This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 9 January 2019

සිංහල ඉතිහාසයේ හුදු 'කෙවුල් ගමක්' වූ මීගමුව පෘතුගීසීන්ට කුමන තැනක්වුයේද?

රාජාවලිය හෝ වෙනත් සිංහල ඉතිහාස මුලාශ්‍ර ග්‍රන්ථයක මීගමුව ගැන යමක් සදහන්වන්නේ නම් එක්කෝ ඒ 'පටුනු ගමක්' (කුඩා ගම්මානයක්) ලෙසය. නැතිනම් 'කෙවුල් ගමක්' (මසුන් මරන්නන් වෙසෙන ධීවර ගම්මානයක්) ලෙසය. ඇතැම් තැන්හි මෙම 'කෙවුල්' යන යෙදුම මුහුදු වැද්දන් ලෙසද හදුන්වන බවක් පෙනේ. ඒ මස්-මාළු ආදී මරන්නන් පොදුවේ වැද්දන් ලෙස හැදින්වූ සංදර්භයක් තුලය. ධීවර කර්මාන්තයෙහිලා මීගමුව කවදත් ප්‍රසිද්ධය. විහාර මහාදේවියගේ දොලදුකට මීපැණි සොයාගත් තැන, දුටුගැමුණුගේ කඩොල් ඇතා සොයාගත් තැන ආදී ලෙස මීගමුව ද දුටුගැමුණු කථාවස්තුවට ගැට ගැසීමට ගත් ව්‍යාජ උත්සහය තවදුරත් වලංගු නොවන ප්‍රබන්දයක් ලෙස පිලිගන්නා බැවින්,  15 වෙනි සියවසේ සිට ප්‍රචලිතවූ කුරුදූ වෙළදාම, මුක්කර හටන, බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ ක්‍රිස්තියානි ආගම ආදී කාරණා හැරුණු කොට, සිංහල ඉතිහාස රචකයින්ට මීගමුව ගැන කියන්නට ඇත්තේ වෙන කිසිවක් නොව 'මීගමුව යනු මසුන් මරන්නන් වෙසෙන පෙදෙසක්' පමණක්ය  යන්නය. 

එහෙත්, මීට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් ආකාරයකට  පෘතුගීසීන් ඇතුළු යුරෝපීන් මීගමුව හදුනාගත්බව පෙනේ. අඩුම වශයෙන් Tomé Pires (1512-1515), Armando Cortesão (1514) සහ Francisco Rodrigues (1515) වැනි 1500 ගණන්වල විසු ප්‍රාමාණික පෘතුගීසි ඉතිහාස රචකයන්ගේ කෘතිවල පවා මීගමුව ගැන සටහන් කරනුයේ මසුන් මරන්නන් වෙසෙන පෙදෙසකට එහා ගිය අර්ථයක් තුලය. උදාහරණයක් ලෙස 1944 දී ලන්ඩනයේ Hakluyt සංගමයගේ ප්‍රකාශයක් ලෙස පලකල 'The Suma oriental of Tomé Pires: an account of the East, from the Red Sea to Japan, written in Malacca and India in 1512-1515 Vol 1/2' යන කෘතියේ 85 වෙනි පිටුවේ දක්වන ආකාරයට පෘතුගීසීන් මීගමුව හදුනාගෙන ඇත්තේ ප්‍රධාන වෙළද වරායක් (trading port) ලෙසය. විශේෂයෙන්ම මුස්‌ලිම්වරුන්ගේ ප්‍රධාන වෙළද වරායක් ලෙසය. එම පදනමින්ම ඔවුන් මීගමුව මෙන්ම කොළඹ, බේරුවල, අලුත්ගම, හලාවත, කළුතර, වැලිගම සහ ගාල්ලද මෙසේ ප්‍රධාන වාරයන් ලෙස පෘතුගීසින් හදුනාගෙන තිබු බව ඉහත කෘතියේ උක්ත පිටුව අනුවම පෙනීයයි. එම වරායන් සමග පෘතුගීසි ඇතුළු බටහිර ජාතීන් මීගමුවද හුදෙක් ධීවර ගම්මානයකට වඩා වැඩි වැදගත්කමකින් යුක්තවූ  ස්ථානයක් ලෙස හදුනාගන්නා ලදී. ඔවුන් එම නිගමයට එලබෙනුයේ ඔවුන්ට පෙර දේශ ගවේෂණවල නිරතවූ ඉබන් බතුතා, මාර්කෝ පොලෝ ආදීන්ගේ වාර්තා සහ වෙනත් නෞකා චාරිකාවල තොරතුරුද හේතුකොට බව පෙනේ. 

විශේෂයෙන්ම, කුරුස යුද්ධ සමයේදී යුරෝපීන්ගේ මුලික අරමුණක්වූයේ මුස්ලිම්වරුන්ගේ බලය බිද දැමීම සදහා මුස්ලිම්වරුන් අධික ලාභයක් ලබන කුළුබඩු වෙළදාමේ ඒකාධිකාරය බිදදැමීමය. ඒ සම්බන්දයෙන් සිදුකල අධ්‍යනයන්හීදී පෘතුගීසි මෙහෙයුම් දියත්කල යුතු මුස්ලිම්වරුන්ගේ කුළුබඩු වෙළදාමේ  වෙළද වරායක් ලෙස ඔවුන් මීගමුව හදුනාගන්නා ලදී. ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජයාවූ Dom Francisco de Almeida (1505-10) (ශ්‍රී ලංකාවට පැමිණි ලොරොන්සෝ ඩි අල්මේදාගේ පියා) 1508දී ද, ඉන්දියාවේ ඊට පසු පැමිණි ප්‍රතිරාජයාවූ Lopo Soares de Albergaria විසින් 1518 දී ද පැහැදිලිවම මීගමුව එසේ හදුනාගෙන තිබුණි. ඒ බව ජේසු නිකායික පියතුමෙකුවූ Fernão de Queyroz ගේ සටහන් අනුව තහවුරුවේ. බ්‍රසීලයේ Rio de Janeiro කෞතුකාගාරයේ තිබී සොයාගත් Fernão de Queyroz පියතුමාගේ වසර 300කට වඩා පැරණි සටහන් 1916 දී 'Conquista temporal e espiritual de Ceylaõ' නමින් පෘතුගීසි බසින් පලකර ඇත. ක්‍රි. ව. 1930දී  S. G. Perera පියතුමාද, 1940 දී  Paul E. Pieris ද එම කෘතිය සහ de Queyroz පියතුමාගේ තවත් සටහන්  ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලදී.  

ඇත්තවශයෙන්ම, පෘතුගීසින් ලංකාවට පැමිණියේ 1505 දී වුවද, 1505-1518  තෙක් පෘතුගීසින්  ශ්‍රී ලංකාව සම්බන්දයෙන් සුවිශේෂි මැදිහත්වීමක් සිදු නොකළහ. ඒම කාලය තුල ඔවුන් සිදුකලේ කෝට්ටේ රජ සමග බැදුන ගිවිසුම අනුව කුරුදූ මිලදී ගැනීමත්, මුස්ලිම්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය කොල්ල කෑමත් ඔවුන්ට හැකි තරම් හානී පැමිණවීමත්ය.  එහෙත් ක්‍රි. ව. 1518න් පසුව 1524 දක්වා පෘතුගීසි Captain වරයෙකු ලංකාවේ පෘතුගීසි නායකයා ලෙස පත්කරන ලදී. එම වසර 06ක කාලය තුල (1518-1524) Silveira, Brito සහ Lemos යන පෘතුගීසි Captainවරු තිදෙනෙක් ලංකාවේ සිටින ලදී. එහෙත් 1524 සිට 1551 දක්වා ලංකාව පෘතුගීසි Captainවරුන්ගේ පාලනයෙන් ඉවත්කර ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජගේ ඍජු පාලනය යටතට ගන්නා ලදී. ඔවුන් සියල්ලන්ගේම එක් මුලික අරමුණක්වුයේ ලංකාවේ මුස්ලිම්වරුන්ගේ වෙලදාම සියතට ගැනීම හෝ සම්පුර්ණයෙන්ම එය වනසාලීමය. ඉන්දියන් සාගර කලාපයේ මුස්ලිම්වරුන්ගේ වෙළදාම සහමුලින්ම වනසාලීමට තරම් ශක්තියක් පෘතුගීසීන්ට එම කාලය තුල නොතිබුණද, ඔවුහු සෑම විටම මුස්ලිම්වරුන්ගේ වෙලද කටයුතු සහ එදිනෙදා ජනජීවිතය කඩාකප්පල් කළහ. ඒ අනුව ඔවුන් වෙළද වරායක් ලෙස කලින්ම හදුනාගෙන සිටි මීගමුව සම්බන්දයෙන්ද මැදිහත්වන ලදී. 

එහිලා එක්  උදාහරණයක් ලෙස K. V. Krishna Iyer (1938) ගේ 'Zamorins of Calicut: From the earliest times to AD 1806' කෘතියේ එන සටහනක් දැක්විය හැක. එම සටහනින් කියවෙනුවේ 'ක්‍රි.ව.1521වන විට ලංකාවේ මීගමුව වැනි කලාන්තරයක් පුරා මුස්ලිම් වෙළෙන්දන් වෙළද කටයුතු සිදුකල ප්‍රදේශවල ගොඩබිම් අභ්‍යන්තරයට පවා පෘතුගීසින් ඇතුල්වී  සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගේ වෙළද සමූහයන්ට පහරදී, ඔවුන් සතු වෙළද ද්‍රව්‍ය පැහැරගෙන වෙළදාම සිය භාරයට ගත්බවය'. මෙම විස්තරවලට අනුව පෘතුගීසින් පැමිණීමට පෙරපවා මුස්ලිම්වරුන් මීගමුවේ වෙළද කටයුතුවල නිරතවී ඇති බව පැහැදිලිය. බොහෝදුරට පෘතුගීසින් මුහුදේදී මුස්ලිම්වරුන්ගේ වෙළද නැව් වටලා වෙළද ද්‍රව්‍ය කොල්ල කෑම නිතර සිදුකලද 1521 වනවිට වරින්වර  රට අභ්‍යන්තරයටද පිවිස මුස්ලිම්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය පැහැරගනීම සහ විනාශ කිරීම දක්වා ඔවුන් ක්‍රමයෙන්  සිය කටයුතු ව්‍යාප්ත කරන ලදී.  

එකල සැමොරියාන් මුස්ලිම්වරුන් (Samorin/Zamorin)  මීගමුව ආශ්‍රිත  ප්‍රදේශවලින් කුරුදූ, පොල්, පුවක්, කරවල සහ පැණිද, දළුවකොටුව, ඇත්ගාල්ල ප්‍රදේශවල පැවති  අලිගාලවලින් අලිද වෙළදාම සදහා සපයාගෙන ඇත.  ඉන්දියාවේ මෙන්ම ලංකාවේද  මෙකී මුස්‌ලිම්වරුන් ප්‍රසිද්ධව සිටියේ අරාබි මුස්ලිම් වෙළෙන්දන් ලෙසය. පෙනීයන කරුණු අනුව සැමොරියාන් මුස්ලිම්වරුන් (Samorin/Zamorin)  වෙළද බලය මීගමුව තුල ස්තාපිතව තිබු බව පිළිගත හැක. විශේෂයෙන්ම මේ කාලය වෙන විට බේරුවල මුස්ලිම් පල්ලියට පෙනුමෙන් සමාන මුස්ලිම් පල්ලියක්  කම්මල්තුරේ වරායෙන් මෙපිට   පිහිටි මීගමුවේ පාරුතොට (පෝරුතොට) තිබී ඇත. එපමනක් නොව ගව පට්ටිමෙන්ම, එළුපට්ටි හිමි මුස්ලිම් ජනයාද මීගමුවේ ඒවන විට වාසය කරතිබේ.  මේ කාලය වනවිට මීගමුවේ වෙරළ බඩ කලාපයේ විසු බොහෝ දෙනා එක්කෝ හින්දුය නැතිනම් මුස්‌ලිම් බව පෙනේ. මෙතක් හමුව කිසිදු ඉතිහාස ග්‍රන්ථයක එම කාලය වනවිට මීගමුව වෙරළබඩ කලාපයේ කිසිදු බෞද්ධ සිද්ධස්ථානයක් පැවති බව වාර්තා නොවේ. දමිළ භාෂාව ප්‍රදේශයේ සිටි හින්දු සහ මුස්ලිම් ජනයාගේ පොදු භාෂාව විය.  

ක්‍රි. ව. 1505 - 24 දක්වා කාලය තුල පෘතුගීසින් සිදුකලේ මෙකී ස්ථාපිත මුස්ලිම් වෙළද ආධිපත්‍යයක් පැවති මීගමුවේ මුස්ලිම්වරුන්ගේ වෙළද ද්‍රව්‍ය කොල්ලකෑම, විනාශ කිරීම සහ හානී කිරීමය. එහෙත් ඔවුන්ට මීගමුවේ හෝ රටේ වෙනත් වරාය නගර ආශ්‍රිතව හොදින් ගොඩනගා ගෙන සිටි මුස්ලිම් වෙළද ආධිපත්‍ය බිද හෙළිය නොහැකිවිය. පෘතුගීසීන් සිදුකලේ එම වෙළද අධිපත්‍යට වරින්වර කඩාකප්පල්කාරී ප්‍රහාර එල්ලකර බරපතල හානි සිදුකිරීම පමණි. 

ක්‍රි.ව.1524 දී වස්කෝ ද ගාමා ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජ (Viceroy of India) ලෙස නැවත පත්වී පැමිණීමත් සමග ඉන්දියන් සාගරයේ මුස්ලිම් වෙළද ආධිපත්‍ය බිදදැමීම සදහාද ඉන්දියාවේ පෘතුගීසි බලප්‍රදේශ ආරක්ෂාකර ගැනීම සදහාද වැඩ පිළිවෙලක් සකස්කළේය. ගාමා පෘතුගීසි ප්‍රතිරාජ ලෙස ඉන්දියාවට පැමිණෙන විට ඉන්දියාවේ පෘතුගීසි පාලනයට එරෙහිව සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන් දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබුණි. එයට මුහුණදීම සදහා වස්කෝ ද ගාමා වහාම  ලංකාව ඇතුළු වෙනත් ඉන්දියන් සාගරය අවට සිටි බොහෝ පෘතුගීසි සේනාංක ඉන්දියාවේ කැලිකට්හී පිහිටි ඉන්දියන් සාගරයේ පෘතුගීසි පාලන මධ්‍යස්ථානය ඇතුළු ප්‍රදේශ රැකගැනීම සදහා ගෙන්වා ගත්හ. ඉන් අනතුරුව දියත්වූ ඉන්දියන් සාගරයේ සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගේ ආධිපත්‍යය සම්පුර්ණයෙන්ම බිදදැමී සදහාවූ පෘතුගීසීන් දියත්කල යුද්ධය වසර 50කට වඩා වැඩි කාලයක් පුරා දිවගිය සටන් මාලාවකින් යුතු යුද්ධයක් විය. 

පෘතුගීසින් විසින් විශාල ශක්තියක් යොදා සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන් සමග ඉන්දියන් සාගරයේ දැවැන්ත යුද්ධයක පැටලී සිටින අතරම ලංකාව ආදී පෘතුගීසින් ගොඩබැසී ප්‍රදේශවල පෘතුගීසී ක්‍රියාකාරීත්වයන්වලද අඛණ්ඩව නිරතවීමට ඔවුන්ට සිදුවිය. කෝට්ටේ රාජ්‍යයෙන් කුරුදූ බහාර් 400ක් ලබාගැනීමටත් ඒ වෙනුවෙන් මුහුදින් සහ ගොඩබිමින් එල්ලවෙන තර්ජනවලින් ආරක්ෂාව සැපයීමටත් පෘතුගීසින් ගිවිසුම්ගතව සිටියහ.  විශේෂයෙන්ම ක්‍රි. ව. 1521 දී සිදුවූ විජයාබා කොල්ලයත්  (කෝට්ටේ 7වන විජයබාහු රජ මරා පුතුන් තිදෙනා රජකම පැහැර ගැනීම)  සමග කෝට්ටේ රාජ්‍යය කෝට්ටේ, සීතාවක සහ රයිගම ලෙස තුනට බෙදීගියේය. ඒ සමග පෘතුගීසීන් කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂකයා බවටද, 7වෙන බුවනෙකුබාහු රජගේ ආරක්ෂාව සපයන්නා බවටද ක්‍රමයෙන් පත්වීම සිදුවිය.  වෙළද ද්‍රව්‍ය සොයා පැමිණි පෘතුගීසීන් ක්‍රමයෙන් ලංකාවේ දේශපාලනයට මැදිහත්වීම සිදුවන්නේ එසේය. ඇත්තවශයෙන්ම, විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජ්‍යයේ පාලකයාවූ 7වන බුවනෙකබාහු රජගේ ඉල්ලීම අනුව කෝට්ටේ රාජ්‍යයේ ආරක්ෂකයා ලෙස පෘතුගීසින් ඉදිරිපත්ව ඇත්තේද සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන් එතෙක් අත්කරගෙන තිබු වෙළද කටයුතු අත්කරගැනීමේ උවමනාව පෙරදැරි කරගෙනමය. වෙනත් වචනයකින් කියතොත් පෘතුගීසින් මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත්වනුයේද මුලික වශයෙන්ම සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගේ වෙළද ආධිපත්‍ය බිදදමා එය ඔවුන් වෙත අත්කරගැනීමේ කේන්ද්‍රිය අවශ්‍යතාවය පදනම් කරගෙනය. මුස්ලිම්වරුන්ද කෝට්ටේ සහ සීතාවක අතර ගැටුම උග්‍රකරමින් පෘතුගීසින් පලවාහැරීමට මායාදුන්නේ සමග කටයුතු කළේය. ඒ අනුව පෘතුගීසින්ට රට අභ්‍යන්තරයේදී සහ පිටතදී ද මුස්ලිම්වරුන් සමග සටන් කරන අතරම සීතාවක රාජ්‍ය සමගද (මායාදුන්නේ / රාජසිංහ) සමගද සටන් කිරීමට සිදුවිය. ක්‍රි.ව. 1544 දී කිතුදහම වැලදගත් 600දෙනා යාපනේ සංකිලි රජගේ නියෝගයෙන් ඝාතනය කිරීමත් සමග පෘතුගීසින් යාපනය රාජ්‍යය සමගද යුද්ධකට පැටලිණි. ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියන් සාගරයේද පෘතුගීසින්ට එරෙහිව ක්‍රියාත්මකවන සෑම බලවේගයක් පිටුපසම සිටියේ මුස්ලිම්වරුන් යැයි පෘතුගීසීන් සිතූහ. එහින් ඔවුහු අඛණ්ඩව මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර දියත්කළේය. එහිදී මුස්ලිම්වරුන් නොවන ස්වදේශිකයන්ද අඛණ්ඩව පිඩාවට පත්විය.
  
එහෙත් මීගමුව, කොළඹ, බේරුවල, අලුත්ගම, හලාවත, කළුතර, වැලිගම සහ ගාල්ල වරායන් ආශ්‍රිතව වරින්වර එහෙත් දිගින්දිගටම  සිදුවූ පෘතුගීසි ප්‍රහාරයන් හමුවේ පවා ලංකාවේ මුස්ලිම්වරුන්ගේ වෙළද ආධිපත්‍ය බිද වැටුන බවක් නොපෙනේ.  එම නිසාම ඉංදියාවේ කැලිකට්හී සිට ක්‍රි. ව. 1539 දී පෘතුගීසි සෙනෙවියෙක්වූ මිගෙල් පෙරේරාගේ නායකත්වයෙන් මීගමුවට ගොඩබැස පෘතුගීසි සේනා මුස්ලිම්වරුන්ගේ වෙළද නෞකා, ගබඩා විනාශ කරමින් දැවැන්ත හානියක් කර ඇත. එහෙත් මුස්ලිම් වෙළද කටයුතු දිගටම සිදුවිණි. නැවත ක්‍රි.ව. 1547, 1951, 1560, 1566 යන වර්ෂවලදී එම වරායන් ඉලක්ක කරගෙන විශේෂ පෘතුගීසි ප්‍රහාර දියත්වී තිබේ. දැනට ඒ සම්බන්දයෙන් සොයාගැනීමට ඇත්තේ කෙටි සටහන් කිහිපයක් පමණි. 

ඒහෙත් ක්‍රි.ව. 1570 වන විට තත්වය වඩාත් උග්‍රවූ බව de Queyroz පියතුමාගේ සටහන්  තවුරුකරයි. ක්‍රි.ව. 1574 අප්‍රියල් මාසේදී මීගමුව ප්‍රදේශයට ගොඩබසින  පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව වෙරළ අද්දර නවතා තිබු යාත්‍රාවල් ඇතුළු මුස්ලිම් වෙළද ගබඩා, හින්දු කෝවිල් ආදිය කොල්ලකා 400යක් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.  de Queyroz පියතුමාගේ කෘතියේ 425 පිටුවේ දක්වනුයේ මීගමුව “rich in trade they took many articles of gold and silver, money and apparel, and other spices and goods”. මින් නතර නොවන පෘතුගීසි සෙනවි Diogo de Melo  නැවත වතාවක් එම වසරේදීම මීගමුව ආක්‍රමණයකරන ලදී. මෙවර එය රට අභ්‍යන්තරය දක්වා විහිදුන අතර අලි ඇතුන් ගාල් කල ගම් දක්වා එය ව්‍යාප්තවී තිබේ හරකබාන පවා අත්කරගෙන තිබේ “three leagues further to the interior, where he wrought great destruction, burning villages, capturing 400 persons, taking many cattle" (page 125-26).  

නැවත වතාවක් 1577දී පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව ආක්‍රමණය කර මුස්ලිම්වරුන්ගේ වෙළද ගබඩා කොල්ලකා 200ක් දෙනා අත්අඩංගුවට ගෙන “with the death of many, 200 captives...putting everything to the sword and fire including many storehouses and vessels'' (page 427-28).

නැවත de Queyroz පියතුමාගේ කෘතියේ 430 පිටුවේ දක්වනුවේ  1578 දී ඉන්දියාවේ පෘතුගීසි ප්‍රතිරාජාවූ Afonso de Albuquerque, (Duke of Goa) ඍජු අධීක්ෂණය යටතේ මීගමුව වරාය සහ අවට මුහුදු තීරයටත් රට අභ්‍යන්තරයටත් එල්ලවූ දැවැන්ත පෘතුගීසි ප්‍රහාරයකින් මුස්‌ලිම්වරුන් රතුමුහුද බලා යාත්‍රා කිරීමට සුදානම් කර තිබු යාත්‍රා සමුහයක් වනසා, වෙළද ද්‍රව්‍යයද, එළුවන්/හරකුන් සහ 300යක පිරිසක්ද අල්ලාගත් බවය. 

ක්‍රි. ව. 1586 දක්වා පෘතුගීසින් එල්ල කල මෙවැනි දරුණු ප්‍රහාර නිසාම මීගමුවේ මුස්ලිම්වරුන්ගේ වෙළද ආධිපත්‍ය පමණක් නොව හින්දු ජනයා සමග ඔවුන් මීගමුව තුල භක්තිවිදි ආගමික සහ සංස්කෘතික ආධිපත්‍යයද සම්පුර්ණයෙන්ම බිද දමන ලදී.  ක්‍රි. ව. 1590 වන විටද අඩුම වශයෙන් වසර 300ක කාලයක් පුරා මීගමුවේ හින්දු ආගම ඇදහු දෙමළ ජනගහණයක් සිටියද, ඒහා සමාන කාලයක් මුස්ලිම්වරුන් මීගමුවේ වෙළද ආධිපත්‍ය තහවුරු කරගෙන සිටියද මීගමුව නගරයක් ලෙස ගොඩනැගුන බවක් නොපෙනේ. 

මීගමුව යුරෝපියානු අර්ථයෙන් පල්ලියක්, බල කොටුවක් (garrison), වෙළද පොලක්, සහ ස්ථීර ජන පදිංචියක් ඇති නගරයක් (town) බවට පත්වනුවේ පෘතුගීසීන් පැමිණ මීගමුව කුට්ටිදූව ප්‍රදේශයේ කොටුවක් ඉදිකිරීමෙන් පසුව බව පැහැදිලිය. මෙසේ ස්ථාපිත පෘතුගීසි හමුදා ඛණ්ඩයක් මීගමුව තුල රදවා සිටින  බලකොටුවක් ස්ථාපනය කරනු ලැබුවේ ක්‍රි.ව. 1574 අප්‍රියල් මාසේදී  පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව වරාය සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගෙන් අත්කර ගැනීමෙන් අනතුරව බව Paul E Pieris (1920) ගේ 'Ceylon and the Portuguese 1505-1658' නම් ප්‍රකට කෘතියේ  89 වන පිටුව අනුව තර්ක කරන්නන් සිටී. 

එහෙත් ඊට පෙරද මීගමුවේ කුඩා ප්‍රමාණයේ හෝ පෘතුගීසි කොටුවක් හෝ ගබඩාවක් පිහිටා තිබුණු බවටද පෙනීයන කරුණුද තිබේ. මුස්ලිම්වරුන් හොදින් කරගෙන ගිය වෙළදාම පෘතුගීසීන් බලෙන් අත්කරගැනීමට කටයුතුකිරීමත් සමග එසේ අත්කරගත් භාණ්ඩ රදවා තබාගත හැකි ආරක්ෂා සහිත ස්ථානයක් අවශ්‍යවූ නිසා මීගමුවේ කොටුවක් ඉදිකරනු ලැබූ බව එක් තර්කයකි. එවැනි ස්ථානයක් 1528-30 තරම් කාලයේ පවා මීගමුවේ පැවති බවට තර්ක ඉදිරිපත්වේ. අඩුම තරමින් 1539 මිගෙල් පෙරේරා මීගමුව අත්කර ගත් මෙහෙයුමෙදී මීගමුවේ පෘතුගීසි ගබඩාව-කොටුව යම් ප්‍රමාණයකට ගොඩනගූ බවට පෙනේ. මන්දයත් මිගෙල් පෙරේරා සහ ඔහුගේ සේනාව මීගමුවේ යම් කාලයක් රැදී සිට ඇති නිසාය.  කෙසේවුවද මෙතෙක් සොයාගෙන ඇති සෑම තොරතුරකින්ම කියවෙනුවේ මීගමුවේ ප්‍රථම පෘතුගීසි කොටුව හෝ ගබඩාව පැහැදිලිවම පිහිටා තිබුනේද වර්තමාන මීගමුව පෘතුගීසි-ලන්දේසි කොටුව පැවති ස්ථානයේම බවය.  පෘතුගීසීන් මෙන්ම ලන්දේසින්ද ඉන් අනතුරුව සිදුකලේ කලින් පැවති කොටුව හෝ ගබඩාව තවදුරත් ශක්තිමත් කිරීම හෝ වඩා විශාලකර ශක්තිමත් කිරීමය. එහෙත් ඉංග්‍රිසීන් සිදුකලේ වෙනත් දෙයකි. 

පෘතුගීසින් මෙන්ම ලන්දේසීන්ද මීගමුව කොටුව පිහිටි කුට්ටිදූව ප්‍රදේශය සලකනු ලැබුවේ සංග්‍රාම උපක්‍රම අතින් වැදගත් ස්ථානයක පිහිටි කොටුවක් ලෙසය. එහි සිට කලපුවද මුහුදද එකලෙස නිරීක්ෂණය කලහැකි මෙන්ම ආරක්ෂාව සදහා  පසුබැසීමටද උපකාරීවිය හැකි සැලකියයුතු පසුබිමක් එය සහිතවීය. අනෙක් අතට එම ප්‍රදේශය පිහිටියේ  එකලවූ ජනාවාසවලින් තරමක් ඈතිනි. ආසන්න වශයෙන් පැවතියේ කාමච්චි දෙවියන්ට බිලිපුජාකරන කාමච්චෝඩේය. පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද මීගමුවේ සිය කොටුව සහ ගබඩා සංකීරණය පිහිටුවන්නේ එවැනි පරිසරයකය. එහෙත් ඉංග්‍රීසීන් කන්ද උඩරට රාජ්‍යය යටත්කරගැනීමෙන් අනතුරුව, තමන්ට අභ්‍යන්තරව මෙන්ම බාහිරවද අභියෝගයක් නැති බව පෙනීගිය හෙයින්,  සංග්‍රාම උපක්‍රම අතින් වැදගත් ස්ථානයක පිහිටි මීගමුව  කොටුවේ  විශාල ප්‍රදේශයක් කඩා ඉවත්කර  මීගමුව කොටුව බන්ධනාගාරයක් බවට පත්කර මීගමුව ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතා සදහා අවශ්‍යය ප්‍රදේශයක් බවට පත්කර ගන්නා ලදී. 
කෙසේවුවද, ක්‍රි.ව. 1574 අප්‍රියල් මාසේදී  පෘතුගීසි සෙනවි Diogo de Melo මීගමුව වරාය සැමොරියානු (Samorin/Zamorin) මුස්ලිම්වරුන්ගෙන් අත්කරගැනීමට පෙර පවා මීගමුවේ කුඩා පෘතුගීසි ගබඩාවක් හෝ කුඩා ප්‍රමාණයේ කොටුවක් හෝ පෘතුගීසි හමුදා ඛණ්ඩයක් මීගමුවේ සිටි බවට දැක්විය හැකි තවත් කරුණක් මතුවෙනුවේ. ඒ පෘතුගීසින්  කෝට්ටේ රාජ්‍යයේ දේශපාලන කටයුතුවලට මැදිහත්වීමත් සමග දිගහැරෙන ක්‍රියාකාරකම් ඔස්සේ කියවන කරුණු අනුවය. ඇතැම් අතුරුකථාවල සදහන් වෙනුවේ 07 වෙනි බුවෙනකබාහු රජගේ දෙවන බිසවවූ කීරවැල්ලේ බිසව ආරක්ෂා සහිතව උඩුගම්පල සකල කලා වල්ලභ රාජධානියට සහ මීගමුවේ සිට හලාවත දෙසට යනවිට පිහිටි මාදම්පේ තනිය වල්ලභ රාජ්‍යන්ට රැගෙන යෑම සිදුකර ඇත්තේ පෘතුගීසීන් බවය. ඒම විස්තර අනුව මීගමුවේ  මෙන්ම මීගමුවේ උතුරු කෙරවලින් මහඔය මුහුදට වැටෙන කම්මල්තුරේද පෘතුගීසීන් රැදී සිට ඇත (ගුණරත්න කරුණාදාස (1945) 'මාදම්පේ විත්ති' / රෝහණ මද්දුමගේ (1961) 'උඩුගම්පොළ රජතුමා'). 

මේ සියල්ලටම වඩා 1570 දී ෆ්‍රැන්සිස්කන් පියතුමන්ලා විසින් පෘතුගාලයට යවන ලද වර්තාවක සදහන්වනුවේ මීගමුව බලකොටුව අසල ''දේවමාතා'' (Mother of God /Madre de Deus) පල්ලියක් පැවති බවය. ඒ අනුව 1570 වනවිට මීගමුවේ ශක්තිමත් පෘතුගීසි බලකොටුවක් මෙන්ම ක්‍රිස්තියානි ආගමද මතුව තිබුණි. හින්දු, මුස්ලිම් සංස්කෘතිය වෙනුවට ක්‍රිස්තියානි සංස්කෘතිය සහ පෘතුගීසි භාෂාව හිස ඔසවමින් තිබුණි. 1650 වන විට පමණක් මීගමුවේ කිතුනුවෝ  50000ක් සිට ඇත. මීගමුව පෘතුගීසීන් හදුන්වාදුන් කතෝලික ආගම වැළදගත්, පල්ලි, මිෂනාරි පාසැල් සහ පෘතුගිසි පරිපාලන ගොඩනැගිලි කිහිපයක් තිබු, පෘතුගීසී ජනයා සමග ආවාහ, විවාහකරගත් ජනතාවක් ජීවත්වූ, පෘතුගීසි සංස්කෘතිය සහ පෘතුගීසි භාෂාවෙන් බිදී ගිය පෘතුගීසි ක්‍රයෝල් (Portuguese creole) නම් භාෂාවක් භාවිතාකළ තැනක් බවට ක්‍රි.ව. 1600 ප්‍රථම කාර්තුව වනවිට පත්ව තිබුණි. 

ඉන් තවත් දශක කිහිපයකට පසුව මීගමුවේ පෘතුගීසි බලය ලන්දේසීන් විසින් යටත්කර ගන්නා ලදී. ඒ 1640හේ පෙබරවාරියේ දීය. මීගමුව නැවත අත්කරගැනීමට ලන්දේසීන්ට එරෙහිව පෘතුගීසීන් එම වසරේ දෙසැම්බරයේ යුද්ධ කළේය. ලංකාව තුල පෘතුගීසීන් විසින් ලන්දේසීන්ගෙන් නැවත අත්කරගත් එකම බලකොටුව වුයේ මීගමුවය. ක්‍රි.ව. 1644දී ලංකාවේ අනෙක් සියලුම බලකොටු ලන්දේසීන්ට අයත්වනවිට පවා මීගමුව බලකොටුව පෘතුගීසින් බාරයේ රදවාතබා ගැනීමට පෘතුගීසීන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්ද ක්‍රියාත්මකවන ලදී. එහෙත් ඒ සෑම උත්සහයක්ම ව්‍යාර්ථවූ තැන පෘතුගීසින් මීගමුව බලකොටුව රැකගැනීමට අවසාන සෙබල දක්වා සටන් කර මීගමුව කොටුව ඇතුලේම මැරී වැටුනේය. අති මහත් සටන් සම්බරයකින් අනතුරුව මීගමුවේ බලය තවුරුකරගත් පෘතුගීසින් මීගමුව සම්පුර්ණයෙන්ම වෙනස්ම තැනක් බවට පත්කළහ. අද එහි බලපෑම එයා කාරය.   

සිංහල ඉතිහාසයේ හුදු 'කෙවුල් ගමක්' වූ මීගමුව පෘතුගීසීන්ට කිසිසේත්ම අත්හැරිය නොහැකි තැනක්වුයේ එසේය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා. 
09/01/2019.

* මුල්ම ජයාරූපයේ දැක්වෙනුවේ 1980 වන විට මීගමුව පෘතුගීසි-ලන්දේසි කොටුව පැවති ආකාරය. ඉන් අනතුරව මීගමුව කොටුව නොසලකා හැරීම නිසා ගරාවැටුණි. නැවත ගියවසර දී එය පිළිසකර කර 1980 තත්වයට ආසන්න තත්වයකට පත්කළේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා පුරාවිද්‍යා කටයුතු භාර ඇමතිවරයාද ලෙස කටයුතු කරන සමයේම.  මීගමුව කොටුව මේ තරමින් හෝ රැකගැනීම සදහා  මැදිහත්වීමට හැකිවීම භාග්‍යයකි.

2 comments:

  1. අගනා ලිපියක්. කරුණු සාර්ගර්භයි සත්‍යයි. නමුත් මීගමුවේ ජනගහනය ගැනකියන කොටස ට එකඟ වෙන්න බෑ, ඔය කියන කාලෙ මුලු ලංකාවෙම ජනගහනයත් 50,000 ඉක්මවන්නෙ නෑ. සමහර අය කියනවා පෘතුගීසීන් එනවිටලංකාවෙ සමස්ත ජනගහනය 25000 ක් පමන කියා.

    ඉතිහාසකරුවන් ජනගහනය ගැන කියන්නෙ බොහෝ විට අතිශයෝක්තියෙන්. දුටුගැමුනු රජුගේ කාලය ගන ලියපු අයත් ලක්ශගනන්වල සේනා ලක්ෂගනන් ජනයා කෙළිදෙලෙන් සිටින නගර ගැන ලියා තිබෙනවා. මට සිතෙන්නෙ දුටුගැමුනු යුගයෙත් රටේම ජනගහනය 10000 ක් පමන වන්නට ඇති.

    මීගමුව ව්‍යාජ ඉතිහාසයකට ගැටගැසීම පරාජය වීම නම් සතුටුයි.

    ReplyDelete
  2. ඇත්තටම ඒ සංඛ්‍යාලේඛන විවාදාත්මකයි. මොකද එකක් පැහැදිලි සහ නිරවුල් ජනසංඝණයක් නැති නිසා. අනෙක මෙහිදී මීගමුව කියන ප්‍රදේශයේ සීමා මායිම් මොනවාද? මට පෙනෙන විදිහට එය පැහැදිලිවම නූතන මීගමු නගර සීමාව ඉක්මවාගිය අලුත්කුරු කූරුවේ බොහෝ ප්‍රදේශ අයත්ව තිබු කලාපයක්.

    ReplyDelete