This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 20 February 2023

අවසන් ගමන් ගිය මීගමුවේ රීගල් සිනමාහල හෙවත් මීගමුවේ අශෝකමාලා

මීගමුවේ රීගල් සිනමා ශාලාව කඩා ඉවත්කල බව  දැන ගත්තෙමි. අපේ යොවුන්විය ගෙවු මීගමුවේ බොහෝ ස්ථාන දැන් අපිට මතකයන් පමණක් ඉතිරිකර සදහටම බිමට සමතලාවෙමින් යයි. මීගමුවේ රීගල් චිත්‍රපට ශාලාවද එවැන්නකි. 

රුපියල් 10ය 10ය එකතුකර එහි බැලූ චිත්‍රපට සංඛ්‍යාව අපමණය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මෙන්ම හින්දි චිත්‍රපටිද එහි ප්‍රදර්ශනය විය. චිත්‍රපටිය කුමක්වුවද එහි චිත්‍රපටි බැලීමට දිගු පෝලිමක් විය. එම පෝලිමේ වැඩියෙන්ම සිටියේ කුඩවලින් මුහුණ වසාගත් ජෝඩුය. මීගමුවේ ටියුෂන් පන්ති යෑමට පැමිණි පාසැල් යන වයසේ පසුවූ නාඹර තරුණ තරුණියන්ද, කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයකල තරුණ, තරුණියන්ද ඔවුන් අතර බොහෝවිය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගියේ box හෝ බැල්කනිවලටය, එහි ඉඩක් නොවුකල ODC පන්තියද එකී ජොඩුවලින් පිරී යයි. චිත්‍රපටිය අවසන්වී අවුල්වු හිසකෙස් අතින් සකසමින් එලියට ඇදෙන බොහෝ යුවතියන් මෙම සිනමා ශාලාවේ "මකුණෝ එමට" යැයි නිතර චෝදනා කරති. එම යුවතියන්ගේ රත්පැහැ ගැන්වු  මුහුණ සහ බෙල්ල මකුණෝ කෑවේ කෙසේදැයි කොල්ලෝ ඔලොක්කුවට අසති.  එකී කතා දැන් මතකයන් පමණි. මීගමුවේ රීගල් සිනමා ශාලාවත්, එහි වූ යුවති-පතීන්ගේ දිගු පෝලීම්ද කාලයේ වැලිතලාවන්ට වැසී ගොස්‍ හමාරය. ප්‍රේමයෙන් මුසපත්ව ආලය කරන අතර කලාවත් ලලිත්‍යයත් එකට රසවිදීමට ඉඩකඩ සලසන චිත්‍රපටියක් බැලීමට දැන් කාලේ තරුණ ජෝඩු කොහේ යනවා ඇත්ද? සිනමා ශාලාවල් සමගම එම පරම්පරාවත් නිමවී ගියේද?

මෙවර සුමති සම්මාන උලෙළට නිර්දේශවූ හොදම නම් අතරින් 06-07 දෙනෙකුම මීගමුවේන් බිහිවු කලාකරුවන් විණි. එහෙත් අදටත් මීගමුවට හොද සිනමා ශාලාවක්, කලාගාරය, නාට්‍යය ශාලාවක්, රංගශාලාවක්, ප්‍රදර්ශණාගාරයක්, කෞතුකාගාරයක්, කලායතනයක් නැත. 

එහෙත් සිංහල චිත්‍රපටි කර්මාන්තය බිහිවු මුල් යුගයේදීම මීගමුව තුල  සිනමාශාලා 04 බිහිවී තිබුණි. 1983 ජාතිවාදී කෝලාහල විසින් සිංහල ජාතිවාදීන් ගිනිතැබු රාජ් සිනමා ශාලාව, ආදයමක් නොවුයෙන් බංකොලොත්වු නඩරාජා ටෝකීෂ් හෙවත් කිංග්ස් සිනමා ශාලාව, මීගමුවේ ලන්සා පාලනය විසින් කඩාදැමු මීපුර සිනමා ශාලාව සහ  'සිලෝන් තියටර්ස්' ආයතනයට අයත් මීගමුව නගර මාධ්‍යයේ පිහිටි රීගල් සිනමාහල ඒ අතර විය. 

කිසියම් ආකාරයක දේශිය ගෘහ නිරූපණ ශිල්පයක් (Ceylonese architect) අනුව ඉදිකර තිබූ මීගමුවේ රීගල් සිනමා ශාලාව ආරම්භයේදී, එනම් 1947දී,  හදුන්වාදී ඇත්තේ 'අශෝකමලා' සිනමාහල ලෙසය. ඒ ඒහි මුලින්ම තිරගත කල  චිත්‍රපටිය 'අශෝකමලා' වීම නිසාය. මාස ගණනාවක් යනතුරු එම චිත්‍රපටිය එහි තිරගතව ඇත.  එවකට වැඩිපුරම ද්‍රවිඩ චිත්‍රපටි රසවිදි මීගමුවේ සිනමා රසිකයන්ට සිංහල චිත්‍රපටි ප්‍රචලිත කිරිමේ තිබිරිගෙය වුයේද මෙම රීගල් සිනමාහලය. කලක් රාජ්‍ය චිත්‍රපටි සංස්ථාව යටතේ පාලනයවූ මීගමුව රීගල් සිනමාහල එතෙක් දෙමළ චිත්‍රපටි නැරබීමට වැඩි පෙළගැස්මක් තිබු මීගමූ නගර තුල සිංහල චිත්‍රපටි නරබන්නන්ගේ හදවත බවට 1970 දශකයේ අගභාගයවනවිට පැමිණි තිබුණි. මීගමුවේ  තිරගතකල සියළුම සිංහල කලාත්මක චිත්‍රපටිවල අලුත්ම නිකුතුවත්, ඉංග්‍රීසි චිත්‍රපටිත්  මෙම රීගල් සිනමා ශාලාවේ තිරගතවිය. ජලගැල්මට ලක්ව, නඩත්තු කරගැනීමට නොහැකිව, 2015 නොවැම්බර් මාසයේදී මීගමුවේ රීගල් සිනමා ශාලාව වසාදැමීය. 

එය කඩා ඉවත්කර එම භූමියේ සුපිරි සාප්පු සංකීර්ණයක් සහිතව නැවත චිත්‍රපට ශාලාවක් ඉදිකරන බව කියවේ. එහෙත් එය කෙතක් දුරට යථාර්ථයක් වේදෝයි යන්න සැක සහිතය. කෙසේවුවද මීගමුවේ රීගල් සිනමා ශාලාවටද අත්වූයේ මීගමුවේ අනෙකුත් සිනමා ශාලාවලට අත්වු ඉරණය ය. ඒ ගැන මම 2016 ලියූ 'මීගමු මහනගර සභාවට රැකගත නොහැකිවූ මීපුර සිනමාහල සහ මීගමුවේ වෙනත් සිනමාහල්' ලිපිය ඔස්සේ කියවිය හැක.

මාකස් ප්‍රියන්ත පෙරේරා 

17/02/23

 

9 comments:

  1. නවීන සිනමා ශාලාවක් එක්ක ෂොපින් කම්ප්ලේක්ස් එකක් හදයි කියල හිතනවා. මිගමුව සිට හලාවත දක්වා මග දෙපස ගොඩක් දේවල් වෙනස් වෙලා, සතුටුයි..

    ReplyDelete
    Replies
    1. එය එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමු!!

      Delete
  2. උදේ 10.30 ෂෝ එක බලන්න ගිහිල්ලා ටිකට් ඉවර උනාම බීච් එක පැත්තෙ ඇවිදලා ආයේ 2.30 ෂෝ එක බලන්න පෝලිමේ හිටපු හැටි මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඉස්කෝලේ ගමන ඉවරවෙනකං අපට එහෙම නිදහසක් තිබුනේ නෑ. බාප්පට හරි පුංචි මාමට හරි කංකෙඳිරි ගාලා දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක තමයි ඒ වැඩේ කෙරුවේ.

      Delete
    2. කමක් නෑ කොහොම හරි ඔය චිත්‍රපට ශාලාවේ චිත්‍රපටයක් බැලුවනේ..

      Delete
  3. මීගමුව දැන් අවශ්‍යය අංග සම්පූර්ණ Sports City එකක්. සාප්පු සංකීර්ණයක් එළිමහන් රංගශාලා එහි අංගයක් විය යුතුයි.ක්‍රිකට්,පාපන්දු, වොලිබෝල්, පැසිපන්දු, ජවන හා පිටිය(teack & field) සහ අනිත් ක්‍රීඩා වෙනම ක්‍රීඩා සංකීර්ණයක් මුහුද ලඟ හැදෙනවානම් සුපිරි.boat racing, diving & swimming වලට වෙනම pools. මීගමුවේ රට ගිය ඇත්තන්වත් එක්වෙලා කරනවනම් මිස.රටේ තියන තත්වය අනුව සිහිනයක් තමයි.දේශපාළුවනිගෙන්නමි වැඩක් නැහැ.උන්ට ඕන හෝටල්ම තමා.
    ඩුබායිවල වගේ රටට විදේශිය විනිමය ගෙන්න හැකියි.

    ReplyDelete