This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 1 June 2020

ගරු.ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියන දේව මාතාවන් පිළිබද ලිපි එකතුව- අවසාන කොටස

දේවමාතාවන්වන  මරියතුමියට කැපකළ  මැයි මාසයේ දින 31 පුරාවටම ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ''දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත්'' සාකච්චාකරණ ලිපිපෙළක් ලියා පළකළේය. මෙතෙක් අප බොහෝ දෙනෙකු නොදත් කරුණු රාශියක් අන්තර්ගතවු එකී ලිපිවල එකතුවක් මෙම බ්ලොග් අඩවිය කොටස් වශයෙන් පළකරන්නට විය. මෙහි පලවෙනුවේ පස්වෙනි  හෙවත්  එහි අවසාන  කොටසය. මෙම ලිපි එකතුවේ මුල්ම කොටසවූ  මැයි 01දා  සිට 07 දක්වාවූ ලිපිවල  එකතුව ඉකුත් මැයි මස 05වෙනිදා පලවිය. එය මෙම යොමුවෙන් කියවිය හැක. මැයි 8 සිට 13 දක්වාවූ ලිපිවල එකතුවවූ දෙවන කොටස 13/05/ 20 බදාදා පලවිය. දෙවන කොටස මෙම යොමුවට පිවිසීම ඔස්සේ කියවිය හැක. තුන්වන කොටස වූ මැයි 14 දින සිට මැයි මස 19 දක්වා එතුමා ලියු ලිපිවල එකතුව පසුගිය මැයි 19වෙනි අගහරුවා පලවිය. තුන්වන කොටස මෙම යොමුව ඔස්සේ කියවිය හැක.  මැයි මස 20දා සිට මැයි මස 25දා දක්වා ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ලියු ලිපිවල එකතුව හතරවන කොටස යටතේ පලවිය. එය මෙම යොමුවෙන් කියවිය හැක. ''දේවමාතා බැතිය හා සම්බන්ධව පවතින විශේෂ භක්ති අභ්‍යාසයන් හා බැඳුණු දේව මෑණියන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව'' වූ සාකච්චාව  හතරවන කොටස තුලදී ''ලෝකයේ විවිධ රටවල් වල ඇති විශේෂ ස්ථාන හා බැඳුණු දේවමාතාවන් ලත් විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව'' දැනුවත් කිරීම දක්වා යොමුවිණි.  එම  සාකච්චාවේ අවසන පරිසමාප්තිය  සටහන්  කරමින් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව"  පිලිබදව  අප දැනුවත් කරමින් ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා මසක් පුරා ලියූ මෙම ලිපිපෙළ  අවසාන කරයි. දහසකුත්  එක්ක  වැඩ රාජකාරී  අතරතුර  අපව  දැනුවත් කිරීමටත්,  මරිය බැතියෙන්  අප ජුවලිත කිරීමටත් ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා දැරූ මෙම උත්සහයට අපි  අනේකවාරයක්  ස්තූතිවන්ත වෙමු.  

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියන්වූ දේව මාතාවන්වන මරියතුමිය පිලිබදව කතෝලික සභාව තුල ඇත්තේ ඉතා පුළුල් කතිකාවකි. දේවධාර්මික (theological), දෘෂ්ටිවාදී (ideological), දර්ශනවාදී (philosophical) සහ තවත් පැතිමාණයන් රාශියකින් ජුවලිත කරන ලද එකී කතිකාව මරියතුමිය පිළිබද අචල භක්තියකට සහ විශ්වාසීය යැදුමට කිතුනුවන් රැගෙනයයි. එහෙත් මරියබැතිය ගැන හෝ දේව මාතාවන් පිළිබදව හෝ අඩුම තරමින් දේවමාතාවන්වන මරියතුමියව ගෞරවපුර්වක පුදන විවිධ දේවමාතා නාමයන් පිලිබදව හෝ සිංහල භාෂාවෙන් තවමත් සාකච්ඡාවී ඇත්තේ ස්වල්පයකි, පලව ඇත්තේද එයිනුත් ඉතා අල්පයකි. විශේෂයෙන්ම දේව මාතාවන් පුදන මේ මැයි මාසය තුල ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා ඒ සදහා ඒ සදහා යම් උත්සහයක් දරා ඇත. 'දේව මාතාවන්ට ලබා දී ඇති එක එක නාමයන් පිලිබදවත්, ඒ නාමයන් සමග බද්ධව ගොඩ නැගුණු ප්‍රතිමා හෝ පින්තූර පිලිබදවත්, ඒ නාමයන් පසුපස ඇති ඉතිහාසය හා දේව ධාර්මික ඉගැන්වීම පිලිබදවත් කෙටියෙන් හෝ' සාකච්ඡා කිරීමට එතුමා මුලපුරා ඇත. පහතින් දැක්වෙන්නේ දිනපතා පලවන එකී සාකච්ඡාවේ ලිපි එකතුවකි. එහි ඇත්තාවූ අනගි වටිනාකම සලකා එකී සාකච්ඡාව කොටස් වශයෙන් මෙහි පලකිරීමට මම අදහස් කලෙමි. පහතින් පලවෙන්නේ ගරු ටෙරන්ස් බෝදියබදුගේ පියතුමාගේ එකී සටහන්වල එකතුවකි. 

******************************************************

26. "මෙජගෝරිහී මාතාවෝ" Our Lady of Medjugorje". 
=======================================
ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රදේශවල, විවිධ පුද්ගලයින්ට, විවිධ කාලයන්හි, දේවමාතාවන් දර්ශනය වී ඇති බව ප්‍රකාශ වේ. එනමුත් ඒ සියලු දේවමාතා දර්ශනයන් නිල වශයෙන් කතෝලික සභාව පිළිගන්නේ නැත. දේවමාතා දර්ශනයක් සත්‍ය බව නිල වශයෙන් කතෝලික සභාව පිළිගනු ලබන්නේ විවිධ ක්ෂේත්‍රයන්හි දීර්ඝ අධ්‍යනයකින් පසුව පමණි.

එනමුදු කතෝලික සභාව තුළ නිල වශයෙන් එම දේවමාතාදර්ශනයන් නොපිළිගත්තද, එවැනි යම් සිදුවීමක් සිදුවූ විට කතෝලික හා කතෝලික නොවන ජනතාව එවැනි ස්ථාන කරා ඇදී එන බවත්, ඒ එන ජනතාවගේ ජීවිත තුළ දෙවියන් වහන්සේගේ විශේෂ ප්‍රාතිහාර්යයන් සිදුවී ඇති බවත්, ඉතිහාසය තුළ අපි දකින්නෙමු.

මෙලෙස තවමත් කතෝලික සභාව නිල වශයෙන් නො පිළිගත් නමුත්, මහ ජනතාවක් නිරතුරුවම ඇදී එන සහ බොහෝ දෙනෙකු දේවමාතාවන්ගේ මැදිහත් බව තුළ දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය අත් දැක ඇති විශේෂ ස්ථානයක් ලෙස 'මෙජගෝරිය' හැඳින්විය හැක.
1981 ජුනි 24 බොස්නියාවේ හෙර්සෙගොවිනා (Herzegovina) හී පද්බ්‍රොදෝ (padbrodo) කඳු මුදුනට ගිය නව යොවුන් තරුණියන් දෙදෙනෙකු වූ මිර්ජානා ඩ්‍රැගිචෙවිච් (Mirjana Dragicevic) හා ඉවන්කා ඉවන්කොවිච් (Ivanka Ivankovic) හට දරුවෙකු වඩාගෙන සිටි මවක් දර්ශනයවී ඇත. ඒ කවුරුන්දැයි ඇයගෙන් ඔවුන් විමසූ විට තමන් දේවමාතාවන් බවත්, විශේෂ දූත කාර්යයක් සඳහා ඔවුන්ව තෝරාගෙන ඇති බවත් මරිය මාතාවන් ප්‍රකාශ කර ඇත.

පසුදින මෙම දියණියන් දෙදෙනා තමන්ගේ යහළුවන් දෙදෙනෙකු වූ අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic) හා ජැකොව් කෝලෝ (Jakov Colo) ද, යෙහෙළියන් දෙදෙනෙකු වූ මරිජා පවියෝවිච් (Marija Paviovic) සහ විකා ඉවන්කොවිච් (Vicka Ivankovic) සමග එම කඳු මුදුනට ගොස් ඇති අතර එදින ද මෙම නව යොවුන් දරුවන් හය දෙනාටම දේවමාතාවන් දර්ශනය වී ඇත. ඉන්පසුව දිනපතාම වසර ගණනාවක් යනතුරු දේවමාතාවන් ඔවුන්ට දර්ශනය වී ඇති අතර, තවමත් දේවමාතාවන්ගේ දර්ශනය දකින, දැනට වැඩිහිටියන් බවට පත් වී ඇති කිහිප දෙනෙකුම ඔවුන් අතර සිටින බව ප්‍රකාශ වේ.

මෙම සෑම දර්ශනයකදී ම දේවමාතාවන් ඉල්ලා සිටියේ නොකඩවා යාච්ඤා කරන ලෙසත්, නිරාහාර ශීලය රකින ලෙසත්, පශ්චාත්තාපී ක්‍රියාවන් වල නිරත වන ලෙසත්ය.

මෙම ආරංචිය ලැබුණ විට මුලින්ම කතෝලික සභාව එකහෙලාම මෙය ප්‍රතික්ෂේප කළ අතර එම ස්ථානයට වන්දනා ගමනක් ලෙස යාම පවා තහනම් කරන ලදි. නමුත් 2017 මැයි 13 දින ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් විසින් මෙජගෝරිහී ගැඹුරු යාඥාවන් සිදුවන නිසාත්, ජීවිත වෙනස් වන නිසාත්, ප්‍රාතිහාර්යයන් පවා එහිදී අත්දකින නිසාත්, මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකළ යුතු අතර ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට කතෝලික සභාව යොමු විය යුතු බව ප්‍රකාශ කලේය. දැනට එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක කතෝලික සභාව නිරතව සිටින්නීය.

එසේම 2019 මැයි දොළොස් වෙනි දා මෙම ස්ථානයට වන්දනා ගමන් යාමට කතෝලික සභාව නිල වශයෙන් අවසර ලබා දෙන ලදී.
මෙම දේව මාතා දර්ශනයන් ලැබූ 6 දෙනා පිළිබඳ වර්තමාන තත්ත්වය ගැන දැන ගැනීම යහපත් යයි සිතමි

1). ඉවන්කා ඉවන්කොවිච් (Ivanka: Ivankovic). 
1966 ජූනි 21 ඉපදී ඇති අතර මුලින්ම දේව මෑණියන් දර්ශනය වූයේ ඇයටය. 1985 මැයි 7 තෙක් අයට දිනපතා දේවමාතාවන් දර්ශනය වූ අතර රහස් 10ක් ඇයට ලබාදී ඇත. 1985 මැයි 7 න් පසුව වසරකට වරක් ජූනි මස 25 වන දින දේවමාතාවන් ඇයට දර්ශනය වන බවට පවසා ඇති අතර ඇයට ලබාදී ඇති මූලික දූත කාර්යය වන්නේ පවුල් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී ඇති ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

2). මිර්ජානා ඩ්‍රැගිචෙවිච් (Mirjana Dragicevic). 
1965 මාර්තු 18 උපන්න ඇයද ඉවන්කා මෙන් 1981 ජුනි 24 දේවමාතා වන් දුටු දියණියකි. 1982 දෙසැම්බර් 25 තෙක් දිනපතා දර්ශනයන් ඇයට ලැබුණු අතර, ඇයට ද රහස් 10 ම ලබා දී ඇත. සෑම මසකම 2 දින ඇය දේවමාතාවන් සමග දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාඥා කරනු ලබන බව කියැවේ. දැනට විවාහ වී සිටින ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය ලබා ඇති විශේෂ කැඳවීම වන්නේ දෙවියන් වහන්සේ විශ්වාස නොකරන අය වෙනුවෙන් යාච්ඤා කිරීමය.

3). ජැකොව් කෝලෝ (Jakov Colo)
1971 මාර්තු 06 ඉපදී ඇති ඔහුට 1981 ජූලි 25 තෙක් දේව මාතාවන් දිනපතා දර්ශනය වී ඇත. ඔහුට ද වසරකට වරක් නත්තල් දින දේවමාතාවන් දර්ශනය වන බව පැවසෙන අතර ඔහුව කැඳවා ඇත්තේ රෝගීන් වෙනුවෙන් යාච්ඤා කිරීමට ය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි

4). අයිවන් ඩ්‍රැගිචෙවික් (Ivan Dragicevic). 
1965 මැයි 25 ඉපදී ඇති ඔහුට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බව කියැවේ. ඔහුට රහස් 9ක් ලබා දී ඇත. ඔහුට ලබා දී ඇති විශේෂ කැඳවීම නම් තරුණ දරුවන් සහ ගරු පූජාප්‍රසාදිවරුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. දැනට විවාහ වී සිටින ඔහු දරුවන් හතර දෙනෙකුගේ පියෙකි.

5). විකා ඉවන්කොවිච් (Vicka Ivankovic).
1964 සැප්තැම්බර් 9 ඉපදුනු ඇයට තවමත් දිනපතා දේවමාතාවන් දර්ශනය වන බවත් රහස් 9ක් ඇයට ලබාදී ඇති බවත් ප්‍රකාශ වේ. රෝගීන් වෙනුවෙන් විශේෂයෙන්ම යාඥා කරන ලෙස කැඳවා ඇත. ඇය විවාහ වී ඇති අතර දරුවන් දෙදෙනෙකුගේ මවකි

6). මරිජා පවියෝවිච් (Marija Paviovic). 
1965 අප්‍රේල් 01දා ඉපදුණු ඇයට ද දිනපතා දේවමාතාවන් තවමත් දර්ශනය වන බව කියැවේ. ඇය තුළින් තම මීසමට ද, මුළු ලෝකයටම ද දේවමාතාවන් විශේෂ පණිවුඩ ලබා දෙන බව පැවසේ. රහස් 9ක් ඇයට ලබා දී ඇත. ශුද්ධගිනිස්ථානයේ ඇති ආත්මයන් වෙනුවෙන් යදින්නට විශේෂයෙන්ම ඇයව කැඳවා ඇත. ඇයද විවාහ වී ඇති අතර දරුවන් හතර දෙනෙකුගේ මවකි.

දේවමාතාවන් දර්ශනය වූ විට එතුමියගෙන් ඔවුන් නැගූ ප්‍රශ්නය වන්නේ "ඇයි ඔබ ඔය තරම් ලස්සන?" යන්නයි. "මා මෙතරම් ලස්සන වී ඇත්තේ මා ආදරය කරන නිසයි. ඔබත් ලස්සන වීමට අවශ්‍ය නම් ආදරය කරන්න" යන්න දේවමාතාවන්ගේ පිළිතුර විය. ලෝකය අද අසුන්දර වී ඇත්තේ, අවලස්සන වී ඇත්තේ, ආදරය නොමැති නිසයි. මිනිසුන් මිනිසුන්ට ආදරය කරන්නට පටන් ගන්නා දිනයේදී මුළු ලෝකයම, ලෝකය ආරම්භයේ දී තිබූ සුන්දරත්වයෙන්, ලස්සනින් පිරී යනු ඇත. "මෙජගෝරිහී මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව".
මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(26/05/2020).
27. "පාතිමාවේ මාතාවෝ" - Our Lady of Fatima". 
===================================
ලූර්දු මාතාවන් මෙන්ම අප රට තුළද ඉතා ප්‍රචලිත වූ දේවමාතා බැතියක් වන්නේ 'පාතිමාවේ මාතාවන්' වටා ගොඩනැගුණු දේවමාතා බැතියයි. පෘතුගාලයේ ලිස්බන් අගනගරයේ සිට කිලෝමීටර 110 පමණ ඈතින් පිහිටි පාතිමා නගරයේ ඇති මෙම සිද්ධස්ථානය ලෝකය පුරා විසිරී සිටින කෝටි සංඛ්‍යාත කතෝලික හා කතෝලික නොවන බැතිමතුන්ගේ ආදරය දිනාගත් ශුද්ධවූ සිද්ධස්ථානයකි.

1910 වසන්ත සෘතුවේදී ලුසියා දොස් සන්තොස් ( Lucia dos Santos), ෆ්‍රැන්සිස්කෝ (Francisco) හා ජසින්තා මාර්තෝ (Jacinta Marto) යන දරුවන් තිදෙනා 'කෝවා ද ඉරියා' ( Cova da Iria) යන ස්ථානයේ බැටළුවන් බලමින් සිටින විට දේවදූතයෙක් තෙවරක් ම දර්ශනය වූ බවත්, දේව දූතයා තමන් 'සාමයේ දේව දූතයා' සහ 'පෘතුගාලයේ ආරක්ෂක දේවදූතයා' ලෙස හඳුන්වා දුන් බවත් ප්‍රකාශ විය. එසේම යාඥාව, පරිත්‍යාගය සහ සත්ප්‍රසාද වන්දනාව සඳහා දරුවන්ට යොමුවන ලෙස එම දරුවන්ගෙන් දේව දූතයා ඉල්ලා ඇති බව කියැවේ. පාතිමාවේ සිදුවූ දේවමාතා දර්ශනයන්හි ආරම්භය මෙය විය.

නැවතත් 1917 මැයි 13 වනදා ඉහත කී ස්ථානයේදීම එම දරුවන් තිදෙනාට දේවමාතාවන් දර්ශනය වී ඇත. හිරුටත් වඩා අති සුන්දර වූ දීප්තියකින් බැබළුණු ඇය ශුද්ධවු ත්‍රිත්වයට ජීවිතය කැප කරන ලෙසත්, යාඥාවට යොමුවන ලෙසත් ඉල්ලා සිටියාය. එම කාලය පළමුවන ලෝක යුද්ධය පැවතුණු සමයක් විය. ලෝක යුද්ධය අවසන් වීම සඳහා ජපමාලය උච්චාරණය කිරීමට සියලු දෙනා යොමු විය යුතු බව ඇය ප්‍රකාශ කරන ලදී.

නැවතත් 1917 ජූනි 13 වන දින දෙවන වරටත් දේවමාතාවන් මෙම දරුවන් තිදෙනාට දර්ශනය වී ඇති අතර, නිරය පිළිබඳව දර්ශනයක් එවිට ලබා දී ඇත. එසේම ෆ්‍රැන්සිස්කෝ සහ ජසින්තාව මෙලොව ජීවිතයෙන් ඉතා ඉක්මනින් කැඳවා ගන්නා බවත්, දේවමාතාවන්ගේ 'නිර්මල හෘදයේ බැතිය' ලොව පුරා පතළ කරනු සඳහා ලුසී ජීවත් විය යුතු බවත් දේවමාතාවන් දෙවන දර්ශනයේ දී ප්‍රකාශ කර ඇත.

මෙම දර්ශනයන් පිළිබඳව ප්‍රදේශය පුරා ප්‍රචලිත වූ අතර වැල නොකැඩී ජනතාව එම ස්ථානයට පැමිණ ඇත. නමුත් දරුවන් තිදෙනාගේ එම ප්‍රකාශයන් නිසා සමාජය කැළඹෙන බව චෝදනා කොට ඇති එම ප්‍රදේශය භාරව සිටි ආණ්ඩුකාරවරයා වන ආතර් සන්තොස් (Artur Santos), දරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. එබැවින් එම මාසයේදී දේවමාතාවන් අගෝස්තු 13 දර්ශනය නොවූ අතර දර්ශනය වූයේ අගෝස්තු 19 දින 'වැලින්හොස්' ( Valinhos) නැමැති ස්ථානයේ ය. ජපමාලය උච්චාරණය කරන ලෙස ඇය එවිට ද ඔවුන්ගෙන් ඉල්ලා සිටියා ය. එසේ ම ඔක්තෝබර් 13 දින විශේෂ ලකුණක් ලබාදෙන බව ඇය ප්‍රකාශ කොට ඇත.

1917 ඔක්තෝම්බර් 13 පාතිමාවේ සිදුවූ ප්‍රාතිහාරය හඳුන්වනු ලබන්නේ 'හිරුගේ ප්‍රාතිහාර්යය' (Miracle of the Sun) ලෙසය. දේවමාතා දර්ශනය පිළිබඳව ආරංචිය කණ වැකුණු පනස් දහසකට අධික පිරිසක් එම ස්ථානයේ රැස්ව සිටි අතර මහා වර්ෂාවක් ඒ මොහොතේ කඩා වැටී ඇත. නමුත් වර්ෂාව හමාර වීමත් සමගම අහසේ තිබුණු කළු වලාකුළු අතරින් මතු වූ සූර්යයා විවිධාකාර ලෙස අහස මත චලනය වන්නට පටන් ගෙන ඇත. මුළු පරිසරයම දේදුන්නක හැඩය කින් සහ අමුතුම වර්ණ වලින් පිරී ගොස් ඇත.

දරුවන් තිදෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වික්ෂෝප දේව මාතාවන්, කාර්මෙල් දේවමාතාවන්, ශුද්ධ වූ ජුසේ මුනිඳුන්, රැස්ව සිටි ජනතාව ආශිර්වාද කරන අයුරු දැක ඇත. මෙම ප්‍රාතිහාර්යය දෑසින්ම දුටු බොහෝ පිරිසක් ඒ අතර සිටි අතර පාතිමා පුවත ලොව පුරා පතළ වන්නට පාදක වූයේ මූලික වශයෙන්ම මෙම ප්‍රාතිහාර්යයයි.

පාතිමා දර්ශනය හා බැඳුණු විශේෂ රහස් තුනක් පිළිබඳව ලෝකය කතා කරන්නට පටන් ගත්තේ ය. නිරයේ දර්ශනය දැකීම පළමු රහස බවත්, නිර්මල හෘදය ට ඇති බැතිය වර්ධනය කිරීම, රුසියාවේ සිත් හැරීම සඳහා යාඥා කිරීම හා පළමුවන සෙනසුරාදා දේවමාතා බැතියට යොමු විය යුතු දිනය ලෙස දෙවන රහස බවත්, ශුද්ධෝත්තම පියතුමෙකු ඝාතනය කිරීම තුන්වන රහස බවත් ප්‍රකාශ වුණි.

1930 දී එම ප්‍රදේශය භාරව සිටි රදගුරුතුමා විසින් පාතිමාවේ සිදුවූ සිද්ධීන් විශ්වාස කලයුතු සිද්ධීන් බවට මුල්වරට ප්‍රකාශ කරන ලදී. එසේම 'පාතිමාවේ ශුද්ධෝත්තම පියා' (Pope of Fatima) ලෙස හඳුන්වනු ලබන 12 වන පයස් ශුද්ධෝත්තම පියා විසින් 1946 මැයි 13 වන දින පාතිමාවේ ස්ථාපිත කර ඇති පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාවට ඔටුනු පලඳවන ලදී. එසේම ලුසී කන්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදි 1942 දෙසැම්බර් 8 වැනිදා එම ශුද්ධෝත්තම පියාණන් විසින් රුසියාව දේව මාතාවන්ගේ නිර්මල හෘදයට කැප කරන ලදී.

1981 මැයි 13 වනදා, එනම් පාතිමාවේ මංගල්‍යය දා, වතිකානුවේ දී ශුද්ධ වූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන්ට වෙඩි වැදුණු අතර උන් වහන්සේගේ දිවි ගැලවුණේ පාතිමා මාතාවන්ගේ මැදිහත් කම තුළ බව ප්‍රකාශ වුණි. ඒ නිසාම ශුද්ධවූ දෙවන ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියාණන් ලැබූ එම අත්දැකීමට පාතිමාවේ මාතාවන්ට ස්තූති කරමින් තම සිරුරේ තිබූ මූනිස්සම 1987 මැයි 13 වැනිදා පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාවේ ඇති රත්තරන් ඔටුන්නෙහි තැන්පත් කරන ලදී.

පාතිමා මාතාවන් මුළු ලෝකයම පළමු ලෝක යුද්ධය නිසා විනාශ වූ යුගයක දර්ශනය වීමෙන් පැවසුවේ සිදුවන විනාශයෙන් ගොඩ එන්නට නොකඩවා යාඥා කරන ලෙසය. විශේෂයෙන්ම ජපමාලය උච්චාරණය කරන ලෙසය. ජපමාලයෙන් ඈත්ව සිටි අප නැවතත් 'කෝවිඩ් 19' නිසා පවුලක් ලෙස ජපමාලය උච්චාරණය කිරීමට යොමු විය. නැවතත් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වූ විට, විනාශය තුළ අප ඉගෙනගත් ජීවිත පාඩම් අමතක කොට අපේ පරණ ජීවිතයට පිවිසෙමු ද? එසේ නොමැති නම් දේවමාතාවන් පැතූ ජීවිත වෙනස හැමදාම අපි ඇතිකර ගනිමු ද? නිරතුරු යාඥා කරන, ජපමාලය උච්චාරණය කරන පවුලක් බවට අපි පත් වෙමුද? 

"පාතිමාවේ මාතාවෙනි - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(27/05/2020).

28. "වේලක්කන්නි මාතාවෝ" (ආරෝග්‍ය මාතාවෝ) - Our Lady of Good Health".
==============================================
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ වේලන්කන්නි ගමේ ඇති 'වේලන්කන්නි මාතාවන්ගේ' සිද්ධස්ථානය හඳුන්වනු ලබන්නේ 'ආසියාවේ ලූර්දුව' ලෙසය. කතෝලික හා කතෝලික නොවන, විශේෂයෙන්ම හින්දු බැතිමතුන්ගේ ආදරය හා ගරුත්වය දිනාගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නිරතුරුව ඇදෙන වේලන්කන්නි මාතාවන් දෙමළ භාෂාවෙන් 'ආරෝක්කිය අන්නෙයි' ලෙසත්, සිංහල භාෂාවෙන් "ආරෝග්‍ය මාතාවන්" ලෙසත් හඳුන්වනු ලැබේ.

වේලන්කන්නි ගමේ ආරෝග්‍ය මාතාවන්ගේ එම සිද්ධස්ථානය ගොඩ නැගෙන්නට 16 වන හා 17 වන ශත වර්ෂයේදී සිදු වූ සිද්ධීන් තුනක් විශේෂ වශයෙන්ම බලපා ඇති බව පැහැදිලිය. මෙම සිද්ධීන් වාචික සම්ප්‍රදාය තුළ පැවත එන සිද්ධීන් ලෙස හැඳින්විය හැක.

1). ඉන්දියාව යනු යහමින් කිරි වලින් පෝෂිත වූ බිමකි. වර්ෂ 1570 දී පමණ එක්තරා දිනක ධනවතෙකු ගේ නිවසට දුප්පත් යොවුන් දරුවෙකු 'කිරි මෝරු' රැගෙන යමින් සිටියේය. ගමන තරමක් දුර බැවින් අතරමග තිබූ කුඩා පොකුණක් අසල තිබූ නුග ගසක් අසල විවේක ගැනීම සඳහා ඔහු නතරවිය. එවිට දරුවෙකු වඩා ගත් අම්මා කෙනෙකු දර්ශනය වී එම දරුවාට කිරි ස්වල්පයක් ඉල්ලා ඇත. මෙම කිරි මෝරු රැගෙන ගිය දරුවා තමාගේ භාජනයෙන් කිරි මෝරු වීදුරුවක් දර්ශනය වූ එම 'අම්මාට' ලබා දීමෙන් අනතුරුව ධනවතාගේ කිරිමෝරු ලබා දීමට ඔහුගේ නිවසට ගොස් ඇත. මගදී ඔහු මුහුණ දුන් සිද්ධිය මෙම ධනවතා ට දන්වා සිටි අතර පමාවිමට හේතුව එය බවත්, දරුවාට කිරි ලබා දුන් නිසා ඔහුගේ භාජනයේ කිරි අඩු වී ඇති බවත් දරුවා ධනවතාට දන්වා සිටියේය. නමුත් පුදුමයෙකි! භාජනයේ කිරි අඩු වෙනවා වෙනුවට පිරී ඉතිරී යන තරමට කිරි තිබී ඇත. මෙය ප්‍රාතිහාර්යක් ලෙස පතළ විය. මෙම ස්ථානයේදී කුඩා දෙව්මැදුරක් තනා ඇති අයුරුද,, එම පොකුණ මැදිකරගෙන ළිඳක් නැති තනා ඇති අයුරුද අද අපට දැකගත හැක.

2). වර්ෂ 1597 දී පමණ කකුල ආබාධිත ඇවිදීමට නොහැකි තවත් දරුවෙකු, කිරිමෝරු විකුණමින් සිටින ලදී. එවිට ඔහුට දැනුණු අව් රශ්මිය නිසා අසල තිබූ නුග ගසක් අසල විවේක ගැනීමට යොමු වී ඇත. එවිටද කුඩා දරුවකු වඩා ගත් මාතාවක් දර්ශනය වී ඇති අතර එම දරුවා මෙම ආබාධිත දරුවාගෙන් කිරි ඉල්ලා ඇත. ලෝභ නොවී තම භාජනයෙන් කිරි ලබා දුන් පසු, එම මාතාව විසින් 'නාගපට්ටම්' නැමැති ගමේ වෙසෙන කතෝලික මහතෙකු ළඟට යන ලෙසත්, මෙම දරුවාට දර්ශනය වූ එම ස්ථානයේ දේවමාතාවන්ට කැපවූ දෙව්මැදුරක් ගොඩනගන ලෙසත් ඉල්ලා සිටියාය. නාගපට්ටම් යාමට පය එසැවූ එම දරුවාට තමා ගේ කකුලේ ආබාධය සම්පූර්ණයෙන්ම පහව ගොස් සුවය ලබා ඇතැයි දැනුණි. ඒ සැනෙන් නාගපට්ටම් වලට දිව ගිය මෙම දරුවා එම ආරංචිය එහි සිටි කතෝලික පිරිසට ලබා දී ඇති අතර ඔවුන් පැමිණ එම ස්ථානයේ පොල් අතුවලින් "ආරෝග්‍ය දේවමාතාවන්" ට කැප වූ දෙව්මැදුරක් ගොඩනගා ඇත.

3). දාහත්වන සියවසේ එක්තරා දිනයකදී මැකව් සිට ශ්‍රී ලංකාව බලා ගමන් කරමින් තිබූ පෘතුගීසි නෞකාවක් බෙන්ගාල බොක්ක දී චණ්ඩ මාරුතයට අසු වී ඇත. එවිට නෞකාවේ සිටි සියලුම නාවිකයන් දේවමාතාවන්ට තමන් බේරා දෙන ලෙස කන්නලව් කර ඇති අතර, කිසිම උවදුරකට අසු නොවී ගොඩබිමකට සේන්දු වීමට හැකි වුවහොත් එම ස්ථානයේ දේව මාතාවන්ට කැපවූ දෙව්මැදුරක් ගොඩනගන බවට පොරොන්දු වී ඇත. සුළු වේලාවකට පසුව කුණාටුව නැවතී මුහුද නිශ්චල වී ඇත. නෞකාව වේලන්කන්නි ගමේ මුහුදු තීරයට ගසාගෙන පැමිණ ඇත. එවිට ගොඩ බිමට පැමිණි එම පෘතුගීසි නාවිකයින්ට පොල්අතු වලින් සෑදූ දේවස්ථානයක් මුණගැසී ඇති අතර එය ඉවත් කොට ඔවුන් දුන් පොරොන්දුව ඉටු කරනු සඳහා ගඩොලින් තැනූ දෙව්මැදුරක් එම ස්ථානයෙන් ගොඩ නගා ඇත. අද අප දෑසින් දකින වේලන්කන්නි බැසිලිකාවේ ආරම්භය මෙය වේ. එම නාවිකයින්ගේ එම ක්‍රියාව සිහිපත් කරනු සඳහා අදටත් දෙවස්ථානයේ දකුණු පසින් සිටුවා ඇති නැවක කුඹ ගසක් දැක ගත හැක.

වේලන්කන්නි හී සිදු වූ මෙම සිද්ධීන් කතෝලික සභාව නිල වශයෙන් පිළිගන්නේ නැත. නමුත් එදා පටන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම ස්ථානයට ඇදී එන නිසාත්, ගැඹුරු යාඥාවන් නිරතුරුවම සිදුවන නිසාත්, ජීවිත වෙනස් වීම් සිදුවන නිසාත්, ප්‍රාතිහාර්යයන් බොහෝමයක් සිදු වන නිසාත්, විසිතුන් වන ජුවාම් ශුද්ධෝත්තම පියාණන් විසින් වක්‍රාකාරව මෙම බිම ශුද්ධවූ බිමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

වේලන්කන්නි මාතාවන්ගේ ප්‍රතිමාව ලෝකයේ ඇති අන් සියලු දේවමාතා ප්‍රතිමා වලට වඩා වෙනස් වන්නේ එය නිරතුරුවම ඉන්දියානු සාරියකින් සරසා ඇති බැවිනි. වේලන්කන්නි මාතාවන්ගේ මංගල්‍යය සැප්තැම්බර් මස 8 දින කතෝලික සභාව විසින් සමරනු ලැබේ.

ජේසුස් වහන්සේ පන්දාහකට ආහාර දීමේ ප්‍රාතිහාර්ය තුළ අප දකින්නේ මාළු කුරියන් දෙදෙනා සහ රොටි පහ ළඟ තබා ගෙන සිටි දරුවාගේ පරිත්‍යාගී හදවතය. වේලන්කන්නි මාතාව හා සම්බන්ධයෙන් ද අප දකින්නේ දරුවන් දෙදෙනා තුළ තිබූ පරිත්‍යාගී හදවත් ය. පරිත්‍යාගය සිදු වන තැන දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්ය අදත් සිදුවේ. බදාගෙන ජීවත් වන්නට වෙර දරන අපහට බෙදාගැනීමේ ජීවිතය තුළ ඇතිවන ජීවිත ගොඩ නැගීම ගැන, ජීවිත වෙනස් වීම ගැන, වේලන්කන්නි මාතාවන් කියා දෙන්නීය. 

"වේලන්කන්නි මාතාවෙනී - අප නිසා යාච්ඤා කළ මැනව". ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 28/05/2020).
29. "කිරි ගල්ගුහාවේ මාතාවෝ" - Our Lady of the Milk Grotto".
=============================================
ශුද්ධවු දේශයේ වන්දනා ගමන්හී නිරත වන සියලු දෙනා අනිවාර්යෙන්ම බැහැදකින ස්ථානයක් ලෙස 'කිරි ගල් ගුහාවේ දේවමාතාවන්ගේ දේවස්ථානය' හැඳින්විය හැක. පලස්තීනයේ, බෙත්ලෙහෙමේ, ජේසු බිළිඳුන් උපන් ස්ථානයේ ගොඩනැඟී ඇති බැසිලිකාව ට (Basilica of Nativity) මීටර් 500ක් පමණ දුරින් මෙම දේවස්ථානය පිහිටා ඇත. මා දන්නා පරිදි ලෝකයේ මෙම නමින් ඇති එකම දෙව්මැදුර මෙය වන අතර මෙම නාමය එම ස්ථානයට ලැබී ඇත්තේ මරිය මාතාවන්ගේ ජීවිතයේ සිදුවූ එක්තරා විශේෂ සිද්ධියක් නිසා බව සම්ප්‍රදාය තුළ ප්‍රචලිත ය.

ජේසු සමිදාණන් බෙත්ලෙහෙමේ උපත ලැබූ බව ගව් ගණනාවක් ඈත සිටිය ශාස්ත්‍රවන්තයින් තිදෙනා අහසේ පෑයු තරුවක් තුළින් දැනගත් බව ශු. මතෙව් සුවිශේෂය තුළ සඳහන් වේ. ඔවුන් එම දරුවා උපන් තැන කොහේද? යන වගතුග සොයා පැමිණෙන්නේ හෙරොද්ගේ මාලිගාවටය. (ශු. මතෙව් 2: 1-12).

එලෙස ශාස්ත්‍රවන්තයින් ගේ පැමිණීමත් සමග රජෙක් උපන් ව ඇති බව දැනගන්නා හෙරෝද් රජු, අලුත උපන් එම දරුවා ඝාතනය කරනු සඳහා බෙත්ලෙහෙම හා ඒ අවට සිටි අවුරුදු දෙකක් හා ඊට බාල සියළුම පිරිමි දරුවන් මරා දැමීමට නියෝග කර ඇති බව ශුද්ධ ලියවිල්ල තුළ පැහැදිලිය. (ශු. මතෙව් 2:16-18).

මෙම ආරංචිය දැනගත් ශුද්ධවූ ජුසේ තුමා ජේසු බිළිඳාණන් හෙරොද්ගේ කඩු පහරෙන් බේරා ගැනීම සඳහා මිසරයට පලා යන්නට තීරණය කළේය. (ශු. මතෙව් 2 :13-15). එලෙස මිසරයට පලා යන අතරතුර දරුවාට කිරි ලබා දීමට නතර වූ තැන මෙම ගල් ගුහාවයි.

මෙම ගල් ගුහාවේ නැවතී මරිය මාතාවන් දරුවාට කිරි ලබා දෙන අතරතුර, හෙරොද්ගේ හේවායන් ළඟ ළඟම එන බව ආරංචි වූ විට ඇතිවූ තිගැස්ම නිසා මරිය මාතාවන්ගේ පියයුරුවලින් මව්කිරි ඉහිරී ගිය බවත්, එම මව්කිරි බිම පතිත වූ බවත්, මෙම ස්ථානය හා බැඳුනු කතා පුවත තුළ ප්‍රකාශ වේ.

මරියාවන්ගේ එම මව්කිරි බිම පතිත වීමත් සමගම මුළු ගල්ගුහාව ම සුදු පාට වර්ණයෙන් වර්ණවත් වී ඇත. අදටත් එම ස්ථානයට ගිය විට අප දකින්නේ සුදු පාට වර්ණයෙන් යුත් ගල් ගුහාවක්ය. මෙම සිද්ධිය නිසා එම ස්ථානය "මරිය මාතාවන්ගේ කිරි ගල් ගුහාව" ලෙස නම් කෙරුණි.
හතර වන ශත වර්ෂයේ පටන් මෙම ස්ථානය ශුද්ධවත් ස්ථානයක් බවට පතල විය. ජුදා, කතෝලික, කිතුනු, හා මුස්ලිම් ජාතික මව්වරුන් මෙම ස්ථානයට එම කාලයේ පටන්ම එන්නට පටන් ගෙන ඇති අතර ඔවුන් බොහෝදෙනා තම ජීවිතයේ විශේෂ ප්‍රාතිහාර්යයන් අත්දැක ඇත.

විශේෂයෙන්ම සමහරක් මව්වරුන්ට දරුවන් බිහි කළ පසු තම දරුවන්ට දීමට ඇති තරම් මව්කිරි තම පියයුරුවල එරෙන්නේ නැති විට, මෙම ස්ථානයට ගොස් මරිය මාතාවන්ට කියූ පසු එම මව්වරුන්ගේ පියයුරු මව් කිරිවලින් පිරී ඉතිරී ගොස් ඇති බව කියවේ.

එසේම දරුවන් නැති බොහෝ දෙනෙක් මෙතැනට විත් බාරහාර වීමෙන් පසුව එම සොහොයුරියන්ට දරුවන් ලැබී ඇති බවට සාක්ෂි එමට ඇත. එලෙස දරුවන් ලැබූ එම මවුවරුන්ගේ සාක්ෂි දරුවන්ගේ පින්තූර ද සමග දහස් ගණනින් එම ස්ථානයට ගිය විට අපට දැක ගත හැක. සිහල හා දමිළ භාෂාවෙන් ද ලියැවුණු ස්තුති කිරීම් මාගේ දෑසින් ම මා දැක ඇත.
එසේම පියයුරු සම්බන්ධයෙන් මතුවන යම් යම් ආබාධ වලදීද, මෙම ස්ථානයට පැමිණ බාරහාර වන සොහොයුරියන්, තමන් ලැබූ සුවය පිළිබඳව ද සාක්ෂි එමට ඇත.

එබැවින් මෙම ශුද්ධ වූ ස්ථානයේ පළමු දෙව්මැදුර ගොඩනැඟී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 385 දී තරමය. 7 වන ශත වර්ෂයේ පටන් මෙම කිරි ගල් ගුහාවේ යම් යම් කොටස් ශුද්ධවූ වස්තූන් ලෙස සලකා යුරෝපයේ සමහර රටවලට ගෙන ගොස් ඇත. ක්‍රිස්තු වර්ෂ 1375 දී එකොළොස් වන ග්‍රෙගරි ශුද්ධෝත්තම පියාණන් විසින් මෙම ස්ථානය 'ශුද්ධවූ ස්ථානයක්' ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත.

ක්‍රිස්තු වර්ෂ 1872 දී ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු පියවරුන් විසින් නව දෙව්මැදුරක් මෙම ස්ථානයේ ගොඩනැගූ අතර දැනටත් එම ස්ථානය භාරව සිටින්නේ ෆ්‍රැන්සිස්කානු නිකායේ ගරු පියවරුන් ය. කිරි ගල් ගුහාවේ මරිය මාතාවන්ගේ මංගල්‍යය ජනවාරි 2 වනදා සමරනු ලැබේ.
දරුවන් යනු දෙවියන් වහන්සේ තුළ ලබන මහා සම්පත් වේ. එනමුදු දරුවන් ලොවට බිහි වන්නට පෙර මවුකුසේ දී ම එම දරුවන් මරා දමන සමාජයක අපි වෙසෙන්නේමු. ධනවත් රටවල් බිලියන ගණනින් මුදල් යුධ අවි සඳහා වියදම් කරද්දී, කුසගින්න පුරවාගන්නට කිරි පොදක් නැතුව හඬන දරුවෝ අප අසලම සිටින්නෝය. මුළු ලෝකයම දරුවකුගේ ජීවිතයේ වටිනාකම තේරුම් ගෙන, එම ජීවිත සුරකින්නට මුළු ලෝකයම යොමු වන විට මෙම ලෝකය ජීවත් වන්නට සුදුසු සුන්දර තැනක් වනු ඇත. "කිරි ගල් ගුහාවේ මාතාවනි, අප නිසා යාච්ඤා කළ මැනව".

මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 29/05/2020).

30. "පුදුම පදක්කමේ මාතාවෝ" - Our Lady of the Miraculous Medal".
==============================================
කතෝලික අප බොහෝ දෙනකු අප ගෙල වටා පැළඳ ගෙන ඇති විශේෂ බොරලික්කමක් ලෙස 'මරිය මාතාවන්ගේ පුදුම පදක්කමේ' බොරලික්කම හැඳින්විය හැක. ඒ තුළ අපට ලැබෙන දේවමාතාවන්ගේ ආරක්ෂාව හා රැකවරණය ගැන අපි විශ්වාස කරමු.

1806 මැයි 02 දා ප්‍රංශයේ උපන් කැතරින් ලැබූරේ (Catherine Laboure) 'ශු. වින්සන් ද පවුලා මුනිතුමාගේ දයාවේ කන්‍යා සොයුරියන්' ගේ පැවිදි නිකායේ (Daughters of Charity of St. Vincent de Paul) ගරු කන්‍යා සොහොයුරියක් වූවා ය. 1830 ජූලි 18 රාත්‍රියේ දී කුඩා දරුවකු කතා කරන හඬ කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරියට ඇසුනු අතර, එම දරුවා විසින් ඇයට කන්‍යාරාමයේ දෙව්මැදුරට යන ලෙසත්, දෙව්මැදුරේ ඇය එනතුරු මරිය මාතාවන් බලා සිටින බවත් දන්වන ලදී.

ඇයට එලෙස මඟ පෙන්වූයේ ඇයගේ රැකවල් දේවදූතයා බව පසු කලෙක ඇය පැවසුවාය. එම හඬට ඇහුම්කන් දුන් කැතරින් ලැබූරේ කන්‍යා සොයුරිය කුඩා දෙව්මැදුරට ගිය අතර, එහිදී දේවමාතාවන් දර්ශනය වී ඇයව විශේෂ දූත කාර්යයක් සඳහා තෝරාගෙන ඇති බවත්, එම දූත කාර්යය කිරීමේ දී බොහෝ බාධාවන් මතුවන බවත්, නමුත් බිය නොවී ඉදිරියටම යා යුතු බවත් දන්වන ලදී.

ප්‍රංශයේ සහ මුළු ලෝකයේම අයහපත වර්ධනය වෙමින් පවතින නිසා විනාශයෙන් ගලවා ගැනීමට ඇය ඉදිරිපත් විය යුතු බව දේවමාතාවන් ඇයට ප්‍රකාශ කළාය. තවද මෙම පණිවුඩය ඇයගේ අධ්‍යාත්මික පියාට දන්වන ලෙසද, දේවමාතාව ඇයගෙන් ඉල්ලා සිටියාය.

1930 නොවැම්බර් 27 සවස දේවස්ථානයේ යාඥා කරමින් සිටිය දී නැවතත් දේවමාතාවන් කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරියට දර්ශනය වී ඇත. මෙම දර්ශනය ඉතා සුවිශේෂ දර්ශනයක් වන්නේ ඇයගේ දූත කාර්යය පිළිබඳ තොරතුරු සියල්ල ඇය ලැබුවේ මෙම දර්ශනය තුළ වන නිසාය.

වක්‍රාකාර රවුමක් තුළ, ලෝක ගෝලය මත සිටගෙන සිටින මරිය මාතාවන්ගේ දර්ශනය ඇය දුටුවාය. දෑතේ විවිධ මැණික් ගල් අල්ලපු මුදු මරිය මාතාවන් පැලඳගෙන සිටියාය. ඉන් සමහරක් මුදු දිලිසුනේ නැති නිසා ඒ ඇයිදැයි කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරිය විමසූ විට, එය මිනිසුන් විසින් තවමත් නොඉල්ලන ලද වරප්‍රසාද සංකේතවත් කරන බව පවසා ඇත.

වක්‍රාකාර රවුම තුල "O Mary conceived without sin, pray for us who have recourse to thee" යන්න ප්‍රංශ භාෂාවෙන් සනිටුහන් වී ඇති අයුරු ඇය දැක්කා ය. එහි තේරුම "නිර්දෝශ පිලිසිදගත් මරියනි, ඔබගේ උපකාරය පතන අප නිසා යාච්ඤා කළ මැනව" යන්නයි. ඔබේ ළඟ ඇති, ඔබගේ ගෙල වටා ඔබ පැළඳ ගෙන ඇති පුදුම පදක්කමේ මෙම වචන අදටත් ඔබට දැක ගත හැක.

එසේම දිස්වූ වක්‍රාකාර රාමුව තුළ තරු 12ක් ද, කුරුසිය හා කුරුසිය පාදමට තවත් හරස් ලී කඳක් බද්ධ වී විශාල ' M' අකුරක් හා සම්බන්ධව තියෙන අයුරු ද, කටු ඔටුන්නෙන් වටවුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හෘදය හා කඩුවකින් සිදුරු වී ඇති දේව මාතාවන්ගේ නිර්මල හෘදය ද ඇයට දර්ශනය විය.

ඇය දුටු මෙම සියලු සංකේත ඇයගේ අධ්‍යාත්මික පියා ළඟට රැගෙන යන ලෙසත්, ඒවා ඇතුළත් කොට බොරලික්කම් සාදා බෙදා හරින ලෙසත්, ඒවා පළඳින සියලු දෙනාට විශේෂ වරප්‍රසාද ලැබෙන බවත් දේවමාතාව කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරියට ප්‍රකාශ කළාය.
කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරිය ද ඇයට ලැබුණු පණිවුඩය තම අධ්‍යාත්මික පියා ට දැන්වූ අතර අවුරුදු දෙකකට පසුව අධ්‍යාත්මික පියා විසින් එය එම ප්‍රදේශය භාරව කටයුතු කරන අගරදගුරු තුමාට දන්වා සිටින ලදී. මෙම දර්ශනය පිළිගත් අගරදගුරුතුමා මෙම සංකේත අඩංගු පළමු බොරලික්කම පැරිසියේ ඒඩ්‍රියන් වෂෙත් (Adrian Vachette) නැමති රන්කරුවා විසින් නිර්මාණය කිරීම සඳහා යොමු කරන ලදී.

වර්ෂ 1832 දී ප්‍රංශය පුරා පැතිර ගිය කොළරා වසංගතය නිසා 20000ට අධික ප්‍රමාණයක් මිනිසුන් මියගිය අතර, මෙම පදක්කම් 2000ක් සාදා මුල්වරට පැරීසිය පුරා බෙදා හරින ලදී. මෙම පදක්කම් ලබාගත් අය සුව වූ බවත්, තවත් විශේෂ ප්‍රාතිහාර්යයන් මෙම පදක්කම් පැලඳූ අයගේ ජීවිතය තුළ සිදුවූ බවත්, ඉතිහාසය තුළ සඳහන් වේ. ඒ නිසාම මෙය පදක්කම "පුදුම පදක්කම" (Miraculous Medal) යන නාමය ලැබී ය.

1). පුදුම පදක්කමේ පළමු පැත්ත:
මරියාවන් ලෝකය මත සිටීම තුළ අය ස්වර්ගයට ඔසවා ගත් බව ද, ඇය දැන් විහිදා සිටීම තුල අපව තුරුල් කර ගැනීමට ඇය තුළ ඇති ආදරය ද, අප වෙත ඇයගේ උපකාරයද, දෑතින් විහිදෙන රැස් තුළින් දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඇය මැදිහත්වී අපට වරප්‍රසාද ලබා දෙන බවද ප්‍රකාශ වේ. තවද සර්පයා පාගාගෙන සිටීම තුළ සාතන් ඇය පරාජය කළ බව ද, (උත්පත්ති 3:15) ඇය වටා ඇති වැකිය තුළින් ඇය නිර්දෝෂ පිළිසිඳගත් මාතාව බවද කියැවේ.

2). පුදුම පදක්කමේ දෙවන පැත්ත:
' M ' අකුර තුළින් ඇය මරියාවන් සහ 'මැදිහත්කාරි' ( Mediatrix) බවත්, කුරුසිය තුළින් ලැබූ ගැළවීම හා එම කුරුසිය තිරස් කඳකින් M අකුර හා සම්බන්ධ වීම තුළින්, ගැලවීමේ ක්‍රියාවලිය තුළ ඇය ට ඇති සම්බන්ධතාවය හා කුරුස පාමුල සිටින අම්මා ඇය බවත් ප්‍රකාශ වේ. තරු 12, ගෝත්‍ර 12 සහ අපෝස්තුලුවරු 12 ද, එළිදරව්ව 12:1 හී සඳහන් වන මාතාව ඇය බව ද ප්‍රකාශ වේ.

මෙම පුදුම පදක්කම දර්ශනය දුටු කැතරින් ලැබූරේ කන්‍යා සොහොයුරිය 1876 දෙසැම්බර් 31 මියගිය අතර, දොලොස් වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් 1947 ජූලි 27 සාන්තුවර භාවයට ඔසවන ලදී. අදටත් මෙම සාන්තුවරිය ගේ නොදිරූ සිරුර දේවමාතාවන් එදා දර්ශනය වූ පැරිසියේ රියූ දි බක් ( Rue du Bac) දේවස්ථානයේ දැකිය හැක. පුදුම පදක්කමේ මංගල්‍යය නොවැම්බර් 24 සමරනු ලැබේ.

'පුදුම පදක්කම' යනු වාසනාව ගෙන දෙන තවත් පලඳනාවක් නොවේ. එය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසය සහ ගැඹුරු යාඥාව ප්‍රකාශ කරන ශුද්ධවූ පළඳනාවකි. දේවමාතාවන්ගේ ආදරය තුළින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ගැඹුරු සබැඳියාවක් ගොඩ නගාගන්නට සහ කුරුසියේ ගමනකට අපව කැඳවන බව ප්‍රකාශ කරන ශුද්ධවූ පලදනාවකි. පුදුම පදක්කම පළද ගෙන සිටින ජනතාවක් වන අප, එම ජීවිත කැඳවීමට පිළිතුරු දී ඇති ජනතාවක් ද?

"පුදුම පදක්කමේ මාතාවෙනී - අප නිසා යාච්ඤා කළ මැනව". ඔබ මෙම සටහන තුළින් යම් දැනුමක් ලැබුවේ නම් කරුණාකර අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
( 30/05/2020).
31. "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" - Our Lady of Sri Lanka".
======================================
දේවමාතාවන් හා බැඳුණු විශේෂ නාමයන් කිහිපයක් පිළිබඳව අවබෝධයක් ලබාගත් අප අවසන් වශයෙන් දැන් පිවිසෙන්නේ ශ්‍රී ලාංකික අපට පමණක් ආවේණික වූ දේවමාතාවන් හා බැඳුණු විශේෂ නාමයක් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටය. "ශ්‍රී ලංකා රාණි මෑණියෝ", "මාතර මෑණියෝ", "මරුද මඩු මාතාවෝ" හා "ශ්‍රී ලංකා අප ස්වාමි දුව" යන නාමයන් ශ්‍රී ලාංකික අපට පමණක් ආවේණික වූ දේව මාතාවන් හා බැඳුණු නාමයන්ය.

මේ අතරින් ශ්‍රී ලාංකික සැමට පොදු නාමයක් වන "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" යන නාමය පිළිබඳව යම් දැනුමක් ලබා ගැනීමට අපි දැන් යොමු වෙමු.

ක්‍රිස්තු වර්ෂ 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වන විට ශ්‍රී ලංකාව තිබුනේ එංගලන්තයේ යටත් විජිතයක් ලෙස ය. හිට්ලර් යුරෝපය යටත් කරගනිමින් ඉදිරියට ඇදෙද්දී, ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යා ආසියාවේ බොහෝ රටවල් යටත් කරගනිමින් ඉදිරියට ඇදුනු අතර ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ ශ්‍රී ලංකාවය. ත්‍රිකුණාමල වරායේ ඇති වැදගත්කම නිසාම ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවය ජපානයට තිබුණි.

එවිට 1940 මැයි 26 වැනිදා එවකට කොළඹ අගරදගුරු ව සිටි අති උතුම් ජෝන් මේරි මසොන් හිමිපාණන් තේවත්තේ තිබූ කුඩා දෙව්මැදුරට පැමිණ ශ්‍රී ලංකාව යුද්ධයෙන් බේරා දෙන ලෙසටත්, එයට ස්තූතියක් වශයෙන් තේවත්ත භූමිය තුළ දේව මාතාවන්ට කැප වූ විශේෂ බැසිලිකාවක් තනන බවටත් පොරොන්දු වී ඇත.

1942 අප්‍රේල් 05 දා ජපනුන් ලංකාවට බෝම්බ හෙළිය. කොළඹ වරාය හා ත්‍රිකුණාමලය වරාය ඔවුන්ගේ ඉලක්ක විය. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ විනාශය සිදු නොවීය. එලෙසම ඔවුන්ට දරුණු පහර කෑමකට ද ලක්වන්නට සිදුවිය. ජපනුන් ලංකාවේ දී ලැබූ පරාජය ඔවුන්ගේ පසුබැසීමට හේතුවක් වූ බවත්, බ්‍රිතාන්‍යයට යුද්ධය ජය ගැනීමට මූලික කරුණක් වූ බවත් එවකට බ්‍රිතාන්‍යයේ අගමැතිව සිටි වින්ස්ටන් චර්චිල් ශ්‍රීමතාණන් වරෙක ප්‍රකාශ කර ඇත.

1945 අගෝස්තු මස දෙවන ලෝක යුද්ධය අවසන් විය. 1946 දී රෝමයට ගිය අගරදගුරු හිමිපාණන් ශුද්ධෝත්තම පියාණන්ට තමන් කළ භාරය පිළිබඳව දැනුවත් කර දෙව්මව් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" ලෙස නම් කිරීමට අවසරය ඉල්ලා ඇත. ඒ අනුව දොළොස් වන පියුස් ශුද්ධෝත්තම පියාණන් විසින් ඒ සඳහා අවසරය ලබාදී ඇති අතර 1947 පෙබරවාරි 15 වැනිදා නිල වශයෙන් දේවමාතාවන් "ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව" ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

1948 ජූලි 28 අති උතුම් මසොන් අගරදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ විය. එදා සිදුකල භාරය ඉටු කිරීමේ භාරදූර වගකීම පැවරුණේ කොළඹ අගරදගුරු ලෙස ඉන් පසු පත් වූ අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ට ය.

ඒ අනුව එවකට රට වටා වන්දනා ගමනක නිරත වූ පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට 1950 ජූලි 15 දී බැසිලිකාව තැනීමේ පළමු පස් පිඩැල්ල කපන ලදී.

1951 පෙබරවාරී 4 වැනිදා බැසිලිකාව ට මුල්ගල තබා ඇත. ස්පාඤ්ඤ ජාතික ජේසු නිකායික ගරු හෙරාස් පියතුමාගේ සැලැස්මට අනුව බැසිලිකාව ඉදිවීමට පටන් ගෙන ඇත.
බැසිලිකාව තැනුනේ ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගෙන් ලැබුණු ආධාර මත ය.

මුළු බැසිලිකාවම තනි කළු ගලින් තනා ඇත. "පේදුරු ඔබ පර්වතයකි. එම පර්වතය මත මාගේ සභාව ගොඩ නගන්නෙමි". (ශු. මතෙව් 16:18) යන්න ඉන් සිහිපත් කරනු ලැබේ. බැසිලිකාවේ අල්තාරය තනි සුදු ගලකින් තනා ඇත. ඒ සඳහා සම්පූර්ණ වියදම එම කාලයේ පාසල් දරුවන් එකතු කළ මුදල විය.

බැසිලිකාව ඉදිරිපස ඇති ගල් කණු හය එවකට ශ්‍රී ලංකාවේ පදවි වූ, කොළඹ, යාපනය, නුවර, ත්‍රිකුණාමලය, හලාවත, හා ගාල්ල නියෝජනය කිරීමට ගොඩනැගුණි.

ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ප්‍රතිමාවේ හැඩය නිර්මාණය කළේ අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් විසින්මය. එම කාලයේ අප රටේ පාතිමා මාතාවන්ගේ ප්‍රතිමාව වන්දනා ගමනක නිරතව සිටි අතර බොහෝ ජනයා අතර ඒ නිසාම 'පාතිමා බැතිය' පැතිරුණු කාලයක් විය. එමනිසා කාදිනල් හිමිපාණන් "ශ්‍රී ලංකා අප ස්වාමිදුව" ද පාතිමා මාතාවන්ගේ හැඩයට නිර්මාණය කළේය. එලෙසම එතුමියගේ දෑතට ජප මාලයක් අතින් ගත් ජේසු බිළිඳුන් එකතු කොට ඇත.

ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ කුඩා ප්‍රතිමාවක් මුලින්ම පාතිමා නුවර දී ම නිර්මාණය කොට 1952 නොවැම්බර් 05 වන දින 12 වන පයස් ශුද්ධෝත්තම පියාණන් විසින් ආසිරි ගන්වා ඇත. මෙය අප දේශයට වැඩම කළේ 1952 දෙසැම්බර් 11 වැනි දායි. එය අද බැසිලිකාවේ ඇතුළත ස්ථාපිත කර ඇති අතර සැදැහැවතුන් සිපාචාර කරන්නට පැමිණෙන්නේ එම ප්‍රතිමාවයි.

එසේම තවත් "ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ" විශාල ප්‍රතිමාවක් පාතිමා නුවර දී ම දේවදාර ලීයෙන් නිර්මාණය කොට ලංකාවට රැගෙන ආ අතර එය ස්ථාපිත කර ඇත්තේ පූජාසනයට ඉහළින්ය. ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ අතේ ඇති ජේසු සමිඳුන් ගේ එක් අතක ජපමාල යයි. අනෙක් අත දේවමාතාවන් වෙත දිගු කර ඇත. එහි තේරුම දේවමාතාවන්ට ළඟාවීමට ඇති මාර්ගය ජපමාලය බවයි. ප්‍රතිමාව පසුබිම ඇත්තේ ඔරායන් නැමැති තරු පන්තිය වේ. එය සදා පැවැත්ම සලකුණු කරනු ලැබේ. ප්‍රතිමාවේ පාදම ශ්‍රී ලංකාවේ ජාතික ගස වන නා ගසේ කොළ සහ මල් තුනකින් සරසා ඇත. එය දේශීය අනන්‍යතාවය ප්‍රකාශ කරයි. ජේසු බිලිඳුන්ගේ හදවත මත තරුවක් ඇත. එය ජේසුස් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබිය යුතු බව ප්‍රකාශ වේ.

1974 පෙබරවාරි 6 වැනිදා අතිගරු තෝමස් කාදිනල් කුරේ හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ සියලුම රාජගුරු ප්‍රසාදී වරුන්ගේ සහභාගිත්වයෙන් තේවත්තේ බැසිලිකාව අභිෂේක කරන ලදී. ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ මංගල්‍යය සෑම වසරකම පෙබරවාරි 4 වන දින සමරනු ලැබේ.ශ්‍රී ලංකාවේ අප ස්වාමිදුව නිරතුරුවම අප දේශයේ විවිධාකාර විනාශකාරී තත්ත්වයන්ට මුහුණ දුන් විට අප දේශය වෙනුවෙන් මැදිහත් වූ මාතාවයි. තිස් වසරක යුද්ධය පැවතුණු විටද අප දිනපතා යාඥා කළේ එම මාතාවන්ගේ මැදිහත් කම ඉල්ලීමනුයි. අද අපගේ රටත්, මුළු ලෝකයත් විනාශකාරී යුගයකට පා තබා ඇති සමයක ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ මැදහත්කම තුළ සැනසීම පතා මරිය මාතාවන් වෙතට අපි හැරෙමු.

මැයි 01 දා සිට දේවමාතාවන් ගැන මා ලියූ ලිපි පෙළ මෙලෙස අවසන් කරන්නෙමි.

" ශ්‍රී ලංකා අප ස්වාමිදුවනී - අප නිසා යාච්ඤා කළ මැනව". මෙම සටහන තුළින් ඔබ යම් දැනුමක් ලැබුවේ නම් අන් අයගේ දැනුම සඳහා ද හැකි නම් කරුණාකර මෙය SHARE කරන්න.
ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියනම.
(31/05/2020).

******************************************************
ඉහත ලිපියේ කතෘත්වය සහ අයිතිය ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා සතුබව කරුණාවෙන් සලකන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
01/06/2020

No comments:

Post a Comment