුණු දේවස්ථාන ලෝකය පුරා ලක්ෂ ගණනාවක් බිහිවී ඇත. ඒ බොහෝ නාමයන් පිළිබද අපට ඇත්තේ ඉතා අල්ප දැනුමකි. ඒ නිසාම මෙම මැයි මාසය තුල, දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ ඔබ සමග බෙදා ගන්නට මම සිතුවෙමි. ඉදින් එක් දිනයකට එක් නාමයක් පිලිබදව ඉගෙන ගන්නට මා සමග එකතු වන්නට මම ඔබට ඇරයුම් කරමි. ඔබට දැන ගන්නට කැමති විශේෂ දේව මාතා නාමයන් ඇත්නම්, ඒ පිලිබදව මා හට දන්වන මෙන්ද ඉල්ලමි.මැයි 01 සිට හමුවෙමු අපි දේව මාතාවන් ගැන වැඩියෙන් දැනගන්නට.

මැයි මාසය මල් මාසයයි. මැයි මාසය විශේෂයෙන්ම දේව මාතාවන්ට කැපවූ මාසයයි. ඉස්සර මැයි මාසය පුරාවටම ගමේ පල්ලියට ඇවිදින්, හැමදාකම ජපමාලය කියමින්, මැයි නුවානය කරමින් අවසානයේ මැයි මංගල්‍යය පවත්වපු හැටි අප හැමදෙනාගේම මතකයේ තවමත් රැදී ඇත. අප ගිය පාසලේ,හැම පන්ති කාමරයකම ලස්සන මණ්ඩපයක් තනා එය මලින් සරසා දේව මාතාවන්ගේ ප්‍රතිමාව එහි මැයි මාසය පුරාවටම ස්ථාපිත කර තැබූ අයුරු තවමත් අප මතකයේ රැදී ඇත.පාසල් දැන් වැසි ගොහින්ය.ගමේ පල්ලියට යාමට තවමත් හැකියාවක් නැත.එනමුදු අපේ පුංචි නිවහන හැමදාකම දෙවිදුන් යදින,දෙවිදු වදනට සවන් දෙන, දෙවිදුනට ප්‍රශංසා කරන පුංචි පල්ලියක් බවට පත්වී ඇත. එක පල්ලියක් වැහුනද,තවත් පල්ලි සිය ගණනක් ඇරී ඇත. ඔබේ සෑම නිවසකම දේව මාතාවන්ගේ ප්‍රතිමාවක් ඇතැයි මම විශ්වාස කරමි. එබැවින් ඔබේ නිවහනේ දේව මාතාවන් සදහා මණ්ඩපයක් සාදා සෑම දිනකම මේ මැයි මාසය පුරාවටම මැයි නුවානය කරන මෙන් ආදරයෙන් ඉල්ලමි. මණ්ඩපය සැදීම සදහා ඔබේ දරුවන් යොදා ගන්නා මෙන්ද ඉල්ලමි. මේ විනාශකාරී මොහොතේදී අපට ඇත්තේ දෙවිදු සරණය පමණි. කානා නුවරදී අසරණවූ නිවහන වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ මැදිහත්වූ දේව මාතාවෝ, මේ මොහොතේදීද අසරණවූ අප නිවහන වනුවෙන් මැදිහත් වන බව මගේ විශ්වාසය ය. මැයි නුවානය පැවැත්වීමට හැකි පිළිවෙල මෙසේය. 1.ශුද්ධාත්ම ගිය.2.ජපමාල පංති 5 (සෑම පන්තියකටම පෙර විශේෂ ඉල්ලීමක් වෙනුවෙන් යදින්න).3.දවසට නියමිත දේව වචනය.4. දේව මාතා ප්‍රාර්ථනය .5.දේව මාතාවන්ට ගීතිකාව. මැයි මස අවසානයේදී අප හැම දෙනාටම නැවතත් සිනාසෙන්නට පුළුවන් දවසක් උදාවෙන බව මගේ විශ්වාසය ය.මැයි මස අවසානයේ අප හැමදෙනාම එකතු වී මැයි මංගල්‍යය ද සමරන්නට හැකි වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මෙම සටහන ඔබට හැකිනම් අන් අය සදහාද SHARE කරන මෙන් සෙනෙහෙවන්ත සිතින් ඉල්ලන්නෙමි. ජේසු පිහිටයි.ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.

1. නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }. 
===============================================
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. දේව මාතාවන් ශු.ආනා මුනිතුමියගේ කුසෙහි පිලිසදගත් විටදී කිසිම පාපයක් නොමැතිව පිලිසිදගත් බව මේ තුල ප්‍රකාශ වේ. මෙය ශු.කතෝලික සභාවේ දේව මාතාවන් පිලිබදව ඉගැන්වෙන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශ සතර (Dogmatic Proclamations) අතරින් එක් ප්‍රකාශයකි. වර්ෂ 1854 දී IX වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් Ineffabilis Deus නැමැති විශ්වාසයේ ප්‍රකාශනය තුල මරිය මාතාවෝ ජන්ම පාපයෙන් නිදොස්වී මව් කුසෙහි පිලිසිදගත් බව ප්‍රකාශ කරන ලදී. එවක් පටන් ඕතුමියගේ මෙම මංගල්‍යය දෙසැම්බර් 08 වන දින කතෝලික සභාවේ සමරන්නීය. වර්ෂ 1830 දී ප්‍රංශයේ ශු. කැතරින් ලැබොරේ( Catherine Laboure) මුනිවරිය විසින් දුටු, ලෝක ගෝලය මත දෑත විහිදාගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශණය පුදුම පදක්කම නිර්මාණය වීමට හේතු පාදක විය.අප බොහෝ දෙනෙක් පැළදගෙන සිටින එම පුදුම පදක්කමේ ඇති බලය ගැන අපි දනිමු. එ ලෙසම මෙම නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමා වල අනෙක් විශේෂ කාරණය වන්නේ දේව මාතාවන්ගේ පයට පෑගුණු සර්පයාය. සර්පයා පාපයේ සංකේතයයි.පාපය නැසුවේ මරියාවන්ගේ කුසින් බිහිවූ ගැලවුම්කරුවාණෝ යි. (උත්පත්ති 3:15) හි මෙය සදහන් වේ. එබැවින් නිර්දෝෂ පිලිසිදීමේ මාතාවන්ගේ ප්‍රතිමාව තුල ගැබ්ව ඇති පණිවුඩය නම් ලෝකය ගලවා ගැනීම සදහා මුලික වශයෙන්ම දේව මාතාවන්ද විශේෂ කාර්යයක් ඉටු කල බව සහ ඒ සදහා දෙවියන් වහන්සේ ඇයව මව් කුසයේ බිහිවන්නටත් ප්‍රථම තෝරා ගත් බවය. නිර්දෝෂ දේව මාතාවන් අද දිනදී අපව කැදවන්නේ තවමත් ලෝකය තුල ඇති අදුර,පාපය දුරුකරනු සදහා දෙවිදුන්ගේ සේවක සේවිකාවන් වන්නටය. 'නිර්දෝෂ දේව මාතවෙනි අප නිසා යාච්ඤා කළ මැනව. ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා.(01/05/2020) 

2. "දේව මාතාවෝ." - Mary, Mother of God- THEOTOKOS.
============================================
මරියාවන් සදහා කතෝලික සභාවේ බහුලව භාවිතා වන නාමය, මෙම නාමයයි . මරියතුමිය 'දේව මාතාවන්' {THEOTOKOS} ලෙස පිළිගැනීම කතෝලික සභාවේ මරියාවන් පිලිබදව ඇති දෙවන විශ්වාසයේ දේව ධාර්මික ප්‍රකාශය(Dogmatic Proclamation )වේ. ජේසු බිලිදාණන් වඩාගෙන සිටින ප්‍රතිමා හෝ පින්තූර වලින් හුවා දැක්වෙන්නේ මරියාවන් පිලිබදව ප්‍රකාශවන මෙම නාමයයි. මෙම නාමයට දිගු ඉතිහාසයක් ඇත. තුන්වන ශත වර්ෂය අවසානයේ පටන් විවිධ පුද්ගලයින් විසින් මෙම නාමය මරියාවන් සදහා භාවිතා කර ඇති බව ඉතිහාසය තුල ඉතා පැහැදිලිය. නමුත් කොන්ස්තන්තිනෝපල් හි නෙස්ටෝරියස් (ක්‍රි.ව.386-450) විසින් ජේසුට මනුෂ්‍යත්වයක් හා දේවත්වයක් ඇති නමුත් මරියාවන් විසින් ලොවට බිහි කලේ මනුෂ්‍යත්වය පමණක් බවත් ඒ නිසාම මරියාවන් 'දේව මාතාවන්' නොව 'ක්‍රිස්තු මාතාවන්' ලෙස පමණක් හැදින්විය යුතු බව ප්‍රකාශ කරන ලදී. ඔහුගේ මෙම මත වාදය බොහෝ දේව ධර්මවාදීන් විසින් ප්‍රතික්ෂේප කල අතර එහි පෙරමුණේ සිටියේ ඇලෙක්ස්සැන්ද්‍රියාවේ සිරිල් ( ක්‍රි.ව.376-444) ය. නෙස්ටෝරියස් ගේ මතවාදය ප්‍රධාන වශයෙන් ශු.ලියවිල්ල තුල අඩංගු වී ඇති දෙවිදාණන්ගේ මාංශගතවීම ප්‍රතික්ෂේප කරන ප්‍රකාශයක් විය. සභාවේ විශ්වාසයේ ඉගැන්වීම් පිලිබදව ඇතිවූ මෙම තත්වය නිසා ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සදහා සභා මුලිකයන් තුර්කියේ එෆේසස් (Ephesus ) නුවර එකතු වූ අතර එය කතෝලික සභාවේ 3 වන මන්ත්‍රණ සභාව විය.1වන මන්ත්‍රණ සභාව ජෙරුසලෙම් මන්ත්‍රණ සභාවයි( ක්‍රියා 15). මෙම එෆේසස් මන්ත්‍රණ සභාවේ දීර්ඝ සාකච්චාවකින් පසුව ක්‍රි.ව.431 දී , ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු පුර්ණ වශයෙන් මනුෂ්‍යත්වය හා දේවත්වය ආරම්භයේ පටන්ම එකට බද්ධව පවතින තැනැන්වහන්සේ බවත්, මරියවන්ගේ කුසෙහි පිලිසිදගත්තේ ඒ තැනැන්වහන්සේ බවත්, ඒ නිසාම මරියාවන් 'දේව මාතාවන්' ලෙස ප්‍රකාශ කිරීම නිවැරදි බවත් ප්‍රකාශ කරන ලදී. මෙහිදී මරියාවන්ට දුන් විශේෂ නාමය 'THEOTOKOS' විය. මෙය ග්‍රීක වදනක් වන අතර එහි අරුත නම් THEO - දෙවියන්වහන්සේ. TOKOS උසුලන්නා,දරාගන්නා යන්නයි. එබැවින් THEOTOKOS යනු මරියාවන් පිළිබද ප්‍රකාශවූ විශ්වාසයේ ප්‍රකාශයක් පමණක් නොව, ක්‍රිස්තුස් වහන්සේ පිළිබදවද ප්‍රකාෂවූ විශ්වාසයේ ප්‍රකශයක්ද වේ. දේව මාතාවන් ධර්මයාණෝ තම කුසෙහි පිලිසිදගත් මොහොතේ පටන් කුරුසියේ මරණය දක්වා ජේසු සමිදුන් සමග බද්ධව සිටියාක් මෙන් අපටද ධර්මයාණන් සමග බද්ධව සිටිමින් එම ධර්මය ලොවට ප්‍රකාශ කරන්නට දේව මාතාවෝ අද අප කැදවන්නීය. මරියනී දේව මාතාවෙනී, අප නිසා යාච්ඤා කළ මැනවි. 


3. "කන්‍යාවන්ගේ කන්‍යාවෙනි" - Mary, Virgin of virgins. 
=========================================
දේව මාතාවන්ගේ කන්‍යාභාවය පිළිබද ඉගැන්වීම, මරියාවන් පිළිබද කතෝලික සභාවේ විශ්වාසයේ දේව ධාර්මික ඉගැන්වීම් සතර (Dogmatic Proclamations) අතර තවත් එක් ඉගැන්වීමකි. "බලන්න කන්‍යාවක් පිලිසිදගෙන පුත්‍රයෙකු බිහි කරන්නීය."(යෙසායා 7:14). මෙම දිවැසිවර ප්‍රකාශණය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශගතවීම තුල ඉෂ්ඨ සිදුවූ බව ඉතා පැහැදිලිය (ශු. මතෙව් 1:18-25,ශු.ලූක් 1:26-38). එමනිසා අපගේ විශ්වාස ලක්ෂණයේදී "උන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගේ අනුභාවයෙන් ගැබ බැස 'කන්‍යා' මරියාවන්ගෙන් උපන් සේක" යනුවෙන් අපි ප්‍රකාශ කරන්නෙමු. දේව මාතාවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට බිහි කරන්නට පෙරද, බිහි කල මොහොතේදීද, බිහි කිරීමෙන් පසුවද කන්‍යාවක් ලෙස ජීවත් වූ බව ශු. සභාව උගන්වන්නිය. මෙම ඉගැන්වීමට පාදක වන්නේ ප්‍රධාන වශයෙන්ම ඉතිහාසය පුරා ගොඩනැගුණු සභා විශ්වාසය හා සම්ප්‍රදායය. ශු.ජාකොබ් තුමාගේ සුවිශේෂයේ {Protoevangelium of James- මෙය පිළිගත් සුවිශේෂයක් ලෙස පිළිගන්නේ නැත. එමනිසා එය හදුන්වන්නේ Apocryphal Gospel ලෙසය. මෙම ග්‍රන්ථ නුතන බයිබලයට පසුව එකතු කරන ලද ග්‍රන්ථ වන අතර මේවා තහවුරු කරන ලද ග්‍රන්ථ ලෙස පිළිනොගැනේ} මරියාවන්ගේ කන්‍යාභාවය පිලිබදව ප්‍රබලව කතා කර ඇත. එලෙසම මුල් සියවස් හී බිහිවුණු සභා පියවරුන් වන අන්තියෝකියේ ඉග්නාෂියස් තුමා,ජස්ටින්, ඇලෙක්සැන්ද්‍රියාවේ ක්ලෙමන්ට් තුමා,ටර්ටුලියන්,ඔරිගන්,වැනි දේව ධාර්මික විශාරදයින් විසින් දේව මාතාවන්ගේ කන්‍යාභාවය පිලිබදව තම ලියැවිලි තුල ප්‍රබලව කථා කර ඇත. පෙරදිග ඔර්තොදොක්ස් සභාවන් (මෙම සභාවන් කතෝලික නොවන අතර ලොව බිහිවූ ප්‍රථම කිතුණු සභාවන් ලෙස ගණන් ගනු ලැබේ.) විසින් මරියාවන් හදුන්වනු ලබන්නේ "එයිපර්තෙනොස්" (Aeiparthenos) ලෙසය. මෙහි තේරුම 'සදහටම කන්‍යාවකි' යන්නයි. කුරාණයේ සදහන් වී ඇති එකම ස්ත්‍රී නාමය මරියාවන් ( මීරියම්) ගේ නාමය වන අතර එය 70 වරක් පමණ සදහන් වී ඇත. එලෙසම මරියතුමිය ගැන ලියැවුණු පරිච්චේද 9ක් පමණ කුරාණයේ අපට මුණ ගැසේ. මෙතරම් ප්‍රමාණයක් අපට ශු. බයිබලයේද මුණ ගැසෙන්නේ නැත. කුරාණයද ජේසුගේ පිලිසිදගැනීමේදී මරියාවන් තුළ තිබු කන්‍යාභාවය පිළිබද ප්‍රකාශ කර ඇත. ඉතිහාසය පුරාවටම කතෝලික සභාව විසින් මරියතුමියව "කන්‍යාවන්ගේ කන්‍යවෙනි" යන ශ්‍රේෂ්ඨ හා ශුද්ධවූ නාමයෙන් ආමන්ත්‍රණය කර ඇති අතර ඉන් කතෝලික සභාව ලොවට කියා දෙන්නේ එතුමියගේ ජීවිතය තුල ගැබ්වී තිබු පරිශුද්ධභාවයය. ලෝකය පුරාවටම අශුද්ධභාවය පිරි ඇති මෙවන් සමයක දේව මාතාවන් අපව කැදවන්නේ මෙම අශුද්ධභාවය දුරු කරන්නට අපට කල හැකි දේ කරන්නටය. "කන්‍යාවන්ගේ කන්‍යවෙනි - අප නිසා යාච්ඤා කළ මැනවි. (මෙම සටහන තුලින් ඔබ යමක් ඉගෙන ගත්තේ නම් අන් අයගේ දැනුම සදහාද මෙය ඔබට හැකිනම් SHARE කරන්න.) ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා. (03/05/2020) 

4. "ස්වර්ගරෝපිත මාතාවෝ" - The Assumption of Mary.
=========================================
මරියාවන්ගේ මෙලොව ජීවිතය අවසානයේදී ආත්ම හා ශරීරය පිටින් එතුමියව ස්වර්ගයට කැදවා ගත් බව මරියාවන් පිළිබද කතෝලික සභාවේ ඇති විශ්වාසයේ දේව ප්‍රකාශනයන් (Dogmatic Proclamations) සතර අතර ප්‍රකාශවන සතරවන දේව ප්‍රකාශනයයි. ජේසුගේ ස්වර්ගරෝහනයත් සමග මරියාවන්ට කුමක් සිදුවිනිද? ශුද්ධාත්ම ආගමනයේදී මරියාවන් ශ්‍රාවක සංගය සමග සේනාකුළු ශාලාවේ සිටි බව (ක්‍රියා 1:12-14) පැහැදිලිය. නමුත් ඉන්පසුව ඇයට සිදුවූ දේ පිලිබදව ශුද්ධවූ ලියවිල්ලේ කිසිවක් අපට මුණ නොගැසේ. ජේසුගේ මරණින් පසුව ඇය වසර 3 ත් 15 ත් අතර කාලයක් ශු.ජුවාම් ගෝලයා සමග ජෙරුසලමේ හෝ තුර්කියේ එෆේසස් ගමේ ජීවත්වන්නට ඇති බව සම්ප්‍රදාය තුල ගොඩ නැගී ඇති විශ්වාසයයි. එතුමියගේ මෙලොව ජිවිතයේ අවසානය පිළිබද ප්‍රධාන වශයෙන් මතවාද දෙකක් පවතී. පෙරදිග ඔර්තොදොක්ස් කිතුණු සභාවන්හී (Eastern Orthodox Churches) කිතුණුවෝ ඇය සදාකාලික නින්දකට යොමුවූ බවද, ඒ මොහොතේදී ක්‍රිස්තුස් වහන්සේ විසින් ඇයගේ ආත්මය ස්වර්ගයට රැගෙන ගිය බවත් අවසාන විනිශ්චය පැමිණෙන තෙක් තැන්පත් කර තබනු සදහා අගේ ශරීරය සුරදුතයින් විසින් මිහිමත ඇති පරදීසයකට රැගෙන ගිය බවත් විශ්වාස කරනු ලබති. අදටත් මරියාවන් සදාකාලික නින්දකට යොමුවූ බව පිලිබිබු කරන ප්‍රතිමාවක් ජෙරුසලමේ දැක ගත හැක. නමුත් කතෝලික සභාව ආරම්භයේ පටන්ම විශ්වාස කරනුයේ දේවමාතාවන් ආත්ම ශරීරය පිටින්ම දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයට කැදවා ගත් බවයි. මෙලොව අප සියලු දෙනාගේ ජීවිතය අප ජිවත් කරන විදිහ අනුව මරණයෙන් පසුව අපට ලැබෙන විපාකය කුමක්දැයි අපි කවුරුත් දනිමු. මෙලොව දෙවිදුන්ගේ වදන් ජිවත් කරන යහපත් දිවියක් ගත කරන සැමට මරණයෙන් පසුව ලැබෙන තිළිණය සදාතනික ජීවිතයයි. මරියාවන් දෙවිදාණන් ලොවට බිහි කලා පමණක් නොව උන්වහන්සේගේ කුරුසියේ මරණය තෙක්ද, ඉන්පසුවද ජේසු සමිදුන් සමග බද්ධව ජිවත් වූ බව ශුද්ධවූ ලියැවිල්ල තුල ඉතා පැහැදිලිය. මේ නිසා මරියාවන් ලැබූ තිළිණය දෙවිදුන් තුල උරුම වූ එම සදාතනික ජීවිතයයි. කතෝලික සභාව තුල ඉතිහාසය පුරා පැවතුනු මෙම විශ්වාසය නිල වශයෙන් XII වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් 1950 නොවැම්බර් මස 01 දින Munificentissimus Deus {මුනිෆිචේන්ටිස්මුස් ඩෙවුස්} නමැති ශුද්ධෝත්තම ප්‍රකාශය තුලින්, "මරියාවන් මෙලොව ජීවිතය අවසානයේදී ආත්ම ශරීරය පිටින් ස්වර්ගයිය සම්පත්තිය කරා දෙවියන්වහන්සේ විසින් කැදවා ගත් බව" ප්‍රකාශ කරන ලදී. එබැවින් මරියාවන්ගේ ස්වර්ගයට වැඩම කල මංගල්‍යය කතෝලික සභාව අගෝස්තු 15 දින ණය මංගල්‍යයක් ලෙස සමරන්නිය. මරියාවන් සේ අපද කෙදිනක හෝ මරණයෙන් පසුව උරුම වන සදාතනික ජීවිතය උරුම කරගැනීම සදහා ජේසු සමිදුන්ගේ වදන් ජීවත් කරන ජනතාවක් වන්නට එතුමිය අපව කැදවන්නිය. ස්වර්ගාරෝපිත මාතාවෙනී - අප නිසා යාච්ඤා කළ මැනවි. (මෙම සටහන තුලින් ඔබ යමක් ඉගෙන ගත්තේ නම් අන් අයගේ දැනුම සදහාද මෙය ඔබට හැකිනම් SHARE කරන්න.) ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා. (04/05/2020)


5. "නව ගිවිසුම් කරඬුවේ මාතාවෝ".(Mary the Mother of the New Covenent).
================================================
කතෝලික සභාවේ විශ්වාසයේ දේවධාර්මික ප්‍රකාශනයන් සතර හා බද්ධවූ, දේවමාතාවන් හා බැඳුණු නාමයන් පිළිබඳ මීට ඉහත මම පැහැදිලි කර දුන්නෙමි. අද පටන් අප පිවිසෙන්නේ ශුද්ධ ලියවිල්ල හා බද්ධ වූ දේව මාතාවන් හා බැඳුණු විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව ඉගෙන ගැනීමට ය. ඒ අතරින් අපට පළමුව මුණගැසෙන නාමය "නව ගිවිසුම් කරඬුවේ මාතාවෝ" යන්නයි. පාරාවෝගේ දේශයේ සිට පොරොන්දු දේශය තෙක් ඊශ්‍රායල් ජනතාව පැමිණි ගමනේ දී ඔවුන් ඔසවා ගෙන පැමිණියේ ගිවිසුම් කරඬුවයි. දාවිත් රජු ඊශ්‍රායලයේ අබු ගොෂ් නගරයේ සිට නටමින්, උඩ පනිමින් ,දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් ජෙරුසලම් නගරය දක්වා රැගෙන පැමිණියේ මෙම ගිවිසුම් කරඬුවයි. සොලමන් රජු විසින් ජෙරුසලමේ තැනූ දේව මාලිගාවේ අතී සුවිශුද්ධ තැන තැන්පත් කරන ලද්දේ මෙම ගිවිසුම් කරඬුවයි. ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට, ප්‍රශංසා කිරීමට ජෙරුසලම් දේව මාලිගාවට පැමිණියේ මෙම ගිවිසුම් කරඬුව එහි ස්ථාපිත කළ තිබූ නිසයි. එබැවින් පුරාණ ගිවිසුමේ 'ගිවිසුම් කරඬුව' යනු දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීමයි. මෙම ගිවිසුම් කරඬුව ඇතුළත තැන්පත් කර තිබූ විශේෂ භාණ්ඩ තුනක් හා දේවමාතාවන්ගේ ජීවිතය අතර ගැඹුරු සම්බන්ධතාවයක් ඇති බව දේවධර්ම විශාරදයෝ ප්‍රකාශ කරති.
1. .පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුව තුළ ගල්පුවරු මත කොටන ලද දෙවියන් වහන්සේගේ නීතිය තැන්පත් කර තිබූ අතර දේවමාතාවන්ගේ ගර්භාෂයේ තැන්පත් වූයේ දෙවියන් වහන්සේ වූ ශ්‍රී වචනයාණොය. "වචනය තෙමේ මාංශ ගත වුනේය" ( ජුවාම් 1:14).
2. පුරාණ ගිවිසුම් කරඬුව තුළ ඊශ්‍රායල් ජනතාව පාළුකරයේ දී ලත් මන්නා රත්තරනින් සෑදූ මංජුසාවක තැන්පත් කර තිබූ අතර, මරියාවන්ගේ ගර්භාෂයේ තැන්පත් වූයේ ජීවන දායක භෝජනය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. (ශු. ජූවාම් 6:22-59).
3. පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුව තුළ ඊශ්‍රායල් ජනතාව අතර පූජකයකු වූ ආරොන්ගේ යෂ්ටිය තැන්පත් කර තිබූ අතර මරියාවන්ගේ ගර්භාෂයේ තැන්පත් වූයේ උත්තම පූජකයාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ම ය.
එබැවින් මෙම කරුණු හුවා දක්වමින් දේවමාතාවන් "නව ගිවිසුමේ නව ගිවිසුම් කරඬුව" ලෙස කතෝලික සභාව හඳුන්වන්නී ය. ඉශ්රායෙල් ජනතාව ගිවිසුම් කරඬුව තුළ දෙවියන්වහන්සේගේ වැඩසිටීම අත් දුටු අතර, සමස්ත ලෝකයම දෙවියන්වහන්සේගේ වැඩසිටීම අත්දැක්කේ මරියාවන්ගේ කුසින් බිහි වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ය. "එම්මානුවෙල් යන්නෙහි තේරුම දෙවියන් වහන්සේ අප සමගය" (ශු. මතෙව් 1:23). පුරාණ ගිවිසුමේ ගිවිසුම් කරඬුව අද අප අතර නැත. එහෙත් මරියාවන් ලොවට බිහිකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානව අද අප අතර ඇත. දෙවියන් වහන්සේ අප අතරට රැගෙන ආ "නව ගිවිසුම් කරඩුවේ මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනවි" ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනගැනීම සඳහා මෙය හැකි නම් share කරන්න. ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම. (05/05/2020). 

6. "කානික්ක මාතාවෝ" ( The Mother of Presentation).
=======================================
බෝලවලාන අප දේවස්ථානය නම් කර ඇත්තේ කානික්ක මාතාවන්ටය. 'කානික්ක' යනු දෙමළ වදනක් වන අතර එහි තේරුම 'පඬුරු හෙවත් පුදන ලද' යන්නයි දේවමාතාවන්ට 'කානික්ක මාතාවෝ' යන නාමය ලැබෙන්නේ ශුද්ධවූ ලියවිල්ල තුළ දේවමාතාවන්ගේ ජීවිතය හා බැඳුණු විශේෂ සිද්ධියක් නිසාය. ජුදා සංස්කෘතිය තුළ දරු ප්‍රසූතිය සලකනු ලැබුවේ ගැහැණිය අපිරිසිදු වන මොහොතක් ලෙසය. එබැවින් දරු ප්‍රසූතියක් කළ සියලුම ජුදා ස්ත්‍රීහු මෝසෙස්ගේ නීතියට අනුව පිරිසිදු වීම සඳහා තම දරු ප්‍රසූතියෙන් දින හතළිහකට පසු දේව මාලිගාවට පැමිණ පරවියකු හෝ කොබෙයියකු පිදිය යුතු ව තිබූ බව ජුදා නීතිය තුල ලියවී තිබුණි. එලෙසම නිරෝගි දරු ප්‍රසූතියක් ලැබූ නිසා බැටලුවකු හෝ තවත් අමතර කොබෙයියකු හෝ පරවියෙකු දේව මාලිගාවේ පිදිය යුතු බව සම්ප්‍රදාය විය. එපමණක් නොව සෑම කුළුදුල් දරුවෙකුම සමිඳාණන් වහන්සේට කැප නිසා ලෙවී ගෝත්‍රයට අයත් නොවන සෑම කුළුදුල් දරුවකුම දේව මාලිගාවට රැගෙන ඇවිත් පිදිය යුතු බව ජුදා සම්ප්‍රදායේ අඩංගුව තිබූ නීතියක් විය. ( ලෙවී 12: 6 - 8). මෙහිදී දරුවා ෂෙකල් පහකට (ඊශ්‍රායලයේ භාවිතා වන මුදල් ක්‍රමය) දෙවියන්වහන්සේට 'විකුණන' ලදී. ඉන් ප්‍රකාශ වූයේ සියලුම කුලුදුල් දරුවන් දෙවියන් වහන්සේට අයිති බවය. (මෑතක් වන තුරු අප සමහර දේවස්ථාන වල මංගල්‍යයට පෙර යොදාගත් විශේෂ දිනයකදී එම දේවස්ථානයට අදාළ ශාන්තුවරයා ඉදිරිපිටදී දරුවන් 'විකුනීම' සිදුවිය).
ශු. ලූක් 2: 22 - 38 අනුව දේවමාතාවන් හා ශුද්ධ වූ ජුසේ මුනිතුමා තමන්ට උපන් කුළුදුල් දරුවා වන ජේසු සමිඳුන් යාවෙ දෙවිඳුන්ට කැප කිරීම සඳහා දේව මාලිගාවට රැගෙන ආ බව අපි දකින්නෙමු එබැවින් මෙම සිද්ධිය තුල කරුණු දෙකක් අපට පැහැදිලිය.
1. මරියාවන්ගේ පරිශුද්ධවත් වීම. ( The Purification of Mary.)
2. ජේසු සමිඳුන් ඔප්පුකිරීම ( The Presentation of Jesus).
සැබැවින්ම මෙම කරුණු දෙකම දේව මාතාවන් හා ජේසු සමිඳුන් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය කරුණු නොවීය. මන්ද දේවමාතාවන් ශු. ආනා මව්තුමියගේ කුස පිළිසිඳ ගත් මොහොතේ පටන් ශුද්ධවත්වූ, "විපුල ප්‍රසාද ලත්, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද ලත්" මාතාවයි (ශු. ලූක් 1/ 25 - 31). ඇයගේ මුළු ජීවිතය පුරාවටම එම ශුද්ධ භාවය ඇගේ ජීවිතයේ අඩංගු වී තිබුණි. එලෙසම ජේසු සමිඳුන් දෙවියන්වහන්සේට 'විකිණීමක්' හෝ පුද කිරීම අවශ්‍ය නොවීය මන්ද උන් වහන්සේ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා වූ බැවිනි. නමුත් දේවමාතාවන් හා ශුද්ධවු ජුසේ මුනිතුමා මෝසෙස්ගේ නීතිය හෙවත් යුදා සම්ප්‍රදාය ඉටු කිරීමට පැමිණීම තුළ ප්‍රකට වන්නේ ඔවුන් තුළ තිබූ බැහැපත්කම හා දේව වචනය කෙරෙහි තිබූ කීකරුකම ය. මෙය ජේසු සමිඳුන් දේව මාලිගාවට පිවිසි පළමු අවස්ථාව විය. එසේම මෙහිදී ඊශ්‍රායලීය විමුක්තිය අපේක්ෂාවෙන් සිටි සිමියොන් දිවැසිවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ 'මෙසීයා' හඳුනාගත් නිසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බව අපි දකින්නෙමු. මෙම සිමියන්ගේ ප්‍රශංසා ගීය හඳුන්වන්නේ Nunc Dimittis ලෙස ය. (මරියාවන්ගේ උදාන ගීය Magnificat වන අතර සකරියස්තුමා ගැයූ ප්‍රශංසා ගීය Benedictus ) වේ. සිමියොන් දිවැසිවරයා මෙන්ම ආනා දිවැසිවරියද ජේසුස් වහන්සේ තුළ මෙසියා බිහිවීම හඳුනාගත් බවත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ බවත්,ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය.
එබැවින් මෙම සිද්ධිය පළමුව තුන්වන ශතවර්ෂයේ දී මුල්ම කිතුණු සභාව විසින්, ජෙරුසලමේ සිටි කිතුනුවන් විසින්, දේව බිළිඳුන් ශාස්ත්‍රවන්තයන් ට ප්‍රකාශ වී දින 40කට පසුව සමරන ලදී. ඉන්පසුව 6 වන ශත වර්ෂයේදී මෙය බයිසන්ටයින් සම්ප්‍රදාය කරා විහිදුණු අතර රෝම සම්ප්‍රදාය තුළ එය ආරම්භ වූයේ හත්වන ශත වර්ෂයේදීය. මෙම මංගල්‍යය ''සමිදුන් පුදදුන් මංගල්‍ය' හෙවත් 'කානික්ක මංගල්‍යය' ලෙස පෙබරවාරි 2 වනදා සමරනු ලැබේ. තම කුසින් උපන් දරුවා දෙවියන් වහන්සේට පුද කරමින් දෙවියන්වහන්සේ තුළ එම දරුවා. ගොඩනැගුවා සේ, දේවමාතාවන් අපවද කැඳවන්නේ අපේ සෑම දරුවකුම දෙවියන් වහන්සේට පුද කරමින් ඒ සෑම දරුවෙකුගේම ජීවිතයේ අයිතිය දෙවියන් වහන්සේට භාර කරමින්, දෙවියන් වහන්සේ තුළ එම ජීවිත ගොඩ නඟන්නට ය. "ශුද්ධ වූ කානික්ක මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනවි". 

ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැන ගැනීම සඳහා ද මෙම සටහන හැකි නම් share කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(06/05/ 2020). 

******************************************************

ඉහත ලිපියේ  කතෘත්වය සහ අයිතිය ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා  සතුබව කරුණාවෙන්  සලකන්න.

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/05/2020 

No comments:

Post a Comment