This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 3 July 2020

මීගමුව දූව මුහුදුට ගසාගෙන යයිද?

මම මේක ගියා අවුරුද්දෙත් මේ කාලෙම ලිව්වා...

ඉස්සර වගේ නෙමේ දැන් වාරකන් කාලෙට පිටිපන ඉදන් දූව දක්වා ප්‍රදේශය විශාල වශයෙන් මුහුදු ඛාදනය වෙනවා කියන කථාව දැන් දැන් නිතර කියවෙන, පුවත්පත්වල නිතර පලවෙන ප්‍රවෘත්තියක්...රළ පහරත් එන්න එන්නම සැරයි කියන කථාව අපි ගිය අවුරුද්දේත් එහි ගිය වෙලාවේ දැක්කා... රැල්ල ගසාගෙන ඇවිත් ගල් පරවල, ගෙවල් වල බිත්ති, තාප්ප, අත්තිවාරම්වල වදින්නේ හෙනගෙඩි වගේ...කොයි වෙලේ ගෙවල් දොරවල් පිටින් මුහුදට ගහන්යයිද දන්නේ නැති තත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ...මිනිස්සු මරබයෙන් ඉන්නේ...දූව පල්ලිය ගාව ඉදන් මෝය කට පැත්තට වෙනකම් ගල් වැටියත් දාලා තිබුනත් මිනිස්සු කියනවා මේ එන රළ පාරේ වේගයට ඒවත් ඔරොත්තු දෙයිද දන්නේ නැහැ කියලා..ඉස්සර වගේ මොරවලේ වැලි තීරයක් දැන් නැහැල්ලු... වැලි නැත්තටම නැතිවෙන්න මුහුදට ගහගෙන ගිහින් ගල් තට්ටුවක් පෑදෙන්න පටන් අරන්ලු...

මේ ගැන දන්න අය කියන්නේ පෝට් සිටි එකට වැලිගන්න මුහුද හාරලා හාරලා දැන් මුහුදු පතුලේ සමබරතාව බිදිලා මුහුද වලවෙලා තියෙන නිසා එක පුරවන්න මුහුද ගොඩබිමෙන් වැලි ඇදගන්නවා කියලයි...ඒ කියන්නේ ගොඩබිම මුහුදට ගසාගෙන යනවා කියන එකයි. ඒ අස්සේ මුහුදෙන් මහ භයානක සද්දයක් රෑට රෑට ඇහෙනවා කියලත් කියනවා....එක ඇහෙන්නෙත් ලිහිණියා ගල පැත්තෙන්ලු...ලිහිණියා ගල කියන්නේ පිටිපනටත් එහා ඉදන් දූව, මෝය කට පැත්ත වෙනකම් විහිදිලා තියෙන මුහුදේ පිහිටි ගල් පර්වතයක්. අපි පොඩි කාලේ එකේ නැවක් හිරවෙලා තිබුනා...සුනාමි කාලේ මීගමුව බේරුනා කියන්නේ මේ ගල විශාල සැර රළ පහරවල් පාලනය කල නිසා කියලත් කියනවා...දූවේ අය කියනවා දැන් ඔය ලිහිණියා ගල පැත්තෙත් වැලි ගහගෙන ගිහින් එහි යටින් එහෙම හුම්මානේ වගේ වතුර එනවාද දන්නේ නැහැ ඒ නිසාද දන්නේ නැහැල්ලු දැන් ඇහෙනවා වගේ භයානක සද්දයක් ඇහෙන්නේ... ඒ කියන්නේ ගල් පර්වතයත් යටින් කඩාගෙන බිදගෙන හාරාගෙන එන තරමට රළ සැර වෙලා, වැලිවැටිය දියවෙලා...

දැන් ඉස්සර වගේ නෙමේ  සුන්දර මෝරාවල නැහැ...මුහුදු ඛාදනයට ලක්වෙලා...1996 වසරේ දවසක මම, චන්දන, ශිරාන්ත, නිර්මල්, ජූඩ්, ප්‍රේඩි සහ තවත් කිහිදෙනෙක් මෝරවලේ නාන්න ගියා. ඈතින් ඉස්සෝ රැල්ලක් එනවා, පොඩි ඉස්සෝ උඩ පනිනවා පේනවා. අපිට ඉස්සෝ අල්ලන්න මුකුත් තිබුනේ නැහැ, අපි ඇදන් ආව T ෂර්ට් වල කට පැත්ත ගැට ගහලා ඇල්ලුවා. T ෂර්ට් පිරෙන්න ඉස්සෝ. එදා හවස තලාදුවේ සෙලින් අක්කලාගේ ගෙදර ඒ ඉස්සොවලින් වඩේ හදලා කෑවා මතකයි. දැන් එහෙම අත්දැකීම් විදින්න බැහැ මුහුද රැල දරුණුයි.

ගිය අවුරුද්දේ චමින්ද එක්ක නංගිගේ ළමයිනුයි අපේ ළමයිනුයි මොරවලේ නාන්න ගියා. සැඩපාර පුදුම විදිහට වැඩිවෙලා තිබුනා විතරක් නෙමේ, කොහේද ඉදන් කුණු ජරාව පවා රැල්ලට ඇදී ආවා. මුහුදෙන්  ගසාගෙන එන  ප්ලාස්ටික් කුණුකන්දල් එක්ක  මුහුදේ නාන එකත්  හිරිකිතයි..වෙරළත් කළුම කළුවෙලා, මෝරවලේ තිබුන සුන්දරත්වය නැතිවෙලා ගිහින් තිබුනා.

දැන් මෝරවල සම්පුර්ණයෙන්ම මුහුදට ඛාදනය වෙලා, නැත්තටම නැතිවෙලා ගිහිලා. පෝට් සිටි ව්‍යාපෘතිය නිසා මේ තත්වය මෙහෙම වෙලා තියෙනවා කියලා තමයි ධීවර නායකයින්ගේ අදහස.

මෝරවල විතරක් නෙමේ කවදා හරි මුළු මීගමුවම උනත් මුහුදට ඛාදනය වෙන්න පුළුවන් මේ විදිහට මුහුදු ඛාදනය උනොත්. මුහුද පැත්තෙන් එහෙම වෙද්දී අනික් පැත්තෙන් කලපුව හරලා පස්ගන්න පටන් අරන්. පහුගිය කාලේ නඩුවක් දාලා තිබුන නිසා කලපුව හාරන එක නැවතිලා තිබුනත් දැන් ආපහු කලපුව හාරන්න පටන් අරන්ලු..රෑටත් ලයිට් දාගෙන හාරනවාලු...නියමිත ප්‍රමාණයට වඩා ගැබුරට හාරනවාලු...දැන් හාරන පස් තලාහේනේ ඉස්පිරිතාලේගාව ගොඩගහනවා කියලා තමයි කියන්නේ...තව ටික කාලයක් යන්න කලින් ඒ පස් කන්ද හොද ගානකට විකුණලා දායි...

උන් එහෙම කරලා බඩවඩාගද්දී කලපු ධීවරයෝ මාළුවෙක් අල්ලගන්න වරුගනන් කලපුවේ රස්තියාදුවෙනවා...තමන් හරි හම්බකරපු මුළු සේසතම මුහුදට ගසාගෙන යාවියි..සිය අබු-දරුවෝ එක්කම මුහුදට ගහගෙන යාවියැයි කියන මර බයේ ඉන්නේ...

පෝට් සිටි ව්‍යාපෘතිය හරහා දිග හැරුනේ උස්වැටකෙයිවාවේ සිට මීගමුව ඇතුළු වෙරළ තීරයම මුහුදට ගසාගෙනයාමට ඉඩ විවරකල විනාශකාරී සංවර්ධන ව්‍යාපෘතියක්...එකෙන් පාරම්පරික ධීවර ජනතාව විතරක් නෙමේ, ලංකාවේ දේශීය සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට දායකවුනු දූව පිටිපන සුවිශේෂි ජනකොටසක්ම අනතුරේ හෙලලා තියෙනවා...පෝට් සිටි ව්‍යාපෘතියට එරෙහිව ධීවර සංවිධාන සහ කතෝලික පල්ලිය තරමක් දුරට විරෝධය දක්වලා අද නිහඩ වෙලා තිබුනත් අනතුර එන්න එන්නම ඉහලයෑම තුල තවදුරත් ඒ අය නිහඩවී සිටිනවා කියන්නෙම ස්ව-කැමත්තෙන්ම මුහුට බිලිවීමක්.

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/07/2020

No comments:

Post a Comment