This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday, 27 August 2016

තරුණයන් 5 දෙනාගේ මරණය ගැන ලංකාවේ සහ බ්‍රිතාන්‍ය මාධ්‍යයන් කිව්වේ කුමක්ද ?

බ්‍රිතාන්‍යයේ සසෙක්ස් පළාතේ Camber Sands වෙරළේ දී අනපේක්ෂිතව පැමිණි රළ පහරකට ගසාගෙන ගොස් තරුණයන් පස්දෙනෙකු ඛේදනීය ලෙස මියයෑම ගැන බ්‍රිතාන්‍යය සහ ලංකාවේ මාධ්‍ය වාර්තාකර තිබුණු අයුරු දුටුවෙමි. 

මෙම පුවත මුලින්ම වර්ථාකල බ්‍රිතාන්‍යයේ Sun පුවත්පතේ වෙබ්අඩවිය; මෙම ඛේදනීය මරණයන් සිදුවුයේ කෙසේද ? මියගිය අය කවුරුන්ද? යන්න හදුනාගැනීමට උත්සහකරන අයුරු එම පුවත තුල දැකිය හැකිවිය. අගෝස්තු 24 / 2016, 3:16 pm පලකල එම පුවත  මෙතැනින් කියවිය හැක.

පස්දෙනාගේ මරණයට හේතුව ලෙස වේගයෙන් පැමිණි රළ පහර විසින් වෙරලේ නොගැබුරු පස් තට්ටුවක් සමග තරුණයන් දෙදෙනෙකු ගසාගෙන යෑමත්, ඔවුන් බේරාගැනීමට ඉතිරි තරුණයන් 3දෙනා ඉදිරිපත්වීමත් තුල ඔවුන්ද එම ඉරණමටම ලක්වීම මගින් එම මරණ සිදුව ඇතිබව එම පුවතින් දැක්වේ. 

දෙවන කරුණ වන මියගිය අය කවුරුන්ද? යන්න විමසා බැලීමේදී ඇහින්දුටු සාක්ෂිකරුවන්ගේ නිගමනය වී තිබුනේ ඔවුන් සංක්‍රමණිකයන් විය හැකි බවයි. එම නිගමනයට හේතුව වී ඇත්තේ මියගිය තරුණයන් මුහුදු වෙරළට ගැලපෙන ඇදුමකින් සැරසී නොසිටීම බව දක්වා තිබුණි. කෙසේවුවද පොලිසිය සොයාගත් තොරතුරුවලට අනුව ඔවුන් අනවසර සංක්‍රමණිකයන් නොවන බවද, ඔවුන් ලන්ඩනයේ Greenwich ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ප්‍රජාවට අයත් තරුණයන් බව ස්ථීර කර ඇති බව දැක්වේ. 

මේ පුවත ශ්‍රී ලංකා මාධ්‍යයන් වාර්තා කිරීමේදී ඔවුන්ගේ මුලික අවධානය යොමුව තිබුනේ මෙම තරුණයන්ගේ එකී වාර්ගික අනන්‍යතාවයය. එයට හොදම උදාහරණය වන්නේ කලකට ඉහත පුවත් වාර්තා කිරීම සම්බන්දයෙන් ඉහල ගුණ්ත්වයක් ප්‍රදර්ශනය කල එහෙත් අද එවැනි මට්ටමකලා කිසිසේත්ම සැලකිය නොහැකි BBC සිංහල සේවය එම පුවත වාර්තාකර තිබු ආකාරයය. ඔවුන් එම පුවත වාර්තාකලේ 'දමිළ තරුණයන් පස් දෙනෙක් එංගලන්ත මුහුදට බිලි'  යනුවෙනි. පුවත පලකල වෙලාව ගැන සදහන් නොකලද එය 2016 අගෝස්තු 25 දින පලකල බව සදහන්වේ. එම පුවත මෙතැනින් කියවිය හැක. එහිදී ඔවුන් එම තරුණයන් පස්දෙනාගේ මරණය ලංකාවේ සිංහල පාඨකයන්ට වාර්තාකලේ එම තරුණයන්ගේ වාර්ගීක අනන්‍යතාවය ඉස්මතු කරමිනි. ඔවුන් ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ වෙසෙන්නන් යනුවෙන් මතුකරනු වෙනුවට ඔවුන්ගේ වාර්ගීකත්වය වූ දෙමළ යන්න මුලට ගත්තේ ඇයි ? එමගින් ඔවුන් දිනාගැනීමට අපේක්ෂා කරන පාඨකයන් කවුරුන්ද? දිනාගැනීමට අපේක්ෂා කරන අවධානය කුමක්ද ? 
අවාසනාවකට මෙම පුවත වාර්තාකිරීමේදී ශ්‍රී ලංකාවේ බොහෝ මාධ්‍යයද අනුගමනය කලේ එම පරිචයමය. ඒහින්
එම මාධ්‍යවලින්ද ඇසිය යුත්තේද එම තරුණයන් ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත බ්‍රිතාන්‍යයේ වෙසෙන්නන් යනුවෙන් මතුකරනු වෙනුවට ඔවුන්ගේ වාර්ගීකත්වය වූ 'දෙමළ' යන්න මුලට ගත්තේ ඇයි ? එමගින් ඔවුන් දිනාගැනීමට අපේක්ෂා කරන පාඨකයන් කවුරුන්ද? දිනාගැනීමට අපේක්ෂා කරන අවධානය කුමක්ද ? යන්නය.

මෙසේ වාර්ගීකත්වය ඉස්මතුකරන ලෙස පුවත් පළකරනුයේ ශ්‍රී ලාංකීකයන් අතර වාර්ගිකත්වය ඉස්මතුකරන පුවත් සදහා ඉහල ඉල්ලුමක් ඇති නිසාද? නැතහොත් එසේ ඉහල ඉල්ලුමක් ඇතියැයි මාධ්‍යවල සේවය කරන්නන් සිතා සිටින නිසාද ?  

මේ දෙකම තුල ශ්‍රී ලාංකීකයන් අතර වාර්ගීකත්වයට ඇති නැබුරුව නිරූපණය වන බව මාගේ අදහස්ය. වාර්ගීකත්වයන් අභිබවා ගිය ජාතිකත්වයක් පිළිබදව ඔවුන්ට ඇත්තේ අල්පමාත්‍රවූ නැබුරුවක්ය යන්න මෙයින් ගම්‍යවේ. ඇතැම්විට ඔවුන් බොහෝදුරට වාර්ගීකත්වය සහ ජාතිකත්වය අතර කිසිදු වෙනසක් නොදකිනවාද විය හැක. වාර්ගීකත්වය සහ ජාතිකත්වය යනු එකක්යැයිද, වෙනසක් නොමැත්තේ යැයි දෙසන්නෝ බොහොදෙනෙක් ලංකාවේ මත පැතිර වීමෙහිලා ඉදිරියෙන්ම සිටින බව මම දනිමි. එය මාධ්‍ය ක්ෂේත්‍රය තුල පමනක් නොව, විශ්ව විද්‍යාල තුලද, ආගමික සංස්ථාවන් තුලද පැලපදියම් වී තිබේ.  

මෙම පුවත පලකිරීමේදී බ්‍රිතාන්‍ය මාධ්‍යයන්ගේ අවධානය මුලික වශයෙන්ම යොමුවුයේ විපතට පත්වූ තරුණයන්ගේ වාර්ගිකත්වය මතුකිරීමට වඩා ජනයා දහස් ගණනින් පැමිණෙන මෙවැනි වෙරළක වෙරළාරක්ෂකයන් නොසිටියේ ඇයි? මෙයට පෙර පවා තරුණයෙක් මිය ගිය මේ වෙරළේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාල බලධාරීන් කර ඇත්තේ කුමක්ද ? ප්‍රථමාධාර සේවා සහ ජීවිතාරක්ෂක සේවාවන් මේ වෙරළේ තවම ස්ථාපිත කර නැත්තේ ඇයි ? යනු කරුණු මතුකිරීමටය. එම මාධ්‍යකරණය එක් අතකින් අදාළ සිද්ධියට නියම වටිනාකම ගෙන දෙන මාධ්‍යකරණයකි. අනෙක් අතින් වාර්ගිකත්වයට වඩා මනුෂ්‍ය ජීවිතවලට මුල්තැනදීම ඉලක්ක කර ගනිමින් දියත්වුවකි. 

තවද, මෙම වෙරළට පැමිණෙන දහස් ගණනක්වූ ජනයා අතරින් මියගිය තරුණයන් 5 දෙනා වෙන්කර හදුනා ගැනීමේදී  සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන් අවධානය යොමුකළ කරුණක් වී තිබුනේ  මියගිය තරුණයන් මුහුදු වෙරළට ගැලපෙන ඇදුමකින් සැරසී නොසිටීම බව දක්වා තිබීම ගැනද යමක් කිව යුතුය. එනම් එම තරුණයන් මෙරට සමාජ ක්‍රමයට සම්පුර්ණයෙන්ම අනුගතවී නොසිටි බවක් එයින් කියවේ. අප වැනි රටවල සිට මෙවැනි රටවලට පැමිණ ඇති ජනයාට අදාල සමාජක්‍රමය සදහා හැඩගැසීමට යම් උත්සහයක් දැරීමට සිදුවන බව පැහැදිලිය. ඇතැම් විට  එයද අභියෝගයකි. එසේ යම් උත්සහයක් ගෙන  අදාල සමාජක්‍රමයට බොහෝදුරට හැඩගැසුනද තම තමන්ගේ වාර්ගීක අනන්‍යතාවයන් සම්පුර්ණයෙන්ම පහව නොයනු ඇත. එහෙත් බැලූ බැල්මටම සාමාන්‍යයන් අතර අසාමාන්‍යයන් ලෙස පෙනීයාමේ ඉඩ ඉන් අඩුවනු ඇත. එම උත්සාහයන් එකී ජනයාට පැහැදිලි ප්‍රතිලාභ අත්කර දෙන්නකි. මන්දයත් එම රාජ්‍යයන්ද, එම රටවල සමාජ ක්‍රමයන්ද, වෙනස්කම්වලට වඩා සමානකම් පදනම් කරගත් සමාජක්‍රමයන් බවට දීර්ඝකාලීන සමාජ, දේශපාලන අරගල ඔස්සේ වර්ධනයවී ඇති බැවිනි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා.
27/08/16.

3 comments:

  1. මිනිස්සු වතුර දැක්කම හොයන්නේ බලන්නේ නැතුව පනින්නේ.ඔහේ සමහර පැතිවල වඩදියට කොටුවෙලත් වැලිගම්පිටි යනවා .
    පීනන්න දැනගෙන හිටියනං බේරෙන්න ඉඩ තිබුනද?

    ඔහොම නොලියා මේ රටේ මිනිස්සු පත්තරේ ගනීද බං
    අපිට සංවේදී වෙන්න ඕනෑ කරන අවම ප්‍රමාණය බොහොම වැඩියි
    කණට ගහන්නා වගේ තියෙන්න ඕනි.
    ඕක කියවලා මැරුණු අයගේ ජාතකේ කියවන්න පසුබිම සකස්කරලා තියන්නත් ඕනෑ.
    අනික බං බෝම්බයක් පිපුරුනාම කීයක් මළාද කියල අහපු රටක් මේක.

    ReplyDelete
  2. මන්දයත් එම රාජ්‍යයන්ද, එම රටවල සමාජ ක්‍රමයන්ද, වෙනස්කම්වලට වඩා සමානකම් පදනම් කරගත් සමාජක්‍රමයන් බවට දීර්ඝකාලීන සමාජ, දේශපාලන අරගල ඔස්සේ වර්ධනයවී ඇති බැවිනි.

    මේකෙන් අදහස් වෙන්නේ ලංකාවේ එහෙම නෑ. ඒ නිසා මෙහෙ‍ෙ පිස්සු කෙලින්න අවසරයි කියලද?
    සමාජ දේශපාලන අරගල නිසාද තවමත් රජ පවුලක් ඉන්නේ.
    ප්‍රංශයටනම් ඔය කතාව හරි.

    ReplyDelete
  3. මම නම් එම වාර්ථා වල වරදක් දකින්නේ නෑ, විපතට පත් සියළුදෙනා දෙමළ බව පැහැදිලි නිසා දෙමළ කීවාට වරදක් නෑ, ඔවුන් සියල්ල ශ්‍රී ලාංකිකයන්ද කියා අපැහැදිලි අවශ්තාවක ශ්‍රීලාංකිකයන් කියා වාර්තා කලොත් වැරදීනේ. ඔවුනතරින් එක් අයෙක්වත් සිංහලයෙක් වුනා නම් මාතෘකාව වෙනස් එකක් වෙන්න තිබ්බා.

    ReplyDelete