This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 17 May 2017

මරිය බැතිය, පාතිමා පණිවිඩ සහ කතෝලික සභාව

දින කිහිපයකට පෙර, එනම් 2017 මැයි 12 සහ 13, ප්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ පාතිමා (Fatima) නුවරට පැමිණ ලක්ෂ 05කට වඩා වැඩි ජනකායක් ඉදිරියේදී  කුඩා එඩේර ළමුන් දෙදෙනෙකු කතෝලික සභාවේ ඉහලම 'වරම' වන 'ශුද්ධවරයට' ඔසවා තබන ලදී. මෙලෙස  පාප්තුමා විසින් ශුද්ධවරයට ඔසවනූ ලැබුවේ 1917 මැයි 13වෙනි දින  පෘතුගාලයේ අගනුවර සිට වැඩි ඈතකින් නොපිහිටි කුඩා ගම්මානයක් වූ පාතිමා හීදී 'දේවමාතාවන් දර්ශනය' (Marian apparitions) වුයේ යැයි වාර්තාකල දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු වූ ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ මර්ටෝය(Jacinta  and Francisco Marto). කෙටි කාලයක් පමණක් ජීවත්වූ එම දරුවන් දෙදෙනා පාතිමා දේවමාතා දර්ශනය සිදුවී වසර 2-3ක් ඇතුලත මිය ගියහ. 1919 දී ෆ්‍රැන්සිස්කෝ මියයන විට ඔහුට වයස  අවුරුදු 10යකි, 1920දී ජසින්තා මියයන විට ඇයට වයස අවුරුදු 09යකි. ‘පාතිමා දේවමාතා දර්ශනය’  සහ  එම දර්ශනය ඔස්සේ ලබාදුන් පණිවිඩය ප්‍රකාශ කල ඉහතකී ළමුන් තිදෙනාගෙන් වැඩි මහල්ලාවූ, ලුසියා සන්ටෝස් (Lúcia Santos) පසුව පැවිදි දිවියට ඇතුළත්වූ අතර ඇය අවුරුදු 98 ක් ජීවත්වී 2005 දී මිය ගියේය.

ප්‍රැන්සිස් පාප්තුමා පෘතුගාලයේ පාතිමා නුවරදී ශුද්ධවරයට උසවා තැබුවේ කතෝලික පල්ලිය විසින් මෙතෙක් ශුද්ධවරයට ඔසවා   තැබූ බාලම තැනැත්තන් දෙදෙනාවීමට ඉඩ ඇත. එහෙත් සියවසක් (1917-2017) සැමරූ පාතිමා 'දේවමාතා දර්ශනය' කතෝලික සභාවට වඩා වැදගත් වනුයේ කුඩා දරුවන් දෙදෙනෙක් ශාන්තුවරයට එසවීමටත් වඩා එම දර්ශනය තුලින් ලබාදුන් පණිවිඩය ඔස්සේ කතෝලික සභාව කාලාන්තරයක් තිස්සේ දැඩි විශ්වාසයකින් සහ භක්තියකින් ගොඩනැගූ මරිය බැතිය (Mariology) සහ තවත් දේව ධර්මයේ (theological) ඉගැන්වීම් කිහිපයක් සාක්ෂාත්කල අවස්ථාවක්වීමත්, ඒ මගින් කතෝලික ඇදහිල්ල තව තවත් ශක්තිමත්වීමත් නිසාය. 

අනෙක් අතට, 'පාතිමා දේවමාතා දර්ශනය' පෘතුගාලයට වඩා වැදගත්වුයේ ප්‍රංශයේ 'ලුර්දු දේවමාතා දර්ශනයෙන්' (1858) පසු කුඩා ගමක්වූ ලූර්දු (Lourdes) නුවර ක්‍රිස්තියානි ජනයා දස ලක්ෂ ගණනින් (මිලියන ගණනින්) පැමිණෙන විශාල සිද්ධස්ථානයක් බවට පත්වූවාක් මෙන් පාතිමා නම් කුඩා ගම්මානයද ක්‍රිස්තියානි ජනයාගේ ප්‍රධාන වන්දනා ස්ථානයක් බවට පත්වීම නිසාම නොවේ. එය එරට පැවති සමාජ-දේශපාලන ව්‍යාකූලතාවයන් නිසා ජනයා අතරින් දියවෙමින් පැවති කතෝලික විශ්වාසය නැවත ශක්තිමත් කිරීමට හේතුවූ නිසාද බව පෙනේ. විශේෂයෙන්ම ආර්ථික අවරෝධනය ක්‍රමයෙන් උග්‍ර අතට පත්කරමින් පෘතුගාලයට උදාවූ 1900 වෙනි සියවස වසර දහයක් ගෙවීයෑමට මත්තෙන් දේශපාලන විප්ලවයක් බවට පත්කරමින් 1910 'ඔක්තෝබර් 05' විප්ලවය මගින් එරට රජ පවුල බලයෙන් පහකර පෘතුගාලය ජනරජක් බවට පත්කළේය. ඒ සමග උදාවු කාලය දේශපාලන මති මතාන්දර අනුව බෙදී එකිනෙකා මරාගන්නා භීෂණ සමයක් පෘතුගාලය තුල නිර්මාණය කළේය. මෙම කාලය තුල සමාජ සදාරණත්වය සහ සාමය වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත්වූ කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් 2000කට වඩා මරා දමන ලදී. ගිනිතබා විනාශකල සහ බලහත්කාරයෙන් වසාදමන ලද කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන සහ සිද්ධස්ථාන සංබ්‍යාව 67කි. පළමු ලෝක යුද්ධය (1914-18) ආරම්භවීමත් සමග මෙම දේශපාලන අර්බුධය තව තවත් දරුණු අතට පත්විය. එහිදී පෘතුගාලය මිත්‍රපාක්ෂිකයන්ගේ පැත්ත ගන්නා ලදී. එමගින්  අප්‍රිකානු මහාද්වීපයේ ඒවන විටත් ඉතිරිවී තිබු සිය යටත්විජිත කිහිපයත්, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තිබු වෙළද සම්බන්දතාත් ආරක්ෂා කරගැනීම අරමුණු කරගත්තද එම තීරණය ක්‍රිස්තියානි විරෝධී, පැසිස්ට් සහ කොමියුනිස්ට්වාදීන් විසින් දියත්කර තිබූ භීෂණ රැල්ල තවදුරටත් තීවූර කරන ලදී. පළමු ලෝක යුද්ධය නිසා උද්ගතවූ සාගතයත්, ඒ සමයේම පැතිර ගිය 'ස්පාඤ්ඤ උණ' (Spanish flu) වසංගතයත්, අභ්‍යන්තර දේශපාලන ගැටුම් ආදියත් නිසා පෘතුගාලය තුල 1910 සිට 1919 දක්වා කාලයේදී පුද්ගලයන් 220,000 ක් මියගිය බව වාර්තාවේ. 
පාතිමා නුවර දී ලුසී, ජසින්තා සහ ෆ්‍රැන්සිස්කෝ යන කුඩා එඩේර දරුවන් තිදෙනාට 1917 මැයි 13 දින 'දේවමාතාවන්  දර්ශනය' වී පණිවිඩයක් දුන්නේ යැයි වාර්තාවන්නේ පෘතුගාලයේ පැවති ඉහත දැක්වූ වාතාවරණය තුලය. එහෙත් මුලින්ම මේ දරුවන්ගේ දෙමාපියන් හෝ වෙනත් කිසිවකු හෝ මෙම දර්ශනය පිළිබද පුවත පිළිගැනීමට අකමැතිවන ලදී. දරුවන් තිදෙනාද තමන්ට ලැබුණු පණිවිඩය කුමක්දැයි හෙළිකිරීමටද කැමැතිවී නැත. ඒ වෙනුවට සෑම මසකම 13 වෙනි දින අදාල දර්ශනය සිදුවූ ස්ථානයට නොකඩවා පැමිණ ඉදිරි මාස 06යේදීත් යාච්ඤා කරන ලෙස දේව මෑනියන් ඔවුන්ට දැන්වූ බවත් අවසානයේ ප්‍රාතිහාර්යක් පාන බවට පොරොන්දුවූ බව පමණක් ප්‍රකාශකරන ලදී. 

ඉන් අනතුරුව යෙදුන මාස 06 තුල දරුවන් තිදෙනා සෑම මසකම 13දා අදාල ස්ථානයට ගොස් 'දේව මෑණියන්ට' යාච්ඤා ගියහ. ඔවුන් පසු පස මෙම පුවත ගැන ඇසු ජනයාද ඇදුනි. මෙය තවත් මහජන පෙරලියක පෙළගැස්මක් විය හැකියැයි සැකකල පාලකයින් වරක් මෙම දරුවන් තිදෙනාව අත්අඩංගුවේද රදවා තබන ලදී. එහෙත් ඔවුහු  සෑම මසකම මෙම දර්ශනය සිදුවූ ස්ථානයට පැමිණ යාච්ඤා කලහ. හයමසක් පිරුණු 1917 ඔක්තෝම්බර් 13 දින මහා වර්ෂාව  පවා නොතකමින් 70,000 කට අධික පිරිසක් මෙම  ස්ථානයට පැමිණියේ පොරොන්දුවූ පරිදි ප්‍රාතිහාර්ය නැරබීමටය. සිරිත් පරිදි දරුවන් තිදෙනා පැමිණ මහා වැසි නොතකමින් යාච්ඤා  කරමින් සහ රැස්ව සිටි ජනයාට නොපෙනුන කෙනෙක් සමග කථා කරමින් සිට ඇත. මිනිස්සුන් තමන්ට පොරොන්දුවූ පරිදි තවත් තමන්ගේ කාලය නාස්ති නොකර  ප්‍රාතිහාර්ය පාන මෙන් ඉල්ලා කෑගසමින් සිටියහ. 

ඉන් අනතුරුව සිදුවූ දෙය පිලිබදව පෘතුගාලයේ ලිස්බන් නුවර  පලකරන ක්‍රිස්තියානි විරෝධී/ රැඩිකල් පුවත්පතක්වූ 'O Seculo' (29/10/1913) පවා වාර්තාකර තිබුනේ පාතිමා හීදී  ප්‍රාතිහාර්යක් සිදුවූ බවය. “Miracle of the Sun,” සහ “the day the sun danced” නමින් පළවූ ලිපිවලින් දක්වා තිබු එම විස්තරය රැස්ව සිටි ජනයාගේන් ලබාගත් තොරතුරු ඇසුරින් සකස්වී තිබුණි. එම ලිපිවල දක්වා තිබු ආකාරයට සිද්ධිය මෙසේය:

"දවස තිස්සෙම ඇද හැලුන ධාරණීපාත වර්ෂාව එක වරම නතර විය. තෙත බරිත  ඇදුම් පමණක් නොව වැස්ස නිසා එතෙක් මඩ ගොහුරක්ව තිබු භූමියද එකවරම වියලී ගියහ. අහස ඉතා පැහැලිවූ අතර සූර්යා යම් කිසි වලාවකින් වැසී යනවා සේ පෙනුනි. එක්වරම සුර්යාගේ ප්‍රභාව වැඩිවී උඩට, පහලට, පැත්තෙන්-පැත්තට පැද්දෙමින් නටන්නට පටන් ගත් අතර හාත්පස විවිධ පැහැයන් ප්‍රදර්ශනය වන්නට විය. විනාඩි කිහිපයක් පැවති මේ දසුන අවසානයේ  සූර්යා කැරකී කැරකී පොලොව මතට කඩාවැටීමට මෙන් ඇදී ආහ. ජනයා භීතියට පත්ව කෑමොර දුන්හ. එහෙත් මොහොතකින් සියල්ල අවසන්විය... ඒ සමග කිහිලිකරුවකින් පැමිණි තරුණයෙක් දෙපයින්  ඇවිදීමට පටන්ගත්හ. පෙනීම අහිමී සිටි ස්ත්‍රියක් පෙනීම හිමිවූ බව දක්වමින් කෑ ගසන්නට වුහ."  පාතිමා හී සිදුවූ මෙම සිදුවීම පෘතුගාලයේ පමණක් නොව ලෝකයේ වෙනත් රටවල පුවත්පත්ද වාර්තාකර තිබේ.


මේ සිද්ධිය ගැන පසුව එකතුකිරීමක් කල ‘පාතිමා දේවමාතා දර්ශනය’ වාර්තාකල ළමුන් තිදෙනාගෙන් වැඩි මහල්ලාවූඅවුරුදු 98 ක් ජීවත්වී 2005 දී මිය ගිය,  ලුසියා සන්ටෝස් (Lúcia Santos) කන්‍යා සොයුරිය දැක්වුයේ 'දේව මාතාවන් දෙවියන් වහන්සේගේ ගේ ප්‍රභාව සූර්යා මත පතිත කල බවත් එවිට සූර්යා ඉහත ආකාරයට හැසුරුණු බවත්ය.' ඒ ඔස්සේ 'දෙවියන්ගේ ප්‍රභාව සුර්යාගේ ප්‍රභාවට වඩා අති ප්‍රභාවත්' බවක් සහ 'සූර්යා පවා ප්‍රභාවත් වන්නේ දෙවියන්ගෙන්' යැයි යන්න කියවෙන බවක් පෙනේ.  එය එක්තරා ආකාරයකට බයිබලයේ මැවිල්ලේ කථාවේ එන එක්  විස්තරයක් ඇසුරින් පැන නගින 'දෙවියන් වහන්සේ පළමු දිනයේදී නොව 04 වෙනි දිනයේදී සූර්යා මැව්වේ ඇයි?' යන්නට උත්තර සැපයීමකි. එනම් සූර්යාට වඩා ශක්තියක්/ප්‍රභවක්/බලයක් දෙවියන්ට ඇතැයි යන්න සහ 'දෙවියන්ගෙන් තොරව සූර්යා පවා නොමැත' යන්න හෙවත් 'සියල්ල දෙවියන්ය', ඉන් පිටත කිසිවක් නැත යන 'ක්‍රිස්තියානි-ඇරිස්ටෝටලියානු' තර්කය ඉස්මතු කිරීමකි.   


කරුණු කෙසේවුවද, අදාල ප්‍රාතිහාර්ය  (“Miracle of the Sun”/ “the day the sun danced”) සම්බන්දයෙන් ආගමික නොවන අර්ථ නිරූපනයන්ද තිබෙන බව දැක්විය යුතුය. විශේෂයෙන්ම එය ස්වභාවධර්මය තුල ක්ෂණිකව ඇතිවෙන වෙනස්වීම් මහජනයා වැරදි ලෙස භක්තිය තුල නිලංකාරවීමකින් අවබෝධකරගැනීම හෙවත් 'mass illusion' ලෙස දක්වන පිරිස්ද සිටින බව අමතක නොකළ යුතුය. එහෙත් මෙම පාතිමා ප්‍රාතිහාර්ය ගැන CNA (Catholic News Agency) ප්‍රවෘත්ති සේවයට අදහස් දැක්වූ 'දේවධර්මය පිලිබදව ආචාර්යවරයෙක් (theologian) මෙන්ම පාතිමා සිද්ධස්ථාන කෞතුකාගාරයේ (Fatima shrine museums) පාලකයාවන Dr. Marco Daniel Duarte දක්වා තිබුනේ මෙම පාතිමා ප්‍රාතිහාර්ය තුලින් පෘතුගාල ජනයාටත් සමස්ථ ලෝකයටත් පෙන්වා දුන්නේ එවකට ක්‍රිස්තියානි විරෝධී මතවාදීන් විසින් නිතර ජපකළ නීට්ෂේ ගේ (Friedrich Nietzsche) ගේ 'The Gay Science' (1882) කෘතියෙන් උපුටාගත් "දෙවියන් මියගොසින්"
 (God is dead) ය යන්න තවදුරටත් වලංගු නොවන බවත් ඒ වෙනුවට "දෙවියන් තවමත් ජීවමානය, මිනිසා එකිනෙකා සමග යුද්ධවදිමින් පසුවුවද දෙවියන් තවදුරටත් මිනිසා වෙනුවෙන් මැදිහත්වේ" (“God is alive and still attentive to humanity, even though humanity is waging war with one another”) වන බවට සාක්ෂියක් සපයන බවය.  
ඉන් පෙනීයනුවේ, කතෝලික ආගම කෙරෙහිවූ විශ්වාසය සහ භක්තිය පෘතුගාලය තුල පමණක් නොව සමස්ථ කතෝලික සභාව තුලද නැවත නැවත තහවුරු කිරීමේ අවස්ථාවක් ලෙසද පාතිමා 'දේවමාතා දර්ශනයකතෝලික සභාවට වැදගත්වන බවය. විශේෂයෙන්ම කතෝලික සභාව කාලාන්තරයක් තිස්සේ දැඩි විශ්වාසයකින් සහ භක්තියකින් ගොඩනැගූ 'මරිය බැතිය' (Mariology) සහ දේව ධර්මයේ (theological) ඉගැන්වීම් කිහිපයක් සාක්ෂාත් කිරීමේ අවස්ථාවක් ලෙසද පාතිමා 'දේවමාතා දර්ශනය'  සලකනු ලැබේ. 

මරිය බැතිය (Mariology) හෙවත් ක්‍රිස්තුස් වහන්සේගේ මව වන මරියතුමියට ඇති විශේෂ-භක්තිය (Veneration of Mary) කතෝලික සභාව තුල ක්‍රමයෙන් 'ස්ථාපිතවූ ආගමික ඉගැන්වීමකි' (methodically presents teachings). මරියතුමිය කෙරෙහිවූ විශේෂ-භක්තිය (Veneration of Mary) ගොඩනැගෙනනුයේ ජේසුස් වහන්සේ දේව පුත්‍රයාය (son of God /Christology) යන ඉගැන්වීම්වලට සමාන්තරවය. එනම් මරියතුමී දේව අම්මාය, දේව මෑණියන්ය (Mother of God) යන ආගමික ඉගැන්වීම බයිබලයේ ඉගැන්වීම් සහ සභා සම්ප්‍රදාය ඇසුරින් පැන නැගී විකාශනයවුවකි. ක්‍රිස්තු වර්ෂ 300-400 අතර කාලයේදී (එනම් ක්‍රිස්තුස් වහන්සේ මරාදමා වසර තුන්සිය ගණනකට පමණ පසු) කතෝලික සභාව තුල පෙරට පැමිණි මෙම මරියතුමී දේව අම්මාය/ දේව මෑණියන්ය යන (Mother of God) ආගමික ඉගැන්වීම ක්‍රි.ව. 431 'Council of Ephesus' රදගුරු සමුළුවේදී සභා සම්මත කරගත් නිල කතෝලික ඉගැන්වීමක් බවට පත්විය. 

මින් අදහස් වන්නේ  ක්‍රි.ව. 431 පෙර මරියතුමියට විශේෂ භක්තියක්, ආදරයක්  කිතුනුවන් අතර නොතිබි බව නොවේ. මුල්ම කිතුනු සභාවේ ක්‍රියාකාරකම් තුල පවා මරියතුමී විශේෂ කාර්යභාරයක් ඉටූකල බවත්, විශේෂ සැලකිල්ලකට ලක්වූ බවත් සදහන්වේ. එම නිසාම සභා මාතාව (mother of the church) ලෙසද, ඉන් පසුකාලයේදී (කානානි විවාහ මංගල උත්සවයේදී සිදුවූ ලෙස) 'දෙවියන් ඉදිරියේ මිනිසුන් වෙනුවෙන් මැදිහත්වෙන පිණිස   යාච්ඤාවට පාත්‍රවූ මාතාවකි ලෙසද මරියතුමිය සලකන ලදී. ඒ සම්බන්ද තොරතුරු  මුල් ක්‍රිස්තියානි සිතුවම්වලින් පවා හෙළිවේ (උදා. දෙවෙනි සියවසේ Catacomb of Priscilla (Rome) චිත්‍ර). 

කෙසේවුවද, Mother of God යන ඉගැන්වීම පැරණි ආගම්වල පැවති 'mother goddess' (උදා. රෝම - Diana / ග්‍රීක -Artemis /හින්දු - දූර්ගා) සංකල්ප අතර ඇති සමාන්තර පදනම පිළිබද විවාදයද අමතක කලයුතු නැත. එහෙත් ක්‍රි.ව. 431 Council of Ephesus රදගුරු සමුළුව මගින් කතෝලික සභාව තුල මරියතුමියට ඇති විශේෂ-භක්තිය (Veneration of Mary) වඩාත් වෙනස් පදනමකින් ගොඩනැංවූ අතර එහිදී මරියතුමිය දේව අම්මා/ දේව මෑණියන් ලෙස සලකණු ලැබුවේ ඇය දෙවියන් වහන්සේ විසින් විශේෂයෙන් තෝරාගත් ශුද්ධවූ තැනැත්තියක්ය යන්න පදනම් කරගත් බව පෙනේ. මෙම අදහස (Mother of God / Mother of the church) කිතුනු ජනයා අතර විශේෂ භක්ති-ආදරයකට ලක්ව කිතුනු ඇදහිල්ලේ මූලික අංගයක් බවටත්, කිතුනු භක්තියේ සහ කතෝලික ඉගැන්වීමේ නිරවද්‍යතාවය පිළිබද සාක්ෂියක් බවටත් පත්වෙනුවේ 'දේවමාතාවන් දර්ශනය' (Marian apparitions) වීම සහ ඇය ලබාදුන් පණිවිඩ ගැන වාර්තා ලැබීමට පටන් ගැනීමත් සමගය.  

1854 දී නමවන පියුස් පාප්තුමා (Pope Pius IX) ඉරිදිපත්කල මරියතුමිය ජන්ම පාපයෙන් (Original Sin) නිර්දෝෂව පිලිසිදගත් තැනැත්තියක්ය යන ඉගැන්වීම (Immaculate Conception) 1858 දී සිදුවූ ලූර්දු (Lourdes) 'දේවමාතා දර්ශනය' තුලදී  Bernadette Soubirousට (St. Bernadette) "I am the Immaculate Conception" ලෙස ප්‍රකාශ කිරීමත් සමග  සාක්ෂි සහිතව තහවුරු වූ බව පිළිගනී.  මේ ආකාරයට කතෝලික සභාව තුල දිනෙන් දින වර්ධනයවූ  මරිය බැතිය පාතිමා දේව මාතා දර්ශනය තුලින්ද තව තවත් තහවුරුවූ අතර 1950 දී දොළොස්වන පියුස් පාප්තුමා (Pope Pius XII) ඉදිරිපත්කල 'The Assumption of Mary into Heaven' (මරියතුමීගේ ස්වර්ගාරෝහණය) නම් ඉගැන්වීමටද එය ඉවහල්වූ බව කියවේ. 

තවද ‘පාතිමා දේවමාතා දර්ශනය’ වාර්තාකල, එම දර්ශනය දුටු වැඩිමහල් දරුවා වූ ලුසියා සන්ටෝස් (Lúcia Santos කන්‍යා සොහොයුරිය)  1920 දී ඉදිරිපත්කල  පාතිමා  දර්ශනයේදී  ඇයට ලබාදුන් පණිවිඩ ලෙස  පසුව ලොවට හෙලිකල කරුණු අනුව 'නිරාගින්න' යන්න (Hellfire නම් වූ කතෝලික ඉගැන්වීම) සත්‍යක් බවත් (දේවමාතාවන් ඇයට පළමුවෙන් පෙන්වූ දර්ශනය නිරාගින්න සහ නිරාගින්නට හෙලා ඇති මිනිස් රූපවලට සමාන රූපය), තවද කතෝලික සභාවේ චිරස්ථිතිය තීරණය වනුයේ එය සිය අභ්‍යන්තර සහ බාහිර 'ශුද්ධවත් බව' වෙනුවෙන් කෙතෙක් මැදිහත්වන්නේ ද (එය දේවමාතාව විසින් ඇයට පෙන්වූ 3 වන දර්ශනයවේ) යන්න මත බවත් දැක්වීය. දේවමාතාවන් ඇයට පෙන්වූ දෙවෙනි දර්ශනයවුයේ පළමු ලෝක යුද්ධය නිමවන බවත්, ඊටත් වඩා දරුණු ලෝක යුද්ධයක් ඉන්පසුව ඇතිවෙන බවත්, අනතුරුව සාමයක් ඇතිවෙන බවය. එහෙත් එම සාමයද තාවකාලික බව තුන්වන දර්ශනයෙන් කියවේ. කෙසේවුවද, පළමු සහ දෙවන ලෝක යුද්ධ සම්බන්ද ඇය ඉදිරිපත් කල අනාවැකිය නිවැරදිවූ බව දනිමු. ඒ අනුව තුන් වන අනාවැකිය වන 'කතෝලික සභාවේ චිරස්ථිතිය' සම්බන්ද කාරණය පිලිබදව ඔවුන් කුමනාකාරයෙන් සුදානම්වන්නේදැයි අපි තවම නොදනිමු.  කෙසේවුවද පාතිමා දර්ශනය කතෝලික සභාවේ මරිය තුමිය කෙරෙහිවූ විශේෂ භක්තිය සම්බන්දයෙන් පමණක් නොව මුළුමහත් කතෝලික සභාවේ සම්බන්දයෙන්ම මුළුමනින්ම  වැදගත්වන බව නම් නම් ඉතා පැහැදිලිය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
17/05/17.

3 comments: