This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 13 January 2023

සිරිසේනලා වරදකරුවන් බව සහතික කල ඓතිහාසික පාස්කු නඩු තීන්දුව!!


නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් 2019 අප්‍රේල් 21, පාස්කු ඉරිදා, රටපුරා ස්ථාන කිහිපයක කතෝලික දේවස්ථාන දෙකක්, කිතුණු දේවස්ථානයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූයේ යැයි කියමින් පාර්ශවකරුවන් කිහිපයක් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 13ක් සලකා බලමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් ඊයේ (12/01/23) පත්කර තිබුනා.

මෙම තීන්දුව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතටත්, පීඩාවටත් පත් ජනයාට යුක්තිය ඉටුකරලීමට ගන්නාවු උත්සහයන්වල විශිෂ්ඨ ජයග්‍රහණයක්. එය, පාස්කු ප්‍රහාරයට යුක්තිය සොයන,  යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකික මෙන්ම විවිධ දේශයන් හි වාසය කරන ජනයාගේ බලාපොරොත්තු ඉහල නැංවීමක්. කුමන බාධා පැමිණි‍යත් යුක්තිය පසිදලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ඇති අති මහත් ගෞරවය සහ විශ්වාස තවදුරටත් ඉහල දැමීමට හේතුවන්නක් බව පැහැදිලියි. 

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් එම චූදිතයන් වින්දියන්ට පෞද්ගලිකව වන්දි ගෙවිය යුතු බව  ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සදහන් වෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  විසින් පෞද්ගලිකව රුපියල් මිලියන 100ක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් පෞද්ගලිකව රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක්ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කර තිබෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය විසින්ද රුපියල් මිලියනයක් වන්දි වශයෙන් වින්දියන්ට ගෙවිය යුතු බවටත් නියෝග කර තිබෙනවා. මේ තීන්දු යුක්තිය සහ සත්‍ය සදහා වු අප ව්‍යාපාරයේ මෙන්ම යුක්තිය, සත්‍යය සහ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විවිධ දේශවල වාසය කරන ජනයාගේද පැසසුමට ලක්වන්නක් බව නොඅනුමානයි. 

ශ්‍රී ලංකා දේශපාලන අධිකාරීය විසින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තින්දුවට අවනතව, අදාල පුද්ගලයන්ට පෞද්ගලිකව ගෙවීමට නියෝග කර ඇති මුදල් රජයේ අරමුදල් වලින් සපයාදීමට කටයුතු නොකර, නීතියේ පාලනය උල්ලංඝනය නොකිරීමට කටයුතු කරනු දැකීම අපි සියල්ලන්ම බලාපොරොත්තු වන්නක්.

 කෙසේවෙතත්, ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න ඓතිහාසික නඩු තීන්දුව ගැන සමාජය තුල විශාල සාකච්ඡාවක් පැන නැගී තිබෙනවා. අද ලංකාවේ වගේ විදේශිය පුවත්වලත් මේ නඩු තීන්දුව ගැන ප්‍රවෘත්ති පලවී තිබෙනවා. 

මුලින්ම මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් කියන්නේ එය ලංකාවේ ඉතිහාසයේ විශාලතම වන්දියක් නියම කරපු නඩු තීන්දුවක් නිසාම නෙමේ, එය රටේ හිටපු ජනාධිපතිවරයා වගේම රටේ මහජන ආරක්ෂාව භාරව සිටි නිලධාරින් රාශියක්ම වරද කරුවන් ලෙස නම් කර තිබෙන නිසායි. 

එය ඉතාම වැදගත් කාරණයක්; හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම, වගකීම් පැහැර හැරීම,  අපොහොසත් වීම,නිසා මිනිස් ජීවිත 269 අහිමිවීමට සහ 500යකට අධික පිරිසක් තුවාල  ලැබීමට වරදකාරයෝ!! අන්න ඒකයි වැදගත්ම කොටස. 

මීට කලිනුත් ජාතික ආරක්ෂාව තහවුරු නොවීම නිසා රටේ දස දහස් ගණනින් මිනිස් ජීවිත අහිමිවු අවස්ථා තිබෙනවා, එහෙත් රටේ නායකයාගේ ඉදන් ඉහලම රාජ්‍ය නිලධාරින් දක්වා වැරදකාරයෝ කරපු පලමු අවස්ථාව මේක. මේ තීන්දුව දැන් ඉදිරියට රටේ පූර්ව ආදර්ශයක්. රටේ පාලකයාගේ ඉදන් සියළු නිලධාරින්ට මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියලා දුන්න දැඩි අනතුරු ඇගවීමක්. 

එය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් සහ පීඩිතයන්ට යුක්තිය දිනාගැනීම වෙනුවෙන් නොනවතින අරගලය විසින් ලාංකීය සමාජයට අත්කර දුන් ජයග්‍රහණයක්. 

ඒ අහිමිවු ජීවිත වලට වන්දි ගෙවල විතරක් ඇතිද? මුන් හිරේ දාන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම වන්දි අරගෙන විතරක් හරියන්නේ නෑ ඔවුන්ට නීතියෙන් දඩුවම් දෙන්නත් ඕනේ. ඒක ඊලඟ පියවරක්. කවුරුත් දන්නවා ඇති ලංකාවේ මෙතෙක් පවරා ඇති වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. ඒ කියන්නේ තව නඩු එනවා පෝලිමට. ඒ සියල්ලටම මේ නඩුවේ ඔවුන් වැරදිකාරයෝ කර දුන් නඩු තීන්දුව ඉතාම වැදගත්. යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් වු සටන පියවරෙන් පියවර ඉදිරියට යායුතුමයි. ඒක වෙනවා. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවෙන වෙලාවේ රටේ අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මේ වෙලාවේ රටේ ජනාධිපති වන නිසා ඔහුට ජනාධිපති මුක්තිය හිමිවෙන නිසා ඔහු මේ ධූරය අහිමිවීමෙන් පසුව හෝ නඩු විභාගයක් සිදුවිය යුතුයි. ඔහුට වුනත් වගකීමෙන් මිදෙන්න බෑ. 

ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙලිකර ගන්න, සම්පුර්ණ සත්‍යය හෙලිකර ගත යුතුයි. මොකද පාස්කු ප්‍රහාරය පිටුපස්සේ දැවැන්ත කුමන්ත්‍රණයක් තිබුනා කියලා රටේ හිටපු නීතිපතිවරයෙක්වූ දප්පුල ද ලිවේරා මහතාම කියලා තිබුනා. ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්  විමර්ශනය කල කොමිසම් සභා වාර්තා වගේම, තවත් බොහෝ තොරතුරු සම්බන්ධයෙන් නිසි අවබෝධයක් සහ යම් හැදෑරීමක් තිබෙන්නට ඇති බවට සැකයක් නෑ. ඔහු වැන්නෙක් එසේ කියන්නේ කිසියම් පදනමකින්. ඒ වගේම අදත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී කරුණු ඇතුලත්ව ඇතයි කියා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් කල ජනාධිපති කොමිසමේ සියළු වෙළුම් මහජනයාට විවෘත කරලත් නෑ. මහජන ආරක්ෂාවට වඩා ඇති ජාතික ආරක්ෂාව මොකක්ද? පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සම්පුර්ණ සත්‍යය හෙලිකර ගැනීම වැදගත් වෙන්නේ අන්න ඒ නිසයි. 

ඒවගේම ඊයේ නඩු තීන්දුව තුලින්  හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දක්වා තිබුනා. දැන් ඉන්න පොලිස්පති තව මාස කිහිපයකින් විශ්‍රාම ගියහම පොලිස්පති විය හැකි යැයි දැක්වු පොලිස් නිලධාරින්ගෙන් කෙනෙක් තමයි නිලන්ත ජයවර්ධන. ඊට පෙර ඔහු ගැන අභ්‍යන්තර විනය පරීක්ෂණයක් පවත්වන එක පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීමට විතරක් නෙමේ නිතියේ පාලනයක්  සහ දුෂාණයෙන් තොර යුක්ති සහගත පොලිස් දෙපාර්තමේන්තුවක් බලාපොරොත්තු වන සියලු දෙනාගේම අපේක්ෂාවක්. හරි නම්, දැන් මුලික අයිතිවාසිකම් පෙත්සමකින් වරදකරුවෙකු කරලා තියෙන නිසා නිලන්ත ජයවර්ධන මහත්තයාට උසස්වීම් දෙන්න බෑ. ලංකාවේ දූෂිත දේශපාලනය තුල එවැනි නිති කොහොම ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ. ඒත් පැහැදිලිව මෙම නඩු තීන්දුව නිලන්ත ජයවර්ධන මහත්තයාට පරහට හිටින බව නම්  පැහැදිලියි. 

වැරදිකරුවන්ගෙන් අදාල වන්දි මාස 06ක් තුල පෞද්ගලිකවම අය කරගෙන විශේෂ අරමුදලක තැම්පත්කල යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා. දැන් ඉතින් මෛත්‍රිපාල සිරිසේනලාට, හේමසිරි ප්‍රනාන්දුලාට, පූජිත් ජයසුන්දරලාට, සිසිර මෙන්ඩිස්ලාට, නිලන්ත ජයවර්ධනලාට ගෙවල්දොරවල් විකුණාලා හරි වන්දි මුදල් ගෙවන්න වෙන තත්වයක් ඇතිවෙලා ඇති. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. 

මේ තීන්දුව දුන්නේ සත් පුද්ගල අධිකරණයේ විනිසුරුවරුන් සියලු දෙනාම ඒකමතිකව. ඉතින් ආයේ ඇපිල් බෑ. 

මේ කාරණා ටිකම ඇති නේද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නේ ඓතිහාසික නඩු තීන්දුවක් කියලා  කියන්න. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

13/01/23

6 comments:

  1. බෝම්බ ප්‍රහාරය සිදුවූ දවස් වලම තමන් රට බේරගන්න ජනදිපතිවරණයට එනවා කියල කියපු ඇමරිකන් පුරවැසියා නන්දසේනල ගැනත් හොයන්න වෙනවා...

    ReplyDelete
  2. mahathmaya danwath therenewa deshapalana balaya maha paksha wala ewun onima deyak karanwa kiyala

    ReplyDelete
    Replies
    1. ඇත්ත, බලය ලබාගන්න අපේ රටේ නොකරන දෙයක් නෑ.
      ඒ ජඩ දේශපාලනයේ සැබෑ ස්වරූපය සමහරවිට පාස්කු ප්‍රහාරය පිලිබද සත්‍යය මතුකරගැනීම තුලින් රටට හොදින් හදුනාගත හැකිවේවි.

      Delete
  3. වන්දිය එකතුව රැපියල් මිලියන 310යි. තුවාල ලැබූ අයමෙන්ම මියගිය 229 දෙනාගේ වටිනාකම මුදලින් තක්සේරැ කල නොහැකි වුනත් යමක් කලා කියා සතුටු වියහැකිද? මෙම බොමිබ ප්‍රහාරයේ වන්දිගෙවන්න නියමවූ මොවුන් එය වලකාගන්නට නෙහැකිවූවන් මිස මෙය කරන්න කුමන්ත්‍රණ කල අයද? එය හෙලිවනතුරැ මෙය පයබරවායට පිටිකරට බෙහෙත් බැඳීමක් පමණයි මටනම්.සය මසක් ඇතුලත මෙය ඉටුවන හැටි අප බලා ඉමු. මෙවැනි තීන්දුවක් විල්පත්තු නඩුවටත් දුන්නා. දැන් බදුඋද්දීන් කැපූගස් වෙනුවට ගස් හිටවලාද? හිටවීම අධීක්ෂණය කරන්නේ කව්ද?
    දෙවනුව රටේ ජනයාගේ ආරක්ෂාව පැහැර හැර වන්දි ගෙවනලෙසම රටේ ජනතාවට සෞභාග්‍යය පොරොන්දුවී රටේ ආර්තිකය වලපල්ලට ගෙනගිය මෙරට ජනපති,අගමැති, ඔවුන්ම පත්කල මුදල් ඇමති, වෙළඳඇමති ඇතුලු අන් ඇමතියන්,මහබැංකු අධිපති වන්දිගෙවිය යුතුයි.මේ අනුවම. එසේ තීන්දුවක් ලැබීමට නඩුගොනුකර තිබේද???

    ReplyDelete
    Replies
    1. මේ තීන්දුවේ වැදගත්කම වන්දි මුදල නෙමේ; රටේ පාලකයාගේ සිට අදාල නිලධාරීන් දක්වා සියල්ලන්ම වැරදිකරුවන් බව තීන්දු කිරීමයි. නැවැත නැවැත තහවුරු කිරීමයි. දැන් නිතිපති හරිනම් අපරාධ නඩුවක් පවරන්න ඕනෑම ඔවුන්ට විරුද්ධව.

      Delete