This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 14 July 2023

මිලාන් කුන්දෙරාගේ සාහිත්‍යය ධ‍්‍රැව ගතවූ චෛතසිකයන් ප්‍රකෘතිමත් වීමට ගත් උත්සාහයක් ද?


මිලාන් කුන්දෙරා (Milan kundera) ගැන බොහෝ දෙනෙක් ලියා තියෙනවා දැක්කා. ඔහුගේ මරණය ගැන ශෝකය පලකර තිබෙනවා දැක්කා. කොලරා කාලේ ආලේ (Love in the time of Cholera) ලියු ගබ්රියෙල් මාර්කේස් (Gabriel Márquez) වගේ මිලාන් කුන්දෙරා ( Milan kundera) වත් ලංකාවේ සාහිත්‍යයකාමීන් හදුනාගෙන තිබුනේ පරිවර්තන සාහිත්‍යය තුලිනුයි. ඔවුන් විශිෂ්ඨ නවකතා කරුවෙක් බව ඇත්ත. ඔවුන් රචිත වාක්‍යය තුල ඇති රිද්මයානුකූල බව පාඨකයාව බදා වැලද ගන්නා සුළු, තියුනු, ආකර්ශණීය රචනා ශෛලයකින් යුක්ත බව ඇත්ත.

එහෙත් ගබ්රියෙල් මාර්කේස් (Gabriel Márquez) සත්‍යය ලෝකය තුල හිමිකරගෙන තිබු ප්‍රබවය මිලාන් කුන්දෙරා ( Milan kundera)ටත් හිමිවෙනවද යන්න සැක සහිතයි. මිලාන් කුන්දෙරා ( Milan kundera) ට එරෙහිව ගොනුවෙන සාහිත්‍යය මෙන්ම දේශපාලන විවේචන ඒතරමට තියුණුයි. ගැබුරුයි. බැහැර කළ නොහැකියි.

මුලික වශයෙන් එම විවේචන එල්ල වෙන්නේ මිලාන් කුන්දෙරා ( Milan kundera) යනු කිසියම් ආකාරයක දෘෂ්ටිවාදයක් නැති ලේඛකයෙක් යන පදනම්න්. සාහිත්‍යයකරුවෙකු යනු දෘෂ්ටිවාදයක්, අදහසක්, මතයක් ඉදිරිපත් කරන්නෙක්ම වෙන්න ඕනෑ නෑ කියන, සාහිත්‍යය සාහිත්‍යය සදහාම ය, කලාව කලාව සදහාම විය යුතුයි විශ්වාස කරණ ගුරුකුල තුලත් මිලාන් කුන්දෙරා ( Milan kundera) ගේ සාහිත්‍යය රචනා ඒ කාරණයමද? කියා ප්‍රශ්ණ කරන්නන් විශාල වශයෙන් සිටින බව මේ දවස්වල ඔහු සම්බන්ධයෙන් පලවී ඇති විවිධ මරණානුස්මරණ ලේඛන (obituary) කියවද්දි පෙනීයන්නක්. විශේෂයෙන්ම ඔහුගේ The Joke (1967), Life Is Elsewhere (1969), The Book of Laughter and Forgetting (1979), The Unbearable Lightness of Being (1984), Immortality (1988), Slowness (1995), Identity (1998), Ignorance (2000), The Festival of Insignificance (2014) ආදි කෘති දක්වමින් අදහස් ඉදිරිපත් කරන්නන් දක්වන්නේ ඔහුගේ නිර්මාණ සමහරක් දේශපාලන අභිලාෂයන් සහිත සහ සමහරක් දේශපාලන අභිලාෂයන්වලින් තොර, කිසියම් ආකාරයක රික්තකයක වරින් වර දෝලන වී අවසාන වශයෙන් අදේශපාලනික අස්ථානයකට සේන්දුවූ බවයි.

ඇත්තවශයෙන්ම, ඔහුගේ ජීවිතයත් ඒ වගේමය. මුලින්ම චෙක්/චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුවු ඔහු පසුව පක්ෂයේ සාධනීය විවේචකයෙකු ලෙසත්, පසුව චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් පක්ෂයේ දැඩි අභ්‍යන්තර සහයකයෙකු ලෙසත්, පසුව පක්ෂයෙන් මෙන්ම රටිනුත් පන්නා දමන්නෙකු බවටත් පත්වුවෙක්. එම කාලය තුල ඔහු නාසි විරෝධියෙකු ලෙසත්, හිට්ලර් විරෝධී එහෙත් රැසියාවේ ස්ටැන්ලිට පක්ෂ, ස්ටැලින්වාදී චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් රජයක් හදන්න ස්ටැන්ලින්ගේ රුසියාව සමග එක කදවුරේ එකට සටන් කරන්නෙකු බවටත්, චෙකොස්ලොවැකියානු කුමන්ත්‍රණ කාලයේ චෙකොස්ලොවැකියාව රැසියාව අක්‍රමණය කිරීමට විරුද්ධ ක්‍රියාකාරිකයෙකු බවටත්, පසුව ප්‍රංශයේ සරණාගතයෙකු බවටත්, අනතුරුව දේශපාලනයෙන් වියුක්ත වූවෙක්, ස්වයං ආන්තික හුදකලාවූවෙක් බවටත් පත් වෙනවා..

ඔහු සිය ජීවිතයේ ලගාවූ අන්තය ඔහුගේ නවකතා ඇසුරෙනුත් සාකච්ඡා කල හැකි බව ඔහු සම්බන්ධව ලියවී ඇති මරණානුස්මරණ ලේඛන (obituary) විමසද්දී පෙනී යන්නක්. ඔහු නවකතාකරුවෙක් ලෙස ඕනෑම දැක්මක්, ප්‍රඥාවක්, තනතුරක්, දේශපාලනයක්, ඕනෑම ආගමක්, දෘෂ්ටිවාදයක්,සදාචාරාත්මක මූලධර්මයක්, කණ්ඩායමක්, අනන්‍යතාවයක් සමග එක පෙලට එකට හිට ගන්නෙක් නොවේ.. සාහිත්‍යය කරුවෙකු ලෙස නවකතාව තුල සෞන්දර්යාත්මක උටෝපියාවන් සොයා යන්නෙකුත් නොවෙයි. අඩුම තරමින් පුද්ගල සංවේදීතාවයන් නියෝජනය කරන්නෙකු වත් නොවන බව කියවෙනවා. එසේ නම් ඔහු කවරෙක්ද? ඔහුගේ සාහිත්‍යය නිර්මාණ කවරාකාරද? ඔහු සාහිත්‍යය ලිවීමට වෙහෙසෙන්නේ ඇයි? මේ රටවල කෙසේවෙතත් ඔය කාරණා ගැන ලංකාවේ නම් විශාල වශයෙන් අවධානය යොමුනොවනු ඇති. එහෙත් ඔහුගේ පොත් තව තවත් පරිවර්තනය වනු ඇත. පාඨකයන් ඔහුව තව තවත් වැලදගනු ඇත.

එහෙත් ඔවුන් වැලද ගන්නේ කුමක්ද? මිලාන් කුන්දෙරා ( Milan kundera) ගේ සාහිත්‍යය නිර්මාණ යනු මොනවාද? ඔවුන් ඒ ගැන ප්‍රශ්න කරුණු ඇද්ද? රුසියානු ව්ප්ලවීය සාහිත්‍යයේ මහා ගත්කතුවරයකු වු මැක්සිම් ගොර්කි (Maxim Gorky) ලෙනින්ගේ සෝවියට් රුසියාව තුල ද්‍රෝහියෙකු ලෙස සැලකූ ලෙසම චෙකොස්ලොවැකියානු කොමියුනිස්ට් ආණ්ඩුව මිලාන් කුන්දෙරා (Milan kundera) කොමියුනිස්ට්
චෙකොස්ලොවැකියාවේ ද්‍රෝහියෙකු ලෙස සැලකුවේ ඇයි යන්න සලකා ගැන බලයිද? වාමවාදී දෘෂ්ටිවාදීයෙකුවු කුන්දේරාව ප්‍රංශයේ ධනේශ්වර - ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුල දරාගත නොහැකි සැහැල්ලුවක පත් කලේ කෙසේද? කුන්දිරා යනු වම - දකුණ, බටහිර - නැගෙනහිර, ධනවාදය - සමාජවාදය ලෙස බෙදී ගිය සීත යුද්ධ සමයේ ධ‍්‍රැව ගතවූ චෛතසිකයන් ගේ ප්‍රකාශණයක්ද? කුන්දිරාගේ සාහිත්‍යය යනු එකී ධ‍්‍රැව ගතවූ චෛතසිකයන් ගේ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයක් ද? මිලාන් කුන්දෙරා (Milan kundera) ව අපි එලෙස කියවන්නේ කවදා ද?


මාකස් ප්‍රියන්ත පෙරේරා
14/07/23

2 comments:

  1. මට මතක් උනේ ටයිටස් තොටවත්ත වරක් පුවත්පතකට කියා තිබුණ දෙයක්. ඔහු කියනවා "මට පණිවුඩයක් දෙන්න ඕන නම් ටෙලිග්‍රෑම් එකක් යවනවා, චිත්‍රපටියක් හදන්නෙ නෑ." කියලා.

    ReplyDelete