This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 10 June 2018

පලාත්පාලන චන්දයෙන් පසු පුරපති දයාන් ලාන්සා යටතේ මීගමුවේ අනාගතය කෙසේවිය හැකිද?

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී අප පෙනී සිටියේ මීගමුවේ ලාන්සා පාලනය පරාජය කිරීමට බව කිසිවෙකුට රහසක් නොවේ. ඒ වෙන කිසිවක් නිසා නොව නගරාධිපතිවරයකු, පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ ඇමතිවරයෙකු ලෙස මෙන්ම, පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කල නිමල් ලාන්සා මහතා යටතේද, හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කල දයාන් ලන්සා මහතා යටතේද මීගමුවට සිදුව තිබු හානි නිසාය.  එම හානි අතර..

1.විශේෂයෙන්ම හිටපු අමාත්‍ය, මීගමුවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, සරත් කුමාර ගුණරත්න මහතා සහ නිමල් ලාන්සා මහතා අතර පැවති බල අරගලය මුළු මීගමුවේම නම කෙලෙසෙන තත්වයක් බවට පත්ව තිබුණි. සරත් කුමාර ගුණරත්න මහතාට පැහැදිලි දේශපාලන අභියෝගයක්වූ නිමල් ලාන්සා මහතාව දේශපාලනවශයෙන් මෙන්ම පෞද්ගලිකවද විනාශකර දැමීමේ නින්දා සහගත දේශපාලනයක  අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා නිරතවෙමින් සිටියේ යැයි නිමල් ලාන්සා මහතා දක්වා තිබුණි. ඒ සරත් කුමාර ගුණරත්න මහතා ජාතික මෙන්ම ප්‍රදේශීය පුවත්පත්වලට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවලදී "මෙහෙම ගියොත් මීගමුව කුඩු පුරයක්වේ යැයි"  දක්වා තිබීමට ප්‍රතිචාරයක් වශයෙනි. දෙදෙනාගේ මෙම එදිරිවාදීකම් මහින්ද රාජපක්ෂලාගේ තක්කඩි පවුල්පාලනයට හොද මෙවලමක්විය. එක් රාජපක්ෂ සහෝදරයෙක්වන බැසිල් රාජපක්ෂ මහතා නිමල් ලාන්සා මහතාට උදව්කරන අතර අනෙක් පසින්  ගෝඨාභය රාජපක්ෂ යට‍තේ ඔහුගේ නිවස නීතිවිරෝධී ද්‍රව්‍ය සොයා වැටලීමකට ලක්කලේය. අනතුරුව මහ රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, හෙලිකොප්ටරයකින් මීගමුවට බැස නිමල් ලන්සා මහතාව සනසන්නට විය. මීගමුවේ 'කුඩු දේශපාලනය' ලෙස අප හැදින්වූ මෙම දේශපාලනය පැහැදිලිවම අවසන් කලයුතුවිය. 

2. ඒ අන් කිසිවක් නිසා නොව "මීගමුවේ ඉන්නේ  රහමෙර ටිකටයි, ඌරු මස් ටිකටයි, පෘතුගීසින්ගේ තාන්නමාන්නවලටයි, තුවක්කුවටයි, ජාතිය, ජම්මය, ආගම පවාදුන්, ගෙරිමස් බුදින,  බාල් නටන, කසිප්පු පෙරන, සුරුට්ටු-සිගරට්-අරක්කු-බියර් බොන ගෑනුන් පවා සිටින, සංකර, අවලම් බටහිර ගතිපැවතුම් ඇති කලවම්'' ජනවර්ගයක් යැයි පියදාස සිරිසේන 1920 ගණන්වල ලියු 'චින්තා මාණික්යය රත්නය', 'වාසනාවන්ත විවාහය සහ අවාසනාවන්ත විවාහය' ආදී නවකතාවල  සිට  අනගාරික ධර්මපාලතුමාගේ  මගගත් සිංහල-බෞද්ධ ජාතිකවාදීන් මීගමුව ගැන කියූ අවලාද වලට ''කුඩු' නාමයද එකතුවූ නිසාය. මීගමුවේ නම 'කුඩු' කල මෙම දේශපාලනය අවසන්කල යුතුවිය. 

3. නිමල් ලාන්සා මහතා යටතේ මීගමුවට නවීන බස් නැවතුම් පොලක්, නව අධිකරණ පද්ධතියක්, පොළට වහලයක්, කලපුවට නව තොටුපලක්, නව මාළු වෙළදපොලක්, මාර්ග නවීකරණයක් සිදුවුවද මීගමුවේ අනන්‍යතාවයේ විවිධ සංකේත සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන රාශියක් විනාශවිය. මීගමුව මහ නගර සභාවේ පැරණි නගර ශාලාව මෙන්ම පැරණිම සිනමාශාලාවක්වූ මීපුර පුරහල කඩා දමන ලදී.  මීගමුව කොටුව නොසලාහැර තිබුණි. කොටුව කඩාවැටීමට ආසන්න මට්ටමක පැවතියා පමණක් නොව එහි කොටසක් මීගමුව පැරණි අධිකරණ පද්ධතියේ විනිසුරුවන්ට, නීතීඥයින්ට රථගාලක් ලෙස භාවිතා කිරීමට ඉඩ දී මීගමුව කොටුව මහජන අවකාශයෙන් දුරස්කරන ලදී.  බ්‍රිතාන්‍යය 5වන ජෝර්ජ් රජ කුමාර වියේදී ද,  දෙවන එලිසබෙත් රැජින මහ රැජින ලෙසද, ග්ලොස්ටර් ආදිපාදයා ඇතුළු ප්‍රභූන්ද, ලෝපතල විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් ආදී සුපතලයන්ද  පැමිණි අත්‍ය අලංකාර  මීගමුව වෙරළ කරෝල  මුදලාලිලාට බදු දී  මුළු මීගමුව නගරයම කරෝල ගදට සහ අපිරිසිදුකමට යටකරන ලදී. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නිවාස සහ  නාගරික  සංවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ මීගමුව නගරයේ සංස්කෘතික සහ දේශපාලන ක්‍රියාකාරම් සදහා  එළිමහන් පිටියක් ලෙස භාවිතාකිරීමට වෙන්කර දුන් මීගමුව ග්‍රීන් පාර්ක් පිටිය කෑලි කෑලිවට කඩා පෙට්ටිකඩ පිටියක් බවට පත්කර මීගමුව නගරයට ඇතුල්වන එක් ප්‍රදේශයක් තමිල්නාඩුවේ නගරකොනක්  වැනි තැනක්  බවට පත්කළේය. 

4. එමෙන්ම, යටත්විජිත පාලකයන් විසින් මීගමුවට උරුමකරදුන් ගෝලීය, නවීන, නානාජාතික, විශ්වදේශි (cosmopolitan)  සංස්කෘතියකින් යුතු මීගමුවේ එකී සුවිශේෂි බහුවාර්ගික අනන්‍යතා සහ ගෘහ නිර්මාණ ලක්ෂණ යටින්හරා බිද දමා විකාර රූපී, පසුගාමී, ඔද්දල් අනන්‍යතාවයක් ගොඩනැංවීමට කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට, ජාතිකවාදීන්ට, ආගමීක නායකයින්ට කිසිදු විරෝධයකින් තොරව ක්‍රියාත්මකවීමට ඉඩදී තිබුණි. ඔවුන්ගේ පාලන සමයේදී මීගමුව කාමච්චිඕඩයේ පිහිටි සිය ගණනකට සෙවනදිය හැකි සුවිසල් නුගගහ වටකර කාමච්චි කෝවිලක් ඉදිවිය. ස්පාඤ්ඤ ලක්ෂණ සහිත වසර 200කට වඩා පැරණි මීගමුව වැල්ලවීදිය කනත්තට ඇතුල්වෙන දොරටුව කඩා දැමීමට දගදැරූ මහාමාර්ග ඉදිකිරීම් නිලධාරියාට මෙන්ම මහවීදිය පල්ලිය ඉදිරිපිට තිබු  සා. සෙබස්තියන් ගොඩනැගිල්ල කඩා දැමීමට වැල්ලවීදිය පල්ලියේ ස්වාමිට ඉඩදී බලාසිටියහ. මීගමු දිස්ත්‍රික් මහ රෝහලේ රථගාල මත විශාල බුදුමැදුරක් ඉදිකර මීගමුව රෝහලට පැමිණෙන වාහන මීගමුව-හලාවත පාර අවහිරකර නවතා තැබීමට විරුද්ධව කිසිවක් නොකරන ලදී. එමෙන්ම මීගමුව දුම්රිය ස්ථානය අසල තිබු බෝගස වටා බුදුමැදුරක් ඉදිකර පාර අවහිර කිරීමට විරුද්ධවද කිසිවක් නොකරන ලදී. මීගමුවේ ප්‍රකට අගුරුකාරමුල්ල පන්සලේ හෝ පොඩි පන්සලේ ස්වාමීන්වහන්සේලාට වඩා   මීගමුවේ කඩොල්කැලේ අනවසරයෙන් ඉදිකළ දුටුගැමුණු විහාරයේ දහමට වඩා අණවින-කොඩිවින වැනි මිත්‍යාව ගැන උනන්දු හාමුරුදුවන්ට  මුල් තැනක් දෙන තත්වයක් දක්නට ලැබුණි. 

5. ඒ සියල්ලටම වඩා මීගමුව මහ නගර සභාවට විශාල ආදායමක් ලැබිය හැකි බීච් පාර්ක් වැනි මහජන දේපල සහ ආයතන සිය පවුලේ අයට සහ හිතවතුන් අතරට පත්කර ඉන් අයථා ආදායමක් ලබන බවට දැවැන්ත චෝදනා එල්ලවන්නට විය. 

මෙම කරුණු නිසා මීගමුවේ ලාන්සා පාලනය අවසන්කල යුතුයයි අපි යෝජනාකළේය. 

එහෙත්, ලාන්සලා පරාජයකර මහජනයාට ඉදිරිපත්කල හැකි පැහැදිලි යහපත් විකල්පයක්  අපිට නොතිබිණි. විරුද්ධ පක්ෂයෙන් තරග කල එක්සත් ජාතික පක්ෂයේ රොයිස් විජිත ප්‍රනාන්දු මහතාද නරකට ප්‍රසිද්ධවුවෙකු විය. කප්පම් ගැනීම සහ චන්ඩිකම් ගැන කුප්‍රකට නමක් පමණක් නොව මීගමුව ජුවෙල් ලංකා ආයතනය මංකොල්ලාකෑමට සැලසුම් කිරීම සම්බන්දයෙන් බන්ධනාගාරගත කිරීම්ද, ඒ සම්බන්දයෙන්  අධිකරණයේ විභාගවන නඩුවක්ද ඔහුට විරුද්ධව ඉදිරිපත්වී තිබුණි. එහින් ලන්සාට නොදී රොයිස්ට දෙමුදැයි අපෙන් ඇසූවන්ට අපට දීමට උත්තර නොවිණි. 

අපට කීමට හැකිවුයේ රොයිස්ට පැවැත්ම ඇත්තේ ඔහු UNPයේ සිටින තාක් පමණක් බවත්, ඉන් එහාට ඔහුට පැවැත්මක් නැති බවත්, එහින් රෝයිස්ව පාලනය කිරීමට කිසියම්ම හෝ ක්‍රමවේදයක් ඇති බවත්, එහෙත් ඒ පැත්තෙන් හෝ මේ පැත්තෙන් හෝ කුමන පක්ෂයකින් හෝ ඉල්ලා දිනිය හැකි ලංසලාව පාලනය කලහැකි කිසිදු ක්‍රමවේදයක් නැතිබවත්, එය ප්‍රජාතාන්ත්‍රික පාලනයකට හිතකර නොමැති බවත් පමණි. 

දේශපාලන තර්ක කෙසේවුවද, ජව සම්පන්න බව අතින් ලාන්සලා පසුවූයේ රෝයිස්ලාට සහ මීගමුවේ UNPයට ගව්ගානක් ඉදිරියෙනි. ඔවුන් දිනූ මීගමුව මහනගර සභාවේ බලය පිහිටවීමටවත් ඔවුනට නොහැකිවිය. තනා නිමකර තිබු දුන්ගල්පිටිය මාතෘ නිවාසයවත් වීවෘතකිරීමට ඔවුන්ට නොහැකිවිය. ඔවුන්ගේ ආණ්ඩුවේම ඇමතිවරයාවූ අකිල විරාජ් කාර්යවසම් මහතා අපේ ඉල්ලීම කරුණු කොටගෙන මීගමුව කොටුව  සංරක්ෂණය කිරීමට පියවර ගත්තද එක් දවසක් හෝ එහි ගොස් වැඩ කටයුතු සොයා බැලීමට කටයුතු නොකළේය. කථාවෙන් මිස ක්‍රියාවෙන් කිසිවක් සිදු නොවිණි.  

ඒ හිඩැස දැන් දයාන් ලාන්සා වහා වහා පුරවමින් සිටී. ඔහු වචනවලින් නොව ජව සම්පන්නව ක්‍රියාවෙන්ම මීගමුවට මැදිහත්වෙමින් සිටී. ඔහු පත්වූ ආකාරය අපි විවේචනය කළේය. ඒ මීගමුවේ බහුතර ජනයා  පලාත්පාලන මැතිවරණයේදී ජන්දය දී තිබුනේ ඔහුගේ පොහොට්ටුවට නොවන නිසාය. එහෙත් නව පලාත්පාලන මැතිවරණ ක්‍රමයේ ඇති දුර්වලතා සහ යහපාලන රජයේ පක්ෂවල ඇති අභ්‍යන්තර ගැටුම් නිසා දයාන් ලාංසාට මීගමුවේ නගරාධිපතිවිය හැකිවිය. එය වලක්වාලීම රොයිස්ට හෝ මීගමුවේ UNPයට කලහැකි කිසිවක් නොවිණි. 

ඒ සියල්ල සම්බන්දයෙන් අද කිසිදු විරෝධයක් නැතිවෙන තරමටම දයාන් සහ නිමල් ලාන්සලා මීගමුව තුල ජව සම්පන්නව ක්‍රියාත්මක වෙමින් සිටී. නගරය පිළිවෙලක් කරමින් සිටී. මීගමුව තුල යම් පිබිදීමක් ඇතිකිරීමට එය සමත්වී ඇතිබව කිවයුතුමය. එය නිකලොයි මැකියාවෙලීගේ 'කුමාරයා' (1532) පොතේ දක්වන ආකාරයේ න්‍යායකට අනුව බලය අත්කරගැනීම, බලය තහවුරුකර ගැනීම සහ බලය ව්‍යාප්තකර ගැනීම සදහා භාවිතාකරන තවත් දේශපාලන උපාය උපක්‍රමයක් විය හැක. එහෙත් මීගමුවට ඉන් වැඩක් වෙන්නේ නම් අපි එය අගය කිරීමට පැකිලෙන්නේ නැත. 

මීගමුව නගරේ අනන්‍යතාවය තහවුරුකරමින් මීගමුව ලංකාවේ 04වන ප්‍රධාන නගරය ලෙස සංවර්ධනය කල හැකි නගරාධිපතිවරයෙකුගේ අඩුවක් මෙන්ම එවැනි ගමනක් යාහැකි දේශපාලකයින්ගේ අඩුවක් මීගමුවට තදින්ම පැවතී. එය ලාන්සලාට හෝ පිරවිය හැකිනම් මීගමුවේ ජනයාගේ සහයෝගය ඔවුන්ට පැහැදිලිවම හිමිවනු ඇත. එහිලා අවශ්‍යවන්නේ යහපත් චේතනාව සහ අවංක කැපවීම පමණකි. ජව සම්පන්න ලාන්සලා එවැනි ඉලක්කයක් ඇතිව වැඩකරන්නේ නම් ඔවුන්ගේ නම් මීගමුව ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන බව පැහැදිලිය. 

ඔවුන් මීගමුව කොටුව අවට ප්‍රදේශය අලංකාර ලෙස ගොඩනන්වා, නගරය පිළිවෙලක් කර, නගරයේ ජනයාගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු සපයාදී, මීගමුව වෙරළ කරෝල මුදලාලිගෙන් මුදාගෙන, එහි පැවති අලංකාරය නැවත මතුකර, මීගමුව කලපුව අවට ජලතීරය චිත්‍රාකර්ෂනීය පෙදෙසක් බවට පත්කර, මීගමුව ග්‍රීන් පාක් පිටිය පවරාගෙන නත්තලට නත්තල් ගසක් තැනිය හැකි, වෙසක්වලට විශාල කූඩුවක් තැනිය හැකි, 'මාවතේ අපි' වැනි කළාකරුවන්ට, මැජික්කරුවන්ට, වීදී සංදර්ශකයින්ට සංදර්ශන පෙන්විය හැකි අලංකාරවත්  එලිමහන් පිටියක් බවට පත්කල හැකි නම්, නගරයේ හැකි සෑම තැනම මල් වවා මහජනයාට විවේකීයව ඉදගෙන සිටිය හැකි බංකු  සවිකර, ආකර්ශනීය නගරයක් බවට මීගමුව පත් කරන්නේ නම්, මීගමු ජනයාගේ ගරු බුහුමන්වලට ලාන්සා නාමය ලක්වීම කිසිවෙකුට වැලක්වීමට නොහැකිවනු ඇත. 

එවැනි මීගමුවක් වූ කලී මගේ පමණක් නොව මුළුමහත් ජනතාවකගේම සිහිනයකි !!!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
10/06/2018

1 comment:

  1. අහෝ මීගමුව ඔබට යහපතක්ම සිදුවේවා!

    ReplyDelete