This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 15 March 2023

පොදු +රාජ්‍ය+මණ්ඩලයට = පොදු මොනවද ?

 

දාහත්වන සියවසේ එංගලන්තයේ විසු, පුරාවස්තු සහ ඉතිහාසය පිලිබදව උනන්දුවුවෙකු  වූ, ජෝන් ඔබ්රේ (John Aubrey) ගේ 1659 සටහනකට අනුව එකල එරට සාමාන්‍ය ජනයා සුරා-සැල් වල රැස්වෙමින් එදිනෙදා පොදු කටයුතු, භව-බෝග, දේශපාලනය, ආදී ආගිය විස්තර කථාකරමින් සිදුකරන හමුවන් හැදින්වීම සදහා ‘ක්ලබ්’ යන නව වචනයක් භාවිතයට ගෙන ඇති බව දක්වා තිබේ. (“We now use the word clubbe for a sodality [a society, association, or fraternity of any kind] in a tavern.”) මෙම  සුරා-සැල් (tavern) ඇසුරින් ගොඩනැගුන පොදු ජනයාගේ හමුවන්, දැඩි ගෝෂාකාරී විවාදයන් (Contention) බවටත්, නව දේශපාලනය මතයන් පෙරදැරිකරගත් දේශපාලනය ව්‍යාපාරයන් (Social Movements) බවට‍ත් පත්ව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු බටහිර ලෝකය නව ගමන්මගක් කරා යොමුකර වූ බව චාල්ස් ටිලිගේ (Charles Tilly (1998), Social movements and (all sorts of ) other political interactions) නම් රචනය දක්වයි. 

මෙලෙස බ්‍රිතාන්‍ය සාමාන්‍ය ජනයා සුරා-සැල් වල රැස්වෙමින් සිදුකරන පොදු හමුවන් දේශපාලන පෙරලි බවට වර්ධනය වනවිට,  එරට ප්‍රභූ මට්ටමේ පිරිස් ද එවැනිම හමුවන් සිදුකරමින්, තමන්ට අවශේෂ පොදු විෂයන් සාකච්ඡාවට ලක්කරමින්, සිය අතිරේක කාලය තම තමන්ගේ රසවින්දනය සදහා යොදවාගන්නා ලදී. මෙම ප්‍රභූන්ගේ පොදු හමුවන් හැදින්වීම සදහා යොදාගනු ලැබුවේ Club යන වචනයයි. එය මීට පෙර සාමාන්‍ය ජනයාගේ සුරා-සැල් වල හමුවන් විස්තර කිරීමට යොදාගත් clubbe යන වචනයේ වඩාත් ඔපදැමු භාවිතය විය. ප්‍රථමයෙන් කෝපි ක්ලබ් (Coffee Club) වලින් ඇරබුනු ප්‍රභූන්ගේ මෙම පොදු සමාජ හමුවන් පසුව, ටෙනිස් ක්ලබ්, ඔරු පදින සමාජ, සහ දේශපාලන මත දරන ‘ලිබරල් සමාජ’ (Liberal Club) වැනි ප්‍රතිපත්ති තීරණයකරන Club දක්වා වර්ධනය වන ලදී. 

සාමාන්‍ය ජනයාගේ පොදු හමුවන් මගින් පණපොවන ලද දේශපාලන සටන්පාඨයන් සම්බන්දයෙන් ප්‍රභූන්ගේ සමාජයන්ද නිතර සාකඡචාවට ලක්කල බවට විවිධ සාක්ෂි තිබේ. එහිලා හොදම උදාහරණය වන්නේ ප්‍රංශයේ 16වන සියවසේ ඇතිවූ කතෝලික සහ රෙපරමාදු ක්‍රිස්තියානි ආගමික ගැටුම් නිසා එංගලන්තයට පලාආ කෙල්වින්වාදීන් (Calvinist/Huguenot) දේශනා කල, එංගලන්තයේ කේම්බ්‍රිජ් පළාතේ කතෝලික බිෂොප්වරයා ප්‍රසිද්ධියේම පිළිගත්, ‘සෑම මිනිසෙකුම සමානව මවා ඇතිබව’ (All men being created equal) සදහන් ක්‍රිස්තියානි ආගමික ඉගැන්වීමයි. මෙම ආගමික මතයන් එංගලන්තයේ සහ ප්‍රංශයේ සාමාන්‍ය ජනයාගේ ඕපාදූප කථාබහේ සිට, වහල් සේවයට එරෙහි එංගලන්තයේ සමාජ-දේශපාලන පෙළගැසීම් වලත්,  ප්‍රංශ විප්ලවයේත්, ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයෙත් (1776/07/04) ඉහලින්ම පිළිගැනීමට ලක්විය. එහෙත් බ්‍රිතාන්‍ය ප්‍රභූන්ගෙන් නම් එම මතයට එල්ල වුයේ දැඩි විවේචනකි. 1902 බ්‍රිතාන්‍ය  අගමැතිවරයාවූ ආතර් බැල්ෆෙර් (Arthur Balfour) වරක් ප්‍රකාශ කලේ ‘යම් ජාතියක මිනිසුන් සමානව මවා ඇතිමුත්, මාධ්‍යම අප්‍රිකානු මිනිසාත් යුරෝපියානු මිනිසාත් සමානව මවා නැති බවයි’ (‘All men of a particular nation were created equal, but not that a man in Central Africa was created equal to a European’).  පන්ති, වාර්ගික සහ වෙනත් සමාජ වෙනස්කම් සොභාවික ස්වරූපයන් යැයි විශ්වාස කල ආතර් බැල්ෆෙර් වැනි ප්‍රභූන්ගෙන් සැකසෙන බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය පිළිගත් තවත් මතයක් වුයේ මිනිසුන් සමානව මවා නොතිබුණද, ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශවල වෙසෙන්නේ එක ජාතීයකට අයත් ජනයා බවයි. එනම් කැනඩාවේ ඉංග්‍රීසි, ප්‍රංශ, රතු ඉන්දියානුවන් ආදී විවිධ ජන වර්ගවලට අයත් ජනයා ජීවත්වුවද ඔවුන් අයත් වන්නේ කැනේඩියානුවන් නම්  එක් ජාතියකට බව පිළිගැනීමයි. මෙම මතය පැටලිලි සහගත කෘතිමව නිර්මර්ණය කල මතයක් උවද එහි දේශපාලන අදහසක් තිබුණි.

එනම් එක් රාජ්‍යක් තුල සිටිනුයේ එක ජාතියක්ය යන්නය, නොහොත් එක ජාතියක් වෙසෙන ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ ජාතික රාජ්‍ය (Nation-State) වශයෙන් සලකන ලබන බවයි. මෙම මතයට අනුව අප්‍රිකානුවන් හෝ ආසියානුවන් හෝ යුරෝපීන් සමානවුවද-නැතද, ඒ ඒ ප්‍රදේශවල ජාතික-රාජ්‍ය වෙනත් ජාතික-රාජ්‍ය හා සමාන බව පිළිගනී. එවැනි ජාතික-රාජ්‍යනට එකට කටයුතු කල හැකිබව ද පිළිගනී. ජාත්‍යන්තර දේශපාලනයෙදී මෙම සෑම ජාතියකටම සමාන අයිතීන් හිමිවන බවද පිළිගනී. මේ දේශපාලන මතය බ්‍රිතාන්‍ය සිය රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනයෙදී නිල ප්‍රතිපතියක් වශයෙන් 1926 දී  පිළිගන්නා ලද අතර එය ආතර් බැල්ෆෙර් ගේ  ප්‍රකාශනය නැතහොත් බැල්ෆෙර් ප්‍රකාශනය (Balfour Declaration) නමින් නම් කර ඇත. 

පොදුරාජ්‍ය මණ්ඩලය මුලින්ම ගොඩනැගෙන්නේ (Commonwealth of Nations) මේ බැල්ෆෙර් ප්‍රකාශනය මුල්කරගෙනය. 1926 බැල්ෆෙර් ප්‍රකාශනය එලිදක්වන විටත් බ්‍රිතාන්‍ය යටත් විජිතය තුල ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ කිහිපයක් තිබුණි, එනම් කැනඩාව, නිව් ෆවුන්ලන්තය, (1922 උතුරැ සහ දකුණ ලෙස අයර්ලන්තය බෙදීමෙන් පසුව බිහිකල) නිදහස් අයර්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයය. එහි වෙසෙන ජන වර්ගයන්ගේ වෙනස් කම් පසෙක තබා ඔවුන් එක ජාතියක් ලෙස සලකන ලදී. එවැනි ඒකක වල පාලන තන්ත්‍රයනට එකට එක්ව සමානයන් මෙන් කටයුතු කළහැකි බව පිළිගන්නා ලදී. ඒ සෑම පාලන තන්ත්‍රයකටම සමාන අයිතිවාසිකම් හිමි බව දක්වන ලදී. ඔවුන් සියල්ලෝම පාහේ ජනපදවාසි-විජිතයන් (settlers colonies) ගෙන් ආ සූදු සම ඇති යුරෝපීන්ම වු නිසා ඉහත බැල්ෆෙර් ප්‍රකාශනය ගැන එතරම්ම ගැටළුවක් නොවිණි. එනෙක එම විජිත වලින් පැමිණියේද ප්‍රභූ පාලකයන්ම නිසා එතරම්, වෙනසක් හෝ විවාදයක්ද නොතිබිණි. එහෙයින් මුල්ම පොදුරාජ්‍ය මණ්ඩලය තවත් ප්‍රභූන්ගේ ‘ක්ලබ්’එකකට වඩා යමක් ද නොවිණි. 

එහෙත් නිදහස් අයර්ලන්තය නොබෝ කලකින් අයර්ලන්ත ජනරජය බවට පත්ව බ්‍රිතාන්‍යයේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය අතර, නිව් ෆවුන්ලන්තය (1949) කැනඩාවේ ප්‍රාන්තයක් බවට එක්වීමත් සමග පොදුරාජ්‍ය මණ්ඩලය බ්‍රිතාන්‍යටත්, දකුණු අප්‍රිකාවත්, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයටත් පමණක් සීමාවිය. එයටත් වඩා  දෙවන ලෝක යුද්දයෙන් පසුව ලෝක බල තුලනය වෙනස් වීය. එතෙක් බ්‍රිතාන්‍යට පැවති ස්ථානය අභිබවා ඇමෙරිකානු සහ සෝවියට් රුසියාව නව බලවතුන් බවට පත්වීය.  ඒ සමග ඉන්දීයාව ඇතුළු බ්‍රිතාන්‍ය යටත් විජිතයන්ට නිදහස් ලබාදීමටද සිදුවීය.  එහෙයින් මෙතෙක් බ්‍රිතාන්‍ය ලෝක දේශපාලනය තුල පවත්වාගෙන ආ සිය අස්ථානය තවදුරත් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න බ්‍රිතාන්‍යයේ විවිධ සමාජයන් තුල දීර්ඝ සාකච්ඡාවනට ලක්විය. 

එහිදී ඔවුන් පැමිණි නිගමනය වුයේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමග විශේෂ සම්බන්දයක්  (Special Relationship) පවත්වාගෙන යන අතරම එවකට 04 දෙනෙකුට සිමාවී ඇති පොදුරාජ්‍ය මණ්ඩලය නව සාමාජිකයන් සමග නැවත පණගැන්විය යුතු බවයි. එහෙත් ඉන්දියාව වැනි බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබූ රටවලට එයට එක්වීමට බාධකයක්ව පැවතියේ එහි  සාමාජිකත්වය ‘බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත් ස්වයන් පාලනයක් ඇති ප්‍රදේශ වලට’ සීමාවී තිබීමයි. නිදහස දිනූ ඉන්දියාව තව දුරටත් බ්‍රිතාන්‍ය විජිතයට අයත්  ප්‍රදේශයක් නොවන බැවින් එම රෙගුලාසි වෙනස් කරතොත් තමන්ටද සහභාගී වීය හැකියැයි දැන්වුයෙන් 1948 ලන්ඩන් ප්‍රකාශනය (The London Declaration ) මගින් බ්‍රිතාන්‍ය යටත් විජිත පමණක් නොව ජනරජයන්ටද  එහි සාමාජිකත්වය හිමිවන බව පිළිගන්නා ලදී.  වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවෙන්නේ එලෙසිනි. ශ්‍රී ලංකාවද 1948 දීම එම පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගන්නා ලදී. වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලය බිහිවන විටවත් එහි මුල් පදනම් සකස්කල බැල්ෆෙර් ප්‍රකාශනය ගැන හෝ එහි කාර්යභාරය ගැන හෝ  එහි එහි ප්‍රතිපත්ත ගැන හෝ පුළුල් සංවාදයක් නොතිබිණි. එහින් එය තවත් සමාජයකට (Club) සාමාජිකයන් බැදෙනවාට වඩා වෙනසක් නොපෙන්වන ලදී.

අද එහි සාමාජිකයන් 53 සිටී. මුළුමනින්ම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයට අයත්  සාමාජිකයන්ගෙන් සැදුම් ලද්දද සෑම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ම මෙහි සාමාජිකයන් නොවේ. ඉරාකය, (ඊශ්‍රරායලය සහ පලස්තීනය අයත්) පැරණි බ්‍රිතාන්‍ය පලස්තීන ප්‍රදේශ, ඊජිප්තුව, ජෝර්දානය, යේමනය ආදී රටවල් මෙහි සමාජිකත්ව ලබා නොගන්නා ලද අතර අයර්ලන්තය, සිම්බාබ්වේ සහ නැමීබියාව (පසුගිය ඔක්තෝබර් මාසේ) වැනි රටවල් සිය සාමාජිකත්වයෙන් ඉවත්වන ලදී. එසේවුවද පොදුරාජ්‍ය මණ්ඩලය ලෝක ජනග්‍රහනයෙන් සීයට 30ක ප්‍රතිශතයක් (30%) නියෝජනය කරන, ලෝකයේ පිළිගත් රටවලින් හතරෙන් එකක් (1/4) නියෝජනය කරන ලෝක දේශපාලන ක්‍රමය තුල යම් බලයක් ගොනුවී ඇති සංවිධානයකි. 

එහෙත් ඔවුන් එම බලය යොදාකල දෙයක් නැත. ලෝකයේ දේශපාලන, සමාජ, ආර්ථික වෙනසක් කම් වෙනුවෙන් හෝ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් හෝ කිසිසේත්ම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුනොකරන ලදී. බ්‍රිතාන්‍ය රජය මගින් උසස් අධ්‍යාපනය සදහා වසරකට ලබාදෙන ශිෂ්‍යත්ව ටික ( එයත් දැන් වසරකට 70 දක්වා අඩුකර තිබේ) හැරුනු විට අඩුම තරමින් සාමාජික රටක සමාජ-ආර්ථික දියුණුව වෙනුවන් පොදුරාජ්‍ය මණ්ඩලය සිදුකරන කිසිදු වැදගත් මෙහෙයක් නැති තරම්ය. එය ඒසේ වෙතත් සෑම වසර 02කටම වරක් සියලු සාමාජික රටවල රාජ්‍ය නායකයෝ කොහේ හෝ  සාමාජික රටක රැස්ව රාජ්‍ය තාන්ති‍්‍රක සාකච්ඡා වල නිරතව බරපැන එම රටවල ජනයා මත පටවා ආපසු පිටත්ව යති. 

පසුගිය දශක  හයටම පොදුරාජ්‍ය මණ්ඩලය සිදුකල එකම ප්‍රගතිශීලී වෙනස්කම වුයේ 1971 සාමාජික රටවල් විසින් අත්සන් කල සිංගප්පූරු ප්‍රකාශන යයි (Singapore Declaration). එමගින් සාමාජික රටවල් ලෝක සාමය, නිදහස් වෙළදාම, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ සමානාත්මත්වය ආරක්ෂා කිරීමට  ගිවිසුම් ගතවිය. එහෙත් ඒවා සාමාජික රටවල් විසින් කඩකිරීමේදී කලයුත්තේ කුමක්ද යන්න පිලිබදව කිසිදු එකගතාවයක් නොවිණි. සිදුකළ එකම කාර්යය වුයේ එලෙස කඩකල රටවල සාමාජිකත්වය තවකාලිකව අත්හිටවීම පමණි. එය එම රටවල සාමයවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත්, මානව අයිතිවාසිකම්වත් සහ සමානාත්මත්වයවත් තහවුරු කල දෙයක් නොවිනි. ඒහිලා හොදම උදාහරණ වුයේ සමේ වර්ණය මත කළුසුදු ලෙස බෙදා එරට වැසියන්ට සැලකු දකුණු අප්‍රිකානු සුදුජාතික රජය පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්කල පමණින් එහි කළු මිනිසුන්ට වූ සුගතියක් නැත. අනෙක් අතට පොදුරාජ්‍ය මණ්ඩලයේ මුදුන් මුල වන බ්‍රිතාන්‍යයේ එවකට අගමැතිවරිය වූ මාග්‍රට් තැචර්ගේ වඩාත් දෝෂදර්ශනයට ලක්වුයේ දකුණු අප්‍රිකානු සුදුජාතික රජය නොව කළු මිනිසුන්ට සිදුවන අසාධාරණය වෙනුවෙන් සටන් කල නෙල්සන් මැන්ඩලාය. වරක් මාග්‍රට් තැචර් නෙල්සන් මැන්ඩලාව හැදින්වුයේ ත්‍රස්තවදියෙකු ලෙසය. 

පොදුරාජ්‍ය මණ්ඩලයේ සෑම සාමාජික රටකටම එක සමාන අයිතිවාසිකම් හිමි බව එහි ආරම්භ බැල්ෆෙර් ප්‍රකාශනය මගින් දක්වා තිබුනද කිසිදු රටක් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්තිය විවේචනයට නොගියේ ඇයිදැයි ප්‍රශ්නයකි. බ්‍රිතාන්‍ය ෆොක්ලන්තය සමග යුද්දයට ගියවිටවත්, ඉරාක ආක්‍රමණය කලවිටවත් පොදුරාජ්‍ය මණ්ඩලය දැක්වූ විරෝදයක් හෝ විවේචනයක් නැත. ඒ බ්‍රිතාන්‍ය තමන්ගේ හිටපු හාම්පුතා වීම නිසාද, නැතහොත් බ්‍රිතාන්‍යන්ට සෙසු සාමාජිකයන්ට වඩා විශේෂ ස්ථානයක් හිමිවන නිසාදැයි නොදනී. අනෙක් අතට එවැනි ප්‍රශ්නකිරීම් ප්‍රභූ සමාජවල ලක්ෂණයක් නොවන බව සාමාජිකයන් අවබෝධකරගෙන එලෙස ප්‍රභූන් ලෙස හැසිරීමට උත්සහ කිරීම් නිසා ඔවුන් බ්‍රිතාන්‍ය ගැන ප්‍රශ්න නොකරන්වාදැයි නොදනී.

මෙම ප්‍රශ්නය අපේ රටේ මහින්ද රාජපක්ෂ පාලනයටද වදදෙන ප්‍රශ්නයකි. එනම් ලොකුරටවල් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල කටයුතු පමණක් ප්‍රශ්න කරන්නේ ඇයි යන්න ඔහුද, ඔහුගේ මාධ්‍ය සගයන්ද නිතර මතුකරන ප්‍රශ්නය වී තිබේ. එහෙත් ඔවුන් අමතක කරන ප්‍රධාන කරුණනම්  යුද්ද පැවති සමයේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල සැසි වාර කිසිවකදී ශ්‍රී ලංකාවේ  යුද්ද ගැන විරෝධයක් මතුනොවීමයි.

එයට හේතුව ශ්‍රී ලංකාවේ යුද්දය එරට අභ්‍යන්තර කටයුත්තක් ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් සැලකු නිසාම නොවේ. ශ්‍රී ලංකාව ඒ වෙනවිටත් කරමින් සිටියේ බ්‍රිතාන්‍යන් විසින් පිහිටවන ලද ඒකීය ශ්‍රී ලංකාව නම් රාජ්‍යයේ දෙමළ සුළුතරය විසින් අභියෝගයට ලක්කර තිබු භුමිය නැවත ඒකරාශි කරන (territorial integration) ව්‍යායාමයකය. එවැනි භුමිය එක් කේන්ද්‍රයක් වෙත ඒකරාශි කිරීම යුරෝපයේ උපන් නූතන ජාතික රාජ්‍යයේ මුලික ලක්ෂණයක් වී තිබුණි. බ්‍රිතාන්‍ය පමණක් 1489 ටියුඩර්  යුගයේ යෝක්ෂේයා (Yorkshire) පළාතේ සිට 1553 ව්‍යට් (Wyatt’s) කැරලිකරුවන්ට එරෙහිව පමණක් යුද්ද 17 කරතිබුණි. ඒ සියල්ල භුමිය එක් කේන්ද්‍රයක් වෙත ඒකරාශි කිරීමේ ක්‍රියාවලියන් වූ අතර එය ජනසංහාර ක්‍රියාවලියක් බව අමුතුවෙන්ම කිවයුතු නොවේ. 2006 ජුලි 28 සිට 2009 මැයි 18 වනතුරු ශ්‍රී ලංකාව කරමින් සිටියේද එයයි.  

බ්‍රිතාන්‍යයන් විසින් මෙම රට තුල රෝපණය කරන ලද ඒකීය රාජ්‍ය විසින් යුද්දය නිර්මාණය කර තිබු අතර යුද්දය විසින් නැවත ඒකීය රාජ්‍ය පිහිටවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබුණි. ඒහින් එය බ්‍රිතාන්‍යන්ට හෝ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ට  හෝ ප්‍රශ්න කිරීමට තරම් අරුමයකුත් නොවීය. බ්‍රිතාන්‍යන් විසින් නිර්මාණය කල රාජ්‍ය පද්ධතියක, බ්‍රිතාන්‍යයන් විසින් පුරුදුපුහුණු කල ආකාරටය හැසිරීම ඔවූන් විසින් අපේක්ෂා කල අතර එය එසේ නොවන විට පමණක් ප්‍රතිචාර දැක්වීමට ඔවුන් සිදු කරන ලදී. ඔවුන් එදා ශ්‍රී ලංකාවේ යුද්දය පැවති සමයේ සිදුවූ යුද්ද අපරාදයන් විමර්ශනය කරන්නට කියන්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොරගසන්නෙත් ඔවූන් අපේක්ෂා කල ආකාරයට අප හැසිරීරෙන්නේ නැති බැවිනි. දයාන් ජයතිලක වැනි මහත්වරුන් අද ආණ්ඩුවට කියන්නේත්, අපේ රාජ්‍ය පාලකයා සරම ඇන්දත්, ඉහත කී බ්‍රිතාන්‍යන් බලාපොරොත්තු වන ආකාරයට හැසිරෙන්නේනම් කිසිම ගැටළුවක් ඇති නොවන බවයි. 

එහෙත් අපේ රාජ්‍ය පාලකයා යහපත් මහත්තයෙකු ලෙස බ්‍රිතාන්‍යන්ගේ ප්‍රභූ සමාජවල කෙතරම් හොදට හැසිරුනත්, සාමාන්‍ය ජනයාටනම් ඇතිවන සුගතියක් නැත. මන්දයත් බ්‍රිතාන්‍යන් ඇතුළු යුරෝපීන් විසින්, එක ජාතියකට අයත් යැයි කෘතීමව එකම භූගෝලීය කලාපයක් තුලට මිනිසුන් ගාල් කරමින්, ගොඩනගන ලද නුතන ජාතික රාජ්‍යය වෙසෙන වැසියන්ට, සිය අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින විට,  රැගෙන එන්නේ ජනඝහතක යුද්දයත්, එදිනෙදා දිවිය යන්තම් ගෙවා ගැනීමට ආදායමකුත්, අපව පාලනය කිරීමට අප අතරින්ම ඉදිරියට ගනුලැබු, අපටම විනකටින පාලන තන්ත්‍රයකුත් පමණි. ඒ වෙනුවට ප්‍රභූන්ට ධනලාභද, විවේකයද, සියලු පහසුකම් සහිත ජීවන රටාවකුත් ලැබේ. 

යටත්විජිත යුගයේ බ්‍රිතාන්‍යයන්ගේ වතුවල, කර්මාන්තශාලාවල සේවය කල ජනයාට උරුමවූ ඉරණම අදද අප විදිමින් සිටී, බ්‍රිතාන්‍යයේ නම් සුදු ජාතික  වතුපාලකයා, කර්මාන්තශාලා හිමිකරුවා  සිය සේවකන්ගේ ගේ වැඩකටයුතු ගැන හිවලෙකු ලෙස ඉව අල්ලමින් ගැවසෙන අයුරු පෙනේ. එහෙත් ඔවුන්ගේ යටත් විජිත වලනම් ඔහුව නිතර දැකිය නොහැක, නමුත් ඔවුන්ගේ කන්කානිලානම් උදේ හවස වලසුන්මෙන් එහි වැසියන්ගේ ශරීර මතට පහත්වෙමින් සිය හාම්පුතුන්ගේ ආදායම් තරකරමින්, ඔවුන් ද තර වෙමින් සිටී. මේ නොවැම්බර් මස 10-17 දක්වා නම් ශ්‍රී ලාංකිකයන්ටක් නම් සිය ජිවිත කාලය පුරාම ණය ගෙවා ඉතා විරල දර්ශනයක් දැක ගත හැකිය, එනම්  හිවලුන් මෙන් තමන්ගේ යටත්වැසියන් දෙස ඉව අල්ලන සුදු ජාතික වතුපාලක, කර්මාන්තශාලා හිමියන් සහ  ඔවුන්ගේ කන්කානම් ලාවූ අප වැනි  රටවල රාජ්‍ය නායකයන් නම් වූ වලසුන්ගේ සුහද හමුවක් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නමින් කොලඹ බණ්ඩාරනායක සමරු ශාලාවේ පැවැත්වෙන බැවිනි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා. 

(2013 නොවැම්බර් මාසේ සමබිම පුවත්පතට ලියූවකි) 


Friday, 24 February 2023

මීගමුව දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව

The magnificent statue of Christ in Duwa, Negombo. දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මේ වසරේද තැම්පත්කර ඇත්තේ දූවේ සින්ද්‍රාන්ති මාතා දෙව්මැදුරේය (Our lady of good voyage Church). එය ලබන වසරේ (2024) අළු බදාදාට පෙර ඉරිදා එනම් 11/02/24 දින නැවතත් මීගමුව නගර මධ්‍යයේ පිහිටි සා.පීතර දේවස්ථානය වෙත රැගෙන යයි. වසර 02ක් දූවේ සින්ද්‍රාන්ති මාතා දෙව්මැදුරේද, වසරක් මීගමුව සා.පීතර දේවස්ථානයේද මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව තැම්පත්කර තිබීම එහි සාමාන්‍ය සම්ප්‍රදායයි. දූවේ සිට මීගමුව නගර මාධ්‍යයටත්, මීගමුව නගර මාධ්‍යයේ සිට දූවටත් මෙම ක්‍රිස්තු ප්‍රතිමාව රැගෙන එම සහ රැගෙනයාම මීගමුවේ පාස්කු සම්ප්‍රදායේ සුවිශේෂී අංගයකි. 1954 මුන්නක්කරය මහ පාලම හෙවත් කොතලාවල පාලම ඉදිවීමට මත්තෙන් මෙම සුරුවම දූවට රැගෙන එම සහ රැගෙනයාම සිදුකර ඇත්තේ හැමිල්ටන් ඇළ සහ කලපුව ඔස්සේය. රතුමල් ඉසිමින් පෙරහැරක ස්වරූපයට සිදුකල මෙම ක්‍රිස්තු ප්‍රතිමාව වැඩවීම එක්තරා ආකාරයකට මීගමුවටම උරුවූ කිසියම් ආගමීක භක්ති අභ්‍යාසයක් විනි.

පාස්කු හෙවත් චතාරික කාලය මීගමුවේ හදුන්වන්නේ 'කොරොස්ම කාලය' යනුවෙනි. එය මීගමුවේ කලක් භාවිතාවූ පෘතුගීසි භාෂාවෙන් උරුමවුවකි. පෘතුගීසි භාෂාවෙන් අද ද පාස්කු කාලය හදුන්වන්නේ 'ක්රෝස්ම' (quaresma) කාලය නමිනි. අළු බදාදා (Ash Wednesday) යින් පසු ඇරබෙන දින 40ක කාලයක්වු මෙම පාස්කු කාලයේදී සෑම සිකුරාදාවකම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව මහජනයාට විවෘතව පවතී.

අපි කුඩා කාලයේදී සෑම සිකුරාදාම එම සුරුවම නැරඹීමට යෑම පුරුද්දක් කරගෙන තිබුණි. විශේෂයෙන්ම මීගමුව නගර මාධ්‍යයේ පිහිටි සා. පීතර දේවස්ථානයේ සුරුවම පැවති කාලයේදී පාසල් දරුවන් වශයෙන් අප එම දේවස්ථානයේ පැවැති ආගමික වතාවත්වලට නිරන්තරයෙන් සභභාගීවුවෙමු. එහි ලබාදෙන සුදු නූල් පවා අත් වල පැලදුවෙමි. සා. පීතර දේවස්ථානය පිටුපස පාරේ මෙන්ම පල්ලිය ඉදිරිපිට පිහිටි පිටියේ දකුණු පසින් පිහිටි බොරලු පාරේ අච්චාරු, කජු පුහුල්, කජු කොරදියල්, ඉටිපන්දම්, මීගමු අලුවා, වෙරලු, දන්, ජම්බෝල බික් ආදිය විකුණන කාන්තාවන්ගෙන් රැපියලට, දෙකට, තුනට, පහට කඩචෝරු කෑ හැටි තවමත් මතකය. අද කීයටවත් එවැනි මිලකට ජම්බෝල බික් ස්වල්පයක් හෝ නොලැබෙනු ඇත. සරුවත්, අයිස්ක්‍රිම්, බොම්බයි මුටයි, නයිස්, පුහුල් දෝසි, බූන්දි ආදිය විකුණන අයට වඩා අච්චාරු, කජු පුහුල්, කොරදියල්, මීගමු අලුවා ආදිය විකුණන අය කෙරෙහි ලමා-ලපටීන් පමණක් නොව වැඩිහිටියන්ද වැඩි වශයෙන් ඇදුනේ ඇයි ද යන්න මට අද ද සිතා ගැනීමට අපහසු කරුණකි.

ඒහෙත් ඒ සියල්ලෝම දානය බෙදනවිට දානය බෙදන්නන් වටකරගනී. විවිධ තරාතිරමේ විවිධ පුද්ගලයන් කූඩවල අසුරාගෙන එන කිරිබත්, බනිස් ආදිය මෙම ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව අභියසට ගෙනගොස් යාච්ඤාකර පල්ලියෙන් පිටතට පැමිණ අසල සිටින ජනයාට බෙදා දේ. එම දාන අතර කුඩා ප්ලාස්ටික් බෑගවල අසුරා දෙන මිරිස් මාලු සමග කිරිබත් එකල වඩා ජනප්‍රිය විය. එය ඉතාමත් ප්‍රනීත ආහාරයකි. චතාරික සමයේදී සෑම සිකුරාදවකම සා. පීතර විදුහලේ සිසුන්ව පල්ලියේ පවත්වන යැදුම් මෙහෙයන් සදහා රැගෙන එය නමුදු එම සිසුන්ගෙන් සමහරක් පාසල නිමවු පසුවද පල්ලිය කරා දුවයන්නේ මෙකී දාන භුක්තිවීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම මෙම ක්‍රිස්තු ප්‍රතිමාව මීගමුව දූව පල්ලියේ තැම්පත්කර ඇති විට වික්ෂෝප දේවමාතාවන්ගේ මංගල්‍යයට පෙර සිකුරාදා දූවේ කට්ටු දැල් ධීවරයින් ලබාදෙන බත් සහ ඉස්සෝ දානයද බොහෝ දෙනෙකුගේ උනන්දුව වැඩි කරන්නක් විය. එකී දානය අතිමහත් පිරිසකට දිව්‍ය භෝජනයක්ම විය. දූවේ ප්‍රතිමාව විවෘතව ඇති දිනවල මග දෙපස සරුවත් දන්සැල් වලින්ද අඩුවක් නොවුනි. තදින් අව්ව පෑයු පාස්කු කාලවල අන්නාසි, කස කසා නොඅඩුව තිබූ එකී දන්සැන්වල පාට පාට සිසිල් පැන් ලබාදුන් රස සහ සිසිල අමෘතයක්ම විය.

මේ සියල්ල සිදුවන්නේ පල්ලියේ තැම්පත්කර ඇති ආශ්චර්යයමත් ක්‍රිස්තු ප්‍රතිමාවට අති මහත් භක්තියත්, අවධානයත්, නොකඩවාම සිදුකරන යැදුමෙනුත් නොඅඩු ආගමීක ශ්‍රද්ධාව ඉහලින් ඔසවා තැබූ පසුබිමකය. ආගමීක වතාවත්වල, ශුද්ධවූ පැයවල, පුජාවන්වල, පාද නමස්කාරවල, දුක් ප්‍රාප්ති ගීතිකාවන්වල, පසන් සහ ලතෝනී ගායනවල අඩුවක් එහි නොවුනි. ඒ සියල්ල අතිමහත් ගරුත්වයක්, හික්මීමක් සහ භක්තියක් අවට පරිසර තුල ජ්වලිතකර තිබුනි.

වසර 300යකට වඩා පැරණි දූවේ පාස්කු දර්ශනය සදහා යොදාගැනීමට 1838 දී ඉන්දියාවේ කොචින් හී සිටි ප්‍රකට මුර්ති ශිල්පියෙකුවූ ජෝකීනු මෙස්ත්‍රාල් (Joachim Mistral of Cochin/Kochi) විසින් නිර්මාණය කර මීගමු දූවට මුහුදෙන් ගෙනෙන ලද මෙම දූවේ ආශ්චර්යමත් ක්‍රිස්තු ප්‍රතිමාව එතැන් පටන් මීගමුව ජනයාගේ නොබද ගෞවරවයට පාත්‍රවිය. එම කාලයේදී මීගමුව දූව දේවස්ථානය පාලනය කලේ පෘතුගාලයට අයත්වු ගෝවේ (Goa) කොචින් (Cochin/Kochi) පදවිය විසිනි. 

එහෙයින් මීගමුව දූවේ ආශ්චර්යයමත් ක්‍රිස්තු ප්‍රතිමාව එක්තරා ආකාරයකින් මීගමුවත්, ඉන්දියාවේ බටහිර වෙරලේ පිහිටි ගෝවේ (Goa) සහ කොචින් (Cochin/Kochi) නගරත්, 1961 දක්වා එහි පැවැති පෘතුගීසි පාලනයත් දක්වා දිවයන සම්බන්ධයක අඛණ්ඩ පුරුකකි. අනෙක් අතට එය දැන් චතාරික සමයේ ලාංකීක කිතුනුවන්ගේ සුවිශේෂ අවධානයකට ලක්වන ප්‍රබල ආගමීක සංකේතයකි. ලංකීක කිතුනු ජනයාගේ අතිමහත් ගෞරවාදරයට, භික්තියට පාත්‍රවු ඓතිහාසික ක්‍රිස්තු ප්‍රතිමාවකි. මීගමුවේ අපට නම් එය දැවන්ත සංස්කෘතික උරුමයකි.

මාකස් ප්‍රියන්ත පෙරේරා.
24/02/23





Monday, 20 February 2023

අවසන් ගමන් ගිය මීගමුවේ රීගල් සිනමාහල හෙවත් මීගමුවේ අශෝකමාලා

මීගමුවේ රීගල් සිනමා ශාලාව කඩා ඉවත්කල බව  දැන ගත්තෙමි. අපේ යොවුන්විය ගෙවු මීගමුවේ බොහෝ ස්ථාන දැන් අපිට මතකයන් පමණක් ඉතිරිකර සදහටම බිමට සමතලාවෙමින් යයි. මීගමුවේ රීගල් චිත්‍රපට ශාලාවද එවැන්නකි. 

රුපියල් 10ය 10ය එකතුකර එහි බැලූ චිත්‍රපට සංඛ්‍යාව අපමණය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම හින්දි චිත්‍රපටිද එහි ප්‍රදර්ශනය විය. චිත්‍රපටිය කුමක්වුවද එහි චිත්‍රපටි බැලීමට දිගු පෝලිමක් විය. එම පෝලිමේ වැඩියෙන්ම සිටියේ කුඩවලින් මුහුණ වසාගත් ජෝඩුය. මීගමුවේ ටියුෂන් පන්ති යෑමට පැමිණි පාසැල් යන වයසේ පසුවූ නාඹර තරුණ තරුණියන්ද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයකල තරුණ, තරුණියන්ද ඔවුන් අතර බොහෝවිය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගියේ box හෝ බැල්කනිවලටය, එහි ඉඩක් නොවුකල ODC පන්තියද එකී ජොඩුවලින් පිරී යයි. චිත්‍රපටිය අවසන්වී අවුල්වු හිසකෙස් අතින් සකසමින් එලියට ඇදෙන බොහෝ යුවතියන් මෙම සිනමා ශාලාවේ "මකුණෝ එමට" යැයි නිතර චෝදනා කරති. එම යුවතියන්ගේ රත්පැහැ ගැන්වු  මුහුණ සහ බෙල්ල මකුණෝ කෑවේ කෙසේදැයි කොල්ලෝ ඔලොක්කුවට අසති.  එකී කතා දැන් මතකයන් පමණි. මීගමුවේ රීගල් සිනමා ශාලාවත්, එහි වූ යුවති-පතීන්ගේ දිගු පෝලීම්ද කාලයේ වැලිතලාවන්ට වැසී ගොස්‍ හමාරය. ප්‍රේමයෙන් මුසපත්ව ආලය කරන අතර කලාවත් ලලිත්‍යයත් එකට රසවිදීමට ඉඩකඩ සලසන චිත්‍රපටියක් බැලීමට දැන් කාලේ තරුණ ජෝඩු කොහේ යනවා ඇත්ද? සිනමා ශාලාවල් සමගම එම පරම්පරාවත් නිමවී ගියේද?

මෙවර සුමති සම්මාන උලෙළට නිර්දේශවූ හොදම නම් අතරින් 06-07 දෙනෙකුම මීගමුවේන් බිහිවු කලාකරුවන් විණි. එහෙත් අදටත් මීගමුවට හොද සිනමා ශාලාවක්, කලාගාරය, නාට්‍යය ශාලාවක්, රංගශාලාවක්, ප්‍රදර්ශණාගාරයක්, කෞතුකාගාරයක්, කලායතනයක් නැත. 

එහෙත් සිංහල චිත්‍රපටි කර්මාන්තය බිහිවු මුල් යුගයේදීම මීගමුව තුල  සිනමාශාලා 04 බිහිවී තිබුණි. 1983 ජාතිවාදී කෝලාහල විසින් සිංහල ජාතිවාදීන් ගිනිතැබු රාජ් සිනමා ශාලාව, ආදයමක් නොවුයෙන් බංකොලොත්වු නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාව, මීගමුවේ ලන්සා පාලනය විසින් කඩාදැමු මීපුර සිනමා ශාලාව සහ  'සිලෝන් තියටර්ස්' ආයතනයට අයත් මීගමුව නගර මාධ්‍යයේ පිහිටි රීගල් සිනමාහල ඒ අතර විය. 

කිසියම් ආකාරයක දේශිය ගෘහ නිරූපණ ශිල්පයක් (Ceylonese architect) අනුව ඉදිකර තිබූ මීගමුවේ රීගල් සිනමා ශාලාව ආරම්භයේදී, එනම් 1947දී,  හදුන්වාදී ඇත්තේ 'අශෝකමලා' සිනමාහල ලෙසය. ඒ ඒහි මුලින්ම තිරගත කල  චිත්‍රපටිය 'අශෝකමලා' වීම නිසාය. මාස ගණනාවක් යනතුරු එම චිත්‍රපටිය එහි තිරගතව ඇත.  එවකට වැඩිපුරම ද්‍රවිඩ චිත්‍රපටි රසවිදි මීගමුවේ සිනමා රසිකයන්ට සිංහල චිත්‍රපටි ප්‍රචලිත කිරිමේ තිබිරිගෙය වුයේද මෙම රීගල් සිනමාහලය. කලක් රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව යටතේ පාලනයවූ මීගමුව රීගල් සිනමාහල එතෙක් දෙමළ චිත්‍රපටි නැරබීමට වැඩි පෙළගැස්මක් තිබු මීගමූ නගර තුල සිංහල චිත්‍රපටි නරබන්නන්ගේ හදවත බවට 1970 දශකයේ අගභාගයවනවිට පැමිණි තිබුණි. මීගමුවේ  තිරගතකල සියළුම සිංහල කලාත්මක චිත්‍රපටිවල අලුත්ම නිකුතුවත්, ඉංග්‍රීසි චිත්‍රපටිත්  මෙම රීගල් සිනමා ශාලාවේ තිරගතවිය. ජලගැල්මට ලක්ව, නඩත්තු කරගැනීමට නොහැකිව, 2015 නොවැම්බර් මාසයේදී මීගමුවේ රීගල් සිනමා ශාලාව වසාදැමීය. 

එය කඩා ඉවත්කර එම භූමියේ සුපිරි සාප්පු සංකීර්ණයක් සහිතව නැවත චිත්‍රපට ශාලාවක් ඉදිකරන බව කියවේ. එහෙත් එය කෙතක් දුරට යථාර්ථයක් වේදෝයි යන්න සැක සහිතය. කෙසේවුවද මීගමුවේ රීගල් සිනමා ශාලාවටද අත්වූයේ මීගමුවේ අනෙකුත් සිනමා ශාලාවලට අත්වු ඉරණය ය. ඒ ගැන මම 2016 ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' ලිපිය ඔස්සේ කියවිය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා 

17/02/23

 

Thursday, 9 February 2023

තද මීදුමක 'The Others' සිහිවීම

 

'The Others' in the thick fog...මේ දවස්වල මෙහෙ උදේට දැඩි මීදුම. මේ වගේ තද මීදුමක ඇවිද යද්දී මට මතක් වෙන්නේ 'බොද මීදුම් කදු රැල්ලේ' වගේ සින්දුවක්වත්, අර චාලි චප්ලින් (Charlie Chaplin) කිව්වයි කියන “I always like walking in the rain, so no one can see me crying" කියන එක අනුසාරයෙන් කොල්ලෝ කියන "මම මීදුමේ ඇවිදින්න කැමැතියි, එතකොට මම දුම් උරනවා කියලා කාටවත් පේන්නේ නෑ" (I like to walk in fog so that no one can see me smoking) වගේ කතා නෙමේයි; 2001දී තිරගතවුනු Nicole Kidman ඉන්න 'The Others' කියන චිත්‍රපටිය. 

'The Others' කියන්නේ හොල්මන් චිත්‍රපටියක්. චිත්‍රපටිය අවසන් වෙනතුරු කවුරුත් දන්නේ නෑ, කාටත් හිතාගන්න බෑ, කවුද හොල්මන්, කවුද ජීවතුන් අතර ඉන්නේ, කවුද මියගිය අය කියන එක. ඒ ච්ත්‍රපටියේ මැද දී Nicole Kidman හොයාගන්නවා, විස්තර නොකරන, photosensitivity කියන රෝගයකින් පෙලෙන ලමයි දෙන්නත් එක්ක එයා පදිංචි වෙලා ඉන්න ජර්සි දූපතේ (Jersey, Channel Island) පිහිටි සුවිසල් නිවසේ ඊට කලින් හිටපු අයගේ ඇල්බම් (album) එකක්. ඒ album එකේ photo වල ඉන්න ඔක්කෝමල්ලා මැරිලා...එයා ඒ ගැන නිවසේ මෙහෙකරුවන්ගෙන් අහනවා, එයාලා කියනවා ඒ ඒ ගෙදර හිටපු අය, ඒ අය 1800 ගණන්වල පැතිරුණු ක්ෂය රෝග (tuberculosis) වසංගතයෙන් මියගියා කියලා අහලා තියෙනවා කියලා. පස්සේ Nicole Kidman හොයාගන්නවා ගෙදර මෙහෙකරුවෝ ඊට වඩා යමක් දන්නවා, එයලා වත්ත අතුගාලා අර කලින් මැරිච්ච අයගේ සොහොන්කොත් වැසී යන්න කුණු එකතුකරලා ඒ සොහොන්කොත් වහනවා කියලා. ඊට කලින් ඉදලා Nicole Kidman ඒත්තු ගන්නවා ඒ ගෙදර හොල්මන් තියෙනවා කියලා. හිටපු ගමන් කවුරුත් නැතිව පියානෝ එක play වෙද්දී එයා දැඩි මීදුමේ පල්ලියට දුවනවා පල්ලියේ father ව ගෙනත් ගේ bless කරගන්න. එහෙම මීදුමේ යන එයාට දෙවන ලෝක යුද්ධයේදී මැරුණුයි කියන එයාගේ සැමියා මග එනවා දකිනවා. ඇය ඔහුත් එක්ක නැවතත් ගෙදර එනවා. එත් පහුවෙනිදා උදේදී ඔහුත් ගිහින්...ඒ එක්කම ගෙදර වැඩට හිටපු මෙහෙකාරියකුත් අතුරුදන් වෙලා කියලා ඇය දැනගන්නවා.. ඒ ගැන හොයද්දී අතුරුදන්වු මෙහෙකාරියගේ සොහොන් කොත ලමයි හොයාගන්නවා...පස්සේ බලද්දි ඇයත් බොහෝ කලට පෙර මියගිය තැනැත්තියක්...ඒ අතර ගෙදරට එක එක අලුත් මිනිස්සු එනවා, යනවා. හොයලා බලද්දි මේ ගේ විකුණන්න දාලා. ඒක බලන්න විවිධ මිනිස්සු එනවා කියලා ඇය දැනගන්නවා...එහෙම හොයාගෙන ගෙදරට ගොඩවෙද්දී එයාගෙන් අහන්නේ නැතිව ගෙදර මෙහෙකරුවො ගෙදර ඔක්කෝම curtains ඉවත්කරලා..හිරු එලිය ගෙදරට එනවා...එයාට වගේම photosensitivity කියලා කිව්ව එයාගේ ලමයින්ට හිරු එලිය දරාගන්න බෑ...එයා ගෙදර මෙහෙකරුවෝ එක්ක මේගැන විශාල ආරව්වකට පැටලෙනවා. අන්තිමට මෙහෙකරුවෝ ඇයට කියනවා: 'මෙහෙ ඉන්නවා නම් ඔක්කොම එක්ක එකට එන්න ඕනේ' (learn to coexist together) කියලා. ඒ කියන්නේ ජීවත්වෙන, මියගිය සහ හොල්මන් කියන ඔය ඔක්කෝම එක්ක එකට ජීවත්වෙන්න ඕනෑ කියන එකයි...

මට ඔය චිත්‍රපටිය මතකයට ආවේ ඔය ඝන මීදුමේ ඇවිද යද්දී මා අසලින් ඇවිද යන, මුමුණන, නොමුමුණ, පෙනී නොපෙනෙනීයන අය දැක්කහමයි....

මගේ මතකයට අවේ අර කතාව; "මෙහෙ ඉන්නවා නම් ඔක්කොම එක්ක එකට එන්න ඕනේ"...ජිවතුන්ද, මලවුන්ද, හොල්මන්ද කියලා නෑ...ඒ ඔක්කොම එක්ක එකට එන්න ඕනේ (coexist together)...

මාකස් ප්‍රියන්ත පෙරේරා 

09/02/23




Friday, 13 January 2023

සිරිසේනලා වරදකරුවන් බව සහතික කල ඓතිහාසික පාස්කු නඩු තීන්දුව!!


නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා, රටපුරා ස්ථාන කිහිපයක කතෝලික දේවස්ථාන දෙකක්, කිතුණු දේවස්ථානයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යැයි කියමින් පාර්ශවකරුවන් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 13ක් සලකා බලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ඊයේ (12/01/23) පත්කර තිබුනා.

මෙම තීන්දුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතටත්, පීඩාවටත් පත් ජනයාට යුක්තිය ඉටුකරලීමට ගන්නාවු උත්සහයන්වල විශිෂ්ඨ ජයග්‍රහණයක්. එය, පාස්කු ප්‍රහාරයට යුක්තිය සොයන,  යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකික මෙන්ම විවිධ දේශයන් හි වාසය කරන ජනයාගේ බලාපොරොත්තු ඉහල නැංවීමක්. කුමන බාධා පැමිණි‍යත් යුක්තිය පසිදලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ඇති අති මහත් ගෞරවය සහ විශ්වාස තවදුරටත් ඉහල දැමීමට හේතුවන්නක් බව පැහැදිලියි. 

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් එම චූදිතයන් වින්දියන්ට පෞද්ගලිකව වන්දි ගෙවිය යුතු බව  ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සදහන් වෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් පෞද්ගලිකව රුපියල් මිලියන 100ක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පෞද්ගලිකව රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක්ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය විසින්ද රුපියල් මිලියනයක් වන්දි වශයෙන් වින්දියන්ට ගෙවිය යුතු බවටත් නියෝග කර තිබෙනවා. මේ තීන්දු යුක්තිය සහ සත්‍ය සදහා වු අප ව්‍යාපාරයේ මෙන්ම යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විවිධ දේශවල වාසය කරන ජනයාගේද පැසසුමට ලක්වන්නක් බව නොඅනුමානයි. 

ශ්‍රී ලංකා දේශපාලන අධිකාරීය විසින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තින්දුවට අවනතව, අදාල පුද්ගලයන්ට පෞද්ගලිකව ගෙවීමට නියෝග කර ඇති මුදල් රජයේ අරමුදල් වලින් සපයාදීමට කටයුතු නොකර, නීතියේ පාලනය උල්ලංඝනය නොකිරීමට කටයුතු කරනු දැකීම අපි සියල්ලන්ම බලාපොරොත්තු වන්නක්.

 කෙසේවෙතත්, ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ඓතිහාසික නඩු තීන්දුව ගැන සමාජය තුල විශාල සාකච්ඡාවක් පැන නැගී තිබෙනවා. අද ලංකාවේ වගේ විදේශිය පුවත්වලත් මේ නඩු තීන්දුව ගැන ප්‍රවෘත්ති පලවී තිබෙනවා. 

මුලින්ම මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් කියන්නේ එය ලංකාවේ ඉතිහාසයේ විශාලතම වන්දියක් නියම කරපු නඩු තීන්දුවක් නිසාම නෙමේ, එය රටේ හිටපු ජනාධිපතිවරයා වගේම රටේ මහජන ආරක්ෂාව භාරව සිටි නිලධාරින් රාශියක්ම වරද කරුවන් ලෙස නම් කර තිබෙන නිසායි. 

එය ඉතාම වැදගත් කාරණයක්; හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම, වගකීම් පැහැර හැරීම,  අපොහොසත් වීම,නිසා මිනිස් ජීවිත 269 අහිමිවීමට සහ 500යකට අධික පිරිසක් තුවාල  ලැබීමට වරදකාරයෝ!! අන්න ඒකයි වැදගත්ම කොටස. 

මීට කලිනුත් ජාතික ආරක්ෂාව තහවුරු නොවීම නිසා රටේ දස දහස් ගණනින් මිනිස් ජීවිත අහිමිවු අවස්ථා තිබෙනවා, එහෙත් රටේ නායකයාගේ ඉදන් ඉහලම රාජ්‍ය නිලධාරින් දක්වා වැරදකාරයෝ කරපු පලමු අවස්ථාව මේක. මේ තීන්දුව දැන් ඉදිරියට රටේ පූර්ව ආදර්ශයක්. රටේ පාලකයාගේ ඉදන් සියළු නිලධාරින්ට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා දුන්න දැඩි අනතුරු ඇගවීමක්. 

එය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සහ පීඩිතයන්ට යුක්තිය දිනාගැනීම වෙනුවෙන් නොනවතින අරගලය විසින් ලාංකීය සමාජයට අත්කර දුන් ජයග්‍රහණයක්. 

ඒ අහිමිවු ජීවිත වලට වන්දි ගෙවල විතරක් ඇතිද? මුන් හිරේ දාන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම වන්දි අරගෙන විතරක් හරියන්නේ නෑ ඔවුන්ට නීතියෙන් දඩුවම් දෙන්නත් ඕනේ. ඒක ඊලඟ පියවරක්. කවුරුත් දන්නවා ඇති ලංකාවේ මෙතෙක් පවරා ඇති වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. ඒ කියන්නේ තව නඩු එනවා පෝලිමට. ඒ සියල්ලටම මේ නඩුවේ ඔවුන් වැරදිකාරයෝ කර දුන් නඩු තීන්දුව ඉතාම වැදගත්. යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වු සටන පියවරෙන් පියවර ඉදිරියට යායුතුමයි. ඒක වෙනවා. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවෙන වෙලාවේ රටේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ රටේ ජනාධිපති වන නිසා ඔහුට ජනාධිපති මුක්තිය හිමිවෙන නිසා ඔහු මේ ධූරය අහිමිවීමෙන් පසුව හෝ නඩු විභාගයක් සිදුවිය යුතුයි. ඔහුට වුනත් වගකීමෙන් මිදෙන්න බෑ. 

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙලිකර ගන්න, සම්පුර්ණ සත්‍යය හෙලිකර ගත යුතුයි. මොකද පාස්කු ප්‍රහාරය පිටුපස්සේ දැවැන්ත කුමන්ත්‍රණයක් තිබුනා කියලා රටේ හිටපු නීතිපතිවරයෙක්වූ දප්පුල ද ලිවේරා මහතාම කියලා තිබුනා. ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්  විමර්ශනය කල කොමිසම් සභා වාර්තා වගේම, තවත් බොහෝ තොරතුරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහ යම් හැදෑරීමක් තිබෙන්නට ඇති බවට සැකයක් නෑ. ඔහු වැන්නෙක් එසේ කියන්නේ කිසියම් පදනමකින්. ඒ වගේම අදත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කරුණු ඇතුලත්ව ඇතයි කියා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් කල ජනාධිපති කොමිසමේ සියළු වෙළුම් මහජනයාට විවෘත කරලත් නෑ. මහජන ආරක්ෂාවට වඩා ඇති ජාතික ආරක්ෂාව මොකක්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සම්පුර්ණ සත්‍යය හෙලිකර ගැනීම වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි. 

ඒවගේම ඊයේ නඩු තීන්දුව තුලින්  හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දක්වා තිබුනා. දැන් ඉන්න පොලිස්පති තව මාස කිහිපයකින් විශ්‍රාම ගියහම පොලිස්පති විය හැකි යැයි දැක්වු පොලිස් නිලධාරින්ගෙන් කෙනෙක් තමයි නිලන්ත ජයවර්ධන. ඊට පෙර ඔහු ගැන අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වන එක පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමට විතරක් නෙමේ නිතියේ පාලනයක්  සහ දුෂාණයෙන් තොර යුක්ති සහගත පොලිස් දෙපාර්තමේන්තුවක් බලාපොරොත්තු වන සියලු දෙනාගේම අපේක්ෂාවක්. හරි නම්, දැන් මුලික අයිතිවාසිකම් පෙත්සමකින් වරදකරුවෙකු කරලා තියෙන නිසා නිලන්ත ජයවර්ධන මහත්තයාට උසස්වීම් දෙන්න බෑ. ලංකාවේ දූෂිත දේශපාලනය තුල එවැනි නිති කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ. ඒත් පැහැදිලිව මෙම නඩු තීන්දුව නිලන්ත ජයවර්ධන මහත්තයාට පරහට හිටින බව නම්  පැහැදිලියි. 

වැරදිකරුවන්ගෙන් අදාල වන්දි මාස 06ක් තුල පෞද්ගලිකවම අය කරගෙන විශේෂ අරමුදලක තැම්පත්කල යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා. දැන් ඉතින් මෛත්‍රිපාල සිරිසේනලාට, හේමසිරි ප්‍රනාන්දුලාට, පූජිත් ජයසුන්දරලාට, සිසිර මෙන්ඩිස්ලාට, නිලන්ත ජයවර්ධනලාට ගෙවල්දොරවල් විකුණාලා හරි වන්දි මුදල් ගෙවන්න වෙන තත්වයක් ඇතිවෙලා ඇති. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. 

මේ තීන්දුව දුන්නේ සත් පුද්ගල අධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනාම ඒකමතිකව. ඉතින් ආයේ ඇපිල් බෑ. 

මේ කාරණා ටිකම ඇති නේද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ ඓතිහාසික නඩු තීන්දුවක් කියලා  කියන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

13/01/23

Tuesday, 10 January 2023

'සේපාලගේ දළදා කතාව' සජබ/ජාජබ ඉලක්ක කරගත් මැතිවරණ මඩ ප්‍රචාරයක කොටසක්ද?


'සේපාල ගේ දළදා කතාව' ඇතැම්විට සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජනබල වේගයද ඉලක්ක කරගත් මැතිවරණ මඩ ප්‍රචාරයක මුල් පියවරක් විය හැක.

එසේ සිතෙන්නේ දළදා මාලිගාව, දළදා වහන්සේ සහ පත්තිරුප්පුව ආදිය මුල් කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යවලත්, අනෙකුත් මාධ්‍යවලත් දිග හැරෙන විවිධ පෝස්ට්, ලිපි, ප්‍රවෘත්ති සහ අනෙක් ඇතැම් වැඩසටහන් හා විවිධ දිගහැරීම් ආදිය දෙස බැලීමෙනි.

සේපාල දළදා වහන්සේ ගැන සදහන් කරමින් ආන්දෝලනාත්මක කතාවක් කියන්නේ මහනුවර නගරය මහ වැස්සට යටවීමත් සමගය. ඒ ගැන කතාකල චම්පික රණවක මහනුවර නගරය මහ වැස්සට යටවූයේ තමන් 'මෙගා' නගර සංවර්ධන ඇමැතිව සිටියදී කරගෙන යමින් සිටි මහනුවර නගර සංවර්ධන වැඩසටහන් කඩාකප්පල් වීම නිසා යැයි දක්වා තිබුනි.

හරි නම්, සේපාල වැන්නවුන් සිය වැඩසටහන් සදහා එය හොද නිමිත්තක් කරගනු ඇත. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට දරදිය ඇදි, සිංහල-බෞද්ධ ජාතිකවාදී නූතනත්වයක් ගැන පෙනී සිටින සේපාල වැන්නවුන්ට චම්පික රණවකගේ මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩාකප්පල්වී හොද තොරතුරක් මෙන්ම හොද මාතෘකාවක් වීමටද ඉඩ තිබුනි. එහෙත් සේපාල ඒ වෙනුවට අල්ලගත්තේ වෙනකකි.

ඇතැම් විට, සේපාල, 75 වෙනි නිදහස් උත්සවය නිමිත්තෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු-අස්ගිරි මහා විහාරවලට යැවූ ලිපිය එහෙන් මෙහෙන් ඉලක්ක කරගත්තා විය හැක. එසේ සිතෙන්නේ සේපාල ඔහුගේ අදාල යූටියුබ් වීඩියෝවේ "දළදාව එලියට ගත්තේ කවුද?" යනුවෙන් අහන ප්‍රශ්නය තුලය.

විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන්නේ විශේෂ කරුණක් මුල්කරගෙනය. අපල උපද්‍රව වලින් මිදීම සදහා මෙන්ම නියග, ඉඩෝරය ආදියෙන් සහනය පතාද දළදා වහන්සේ ප්‍රදර්ශනය කල බව අප අසා ඇත. දළදා වහන්සේගේ පිහිටෙන් එවැනි අවස්ථාවල නියන් ඉඩෝර හමාර කරමින් මහ වැසි වැසි බවද අප අසා ඇත. මහනුවර මහ වැසි ජලයෙන් යටවී යන අවස්ථාවක සේපාල "දළදාව එලියට ගත්තේ කවුද?" යනුවෙන් අසන්නේ ඉහතකී ජන මනස පිලිබද දැනුමකින් බව පැහැදිලිය.

ඉන් පසුව දළදා වහන්සේ සම්බන්ධ කරමින් වෙනත් දේවල් සහ ඔහු තවත් වැඩසටහනක් කරන්නේ කිසියම් ඉලක්කයක්, උවමනාවක්, අරමුණක්, වැඩපිලවෙලක් ඇතිවය.

එහි දෙවන දිග හැරුම 'වැලේ වැල් නැතිව හිටි' විමල් වීරවංශලා එල්ලීමය. සේපාල ගේ වීඩියෝව පාර්ලිමේන්තුවේත් ප්‍රශ්න කිරීමටත්, සේපාලව අත් අඩංගුවට ගෙන රදවා ගැනීමත් ඉන් අනතුරුව සිදුවේ.

ඒ සමග, රාජ්‍ය මර්ධනය, මාධ්‍ය මර්ධනය ආදිය ගැන කතා කරන සජබ/ජාජබ වැනි විපක්ෂද දළදා වහන්සේ අපහාසයට ලක් කිරීම ගැන චෝදනා කරමින් සේපාලට එරෙහිව කදවුරු බදී. මෙහිදී ජාජබ ඇතුළු ජවිපෙ සේපාලව වහා වහා ගලවා දැමීමට කටයුතු කලේ සිය කකුලේ වසා සිටි කූඩැල්ලෙකු ඉවත් කිරීමට කටයුතු කරන පරිදිමය. අතීතයේ චන්ද්‍රිකා, මහින්ද මෙන්ම සේපාල ද එක්තරා ආකාරය ඔවුන් මත පතිතවූ පිලිලයක් බව ඔවුන්ට තේරුම් යන්නට ඇත. සේපාල විවේචනය කිරීමට ඔවුන් වේගයෙන් මැදිහත්වන්නේ එහෙයින්.

සේපාලගේ කතාව මෙසේ නැගලා යන විට පොතුහැර දළදා මාලිගාවට සමාන ඉදිකිරීමක් කඩන්න යැයි කියමින් කුප්‍රකට මර්වින් සිල්වා ද කරලියට පැමිණියේය. එහිදී කවුදෝ කාන්තාවක් පැමිණ කුරුනෑගල පල්ලියකද එවැනි ඉදිකිරීමක් ඇතැයි කියමින් මර්වින් සිල්වාට කරුණු කීවද මර්වින් සිල්වා දක්වනුවේ "මම ආවේ ඒවා ගැන හොයන්න නෙමේ මේවා ගැන හොයන්න" යැයි කියයි.

ඉන් අනතුරුව මහනුවර දළදා මාලිගයේ පත්තිරුපුවට සමාන ඉදිකිරීම් දැක්වෙන ජයාරූප ෆෙස්බුක් පිටුවල සංසරණය වීමට පටන් ගනී. දළදා මාලිගයේ පත්තිරුපුවට සමාන ආනමඩුව ගම් උදාවේ උදිකල ගොඩනැගිල්ලකුත්, මහියංගනය මහජන පුස්තකාලයේ ජයාරූපත් ඒ අතර වේ. එම ගොඩනැගිලි බොහොමයක් ඉදිකර ඇත්තේ ආර්. ප්‍රේමදාස අගමැති යුගයේය. එකී ජයාරූප සමග හුවමාරුවෙන අදහස්/කොමෙන්ට් අතර 'හේමා (ප්‍රේමදාස) ත් නැග්ගා නේ පත්තිරුප්පුවට?' යනුවෙන් කතාවක්ද කියවේ. දළදා මාලිගාවේ පත්තිරුප්පුව කාන්තාවන්ට අකපැයි යන අදහසක් ඉන් ගම්‍ය වේ. 'හේමා ප්‍රේමදාස පත්තිරුප්පුවට නැග්ගා' යැයි සදහන් කරන්නේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා මහනුවර දළදා මාලිගායේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමය. එ අවස්ථාවට හේමා ප්‍රේමදාස මෙන්ම තවත් කාන්තාවක්ද එතැන සිටියහ. ඇය ඇතැම්විට එවකට දියවඩන නිලමේ නිරංජන් විජේරත්න මහතාගේ බිරිද විය හැක. එහෙත් විවේචකයින්ගේ ඉලක්කයවුයේ හේමා ප්‍රේමදාස මහත්මිය පමණි. එම විවේචන තුල කාන්තාවක් වීම යන්න පමණක් නොව කුල ප්‍රශ්නයක්ද මතුකලේය.

දැන් පුවත්පත්වල ජේවිපේ 88/89 යුගයේදී දළදා මාලිගාවට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන නැවත ලිපි පලවේ. නැතහොත් පරණ ලිපි නැවැත හුවමාරුවේ...

සේපාල ගේ දළදා කතාව දැන් බොහෝ දුර ගොසිනි. එය මහජනයා තුල උතුම්වු පුජා වස්තුවකට හානි කිරීමේ අවස්ථා රාශියක් සිහිකැදවා ඇත. තවත් එවැනි අවස්ථා සිහි කැදවීමට ඉඩ ඇත. මේ අවස්ථාවේ, දැනට, එය සජබ සහ ජාජබ ඉලක්ක කරගෙන ඇත. එහි දිග පලල, ඉදිරි දිග හැරීම් අපි නොදනිමු. එහෙත් බලයේ සිටින පාලක පන්තිය ජාතිය, ආගම, කුලය, භාෂාව හෝ වෙනත් ඕනෑම බෙදයකින් ජනයා බෙදා වෙන්කර දිගටම බලයේ සිටීමට ඕනෑම කුමන්ත්‍රණයක් කරනු ඇත. බෙදා වෙන්කර, එකිනෙකා කොටවා, පාලනය කිරීම ඔවුන් යටත් විජිත පාලකයින්ගෙන් හොදින් ප්‍රගුණකල පාඩමකි. සේපාල ලා යනු දැනුවත් ව හෝ නොදැනුවත්ව එකී න්‍යාය පත්‍රවල කොටස් ය. 





මාකස් ප්‍රියන්ත පෙරේරා
10/01/23

Friday, 6 January 2023

XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ කාර්යභාරය වූයේ කුමක්ද?

"We were looking for a 'good shepherd,' and instead we got a German shepherd" එසේ පැවසුවේ වෙන කිසිවෙකුත් නොව XVI වන බෙනඩික්ට් පාප්තුමාය. ඒ 2005 අප්‍රේල් 25 දින, පාප් ධුරයට පත්වීමෙන් පසුව ශාන්ත පීතර බැසිලිකාවෙන් පිටතදී පැවැත්වු ඔහුගේ මංගල දිව්‍ය පූජාවේදී මය.  

XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ ඉහත ප්‍රකාශය සරලව සිංහලට පරිවර්තනය කලහොත් කිසිවෙකුට එය "අපි 'යහපත් එඬේරෙකු' සොයමින් සිටි අතර, ඒ වෙනුවට අපට ලැබුණේ 'ජර්මන් එඩේරෙකු" යැයි යනුවෙන්ද දැක්විය හැක. 1927 දී ජර්මනියේ මියුනිච් නගරය පිහිටි 'බවේරියාවේ' උපත ලද, 1951 දී එහිම පූජකවරයට පත්ව, ජර්මනියේ විශ්ව විද්‍යාල කිහිපයකම දේව ධර්මය පිලිබද මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කල, 1978 දී මියුනිච් හී රදගුරුවරයාද, පසුව අගරදගුරුවරයා හා කාදිනල්වරයා බවටද පත්වූ ජෝසෆ් රැට්සිංගර් (Joseph Aloisius Ratzinger) ජර්මන් ජාතිකයෙකු වූ නිසාම ඔහුව 'ජර්මන් එඩේරෙකු' ලෙස හදුන්වා දීමට පදනමක් තිබිය හැක. එහෙත් 'German shepherd' යන්නෙන් අදහස් කරන්නේ දැඩි/දරුණු/වීනිත/ශක්තිමත්/හොදින් හැඩ ගැසුනු/ ස්වාමියාට වඩාත් පක්ෂපාති සුනඛ විශේෂයකි. බෙනඩික්ට් පාප්වරයා තමාව 'German shepherd' ලෙස හදුන්වාදීම තුල කියවෙන්නේ 'ජර්මන් එඩේරෙකු' යන්නට වඩා 'මුර බල්ලෙකු' යන්නය.

ඇත්තවශයෙන්ම, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේගේ සේවය පිලිබදව ඇගයීමේදී පෙනීයන්නේ ඔහුගේ සේවය සැබෑවටම බිලියන 1.3 කට වඩා සමාජිකත්වයක් ඇති රෝමානු කතෝලික පල්ලියේ දැඩි ආරක්ෂකයෙකුගේ කාර්යභාරයට (German shepherd) සමාන බවයි.

ඔහු කතෝලික සභාව ආරක්ෂා කලේ වංචාවෙන්, දූෂණයෙන්, ලමා අපචාරවල නිරතවූ පූජකයින්ගෙන් පමණක් නොව කතෝලික ධර්මය යටින් හාරා බිද දැමීමට ඒ තුලින්ම පැන නැගුණු විවිධ බලවේගයන්ගෙනි. ඒ සදහා ඔහු ලද මගපෙන්වීම වුයේ දේව ධර්මය (Theology) පිලිබදව ඔහුගේමවු අති මහත් ගැබුරු අධ්‍යයනයන්‍ ය. දේව ධර්මය (Theology) පිලිබදව ඔහුගේ ශාස්ත්‍රීය අධ්‍යයනයන් ජර්මනියේ විශ්ව විද්‍යාලවලද, යුරෝපය තුලද, වතිකානුව තුලද දැඩි පිලිගැනීමකට ලක්වූ නිසාම දෙවන වතිකානු සම්මේලනයේ තීන්දු/තීරණ පිලිබදව දේව ධාර්මික වශයෙන් ප්‍රතිවිමර්ෂණයට ලක් කිරීමට පත්කල අධ්‍යයන කමිටුවේ ප්‍රධානියා ලෙසද ඔහුව පත්කලේය.

එවකට 51 හැවිරිදි කාදිනල්වරයෙක්වු ජෝසෆ් රැට්සිංගර් (පසුව XVI වන බෙනඩික්ට් පාප්වහන්සේ) රදගුරුවරයාට පැවතියේ අපූර්ව අනන්‍යතාවකි.

කතෝලික පල්ලියේ ගතානුගතික/ සම්ප්‍රදායවාදීන් සැලකුවේ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් යනු ඔවුන්ගේම කෙනෙකු ලෙසය. එමෙන්ම මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) විශේෂයෙන්, බ්‍රසීලයේ ලෙනාඩෝ බොෆ් (Leonardo Boff), උරුගුවේහි ජුවාන් ලුයිස් සෙගුන්ඩෝ (Juan Luis Segundo) සහ පේරු හි ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) ආදීන් පනපෙවු කතෝලිකයන්ගෙන් “කාලයේ සලකුණු කියවන්න” (Read the signs of the times) කණ්ඩායමේ/කවුන්සිලයේ අදහසවුයේ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් යනු නිර්ධන පාංතීක විමුක්තිය, මාක්ස්වාදී න්‍යායන්, පැස්සිට්වාදී ප්‍රවනතා ගැනත්, කිතුණු ශුභාරංචි ආඛ්‍යානවල රළු බව සහ එහි බටහිරවාදී අර්ථ නිරූපනයන් ගැනත් සංශ්ලේෂණ අධ්‍යයනයක් (synthesis study) ඇති තැනැත්තෙක් ලෙසය.

එහෙත් කාදිනල් ජෝසෆ් රැට්සිංගර් එකී කිසිදු ආකාරයකට නතුවු හෝ නතුකරගත හැකි චරිතයක් නොවුනි.

දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන 'ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙ' හි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස 1981 දී පත් කිරීමෙන් අනතුරුව දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේගේ සමීපතම සහයෝගිතාකරු ලෙස කටයුතුකල කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ට කතෝලිකයන්ට නව යුගයේ මුහුණදීමට ඇති ප්‍රශ්න සමඟ මූලධර්මාත්මකව මෙන්ම විවෘතවද කටයුතු කිරීමට වැඩි ඉඩක් සහ පුළුල් ඉඩ ප්‍රස්ථවක් සැලසුණි.

කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ මුල්ම කාර්යන් අතර කතෝලික විශ්ව විද්‍යාල තුල ජනප්‍රිය වෙමින් පැවැති විමුක්ති දේවධර්මයේ (liberation theology) ඉගැන්වීම් පිලිබදව අවධානය යොමු කිරීම දැකිය හැකි විය. පූර්ණ අධ්‍යයනකින් අනතුරුව කාදිනල් රැට්සිංගර්ගේ කාර්යාලය (C.D.F) කතෝලික සභාව තුල ජනප්‍රිය ව්‍යාපාරවලට ජීවය දුන් විමුක්ති දේවධර්මයේ (liberation theology) ඇතැම් ඉගැන්වීම් නිවැරදි නොවන බවත් එමගින් "දෙවියන් වහන්සේ ඔහුගේ පල්ලියට භාර දුන් ක්‍රිස්තියානි පණිවිඩය විකෘති කිරීමක්" (“a perversion of the Christian message as God entrusted it to His Church”) කර ඇති බවත් ප්‍රකාශයට පත්කලේය. එපමණක් නොව එකී දේව ධර්මය ප්‍රචලිත කල පේරු හි ගුස්ටාවෝ ගුටෙරෙස් (Gustavo Gutiérrez) ආදින් පිළිබඳ විමර්ශනයක් කිරීමටත් 'පැහැදිලි කිරීම්' ඉල්ලා සිටීමටත් දැඩිව කටයුතු කලේය. එකී ක්‍රියාමාර්ග මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ විමුක්ති දේවධර්මාචාර්යවරුන් (liberation theologians) ගේ බලය බිදීමටත්, කතෝලික පල්ලිය තුල ඔවුන් අත්කරගත් සුවිශේෂී අවධානය අහිමි කිරීමටත් හේතුවිය. එහි වගකිවයුත්තා ලෙස ඇගිල්ල දිගුවුයේ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේට නොව වතිකානුවෙහි මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතුකල කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ටය. ඔහු පිලිබදව වූ අප්‍රසාදය ඔහු එම ධූරයේ සිටි දශක ගණනාවක් පුරාවටම විහිදුනි. විශේෂයෙන්ම ඉග්නාසියෝ එල්ලකුරියා පියතුමා (Father Ignacio Ellacuría) ඇතුළු විමුක්ති දේවධර්මය වෙනුවෙන් හඬ නැගූ ජේසු නිකායික පියතුමන්ලා හය දෙනෙකු, ඔවුන්ගේ ගෘහ සේවිකාව සහ ඇගේ දියණිය එල් සැල්වදෝරයේ මධ්‍යම ඇමරිකානු විශ්ව විද්‍යාලය තුල එරට හමුදාවට අනුයුක්ත මිනීමරුවන් විසින් ඝාතනය කල 1989 දී පවා කතෝලික සභාව සභාවක් ලෙස ඊට එරෙහිව දැඩි පියවරක් නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය යොමුවුයේද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ටය. ලංකාවේ තිස්ස බාලසූරිය පියතුමාට අතුරු තහනම් නියෝගයක් පනවමින් බාලසූරිය පියතුමා ලියු 'Mary and human liberation' කෘතිය සම්බන්ධයෙන් විමර්ශනයක් කලේද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ගේ කවුන්සිලය ය. (එම කෘතිය පිලිබදව වූ තහනම මෙන්ම තිස්ස බාලසූරිය පියතුමාට පැනවූ අතුරු තහනම් නියෝගයද විමර්ශනයකින් පසුව වතිකානුව ඉවත් කරගන්නා ලදි. )

මෙසේ කතෝලික දේවධර්ම ඇසුරෙන් මතුව ඇති විවිධ ප්‍රවනතා පිලිබදව දැඩි විමර්ශනක සහ සූක්ෂම අවධානයක නිරතවු කාදිනල් ජෝසෆ් රැට්සිංගර් ඊලගට අත තිබ්බේ කතෝලික පල්ලියේ දුෂණ, වංචා, ලමා අපචාර, ස්ත්‍රී දූෂණ, සමලිංගිකසේවනය ආදිය වෙතය . එය කතෝලික පල්ලියේ ගතානුගතික, සම්ප්‍රදායික කදවුර පවා සලිත කිරීමට සමත්විය. එවැනි අපරාධ, දූෂණ සහ වංචා ආදිය ගැන සදහන් ලිපි ලේඛන බුරුතුපිටින් වතිකානුවට ගෙන්වා ගත් කාදිනල් ජෝසෆ් රැට්සිංගර් පූජක ලිංගික අපයෝජන පිලිබද අර්බුදය සමඟ ගනුදෙනු කිරීමේදී වතිකානුව දැඩි අවධානයක් යොමුනොකිරීම බරපතල අඩුපාඩුවක් ලෙස සැලකීය. පූජක අපයෝජනයන් පිළිබඳ පළමු ගැඹුරු වාර්තා 1985 දී පළ වූ නමුත්, පූජකයන් හික්මවීම අභ්‍යන්තර කටයුත්තක් බව අවධාරනය කරමින් පල්ලිය නීතිඥයින්ට සහ නීතිය ක්‍රියාත්මක කරන්නන්ට එරෙහිව පස්සට තල්ලු කිරීම නිසා දශක දෙකකට ආසන්න කාලයක් ගැටලුව උග්‍ර වීමට හේතු විය. එහෙත්, ලොව පුරා රදගුරු පදවි විසින් රැස්කරන ලද සිය ගණනක් පූජකවරුන්ගේ ලිංගික අපරාධ සහ දූෂිත මූල්‍ය ගනුදෙනු හෙළිදරව් නොකිරීම සහ එහිලා නිසි ක්‍රියාමාර්ග නොගැනීම ඉක්මනින්ම නිවරදිකල යුතු වරදක් ලෙස සලකා ඔහු දැඩිව ක්‍රියාත්මක විය. ලොවපුරාම සෑම රදගුරු වසමකින්ම එවැනි චෝදනා ගැන විශ්වාසනීය ලෙස චෝදනා ලද පූජකවරුන් පිලිබද වාර්තා මිටි පිටින් ගෙන්වාගෙන කියවීම සහ පෞද්ගලිකව ඔවුන් සම්බන්ධයෙන් විධිමත් ලෙස කටයුතු කිරීමේ සම්ප්‍රදාය (Our Friday penance -"අපේ සිකුරාදා සද්භවය") ආරම්භ කලේ එතුමාය.

ලිංගික අපයෝජන චෝදනා දුසිම් ගණනක් ගැන ලොව පුරාම චූදිත බිෂොප්වරුන් සහ පූජකවරුන් සම්බන්ධයෙන් පල්ලියේ නීතිය හෝ සභාවේ අධිකරණවලවත් නඩු පැවරීමට කටයුතු නොකිරීම ගැන කාදිනල් ජෝසෆ් රැට්සිංගර් සභාව තුල දැඩිව හඩක් නැගුවෙක් යැයි සැලකේ. පල්ලියේ ඉහලම තනතුරක් දරමින්ම පල්ලියේ "අපිරිසිදුකම" ගැන ගුප්ත ලෙස කතා කිරීමට අපූර්ව බලයක් කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ට තිබුනි. ඇමෙරිකාවේ මැසචුසෙට්ස්හි පුලුල්ව පැතිරුනු පූජක ලිංගික අපයෝජනයන් පිලිබඳව 'Boston Globe' රූපවාහිනිය විසින් විශ්මයජනක ගවේෂණාත්මක වාර්තා මාලාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, Boston හි Cardinal Bernard Lawට ඉල්ලා අස්වීමට බලකිරීමට මෙන්ම සියලු ඇමරිකානු කාදිනල්වරුන් රෝමයට කැඳවා දෙවන ජුවාම් පාවුළු පාප්තුමා යටතේ අසාමාන්‍ය සමුළුවක් කැදවීමටද වතිකානුවෙ මූලධර්ම කාර්යාලය වන ඇදහිල්ලේ ධර්මය සඳහා වූ සභාවෙහි (Congregation for the Doctrine of the Faith - C.D.F) ප්‍රධානියා ලෙස කටයුතු කලේද කාදිනල් ජෝසෆ් රැට්සිංගර්ය.

දූෂිත පුජකයින් සහ සභා නායකයින් ගැන වඩ වඩාත් දැඩි ක්‍රියාමාර්ග වර්තාවන්නට ගත්තේ කාදිනල් ජෝසෆ් රැට්සිංගර් XVI වන බෙනඩික්ට් පාප්වරයා ලෙස 2005 දී පත්වීමත් සමගය. 2006 සිට බුරුතුපිටින් පුජකයින් පිලිබද පරීක්ෂණ පැවත්වීම්, නෙරපීම්, දඩුවම් පැවැරීම් ආදිය සුලබව වාර්තාවන්නට විය. 2011 සිට 2012 දක්වා කාලය තුළ පමණක් බෙනඩික්ට් පාප් වහන්සේ රදගුරුවරුන්/පූජකවරුන් 400කට ආසන්න සංඛ්‍යාවක් ගැන දැඩි ක්‍රියාමාර්ග ගත් බවත්, 2004 සිට 2014 දක්වා කාලය තුළ රදගුරුවරුන්/ පූජකවරුන් 800 කට අධික සංඛ්‍යාවක් නෙරපීමට කටයුතු කල බවත් එක් ඇස්තමේන්තුවකට අනුව කියවේ. එමෙන්ම දූෂිත පුජකයින්ගේ අතවරයට පාත්‍රවූන්ට යුක්තිය, සාධාරණත්ව සහ සහනය ලබාදීමට 'රූත් කාර්‍ය්ංශය' (Ruth Institute), “Ask a Survivor” ආදි විවිධ පියවරයන් ගන්නා ලදි. වරක සිය මීසම් භාර පියතුමාගේ අතවරයට ලක්වූ 'Faith Hakesley' ආදින් බැහැදැකීමටද, ඔවුන්ට යුක්තිය ඉටුකරලීමට හැකි සියළු පියවර ගැනීමටද මැදිහත්විය. තවද පූජකවරුන්ගේ හික්මවීම, වගකිම ආදිය ගැන ගතයුතු ක්‍රියාමාර්ග විනය පරීක්ෂණවලින් ඔබ්බට එතුමා ගෙන ගියේය.

ලිංගිකත්වය ගැන කතෝලික පල්ලියේ ඉගැන්වීම නැවත නැවත් යාවත්කාලීන කරමින් ලිංගිකත්වය සම්බන්ධයෙන් ලොව පුරාම ගොඩනැගී ඇති 'විසකුරු ලිංගික සංස්කෘතිය' (toxic sexual culture) සම්බන්ධයෙන් ව්සංයෝජනාත්මක (deconstructive) ප්‍රවේශයක් ඉදිරිපත් කලේය. සාම්ප්‍රදායික ලිංගික සදාචාරයේ සිට ක්‍රමානුකූලව ව්පරිවර්තනය වු 'විසකුරු ලිංගික සංස්කෘතිය' (toxic sexual culture) සමාජ සත්තාවේ පමණක් නොව සභාවේ බැදිම්ද බිඳ දැමීම දක්වා සංස්කෘතික හෝදාපාළුවකට ලක්කර ඇති බවත්, පල්ලිය තුළ පවා ඒ සම්බන්ධයෙන් මූලධර්මාත්මකව වෙනසක් සිදු කල යුතු බවත් එතුමා දැක්වා තිබුණි. ප්‍රැන්සිස් පාප්තුමාද මෑතකදී ප්‍රකාශ කලේ පූජකයින් සහ පැවිදි සොයුරියන් පවා නිරුවත් ජයාරූප/චිත්‍රපට (pornography) නරබන බවත් එමගින් යක්ෂයා පල්ලිය තුලට රිංගන බවත් දැක්වීය. එහෙත් XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ ප්‍රවේශය ඊටත් වඩා ගැබුරු සහ මූලධාර්මික විය. ඔහු දැක්වුයේ "ලජ්ජා නැති ලිංගික සංසර්ගය සහ දරුගැබක් ගැන නොසිතන සංසර්ගය විලෝපිකයන්ගේ පාරාදීසයක් සහ අන් සියල්ලන්ටම බියකරු සිහිනයක් නිර්මාණය කර ඇති බවයි (sex without shame and intercourse without babies have created a paradise for predators and a nightmare for everyone else). ලිංගිකත්වය පිලිබදව මෙයටත් වඩා ගැබුරු දාර්ශනික පදනමක් ඉදිරිපත් කිරීමට මේ යුගයේ සිටි අද්විතීයම දේවධර්ම ආචාර්ය වරයා ජෝසෆ් රැට්සිංගර් (Joseph Aloisius Ratzinger) කාදිනල්වරයා හෙවත් XVI වන බෙනඩික්ට් පාප්තුමා බව අවිවාදිතය.

ඇත්තවශයෙන්ම, ජෝසෆ් රැට්සිංගර් කාදිනල්වරයෙකු ලෙස සිටියදී මෙන්ම XVI වන බෙනඩික්ට් පාප්තුමා ලෙස ඉටුකල සේවය පල්ලිය දූෂිතයන්ගෙන් බේරාගෑනීම හා දේව ධර්මය විවිධ විකෘති ප්‍රවනතාවලින් බේරාගැනීමට පමණක් සීමා නොවී සෙසු ආගම් අතර සහජීවනයද දිරිමත් කලේය.

එය එක්තරා ආකාරයකට දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ගත් පියවරක් ඉදිරියට ගෙන යෑමක් විය. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 1986 ඔක්තෝම්බර් මාසයේදී, සාමය සඳහා වූ ලෝක යාඥා දිනයක් (World Day of Prayer for Peace) සඳහා ලෝක ආගම්වල නායකයින්ගේ පෙර නොවූ විරූ රැස්වීමක් ඉතාලියේ අසීසිහිදී කැඳවමින් කටයුතු කරන විට කාදිනල් රැට්සිංගර් සිටියේ තිරය පිටුපසිනි. එහෙත් පාප්තුමා, කැන්ටබරි අගරදගුරු, ජෙරුසෙලමේ ප්‍රධාන රබ්බි, සෞදියේ මව්ලමිතුමන්ලා, දලයි ලාමා තුමා සහ අනෙකුත් ආගමික නායකයන් සමඟ උරෙන් උර ගැටී සිටීමේ අදහස දිරිමත් කලේය. එහෙත් "ආගමික නිදහස යන්නෙන් අදහස් කළේ ආගමික සමානාත්මතාවය බවත් කතෝලික සභාවට විශ්ව ගැලවුම්කරුවා ලෙස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂත්වය තදින්ම අල්ලාගෙන සිටීම දැඩිව අවශ්‍ය බවත් ජෝසෆ් රැට්සිංගර් කාදිනල්වරයා වශයෙන් මෙන්ම XVI වන බෙනඩික්ට් පාප්තුමා ලෙස කටයුතු කිරීමේදී ද ඔහු දිගින් දිගටම අවධාරණය කලේය.

පල්ලියේ නිරන්තර මිෂනාරි ප්‍රකාශණ (Dominus Iesus) මගින් ඔහු එවකට පෙන්වාදීමට උත්සහකර ඇත්තේ 'ආගමික බහුත්වවාදය' (religious pluralism) සාධාරණීකරණය කිරීමට සාපේක්ෂ වශයෙන් දරණා උත්සාහයන් මගින් න්‍යායාත්මකවත්, ප්‍රතිපත්තිමය වශයෙනුත්, අනුගාමිකයින් ලෙසත්, සහ වෙනත් ආගමික සම්ප්‍රදායන් වශයෙන් සැලකීමේදීත් එය ('ආගමික බහුත්වවාදය - religious pluralism) ආගම් "දැඩි ලෙස දුර්වල තත්වයකට" ඇද දමන බවයි ('relativistic theories which seek to justify religious pluralism, not only de facto but also de iure (or in principle),” and which deemed the followers of other religious traditions “in a gravely deficient situation').

කාදිනල් රැට්සින්ගර් වශයෙන් කටයුතු කල කාලයේදි මෙන්ම XVI වන බෙනඩික්ට් පාප්තුමා ලෙස කටයුතු කල කාලයේදී ද එතුමාගේ කටයුතු බාධාවකින් තොරව දිගටම දිග හැරුණා නොවේ. දක්ෂ විද්වතුන්ගේ, දේවධර්මාචාර්යවරුන් සහ සභා නායකයින්ගේ ප්‍රතිරෝධයන්, විරෝධයන්, කඹ ඇදීම් , පරීක්ෂණයන්වලින් ඔහුට නොඅඩුව බාධාවන් එල්ල වෙමින් තිබුණි. එහෙත් ඔහුගේ භක්තිය, ඇදහිල්ල සහ අතිමහත්වු විශ්වාසය ඒ සෑම බාධාවක්ම දියකර හැරීමට සමත්විය.

කෙසේවුවද ඔහුගේ නිරන්තර අරගලය අවසානයේ ඔහුට දෙවියන් ගේ හඩ (God's voice) ගිලිහී ගිය අවස්ථාවක් උදා කල බවත් ඒ හඩ නැවත ඇසීමට ලැබුනේ අර්ජන්ටිනාවේ Buenos Aires හි කාදිනල් Jorge Mario Bergoglio තුලින් බවත් XVI වන බෙනඩික්ට් පාප්තුමා වරක දක්වා තිබුනි. කාදිනල් Jorge Mario Bergoglio යනු වර්මාන ප්‍රැන්සිස් පාප්වරයා ය. කාදිනල් Jorge Mario Bergoglio ගේ හමුව XVI වන බෙනඩික්ට් පාප්තුමාට 'දෙවියන් ගේ හඩ නැවත' ගෙන ආවා පමණක් නොව දෙවියන්ගෙන් පණිවිඩයක්ද ගෙන ඒමට ඇත. එකී හමුවෙන් ටික කලකට පසුව, 2013 පෙබරවාරි 28දා XVI වන බෙනඩික්ට් පාප්තුමා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට තීරණය කලේය. ඒ වසර හයසියයකට ආසන්න කාලයකදී ඉල්ලා අස්වු පළමු පාප්තුමා ලෙසිනි. එය ඉතා වැදගත් ක්‍රියාවකි. මන්දයත් එමගින් පාප් පදවියේ ඇති ජීවිතාන්තය දක්වා බලයේ සිටිය හැකි 'රාජාණ්ඩු ගුණාංග' හීන කළ හැකි නිසාය. එමගින් ලබාදුන් පූර්වාදර්ශය වුයේ පාප් ධුරයද යම් සීමිත සේවා කාලයක් සහිත සේවයක් විය යුතුබවය. එය බෙනඩික්ට් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයින්ටද පූර්වාදර්ශයක් තැබීය . විශේෂයෙන් ආසන්නතම තැනැත්තා වන අසූහය හැවිරිදි වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වයස හෝ අසනීප තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස්වීමේ හැකියාව ගැන දැන් කතා කරන්නේ XVI වන බෙනඩික්ට් පාප්තුමා ගේ මග යමිනි. සිය ධුරයෙන් ඉල්ලා අස්වී XVI වන බෙනඩික්ට් පාප්තුමාද ඇමැරිකානුවේ හිටපු ජනාධිපති රිචඩ් නික්සන් මෙන්ම ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් හෙලිකොප්ටරයක නැගී ඉවත්ව ගියේය. එසේ ගොස් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන් ජැනේලයක එල්ලී සිය මුද්‍රාව නැවැත තැබීමට උත්සහකලේ නැත. සුපුරුදු පරිදි සිය දේවධර්මික අධ්‍යයනයන්හී නිරත විය. කතෝලික සභාව තුල කාන්තාවන්ට පුජකවරය දිය යුතුද? නැද්ද? යන්න ගැන මෙන්ම සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් සභා ස්ථාවර‍යන් ගැන නැවත නැවත් උනන්දුව විමර්ශනයන් හී නිරතවිය. කලකට පෙර ඔහුගේ දැඩි විමර්ශනයට සහ විරෝධයට ලක්වූ ප්‍රංශයේ Notre Dame සරසවියේ දේවධර්මාචාර්ය Richard P. McBrien පියතුමාගේ 'කාන්තාවන්ට පුජකවරය ලබාදීම' (women’s ordination) සම්බන්ධයෙන් වූ රචනා සම්බන්ධයෙන් නැවැත් කිසියම් ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරතවු බවත් වාර්තාවේ.

XVI වන බෙනඩික්ට් පාප්තුමාගේ ලේඛන තවත් දශක ගණනාවකට පසුවද අවධානයට ලක්වෙනු ඇත. අනිවාර්යයෙන්ම එකී රචනා සම්බන්ධයෙන් උද්ගතවන මතභේදයන්ගේද අඩුවක් නොවනු ඇත. එහෙත් කතෝලික පල්ලියේ මුලික ඉගැන්වීම් සහ එහි පදනම් වඩ වඩාත් ශක්තිමත් කරමින් නූතන ලෝකයේ පැනනැගෙමින් එන විවිධ අභියෝගවලට 'තනි මනසකින්' (single minded) මුහුණදුන් වෙනත් සභා එඩේරෙක් නොමැති තරම්‍ ය. ඒ තරමට ඔහු තබා යන දැවැන්ත සලකුණ අතිමහතය. XVI වන බෙනඩික්ට් පාප්තුමා මිය යන තෙක්ම කටයුතු කලේ කතෝලික සභාවටත්, කිතුනු ජන ජීවිතවලටත් නව ක්ෂිතිජයක් සහ තීරණාත්මක මඟ පෙන්වීමක් ලබාදීමටය.

XVI වන බෙනඩික්ට් පාප්තුමාට සදාතන ජීවනය අත්වේවා!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
(06/01/23)