This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 2 January 2017

සරත් ගුණරත්න: ජනතාවට නොව තමා පත්කළ තැනැත්තන්ට සේවය කිරීමේ ආනිශංස

කලකට පෙර මීගමුව ආසනයෙන් පාර්ලිමේන්තුවට ගියේ උගත්, වැදගත් දේශපාලනඥයන්ය. ලංකා සමසමාජ පක්ෂයේ දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂයෙන් තෙවරක් (60 මාර්තු / 60 ජුලි සහ 1965) පාර්ලි‌‌මේන්තුවට තේරීපත්වූ හිටපු අධිකරණ විනිසුරුවෙක්වූ කුයින්ටින් ප්‍රනාන්දු මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරමින් මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය නීතීඥ ඩෙන්සිල් ප්‍රනාන්දු ද මේයට හොදම උදාහරණය. මීගමුවෙන් පාර්ලි‌‌මේන්තු ගිය මෙම උගත්, වැදගත් ලැයිස්තුවේ  අවසාන තැනැත්තාවූයේ නීතීඥ  සරත්චන්ද්‍ර ගුණරත්නය. ඔහු 1992 දී පමණ මියයන ලදී.

මීගමුවේ එදා පැවති ඒ උගත්, වැදගත් ලැයිස්තුව දැන් අවසන්ව ඇත. ඒ වෙනුවට අද මුදල් සහ මැරකම් පෙරට පැමිණ ඇත. මෙම ලැයිස්තුවේ ආරම්භකයාවූයේ මීගමුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයෙකුවූ ආනන්ද මුණසිංහය. 1970 දශකයේ ඇරබි ඔහුගේ දේශපාලනය අවසානවුයේ 2001 දී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාවාදී එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටවීමට S.B. දිසානායක ඇතුළු පිරිස සමග මන්ත්‍රීවරයෙකු ලෙස  පාර්ලි‌‌මේන්තුවේදී පැත්ත මාරු කිරීමත් සමගය. එය විශාල මුදල් කන්දරාවක් මත සිදුවූ ගනුදෙනුවෙකැයි එකල ප්‍රසිද්ධ විය. 

ඔහුගේ අඩුව පිරවීමට මීගමුවේ ඊලග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයා ලෙස පත්වුයේ සරත් කුමාර ගුණරත්නය. ඔහුද 70 දශකයේ සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ලෙස තලාහේන පේරුව ප්‍රදේශයේ ප්‍රකටව සිටියේය. විශේෂයෙන්ම 1977 පත්වූ J.R. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ රජයෙන් සිදුවූ විවිධ අකටයුතුකම් වලට එරෙහිව මීගමුවේ ශ්‍රී ලංකා කාරයන් සමග ශක්තිමත්ව පෙනීසිටීම වෙනුවෙන් සරත් කුමාර ගුණරත්න නමක් දිනාගෙන සිටියේය. ඒ එවකට  ශ්‍රී ලංකා නිදහස්   පක්ෂ සංවිධායකයාවූ ආනන්ද මුණසිංහ ශ්‍රී ලංකා නිදහස්   පක්ෂයෙන් කැඩීගිය විජය-චන්ද්‍රිකා සමග එක්ව කටයුතු කරමින් සිටියදීය. 

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පෙනීසිටීම නිසාම 89 භීෂණ සමයේදී  සරත් ගුණරත්නට සිය ජීවිතය බේරාගැනීමට  රටින් පලායාමට පවා සිදුවිය. ඉතාලියේ වසර 10ක් පමණ කාලයක් ගතකිරීමෙන් පසු නැවත ලංකාවට පැමිණි සරත් ගුණරත්න මහතා මීගමුව ග්‍රීන්ස් පාරේ මත්පැන් අලවිහලක් පවත්වාගෙන යන ලදී. සරල ඇදුමකින් සැරසී එම වයින් ස්ටොස් ඒක ඉදිරිපිට සිනා මුසු මුහුණින් කවුරුන් සමගත් කථාකරමින් සිටීම ඔහු සිය පුරුද්දක් කරගෙන සිටියේය. බොහෝ දෙනෙකු ඔහුට ' ආ මේ සරත් නේ' / 'හෙල්ලෝ සරත් අයියා' කියා අමතනු දැක ඇත්තෙමි.   පසුව සිය පැරණි පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගකර බස්නාහිර පළාත්සභාවට පත්වන ලදී. මුලසිටම මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ  හිතවත්කම් ඇතිව සිටි නිසාම එම අනුග්‍රහයන් යටතේ  මීගමුව ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයා බවට පත්විය. 2004  මහා මැතිවරණයට තරග කලද පාර්ලි‌‌මේන්තුවට නොතේරෙන ලදී, එහෙත් ලැයිස්තුවේ ඊලගට සිටි තැනැතා ලෙස ඔහු 2006 පාර්ලි‌‌මේන්තුවට ගියේය. 

කෙසේවෙතත් ඊලග මැතිවරණයේදී සමානුපාතික ක්‍රමය යටතේ වැඩි මනාපගෙන නැවත පාර්ලිමේන්තුවට යෑම දුෂ්කර බව  සරත් කුමාර ගුණරත්න මහතා දැන සිටින ලදී.  එහෙත් ඒ සිහිනය සැබෑකරදීමට ඔහුට ඉටු දෙයියෙක් විය. ඒ මහින්ද රාජපක්ෂය. 2010 මහා මැතිවරණයේදී මනාප අඩුවෙන් ලබා ඔහු ලැයිස්තුවේ පහලින් සිටියද කැලණියේ සිසිර ජයකොඩි මහතා කපාදමා  පාර්ලිමේන්තුවට යෑමට  අවස්ථාව බැසිල් රාජපක්ෂ මහතා ඔහුට හිමිකර දුන්බව තතු දත්තෝ දනිති. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ සහ මර්වින් සිල්වා වැනි ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහය යටතේය. 

තමා පත්කලේ මහජනයා නොව මහින්ද රාජපක්ෂ බව හොදින් දැන සිටි සරත් කුමාර ගුණරත්න මහතා එතැන් සිට සේවය කලේ මහජනයාට නොව මහ රජාටය. සිය පවුලේ සාමාජිකයන්ටය. සිය මිතුරන් කිහිපදෙනාටය. සිය සගයින් අත්ලොස්සටය. ඔහුගේ මහින්ද භක්තිය කෙතක්වුයේදයත් දික්ඕවිට ධීවර වරාය ඉදිකිරීමේ කිසියම් කොන්ත්‍රාත්තුවක් සම්බන්දයෙන් බැසිල් රාජපක්ෂට එරෙහිව මහින්ද රාජපක්ෂට කෙලින්ම පැමිණිලිකල බව සැලය. මහින්ද රාජපක්ෂ මහතා සිය සොහොයුරාවන බැසිල් රාජපක්ෂට එරෙහිව කිසිවක් නොකරනු ඇති බව වටහාගැනීමට ඔහුට නොහැකිවිය. 

එහි ප්‍රතිපලයවුයේ බැසිල් රාජපක්ෂ විසින් සරත් කුමාර ගුණරත්නව කපාදැමීම සදහා බස්නාහිර පළාත් සභාවට තේරීසිටි මීගමුවේ නිමල් ලාන්සා මහතාව උඩට ගැනීමය. සරත් ගුණරත්න සහ නිමල් ලාන්සා අතර ගැටුම නිර්මාණය වන්නේ එලෙසය. නිමල් ලාන්සාගේ ගෙදරට මත්ද්‍රව්‍ය සොයා මත්ද්‍රව්‍ය නිෂ්කාශන අංශය පැමිණීමත්, නිමල් ලාන්සා විසින් සරත් ගුණරත්න වත්තල රජයේ ඉඩමක් ජෙට්වින් සමාගමට විකිණීම සම්බන්දයෙන් අල්ලස් සහ දුෂණ කොමිසමට යෑමත් මේ ගැටුමේ ජවනිකා කිහිපයක් පමණි. 

මීගමුව කලපුව සංවර්ධනයට දුන් මුදලින් කොටසක් අතුරුදහන්වීම පිලිබදව සරත් ගුණරත්න මහතා හෙලිකල යුතුය. එම මුදලින් තවත් කොටසක් ඉකුත් ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක වැඩවලට යොදවන්නට අණදුන්නේ කවුද? යන්නද ඔහු හෙළිකල යුතුය. 

එමෙන්ම මීගමුව කලපුව  සංවර්ධනයට දුන් එම මුදලට හරියටම වූදේ පමණක් නොව සරත් ගුණරත්න මහතා අතින් සිදුවූ 2002 රිය අනතුර සම්බන්දයෙන් ද, රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට බදාකිරීම සම්බන්යෙන්ද, සියළු තොරතුරු සම්බන්දයෙන් නිසි නිලධාරීන් දැනුවත්කර සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීම දිගහැරුණු ක්‍රියාවලිය සම්බන්දයෙන් නිමල් ලාන්සා මහතාට බොහෝ තොරතුරු හෙලිකල හැක. 

අවසාන වශයෙන් කිවහැක්කේ සරත් ගුණරත්න පමණක් නොව නිමල් ලාන්සාද රාජපක්ෂලාගේ ඔඩොක්කුවට වැටෙන්නේ නැතිව මහජනයාගේ නියෝජිතයින් වුයේ නම් මෙවන් විපත් නොවේනූ ඇත යන්නය.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
03/01/17. 


6 comments:

  1. මාංචු දානවා ගලවනවා......ගෑණු වළලු දානවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඇතුලට දානවා.. එලියට ගන්නවා.. ආයෙත් ඇතුලට දානවා.. එලියට ගන්නවා..හරියට නිකන් හිර කූඩුව හුරු කරවන්න වගේ... එකපාරටම ඇදගෙන ගිහින් හිරේ දාන්නෙත් නැහැ.. හිරේ දාලා නඩු අහන්නෙත් නැහැ... නඩු අහන්න හදිස්සියකුත් නැහැ.... හිරේ දාන්න හදිස්සියකුත් නැහැ.. හිරේ දැම්මත් දාන්නේ දෙතුන්පාරක්වත් හොදට හිරේ හුරු කරෝලයි.... ටිකක් තේරුම් ගන්න බැරිව ගියාට, අන්න ඕකයි මහත්තයෝ යහපාලනය යැයි කියන්නේ.. . නරක නැහැ නේද ?

      Delete
  2. ඕකේ ආනිසංසෙ ඉතිං ඒ අයගෙ දියුණුව තමා. ඒ වගේ අයව ප්‍රතික්ෂේප කරන්න හයියක් නැති ඡන්දදායකයො ඉන්නකං

    ReplyDelete
    Replies
    1. සරත් ගුණරතන 2010 මැතිවරණයෙන් ගත්තේ අඩු මනාප ප්‍රමාණයක්, එහෙත් රාජපක්ෂලාගේ පිහිටෙන් සිසිර ජයකොඩිව කපලා පාර්ලි‌‌මේන්තු ගියා. කොහොමත් එයාට චන්දයකින් නම් දැන් දිනන්න බැහැ තරිදු !!!

      Delete
  3. ඊළඟ සැරේ උඩින්ම දිනයි.

    ReplyDelete