This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 24 July 2023

ව්‍යාපාරිකයෙකු සාර්ථකත්වය ඩෙල්මා තේ මෙරිල් ගෙන් මනිමුද?

ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු (Merrill Joseph Fernando) මහතා අවුරුදු 93 ක් දිවිගෙවා මියගිය පුවත දුටුවෙමි. ඔහු සාර්ථක තේ සන්නාහ නාමයක නිර්මාතෘවරයෙකු වගේම සාර්ථක ව්‍යාපාරකයෙක් ලෙසද ලංකාවේ මෙන්ම පිටරටත් නමක් දිනා සිටි අයෙක්. ඔහු අපේ ගමේ, මීගමුවේ (පල්ලන්සේනේ), උපන්, මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් සහ කොළඹ,මරදාන, සා. ජෝශප් විදුහලෙන් සිප්සතර හැදෑරූවෙක්. ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ප්‍රකට, කලාකරුවන් බුරුතු පිටින් බිහිවෙන මීගමුවෙන් වතු වගාකරුවන්, තේ වතු පාලකයින් බිහිවෙන්නේ ඉතා කලාතුරකින්. එහෙත් එහෙම බිහිවුණු කාලයකුත් තිබුනා. ඒ ලංදේසී සහ බ්‍රිතාන්‍යය යටත් විජිත පාලන යුගයේදී. පහතරට වැවිලි කරුවන්ගේ සංගමයේ ප්‍රබලයෙක්වූ, මීගමුවට දුම්රිය ගෙන ඒමට දැඩිව මැදිහත් වූ, ඩී කෲස් (de Croos) ලා, පල්ලන්චේන වතු සමාගම අයත්ව තිබු ලියෝ පෝල් (Leo Paul) ලා, දකුණු පලාතෙන් මීගමුවට සංක්‍රමණය වී විශාල ඉඩම් හිමි ව්‍යාපාරිකයන් වූ A. E. රාජපක්ෂලා ඩේවිඩ් මෙන්ඩිස්ලා, මිරැන්ඩෝ ලා, බන්දුල මුදලාලිලා ආදීන් එහෙම බිහිවූ වැවිලිකරුවන් කිහිපදෙනෙක්.

මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා එහෙම පසුබිමකින් නිර්මාණය වන්නෙක් නෙමේ. ඔහුගේ පියා බ්‍රිතාන්‍යය යුගයේදී කොම්පැනියක පරිපාලන නිලධාරියෙක් ලෙස සේවය කල, ඉහල මධ්‍යම පාන්තික, බ්‍රිතාන්‍යය සම්ප්‍රදායට ගොඩනැගූනු භක්තිමත් කතෝලිකයෙක්. මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබූ , දැඩි විනයකින් සහ කතෝලික පසු බිමකින් ගොඩනැගූනු බව නිතර දැක්වුවෙක්. එහෙත් ඔහු වතු කර්මාන්තයට පිවිසෙන්නේ ඔහුගේ පියාගේ අභාෂයකින් නොවේ. ඔහුගේ පාසැල් මිතුරෙකුවු, ආර් තොණ්ඩමන් ගේ ඥාති සහෝදරයකුවූ මාධවන් නැමැති යාළුවෙකුගේ ගේ ඇසුරෙන්. මාධවන් සමග නිවාඩුවට පූඩළුඔය තොන්ඩමන්ලාගේ තේ වතුවල කාලය ගත කිරීමට යෑමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු තේ කර්මාන්තය පැත්තට යොමුවන්නේ.

මුලින්ම ඔහු ඩාලි බට්ලර් සමාගමේ Tea Taster කෙනෙක් ලෙස පුහුණුව ලබා පසුව ලංකාවේ එවකට ක්‍රියාත්මක වු A.F ජොන්ස් ලාගේ තේ වතුවල කලමනාකාරුවෙක් ලෙස තේ කර්මාන්තයට යොමුවන්නෙක්. ඒ අයගේ (A.F ජොන්ස් ලාගේ) මැදිහත්වීමෙන්, ඔහුගේ පෞද්ගලික මුදලින් බ්‍රිතාන්‍යයට ගොස් තේ කර්මාන්තය ගැන වැඩි විස්තර හදාරන්නට මෙරිල් ජේ ප්‍රනාන්දු මහත්තයා යොමුවී තියෙනවා. විශේෂයෙන්ම ලංඩන් තේ වෙළද පොලේ ක්‍රියාකාරීත්වයත් එහි කාලෙන් කාලේට විවිධ තේ වර්ග වෙනුවෙන් ඇතිවෙන ඉල්ලුමේ උච්චාවචනයන් ගැනත් හොද අවබෝධයක් ලැබූ බව ඔහු පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දක්වා තිබුනා.

තමන්ගේම, ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු කම්පනි ලිමිටඩ්’ නමින් කොම්පැනියක් පටන් අරන් ඔහු මුලින්ම තේ පිටරට යවන්නේ 1962 දී පමණ කාලයක සිටයි. ඔහුගේ 'පියෝ සිලෝන් ටී.' ගෙනියන්න "රුසියාවෙන් අහස් යාත්‍රා අරන් දෙපාරක් ම ආවා" යැයි ඔහු තවත් පුවත්පතකට ලබා දුන් interview එකක දක්වා තිබුනා. තේ වතු ජනසතු කිරීම යටතේ ඔහුගේ තේ ඉඩම් අක්කර 320 ක් එවකට පැවැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය විසින් පවරා ගැනීම ගැන ඔහු දැඩි කනගාටුවකින් අවස්ථා කිහිපයකදීම කතා කර තිබුනා. ඔහු උපයාගත් මුදලින් මිලදී ගත් එකී තේ වතු රජයට පවරාගෙන ක්‍රමයෙන් විනාශවී යෑම ගැන ඔහුගේ කනගාටුව තේරුම් ගත හැක්කක්. ඉතිරිවූ තේ වතුවලින් ඔහු මහා පරිමාණයෙන් තේ නිෂ්පාදනය කරනු වෙනුවට ‘value added’ තේ කර්මාන්තය රටට හදුන්වා දෙමින් ඉදිරියට පැමිණෙනවා. 1988 දී ඔහුගේ ඩිල්මා තේ සන්නාහ නාමය බිහිකරන්නේ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. එතැන් සිට ‘මෙරිල් ජේ. ෆර්නැන්ඩු' යනු රටක් ලෝකයක් දන්නා ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ නමින් චිර ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට ඔහු පත්වෙනවා.

මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතාගේ මරණයත් සමග ඔහු වතුකම්කරුවන් ගේ ජීවන තත්වය දියුණු කිරීමට මොනවද කලේ, ඔහු රටේ තේ කර්මාන්තය වෙනුවෙන් මොනවාද කලේ.., ඔහු Ethical Trader කෙනෙක්ද? මීගමුව දියුණු කිරීමට යමක් කල කෙනෙක්ද? ආදී ප්‍රශ්න මතු කරනවා දැක්කා. ඔහු 'Tea School' යනුවෙන් තේ කර්මාන්තය ගැන පාසැල් කල බවත්, ලංකාවේ තේ වල ගුණත්වය රැකගැනීමට දැඩිව හඩ නැගුවෙක් බවත්, ඔහුට අයත් වෙලෝනා වතු යායේ කොටසක තේ වතුකම්කරුවන්ට නිවාස සංකීර්ණයක් තනා දුන් බවත්, වතු කම්කරුවන්ගේ අධ්‍යාපන වෙනුවෙන් අරමුදල් ලබා දුන් බවත්, අංගවිකල සහ ඩවුන් සින්ඩ්‍ර්ම් රෝගයෙන් පීඩාවට පත්, විශේෂ අවශ්‍යතා සහිත වතු කම්කරුවන්ගේ දරුවන් වෙනුවෙන් විශේෂ පාසැලක් වතුකරයේ ආරම්භ කලබවත් කියවෙනවා. ඒවා කෙතරම් ප්‍රමාණවත් ද යන්න වෙනම ගැටලුවක්..

ඒත් මම අර අදහසට කැමැතියි; ඒ කියන්නේ අපි ව්‍යාපාරයෙකුගේ සාර්ථකත්වය මනින්න ඕනේ ඔහුගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය තුලින්ම විතරක් නෙමේ, ඔහු සමාජයට ලබාදුන් දායකත්වය කුමක්ද? උපයාගත් ධනය,බලය, සමාජය ගොඩනැගීමට කෙතෙක් භාවිතා කලාද කියන කාරණය මතයි. එය ඩෙල්මා (Dilmah) තේ නිර්මාතෘ මෙරිල් ජේ. ෆර්නැන්ඩු මහතාට විතරක් නෙමේ සියලුම ව්‍යාපාරිකයින්ව, ධනවතුන් ව මැනීමට භාවිතා කල යුතු මිනුම්දණ්ඩක්...

මාකස් ප්‍රියන්ත පෙරේරා
22/07/23

No comments:

Post a Comment