This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 27 May 2018

(සාරි) ඇන්දවීම සහ ගැලවීම - අධිපති දේශපාලන මතවාදය සහ රාජ්‍යයේ මැදිහත්වීම

'The sari became a signifier both of subversion and conservatism. On the one hand a signifier of nationalist resistance to colonialism and a leveller of class and caste, as its use became widespread, it remained nevertheless an instrument of male domination in its very prescriptiveness, impairing a woman's freedom of choice over her dress and body.' 
(Neloufer De Mel (2001) Women & the Nation's Narrative: Gender and Nationalism in Twentieth Century, page 84. )

ගුරුවරියන්ට ගර්භනීය සමයේදී පහසු ඇදුමකින් සැරසී සිය රැකියාවේ යෙදීමට අධ්‍යාපන ඇමති අකිල විරාජ කාරියවසම් මහතා චක්‍රලේඛනයක් මගින් ඉඩ ප්‍රස්ථාව සලසාදුන් බව වාර්තාවේ. ඔහු මීට පෙර නිකුත්කල  චක්‍රලේඛනයක් මගින් මව්වරුන්ට / කාන්තාවන්ට තම දරුවන්ගේ කුමන හෝ කටයුත්තක් සදහා පාසැලට පැමිණීමේදී සාරිය ඇද පැමිණීම අනිවාර්ය නැති බව සදහන් කළේය. 

චක්‍රලේඛන මගින් ඉහත ඉඩ ප්‍රස්ථාවන් සලසාදීමට පෙර ගුරුවරියන්ට මෙන්ම දරුවන්ගේ මව්වරුන්ට සහ භාරකාර කාන්තාවන්ට සාරි ඇදීම කුමන හෝ චක්‍රලේඛනයකින් අනිවාර්ය කර තිබුණිද? 

ගුරුවරියන්ට පමණක් නොව රජයේ කාර්යාලවල, ආයතනවල, රජයේ බැංකුවල සහ වෙනත් බොහෝ තැන්වල කාන්තාවන් එම ආයතනවල සේවයට පැමිණීමේදී සාරිය නිල ඇදුමක් ලෙස අදින්නේද? 

චක්‍රලේඛනයකින් හෝ ගැසට් නිවේදනයකින් කාන්තාවන්ට රාජකාරියට පැමිණීමේදී සාරිය ඇදීම අනිවාර්යකර හෝ ආයතන නීති සංග්‍රහය තුල ඇතුලත්කර තිබුනද, නොතිබුණද, කාන්තාවන් සාරිය ඇදීම නිල සහ නිල නොවන මට්ටමින් පිළිගත් ආයතනික ඇදුමක් (dress code) ලෙස සලකන බවක් පෙනේ. එය ආයතන පද්ධතියෙන් පරිබාහිරව එම ආයතනවලට පැමිණෙන කාන්තාවන්ට පවා බලපැවැත්වෙන ලෙස පැනවූ අවස්ථාවන් පාසැල්වලින් ඇසුනවාර අනන්තය. පාසැලට පැමිණෙන මව්වරුන්ට සහ භාරකාර කාන්තාවන්ට පවා   සාරි ඇද එන ලෙස ගම්වල පමණක් නොව අගනුවර පාසැල්වල පවා නිවේදන නිකුත්කර තිබුණි. 

අගනුවර ප්‍රසිද්ධ ක්‍රිස්තියානි පාසැලක් ලෙස සලකන සා. ජෝසප් විදුහලේ ගේට්ටුවේ එල්ලා තිබුණු දැන්වීමක දක්වා තිබුනේ විනීත ඇදුමෙන් පාසැලට පැමිණෙන ලෙසය. මෙලෙස විනීත ඇදුම් ලෙස දක්වා තිබු කාන්තා ඇදුම් අතර සාරිය විනීත ඇදුමක් ලෙස සැලකීමටත් සාය-හැට්ට, ජීන්ස් ආදිය විනීත ඇදුමක් ලෙස නොසැලකීමටත් හේතුවන්නේ කුමන පදනමක් මත සිට දැයි එහි  විස්තරකර නොතිබිණි.  

ලංකාවේ කතෝලික පල්ලිවල ඉරුදින පුජාවට පැමිනීමේදී සහ දරුවන් පල්ලියේ ඉරිදා පාසැලට යාමේදී ද, එම දහම් පාසැල්වල ගුරුවරුන්  පවා සුදු ඇදුමින් සැරසී පැමිණිය යුතුයැයි ඉල්ලා සිටි කතෝලික පුජකවරුන් ගැන පසුගිය කාලයේ මීගමුවෙන් පවා වාර්තාවිය.  සුදු ඇදුම සහ සාරිය  ආගමික වාතාවත්වලට උචිත ඇදුම ලෙස බෞද්ධ  පමණක් නොව  ලංකාවේ කතෝලික පල්ලිය සහ එහි ඇතැම් පුජකයින් පවා සලකන්නේ කුමන ආගමික සන්දර්භයක් තුල සිටද, කුමන ආගමීක ඉගැන්වීමක් පදනම් කරගෙනද යන්න ඉහත  ඔවුන් පැහැදිලි නොකරයි.   

ඇත්තවශයෙන්ම, නිල ඇදුමක් ගැන ආයතනික රෙගුලාසිවලට ආදාල නොවන  සෑම තැනම, ඇදුම සම්බන්දයෙන් ඇත්තේ නීතිමය රෙගුලාසි හෝ ආගමික ඉගැන්වීම්වලට වඩා සමාජ සම්මතයන් බව පෙනේ. 

එහෙත්  එවැනි සමාජ සම්මතයන් ගොඩනැගීමට මෙන්ම ඒවා වෙනස් කිරීමටද රාජ්‍යය මැදිහත්වූ අවස්ථාවන්ද ඒමටය. අධ්‍යාපන ඇමති අකිල විරාජ කාරියවසම් මහතා චක්‍රලේඛනයක් මගින් ගුරුවරියන්ට ගර්භනීය සමයේදී පහසු ඇදුමකින් සැරසී සිය රැකියාවේ යෙදීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීමද එවැන්නකි. 

එහෙත් එම වැඩසටහන හදුන්වාදීම සදහා නිකුත්කර තිබු ප්‍රචාරක දැන්වීමක දක්වා තිබුනේ 'සම්ප්‍රදාය සුරකින ප්‍රායෝගිකත්වයට ඉඩදෙන යුගයක් වෙනුවෙන්' යන්න තුල බොහෝ අදහස් ගැබ්ව ඇතිබව මගේ අදහසයි. 

මෙහිදී සාරිය සම්ප්‍රදාය ලෙස පිළිගන්නා බවක්ද, එය වෙනස්කිරීමට  අවශ්‍ය නැති බවද, එහෙත් අවශ්‍යය නම් යම් යම් ව්‍යාතිරේකයන් සැපයීමට මෙන්ම සහනශීලී ඉඩ ප්‍රස්ථාවන් සැලසීමටද අධ්‍යාපන අමාත්‍යාංශය නම්‍යශීලිය යන්න එයින් කියවේන එක් කරුණකි. ගුරුවරියන්ට කැමැති පහසු ඇදුමකින් පැමිණ ගුරු වෘත්තීයේ යෙදීමට ඉඩ ප්‍රස්ථා ඇති කිරීම වැනි සම්ප්‍රදාය අභිබවා යන රැඩිකල්  වෙනස්කම් කිරීමට ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය පමණක් නොව අධ්‍යාපන ඇමතිවරයාද  සුදානම් නැතිබවත්, ඊට වඩා සම්ප්‍රදාය සුරකිමින් යම් යම් වෙනස් කම් කිරීමට පමණක් ඉදිරිපත්වෙන බවක්ද ඉන් කියවෙයි. 

එය අධ්‍යාපන ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මතවාදය බවදය. එක්සත් ජාතික පක්ෂය යනු ගතානුගතික සම්ප්‍රදායින් වෙනුවෙන් පෙනීසිටින දක්ෂිණාංශික පක්ෂයක් බව අලුතින් කීමට අවශ්‍ය නොවන බව මගේ අදහසයි. අද අප රටේ මුල් බැසගෙන ඇති බොහෝ සම්ප්‍රදායන් ඇතිකිරීමට, තහවුරුකිරීමට සහ ඒවා යලි යලිත් ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම සම්බන්දය. 

අනෙක් අතට, සමාජයේ රැඩිකල් වෙනස්කම් සිදුකිරීමට සමාජය සුදානම් නැති නිසා  දැනට සිදුකල හැක්කේ සීමිත වෙනස්කම් කිහිපයක් පමණක් යැයි යන්නද ඉහත 'සම්ප්‍රදාය සුරකින ප්‍රායෝගිකත්වයට ඉඩදෙන යුගයක් වෙනුවෙන්' යැයි හදුන්වාදෙමින් ගුරුවරියන්ට ගර්භනීය සමයේදී පමණක් පහසු ඇදුමකින් සැරසී සිය රැකියාවේ යෙදීමට ඉඩ ප්‍රස්ථාව සලසාදීම තුල කියවේ. 

එනම් රජයේ බොහෝ ආයතන තුල රැකියා කරන කාන්තාවන්ගේ ඇදුම සාරිය බව නොනිල මට්ටමින් පිළිගැනීම නැවත තහවුරු කිරීමක්ද සිදුකර ඇත.

ඉහතින් දැක්වූ Neloufer De Melගේ (2001) රචනය ඇසුරෙන් පමණක් නොව, නීරා වික්‍රමසිංහගේ (2001) රචනයන් ඇසුරෙන්ද පශ්චාත් යටත්විජිත යුගයේදී සාරිය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ නොනිල ජාතික ඇදුම බවට පත්වූ බව දක්වා තිබේ. 


තවද, සාරිය යනු මෙරට කාන්තාවන්ගේ ඇදුමක් නොව ඉන්දියාවේ කාන්තාවන්ගේ ඇදුමක් ලෙස වර්ධනයවී පසුව මහනුවර යුගයේදී නායක්කාර වංශිකයන්ගේ අනුග්‍රහය ඇතිව ප්‍රවර්ධනයවූ බවත්, එය  අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධ පුනර්ද ව්‍යාපාරය විසින් ජාතික ඇදුමක් ලෙස කාන්තාවන්ට හදුන්වාදුන් බවද එම රචනාවලින් කියවේ. එමගින් ජාතික අනන්‍යතාවයක් තහවුරු කිරීමේ නාමයෙන් ලාංකීය  කාන්තාවන්ට සිය කැමැත්ත අනුව කැමති ඇදුමක් තෝරාගැනීමේ ඔවුන්ගේ අයිතිය පමණක් නොව ඔවුන්ගේ කැමැත්ත මත මතවාදී බලහත්කාරයක් බල පැවැත්වීමක් ලෙසද එම රචනාවලින් තර්කකරයි.   

මීට අමතරව අපි සාරිය ජාතික අනන්‍යතාවයේ කොටසක් ලෙස තෝරාගැනීම තුල සිදුකර ඇත්තේ බටහිර ඇදුම් පැළදුම් ප්‍රතික්ෂේප කිරීමේ අරමුණින් ඉන්දියානු ජාතික අනන්‍යතාවය අපේ ජාතික අනන්‍යතාවය ලෙස පිළිගැනීමක් නොවේද? ඉන්දියානු සංස්කෘතික ව්‍යාප්තියට හිතසිතින් නතුවීමක් නොවේද? යන්න ද මතුවෙන ගැටලුය.  ශ්‍රී ලංකාව වැනි රටවලට ඉන්දියාව විසින් සිදුකරන දේශපාලන මැදිහත්වීම්, දේශපාලන අත පෙවීම් සහ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ප්‍රශ්න කරන කිසිවෙක්, දකුණු ආසියාව තුල බලපවත්වන දැඩි ඉන්දියානු සංස්කෘතික ආධිපත්‍යය ගැන ප්‍රශ්න නොකිරීම පුදුමය. සාරිය ද එහිම කොටසක් නොවේදැයි යන්න  ගැන ප්‍රශ්න නොකිරීම පුදුමය.

ඇත්තවශයෙන්ම සිදුවිය යුත්තේ කාන්තාවන්ට/පුද්ගලයාට කැමති ඇදුමක් ඇදීමට ඇති නිදහස තහවුරු කිරීමය. 

පැහැදිලිවම, ගුරුවරියන්ට ගර්භනීය සමයේදීවත් පහසු ඇදුමකින් සැරසී සිය රැකියාවේ යෙදීමට අවස්ථාවක් සලසාදීම අගය කල යුතුයමය. 

එම අයිතිය  සෙසු රජයේ සේවයේ නියුක්ත සෙසු කාන්තාවන්ට අත්කර දිය යුතුය. 

එමෙන්ම සාරිය මෙන්ම වෙනත් ඇදුම්-ආයිත්ම්ද, ජාතික අනන්‍යතාවයේ කොටසක් ලෙස සලකන්නේ ඇයි? එවැනි ඇදුම් සමාජය තුල ස්ථාපිතවී එහිලා පොදු එකගතාවයන් ගොඩ නැගුනේ කෙසේද? අදත් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව එම ඇදුම් 'අපේ සම්ප්‍රදායික විනීත ඇදුම්' ලෙස අපි බාරගන්නේ ඇයි? සාරිය වැනි ඇදුමක් කාන්තාවන්ගේ  ජාතික ඇදුම ලෙස සහ නිල හෝ නොනිල මට්ටමින් පිළිගත් රාජකාරී අඩුම ලෙස පිළිගැනීම තුල ඇයගේ/පුද්ගලයාගේ  නිදහස් කැමැත්තට එල්ලකරන බලපෑම කවරාකාරද? යන්න පිලිබදව පුළුල් කතිකාවක් සමාජය තුල මේ මොහොතේ මෙම නව චක්‍රලේඛනය ඇසුරින්වත්  ඇතිකළ යුතුය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
(27/05/2018).

2 comments: