This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 21 July 2020

මේ ජූලියට පාස්කු ප්‍රහාරයට මාස 15යි, අර්බුධයක් ඇතිකර බලයට පත්වන්නා අර්බුධයකින්ම විනාශවීයෑම නියතයක්

අද (21/07/20) වනවිට පාස්කු ප්‍රහාරයට මාස 15ක් ගතවේ. පසුගිය ජනාධීපතිවරණයේදී මෙන් නොව මේ මැතිවරණය වනවිට පාස්කු ප්‍රහාරය මැතිවරණ වේදිකාවේ තීරණාත්මකව මතු නොවන, තවදුරටත් මැතිවරණ වේදිකාවේ විකිණිය නොහැකි මාතෘකාවක් බවට පත්වී හමාරය.

ආණ්ඩු පක්ෂය පැත්තෙන් කොමිසන් යොදා, පරීක්ෂණ පවත්වමින්, සහරාන් සමග සමබන්දයැයි කියමින් විවිධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන, මාධ්‍යවල ප්‍රවෘත්ති පළකරමින් ඒගැන දිගින් දිගටම කටයුතු කරන බව ප්‍රචාරයකරන අතරම...කතෝලික පියතුමෙකු ලෙස ඇදගත් කෙනෙකු ලවා ප්‍රචාරක වීඩියෝවක් නිකුත්කලද... ආණ්ඩු පක්ෂයට එයින් විශාල ප්‍රචාරයක්, පිටුබලයක් ලැබෙන පාටක් පෙනෙන්නට නැත.

ඒවගේම විපක්ෂයේ හරීන් ප්‍රනාන්දු කාදිනල්තුමාවත් විවේචනය කර, පසුව පැමිණ කාදිනල්තුමාගෙන් සමාව ඉල්ලා, අනතුරුව නැවත පාස්කු ප්‍රහාරය ගැන රාජපක්ෂලාට, පොහොට්ටුවට චෝදනා කරමින් පාස්කු ප්‍රහාරය පිටුපස්සේ සිටින්නේ ඔවුන් යැයි දිගින් දිගටම චෝදනා කලද, යහපාලන ආණ්ඩුව යටතේ කිතුණුවන්ට ආරක්ෂාව නොදීම ගැන, තොරතුරු දැන දැනත් ඒ ගැන කිසිවක් නොකරමින් මිනිස් ජීවිත සහ රටේ ආරක්ෂාව ගැන වගකීම පැහැර හැරීම පිලිබදව, ඔවුන්ටවූ වගකීමෙන් ගැලවීමට නොහැකිවී තිබෙනවා පමණක් නොව ඒවා නැවත අනෙක් පැත්තට කරකවා ඔවුන්ටවූ හානිය අවම කරගැනීමට ඔවුන් ගන්නා උත්සහයද අසාර්ථකවී තිබේ.

ඒ අනුව මේවර මැතිවරණයදී පාස්කු ප්‍රහාරය තවදුරත් තීරණාත්මකව මතු නොවන, තවදුරත් මැතිවරණ වේදිකාවේ විකිණිය නොහැකි මාතෘකාවක් බවට පත්වී තිබෙන බව පැහැදිලිය. ඒ වෙනුවට විවිධ මාතෘකා මතුවී තිබේ. කොරෝනා මර්ධනය, මහින්දානන්දගේ ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීමේ චෝදනා ආදිය මෙන්ම අගුලාන, කුරුණෑගල බුවනෙකබාහු රාජසභා ගොඩනැගිල්ල කැඩීම ආදී විවිධ අර්බුධ, මාතෘකා රාශියක් දැන් කරලියට පැමිණ තිබේ. රටම කිසියම් අර්බුධයකට මුහුණපා සිටින බව එත්තුයමින් තිබේ.

මෙවැනි පසුබිමක් තුල 'අර්බුධයකින් බලයට පැමිණෙන්නා අර්බුධයකින්ම වැනසී යන්නේය' යන මතයක් ස්ථාපිත වෙමින් තිබේ. පැහැලිවම පසුගිය වසරේ අප්‍රියල් 21 පාස්කු ප්‍රහාරයත් සමග රටතුල සමාජ අර්බුධයක් ගොඩ නැගුන බව පිළිගත හැක්කකි. ඒ රට තුල උද්ගතවී ඇති උග්‍ර ආර්ථික අර්බුධයට අමතරවය.

පාස්කු ප්‍රහාරයත් සමග රට තුල සමාජ ඒකාග්‍රතාව සම්පුර්ණයෙන්ම බිදවැටී තිබේ. ජාතීන් සහ ආගම් අතර බෙදීම උග්‍රවී තිබේ. දෙමළ ජනසමාජය මෙන්ම මුස්ලිම් ජනතාවද ශ්‍රී ලංකා රාජ්‍ය තුල ඔවුන්ට සමාන අයිතිවාසිකම් හිමිනොවන, සමානව නොසලකන, ආරක්ෂාව අහිමි, සතුරන් සේ සලකා කොන්කරන ලද සමාජ කොටසක්යැයි යන හැගීමක් ඇති පිරිසක් බවට පත්ව තිබේ. ඒමෙන්ම ක්‍රිස්තියානි ජන කොටස් තුලද බිය, අවිශ්වාසය සහ නිසි ආරක්ෂාව පිලිබදව දෙගිඩියාවක් ඉතා සීග්‍රයෙන් මෝදුවෙමින් තිබෙනවා පමණක් නොව ඔවුන් පෙර පරිදි උතුරා ගලාගිය සතුටකින්, උද්යෝගයකින් යුතුව ප්‍රබෝධමත්ව කටයුතු නොකරන තත්වයක් දකින්නට තිබේ. දැන් කොරෝනා තත්වය තුල මුළු රටම එවැනි තත්වයක පසුවුවද පාස්කු ප්‍රහාරයෙන් පසුව කිතුනු ජනතාව අතර පෙර තිබු සතුට, උනන්දුව, උද්යෝගය, ප්‍රබෝධය ගිලිහී ගොස් එය නැවත යථාතත්වයට පත්වීමක් සිදුනොවුනි.

රටකට මෙලෙස ඉදිරියටයා නොහැක...රට වැසියන් සතුටින්, උද්යෝගයකින්, ප්‍රබෝධයකින් සහ ජවයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් ඒ රට ඔහේ දුවන, එක එක තැන පල්වෙන, කිසිදු ප්‍රගතියක් දක්නට නොමැති තත්වයක්ට පත්වෙනවා මිස රටක් ලෙස එම රට විකසිතවන්නේ නැත. 1980 වනවිට ලංකා ආර්ථිකයේ ජවසම්පන්න ව්‍යාපාරිකයින් පිරිසක්වූ දෙමළ ජනයා 1983 කළු ජූලියත් සමග හැකිලී ගියාසේ, පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව, දෙමළ ව්‍යාපාරිකයින්ගෙන් පසුව මෙරට ආර්ථිකයේ ජවසම්පන්නම ව්‍යාපාරිකයින් පිරිසක් ලෙස ඉදිරියට පැමිණි, මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවද දැන් කිසියම් ආකාරයක සීමා සහිතව කටයුතු කරන තත්වයකට පත්ව තිබේ.

එමෙන්ම 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් අනතුරුව ලංකා සමාජය තුල වඩාත්ම ප්‍රබෝධමත් ජනකොටසක්වූ බර්ගර් ජනයා විශාල ලෙස රට හැරයෑමෙන් අනතුරුව, ඒ අඩුවත් පුරවමින් ශ්‍රී ලංකා ජනසමාජය තුල විවිධ සංස්කෘතික, අධ්‍යාපනික සහ ක්‍රීඩා ආදී ක්ෂේත්‍රවල නිරතවෙමින් උතුරාගලා ගිය සතුටකින්, ප්‍රබෝධයකින් සහ ජවයකින් ක්‍රියාකල ක්‍රිස්තියානි ජනයාට පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එකී සතුට, ප්‍රබෝධය සහ උනන්දුව අහිමිවී ගොස් තිබෙනවා පමණක් නොව ඔවුන් කිසියම් ප්‍රවේශම් සහගත ප්‍රවේශයකට යොමුවෙමින් සිටී.

පාස්කු ප්‍රහාරයත් සමග රටතුල විශාල සමාජ අර්බුධයක් ගොඩනැගී ඇතැයි යනුවෙන් දක්වන්නේ එවැනි පසුබිමක් තුලය. මේ තත්වයෙන් අත්මීදීමට නම් රටේ විවිධ ජනසමාජයන් අතර ශ්‍රී ලංකා රාජ්‍ය කෙරෙහි විශ්වාසය තවුරුකළ යුතුය. පාස්කු ප්‍රහාරය ගැන නිසි පරීක්ෂණයක්කර, වරදකරුවන්ට සහ තොරතුරු දැනදැනත් ඒ සම්බන්දයෙන් කිසිවක් නොකල නිලධාරීන්ට සහ බලධාරීන්ට තරාතිරම නොබලා දඩුවම් කළයුතුවන්නේ එහිනි. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් මෙන්ම, පසුගිය කාලය පුරාම ශ්රා‍රී ලංකා රාජ්‍යයේ වගකීම් විරහිත ක්‍රියාදාමය නිසා විපතටපත් ජනයාට යුක්තිය සහ සාධාරණ ඉටුකිරීමකින් තොරව ශ්‍රී ලංකා රාජ්‍යයට නැවත ගොඩඒමක් නැත.

එසේ නොවුනහොත් සිදුවන්නේ 1983 කළු ජූලියත් සමග ඇතිකළ අර්බුධයෙන් එකී පාලනතන්ත්‍රයම අර්බුධයට ගොස් විනාශවුවාසේ අර්බුධයක් ඇතිකර බලයට පත්වන්නා අර්බුධයකින්ම විනාශවී යාමය.

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/07/2020

No comments:

Post a Comment