This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 4 January 2021

ඉන්දියානුවන්ට කොවිඩ් එන්නතට පෙර වතුර එන්නත් කරයි

අහලා තියෙනවාද ලංකාවේ ඉපදුන M.G.රාමචන්ද්‍රන් (M.G.R) තමිල්නාඩුවේ චන්දෙට කලින් මිනිස්සුන්ට වතුර ගන්න මුට්ටි බෙදුවා කියලා? 

ඒ 1977 තමිල්නාඩුවේ ප්‍රාන්ත මැතිවරණය කාලේ. ඒ මැතිවරණය පැවැත්වුයේ තමිල්නාඩුවේ විශාල ඉඩෝරයක් පැවති සමයක. M.G.R කිව්ව කථාව තමයි තමිල්නාඩුවේ වතුර ප්‍රශ්නයට එකම විසදුම කාවේරි නදිය තමිල්නාඩුවේ ස්ථාන කිහිපයකට පැතිරයන ලෙස හරවන්න ඕනේ, එහි ජලය නියගයට හසුව ඇති ප්‍රදේශවලට බෙදාහරින ක්‍රමයක් සකස්කරන්න ඕනේ කියන එක. එත් ඒක එහෙම කියන තරම් ලේසි නැති, වියදම් අධික, මධ්‍යම රජයේ මැදිහත්වීම තවත් වැඩි කරන (ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත රාජ්‍ය මධ්‍යම ආණ්ඩුව කරන නිරත්තර මැදිහත්වීම් ගැන ලොකු විරෝධයක් දක්වනවා), අසල්වැසි කර්ණාටක ප්‍රාන්තයත් එක්ක ගැටුම් ඇති කරගන්නා, හුදු දේශපාලන සුරංගනා කථා කියලා තමයි ඔහුගේ විරුද්ධවාදීන් ප්‍රකාශ කලේ. එහෙත් M.G.R ඒවා සත පහකට ගණන් ගත්තේ නැහැ. චන්දේ කිට්ටුවෙද්දී එයා තමිල්නාඩුවේ මිනිස්සුන්ට මුට්ටි බෙදන්න පටන් ගත්තා. ඉතින් මිනිස්සු හිතුවා M.G.R ආවාහම වතුර එනවා ඒනිසා ඔහුව දිනවන්න ඕනේ කියලා මිනිස්සු චන්දේ දුන්නා. තමිල්නාඩු ප්‍රාන්තයේ එවකට පැවති ආසන 234න් ආසන 144ක්ම දිනාගෙන M.G.R මහ ඇමැතිවුනා. මහ ඇමැතිවෙලා 1987 වෙනකම් හිටියා. එත් තමිල්නාඩුවේ මිනිසුන්ගේ වතුර ප්‍රශ්නය විසදුනේ නැහැ. මේ අවුරුද්දේ තවත් මාස කිහිපයකින් පැවැත්වීමට තිබෙන තමිල්නාඩුවේ ප්‍රාන්ත මහා මැතිවරණයේදීත් ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ වතුර ප්‍රශ්නය. 
අදත් තමිල්නාඩුවේ වතුර ප්‍රශ්නය විසදිලා නැහැ. එදා තමිල්නාඩුවේ චන්දේ දිනන්න M.G.R මුට්ටි බෙදුවා වගේ දැනුත් මුට්ටි බෙදනවා. හැබැයි දැන් වෙනම තේමාවක් ඇතුලේ. දැන් කියනවා 'එදා M.G.R ගේ සිහිනය මෙදා සැබෑ කරගනිමු' කියලා. ඕනේ නම් කියන්න පුළුවන් මිනිස්සුව තවමත් අන්දනවා නේද කියලා...හැබැයි මෙහෙම දේකුත් වෙලා තියෙනවා නේද? එදා හුදු දේශපාලන උපක්‍රමයක් වෙච්ච දෙයක් අද මහජනයාගේ කවදා හෝ අත්කර ගතයුතු ප්‍රධාන දේශපාලන ඉල්ලීමක කේන්ද්‍රීය සංකේතය බවට පත්වෙලා තියෙනවා නේද? එහෙම තමයි ජනතාවකගේ දේශපාලන ඉල්ලීම් පදනම් කරගත් දේශපාලන විඥානයන් ගොඩනැගෙන්නේ...

ඒතව දෙයක් කියන්න ඕනේ M.G.R ගේ දේශපාලන ජයග්‍රහණ වල පදනම වතුර ප්‍රශ්නය පිළිබද ඔහුගේ දැක්ම වගේම දෙමළ ජනයාගේ දේශපාලන අනන්‍යතාවය, ඔවුන්ගේ දේශපාලන අභිලාශයන් ගැන ඔහු දැක්වූ උනන්දුව, එහි එක් දිගුවක් ලෙස ලංකාවේ දෙමළ සටන්කාමීන් සදහා සහයෝගය දැක්වීම ආදියත් බලපෑ බව. 

දැන් ඇත්තටම මම මේ M.G.R චන්දේකාලේ වතුර ගන්න මුට්ටි බෙදුවා කියන කථාව ගැන කථා කරන්න ගත්තේ මේ දවස්වල ඉන්දියාවේ සිදුවෙන තවත් දෙයක් ගැන කථා කරන්න. ඒ තමයි ඉන්දියාව කොරෝනා වයිරසයට ප්‍රතිකාරයක් ලෙස එන්තක් ලබාදීමේ පෙරහුරුවක් ලෙස මේ දවස්වල මහජනයාට එන්නතක් ලබාදීමේ ක්‍රියාවලියක් දියත් කිරීම. 

මේ වනවිටත් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක මේ පෙරහුරුවට ලක්ෂ සංඛාත ජනතාවක් සහභාගීකරගෙන තිබෙනවා. මේ පෙරහුරුවේදී බෙහෙතක් විදින්නේ නැහැ. නමුත් එහෙම කරලා පෙන්වනවා මෙහෙමයි එන්නත් කරන්නේ කියලා පෙන්වා දෙන්න. මේ පෙරහුරුව සංවිධානය කරන රාජ්‍ය ආයතන කියන්නේ ඉන්දියාවේ මහජන ප්‍රතිශක්තිකරණය පිළිබද ජාතික වැඩපිළිවෙලක් තවමත් දියත්වෙලා නැති නිසා, විශේෂයෙන්ම වැඩිහිටි ජනග්‍රහනය එවැනි වැඩපිළිවෙලක් ගැන අධ්‍යාපනයක් නොමැති නිසා, මෙවැනි පෙරහුරු වැඩසටහන් අවශ්‍ය බවයි. ඒක එක්තරා ආකාරයක පදනමක් සහිත තර්කයක්. අනික, දියුණු වෙමින් පවතින රටක් වශයෙන් විශාල ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙලකට යනවා නම් මේ වගේ පෙරහුරු වැඩ සටහනක අත්දැකීම් ඉතා වැදගත්. 
එහෙත් ඉන්දියාව කවදා එන්නතක් ලබාදීම පටන් ගනීද කියලා කියන්න දන්නේ නැහැ. දැනටමත් එහි මිලියන 10කට වඩා වැඩි පිරිසකට කොරෝනා හැදිලා ලක්ෂ එකහාමාරක් විතර මියගිහින්. කොහොමවුනත් ඔවුන් දැනටමත් ඔක්ස්ෆෝර්ඩ් එන්නත අනුමත කර අවසන්. ඒ වගේම බ්‍රිතන්‍යය සහ ඉන්දියානු සමාගමක් එක්ව ඉන්දියාවට තවත් එන්නතක් ලබාදෙන්නත් කටයුතු කරන් යනවා. එත් ලේසිවෙන්නේ නැහැ. ඉතින් බිලියන 1.3 වෙන ඉන්දියානු ජනතාවට කොරෝනාවලට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදෙනවා කියන්නේ ලෙහෙසි පහසු වැඩපිළිවෙලක් නෙමේ. ඒක එහෙම වුනත් අඩුම තරමේ පෙරහුරුවක් කිරීමට වතුර එන්නතක් ලබාදීමත් මිනිස්සුන්ට එක්තරා ආකාරයක් බලාපොරොත්තු දැල්වීමක්. අර වතුර මුට්ටි ලබාදෙනවා වගේ මෙවැනි පෙරහුරු එන්නත් ලබාදීම නිසා මිනිස්සුන්ට නිසි ප්‍රතිකාරයක් පිලිබදව කවදා හෝ බලාපොරොත්තු වෙන්න වගේම ඒ වෙනුවෙන් පෙනීසිටිමටත් පුළුවන්. 

මම නම් කියන්නේ මේවා අර ධම්මික පැණිය, අර පැණිය, මේ පැණිය, කිය කියා මිනිස්සු රවට්ටනවාට වඩා ප්‍රගතිශීලි වැඩ කියලයි. ඉන්දියාවේත් ඔය පැණි කාරයෝ, එක එක තෙල් බෙහෙත් වෙළෙන්දන්ගේ අඩුවක් තිබුනේ නැහැ. අර ඉන්දියාවේ අති ප්‍රසිද්ධ යෝගා ගුරෙක් ඉන්නේ Baba Ramdev Patanjali කියලා එයාත් කොරෝනාවට Coronil kit කියලා තෙලක්, පැණියක් එහෙම හදුන්වලා දීලා කෝටි ගණන් මුදල් කැඩුවා. හැබැයි බලයේ ඉන්නේ වඩාත් ජාතිකවාදී, ජාතිවාදී, පක්ෂයක් වන භාරතීය ජනතා පක්ෂය වුනත් ඒක ඒ අය උඩදාගෙන ප්‍රවර්ධනය කරන්න ගියේ නැහැ. කලේ Baba Ramdev අලුතින් රැස්කරගත් ධනයට tax ගහලා ජාතික ධනයට එයින් ආදායමක් එකතුකර ගන්න එක විතරයි .

එකට එක්ක අපේ රටේ පාලකයෝ.. පැණිය දීලා ජනතාව අන්දනවා විතරක් නෙමේ ඒ අස්සේ රටේ ප්‍රධාන ආදායම් උපයන මාර්ගයක් වන කොලඹ වරායේ නැගෙනහිර පරියන්තයත් ඒ අස්සේ ඉන්දියාවට විකුණලා දානවා. ඒකෙන් හරි මේ දවස් ටිකේ වියදම් ටික පිරිමහගන්න9 ගන්න බලනවා...

හැබැයි එගොල්ලෝ කියන්නවා ඒ අයගේ රජය කිසිම දෙයක් විකුණනන්නේ නැහැල්ලු...අඩුම තරමේ ධම්මික පැණියවත්. ඒකත් නිකම්ම දීලා දානවා...

ඇත්තටම මුන් දන්න ධනවාදයකුත් නැහැ , වෙලද පොල ආර්ථිකයකුත් නැහැ, විද්‍යාවකුත් නැහැ, මිත්‍යාවකුත් නෑ...අපි හිතන් උන්නේ මුන්ට අඩුම තරමේ නූල්පොටක්වත් නැතිව අන්දන්නවත් පුලුවන් කියලනේ. හැබැයි ඉන්දියාව එක්ක බලද්දී ඒකත් බෑ වගේ.

මාකස් ප්‍රියන්ත පෙරේරා 
03/01/21

No comments:

Post a Comment