This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 17 December 2020

චම්පික රණවකගේ නව දේශපාලන පිම්ම සහ ක්‍රිස්තියානීන්ට ඇති අභියෝගය

චම්පික රණවක මහතා හෙළ උරුමයෙන් ඉවත්ව නව දේදේශපාලන  ව්‍යාපාරයක් ආරම්භ කරන බව පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. එය දැනට ඔහු සාමාජිකත්වය දරන සජිත් ප්‍රේමදාසගේ සමගි ජනබලවේගය හෝ ඊට වඩා පුළුල් පෙරමුණක් වියහැකි බවද ඔහු දැක්වන ලදි. එහිලා ප්‍රබුද්ධ භික්ෂුන් වහන්සේලාට, උගත් තරුණ-තරුණයින්ට, 'දේශප්‍රේමී සිංහල-බෞද්ධ' ජනයාට පෙරමුණ ගෙන ක්‍රියාකරන්න යැයි ඔහු ඉල්ලා සිටියේය.
 
ජනතා මිතුරෝ, සිංහල වීර විදානය, ත්‍රස්‌ත විරෝධී ජාතික ව්‍යාපාරය, සිහළ උරුමය සහ ජාතික හෙළ උරුමය ආදී එකක් පසු පස එකක් ලෙස දේශපාලන සංවිධාන, පක්ෂ ආදිය ගොඩනගමින් ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අත්කර ගැනීම සදහාවු සීඝ්‍ර ගමනක නිරතවන චම්පික රණවක මහතා, හෙළ උරුමයෙන් ඉවත්වෙමින් සිදුකල කථාව එක්තරා ආකාරයක දේශපාලන වැඩ පිළිවෙලක ප්‍රකාශණයක් (manifesto) ලෙස පැහැදිලිවම සැලකිය හැක්කකි. 

එකී කථාව තුල ඔහු : 

1.ත්‍රස්‌ත විරෝධී ජාතික ව්‍යාපාරය බිහිකරමින් ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය පරදවා ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ව්‍යූහය රැකගැනීමට ඔහු ඇතුළු ඔහුගේ දේශපාලන ව්‍යාපාරය ගෙනගිය දේශපාලන වැඩපිළිවෙළ ගැන විස්තර කරන ලදී .

2. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන විකාශනය විග්‍රහ කරමින් 'සිංහල බෞද්ධයින්ගේ දුක් ගැනවිලි, අභියෝග සහ දේශපාලන අභිලාෂයන් විස්තර කරන ලදී. 

3. නිදහසින් පසු පැවති රජයන් යටතේ මෙතෙක් සිංහල-බෞද්ධයින් ඉටුකරගත් දේශපාලන ඉල්ලීම් සහ වර්තමානයේ බලසම්පන්නව නැගී ඇති 'නව සිංහල - බෞද්ධ මධ්‍යම පාන්තික' ජනතාවගේ දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කරගත හැකි රාජ්‍ය පාලනයක් ඇතිකරගැනීම සදහා නවතම දේශපාලන ව්‍යායාමයක අවශ්‍යතාවය මතුකරන ලදී. 

පැහැදිලිවම චම්පික රණවක මහතාගේ දේශපාලන දෘෂ්ටිය සිංහල-බෞද්ධ ස්වොත්මක ජාතිකවාදී (chauvinistic nationalism) දෘෂ්ටිවාදයක් සහ වැඩපිළිවෙලක් අනුව සකස්වුවක් බව නොරහසකි. ලංකික ශිෂ්ටාචාරය ගොඩනැගුවේ සිංහල-බෞද්ධයන්ය, ලාංකික අනන්‍යතාවයේ පදනම සිංහල-බෞද්ධ සංස්කෘතිය ය යන්න ඔහු නිතර නිතර දක්වන්නකි. ඔහුට අනුව හින්දු, මුස්ලිම් , ක්‍රිස්තියානි ආදී සෙසු ජාතීන් සහ අනන්‍යතාවයන් ලාංකික ශිෂ්ටාචාරය නම්වූ සිංහල-බෞද්ධ මහා වෘක්ෂයේ එතුන 'වැල්' ය. තවද සිංහල-බෞද්ධ නොවන අනෙකුත් ජන කණ්ඩායම් නම්වූ 'වැල්' වලට හොදින් වැඩී, මල්පල ගැන්වීමට තරම් 'සිංහල-බෞද්ධ ජනයාගේ සහනශීලීත්වය' ඉඩ ප්‍රස්ථාවක් ලබාදී ඇති බවත්, එය සිංහල-බෞද්ධ ශිෂ්ටාචාරය තුල ඇති ලක්ෂණයක් බවත්, අනෙක් ජාතීන් සහ සංස්කෘතික අන්‍යයතාවයන් එකී 'සිංහල-බෞද්ධ සහනශීලීත්වය' හොදින් අවබෝධකර ගතයුතු බවත්, 2017 මැයි 01 දින හෙළ උරුමයේ මැයි දින උත්සවයේදී ඒ.ඊ. බුල්ජන්ස්, අනගාරික ධර්මපාල, ඒ.ඊ. ගුණසිංහ ආදින් සමරමින් චම්පික රණවක මහතා දක්වා තිබුණි. (ඒගැන මෙම යොමුව ඔස්සේ කියවිය හැක. )

චම්පික රණවක මහතාගේ දේශපාලන දෘෂ්ටිය සිංහල-බෞද්ධ ස්වොත්මක ජාතිකවාදී (chauvinistic nationalism) දෘෂ්ටිවාදී වැඩපිළිවෙලක් තුල සකස්වුවක්යැයි දක්වන්නේ ඔහු මේ ආකාරයට සිංහල-බෞද්ධ අනන්‍යතාවය/ජාතිකත්වය රටේ සෙසු සියලු ජාතික, ආගමීක සහ සංස්කෘතික අනන්‍යතාවයන් අභිබවමින්, යටපත්කරමින්, සෙසු සියල්ලටම වඩා ඉහලින් අධිපතිවාදීව ඔසවා තබන නිසාය. එවැනි ව්‍යාපෘතියක් සමාන වන්නේ ජර්මනියේ ජර්මන් ජනයා වුකලී සුපිරිසිදු, උදාර, ආර්ය ජනවර්ගයක් යැයි කියමින්, යුදෙව්, ජිප්සි, කොමියුනිට්ස්, ඇනාකීස්ට් ආදී සෙසු සියලු ජාතීන් සහ දේශපාලනිකව වෙනත් මත දැරූවන් සමූලඝාතන කරමින් ලෝක යුද්ධයකට මුල පුරමින් ජර්මනිය විනාශයට ගෙනගිය හිට්ලර්ගේ නාසිවාදී ව්‍යාපෘතියටය.

කෙසේවෙතත්, ලාංකික දේශපාලන විභවයන්ගෙන් සමහරක් කාලාන්තරයක් තිස්සේ හිට්ලර් කෙනෙක් සොයමින් සිටින බව අපි දනිමු. ගෝඨාභය රාජපක්ෂලට හිට්ලර් කෙනෙක් වෙන්න යැයි ලංකාවේ ප්‍රමුඛ පෙලේ භික්ෂූන් වහන්සේ නමක් ප්‍රසිද්ධියේම ඉල්ලා සිටි බව සියල්ලෝම දනිති. බටහිර රටක නොව ජපානය හෝ වෙනත් දියුණු රටක කිසිවෙක් හිට්ලර් කෙනෙක් ඉල්ලා සිටින්නේ හෝ ඔහු ගැන පාරම්බාන්නේ නැත. එසේ කිරීම අපරාධයක් මෙන්ම, අපරාධයටකට අනුබලදීමක් ලෙස එකී රටවල් සලකති. 

එහෙත් ලංකාවේ උගත්, වැදගත්, ප්‍රබුද්ධ යැයි කියන්න පිරිස් පවා හිට්ලර් ගැන තියා, ලෝක ඉතිහාසය, ලෝකයේ ශිෂ්ටාචාර ගත පැවැත්ම ගැන මෙලෝ හසරක් දන්නේ නැත. ඔවුන් විවිධ විභාග පාස්කර දොස්තරවරු, නීතිඥයින්, ඉංජිනේරුවන්, පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන්, විද්‍යාඥනයින්, වාස්තු විද්‍යාඥනයින්, ගණකාධිකාරීන්, කලමනාකරුවන්, ආචාරවරු, මහාචාර්යවරු, කලාකරුවන්, අතිසාර්ථක ව්‍යාපාරිකයන්, රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලකයින් බවට පත්ව සිටියද ඔවුන්ට දියුනු සමාජයන්වලින් පැමිණි එම ශ්‍රේණිවල සමාන සාමයිකයින් සමගවත් හරි හරිට පෑහීමට නොහැක. මේ තත්වය මා ලංකාව තුලදී මෙන්ම වෙනත් රටවලදීද අනන්තවත් දැක ඇත්තකි.

ඇත්තවශයෙන්ම, ලෝකයේ සුප්‍රකට විශ්වවිද්‍යාලට නොගියද, ලෝකප්‍රකට නිර්මාණයන්ගේ පහස සහ අත්දැකීම අත්නොවිදියද, සම්භාව්‍ය සහ කලාකෘතීන්මක සංස්කෘතික නිෂ්පාදනයන්ගෙන් පන්නයක් නොලද ද, භාෂා කිහිපයක් පිළිබද පරිචයක් නොමැතිවුවද, අපේ රටින් බිහිවෙන වෘත්තිකයන්ගේ දක්ෂතා ලෝකයේ දියුණු රටවලින් බිහිකර ඇති එම ශ්‍රේණිවල සමාන සාමයිකයින්ගේ දක්ෂතා පරයා යන සුළුය. දක්ෂතා අතින් නම් ඔවුන් කිසිසේත්ම කිසිවෙකුට දෙවෙනි නැත. එහෙත් දියුනු සමාජයන්වලින් පැමිණි එම ශ්‍රේණිවල සමාන සාමයිකයින් සමගවත් හරි හරිට පෑහීමට නොහැකි බව ලංකික ඔවුන්ට පමණක් නොව බොහෝ ආසියානු සහ අප්‍රිකානු වෘත්තිකයන්ද නිරතුරුවම අත්දකින යතාර්ථයක් වී තිබේ. 

අවාසනාව වී ඇත්තේ මෙසේ විවිධ විභාග පාස්කර දොස්තරවරු, නීතිඥයින්, ඉංජිනේරුවන්, පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවන්, විද්‍යාඥන්, වාස්තු විද්‍යාඥනයින්, ගණකාධිකාරීන්, කලමනාකරුවන්, ආචාරවරු, මහාචාර්යවරු, කලාකරුවන්, අතිසාර්ථක ව්‍යාපාරිකයන්, රාජ්‍ය නායකයින් ඇතුළු දේශපාලකයින් පවා පිටරටකදී පමණක් නොව තමන්ගේ රටේදී පවා තම ශ්‍රේණිවල සමහරුන්ගෙන් පමණක් නොව, කිසිසේත්ම එම ශ්‍රේණිවලට අදාල නොවන එකී ශ්‍රේණිවලට පිටතින් සිටින ඇතැම් පිරිස් සමග පවා පෑහීමට නොහැකිව තිබීමය. ඔවුන්ට පරයා යා නොහැකි, ඔවුන්ට පෑහීමට නොහැකි, පිරිසක් හමුවීම සහ එවැන්නන් පිරිසක් සිටීම ම ඔවුන්ට අභියෝගයකි. එය ඔවුන් නොරිස්සන්නකි. ඔවුන් මෙන් එතරම් අධ්‍යාපනයක්, දැනුමක් හෝ සුදුසුකම් නොතිබුණද, ඔවුන් කෙතරම් උඩකට පැමිණියද, ඔවුන් භක්ති නොවදින, ඔවුන්ට භුක්තිවිදිය නොහැකි, ඔවුන්ට පෑහීමට-අත්විදීමට නොහැකි සතුටක්, නිදහසක්, සමාජ තත්වයක්, වින්දනයක්, භුක්තිවිදින පිරිසක් සිටින බව අවබෝධවීම ම එක්තරා ආකාරයට ඔවුන්ගේ සියලු ජයග්‍රහණයන්ගේ හුලං බැස්සවීමකි. ඔවුන්ගේ සියලු මස්තකප්‍රාප්තියන් (achievements) බොදකර දැමීමකි. 

සියළු කඩඉම් පැන, විවිධ විභාග පාස්කර, බොහෝ ජයග්‍රහණ අත්කරගත්තද තමන්ට අත්කර ගතනොහැකි, තමන්ට විදිය නොහැකි, ලගාවිය නොහැකි, අන්තයන් ඔවුහු පන්තිය, පැලැන්තිය, බටහිර, ඉංග්‍රීසි භාෂාව සහ ක්‍රිස්තියානි ආගම ලෙස වර්ගීකරණය කර එයට එරෙහිව රෝද බැදගැනීම දැකිය හැක්කකි. ලංකාවේ නිදහසින් පසුව බිහිවූ, සිංහල භාෂාවෙන් සිප්සතර හදාරා රජයේ රැකියාවලට ඇතුළුවූ දෙමාපියන්ට පමණක් නොව, ඔවුන්ගේ දැඩි කැපකිරීම් තුල ප්‍රසිද්ධ පාසල්වලට යවා, ඉංග්‍රීසි උගන්වා, උසස් රැකියාවලට උසවා තැබු ඔවුන්ගේ දරුවන්ද, පරිඝනක, සෙල්ෆෝන් ආදිය හසුරුවන ඔවුන්ගේ දරුවන්ගේ දරුවන් දක්වාද ඉහත කොටස් කෙරෙහි ජනිත කරන ලද විරෝධය අඛණ්ඩවම රැගෙනවිත් ඇති තිබෙන බව පැහැදිලිය. 

චම්පික රණවක මහතා නව දේශපාලන පෙරමුණක් පිහිටවීම සදහා හෙළ උරුමයෙන් ඉවත්වෙමින් ආමන්ත්‍රණය කරන්නේ ඔවුන්ටය. ඔහු ආමන්ත්‍රණය කරන්නේ නිදහසින් පසුව බිහිවූ සිංහලෙන් අධ්‍යාපනය ලබා විවිධාකාරයෙන් සාර්ථකත්වයන් අත්කරගත් නව සිංහල - බෞද්ධ මධ්‍යම පන්තියටය. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්නය වන ඔවුන් අත්නොවිදින එහෙත් අනෙකා අත්විදින සතුට අත්කරගන්නේ කෙසේද යන්නටය. එකී සතුට අතකරගත හැකි දේශපාලන ව්‍යාපාරයක් සහ රාජ්‍යයක් ගොඩනැගීම චම්පික රණවක මහතා සිය දේශපාලන අහිලාෂය කරගෙන තිබේ.

චම්පික රණවකලාගේ මේ මදිපඩු පුරවා ගැනීමේ ව්‍යායාමය, ඇරියස් කවර්කර ගැනීමේ ව්‍යාපාරය, විවිධ කාලවල විවිධ ආකාරයෙන් ක්‍රියාවට නැන්වුහ. විටක එය ඊළාම් විරෝධයක් ඔස්සේ දෙමළ විරෝධයක් දක්වා ද, තවත් විටක එය සිංහල ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දියත්කල මුස්ලිම් විරෝධයක් දක්වාද වර්ධනයවිය. හෙළ උරුමයෙන් ඉවත්වෙමින් චම්පික රණවක මහතා සිදුකල කතාවේදී තවත් විරෝධයක් ප්‍රවර්ධනය කිරීමටද කටයුතු කරන බවක්ද පෙනීගියේය. ඒ වූකලී ක්‍රිස්තියානි විරෝධය ය. 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කතෝලික - ක්‍රිස්තියානි පල්ලි බවත්, එය 1960 දශකයේ කතෝලික/ක්‍රිස්තියානි පාසැල් රජයට පවරාගැනීමට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරලීමට කල කුමන්ත්‍රණයක් ලෙස ඔහු දක්වා තිබුණි. 

මෙය හිතා මතාම කරුණු විකෘතිකර මහජනයා නොමග යැවීමට කෙලි පචයකි. 1962 අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට පල්ලිවල කිසිදු සම්බන්දයක් නොතිබි බවත්, එය කිසිසේත්ම කතෝලික /ක්‍රිස්තියානි පාසල් ආණ්ඩුවට පවරාගැනීමට එරෙහිව ඇතිවුවක් නොවන බවත් එම කුමන්ත්‍රණය පිලිබදව සිදුකල අධිකරණ විමර්ශනයේදී මෙන්ම අනෙකුත් පරීක්ෂණ සහ අධ්‍යනයන්වලින්ද තහවුරුවී ඇත. 

කරුණු එසේ තිබියදී ප.ච. රණවක හෙවත් පඨලී චම්පක රණවක මෙවැනි මහජනයා නොමගවන ප්‍රකාශ කරන්නේ ඇයි? පැහැදිලිවම, ඔහුගේ/ඔවුන්ගේ මදි පාඩු පුරවාගැනීමටය. 'ඇරියස් කවර්' කරගැනීමටය. ඔහුට /ඔවුන්ට භුක්තිවිදිය නොහැකි එහෙත් අනෙකා භුක්තිවිදින සතුට විනාශ කරලීමටය. එහිලා ඔවුන් ප්‍රවර්ධනය කරන දෘෂ්ටිවාදය නම් ලංකික ශිෂ්ටාචාරය ගොඩනැගුවේ සිංහල-බෞද්ධයන්ය, ලාංකික අනන්‍යතාවයේ පදනම සිංහල-බෞද්ධ සංස්කෘතිය යන අධිපතිවාදයය. 
 
එහෙත් අපි විශ්වාස කරන්නේ කිසියම් ශිෂ්ටාචාරයක් හෝ සංස්කෘතියක් එක ජාතියකට හෝ එක් ආගමකට ලඝුකල නොහැකි බවය. සෑම ශිෂ්ටාචාරයක්ම මෙන්ම සෑම සංස්කෘතියක්ම අනෙක් ශිෂ්ටාචාරයන්ගෙන් සහ සංස්කෘතියන්ගෙන් පෝෂණයවූ පොදු මිනිස් ශිෂ්ටාචරය. එහෙත් ඒ බව නොතකමින් සිය බල දේශපාලන ව්‍යාපෘතිය වෙනුවෙන් සිංහල-බෞද්ධ ස්වොත්මක ජාතිකවාදී (chauvinistic nationalism) දෘෂ්ටිවාදයක් සහ වැඩපිළිවෙලක් භාවිතාකරයි. එසේ කරමින් ප.ච. රණවකලා දැන් පටන්ම හින්දු, මුස්ලිම් , ක්‍රිස්තියානි ආදී සෙසු ජාතීන් සහ අනන්‍යතාවයන් ලාංකික ශිෂ්ටාචාරය නම්වූ සිංහල-බෞද්ධ මහා වෘක්ෂයේ එතුන 'වැල්' ය යනුවෙන් දක්වමින්, එකී සිංහල-බෞද්ධ නොවන අනෙකුත් ජන කණ්ඩායම් නම් 'වැල්' වලට හොදින් වැඩී, මල්පල ගැන්වීමට තරම් 'සිංහල-බෞද්ධ ජනයාගේ සහනශීලීත්වය' ඉඩ ප්‍රස්ථාවක් ලබාදී ඇතයි දක්වමින්, සෙසු ජාතීන් සහ සංස්කෘතික අන්‍යයතාවයන් එකී 'සිංහල-බෞද්ධ සහනශීලීත්වය' හොදින් අවබෝධකර ගතයුතු යැයි දක්වමින්, අනතුරු අගවමින් සිටී. 

අප මෙම අනතුරු ඇගවීම් කිසිසේත්ම සුලුවෙන් සැලකිය යුතු හෝ බැහැර කල යුතු නොවේ. ඒ පිලිබදව පැහැදිලි අවබෝධයෙන් සහ අවධානයෙන් පසුවිය යුතුය.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
17/12/2020 

8 comments:

  1. පිස්සු හැදෙනවා!
    මාකස් අයියේ මම ගිය සතියේ දාපු කොමෙන්ට්එක හරියන්නේ මේ ලිපියටනේ.

    මේකත් හරියට ඩාක් සීරීස් එක වගේ.

    ReplyDelete
  2. බන්ඩාරනායක 1956 pandora box ඇරපුදා ඉදන් ඩාක් සීරීස් තමයි.

    ReplyDelete
  3. https://lankacitizens.com/political/චම්පික-රණවකගේ-නව-දේශපාලන/

    ReplyDelete
  4. ලන්කාවෙ පවුල් කීපයක් එකතු වෙන තැනකට ලන්ච් හරි ඩින' හරි ගිහිල්ල එනකොට දැනෙන්නෙ හුඟක් වෙලාවට හරිම හිස් බවක්. එක හේතුවක් තමයි කිසිම intellectually stimulating ටොපික් එකක් කතා කරන්නෙ නැති වීම. හැම වෙලේම බරපතල දේ කතාකරන්න ඕනෙ කියනවා නෙවෙයි, නමුත් සරල මාතෘකාවක් වත් හැම පැත්තෙන්ම බලලා කතා කරන්නෙ නැහැ. කවුරුහරි moderate විදිහට යම් දෙයක් ගැන කතාකලොත් එයාව පහත් කරලා කතා කරනවා. උදාහරනයකට, මහර 'වෙඩි තැබීමෙන්' මැරුනු අය ගැන කෙනෙක් කතා කලොත් 'අනේ අපි දන්න අය නම් එතන නැහැ, ඔයගෙ අය එහෙම වෙන්න ඇති' කියලා කට ඇද කරල කියනවා. ජීවිතේට self-reflection කරන්නෙ නැති නිසා තව කෙනෙක්ගෙන් හොඳ දෙයක් ඉගෙන ගන්න හිතන්නෙත් නැහැ. කිව්වත් වගේ වඩාත්ම භයානකම දෙය පොඩි අයත් ඒ විදිහටම ඉගෙන ගැනීම හෝ ඒගොල්ලොත් නන්නත්තාර වීම.

    ReplyDelete
  5. සම්පුර්ණ ඇත්ත. අනුන්ගේ ඕපාදූපයක් හෝ එදිනෙදා සිද්ධියක් ගැන මිස හරවත්,වැදගත් යමක් ගැන අපේ මිනිස්සු කතා කරන්නේ ඉතා අඩුවෙන්. විශේෂයෙන්ම කෑම මේසවලදී අපේ මිනිස්සුන්ට්ට කතා කරන්න දෙයක් ඇත්තේ නැති තරම්. අවාසනාවකට ඒ ගැන දැදැනුවත්වීමකුත් නෑ.

    ReplyDelete
  6. ශ්‍රීලාංකිකයින් බහුතරයක් මානසික වහල් භාවයෙන් පෙළෙනවා කියලයි මට හිතෙන්නේ. දේශපාලනික, ආගමික, සමහරවිට සංස්කෘතිමය වෙන්නත් පුළුවන්. මේ හින්දම මානුෂිය වශයෙන් හිතන එක, පොලවේ පයගහලා ජීවත්වෙන එක, ප්‍රශ්නෙකදී යථාර්තවාදීව මුහුණ දෙන්න ඕන විදිහ, හදවතට එකඟව අවංකව වැඩකරන විදිහ ඔවුන්ට අමතක වෙලා. ඒ වහල් භාවයම උපයෝගී කරගෙන දේශපාලකයෝ මාරුවෙන් මාරුවට මිනිස්සුන්ගෙම ලේ ටික උරා බොන එක කරන්නේ. පාසල් අධ්‍යාපනයේ ඉදන් මේ දේ වෙනස් කලයුතුයි. වහල් භාවයෙන් මිදුණු දෙමව්පිය පිරිසක් බිහි වෙනතුරු මීලග පරම්පරා එයින් මුදවාගන්න අපහසුයි.

    ReplyDelete