This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 5 November 2019

ගෑස් හිගය සහ පොහොට්ටුවේ ජනාධිපතිවරණ උපාය මාර්ගය


ගෑස් හිගයක් හදලා ජනාධිපතිවරණයක් දිනන්න පුලුවන්ද? මම හිතන්නේ බැහැ. මොකද, ලංකාවට ගෙන්වන මුළු LPG (Liquefied petroleum gas) ගෑස් ප්‍රමාණයෙන් 88% (169,000Mts) ක් භාවිතා කරන්නේ ගෘහ ආශ්‍රිතව ඉවුම් පිහුම් කටයුතු සදහා උනත්, හෝටල් සහ කර්මාන්ත මට්ටමින් ගෑස් භාවිතා කරන්නේ 11%ක් (20,000Mts) සහ ප්‍රවාහනය සදහා භාවිතා කරන්නේ 1% (2,000) විතර ප්‍රමාණයක් උනත්; රටේ ජනතාවගෙන් තවමත් ගෘහ ආශ්‍රිතව ඉවුම් පිහුම් සදහා ගෑස් පාවිච්චි කරන්නේ ජනග්‍රහණයෙන් 30% ක් විතරයි. ඒ අයගෙනුත් අතිබහුතරයක් ඉන්නේ බස්නාහිර පලාතේ. කොටින්ම ගෑස් හිගයක් රටේ වැඩිපිරිසක් වන ග්‍රාමීය ජනයාට සිදුකරන බලපෑම ඉතාම සීමිතයි.

ලංකාවට ගෙන එන ගෑස්වලින් වැඩි හරියක් ඉවුම් පිහුම් සදහා භාවිතා උනත්, ගෑස් භාවිතා කරන අයගෙන් වැඩිදෙනෙක් ඉවුම් පිහුම් සදහා ගෑස් විතරක්ම භාවිතා කරන, වෙනත් කිසිම ද්‍රව්‍යයක් ඉන්ධන ලෙස භාවිතා නොකරන, පිරිස ඉතා ස්වල්පයයි. ලංකාවේ ගෑස් භාවිතා කරන බොහෝ දෙනෙක් ගෑස් භාවිතා කරන්නේ හදිස්සියට, ඉක්මනින් යමක් උයාගන්න විතරලු. ගෑස් එක ගෙදර තියෙන අතරේ තවමත් ඉවුම් පිහුම් සදහා වැඩියෙන්ම භාවිතා කරන්නේ දරළු. ඒ කියන්නේ ගෑස් භාවිතා කරන අයගෙත් වැඩි හරියකටත් ඉවුම් පිහුම් සදහා ඉන්ධනමය වශයෙන් ගෑස්  අත්‍යවශ්‍යම නැහැ. ඒ නිසා ගෑස් හිගයක් හදලා ලංකාවේ ජන්දවලට කරන්න පුළුවන් බලපෑම අල්පයි.

අනෙක් අතට ඉවුම් පිහුම් සදහා ගෑස් වැඩිපුරම භාවිතා කරන බස්නාහිර පළාතේ නගරබද, මධ්‍යම පාන්තික ජනයාගේ දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී එකවර, මැතිවරණයේ පස්වන සතියේ, ඇතිවෙන ගෑස් හිගයක් ඇතිකරන බලපෑම සීමා සහිතයි. මොකද ඉහල දේශපාලන සබුද්ධිකතාවයක් තියෙනවායි කියන එකී පිරිස පසුගිය කාලේ පුරාම සිදුවුණු වැඩ වර්ජන රැල්ල ගැන යම් කිසි විචක්ෂණයකින් තමයි පසුවෙන්නේ.

ඕනේ නම් ගෑස් හිගයක් තුලින් හරි, නැතිනම් එසේ මවාපෑම තුලින් හරි, කරන්න පුළුවන් එකම දේ තමයි රටේ ප්‍රශ්නයක් ඇති කිරීම හෝ ප්‍රශ්නයක් තියෙන බව පෙන්වීම පමණයි. එසේ කිරීමෙන් ආණ්ඩුවේ අසමත්කම පෙන්වීමට හැකියි. පසුගිය කාලේ පුරාම පොහොට්ටුවේ දේශපාලන උපාය මාර්ගයවුනේ ඒක. කෙසේ හෝ කුමන තත්වයක් යටතේ හෝ රටේ ප්‍රශ්නයක් මතුකරලා, ඇතිකරලා, නැතිනම් මවලා පෙන්වලා හරි ආණ්ඩුව අසාර්ථකයි කියලා පෙන්වන්න හදන ඒක තමයි ඒ අයගේ දේශපාලන උපාය මාර්ගය වුනේ. ඒ උපක්‍රමය යම් විදිහකට හරි සාර්ථක වෙන්නේ ආණ්ඩුව ප්‍රතිචාර දැක්වීමේදී දක්වන මන්දගාමී තත්වය තුලයි. ආණ්ඩුවට ඕනේ නම් මේ වෙලාවේ උනත් කරන්න පුළුවන් ගෑස් කවුරු හරි හංගන් ඉන්නවා නම් වැටලීම් කරන ඒක. එහෙම කරලා ගෑස් හංගන් ඉන්නේ කවුද කියලා පෙන්වන ඒක. නැතිනම්, ගෑස් නැත්නම් වහාම ගෑස් ගෙන්වන ඒක. එහෙම නැතිව ''රාජපක්ෂලා බලය ගන්න මොනවද නොකරන්නේ?'' කියා කියා ඉන්න ඒක විතරක් සෑහෙන්නේ නැහැ.

අනෙක් අතට ගෑස් හිගයක් ඇතිකිරීම තුල හෝ එසේ මවාපෑම තුල පොහොට්ටුව කිසියම් දේශපාලන වාසියක් අත්කරගන්න උත්සහකරනවා නම් එකත් එච්චරම සාර්ථක නැහැ. මොකද එකෙන් රටේ බහුතරයකට කලහැකි බලපෑම ඉතා සීමා සහිතයි. ඕනේ නම් නාගරික ජනයාට යම් බලපෑමක් කල හැකියි. පසුගිය කාලය පුරාම සිදුවූ වැඩවර්ජන, කොළබ පාරවල් අහුරා කරන පෙළපාලි, සහ අනෙකුත් ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ග පොහොට්ටුවේ දේශපාලන උවමනාව උඩ සිදුවුවක් නම් පැහැදිලිවම කිව යුත්තක් තමයි ඒවායේ බලපෑ වැඩියෙන් සිදුවුයේ නාගරික ප්‍රදේශවලට විතරයි. ඇත්තටම පොහොට්ටුවේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය පවා නාගරික මැද පන්තිය මුල් කරගත්තක්. දිළිදු ජනයා ගැන දක්වන අවධානය ප්‍රමාණවත් නැහැ. ඒ නිසාම, සජිත් ප්‍රේමදාස, ඊට ප්‍රතිපක්ෂව, ග්‍රාමීය දිළිදු ජනයා කේන්ද්‍ර කරගෙන සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවක් තමයි පේන්න තියෙන්නේ.

මේ අනුව ගෑස් හිගය එක්තරා ආකාරය ජනාධිපතිවරණයේ ප්‍රචාරක උපක්‍රමයන්ගේ පිලිබිබුවක් ලෙසත් ඕනේ නම් සලකන්න පුළුවන්. තත්වය එසේ නම්, සීමිත බලපෑමක් ඇති ගෑස් හිගයවගේ දෙයක් නෙමේ, ජනාධිපතිවරණයේ අවසාන සතිය වනවිට රටපුරාම ඉන්ධන හිගයකුත්වුනත් ඇතිවෙන්න පුළුවන්.

මාකස් ප්‍රියන්ත පෙරේරා
05/11/2019


4 comments:

  1. ගු අන් පී උන්ට ගිය කල

    ReplyDelete
    Replies
    1. පව් කියලා හිතෙනවා නේද?

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete