This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 14 July 2020

යාපනේ නවාලි පල්ලියට බෝම්බ දමා වසර 25යි, රදගුරු සෞන්ද්‍රනායගම්ට කලදේ කාදිනල්ටත් වෙන්නට ඉඩනොතබමු!!!

කොළඹ පදවිය සදහා නව සහයක රදගුරුවරයෙකු ලෙස පාප්තුමන් විසින් ගරු ඇන්ටන් රංජිත් පිල්ලෙයිනායගම් පියතුමන්ව පත්කර ඇති බව ඊයේ (13/07/20) වතිකානු පුවත්සේවය ඇතුළු බොහෝ පුවත්සේවා වාර්තාකර තිබුණි. බම්බලපිටිය සා.පීතර සහ සා.ජෝසප් විදුහල්වල සහයක අධ්‍යක්ෂක පියතුමන් ලෙස කටයුතුකර තිබු මෙතුමා යාපනයේ උපත ලැබුවෙක් ලෙසද එම වාර්තාවල සදහන්විය. 


මීට පෙර සිදුකල වෙනත් සහයක රදගුරුවරුන් පත්කිරීමට වඩා ගරු ඇන්ටන් රංජිත් පියතුමාගේ පත්වීම ගැන වැඩි උනන්දුවක් යොමුවී තිබු බවක් පෙනෙන්නට විය. එහිලා බොහෝදුරට හේතුවන්නට ඇත්තේ මොරටුව සා.සෙබස්තියන් විදුහලේ සිට කොළඹ 10 සා.ජෝසප් විදුහල දක්වා එතුමා අධ්‍යක්ෂක පියතුමෙකු සහ සහයක අධ්‍යක්ෂක පියතුමෙකු ලෙස දිනාගෙන තිබු කීර්තියවීමට පුළුවන. මට නම් හිතෙන්නේ ගරු ඇන්ටන් රංජිත් සහයක රදගුරුතුමන් ගැන උනන්දුව ඉදිරියේදී තව තවත් ඉහල යාහැකි බවයි. මා එසේ සිතනුයේ සභා සම්මතයන්ට අනුව ගරු මැල්කම් රංජිත් අගරදගුරුවරයා ක්‍රමයෙන් විශ්‍රාමයාමේ වයසට ලගාවෙමින් තිබීමත් ඒ අනුව ඉදිරියේදී කොළඹ පදවිය සදහා නව අගරදගුරුවරයෙකු තෝරාගැනීමට ඉඩ විවරවීමත්, එවැනි අවස්ථාවක කතෝලික පාසැල් කිහිපයකම අධ්‍යක්ෂක ධුරයන් දැරූ ඇන්ටන් රංජිත් සහයක රදගුරුතුමන් ගැන අවධානය යොමුවිය හැකියැයි යන උපකල්පනයත් තුලය. එහෙත් එය හුදෙක් උපකල්පනයක් පමණි. ඊලග අගරදගුරුවරයා කවුරුන්දැයි ඔහු පත්වනතුරුම කිසිවෙක් නොදනී. 

කෙසේවෙතත්, යුද්ධ සමයේදී යාපනයේ නවාලි හි පිහිටි සා.පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දමා වසර 25 යෙදෙන දිනවලම කොළඹ පදවිය සදහා යාපනයේ උපත ලැබූවෙකු සහයක රදගුරුවරයෙකු ලෙස පත්වීම සුවිශේෂි අවස්ථාවකි. යාපනේ නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ දැම්මේ 1995 ජුලි 09 වෙනිදාය. ඇතැම් වාර්තාවලට අනුව ජුලි 10 වෙනිදාද පල්ලිය අවට ප්‍රදේශවලට බෝම්බ දමා ඇත (අසල පිහිටි කෝවිලට බෝම්බ වැටුනේ ජුලි 10 යැයි කියවේ). ඒවූකලී යාපනය අත්කරගැනීමට රජය යුද්ධ මෙහෙයුම් දියත්කර තිබු වකවානුවය. එම මෙහෙයුම් නිසා අවතැන්වූ බොහෝ දෙනෙක් නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියේ රැදී සිටියහ. සිය මෙහෙයුම් සදහා ඉදිරියට ඇදෙන පාබල හමුදාවන්ට සහයපතා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර දියත්කර තිබු අතර නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියට බෝම්බ දමන්නේ එවැනි පසුබිමකය. පල්ලිය ගැන හෝ කෝවිල ගැන හෝ අවතැන්වුන් රැදීසිටින ස්ථාන ආදිය ගැන හෝ නිසි අවධානයක් යොමුනොකර එල්ලකල ගුවන් ප්‍රහාර නිසා නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියේ සිටි 125 දෙනෙක් මිය ගියේය. 

එවකට යාපනයේ රදගුරුවරයාවූ ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා මේ සම්බන්දයෙන් වහා මැදිහත්ව කටයුතු කරන ලදී. ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ මෙන්ම රජයේද සහයෝගය ඇතිව විපතට පත්වුවනට සහන සැලසීමට කටයුතු කළේය. ඒ වනවිටද සිදුවී තිබු විනාශය හද කම්පා කරවන සුළුය. බෝම්බවැදී මියගිය පිරිසගේ සිරුරු කෑලි කෑලිවලට කැඩී බිදී සුනුවිසුණුවී ගොස් තිබුණි. පල්ලියේ බිත්ති හතර පමණක් ඉතිරිවන්නට සියල්ල විනාශවී ගොස් තිබුණි. වගවිභාගයකින් තොරව සිදුකල මේ බෝම්බ දැමීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලා එවකට යාපනයේ රදගුරුවරයාවූ ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයාද, ශ්‍රී ලංකා රදගුරු සම්මේලනයද, කතෝලික සභාවද, මානව හිමිකම් සංවිධානද, ද්‍රවිඩ දේශපාලන පක්ෂද හඩ නගන්නට විය. 

විවිධ බලවේග ඔස්සේ නැගී එන දැඩි බලපෑම නිසාම ඒ ගැන සොයාබැලීමට එවකට බලයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරිය කොමිසමක් පත්කළේය. පැහැදිලිවම අනෙක් කොමිසන් මෙන්ම එම කොමිසමෙන්ද පලක් නොවිණි. කොමිසමේ අවසන් නිගමන ගැන එම ප්‍රදේශයේ ජනයාගේ අදහසවුයේ ''අපි අපටම බෝම්බ ගහගත්තා'' වැනි අදහසක් කොමිසමේ වාර්තාවෙන් කියවෙන බවය. එම බෝම්බ ප්‍රහාරය සම්බන්දයෙන් මෙන්ම, කොමිසමේ නිගමන ගැනද, රජයේ හමුදාව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා සිදුවූ ජීවිත විනාශයන් ගැනද එල්ලවූ විරෝධය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් 1995 දෙසැම්බරයේදී යාපනේ අල්ලාගැනීමත් සමග ඇතිවූ විජයග්‍රාහී මානසිකත්වයත් සමග යටපත්කර දමන ලදී.

එහෙත්, ඒ කිසිදු තත්වයකට නොසැලුණු, යටපත් නොවූ, එවකට යාපනයේ රදගුරුවරයාවූ ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා දිගින් දිගටම යාපනයේ නවාලි හි පිහිටි සා.පේදුරු-පාවුළු පල්ලියට බෝම්බ හෙලීම ගැන පක්ෂපාති පරීක්ෂනයක් ඉල්ලා සිටියහ. ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් ජනයා වෙනුවෙන් යුක්තිය සහ සාධරණය ඉල්ලා සිටියහ. එතුමන්ගේ හඩට කන්දී සාධාරණ පරීක්ෂණයක් කර විපතට පත් ජනයාට යුක්තිය ඉටුකරදීම වෙනුවට ක්‍රමයෙන් සිදුවුයේ ඒ වෙනුවෙන් හඩ නැගු ගරු තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා කොටියෙක් ලෙස හංවඩු ගැසීමය. ඒ වෙනුවන් හඩ නැගු ශ්‍රී ලංකා කතෝලික සභාව කොටින්ට පක්ෂපාතයැයි මතයක් හැදීමය. යාපනයේ නවාලි සා.පේදුරු-පාවුළු පල්ලියට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෝම්බ හෙලීම ගැන පරීක්ෂණයක් ඉල්ලා සිටීම ක්‍රමයෙන් යටපත්කලේ කොටි ලේබලය අලවා යාපනයේ තෝමස් සෞන්ද්‍රනායගම් රදගුරුවරයා කොන් කිරීමෙනි, කොටි ලේබලය පෙන්වා ලංකා කතෝලික සභාව නිහඩ කිරීමෙනි.

දැන් නැවතත් අලුත් වටයකින් එවැනිම ඉරණමකට ශ්‍රී ලංකා කතෝලික සභාව මෙන්ම කාදිනල් මැල්කම් රංජිත් රදගුරුවරයාද ගොදුරුවීමට හෝ ගොදූරු කිරීමට ආසන්න ද යනුවෙන් ප්‍රශ්න කල හැකි වාතාවරණයක් මේ වනවිට ක්‍රමයෙන් ගොඩනැගී තිබේ. 

ශ්‍රී ලාංකික කිතුනු ප්‍රජාව ක්‍රි.ව. 1544 දී යාපනේ පළමුවන සංකිල්ලි රජ විසින් මන්නාරමේදී කතෝලිකයින් 600කට වැඩි පිරිසක් ඝාතනය කිරීමෙන් අනතුරුව, 1995 ජුනි 09 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව යාපනයේ නාවලිහි පිහිටි සා.පේදුරු-පාවුළු පල්ලියට බෝම්බ හෙලා 125 දෙනෙකුට වැඩි පිරිසක් මරාදැමීමෙන් අනතුරුව, ඉතිහාසයේ ලක් පොලොව තුල ඔවුන් මුහුණපෑ විශාලතම සමුහ සංහාරයට පසුගිය වසරේ (2019) පාස්කු ඉරිදා (21/04/2019) ලක්විය. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුවරයා මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව නගන හඩද තවමත් නිහඩවී නොමැත. දැන් ක්‍රියාත්මක වෙන විමර්ශනයන් මෙන්ම මේ දිනවල දිගින් දිගටම රැස්වෙන ජනාධිපති කොමිසමද සක්‍රියව පවතින්නේ එහි ප්‍රතිපලයක් ලෙසය. 

එහෙත් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනයා වෙනුවෙන් යුක්තිය ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුවරයා නගන හඩ මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාව නගන හඩද ක්‍රමයෙන් යටපත්කර දැමීමට හෝ නිහඩකර දැමීමට හෝ අඩපන කරදැමීමට හෝ නැතහොත් යටින් හරා බිද දැමීමට ඉතා සූක්ෂ්ම වැඩපිළිවෙලක් දියත්වී ඇති බව පෙනීයැයි.

මට පෙනීයන ලෙස මෙම සැලැස්මේ මුල්ම පියවරවුයේ කාදිනල්වරයා රාජපක්ෂවාදියෙකු යැයි ලේබල් කිරීමය. ඒ අනුව කාදිනල් මැල්කම් රංජිත් රාජපක්ෂ පවුල සමග ඉතා සමීපම සම්බන්දයක් ඇති, රාජපක්ෂ පවුලේ ඉතා කිට්ටුවන්ත හිතවතෙකු බව තහවුරු කිරීම එසේ ලේබල් කිරීම ඔස්සේ  සිදුවිය. සැලැස්මේ එම ජවනිකාව දැන් බොහෝදුරට සාර්ථකව තිරගතකර අවසන්ය. එනම් කාදිනල් රාජපක්ෂවාදියෙකු යැයි මතයක් ගොඩනගා අවසන්ය. 

එම සැලැස්මේ කූටප්‍රාප්තිය දිග හැරෙන්නේ ඊලග අදියරේය. එය දිග හැරී ඇත්තේ ''පාස්කු ප්‍රහාරයදා කාදිනල් සිටියේ කොහෙද?'', ''හැම පාස්කු ඉරිදාම පල්ලියන ශිරාන්ති (රාජපක්ෂ) එදා පල්ලි ගියේ නැහැ නේද?'', ''ප්‍රහාරය ගැන ඔවුන් දැනන් හිටියා...'', ''ශිරන්ති දන්නවා නම් කාදිනල් දන්නවා...'' ආදී කටකතා සමුදායක් මුදාහැරීම ඔස්සේය. මෙකී කසුකුසුව අතරම ''කාදිනල් දැනන් හිටියා''...''කාදිනලුත් වගකියන්න ඕනේ''...''කදිනල්ගේ අතෙත් ලේ''...ආදී පව්කාර කථාවල් රාශියක්ද පතුරුවා හරිමින් තිබේ. 

කරුණාකර මේ අපරාදයට දායක නොවන්න... මෙකී ප්‍රචාරයන්ගේ යටින් දිවයන අරමුණ තේරුම් ගන්න...

අප පැහැදිලිවම දන්නා පරිදි ලංකාවේ සිදුවූ අනෙක් සියළු අපරාද මෙන් නොව පාස්කු ප්‍රහාරය සති දෙකෙන් අමතකව ගියේ නැත. පාස්කු ප්‍රහාරයෙන් විපතට ජනයාට යුක්තිය සහ සාධාරණය ඉල්ලා නගන හඩ අද ද නිහඩවී නැත.

එහෙත් පාස්කු ප්‍රහාරය ගැන නැවත නැවත මතුවීම එක් පාර්ශවයකට දේශපාලන වශයෙන් අවාසිදායක වෙන අතරම තවත් පාර්ශවයකට දේශපාලන වශයෙන් වාසිදායක නමුත් අභියෝගාත්මක්දවේ. එහින් පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යුක්තිය ඉල්ලා හඩනැගීම නිහඩ කරදැමීම එම පාර්ශව දෙකටම යහපත්ය. කාදිනල් රාජපක්ෂ පවුලේ හිතවතෙක්ද? සමීපතමයෙක්ද? කාදිනල් රාජපක්ෂවාදියෙකු යන්න කතෝලිකයින්ට වැදගත් නැත. කාදිනල් එසේවීම හෝ නොවීම මත කතෝලිකයින් රාජපක්ෂලාට චන්දේදීමට හෝ නොදීමට කටයුතු නොකරයි. කොටින්ම ශ්‍රී ලංකා කතෝලික පල්ලිය ලාංකික කතෝලිකයාගේ දේශපාලන මතය සම්බන්දයෙන් කිසිදු තීරණාත්මක බලපෑමක් සිදුකරන්නේ නැති තරම්ය. නැතහොත් ඔවුන්ගේ බලපෑම සීමා සහිතය...නිෂ්ක්‍රිය ය. 

එහෙත් ශ්‍රී ලංකාව වැනි  අපරාදයන් යටගැසීමට අනේකවාර සමත්වූ රාජ්‍යයක, අපරාදකාරයින් රජයන රාජ්‍යයක, සිය පැවැත්ම ඇත්තේ බලය අත්කරගැනීම තුල හෝ බලය සදහා කේවල් කිරීම තුල බව දන්නා අපරාදකාරයින්, අපරාදයන්ට එරෙහිව නගන කුමන හඩක් හෝ නිහඩ කිරීමට, දුර්වල කිරීමට සියල්ල කරති. 

අනෙක් අපරාද මෙන් පාස්කු ප්‍රහාරයටද එම ඉරණම අත්වීමට ඉඩ නොතිබිය යුතුබව කාදිනල් මැල්කම් රංජිත් මෙන්ම ශ්‍රී ලංකා කතෝලික සභාවද දැන් නිතර නිතර පසක්කර සිටීම ශ්‍රී ලංකාව වැනි අපරාද මුල්බැස ගත්, අපරාදකාරයින් රජකරන රාජ්‍යයකට කිසිසේත්ම හිතකර නොවන බව ඔවුන් සියල්ලෝම දනී. එහින් ඒ හඩ යටපත් කිරීමට ඔවුන් සියළු උපාය-උප්පරවැට්ටි යොදමින් සිටී.  කාදිනල්ව ලේබල් කර, ඔහුත් මේ අපරාද දැන සිටීයායැයි යනුවෙන් මතයක් ඇතිකිරීම තුල කාදිනල්ව නිහඩ කිරීමට පමණක් නොව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා නගන හඩද යටපත් කිරීමටද, එය යටින් හාරා බිදීමටද කටයුතු කරමින් සිටී. 

අපි මේ උගුලට හසු නොවී සිටිමු !!!  නියම අපරදකරුවන් නීතිය ඉදිරියට පත් කරන තුරුම අපි අඛණ්ඩව හඩ නගමු!! ඒ වෙනුවන් නිර්හීතව පෙනී සිටිමු!! අපට ඇති එකම හයියක් හෝ ලේබල් ගසා හෝ විවිධ උපාය-උප්පරවැටි යොදා, යටින් හරා බිදදැමීමට, විශ්වාසය පළුදු  කිරීමට ඉඩ නොදෙමු!!!

අප සිතන්නේ, ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න ගැන විචක්ෂණශීලී නොවනතාක් අප සිතන්නේ අපේ සිතිවිලිවලින් නොව අන් අයගේ සිතුවිලිවලින් බව අප තේරුම්ගත යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකාව වැනි දුෂිතයන්, වර්ගවාදීන්, අපරාදකරුවන් 'මතවාදී ආධිපත්‍යය'  හසුරුවන රටක අපේ සිතුවිලිවල අරක්ගෙන සිටින්නේ අපරාදකරුවන්, දුෂිතයින් සහ වර්ගවාදීන් වැනි යක්ෂයින්වීමට ඇති ඉඩකඩ වැඩි බව අප  තේරුම් ගතයුතුය.    

එහින් යාපනේ රදගුරු තෝමස්  සෞන්ද්‍රනායගම්ට කොටි ලේබලය අලවා යාපනේ නවාලි පල්ලියට බෝම්බ ගැසීමට එරෙහිව, එයින්  විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණ ඉල්ලා ඔහු නැගු හඩ යටපත් කලාසේ, පාස්කු ප්‍රහාරයට එරෙහිව, එයින් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය ඉල්ලා කාදිනල් රංජිත් මැල්කම් නගන හඩ නිහඩ කිරීමට 'රාජපක්ෂ ලේබලයට' ඉඩ නොදෙමු!!! රටේ අනෙක් අපරාද යටගැසූ සේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින අපරාදකාරයින්ට අපරාද යටගසා ගැලවීයාමට ඉඩ නොදෙමු!!! විපතටපත් ජනතාවට යුක්තිය  සහ සාධාරණත් ඉටුකිරීමට පෙලගැසෙමු!!!  

මාකස් ප්‍රියන්ත පෙරේරා
14/07/2020

2 comments:

  1. All your writing end up bashing Rajapaksa for something or other, even some good articles become hateful and boring to read. No wonder no one read/comment.

    On 21 October 2019 in your post, you directly accuse Rajapakasa for Ester-Sunday attack, wonder what you have to say about that in the light of new evidence of Yahapalana National security bungles.

    ReplyDelete
  2. I'm not bashing the Rajapakshas at all, I don't even fiercely criticise them but in some articles, yes, I do criticise them. Not only them, not particularly them… the critical approach is my approach and the critical analysis is my methodology...

    I have a solid reader base and it is already reaching 300000 within a short period of time, I am happy about it. And, about the comments, I'm really not keen about that, I don't even reply to some of them because I see no point of that.

    On the 21/10/2019 article, and from earlier than that, I wrote that there are two types of groups behind Sri Lanka's Easter Sunday attack: 1. ISIS 2. Some 'Cat's Paw'(as in Kumbiyo, the Sinhala teledrama). Do you think that they will be exposed in the current investigation? I don't think so.

    ReplyDelete