This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 22 May 2017

ඥානසාර සාධු අපිට මතක් කරන නිජබිමේ අයිතිය සහ සිංහල-බෞද්ධ වාර්ගිකත්වයේ බලහත්කාරය

''ලංකාව සිංහල-බෞද්ධ රටක් කියලා පිලිගන්නවාද?.... නෑ ඇමතිතුමා මේකට උත්තර දීලා ඉන්න...මේක සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාද?... නෑ.. මන් අහන්නේ... මේක සිංහල-බෞද්ධ රටක් කියලා  පිළිගන්නවාද?... නැත්ද ?'' 

දබර ඇගිල්ල දිගු කරමින් බොදුබල සේනාවේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ඒකාබද්ධතා ඇමති  මනෝ ගනේෂන් මහතාගෙන් එසේ අසන විට තුවක්කු කටක් ගනේෂන්ගේ මෙන්ම මගේද හිස මතට තබා ඇතැයි මට සිතේ. ඒ මනෝ ගනේෂන් මෙන්ම මම ද සිංහල-බෞද්ධයෙක් නොවන නිසාය. සිංහල-බෞද්ධ නොවන මගෙන් ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාද? නැතිද? කියා අසන සෑම අවස්ථාවකම මට එය දැනෙනුයේ එහි කිසියම් ආකාරයක අනතුරු ඇගවීමක් සහ බලහත්කාරයක් ඇති බවය. මගේ මුල්ම විශ්ව විද්‍යාලයවූ කොළඹ විශ්ව විද්‍යාලයේදීද, සමාජ-දේශපාලන ප්‍රශ්න වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත්වූ සංවිධානවල වාමාංශිකයින් සහ ප්‍රගතිශීලීන් මෙන් සිටි ඇතමුන්ද, එංගන්තයේදී මට හමුවූ බොහෝ සිංහල-බෞද්ධයන්ද මගෙන් එම ප්‍රශ්නය ඇසූ සෑමවිට මට කීමට තිබුනේද මනෝ ගනේෂන් කී දෙයම. එනම් ශ්‍රී ලංකාව යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී මෙරට වෙසෙන සියලු  ජන කොටස්වලට අයත් රටක් බවය.

සිංහල-බෞද්ධ නොවන කිසිවෙකුගෙන් තමන් ඉපදී-හැදී වැඩුණු රට, තමන් අයත් නොවන වෙනත් වාර්ගීක අනන්‍යතාවයට අයත් බව පිළිගන්නා ලෙස ඉල්ලීම, එම පුද්ගලයා අන්ත අසරණභාවයකට පත්කර ඔහු හෝ ඇය මත ආධිපත්‍යයක් පැතිරීමක් නොවන්නේද?  එය අදාල පුද්ගලයාගේ නිදහස් කැමැත්තට විරුද්ධව සිදුකරන බලහත්කාරයක් නොවන්නේද

එහෙත් ඒ පිලිබදව කිසිදු වග විභාගයක් හෝ අවධානයක් යොමුකිරීමකින් තොරව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගත යුත්තේ ඇයි දැයි යන්න තවදුරටත් තහවුරු කිරීමට ඔවුන් වෙර දරූ බව ඉහත අවස්ථාවන්ට මුහුණපා ඇති මගේ අත්දැකීමයි. 

පැහැදිලිව ඔවුන්ගේ එක් තර්කයක් වුයේ අද ලංකාව තුල විවිධ ජාතීන් සහ ආගම් අදහන විවිධ පිරිස් සිටියද ඔවුන් එක් එක් කාලවලදී මෙරටට පැමිණි සංක්‍රමණිකයන් බවත්, එම පිරිස් අද ක්‍රිස්තියානි /හින්දු/මුස්ලිම් ආදී ආගම් ඇදහීමට පෙර ඔවුන්ද සිංහල-බෞද්ධයෝ බවත් ඒහින් ලංකාවේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සභ්‍යත්වය ගොඩනැගුවේ මෙරට ප්‍රධාන ජාතියවන සිංහල-බෞද්ධ ජනයා විසින් බැවින් ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි? යන්නයි. මා හා වාද කල අය පමණක් නොව ඥානසාර හාමුදුරුවෝද, නලීන් ද සිල්වාද, චම්පික රණවක ආදී වෙනත් බොහෝ දෙනෙක්ද මේ තර්කයම ඉදිරිපත් කරන බව මම මෙන්ම මුළු රටම දනිති. 

ශ්‍රී ලංකාවේ සමස්ථ සංස්කෘතිය, ශිෂ්ටාචාරය, සභ්‍යත්වය ගොඩනැගී ඇත්තේ 'සිංහල-බෞද්ධපදනමකින් යැයි කියන සෑමවිටම මට එය පිළිගැනීමට අපහසුවිනි. එයට හේතුව වුයේ මට එය පිළිගැනීමට කිසිදු පදනමක් නොතිබීමය.

මම හැදී වැඩුනේ මීගමුවේය. එහි ඇති 'සිංහල-බෞද්ධ' කමක් ගැන මම නොදනිමි. එහෙත් මීගමුව ඇත්තේ ශ්‍රී ලංකාවේය. ඒහින්  'සිංහල-බෞද්ධ' නම්වූ මහා ආඛ්‍යානයට අයත් නොවන පෙදෙස්ද ලංකාවේ තියෙන බව මගේ අත්දැකීමයි. මීගමුව පමණක් නොව වෙන්නප්පුව, හලාවත, තලවිල, උතුරු-නැගෙනහිර, වතුකරය ආදී තවත් බොහොමයක් 'සිංහල-බෞද්ධ’ නොවන පෙදෙස් ලංකාවේ තිබෙන බව මම දනිමි. එම ප්‍රදේශවල ජීවත්වෙන ජනයාගේ  සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය ගොඩනැගීමට මුලික වශයෙන් දායක වී ඇත්තේ 'සිංහල-බෞද්ධ' සංස්කෘතිය හෝ ශිෂ්ටාචාරය හෝ සභ්‍යත්වය නොවේ.

ඇරත් මේ කියන 'සිංහල-බෞද්ධ’සංස්කෘතිය, ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය යනු කුමක්දැයි මගෙන් ශ්‍රී ලංකාව  සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාද?... නැතිද? යනුවෙන් ඇසූවන්ගෙන් විමසුවිට ඔවුන් දක්වනුයේ වැව්-දාගැබ්-මහාවංශය ආදී කරණාය.

මම ඒවා  ඉදිකලේ මෙරට සිටි සහ සිටින සිංහල-බෞද්ධ ජනයා පමණක්ද? අවුකන සහ බුදුරුවාගල ආදී පිළිමවල සිංහල-බෞද්ධයන්ගේ බුද්ධාගමවන ථෙරවාදී නොවන  මහායාන / වජිරයාන ලක්ෂණ දරන්නේ ඇයි? සීගිරි චිත්‍ර ඉන්දියාවේ අජන්තා චිත්‍රවලට සමාන ඇයි? සෙනරත් පරණවිතාන මෙන්ම සුජිත් අක්කරවත්ත ආදීන් දක්වා ඇති පරිදි සීගිරියේ සාර්ථකත්වයට පෙරදිග ක්‍රිස්තියානින් සමග තිබු සබදතා කෙතෙක් අදාලවී ඇත්තද ? මෙරට විවිධ කාලවල පැමිණි ජනයා විවිධ ජනවර්ගයන් ඉහතකී සිංහල-බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව ගොඩනැන්වී මෙහිලා කෙතක් දායක වී ඇත්දැයි යනුවෙන් ප්‍රශ්න කල වාර අනන්තය.

තවද,‘සිංහල-බෞද්ධ’ යනු යුරෝපීයානු ජාතිකවාදය (Nationalism) නම් කතිකාවේ ආභාෂය ලබා බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය අවසාන කාලයේදී ගොඩනගා ගත් ප්‍රබන්ධයක් නොවේදැයි R. A. L. H. ගුණවර්ධනගේ සිට නිර්මාල් රන්ජිත් දේවසිරි ආදී විද්‍යාර්ථයින් විසින් ඉදිරිපත්කර ඇති ලියවිලිවල ඇති කරුණු ඇසුරින් ඒ ගැන විවාදයන්ගේ පැටලුනු අවස්ථාද ඒමට විය.

එහෙත් එම කරුණු බිද දමමින් ශ්‍රී ලංකාව  සිංහල-බෞද්ධ රටක් ලෙස මට ඒත්තු ගැන්වීමට ඔවුනට නොහැකිවිය. ඔවුන්ද මම කියන පරිදි ශ්‍රී ලංකාව යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආදී මෙරට වෙසෙන සියලු  ජන කොටස්වලට අයත් රටක් බව ද පිළිනොගන්නා ලදී.
  
එහෙත්, මට ඒ ගැන කණගාටුවීමට කිසිසේත්ම උවමනාවක් නැත. මන්දයත් ශ්‍රී ලංකාව 'සිංහල-බෞද්ධ' සංස්කෘතියක්, ශිෂ්ටාචාරයක්, සහ සභ්‍යත්වයක් ඇති 'සිංහල-බෞද්ධ' රටක් යැයි කියන රටේ සිංහල අවුරුද්දේ කෑම පිගානේ සිට ඇදුම්-පැළදුම්, සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර, භාෂාව සහ කලා ශිල්ප ආදී  ‘සිංහල-බෞද්ධ’ සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ ඇති සියළු අංග-උපාංග ගොඩනගා ගෙන ඇත්තේ ‘සිංහල-බෞද්ධ’ නොවන වෙනත් සංස්කෘතින්ගෙන් සහ ශිෂ්ටාචාරයන්ගෙන් ණයට ගත් ‘පොළීයත්-ණයත්’ දෙකම නොගෙවා සින්නකරගත් දේවලින් බව  අප දන්නා නිසාය.

ඉතින් අප ශ්‍රී ලංකාව 'සිංහල-බෞද්ධ' රටක් ලෙස පිලිගන්නේ කෙසේද?

 ශ්‍රී ලංකාව ‘සිංහල-බෞද්ධ’ රටක් යැයි යන්න පිලිගැනීම-නොපිළිගැනීම කෙසේවුවද, ශ්‍රී ලංකාව කිසිසේත්ම ‘සිංහල-බෞද්ධ’ රටක් නොවිය යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව එවිට ශ්‍රී ලංකාව වාර්ගික රාජ්‍යක් වන නිසාය. වාර්ගික රාජ්‍යයක් යනු යම් වාර්ගික අනන්‍යතාවයක අධිකාරීත්වය කේන්ද්‍ර කරගත් රාජ්‍යයකි. ශ්‍රී ලංකාව 'සිංහල-බෞද්ධ රටක්' විය යුතුයැයි ඉල්ලීම තුල කියවෙනුවේ ලංකාව තුල ජීවත්වෙන බෞද්ධ-අබෞද්ධ, සිංහල-සිංහල නොවන සියල්ලෝම ශ්‍රී ලංකාවේ 'සිංහල-බෞද්ධ ආධිපත්‍ය' පිළිගෙන ජීවත්විය යුතු බවයි.  'සිංහල-බෞද්ධ' යන් යැයි තමන්ව හදුන්වා ගැනීමට  කැමති වාර්ගිකයන්ට හැර සෙසු සියල්ලන්ගෙන් ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රටක් ලෙස පිළිගැනීමට ඉල්ලීම පැහැදිලිවම ඔවුන්ට එරෙහිව සිදුකරන බලහත්කාරයකි. 

ශ්‍රී ලංකාව යනු බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ආදී විවිධ සංස්කෘතික අනන්‍යතාවයන්ට අයත් පරම්පරා ගණනාවක් තිස්සේ විවිධ ප්‍රදේශවල ජීවත්වූ ජනයාට අයත් ඒ ඒ ජන කොටස්වල නිජ භූමියක් මිස එක් වාර්ගික  අනන්‍යතාවයකට පමණක් අයත් භූමියක් නොවේ. එහෙත් නිදහසින් පසු දිග හැරුණු දේශපාලන ව්‍යාපෘතින් ඔස්සේ ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රාජ්‍යයක් ලෙස ගොඩනැංවීමට බොහෝ ක්‍රියාමාර්ග අනුගමනය කල බව පැහැදිලිය.

ශ්‍රී ලංකාව සිංහල-බෞද්ධ රාජ්‍යයක් නම් උතුරු-නැගෙනහිර දෙමළ නිජභූමිය පදනම් කරගත් දෙමළ ඊලාම් රාජ්‍යයක් බවට පත්විය යුතුයැයි දක්වමින් යුද්ධය දියත්වූ බව අප අමතක නොකළ යුතුය. එහෙත් යුද්ධය අවසානයේ දෙමළ නිජභූමිය පදනම් කරගත් දෙමළ ඊලාම් රාජ්‍යයක් පිලිබදවූ ව්‍යාපෘතිය පරාජය කරමින් ඉදිරියට පැමිණ ඇත්තේ සමස්ත ශ්‍රී ලංකාව වහා වහා සිංහල-බෞද්ධ රාජ්‍යයක් බවට පත් කලයුතු යැයි යන්න නම්,  එයද පැහැදිලිවම පරාජය කල යුත්තකි. මන්දයත් වාර්ගික රාජ්‍යයක් තුල ජීවත්වීම යනු එක් ජාතියකගේ වාර්ගික ආධිපත්‍යයට යටත්ව, ඔවුන්ගේ සහනශීලීත්වය මත යැපෙමින් බයාදු ලෙස ඔවුන්ගේ යටත්වැසියන් ලෙස ජීවත්වීමකි.

එහින් අපි ශ්‍රී  ලංකාව ‘සිංහල-බෞද්ධ’ රටක් යැයි යන්න පිලිගැනීමට පමණක් නොව ශ්‍රී ලංකාව කිසිසේත්ම ‘සිංහල-බෞද්ධ’ රටක් නොවිය යුතුය යන ස්ථාවරයක පිහිටා කටයුතු කරමු. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
22/05/17.

9 comments:

  1. Disturbing. Extremist maniacs and/or opportunists are everywhere. But, the silence of the sane, moderate people is disturbing.

    ReplyDelete
    Replies
    1. Absolutely, extremist wouldn't stop disturbing to moderate people but they will destroy them all.That's the saddest thing.

      Delete
  2. සිංහල බෞද්ධ රටක්ය කියන හැම වෙලාවකම අනියමින් ඊළාම් වාදයට ආවඩන බව මේ මෝඩයො දන්නෙ නෑ.
    ඔය ඇමතිවරය ඉතාම බුද්ධිමත් තර්කානුකූල පුද්ගලයෙක්. ඔහු හා සාකච්ඡාවකට දවසක් අපි ගියා. ඔහුට ඉක්මනින් යමක් තේරුම් ගන්නත් ප්‍රායෝගික විසදුම් වලට යන්නත් හැකියාව ඇති දක්ෂයෙක් බව අපට තේරුම් ගියා.
    අපි කැමති වුනත් නැතත් ලංකාව බහුජාතික බහුවාර්ගික රටක්. 25% ක් ම මවුබස ලෙස දෙමළ කතා කරනවානම් තවමොනවද
    මම හැම ආකාරයකම ස්වෝත්තමවාදයකටම විරුද්ධයි.
    බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීමටත් එක්ක.

    සිංහල බෞද්ධ කියන වචනය එක්ක තියෙන්නෙ ඔබ වැනි අය නිතර මතුකරන විදියෙ අධිපතිවාදයක් නම් නෙමෙයි මාකස්. ඔතන තියෙන්නෙ බයක් සහ හීනමානයක්. ලංකාව තුල අනෙක් අය සුළු ජනකොටස් වුනත් ලෝකයත් එක්ක ගත්තම ඒ අය ඉතා දැවැන්තයන් බව ඔවුන් දන්නව. අපූරු පැහැදිලිකිරීමක් කලා පැරා. තමිල්නාඩුවත් එක්ක වෘත්තයක් ඇන්දොත් සිංහලයන් සුළුතරය . අරාබියත් එක්ක ලොකු රවුමක් ඇන්දොත් මහජාතිය මුස්ලිම් දෙවන සුළුජාතිය දෙමළ ,සුළුතරයෙත් සුළුතරය සිංහල.

    .
    නමුත් සිංහල බෞද්ධ කතාව බලවත් රටවල ස්වෝත්තමවාදයන් එක්ක සසදනවා. ඒක වැරදියි මෙතන තියෙන්නෙ ආත්මාරක්ෂාවක්. බයවෙන්න දෙයක් නැති බවත් මේ කරන දේවල් ප්‍රායෝගික නැති බවත් සිංහලයන් අවබෝධ කරගත යුතුයි. සුළුතර ජනකොටස් වලටත් චෝදනා තියනවා. ඔවුන් විදේශීය සංස්කෘති වල මෙරට ඒජන්තයන් ලෙස හැසිරෙන්න ගියාමත් අවුල්. දෙමල ජනයා තම ප්‍රධාන භූමිය ඉන්දියාව ලෙසත් මුස්ලිම්වරු තම ප්‍රධාන භූමිය ලෙස අරාබියත් සලකනවා. ඔවුන් ඒ රටවල ගනන් ගන්නෙ නැති එක වෙනම කතාවක්. ඒ වැඩ නිසාත් සිංහල බෞද්ධ ව්‍යාපාරවලට ශක්තිය ලැබෙනවා.
    අපි කල යුත්තෙ ජාතික ආගමික ලෙස කොටුවීම් හැකිතාක් අවම කිරීමයි සිංගප්පූරුවෙ වගෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, මනෝ ගනේෂන් ඔය හාමුදුරුවෝ එක්ක හොද සංයමයකින් සහ බුද්ධිමත්ව ඒ අවස්ථාවේදී කටයුතු කලා. සිංහල-බෞද්ධ කියන එකත් එක්ක තියෙන්නේ හීනමානයක් කියන දෙයට වඩා තියෙන්නේ ජාතිකත්වය පිළිබද ගැටළුවක්. ඒ කියන්නේ ශ්‍රී ලාංකික ජාතිකත්වයක් තුල නොලැබෙන ජාතිකත්වයක් වගේම ආරක්ෂාවක් සිංහල-බෞද්ධ වාර්ගිකත්වය තුල ඔවුන්ට ලැබෙන බවක් ඔවුන්ට ඒත්තුගන්වන්න උත්සහකරනවා. අනෙක් අතට එම උත්සාහය නිසාම සුළු ජාතීන් අතර හීතියක් මවනවා.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. රටවැසියා මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න අමතක කිරිමේ පහසුම මග අවධානය වෙනතකට යොමු කිරීමයි. දිනු දැය අනතුරේ කිව්වහම කළබල නොවුන පාර තව කට්ටියක් රට අල්ලන්න එනවා කියන එක තමයි ඒකට හොඳම ක්‍රමේ සාදු ඒක නියෙමටෙ කරනවා

    ReplyDelete
    Replies
    1. සාදු ඒක නියමෙට නෙමෙයි නාගෙන/ අනාගෙන කරනවා.

      Delete
  5. ලංකාව ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.

    ReplyDelete
    Replies
    1. නැහැ, ජගත් එහේම ආගමීක හෝ වාර්ගීක රාජ්‍යයක් නොවිය යුතුයැයි කියන ඒක තමයි මගේ අදහස.

      Delete