This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 13 December 2020

Bête Noire - විජේවීර, ප්‍රභාකරන් සහ සිරකරුවෝ


Bête noire යනු ප්‍රංශ යෙදුමකි. එහි වචනාර්ථය 'කළු මෘගයා' (black beast) යන්නය. බැලූබැල්මට එය කළු ජනයා ඉලක්ක කරගත්, වර්ගවාදී යෙදුමක් ලෙස හැගීයනු ඇත. එහෙත් Bête noire යන යෙදුම ප්‍රංශ භාෂාවේ භාවිතයට පැමිණෙන්නේ 1799 සිට 1815 දක්වා කාලය තුල විහිදුනු නැපෝලියානු යුගය (Napoleonic era) තුලය. 

ජාතිකවාදී, මිලිටරි යුග‍යක්වූ නැපෝලියානු යුගය තුල ජාතියේ ප්‍රෞඩත්වයද, ජාතියේ විජයග්‍රහණයන් පිලිබදව මෙන්ම ජාතියේ හතුරන් මර්ධනය කිරීමට ඔවුන්ව පිලිකුලෙන් හෙලාදැකිය හැකි, ජාතියේ, සතුරන්, යක්ෂයි ආදී ලෙස හැදින්විය හැකි විවිධ අර්ථයන්, නිර්මිතයන්, විවරණයන් ඉදිරිපත් කල යුගයක් විය. 

Bête noire යන ප්‍රංශ යෙදුමද නැපෝලියා පාලන සමය තුල භාවිතයට පැමිණෙන්නේ ඒ අනුව 'කළු මෘගයා' (black beast) යන වචනාර්ථයට වඩා කිසියම් පුද්ගලයෙක්, සිද්ධියක්, ක්‍රියාමාර්ගයක් හෝ වැඩපිළිවෙළක් පිලිබදව අපූලක්, අකමැත්තක්, දැඩි විරෝධයක්, පිලිකුලෙන් යුතුව හෙලාදැකීමක් ජනිත කිරීම සදහාය. 

නැපෝලියානු යුගය තුල ඉස්මතු කල ජාතියේ ප්‍රෞඩත්ව සහ විජයග්‍රහණයන් වැඩිකල් නොගොස්ම දියවී ගියද, එම යුගයේදී නිර්මාණයකර, භාවිතයට ගත් විවිධ අර්ථ, නිර්මිත, විවරණයන් පමණක් නොව එහිලා භාවිතාකල උපමා, රූපක, පද, වදන් මෙන්ම අර්ථ නිරූපණයන් පවා ප්‍රංශ භාෂාව තුල මුල් බැසගත්තේය. Bête noire යන්නද එසේ මුල් බැසගත් නැපෝලියානු යුගයේ නිර්මාණයකල සතුරන් පිලිකුලෙන් යුතුව හෙලාදැකීමට භාවිතාකල ප්‍රංශ යෙදුමක් විය. 

නැපෝලියානු යුගයේදී පාලක පන්තියේ හතුරන් මර්ධනය කිරීමට, එකී හතුරන්ව පිලිකුලෙන් හෙලාදැකීමට, ඔවුන් ජාතියේ සතුරන් ලෙස හංවඩු ගැසීමට භාවිතා කල ඉහතකී Bête noire යන්න එම යුගයෙන් පසුව 1871 පැරිස් කොමියුනිය (Paris Commune) බිහිකළ ප්‍රංශ සමාජවාදීන්ට විරුද්ධවද, පලමු ලෝක යුද්ධයේදී ප්‍රංශය අක්‍රමණය කල කයිසාර් විලියම්ගේ ජර්මන් හමුදා හැදින්වීමටද, දෙවන ලෝක යුද්ධයේදී ප්‍රංශය අක්‍රමණය කල හිට්ලර්ගේ නාසි ජර්මන් හමුදා හැදින්වීමටද භාවිතා කලා පමනක් නොව මෑතක සිට නොනවත්වාම දියත්වෙන කහ කබා කරුවන්ගේ (Gilets Jaunes) විරෝධතාවයන් පිලිබදව විරෝධයක්, අපූලක්, පිලිකුලක්, හෙලාදැකීමක් ජනිත කිරීම සදහාද භාවිතයට ගත්හ. 

මේ ආකාරයට ඕනෑම සමාජයක පාලක පංතියේ ආදිපත්‍යයට එරෙහිව නැගී එන ප්‍රවනතාවයන්, කණ්ඩායම්, පුද්ගලයින්, සංවිධානයන් මර්ධනය කිරීමට, එකී හතුරන්ව පිලිකුලෙන් හෙලාදැකීමට, ඔවුන් ජාතියේ සතුරන් ලෙස හංවඩු ගැසීමට භාවිතා කරන කිසියම්ම පදයක් හෝ පද මාලාවක් ඕනෑම භාෂාවක් තුල දැන් දැකිය හැකි අතර එය ප්‍රංශයේ නැපෝලියානු යුගයේදී මෙන් පාලක පංතියේ බල දේශපාලන අභිලාෂයන් වෙනුවෙන් භාවිතා කිරීමද පැහැදිලිවම දැකිය හැක්කකි. 

ලංකාවේ 1971 කැරලි සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් හැදින්වීමට භාවිතා කල චේගුවෙරාකාරයින් යන්න ඊට එක් උදාහරණයකි. එමගින් එවකට රැවුල කොන්ඩේවත් වවා නොසිටි රෝහණ විජේවීර ඇතුලු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් හංවඩු ගැසීමට උත්සහකලේ රැවුල් කොන්ඩේ වවාගත් චේගුවෙරා වැනි කැරලිකරුවන් ලෙස යම් ආකාරයක සමාජ විරෝධයක් ප්‍රවර්ධනය කිරීමේ Bête noire අටියකිනි. එහෙත් වැඩිකල් නොගොස්ම චේ ජනප්‍රිය සංකේතයක් ලෙස ලාංකිකයන් අතර මුල් බැසගත් අතර විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ චේගුවෙරාට ඇදගත්හ. 

පසුව ඔවුන්ව චේගුවෙරාකාරයින් ලෙස හැදින්වීමට වඩා ජේවීපී කාරයින් ලෙස හැදින්වීම පාලක පංතියට පහසුවිය. අද ද ඔවුන් ගැන ආපුලක්, විරෝධයක්, පිලිකුලක් ඇතිකිරීමට පාලක පංතියේ අනුකාරකයින්ට චේගුවෙරාකාරයින් යන්නට වඩා ජේවීපී කාරයින් ලෙස හැදින්වීම පහසුවී ඇති අතර Bête noire කරනය ඔවුන් සම්බන්දයෙන් ලංකා දේශපාලනය තුල විකාශනයවී ඇත්තේ එසේය. 

දකුණේ සිංහල-බෞද්ධ දේශපාලන ආදිපත්‍යයට අභියෝග කරමින් වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන්කල දෙමළ බෙදුම්වාදීහු සිංහලයන්ගේ සිංහයා වෙනුවට කොටියා භාවිතයට ගත්තේද සටනට සටනක් දිය හැකි සංකේතාත්මක මුර්ගයා කරලියට කැදවීමටය. දේපාර්ශවයම එකිනෙකා පිලිකුලෙන් හෙලාදැකීමට සමත් ලෙස සිය මුර්ග සලකුණු භාවිතයේ යෙදවුහ. සත්‍යය ලෙසම ලාංකික දේශපාලනය තුල පාලක පංතියේ Bête noireට එරෙහි කැරලිකාර Bête noire මුහුණට මුහුණ හමුවුයේ දෙමළ ඊලාම් අරගලයේදීය. 

මුල්වටයේ සටනට සටනක් දුන් සිංහ - කොටි මුර්ගයන් ක්‍රමයෙන් ඉවත්කර යුද්ධයට සුදුනෙළුම්ද, 'මානුෂික මුහුනක්ද' ඇන්දවීම තුල දෙමළ ඊලාම් අරගලය ක්‍රමයෙන් වෙනත් අන්තයක් කරා ගෙනියන ලදි. ඒ අනුව තවදුරටත් කොටියා වෙනුවට Bête noire ලෙස ආදේශවුයේ ප්‍රභාකරන් සහ LTTEය ය. ඔවුන් ඇතැම්විට කොටි සංවිධානය ලෙස හැදින්වු අවස්ථා ඒමට තිබුනද ඇත්තවශයෙන් මර්දනය පහසුකලේ ප්‍රභාකරන් සහ LTTEය ය හිට්ලර්කරනය කිරීම තුලය යන්නද ඉහතකී Bête noire කරනය පිලිබදවු තර්කය තුල මතුකල හැක්කකි. 

තර්කය කුමක්වුවද මෙහිදී මතුකරන අදහස වන්නේ කිසියම් පාලක පන්තියක් සිය සතුරන් මර්ධනය කිරීමට, එකී හතුරන්ව පිලිකුලෙන් හෙලාදැකීමට Bête noire වැනි කිසියම හෝ භාෂාත්මක නිර්මිතයක් ගොඩනගන අතර එය ප්‍රංශයේ නැපෝලියානු යුගයට පමණක් අදාල වන්නක් නොව ලංකාව වැනි ලොව ඕනෑම බල දේශපාලන ව්‍යුහයක දැකිය හැක්කක්ය යන්නය. 

ලංකාව ඇසුරිනි කතා කරන්නේ නම් චේගුවෙරාකාරයින්ගේ සිට ජේවීපී කාරයින් දක්වාද, බෙදුම්වාදීන්ගේ සිට ප්‍රභාකරන්, LTTEය, කොටි සංවිධානය සහ කොටියා දක්වා පමණක් නොව, අද වන විට බයියන්, ටොයියන්, බටහිරයන්, NGO කාරයින්, දේශද්‍රෝහීන් පමනක් නොව සිරකරුවන්, කුඩුකාරයින් දක්වාද ඉහතකී Bête noire කරනය විකාශනයවී ඇති බව පැහැදිලිවම පෙනීයයි. 

ඇත්තවශයෙන්ම, අප මෙහිදී Bête noire කරනය යටතේ තේරුම් ගත යුත්තේ ඉහතකී සෑම හංවඩුවකම පාලක පන්තියේ දේශපාලනය අභිලාෂයන් ඇති බවත් එහි අවසාන අරමුණ මර්ධනයවන බවත්ය. එය දැන් භාවිතාකරන Bête noire කරනයට අදාලවන්නකි. මහර බන්ධනාගාරයේ අමානුෂික ඝාතනයන් එහි එක් ප්‍රකාශනයක් පමණකි.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය එක්තරා ආකාරයට පසුගිය යහපාලන ආණ්ඩුව සහ වර්තමාන ගෝඨාභය ආණ්ඩුව අතර කාලය තුල ලාංකික මිනිස් සමාජය කෙතරම් නම් විපරිවර්තනයකට ලක්ව ඇද්ද යන්න තේරුම් ගැනීමටද අවස්ථාව සපයන්නකි. පසුගිය පාලනය සමය තුල ප්‍රවර්ධනය කල ''සිරකරුවෝද මනුෂ්‍යයෝය'' යන ආකල්පය වත්මන් පාලන රෙජීමය යටතේ ''සිරකරුවෝ නම් මරාදැම්මාට කම් නැත'' යන තත්ත්වයක් දක්වා විපරිණාමයට ලක්ව ඇත්තේ පාලක පන්තියේ දේශපාලනය අභිලාෂයන්ගේ ප්‍රකාශනයන්ට අනුකූලවය. 

එකී අභිලාෂයන් පාලක පංතියේ අනුකාරකයන් කෙතරම් පුලුල් ලෙස සමාජ ගතකර ඇද්දයත් ''සිර ගෙවල්වල ඉන්නේ හොද මිනිස්සුද?'' / ''කොරෝනා තියා මොනවා තිබුණත් උන් හිරෙන් පැන්න නම් මිනිස්සුන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ?, රටම අනතුරේ නේද?''/ ''හිරේ ඉදලත් දගලනව නම් පාර දෙන්නම ඕනේ'' ආදී ප්‍රකාශන මහර සිරකරුවන් මරාදැමීම ගැන විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය තුල පලකලකර තිබූ අදහස් ඔස්සේ පලව තිබුනා පමණක් නොව එහිලා විශාල ප්‍රතිචාරයක්ද ලැබී තිබුනි. සිරකරුවන් වූකලී සමාජ තුල සිටින පිලිකුලෙන් හෙලාදැකීය යුතු පිරිසක් ලෙස රාජ්‍ය යන්ත්‍රයන් විසින් දිගුකාලයක් තිස්සේ ගොඩනගා ඇති Bête noire ආකල්පය සිරකරුවන් කැරලි ගසන අවස්ථාවක ඔවුන්ගේ ගෙල සිරකර දැමීම සදහා කෙතරම් නම් පහසුවක් සපයන්නේද යන්න බන්ධනාගාර සමුහ ඝාතනයන් සම්බන්දයෙන් දැක්වුනු ඉහත ආකාර ප්‍රතිචාරයන් විමසීමේදී පෙනීයනු ඇත. 

එහෙත් ඇත්තවශයෙන්ම හිරගෙවල්වලට වඩා අපරාදකාරයෝ ඉන්නේ එළියේ බව, එළිමහන් සමාජයේ බව මහමහජනයාගෙන් සගවා ඇති කරුනකි. ලොකුම අපරාදකරුවන් ලේසියෙන් හිරේ නොයන, නීතියට වැලිගසමින්, නීතියෙන් රිංගායමින් යහතින් සිටී. තවද ඔවුන් අපරාදකරුවන් පාලනය කරමින් සිටිනවා පමණක් නොව පාලකයන් පාලනය කරමින් හෝ එක්කෝ ඍජුව රට පාලනය කරමින් සිය විරුද්ධවාදීන්, අපරාදකරුවන්, කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගසමින් අනෙකාට මරන වරෙන්තු ලියමින්, අනෙකාව මරාදැමීමට අණ කරමින්, මිනීමරුවන් මෙහෙයවමින්, එකී ඝාතනයන් සාධාරණයක කරමින් සිටී. 

අවාසනවකට සමාජය මේ තත්වය අවබෝධකර නොගෙන පාලක පංතිය විසින් Bête noire කරනය කරන ලද කොටස් කෙරෙහි පිලිකුල සහ වෛරය පෙරදැරිකරගෙන පෙලගැසීමය. එහි ඇති කනගාටුදායකම සත්‍යය නම් මෙලෙස ටොයියන්, බයියන්, කොටි, JVP, LTTE, දේශද්‍රෝහින්, බටහිරයන්, NGOකාරයින්, සිරකරුවන්, කුඩුකාරයින් ආදී Bête noire කරන ලද කුලකයන්වලින් පිටත නිරුපද්‍රිතව සිටින්නේ පාලක පන්තිය සහ ඔවුන්ගේ බැල මෙහෙවරකරුවන් කිහිප දෙනෙකු පමනක් වීම සහ ඔවුන් සෙසු සියල්ලන්ගේම ඉරනම තීන්දුකල හැකි තරම් සුපිරිපන්නව බලවත්වී සිටින බව තෙරුම් නොගැනීමය.

ඇත්තවශයෙන්ම, අප මුලික ලෙසම අවබෝධකර ගත යුත්තේ අප  සමාජයක් ලෙස ගමන් කරමින් සිටින්නේ කොහෙටද යන්නය.

අප ගමන් කරමින් සිටින්නේ ''සිරකරුවෝද මනුෂ්‍යයෝය'' යනුවෙන් පිලිගන්නා මිනිස්සුන්ට මානුෂිකව සළකන සමාජයක් දෙසටද? නොඑසේනම් එකිනෙකා සතුරන් , මුර්ගයන්, අධමයන් ලෙස සලකමින් එකිනෙකා මරාදමන, එකිනෙකා මරාගන්නා කාලකන්නි අධම යුගයකටද? 

ඇත්තටම අද මුළු ලංකාවම සිර කදවුරකි, එලිමහන් සිරකදවුරකි. නීතිය නොතකන, නීතියෙන් රිංගායන අපරාදකරුවන්ගේ පාලනය යටතේ ඇති එළිමහන් හිරකදවුරකි. මතවාදීමය වශයෙන් කොටුකරන ලද, පාලක පංතිය විසින් විවිධ ලේබල අලවමින් සිය විරුද්ධවාදින් Bête noire කරන ලද, ඒ ඔස්සේ මහජනයා මානසික වශයෙන් එක්තරා ආකාරයට ගාල්කරන ලද, එලිමහන් සිරකදවුරකි. ඒබැවින් මහර බන්දනාගාරයේ රැදිවියන්ට අත්වූ ඉරණම හෙට රටේ තවකෙකුට කෙසේ හෝ කොහේ හෝ කවුදා හෝ අත්වීමට ඇති ඉඩකඩ අඩුවක් නැත. එවැනි ඉරණමකට මුළු මහත් සමාජයම ලක්නොවීමට නම් සමාජය තමන්ගේම කොටසක් Bête noire කරනය කිරීමට එරෙහිව නැගී සිටිය යුතුය. පාලක පන්තියේ මර්දනයට එරෙහිව පෙලගැසීමට එය ඇවැසිම මුල්ම පියවර එයය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

13/12/20

2 comments:

  1. මාකස් අයියේ ඔයාට පොඩි වැරැද්දක් වෙලා.
    එල්ටීටීඊ සංවිධානයේ ලාංඡනයේ ඉන්නේ ව්‍යාග්‍රෙයක්.
    ඒක දාලා තියෙන්නේ චෝල අධිරාජ්‍යෙය් සංකේතයක් හැටියට.
    ව්‍යාග්‍රයා කිව්වාම නම්බු වැඩි නිසයි සිංහලයෝ ඒක කොටියා කියලා හඳුන්වන්න පටන් ගත්තේ.

    තව කරුණක් තමයි ඔයාලා වගේ ක්‍රිස්තියානි සිංහලයෝ (කතෝලිකයිනුත් ඇතුළුව) විශ්වාස කරනවා සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ඇතිවිමෙන් ඔයාලට අයිති මොකක් හරි ලොකු දෙයක් විනාශ වෙනවා කියලා. එමනිසා ඔයාලා සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි වීම නිසාම දෙමළ ජාතිවාදයට කඩේ යනවා.
    ඔයාලා හිතන්නේ එමනිසා සිංහලබෞද්ධ සහ දෙමල ජාතිකත්ව අතර අරගලය නිසා ඇතිවන අරාජික තත්වය ඔයාලට වාසියක් වෙයි කියලා.
    ඒත් ඒකෙන් වාසි ගත්තේ මුස්ලිම් මූලධර්ම වාදියෝ.

    අන්තිමට වුනේ උන්ගේ බෝම්බ වලින් උඹලාම මියයාමයි.
    මට ඒ ගැන ජොලි.
    ඕකට කියන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා.

    ReplyDelete
  2. ඔයලා වගේ වර්ගවාදීන්, ජාතිවාදයෙන් ඔද්දල්වුනු අය, අනෙකාගේ මනුෂ්‍ය ජීවිත කෙසේ හෝ විනාශවීමෙන්, විනාශ කිරීමෙන් ලබන ආත්ම තෘප්තිය ගැන මට හොද වැටහීමක් තියෙනවා. කමක් නෑ මනුෂ්‍ය ඝාතන ගැන කෙසේවෙතත් ගව ඝාතනවලට හරි ඔයාලා විරුද්ධයිනේ.

    ReplyDelete