This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 21 January 2021

පාස්කු ප්‍රරහාරයට අදට මාස 21කයි, කොමිසමේ සාක්ෂි විභාගය අවසන්, දහදෙනෙක් නිදහස්!!

2019 අප්‍රේල් 21ක එල්ලවූ පාස්කු ප්‍රරහාරයට අදට මාස 21ක් ගෙවී ඇත. එහෙත් පසුගිය සතියේද එම ප්‍රහාරය නිසා කන් බෙරයට හානිව ඇසීම අහිමිවුවෙක් සැත්කමට භාජනය කර තිබුනි. 

මේ ගෙවී යන්නේ පාස්කු ප්‍රරහාරයෙන් විපතටපත් ඥාතිමිත්‍රාදීන්ට සිය සමීපතයන් වඩ වඩාත් සිහිකැදවන සමයකි. පසුගිය මාසයේ යෙදී තිබුන නත්තල සමයේදී කටුවපිටිය පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූන් මිහිදන්කර ඇති කනත්තට ගිය පිරිස් ප්‍රහාරයෙන් මියගිය සිය ඥාතිමිත්‍රාදීන් මිහිදන්කර ඇති භූමියේ නත්තල ගස් සිටවා, ගවලෙන ආදිය ඉදිකරමින් මියගිය ඔවුන්ගේ සමීපතයන් සමග පසුගිය නත්තලද සිහිකිරීමට ගෙන තිබූ උත්සාහ දකින විට ඇතිවෙන වේදනාව අපමනය. හද කම්පාකරවන සුලුය.

නත්තලින් මසක් යෑමට මත්තෙන් ඊයේ (20/01) කටුවාපිටිය සා. සෙබස්තියන් මුනිදුන්ගේ පල්ලියේ මංගල්‍යයද යෙදී තිබුනි. පාස්කු ප්‍රරහාරයේ විනාශයත්, වේදනාවත් තවමත් දරා සිටින කටුවාපිටියේ ජනතාවට පවත්නා කොරෝනා වංසගත තත්වයද හේතුකොටගෙන පෙර පරිදි අති උත්කර්ෂවත් අන්දමින් සිය පල්ලියේ මංගල්‍යය සැමරීමට නොහැකිව තිබුනි. එහෙත් චාම් මෙන්ම උපරිම භක්තියාදරයකින්ද, අලංකාර වීදි සැරසිරිවලින්ද, නොඅඩුව ඔවුහු ඊයේ (20/01) යෙදී තිබුන කටුවාපිටිය සා. සෙබස්තියන් මුනිදුන්ගේ වාර්ශික මංගල්‍යය සැමරූහ. මංගල්‍ය දිව්‍ය පූජාවෙන් අනතුරුව පවත්වන සුරුවම රැගත් විදී සංචාරයේදීද මාර්ග දෙපස රැදීසිටි ජනයා ප්‍රහාරයෙන් විපතට පත් සිය ඥාතිමිත්‍රාදීන්ගේ ජායාරූප ඇතිව සිටිම දැකිය හැකිවිය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය නම් නොකල ප්‍රාණපරිත්‍යාගීන්ගේ ආත්මවලට මොක්සුව අත්වේවා, නම් නොකල එම සාන්තුවරුන්ගේ ලෙයින් තෙත්වී ඇති කටුවාපිටිය ග්‍රාමයත්, අපගේ මීගමුව නගරයත්, සමස්ත ලංකාවත්, මුලුමහත් ලෝක තලයත් මේ උදාවී ඇති වසංගත තත්වය හමුවේ වංසගත සහ රෝගාබාධදයන්ගේ පිහිටාධාරයවූ සා. සෙබස්තියන් මුනිතුමාගේ මැදිහත්වීමෙන් සුවපත් වෙත්වා යැයි ඊයේ මංගල්‍යට රැස්වසිටි සියල්ලෝම සැදැහැසිතින් ‍යදින්නට වුහ. 

ඇත්තවශයෙන්ම නත්තල් සමය යෙදෙන දෙසැම්බරයේත්, පල්ලියේ මංගල්‍යය යෙදෙන ජනවාරියේත් පාස්කු ප්‍රහාරයේ විනාශයත්, වේදනාවත් දරාසිටින කටුවාපිටියේ ජනයාට නම් මහත් වේදනාවක් සිය හදවත් තුල දල්වන මාස දෙකකි. පාස්කු ප්‍රරහාරයට පෙර නත්තල මෙන්ම සිය පල්ලියේ මංගල්‍යයද අති උත්කර්ෂවත්ව සැමරූ මීගමුව කටුවාපිටියේ ජනයාට අද එම උත්සව දෙකම සැමරීමට සිදුව ඇත්තේ සිය වේදනාබර මතකයන් හිසේ දරාගෙනය. 

මීගමුවේ නත්තලින් පසුව එලබෙන පල්ලිවල මංගල්‍යය සමය ආරම්භවනුයේ කටුවාපිටිය පල්ලියේ මංගල්‍යයත් සමගිනි. පාස්කු ප්‍රහාරයට මෙන්ම කොරෝනා වසංගතයටද පෙර පැවැත්වූ කටුවපිටිය පල්ලියේ මංගල්‍යය වූකලී ලංකාවේ පැවැත්වූ අති උත්කර්ෂවත්ම පල්ලි මංගල්‍යයවලින් එකකි. ලංකාවේ පල්ලියක මංගල්‍යයකට වැඩිම තොරන් ප්‍රමාණයක් ඉදිකරන මංගල්‍යය ලෙස කටුවාපිටිය පල්ලියේ මංගල්‍යය සැලකන ලදි. පාස්කු ඉරිදා ප්‍රරහාරයත්, දැන් පවත්නා කෝවිඩ් වසංගත තත්වයත් නිසා මෙවරද කටුවාපිටිය මංගල්‍යයේ අති උත්කර්ෂවත් බව අඩුව ගියද, ජනයාගේ අතිමහත්වු භක්තියේද, අචල විශ්වාසයේද, නොසිදලෙන උද්යෝගයේද මදකදවූ අඩුවක් මෙවර මංගල්‍යය තුලද දැකිය නොහැකිවිය. 

මෙවරද මංගල දිව්‍ය පුජාව පැවැත්වුයේ මැල්කම් රංජිත් කාදිනාල්තුමන්ය. එම පුජාවේ දේශනාව තුල කාදිනල්තුමා සදහන් කලේ පාස්කු ප්‍රහාරය කවදාවත් අපේ සිත්සතන් තුලින් අමතක කල නොහැකි බවත්, ඒ පිලිබවවූ හර්දසාක්ෂිය සැමදා ආරක්ෂා කරගතයුතු බවත්, කවුරැ බලයේ සිටියද පක්ෂ පාට භේදයෙන් තොරව වැරදි දේ වැරදි බවත්, වැරදිකරුවන් හෙලිකරගන්නා තුරුම, ඔවුන් නීතිය ඉදිරියට පමුනුවනතුරුම, ඒ වෙනුවෙන් හඩ නැගීම අත්නොහරින බවත්ය. කිසිසේත්ම පාස්කු ප්‍රහාරය පිළිබද සත්‍ය තොරතුරු වසංකර දැමීමට ඉඩ නොදෙන බවට එතුමා සපථ කළේය. 

මෙසේ සිය තිර අදිටන ගැන නැවත මතුකරලීමට එතුමා කටයුතු කලේ මුතුරාජවෙල පරිසරය විනාශකරමින් සිදුකරන ඉඩම් මංකොල්ලයට විරුද්ධව දැඩි හඩක් නගා රජය මහජන හඩට කන්දීමට කටයුතු නොකරන්නේ නම් මේ ආණ්ඩුවත් වෙනස් කිරීමට සිදුවේ යැයි පවසා දින කිහිපයක් යන්නට මත්තෙන් මීගමුව බෝලවලානේ අටවන බෙනඩික් පාප් මධ්‍යස්ථානයේ උපාධි අධ්‍යනය සදහා සිසුන් ලියාපදිංචියට නන්දසේන ගෝඨාභය ජනාධිපතිතුමා සමග හරි හරියට පෙනීසිටීම ගැන සමාජ මාධ්‍යවල දැඩි විරෝධයක් වර්ධනය වෙමින් පැවති තත්වයක් අතරතුරය. 
මේ අතර නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා පත්කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම 01/19/21 දිනයේ සාක්ෂි ලබාගැනීමේ කටයුතුවලින් පසුව අවසන් කළ බව කොමිසම සඳහන් කළේය.

එහෙත් ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ ශානී අබේසේකර මහතා සාක්ෂි ලබාදීම සදහා මෙතෙක් සහභාගීවී නොමැත. පවත්නා අසනීප තත්වය තුල හිටපු අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂි ලබාදීම මේ දක්වා අවිනිශ්චිත තත්වයක පවතී. එහෙත් ඉදිරි දින කිහිපයේදී හිටපු අධ්‍යක්ෂවරයා සාක්ෂි ලබාදෙනු ඇති බව කොමිසම සඳහන් කළේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අවසාන වශයෙන් සාක්ෂි ලබා දුන්නේ සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ උමීර් මොහොමඩ් නැමැත්තාය. මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත නොවීය. සහරාන් හෂීම්ගේ බිරිදගෙන් සාක්ෂි ලබා ගත්තේද, නැද්ද යන්න ගැනද නිශ්චිත තොරතුරු තවමත් හෙලීවී නොමැත. 

කොමිසමේ කටයුතු මෙසේ ක්‍රමයෙන් අවසානය කරා ලගාවෙමින් තිබියදී පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 111/6 ඒ, අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘කොලොසස්’ නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවය කල සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය 19/01/2021 නියෝග කළාය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් අත් අඩංගුවට ගත් එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම සැකකරුවන් එලෙස නිදහස් කළාය.

ජනාධිපති විමර්ශන කොමිසමේ සහ පාර්ලිමේන්තු තේරීම් කරකා සභාවේද, හිටපු ජනාධිපති සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේද කරුණු අනුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව අත් අඩංගුවේ සහ රැදවුම් භාරයේ සිටින්නන්ගෙන් තවත් කවුරුන් නිදහස් වේදෝයි යන්න ගැන පාස්කු ප්‍රහාරය පිලිබදව සිදුවෙන විමර්ශනයන් සම්බන්දයෙන් උන්නදුවන සියල්ලෝම මේ මොහොතේ ඇස් දල්වා බලාසිටිති.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
21/01/2021

2 comments:

  1. මේ සිදුවීම ගැන පරීක්ශන, අර කමිටු, මේ කමිටු කිසිම ප්‍රතිපලයක් නැතුව ඉවර වෙන්න බොහෝ ඉඩ තියෙද්දිත්, හැම ආන්ඩුවෙම හිඟන්නාගෙ තුවාලය වෙන්න ඉඩ තියෙද්දිත්, මේ විදිහට දිගටම හඬක් නැගීම appreciate කරන්න ඕනෙ.

    ReplyDelete
  2. ඇත්තටම ඔවුන් නිහඩ නෑ. විශේෂයෙන්ම මීගමුවේ, කටුවාපිටියේ, ජනයා නම් කිසිසේත්ම නිහඩ නෑ. මම මේ ලියන ඒවායිනුත් කියලා තියෙන්නේ ඒ අය නිහඩ නෑ කියන කියන එකයි. පාස්කු ප්‍රරහාරය පිලිබද සියලු තොරතුරු මතුකර ගන්නකම්, ප්‍රරහාරයට සම්බන්ද මෙන්ම ප්‍රරහාරය ගැන දැන දැනත් එය වැවැලැක්වීමට කිසිවක් නොකල සියලුදෙනා නීති ඉදිරියට පමුනුවනතුරුම ඔවුන් නිහඩ වෙන්නේ නෑ.

    ReplyDelete