This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 26 November 2020

ෆෝක්ලන්තය ජයගත් එංගලන්තයට 'දෙවියන්ගේ අත' ත්, මැරඩෝනාගේ හිසත්, පයත්, අත්කරදුන් දුන් පරාජය !!!

1982 ලෝක පාපන්දු ශුරතා තරගාවලිය පැවත්වුයේ ස්පාඤ්ඤයේය. එම තරගාවලිය ලෝක පාපන්දු ශුරතා ඉතිහාසයේ එක් සුවිශේෂී කඩඉමක් සටහන් කල තරගාවලියක්විය. එතෙක් රටවල් 16කට පමණක් සභභාගීවීමට අවස්ථාව සලසා තිබු ලෝක පාපන්දු ශුරතා තරගාවලියට 1982 සිට රටවල් 24කට සභභාගීවීමට හැකි ලෙස තවදුරටත් පුළුල් කරන ලදී. ඒ අනුව ආසියාව නියෝජනය කරමින් කුවේටයද, ඔස්ට්‍රේලේසියා කලාපය නියෝජනය කරමින් නවසීලන්තයද, අප්‍රිකානු කලාපය නියෝජනය කරමින් ඇල්ජීරියාව සහ කැමරූන් යන රටවල්ද ප්‍රථමවතාවට ලෝක පාපන්දු ශුරතාවට තරගවැදීමට සුදුසුකම් ලබා ගතහ. තරගාවලිය ඇරබීමට පෙර සිටම ඉතාලිය, (එවකට පැවති බටහිර) ජර්මනිය, බ්‍රසීලය, ප්‍රංශය සහ බෙල්ජියම තරගාවලිය තුල සුවිශේෂී දස්කම් දක්වනු ඇතයි යන්න පුරෝකතනය කලේය.

එහෙත් මාධ්‍ය ලෝකය තුල වඩා අවධානය දිනා සිටියේ එංගලන්තය ය. ඇත්තවශයෙන්ම ආපහු හැරී බලතහොත් 1982 වසර පුරාම මාධ්‍ය ලෝකයේ වැඩිම අවධානයක් යොමුවී තිබු රටවී තිබුනේ එංගලන්තය ය. 

අගමැති මාග්‍රට් තැචර්ගේ පුතා සහරා කාන්තාරයේදී අතුරුදහන්වීමත්, ගල් අගුරු ආකර කම්කරුවන්ගේ සිට කසල එකතු කරන්නන් දක්වා දිවගිය නිමක් නැති වැඩ වර්ජන රැල්ලත්, උතුරු අයර්ලන්තයේ IRA ගරිල්ලන්ගේ ප්‍රහාර සහ බෝම්බ පිපිරවීම් මාලාව හමුවේ පවා ත්‍රස්තවාදීන්ට මරන දඩුවම පැමිණවීම තැචර් අගමැතිනිය ප්‍රතික්ෂේප කිරිමත්, IRA සංවිධානයේ ජෙරී ඇඩම්ස් බෙල්ෆාස්ට් ආසනය දිනාගැනීමත්, දෙවන ජුවාම් පාවුලු පාප්වහන්සේ බ්‍රිතාන්‍යයට සම්ප්‍රාප්තවී එංගලන්ත ක්‍රිස්තියානි සභාවේ මුලස්ථානයවන කැන්ටබරි දේවස්ථානයට ගොස් සමගි සම්මුතියකට එලබීමත්, තැචර්ගේ දැඩි දක්ෂිණාංශික පාලනයට අහියෝග කරමින්, වමේ බලාපොරොත්තු දල්වමින්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ රෝයි ජෙන්කින්ස් ග්ලාස්ගොව් අතුරු මැතිවරණයෙන් එම ආසනය දිනාගැනීමත්, බ්‍රිතාන්‍යයේ ආරොන් ක්ලග් (Aaron Klug) රසායන විද්‍යාව සදහාවූ නොබෙල් ත්‍යාගය දිනාගැනීමත්, බෙන් කිංස්ලි රගපෑ ගාන්ධි චිත්‍රපටිය තිරගත්වීමත් සමග බ්‍රිතාන්‍යය යටත් විජිතවාදී පාලනය සම්බන්දයෙන් දැඩි කථා බහක් නැවත මතුවීමත්, ආදීය 1982 වසර තුල මාස්පතා, සතිපතා, දිනපතා මාධ්‍ය ලෝකය තුල බ්‍රිතාන්‍යය ගැන අවධානය යොමුවන්නට හේතුවිය. 

එහෙත්, ඒ සියල්ලටම වඩා 1982 වසරේදී බ්‍රිතාන්‍යය වෙත මුළු ලෝකයේම අවධානය යොමුවුයේ ෆෝක්ලන්ත දූපතේ අයිතිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය සහ ආර්ජන්ටිනාව යුද්ධ වැදීමය. 1982 අප්‍රියල් 2වෙනිදා ආර්ජන්‍ටිනාව ෆෝක්ලන්ත දුපත පවරා ගැනීමට විරුද්ධව, නැවත එය බ්‍රිතාන්‍යය සතුකර ගැනීමට ඇරබි ෆෝක්ලන්ත යුද්ධය, 1982 අප්‍රියල් මාසේ සිට ජුනි 14 දින අර්ජන්ටිනා හමුදා බ්‍රිතාන්‍යයට යටත්වීමෙන් අවසන්විය. 

1982 ලෝක පාපන්දු ශුරතාව ඇරබෙන්නේ ආර්ජන්ටිනාව සහ බ්‍රිතාන්‍ය අතර ෆෝක්ලන්ත යුද්ධය පවතින සමයේමය. මෙකී ලෝක කුසලානයට උතුරු අයර්ලන්තයද සුදුසුකම් ලබා තිබුණි. තරගකාරී අනෙකුත් ක්‍රීඩා කණ්ඩායම් අතර බ්‍රිතාන්‍යයට දේශපාලනිකව සතුරැ පිලවල් දෙකක් ලෙස මේ අනුව උතුරු අයර්ලන්තයත්, ආර්ජන්ටිනාවත් ඉස්මතුව පෙනුනි. බ්‍රිතාන්‍යයට එරෙහි එකී සතුරැ කදවුරුවල හතුරුකම් එළිපිටම එළිදැක්වූ එක් ක්‍රීඩකයෙක් වෙත වැඩි අවධානයක් යොමුව තිබුණි. හේ දියාගෝ මැරඩෝනා නම් විය. 

අඩිපහක් 5ක් වත් උස නැති මේ පුංචි ක්‍රීඩකයා කටමැද දොඩවන්නෙක්වූ අතරම අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්ද විය. තමාට එංගලන්තය සමග ක්‍රීඩා කිරිමට අවස්ථාවක් සැලසෙතොත් එංගලන්තයට අමතක නොවන තරගයක් ක්‍රීඩාකරන බව පුන පුනා කියන්නට විය. ඇත්තවශයෙන්ම දියාගෝ මැරඩෝනා අර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රථමවරට ලෝක කුසලාන තරගාවලියට සහභාගීවුයේද 1982දීය. එහෙත් අර්ජන්ටිනා රට තුල මෙන්ම ඉන් පිටතත්, විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය පැවති ස්පාඤ්ඤ තුලත් මැරඩෝනා ඉතා විශාල ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටියේ ඔහු ඒ වනවිටද සුප්‍රකට බාසිලෝනා කණ්ඩායම සමග ගිවිසුම් ගතවී සිටි නිසාය. එහෙත් 1982 ලෝක කුසලාන තරගාවලිය තුල බ්‍රිතාන්‍යයට, ආර්ජන්ටිනාව හෝ උතුරු අයර්ලන්තය හමුවුයේ නැත. එම නිසාම දියාගෝ මැරඩෝනා කියූ අමතක නොවන තරගයක්දීමටද ඔහුට නොහැකිවිය. එකී ලෝක කුසලානයේ මුල්ම තරගය වූ ආජන්ටිනාව සහ බෙල්ජියම අතර තරගයෙන් ආර්ජන්ටිනාව 0-1 ලෙස පරාජයට පත්විය. තත්වය වඩා දරුනුවුයේ ආර්ජන්ටිනාව, බෙල්ජියම ඇතුළත්වූ කාණ්ඩය තුල සිටි හංගේරියාව, එල් සැල්වදෝර් රාජ්‍යයට එරෙහිව ගෝල 10-1ක විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමත් සමගය. බ්‍රිතාන්‍යය මාධ්‍ය ආර්ජන්ටිනාව සහ දියාගෝ මැරඩෝනාව හාස්‍යට ලක්කරමින් කියා සිටියේ ඔවුන්ට බ්‍රිතාන්‍යයට අමතක නොවන තරගයක් ලබාදීමට පෙර කොමියුනිස්ට් හංගේරියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට සිදුව ඇති බවයි. ඇත්තවශයෙන්ම, එය එසේම සිදුවිය. ආර්ජන්ටිනාව තරගාවලියේ විශාල පෙරලියක් කල හංගේරියාව ගෝල 4-1ක් ලෙස පරාජය කළේය. එහිදී මැරඩෝනා සිය සුවිශේෂී දස්කම් පෙළහර පාමින් විශිෂ්ඨ ගෝල ද්වීත්වයක් වාර්තා කළේය. දියාගෝ මැරඩෝනාට සිය බලාපොරොත්තුවවූ බ්‍රිතාන්‍යයට අමතක නොවන තරගයක්දීමට නොහැකිවුවද, ආර්ජන්ටිනාව සහ බ්‍රිතාන්‍යය අතර තරගයක් 1982 ලෝක කුසලාන තරගාවලියේදී නොයෙදුනද, මැරඩෝනාගේ මෙන්ම ආර්ජන්ටිනාවේද බලාපොරොත්තු බිදවැටුනද, ක්‍රීඩකයෙක් ලෙස මැරඩෝනාගේ නැගීම කිසිවෙකුට නැවතිමට නොහැකිවිය. 

ඔහු බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් තරග 36 කදී ගෝල 22ක් වාර්තා කරමින් සිය නාමය ඉහලින්ම රුන්දුහ. 1984 දී, එවකට වාර්තාවූ විශාලතම මුදලකට මැරඩෝනාව ඉතාලියේ නාපොලි ක්‍රීඩා සමාජය මිලදී ගත්තේය. නාපොලි ක්‍රීඩා සමාජය වෙනුවෙන් පමණක් මැරඩෝනා ගෝල 81 ක් වාර්තා කළේය. මැරඩෝනා වූ කලී දෙවියන්ගෙන් වරම් ලැබුවෙකු යැයි පාපන්දු ලෝකය තුල ඔහුව හැදින්වුයේ මේ සියළු තත්වයන් හමුවේය. දෙවියන්ගෙන් වරම් ලද්දෙකුටවුවද දෙවියන් දෙවන අවස්ථාවක් දෙයිදෝයි යන්න කිසිවෙක් නොදනී. එහෙත් පැහැදිලිවම මැරඩෝනාට නම් දෙවියන් දෙවන අවස්ථාවක්ද ප්‍රධානය කළේය. ඒ 1986 ලෝක පාපන්දු ශුරතා තරගාවලියේදීය. ඔහු පුන පුනා බලා සිටි එංගලන්තයට අමතක නොවන තරගයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව 1986දී අර්ධ අවසාන වටයේදී මැරඩෝනාට හිමිවිය.

ෆොර්ක්ලන්ත යුද්ධය පිළිබද අහිමිහිරි මතකය මැක්සිකොවේ පැවති 1986 ලෝක පාපන්දු ශුරතා තරගාවලියේ අර්ධ අවසාන වටයට එංගලන්තය සහ ආර්ජන්ටිනාව මුහුණට මුහුණ හමුවෙනවිට අළුයටලූ ගිනි අගුරුමෙන් එකවර බුර බුරා නැගෙන්නට විය. ආර්ජන්ටිනාවේ ජාතික ගෞවරවය ඔසවාලීමේ වගකීම සුපිරි පාපන්දු ක්‍රිඩක මැරඩෝනා අතට පැවරුණි. ඔහු ඒවන විට ලෝකයේ සිටි විශිෂ්ඨම පාපන්දු ක්‍රීඩකයා පමණක් නොව ආර්ජන්ටිනා කණ්ඩායමේ නායකයාද විය. ඉතා උණුසුම් සහ උද්වේගකරවූ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර අර්ධ අවසානවට තරගයේ පනස් එක්වන මිනිත්තුවේදී මැරඩෝනා හිසින් පන්දුවට පහර දෙමින් ගෝලයක් වාර්තා කලේ මුළු පිටියම දෙදරවමින් ජයගෝසා නැගෙද්දීය. එහෙත් එංගලන්ත කන්ඩායමේ දැල් රකින්නා මෙන්ම එංගලන්ත කණ්ඩායමද එය හිසින් නොව අතින් ගැසූ පහරක් යැයි කියමින් කෑගැසුහ. හැකි උපරිමයෙන් විරෝධයපෑහ. එහෙත් අද මෙන් නැවත නැවත පෙරලා ආපස්සට ගොස් බැලිය හැකි රූපවාහිණි තාක්ෂණයක් නොතිබි එකල එංගලන්ත කාණ්ඩායමේ විරෝධය මධ්‍යයේ වුවද එය නිල ගෝලයක් ලෙස පිළිගත්හ. එංගලන්තයට කල හැකි කිසිවක් නොවිණි. විනිසුරු තීරණය පිළිගනිමින් ඔවුහු නැවත තරගයට අවතීර්ණය විය. කඩා වැටුන එංගලන්ත කණ්ඩායම අන්දමන්ද කරමින් මැරඩෝනා ඉන් විනාඩි හතරකට පසුව එංගලන්ත ක්‍රීඩකයින් පස් දෙනෙකු පරාජය කරමින් වේගයෙන් තවත් ගෝලයක් වාර්තා කළේය. 1986 ලෝක කුසලාන තරගාවලියේ විශිෂ්ඨම ගෝලය හෙවත් සියවසේ ගෝලය ලෙස හැදින්වූ එම ගෝලය එංගලන්ත කණ්ඩයමේ ලෝක කුසලාන බලාපොරොත්තු සුනුවිසුනු කලේය. 1986 අවසන් පුර්ව වටයේදී බෙල්ජියමත්, අවසාන තරගයේදී (බටහිර) ජර්මනියත් පරාජය කරමින් ආර්ජන්ටිනාව 1986 ලෝක කුසලානය දිනාගත්තේය. මැරඩෝනා තරගාවලියේ විශිෂ්ඨම ක්‍රීඩකයා වෙමින් ''රන්පා වැසුම'' ද හිමිකර ගත්තේය. 

මැරඩෝනා 1982 දී ප්‍රාර්ථනාකල එංගලන්තයට අමතක නොවන තරගයක් දීමේ උවමනාව ඉෂ්ට කරගැනීමෙන් පසු සිය ජීවිත කාලය රිසි රිසි සේ ගෙවා දැමුවේය. එංගලන්තය සමග තරගයේදී ඔහු වාර්තාකල මුල්ම ගෝලය ගැන ඔහු මුලින්ම කිව්වේ එය ඔහුගේ හිසෙන් සහ 'දෙවියන්ගේ අතින්' වාර්තාකළ ගෝලයක් බවය. පසුව එය තම හිසින් නොව දෙවියන්ගේ අතින් ගැසූ ගෝලයක් බව කීහ. කෙසේ හෝ තරගය දිනීමට, ඔවුන්ට හේතු තිබෙන බවද ඔහු කිව්වේය. මැරඩෝනා නම් සිය ජීවිත අරමුණ සාක්ෂාත් කරගත් අයෙකු ලෙස මියගියේය. එහෙත් එංගලන්තය අදද එම තරගයෙන් පරාජයවීමේ වේදනාවෙන් මිරිකෙමින් සිටි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
26/11/2020

1 comment:

  1. https://theconversation.com/why-maradonas-hand-of-god-goal-is-priceless-and-unforgettable-193760

    ReplyDelete