This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday, 8 May 2017

භක්තිය සහ අවබෝධය අතර ඇදහිල්ල: සමන්ත බද්‍ර, නලින් ද සිල්වා සහ කාදිනල් මැල්කම් ඇසුරින්

පසුගිය සතියේදී  සමන්ත බද්‍ර හිමියන් අදහස් දැක්වූ මාධ්‍ය සාකච්ඡාවක් ඇසීමටද, මැල්කම් රංජිත් කාදිනල්තුමා 'According to Mathew' චිත්‍රපටිය තහනම් කිරීමට ඉල්ලුවේ යැයි කියන මූලාශ්‍රයක් නොතිබි ව්‍යාජය පුවතක් පිළිබද ව අදහස් හුවමාරු කරගැනීමටද, නලින් ද සිල්වා ඇදුරුතුමා කලකට පෙර ලියූ 'නිවනේ අවබෝධය සහ දෙවියන්ගේ පැවැත්ම' නම් ලිපිය කියවීමට ද ලැබුණි. 

සමන්ත බද්‍ර හිමියන් සිය සාකච්ඡාවේදී මෙන්ම නලින් ද සිල්වා මහතාගේ ගේ උක්ත ලිපියේද දක්වා තිබුනේ 'නිවන' යන්න දැනුමක් නොවන බවය. දැනුම යනු තාර්කික අදහස් මත ගොඩනගන ප්‍රවාදයන්, සංකල්පයන්,  කරුණු සහ දත්ත  යනාදිය ඔස්සේ මිනිසා තමා වටා ඇති ලෝකය  පිලිබදව සිය මනසේ ඇති කරන්නා අවබෝධය ය. එහෙත් 'නිවන' යන්න ඉහත ආකාරයට දැනුමට ගොනුකරගත නොහැක්කක් බව සමන්ත බද්‍ර හිමියන්ගේ මෙන්ම නලීන් ද සිල්වා මහතාගේ ද අදහසයි. සමන්ත බද්‍ර හිමියන්ට අනුව නම් 'නිවන' යන්න සංස්කෘතිකමය සහ භාෂාත්මක පරිකල්පනයන්ගේ ගොඩනැංවීම් වලට පිටස්තරව/පරිබාහිරව පවතින්නකි. නලින්ද සිල්වා මහතාගේ ඉහතින් සදහන් කල ලිපියට අනුව නම් බුදුන් වහන්සේගේ 'නිවන' පමණක් නොව යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වල එන 'දෙවියන් වහන්සේද' දැනුම නොවේ. එනම් 'දෙවියන් වහන්සේව'ද දැනුමට ගෝචර කරගත නොහැක්කකි. තාර්කික අදහස් මත ගොඩනගන ප්‍රවාදයන්, සංකල්පයන්, කරුණු සහ දත්ත ආදිය මගින් මිනිස්  මනසේ ගොඩනගා ගන්නා  දැනුම මගින් 'නිවන' මෙන්ම 'දෙවියන් වහන්සේව'ද අවබෝධ කරගත නොහැකි බව ඉන් කියවේ

එහෙත් 'නිවන' මෙන්ම 'දෙවියන් වහන්සේ' ද  දැනුමක් නොවන  බව අවබෝධ කරගැනීම ම දැනුමක් නොවේද? එනම් 'නිවන' මෙන්ම 'දෙවියන් වහන්සේ' ද ප්‍රවාද/සංකල්ප/කරුණු සහ දත්ත ආදිය මගින් අවබෝධකර ගත නොහැකියි අර්ථ දැක්වීමද 'නිවන' සහ 'දෙවියන්ව වහන්සේ' යන්න තවත් ආකාරයක සංකල්ප ගත කිරීමක් නොවේද? නැතහොත් 'නිවන' සහ 'දෙවියන්ව වහන්සේ' ගැන ප්‍රවාදයක් ගොඩ නැගීමක් නොවේද? 

උදාහරණයක් ලෙස පහතින් දැක්වෙන නලීන් ද සිල්වාගේ ඉහත ලිපියේන් උපුටාගත් කොටස දෙස බලන්න:

"මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේ ගේ ස්වරූපයෙන් යැයි පරණ තෙස්තමේන්තුවේ සඳහන් වුව ද දෙවියන් වහන්සේට මිනිසෙකුගේ භෞතික ස්වරූපය ඇතැයි ඉන් නොකියැවෙයි. මේ දෙවියන් වහන්සේ පිළිබඳ චිත්ත රූපයක් හෝ මවාගත නොහැකිය. යුදෙව් ආගමේ මෙන්ම ඉස්ලාම් ආගමේ ද විවිධ ක්‍රිස්තියානි ආගම් වලද දෙවියන් වහන්සේගේ පිළිම ඇඹීම හෝ රූප චිත්‍රගත කිරීමක් හෝ නොකෙරෙයි. මෙයින් අදහස් වන්නේ දෙවියන් වහන්සේ මනසින් සිතා ගත නොහැකි ය යන්න ය. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙවියන් වහන්සේ මනසට ගෝචර නොවෙයි. පරණ තෙස්තමේන්තුවේ උප්පත්ති කතාවෙහි සඳහන් අන්දමට ආදම් සහ ඒව මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ ඔවුන්ට තහනම් ගසක ගෙඩි කෑම තහනම් කළහ. පසුව සර්පයාගේ මෙහෙයවීමෙන් ඒව ද ඒව ගේ කැමැත්තට ඉඩදී ආදම් ද තහනම් ගසේ ගෙඩි කෑහ. මෙය පවෙහි ආරම්භය ලෙස පරණ තෙස්තමේන්තුවෙහි ඉගැන් වෙයි. මේ පව කුමක්ද? තහනම් ගහේ කතාවෙහි යම් යම් පරස්පර ඇතැයි කිසිවකු කිව ද මෙහි හරය වශයෙන් කියැවෙන්නෙ තහනම් ගහේ ගෙඩි කෑමෙන් පසුව ආදම් සහ ඒවට මානසික ලෝකය විවෘත වූ බවය. ඔවුන් තමන් නග්න ව සිටි බව දැන ගත්තේ ඉන් පසුව ය. ඔවුන්ට ලැජ්ජාව නම් හැඟීම ඇතිවන්නේ ඉන් පසුව ය. මා තේරුම් ගන්නා ආකාරයට එතෙක් නිර්මානසික ලෝකය පමණක් දැන සිටි ආදම් හා ඒව තහනම් ගහේ ගෙඩි කෑමෙන් පසුව මානසික ලෝකය, එනම් දැනුම, නිර්මාණය කිරීමට පටන් ගත්හ. මානසික ලෝකය නිර්මාණය වන්නේ නිර්මානසික ලෝකයෙනි. ඒ නිර්මානසික ලෝකය දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේ සමග පරාදීසයේ සිටි ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කා පව්. එනම් දැනුම, රැස්කර ගත්හ."

'දෙවියන් වහන්සේ' සහ පාපය පිළිබදව ඔහු ඉදිරිපත්කරන ඉහත භාෂාත්මක ගොඩ නැන්වීම් 'ප්‍රවාදය' කින් වෙනස් නොවන්නේ නැත. සංකල්ප ගත කිරීමකින් වෙනස්වන්නේ නැත. 

එම උත්සහය ඇතැම්විට 'සීමිතකම් සහිත භාෂාව තුලින් 'අවබෝධය' අවබෝධකර දීමට යෑම තුල ඇතිවෙන අර්බුධයක් යැයි  කිසිවෙකුට නම් කල හැක. එවැනි අර්ථ දැක්වීම් Jacques Derrida ගේ "il n'y a pas de hors-texte" ("there is no outside-text"(Of Grammatology) (1967) අදහස තුල මෙන්ම ඔහුගේ විවේචයෙක් වන John Searle ගේ "Derrida, as far as I can tell, does not have an argument. He simply declares that there is nothing outside of texts" (The Construction of Social Reality) (1995) යන අදහස තුලින් ද එකම ආකාරයට හෝ දෙආකාරයකට අර්ථ දැක්විය හැක.

අනෙක් අතට නලින් ද සිල්වා මහතා 'නිවන' / 'දෙවියන් වහන්සේ' / පාපය සහ බ්‍රාහ්මණ ආගම්වල 'මායාව' ආදිය සංකල්ප ගතකිරීම සදහා භාවිතයට ගන්නේ 'සියළු ගංගා ඇදව ගලයි, කළු ද ගගකි, එහින් කළු ද ඇදව ගලයි' වැනි සරල ඇරිස්ටෝටලියානු තර්කයම (Aristotelian logic) නොවේදැයි ඔහුගෙන් බොහෝ රචනා ඔස්සේ ප්‍රශ්නකල හැක. පහත දැක්වෙන ඔහුගේ ඉහත සදහන් කල ලේඛනයේ ඇති ප්‍රකාශය පරික්ෂාකර බලන්න:

''බ්‍රාහ්මණ ආගම්වල මායාව නිසා බ්‍රාහ්මන්ගෙන් වෙන් වූ දැනුමක් ලබා සංසාරයේ සැරිසැරීම සහ ආදම් සහ ඒව තහනම් ගහේ ගෙඩි කා දැනුම ලබා ගැනීම හෙවත් පව් කිරීම අතර ඇත්තේ සමීප සම්බන්ධයකි."

මෙවැනි ආකාර ඇරිස්ටෝටලියානූ සරල තර්කනය මත පදනම්වූ රූපික ප්‍රකාශනයක් පසුගිය දිනවල සමන්ත බද්‍ර හිමියන්ද සිදුකර තිබුණි. එය මේ ආකාරය:

"ජේසුට ඇණ ගසා මරාදැමුවේ  උස තොප්පි පැළද සිටි පුජකයන්ය. මැල්කම් රංජිත් කාදිනල්වරයා ද එවැනි උස  තොප්පි පලදින්නෙකි. ඒ අනුව ඔහුද ජෙසුව මරා දැමුවෙකි."

කෙසේවුවද, පෙරදිග බුදුන්ගේ ඉගැන්වීම් බටහිර/ග්‍රීක ඇරිස්ටෝටලියානූ තර්කනය මෙන් ද්වී ඇගයුම් තර්කනයක් පදනම් කරනොගත්තක් බව සමන්ත බද්‍ර හිමියන්  මෙන්ම නලින් ද සිල්වා මහතාද දනී.  කලින් සදහන් කල නලීන් ද සිල්වා මහතා ගේ ලිපියේ පහත උපුටාගැනීම බලන්න:

"ථෙරවාදී බෞද්ධයන් මේ සියල්ලෙන් වෙනස් වන්නේ නිර්මානසික ලෝකය ද යථාර්ථයක් ලෙස නොපිළිගැනීමෙන් හා ඒ තේරුම් ගත හැක්කේ මනස ඉක්ම වූ තත්වයකින් නොව අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් හා මනස ද නිර්මාණයක් බව නැති මනසින් අවබෝධ කර ගැනීමෙන් ය යනුවෙන් පිළිගැනීමෙනි. ථෙරවාදී බෞද්ධයන්ට අනුව සංස්කාර ඇති වන්නේ එනම් මානසික ලෝකය නිර්මාණය වන්නේ අවිද්‍යාව, එනම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම පිළිබඳව අවිද්‍යාව හේතුකොට ගෙනය."

මෙහිදී මනසින් ගොඩනගා ගන්නා ලෝකය පමණක් නොව ඉන් පරිබාහිරව පිහිටි (නිර්මානසික) ලෝකයද මනසින් ගොඩනගාගන්නා යථාර්තයක් ලෙස නොපිළිගැනීම සහ එය අනිත්‍ය, දුක්ඛ අනාත්ම පිළිබඳව අවිද්‍යාව හේතුකොට ගෙන ඇතිවන සංස්කාර යැයි අවබෝධකර ගැනීමද ඇරිස්ටෝටලියානු ඇත/නැත යන ද්වී ඇගයුම් තර්කනය අභිබවා ගිය බහුවිධ ඇගයුම් තර්කනයකි.  

එහෙත් බෞද්ධාගමික ඉගැන්වීම් පැහැදිලි කරදීම සදහා සමන්ත බද්‍ර හිමියන්  මෙන්ම නලින් ද සිල්වා මහතාද භාවිතා කරන 'බහුවිධ' තර්කනය, බෞද්ධාගමික ඉගැන්වීම්වලින් පරිබාහිරව පවත්නා අප එදිනෙදා ජීවත්වෙන ලෝකය පැහැදිලි කරගැනීම සදහා එම දෙපල විසින් කෙතෙක් අදාල කරගෙන තිබේද යන්න ඔවුන්ගේ බොහෝ ඉගැන්වීම් ඇසුරින් පැනනගින ගැටලුවකි. 

මගේ තේරුම්ගැනීම වන්නේ සමන්ත බද්‍ර හිමියන්  මෙන්ම නලින් ද සිල්වා මහතාද අප එදිනෙදා ජීවිතයේ මුහුණපාන තත්වයන් තේරුම්කරදීම සදහා ඇරිස්ටෝටලියානු තර්කනයේ එලබ සිටින අතර ඒ වෙනුවට විකල්ප 'යාථාව' අවබෝධ කරදෙන්නක්  ලෙස බෞද්ධාගමික 'බහුවිධ තර්කනය'  හදුන්වාදීමට උත්සහ කරන බවය. 

එහෙත්, අභිප්‍රාය කෙසේවුවද අවසාන වශයෙන් සිදුව ඇත්තේ අප එදිනෙදා ජීවිතයේ මුහුණපාන ගැටළු පමණක් නොව 'යථාවද' ඇරිස්ටෝටලියානු තර්කනයේන්ම අවබෝධ කරදීමය. එනම් ඔවුන් දෙපලම උත්සහ සිදුකර ඇත්තේ  /සිදුකරමින් ඇත්තේ දැනුම මගින්  මනසින් අවබෝධකර ගත හැකි අප එදිනෙදා ජීවත්වන ලෝකයද, දැනුමට හසු නොවන නිර්මානසික යැයි හදුන්වා දෙන ලෝකයද යන දෙකම එකම  ඇරිස්ටෝටලියානු  තර්කනය ඔස්සේ ගොඩනැගුන ප්‍රවාද /සංකල්ප ආදී දැනුම ඔස්සේ අවබෝධකර දීමට වෙරදරා තිබීමය / වෙර දැරීමය. 

එහි ප්‍රතිපලය වී ඇත්තේ:

මහානායක හිමිවරුන්, ශාසනයක්, වෙහෙර විහාර චෛත්‍ය, පිළිම ආදී කිසිවකින් තොරව, නිවැරදි ලෙස  මග පෙන්විය  භික්ෂුවකගෙන් / ගුරුවරයෙකුන් පමණක්වුවද පැවතිය හැකි ධර්මයක් ලෙස  සමන්ත බද්‍ර හිමියන් අර්ථ දක්වන (සමන්ත බද්‍ර) බෞද්ධාගමේ පවා එම ලක්ෂණ (මහා - නායක හිමියන් ලෙස ඔහුද, ඔහු යට‍තේ අනුගාමිකයන්ද, විහාරයද, පිළිමද ආදී ලෙස) සියල්ලම තිබ්බාටත් වඩා අත්‍යඅලංකාරව පැවතීම,  

                                               සහ

මනස ඉක්මවූ අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයෙන් යුතු තත්වයකින් මානසික සහ නිර්මානසික නිර්මිත ලෝකයන් යථාර්ථයක් ලෙස නොපිළිගැනීමට යෝජනා කරන නලින් ද සිල්වා ඇදුරුතුමා විසින් 'සිංහල-බෞද්ධ' නම් ජාතියක්, සංස්කෘතියක් සහ රාජ්‍යයක්  සංස්කාරණය කිරීම

ආදිය ය.

මගේ අවබෝධය අනුව එලෙස ප්‍රතිලෝම භාවිතයකට යෑමට හේතුව වී ඇත්තේ පවතින  සහ පැවති ලෝකය යනුවෙන් ආඛ්‍යාන දෙකක් සමන්ත බද්‍ර හිමියන්ට මෙන්ම  නලින් ද සිල්වා මහතාටද පැවැතීය.  සමන්ත බද්‍ර හිමියන්ට අනුව 'පවත්නා ලෝකයේ' බෞද්ධාගම වෙනත් බොහෝ දේ සමග මිශ්‍රව එහි සැබෑ හරය යටපත්වී ඇත්තේ නම්  'පැවති ලෝකයේ' එය ශුද්ධව/අමිශ්‍රව/සැබෑ හරය සුරැකිව පැවතිනි. නලින් ද සිල්වා මහතාට අනුව නම් යටත්විජිත පාලනයට පෙර පැවතියේ සිංහල බෞද්ධ සමාජයක්/ජාතියක්/සංස්කෘතියක්/ රාජ්‍යයක් නම් යටත්විජිත පාලනයෙන් පසුව ඇත්තේ එයට වඩා වෙනස් තත්වයකි. 

මේ ආකාර ආඛ්‍යාන දෙකක් හෝ කිහිපයක් ඔස්සේ තේරුම් ගැනීමට ක්‍රිස්තියානියට අවශ්‍ය නැත. ක්‍රිස්තියානියේ අරම්භයේ සිට අද දක්වාම ඔවුන්ට ඇත්තේ එක් තර්කනයකි, එක් ආඛ්‍යානයකිඒ ඇරිස්ටෝටලියානු තර්කනයමය, එය මතම පමණක් පදනම්වු එක් ආඛ්‍යානයකි. 

එනම්:
          ඇත්තේ එක දෙවිකෙනෙක් පමණි 
          ආදම්-ඒව ඇතුළු සියල්ලේම මැවුම්කරු ඔහුය
          එහෙත් ඔවුහු ඔහුට අකීකරු වී 'පව්' කලහ 
          පාපයෙන් ඔවුන් මුදාගැනීමට ඔහු සිය පුත්‍රයා එවුහ 
         ජේසුස් වහන්සේ නම් වූ ඔහුගේ පුත්‍රයා ඔහුගේම මිනිස්  ස්වභාවය ය
         පල්ලිය යනු මෙම දිවි-මිනිස් ස්වභාවයේ  ප්‍රකාශනයයි 
         දේව භය සහ භක්තිය එහි පදනමයි.

දෙවියන් වහන්සේගෙන් තොර කිසිවක් නැත යන්න මෙහි අර්ථයයි. 

'උස තොප්පි පැළදි නායක පුජකයින්ද', පල්ලියද, ඇරිස්ටෝටලියානු තර්කයද පදනම් කරගත් මෙම නිර්මිතය තුල දෙවියන්වහන්සේ මෙන්ම, ස්වර්ග රාජ්‍යද, සදාතනික ජීවිතයද, එදිනෙදා ජීවිතය ආදී සියල්ලද පවතින්නේ මෙම නිර්මිතය තුල  මිස ඉන් පිටතින් නොවේ. ඉන් පිටතින් පවතින කිසිවක් නැත. 

එනම් සියල්ල දෙවියන් වහන්සේය: අවබෝධයද, භාෂාවද, සංකල්පයද, ප්‍රවාදයද, සත්‍යයද, ලෝකයද, විශ්වයද, ජීවිතයද, විශ්වාසයද, සැකයද, ආත්මයද, මරණයද, නැවත නැගිටීමද, රාජ්‍යයද, විප්ලවයද, දුකද, සතුට, පාපයද, වේදනාවද ආදීවූ මෙකි නොකී සියල්ල දෙවියන් වහන්සේය, දෙවියන් වහන්සේ තුලය, දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුවය, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුවය. දෙවියන් වහන්සේට  පිටතින් කිසිවක් නැත. සියල්ල දෙවියන් වහන්සේය. 

ක්‍රිස්තියානිය/පල්ලිය පිහිටුවා ඇත්තේද ඒ සදහාය: එනම් සියල්ල දෙවියන් වහන්සේ බවත් ඉන් පිටතින් කිසිවක් නොමැති බවත් තහවුරු කිරීමටය. ඒ සදහා වූ කැමැත්තෙන් බැදීම නොහොත් භක්තිය අභ්‍යාස කරවීමටය. දේව භක්තියට අභියෝග කරන සියල්ලම අභිබවායෑම පල්ලියේ කාර්යභාරයයි.   

මැල්කම් රංජිත්ගේ කාදිනල්තුමා 'According to Mathew' චිත්‍රපටිය තහනම් කිරීමට ඉල්ලනේද? නොයිල්ලන්නේද ? යන්න තීරණය වන්නේද එඅනුවය. එනම් එය භක්තියට කරන අභියෝගයේ තරම අනුවය. ඒ අනුව ඇදහිල්ල භක්තියට අනුලෝමව යෙදේ.

කාදිනල්  මැල්කම් රංජිත්ගේ ක්‍රියාකාරීත්වය එලෙස ද්වී-ඇගයුම් අර්ථයකින්  තේරුම් ගැනීමද ඇරිස්ටෝටලියානු තර්කනයම මිස වෙන කිසිවක් නොවේ.  එනම් ක්‍රිස්තියානි භක්තිය මෙන්ම අභ්‍යාසයද ඒකායන අර්ථයක් ගනී.

එහෙත් කාදිනල්  මැල්කම් රංජිත්ගේ පදනම වන 'භක්තිය' සහ සමන්ත බද්‍ර හිමියන්ට මෙන්ම  නලින් ද සිල්වා මහතාගේ පදනම වන 'අවබෝධය' යන දෙකොටසටම පොදුවන ඇදහිල්ල 'භක්තියට' අදාලව අනුලොවමවත්, 'අවබෝධය' ට අදාලව ප්‍රතිලෝමවත් යෙදීම 'විනෝදයක්' ද?

මාකස් ප්‍රියන්ත පෙරේරා 
09/05/17.

3 comments:

  1. “Extraordinary claims require extraordinary evidence.”
    ― Carl Sagan

    ReplyDelete
  2. නලීන් තුමාගේ ලිපිය එච්චර දිරෙව්වේ නෑ. ඔයාගේ විවේචනේ ඒ තරම්වත් දිරෙව්වේ නෑ.
    නමුත් සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ මතයට එකඟ වෙන්න බෑ. ඒ ගැන මගේ මතය මේකයි, මේ වෙනතැනක දාපු කොමෙන්ටුවක්.
    ජේසුස් වහන්සේ යුදෙව් සමාජයේ ඇති සම්ප්‍රදායයන් අනවශ්‍ය පරිදි විවේචනය කලා.
    මේ නිසා යුදෙව් සමාජය අවුල් වෙලා ඔවුන්ගේ ජාතිකත්වය බිඳවැටෙන තත්වයක් ඇතිවුනා.
    යුදෙව් ජ්‍යේෂ්ඨයන් මෙම තත්වය දැකලා තවත් බලාසිටින්නට නොහැකි තැන ජේසුස් වහන්සේට බොරු චෝදනාවක් නගා ඔහුව මරා දැමීමට කටයුතු කලා.
    ඔවුන්ට වෙන කරන්න දෙයක් තිබුනෙත් නෑ. මන්ද ඒ වනවිට යුදෙව් රජු පවා යුදෙව් ජාතිය පාවාදී තිබුනා.
    රෝමානු ආණ්ඩුකාරයා ජේසු මරන්න කැමතිවුනේ නෑ. මන්ද ජේසු වගේ අය යුදෙව් සමාජය තුල සිටීම යුදෙව් ජාතිය පාලනය කිරීමට පහසුවක්.
    එවිට යුදෙව් පූජකවරු අපූරු ප්‍රකාශයක් කලා.
    "ඔහුගේ ලේ අප මතට වේවා"
    එහි අරුත ජේසු මරා දැමීම පාපයක් නම් තම ජාතිය වෙනුවෙන් ඒ පාපය කර තමුන් අපාගතවීමට සූදානම් බවයි.
    එම යුදෙව් පූජකවරු ජාතික වීරයන් පිරිසක්.

    දැන් බුද්ධාගම දෙසට හැරුනොත්.
    බුදුදහමට අනුව යුද්ධ කරනවිට අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා.
    එසේනම් සිංහල ජාතිය වෙනුවෙන් සටන්කරන සිංහල බෞද්ධ රණවිරුවන් යනු ඉහත පූජකයන් මෙන්ම විශාල කැපකිරීමක් කරන ශ්‍රේෂ්ඨයන් පිරිසක්.

    ReplyDelete