This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 10 July 2020

1971 අප්‍රියෙල් කැරැල්ල සහ මීගමුව

'සිරිමාවෝ '71 කැරැල්ල මර්දනය කළ හැටි' යනුවෙන් දැක්වෙන වීඩියෝවක් පසුගිය සමයේ facebook පිටුවල සංසරණය විය. ප්‍රංශ පුවත් සේවය  (The Associated Pres) නිෂ්පාදන කළ එම වීඩියෝපටිය නම් කර ඇත්තේ 'CEYLON: BANDARANAIKE v THE REBELS' ලෙසය. 1971 අප්‍රියෙල්  කැරැල්ල ගැන මෙන්ම එකවට පැවති සිරිමා බණ්ඩාරනායක   රජය යටතේ ශ්‍රී ලංකාව මුහුණපා සිටි ආර්ථික අර්බුධයත් රටේ පැවති තත්වයත් එම වීඩියෝවේ නිරූපණයවේ.

විනාඩි 15කුත් තත්පර 50ක් පුරා දිගහැරෙන මෙම වීඩියෝ පටියේ 10 විනාඩියේ 40වෙනි තත්පරයේ සිට 11 වන විනාඩියේ 14වෙනි තත්පරය දක්වාවූ කොටසේ පෙන්වනුයේ මීගමුව කොටුව බන්ධනාගාරයේ සිට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය දක්වා රැගෙන යන 1971 කැරැල්ල නිසා අත්අඩංගුවට පත් රැදිවියන් පිරිසක් ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලි යන ආකාරය ය. පසුබිමේ මීගමුව කොටුවත්, කන්ද උඩ පිහිටි මහාධිකරණ ගොඩනැගිල්ලත් හොදින් පෙනෙන්නට තිබේ. ඉහතින් දැක්වෙන්නේ එහි ජයාරූප කිහිපයකි.

මම 1971 අප්‍රියෙල්  කැරැල්ල ගැන විවිධ ලේඛණ  කියවා ඇති මුත් 71 කැරැල්ල සහ මීගමුව අතර තිබු සම්බන්දතා, එය මීගමුවට බලපෑ ආකාරය සම්බන්ධයෙන්  විශේෂයෙන් වාර්තා වී නොමැත. පහත  වීඩියෝවේ දැක්වෙන ආකාරයකට එම පෙළපාලියේ යන කැරළිකරුවන්  ගණන 63 දෙනෙකි. ඒ අනුව පෙනීයනුවේ 1971 කැරැල්ල නිසා අත්අඩංගුවට පත් රැදිවියන් පිරිසක් මීගමුව බන්ධනාගාරයේද  රදවා සිටි බවය. එහෙත්, ඒ කවුද? ඒ අයට සිදුවුයේ කුමක්ද? ඔවුන් මීගමුව අවට පෙදෙස්වලින් අත්අඩංගුවට පත්වුවන්ද? මීගමුව දළුපොත තරුණ වරදකරුවන්ගේ පුනරුත්ථාපන කදවුර ඉදිකරන්නේ ඔවුන් සදහාද? ආදීය ගැන තොරතුරු හමුවී නැත.

මම දන්නා ආකාරයට 1971 කැරැල්ල සමයේදී මීගමුව අවට දිවුලපිටිය, කටාන, මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල කැරැල්ල හා සබැදි යම් යම් දේ සිදුවී තිබුනත් මීගමුව නාගරික සීමාව තුල කිසිදු සිද්ධියක් වාර්තාවී නැත. 1971 කැරල්ල මතුවූ දිනය අප්‍රියෙල් 05 වෙනිදා වූ අතර එය කිතුනුවන්ගේ චතාරික සමය විය. එකල විටින් විට පුරාම  ප්‍රකාශ කළ හදිස්සි තත්වයත්, අඳුරු නීතිය පැනවීම් ඔස්සේ රටේ සාමාන්‍ය ජන ජීවිතය බිද වැටුනු අතර එසමයෙහි කිතුනුවන් ගේ චතාරික ආගමික වතාවත්වලට බාධා වෙන්නට ඇත.

1971 අප්‍රියෙල් කැරැල්ල හා බැදුණු කිසිදු ක්‍රියාවක් මීගමුව නාගරික බල ප්‍රදේශය තුල වාර්තා වී නැති නමුත්   මීගමුව නගර සීමාව තුල තරුණයින්ව අත්අඩංගුවට ගැනීම් නම් වාර්තා වී තිබේ. 

මීගමුව පෙරියමුල්ලේ එවකට පිහිටි ලංකා පිගන් සංස්ථාවට පැමිණි පොලිස් නිලධාරීන් ලැයිස්තුවක් පෙන්වා තරුණයින්ව අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගත් පිරිස් අතර කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණට හෝ කැරැල්ලට සම්බන්ද නොවූ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිතිය වූ ජාතික සේවක සංගමයේ කටයුතු කල පෙරියමුල්ලේ පදිංචිව සිටි කුවින්ටස් කොළඹගේ, ලෙස්ලි ප්‍රනාන්දු, බෙන්ජමින් ජයකොඩි යන අය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පන්තියකට සහභාගිවුවෙකු වූ මීගමුව තෙල්වත්ත හන්දියේ පදිංචිව සිටි කැලිස්ටස් ප්‍රනාන්දු  මහතා ද විය. කුවින්ටස්, ලෙස්ලි, බෙන්ජමින් 
යන අයව මීගමුව බන්ධනාගාරයේ දින කිහිපයක් රදවා සිට පසුව නිදහස් කර  ඇති නමුත් කැලිස්ටස් මහතාව මහර පුනරුත්ථාපන කදවුරකට යොමුකර ඇත. මීගමුව පෙරියමුල්ලේ පිහිටි ලංකා පිගන් සංස්ථාවේ පුද්ගලයින්ව මෙලෙස අත් අඩංගුවට ගැනීමට ලැයිස්තු සැකසුවේ මීගමුව සා. පීතර පල්ලිය අසල පිහිටි බාබිටන් (Babiton) නම් ගොඩනැගිල්ලට රැස්වූ මීගමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලය බවත් එහිලා පෙරමුණ ගෙන ක්‍රියාකළේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීගමුව බලමණ්ඩලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව  ද එකල නියෝජනය කළ ප්‍රේමානන් ද සොයිසා බවත්  පෙරියමුල්ල පිගන් සංස්ථාවේ එවකට සේවය කළ පුද්ගලයින් කිහිප දෙනෙකුම මා සමග බෙදාගත් අදහසකි.

පෙරියමුල්ල පිගන් සංස්ථාවේ සේවය කළ මීගමුව තෙල්වත්ත හන්දියේ පදිංචිව සිටි කැලිස්ටස්ට අමතරව මීගමුව පිටිපන පදිංචිව සිටි රේමන් සහ රංජි යන දෙදෙනෙක් ද, මීගමු දූවේ අඩුම වශයෙන් එක් අයෙකුද, මීගමුව  කටුවපිටියේ විමල් යන අයෙකු ද ජනතා විමුක්ති පෙරමුණේ පංති වලට සහභාගිවී හෝ පංති පැවැත්වීම මත අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.   

ඒ අනුව පෙනී යන්නේ මීගමුව අවටත් ජනතා විමුක්ති පෙරමුණ සිය දේශපාලන පන්ති පවත්වා තිබෙන බවය. මීගමුව අවට ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ එවකට සංවිධායකයාව සිටියේ දිවුලපිටියේ 'ගාන්ධි' නම් අයෙකු බවත් ඔහුව කැරැල්ල සමයේම ඝාතනය කල බවත් කියවෙන පුවතක් 2019/01/06 දින ලංකාදීප පුවත්පතේ පලව තිබුනි. 'කැරලි ගැසූ කාන්තාවෝ' නමින් යුතු  එම ලිපියට අනුව  දිවුලපිටිය පොල් වත්තක පිහිටි ජ.වි.පෙ. කදවුරේ සිටි එකම කැරළිකාරිය වුයේ ලීලාවතී නම් තැනැත්තියකි. ඇය එම කවුරේ නායක 'ගාන්ධි' සමග වෙස්වලාගෙන පලායෑමේදී අත්අඩංගුවට පත්ව මීගමුවේ පුනරුත්ථාපන කදවුරකට යොමුකරන ලද බව එම පුවතේ දැක්වේ. මේ අනුව පෙනී යන්නේ 1971 අප්‍රියෙල් කැරළිකරුවන්  පුනරුත්ථාපනය කළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මීගමුවේ තිබූ බවය. එය බොහෝ දුරට දළුපත පල්ලන්චෙනේ  අදටත් පිහිටි ඇති 'තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය' විය හැකි යැයි පෙනී ගියද, එහෙත් දළුපොත පල්ලන්චෙනේ  පිහිටි 'තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය එම ස්ථානයේ පිහිටුවා ඇත්තේ 1976 වසරේදීය. එනම් 1971 අප්‍රියෙල් කැරැල්ලේන් වසර 5කට පසුවය. 
ඒ අනුව 1971 දී අත් අඩංගුවට පත් කැරළිකරුවන් රදවා සිටියේ මීගමුව  බන්ධනාගාරයේද?  පහත   වීඩියෝ පටියේ 10 විනාඩියේ 40වෙනි තත්පරයේ සිට 11 වන විනාඩියේ 14වෙනි තත්පරය දක්වා පෙන්වන මීගමුව බන්ධනාගාරයේ  සිට මහේස්ත්‍රාත් උසාවිය  දක්වා  රැගෙන යන අතර ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් පෙළපාලියේ යන පිරිස් ඔවුන් ද? ඔවුන් අතර කාන්තාවන්ද සිටින බව පෙනීයයි.  

එමෙන්ම දොස්තර රුවන් ජයතුංගගේ  Transylvania බ්ලෝග් අඩවියේ 2015/04/17 පළවූ ''71 කැරැල්ල සහ සෝමවංශ අමරසිංහ භූමිකාව'' නම් ලිපියට අනුව  කළු රන්ජි සහ සෝමවංශ අමරසිංහ මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි බව සදහන් කරයි. ''පශ්චාත් කැරැල්ල සමයේ සෝමවංශ අමරසිංහ ව්‍යපාරය කෙරෙහි කළකිරී ජවිපෙ විරෝධි ස්ථාවරය සිටි බව එම බ්ලෝග් සටහනේ දැක්වෙන සාකච්ඡාවකදී රංජිත් දිසානායක හෙවත් කළු රංජිත් සදහන් කරයි. මීගමුව බන්ධනාගාරයේ දී ජවිපෙන් ඉවත් විය යුතු බව සෝමවංශ අමරසිංහ තමාට කියූ බව රංජිත් දිසානායක ඔහුගේ 2009 සම්මුඛ සාක්ච්ඡාවේදී පවසන ලදි.'' යැයි  දැක්වේ.

තවද  එම ලිපියට අනුව 1971 කැරැල්ල  සමයේ ජ.වි.පෙ. විදේශ කටයුතු අංශය  බාරව  සිටි විරාජ්  ප්‍රනාන්දු ද ඔවුන් සමග  බන්ධනාගාරයේ  සිට ඇති බවක් ද කියවේ: ''විරාජ් ප්‍රනාන්දු බන්ධනාගාරයේ දී රෝහණ විජේවීර​ විවේචනය කිරීම නිසා විජේවීර​ හිතවාදීන් ඔහුට පහර දීමට තැත් කළ අවස්ථාවේ දී ඔහුව ආරක්ෂා කිරීමට ඉදිරියට ආවේ සෝමවංශ අමරසිංහ බව විරාජ් ප්‍රනාන්දු මා සමග පැවසී.'' 
දැක්වේ. එහෙත් ඒ මීගමුව බන්ධනාගාරයේ ද  නැතිනම් ඔවුන් රදවා තිබූ වෙනත් බන්ධනාගාරයක දැයි යන්න පැහැදිලි නැත. 

තවද  1971 තරැණ නැගිටිමට සම්බන්දව පුරෝගාමී වු මීගමුව - කටාන අවට ප්‍රදේශවල ක්‍රියාකාරීවූ  පිලීෂියන් හෙවත්  කිංග්ස්ලි  නම් තැනැත්තෙක් ගැනද දැන ගැනීමට ලැබුණි ඔහු පසුව ජ. වි. පෙ. ට  විරුද්ධව නඩු විභාගයන් හිදී සක්ෂි ලබා  දුන් බවත් ජ. වි. පෙ. පාක්ෂිකයෝ  ප්‍රකාශ කරණු මා අසා ඇත. මීට අමතරව  පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙක් ගැනද කියවේ.  එම විශ්ව විද්‍යාල සිසුවා  කටුවපිටියේ විමල් විය යුතුය.

1971 අප්‍රියෙල් කැරැල්ල ගැන අදහස් දැක්වූ 88/89 ජ. වි. පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරියෙක් වූ, එවක කටානේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකයෙක්ව සිට අත් අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි, පසුව මැගසින් බන්ධනාගාරය කඩාගෙන පැමිණි පිරිස අතර සිටි, කටාන, වැලිහේන ඇත්ගාලේ, පදිංචිව සිටි කුයින්ටයින් ප්‍රනාන්දු මහතාගෙන් මා කල විමසීමකදී දක්වා ලූයේ  මීගමුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වයන් අරඹා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ කටුවාපිටියේ විමල්  සහෝදරයා විසින් බවයි. එකී විමල් සහෝදරයා දූවේ පාස්කු  නාට්‍යය අධ්‍යක්ෂක ක්ලෙමන්ට් ප්‍රනාන්දු මහතා සමග පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගනුම ලැබූ සමකාලීනයෙකු බව වෙනත් තොරතුරු ඔස්සේ මා අසා ඇත. විමල්ගේ දායකත්වය නිසාම 1971 වන විට ජනතා විමුක්ති පෙරමුණේ කුඩා කුඩා කමිටු කටාන, වැලිහේන, ඇත්ගාල, කටාන විද්‍යාලෝක විද්‍යාලය, මිගමුව සා.පීතර විද්‍යාලයේ, සා. මරියා විද්‍යාලය, පෙරියමුල්ල පිගන් සංස්ථාව, සහ මීගමුව පිටිපන ආශ්‍රිතව බිහිවි තිබේ. 1971 කැරැල්ල සමයේදී මීගමුව  කොච්චිකඩේ පොලීසියට පහරදීමට උත්සාහ කිරීමක් හෝ සැලසුම්  කිරීමක් සම්බන්දයෙන්ද සාකච්ඡා වී තිබුන බව කුවින්ටින් ප්‍රනාන්දු මහතා අසා ඇත. එහෙත් මීගමුව කොච්චිකඩේ පොලිස් ස්ථානයට පහරදීමක් වාර්තා නොවේ. කුයින්ටයින් ප්‍රනාන්දු මහතාගේ අදහස දැක්වීමට අනුව නිශ්චිතවම දංකොටුව මල්ලව පොලීසියට පහරදීමට මීගමුව, කටාන ආශ්‍රිතව  එවකට සිටි ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් සම්බන්ධව සිට ඇත.  එකී පහරදීම සදහා මල්ලව පොලීසිය අවට විදුලි පහන් කණුවල ලයිට් කඩා දැමීම සදහා කැටපොලු ප්‍රහාරයන් දියත්කර ඇත්තේ එවකට ජනතා විමුක්ති පෙරමුණට රහසිගතව සම්බන්දවී සිටි මීගමුවේ පාසැල් සිසුන් දෙදෙනෙකු බවත් කුයින්ටයින් ප්‍රනාන්දු මහතා දැක්වීය. ඒ ඇතැම්විට කුයින්ටයින් ප්‍රනාන්දු මහතා හෝ ඔහු ඉතා හොදින් දන්නා අය විය යුතු යැයි ඔහුගේ අදහස් දැක්වීමට සාවධානව සවන්දී සිටි මගේ අදහසයි.


1971 අප්‍රියෙල් කැරැල්ලට මීගමුව අවට ප්‍රදේශවලින් සම්බන්ධ වූ ඇතැම් රැඩිකල් තරුණ/තරුණියන් පසුකලකදී ඔස්කා අබේරත්න පියතුමාගේ කිතුදන පුබුදුවට සම්බන්ධව අධ්‍යාත්මික ජීවිතයක් සොයාගිය බව  ද කියවේ.. ඒමෙන්ම ආරක්ෂාව සදහා එවකට කාදිනල්ව සිටි ගරු තෝමස් කුරේ අගරදගුරුතුමා මීගමුවේ සිටි කතෝලික පියතුමන්ලා කිහිප දෙනෙකුව වහාම කොළඹ  අගරදගුරු මැදුරට කැදවූ බවත් අසා තිබේ. 

එසේ කොළඹ අගරදගුරු මැදුරට (Bishop Place) කැදවූ පියතුමන්ලා අතර   මහවීදියේ සා. මරියා දේවස්ථානයේ එවකට සිටි තරුණ පියතුමෙකු වූ ලීනස් ජයතිලක පියතුමා ද විය. එතුමා එවකට තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍යය ව්‍යාපාරය (YCS) බාරව සිටි පියතුමා බවත්, 1971 කැරැල්ල සමයේ ඇතිවූ තරුණ පිබිදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වු ඇල්මැරැනු උනන්දුව ගැන පල්ලිය දැඩිව විවේචනය කල පියතුමෙකු බවත්, පසුව කතෝලික සභාවේ පුජකවරයෙන් ඉවත්වී පුර්ණ කාලිනව වාමාංශික දේශපාලනයට කැපවු බවත් මම එතුමාගෙන්ම අසා  දැන ගන්නා ලදි. 

ලීනස් ජයතිලක පියතුමා  මීගමුවේ සා. මරියා දේවස්ථානයේ සහයක පියතුමා ලෙස පත්වීමට පෙර කදවල මීසමේ පියතුමා ලෙස එම ප්‍රදේශයට විශාල සේවයක් කල බවත්, 1980 වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවූ දහසකුත් දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිස්තියානි ස්වෙච්ඡා සංවිධානයක් වන Christian Aid සංවිධානයෙන් අරමුදල් සපයාගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැන්වූ තැනැත්තෙක් බවත් පසුව දැනගත්තෙමි.

කතෝලික පල්ලියේ පූජකවරයෙන් ඉවත්වු ඔහු සිය ජීවිත කාලය පුරාම ජනතාවගේ පියතුමා විය. කතෝලික පුජකවරයෙන් ඉවත්වී දශක ගණනාවකට අනතුරුව පවා ඔහුගේ ගමවු උස්වැටකෙයියාවේ පමණක් නොව, මීගමුවේ ජනයාද,  ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' ලෙසය. වෙනකක් තබා බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ පියාවූ නැසීගිය ප්‍රවීන නළු හියුගෝ මාස්‍ටර් ද ලීනස් ජයතිලකව හැදින්වුයේ 'ලීනස් ස්වාමි' යනුවෙනි. ලීනස් පියතුමා සම්බන්ධයෙන් මම ලියූ 'ලෝගුව අත්හල ලීනස් ස්වාමි' ලිපිය එම යොමුවෙන් කියවිය හැක.

1971 අප්‍රියෙල් කැරැල්ල හා මීගමුව අතර ඇති  සම්බන්ධතා සම්බන්ධයෙන් මා දැනට රැස්කරගෙන  මම ඉහතින් සදහන් කළෙමි.

ඒ සම්බන්ධයෙන් ඔබත් දන්නා යමක් වේ නම් සදහන් කරන්න... 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
09/07/2020

2 comments: