This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 16 March 2016

ලාංකීය දේශපාලනයේ Game theory ය !!!

විෂය ක්ෂේත්‍රයක් ලෙස ලාංකීය දේශපාලනය  සංකල්ප, න්‍යාය සහ මතවාදවලින් බොහෝ පොහොසත්ය. එහෙත් ඒ කෙතක්දුරටද යන්න ගැටළු සහගතය. දේශපාලනය යනු 'ගේම් (Game) එකක්ය' හෝ 'ගේම්'  ගහනවා ආදී ලෙස 'ගේම්' කථාවක් ලාංකීය දේශපාලනය තුල මෙන්ම සමාජ ජීවිතය තුලද නිතර ඇසේ. එය කෙතෙක් අවබෝධයෙන් කරන ප්‍රකාශ දැයි නොදනිමි. ඒ මන්දයත් 'Game theory' ය ලෙස න්‍යායක් තිබේන අතර අප නිතර භාවිතාකරන 'ගේම්' කථාව ඉන් බිදී ආවක්ද නැතිනම් සරල අර්ථයෙන් භාවිතා කරන්නක් ද යන්න අතර ඇති වෙනස කියවීමට තරම් අපහසු නිසාය. අනෙක් අතට 'Game theory' යේ කථාකරන යම් යම් කරුණු අපේ රටේ භාවිතාකරන 'ගේම්' කථාව තුලද තරමක් අන්තර්ගතවීමද ඉහත අවුල තවදුරත් තීවූර කරයි. 

නුතන 'Game theory' නම් න්‍යාය 1940 දී ඔස්ට්‍රියානු ජාතික වොන් නෙව්මන් (Von Neumann) සහ මොර්ගන්ස්ටර්න් (Morgenstern) යන දෙදෙනා ඉදිරිපත්කරන ලද්දකි. ගණිතමය පදනමක් මත ඉදිරිපත්කරන මෙම 'Game theory'ය සංකල්පගතකරනුයේ එකිනෙකට වෙනස් උවමනාවන්මත ක්‍රියාත්මකවෙන 'කාරකයන්ගේ' (actors) ගැටුම් (conflicts) සහ සහයෝගීත්වය (collaboration) නිර්මාණය කළහැකි වඩාත් තාර්කනික (rational) ඇගයුම කුමක් විය හැකිද යන්නය. මේය එක් පාර්ශවයක දිනුම සහ අනෙක් පාර්ශ්වයේ පරාජය නම්වූ සරල ද්වි ඇගයුම් තර්කනයේ සිට  පාර්ශ්ව කිහිපයක් නම් එහි සාමුහික ඇගයුම මෙන්ම එහි විචල්‍යයන් ගැන පවා අවදාරණය කරන සංකීරණ අන්තයක් දක්වා ගමන් කරන  න්‍යාය ගත කිරීමකි.

ඉහත න්‍යායික පදනම් පිලිබදව එතරම් තැකීමකින් තොරවවූවද ලාංකීය දේශපාලනයේ ප්‍රවනතා විමසාබැලීමට සමත් පුරුද්දක්, දේශපාලනය ගැන උත්සුක, ලාංකීකයන් විසින් ගොඩනගාගෙන ඇත. විවිධ පාර්ශ්ව මත බර තැබීම් කරමින් සිදුකරන මෙම තර්කනයේදී නැවතවතාවක් මතුවනුයේ ඉහත 'ගේම් කථාවය'. එහෙත් ලාංකීය දේශපාලනයේ මෙම 'ගේම් කථාව' දැන් බලය අත්කරගැනීම, බලය පවත්වාගැනීම සහ බලය ව්‍යාප්තකිරීම යන්නට වඩා හුදු සාමාන්‍යකාරණයකි. එනම්  'ගේම්' එකට වඩා වෙනදෙයක් දැන් නැත.  

කෙතරම් සුපිරි සිහින පෙන්නුවද, කෙතරම් සංවර්ධන ප්‍රබන්ධයන් ඉදිරිපත්කලද එදිනෙදා කටයුතු කරගෙන යාමටවත් රටට නොහැක. රට පමනක් නොව එහි වැසියෝද එහෙම මෙහෙන් කරකාගෙන එදිනෙදා කටයුතු කරගෙනයති. මහින්ද රාජපක්ෂ රජය නම් ඔය එහෙන් මෙහෙන් කරකාගෙන වැඩේ කරගෙනයාමේදී  රටේ නීතිය ගැනවත්, මුල්‍ය විනය ගැනවත්, ණය කන්දරාව ගැනවත්, අන්තර්ජාතික ගිවිසුම් ගැනවත් වෙනත් කිසිවක් ගැනවත් වැඩි තැකීමක් කලේ නැත. කොහොම හරි 'ගේම්' කැරකෙව්වේය. 

එහෙත් ඉහත කී සියල්ල ගැන තකමින් රනිල්-මෛත්‍රී දෙදෙනාද කෙසේ හෝ 'ගේම' ගසන්නට දතකති. ප්‍රදේශය වශයෙන් ආර්ථික ඒකක රාශියක් ඇති කරමින් රටේ රැකියා දස ලක්ෂයක්දීමට පොරුන්දුවූ ඔවුන්, සිය ආර්ථිකය ක්‍රමවත් කිරීමේ වැඩ පිලිවල නිසා මැටිකපන, වැලිගොඩදාන මිනිසාගේ පවා රස්සාව අසුරා ඇත.  දැන් ඉන්දියාව සමග හෝ චීනය සමග හෝ වෙනත් කිසිවෙකුත් සමග ගිවිසුමකින් ලබාගත හැක්කකින් හෝ 'ගේම' කරුකවා ගෙනයාමට මාන බලති. 2004 අප්‍රියල් මාසේ චින්ද්‍රිකා ආණ්ඩුව විසුරුවා හැරියවිටවත් පාරට සෙනග ගෙනවිත් විරෝධය දැක්වීම ප්‍රතික්ෂේපකල රනිල් වික්‍රමසිංහ දැන් පාරට සෙනගගෙන එමින් කියනුයේ තමන් සතු ආණ්ඩුබලයට අවශ්‍යනම් අනෙක් ප්‍රතිවිරෝධතා 1989දී මෙන් කුඩුපට්ටම් කලහැකි බවයි.    

අනෙක් පැත්තෙන් කෙසේ හෝ 'ගේම' කැරකුවද ජනාධිපති 'ගේමෙන්' ගෙදරගිය මහින්ද රාජපක්ෂ නැවත එන්න හදන්නේද ඔහුට 'ගේම' දුන් සියල්ලන්ට 'ගේම' දීමටය. අමතක නොකළ යුත්තවනුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්වුයේ ඔහු ඉස්තරම් ලෙස ආණ්ඩු කරමින් සිටි තත්වයක් තුල නොවේ. ඔහු LTTE ය පරාජයකලද බෙදුම්වාදයේ අනතුර ජිනීවා හරහා අන්තර්ජාතික මට්ටමින් වඩාත් ශක්තිමත්මත්ව ඉදිරියට පැමිණි එමින් සිටි අතර එය ඔහුට වැලක්වාගත නොහැකිවිය. ණය බර මෙන්ම නාස්තියද, නිස්කාරන වියදම්ද, පවුල්පාලනයද මහින්ද රාජපක්ෂ පාලනයේ මුදුන්මුල වී තිබුණි. එපමණක් නොව ජාතිය, රට සහ ආගම නාමයෙන් ක්‍රියාත්මක වන අන්තවාදී ආගමික සහ ජාතිවාදී කොටස් ඔහු පාලනය නොකලා පමණක් නොව බහුතර සිංහල ආණ්ඩුවලින්, සිංහල බෞද්ධ නොවෙන ජනයාට සුගතියක් නැතැයි යන්න නැවතත් එම ජනකොටස්වල තහවුරුවීමට ඉඩහරින ලදී. ඒ රට තුල මුල් බැසගත් දුෂණයටත් අවනීතියටත් අමතරවය. මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත් කරන්නේ මෙම අනතුරුදායක තත්වය වර්ධනය වෙමින් ඇති තත්වයක් තුලය. ඒ ඔහුගේ 'ගේම' ද අසාර්ථකවූ තත්වයක් තුලය. 

'Game theory' නම් සිද්ධාන්තය ලාංකීය පොළව තුල, එහි දේශපාලන ක්ෂේත්‍රය තුල ක්‍රියාත්කම වන්නේ සම්පුර්ණයෙන්ම වෙනස් ලෙසකින් බව මේ අනුව පැහැදිලිය. අද දවසේ ලාංකීය දේශපාලනය තුල සිදුවිය යුත්තේ එකිනෙකට වෙනස් උවමනාවන්මත ක්‍රියාත්මකවෙන විවිධ 'කාරකයන්ගේ' (actors) ගැටුම් (conflicts) සහ සහයෝගීත්වය (collaboration) තුල නිර්මාණය කළහැකි වඩාත් තාර්කනික (rational) ඇගයුම කුමක්ද යන්න සොයාබැලීමය. දෙමළ ජනයාද, සිංහල බෞද්ධයාද පමණක් නොව වෙනත් වෙනස් උවමනාවන්මත ක්‍රියාත්මකවෙන විවිධ 'කාරකයන්' (actors)  මොනවාද යන්න හදුනාගැනීම  මේ ක්‍රියාදාමයේ මුල්ම අංගයය. එකී 'කාරකයන්ගේ' (actors) ගැටුම් (conflicts) සහ සහයෝගීත්වය (collaboration) තුල නිර්මාණය කළහැකි වඩාත් තාර්කනික (rational) ඇගයුම කුමක්ද යන්න සලකා බැලිය හැක්කේ ඉන් අනතුරැවය. එය ලාංකීයන් අද දවසේ දේශපාලනයේදී භාවිතාකරන 'ගේම්' කෙරුවාවට වඩා වෙනස්  'Game theory' කි. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
16/03/2016

3 comments:

  1. පොලිටික් කියන්නේ තනිකරම ගේම් එකක් තමා..

    ReplyDelete
  2. ඒ මැකියාවෙලිගේ අර්ථයෙන්, එහෙත් මාක්ස්ගේ අර්ථයෙන් ඒය හැදෑරීය යුතු විද්‍යාවක්.

    ReplyDelete
  3. https://en.wikipedia.org/wiki/Game_theory

    http://www.princeton.edu/~nmccarty/Political_Game_Theory%20.pdf

    ReplyDelete