This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday 2 May 2015

වෙසක් උත්සවයට උත්සවත් ශ්‍රීය ලැබීම සහ වෙසක් මුද්දර පිළිබද කථාවක්


ශ්‍රී ලංකාවේ වර්ණවත්ම උත්සවය  වෙසක් උත්සවය ය. එය යුරෝපීන් ගේ 'නත්තල' සහ ඉන්දියානුවන් ගේ 'හෝලි'  උත්සවය මෙන්ම වර්ණවත්ය. අලංකාර සැරසිලි, අපුර්ව වෙසක් කුඩු, තොරණ් සහ දන්සැල්  ශ්‍රී ලාංකිකයන්ට මහත් ආනන්දයක් ගෙනදෙන අතරම, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද වෙසක් උත්සවය දායක වී තිබේ. වරක් ජාතික සැරසිල්ලක් ලෙස වෙසක් කූඩු වෙසක් උත්සවයෙන් පරිබාහිරව ද යොදා ගැනීම මෙයට උදාහරණයි. ශ්‍රී ලංකාවේ වෙසක් කූඩුව, චීන, තායි, තායිවාන් සහ සිංගප්පූරු යන රටවල භාවිතා කරන, ගෝලාකාර, ඉලිප්සාකාර සහ නෙලුම් මල් ආකාර ගත් වෙසක්  කූඩු වලට වඩා වෙනස්වීම එයට හේතුවයි. 

පුරාණයේ පටන් ශ්‍රී ලංකාවේ වෙසක්‌ උත්සවයන් පැවති බවත් දුටුගැමුණු (ක්‍රි. පූ. 101 - 77) රාජ්‍ය සමයේදී වෙසක්‌ උත්සව විසිහතරක්‌ පැවැත්වූ බවත්, භාතිය රජු (ක්‍රි. ව. 38 - 67) වෙසක්‌ උත්සව විසි අටක්‌ සිදු කලබවත්, බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් පැවැත්වූ එම උත්සවයේදී දුගී, මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිතද පැවතිණු බවත්, වසභ රජු ද (ක්‍රි.ව. 127 - 171)වෙසක්‌ උත්සව විසි හතරක්‌ කරවූ බවත්, වෝහාරිකතිස්‌ස රජු ද (ක්‍රි. ව. 269 - 291) වෙසක්‌ උත්සවයක් සිදුකොට ලක්‌දිව සියලු භික්‌ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිදු බවත්, ගෝඨාභය රජු ද (ක්‍රි. ව. 323 -333) ජෙට්‌ඨතිස්‌ස රජුද (ක්‍රි. ව. 611 - 617) දල්ල මොග්ගල්ලාන රජුද (ක්‍රි. ව. 851 - 885), 2 වැනි සේන රජුද, රටවාසීන් හා එක්‌ව මහත් හරසරින් වෙසක්‌ උත්සවය පැවැත්වූ බවත්,  පොළොන්නරු යුගය එය  තව තවත් දියුණුවට පත්වූ බවත්, දඹදෙණි යුගයේ  ඉතා චමත්කාරජනක වෙසක්‌ උත්සවයක්‌ පැවැතිබවත්, නුවර යුගයේද වෙසක් උත්සව පව්තිබවත් එහෙත් කෝට්ටේ යුගයේදී වෙසක් උත්සව පැවති බවට වාර්තා නැති බවත්, පූජ්‍ය ඌරුගමුවේ අස්‌සජි හිමි (14/05/2011) දිවයින පුවත් පතට ලියූ 'ලක්‌දිව වෙසක්‌ උත්සව පුරාණය' නම් ලිපියේ දැක්වේ. 

කෙසේවුවද, වෙසක් උත්සව පැවැත්වීම ශිව ආගම වැලදගත් පළමුවන රාජසිංහ රජ විසින් තහනම් කලබවද, ක්‍රි.ව. 1770 දී  ලන්දේසී ආණ්ඩුකාර “විලියම් ඉමාම් පෑල්ක්” විසින් වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවට ප්‍රකාශ කල බවද නැවත වෙසක් උත්සවක් පැවැත්වීමට කටයුතු සම්පාදනයවුයේ 1880 ජුනි 17 දින “කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම” පිහිටවා මෙරට බෞද්ධ අධ්‍යාපනය සහ බෞද්ධ ව්‍යාපාරය පණ ගැන්වීමට මහත් උත්සාහයක් ගත් කර්නල් ස්ටීල් ඕල්කොට් තුමා ලංකාවට මැදිහත්වීමෙන් බවත්, ඔහු යටත් විජිත බාර මහලේකම්ට සන්දේශයක් ඉදිරිපත් කර වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙස ඉල්ලු බවත්, ඒ අනුව 1885 මාර්තු 27 දින ‘ගෝර්ඩන්’ ආණ්ඩුකාරතුමා විසින් වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කළ බවත්  විජේරත්න අතුරුපාන මහතා (06/05/2017)  සිළුමිණ පුවත්පතට ලියූ 'සංස්කෘතික පුනරුදයේ වෙසක් පුරාණය' නම් ලිපියේ දැක්වේ.

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ගැසට් නිවේදනයක් නිකුත්කලේ 1886 දී අංක 4 දරන ආඥාපනත මඟිනි.

කෙසේවුවද, ‘ගෝර්ඩන්’ ආණ්ඩුකාරයා වෙසක් පොහෝ දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කල 1885 මාර්තු 27 දිනයේ සිට මසකින් පසුව, එනම් 1885 අප්‍රේල් 28 දින, වෙසක් පෝය යෙදී තිබුණේන් එය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ නායකයෝ කටයුතු කල ආකාරය සහ එහිලා ඔවුන් ගත් ක්‍රියාමාර්ග ගැනත් විජේරත්න අතුරුපාන මහතා (06/05/2017)  සිළුමිණ පුවත්පතට ලියූ උක්ත ලිපියේ දක්වා තිබුනේ පහත සදහන් ලෙසය.  

"සංවිධානය කිරීමට පත් කළ කොමිටිය මඟින් මෙකල අවශ්‍යතාවක්ව පැවැති බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමට ද පියවර ගත්හ. එම කමිටුව මඟින් ෂඩ් වර්ණ බුදුරැස්මාලාව පදනම කරගෙන සකස් කළ බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට 1885 අප්‍රේල් 17 දින ප්‍රකාශයට පත් කළහ. 1885 වෙසක් දිනය යෙදුණු අප්‍රේල් 27 දින කොටහේනේ දීපදුත්තමාරාමයේදී ඒ කොඩිය උත්සවාකාරයෙන් ඔසවන ලදී. ඒ සමඟම කොළඹ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම, විද්‍යෝදය පිරිවෙන, බොරැල්ල, හුනුපිටිය, කැලණිය යන ස්ථානවල පිහිටි විහාරස්ථාන අාදියේ ද එම කොඩිය ඔසවන ලදි. මෙදින කොළඹ පිහිටි විහාර සහ කැලණි විහාරය බෞද්ධ ජනතාවගෙන් පිරී ගියේය. කොළඹ කඩසාප්පු වසා දමන ලදී. බොරැල්ල පන්සලේ සුධර්මාධාර සමාගම මඟින් බෞද්ධ කොඩිය ඔසවා ආචාර වෙඩිමුර 32ක් පවත්වන ලදි. ‍කොටහේන දීපදුත්තමාරාමයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ධර්ම දේශනයක් පවත්වන ලදී. විද්‍යෝදය පිරිවෙනේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ධර්මදේශනා පෙළක් පවත්වන ලද අතර, එහි බෞද්ධ භක්ති ගීත ගායනයක් ද ඉදිරිපත් කළ අතර තොරණක්ද ඉදි කරන ලදී, මෙදින ගාල්ල, මාතර, මහනුවර යන නගරවලද වෙළෙඳසල් වසා දමන ලද අතර, රට පුරා පෙරහර කීපයක් පැවැත්විණි. සපරගමු මහ සමන් දේවාලයේ පහන් පූජාවක් පවත්වන ලදී."

මේ ආකාරයට ශ්‍රී ලාංකිකයන් උත්කර්ෂවත් ලෙස 'දැන් සමරන වෙසක් උත්සවය' සැමරීමට පටන්ගෙන ඇත්තේ අනගාරික ධර්මපාල තුමාගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය තුලින් බවත්, එහිදී ඔහු ක්‍රිස්තියානි ජනයා සිය නත්තල සැමරීමට භාවිතා කරන නත්තල් කාර්ඩ් (Card), කැරොල්, නේක වර්ණ සැරසිලි අදියෙන් අභාෂය ලබා වෙසක් සුබ පැතුම් පත්, බොදු බැති ගී සහ වර්ණවත් වෙසක් සැරසිලි සහිත උත්සවයක් බවට වෙසක් උත්සවය පත්කළ බවත් රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකර (Gananath Obeyesekere) 1988 ලිවූ 'Buddhism Transformed: Religious Change in Sri Lanka' (page 202-242) නම්  කෘතියේ ඉතාමත් තියුණු ශාස්ත්‍රීය අධ්‍යනයක් මගින්ද තහවුරුකර ඇත. 

බෞද්ධාගම ලංකාවට හදුන්වාදීමෙන් පසුව මෙරට පැවති ශිෂ්ටාචාරය තව තවත් වර්ධනය කිරීමෙහිලා බෞද්ධාගම ඉතාමත් ප්‍රසංසනීය ලෙස දායකවී ඇතිබව අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. ඒ ආකාරයටම නොවුවද යටත්විජිත පාලනය ඔස්සේ ලංකාවට උරුමවූ ක්‍රිස්තියානි ආගම, එහි සංස්කෘතිය සහ බටහිර ශිෂ්ටාචාරය ද නුතන ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැන්වීමට සහ එය වඩාත් ඔපවත් කිරීම සදහා  අඩු වැඩි වශයෙන්දායක වී ඇති බවද පිළිගත යුතු කරුණකි.  රිචඩ් ගොම්බ්‍රිච් (Richard Gombrich) සහ ගනනාථ ඔබේසේකරයන්ගේ (Gananath Obeyesekere)  'Buddhism Transformed: Religious Change in Sri Lanka' (1988) කෘතිය ඇසුරින් වුවද පෙනී යනුවේ මෙරට බෞද්ධ ජනයාගේ අති උත්කර්ෂවත්ම උත්සවයවන වෙසක් උත්සවයද ඉතා ඉහල උත්සවත් ශ්‍රීයකින් පැවැත්වීමේලා ක්‍රිස්තියානි ආගම, එහි සංස්කෘතිය සහ බටහිර ශිෂ්ටාචාරයේන් උකහාගත් දෑ අදාල වූ බවය.  

සිංහල-දෙමළ අළුත් අවුරුද්ද සැමරීමට එතරම් උනන්දුවක් නොදක්වන මීගමුව ප්‍රදේශයේ  ක්‍රිස්තියානි  ජනයා ද වෙසක් උත්සවය සැමරීමට මහත් උනන්දුවක් දක්වන්නේ මෙම සංස්කෘතික සබැදියාව නිසා  විය හැක. 

මෙකී අන්‍යෝන්‍ය  පෝෂණය තවදුරටත් වර්ධනයවී නිදහසින් පසු යුගයේදී ශ්‍රී ලංකාව සෙසු පශ්චාත්-යටත්විජිත රටවලටද මහගු ආදර්ශයක් වෙනු වෙනුවට සිදුවුයේ හැකිතාක් දුරට ක්‍රිස්තියානි සංස්කෘතික සහ බටහිර ශිෂ්ටාචාරයේ දායකත්වයන් මකාදමන, යටපත් කරන සහ ප්‍රතික්ෂේප කරන තත්වයකි. ඒසේ යටපත්කර ගැනීමට දරණ උත්සහයත් අභිමුව ප්‍රවණතා දෙකම කළමනාකරණය කරගනිමින් විශිෂ්ඨ ලෙස ඉදිරියට යෑමට දැරූ උත්සහයන්ද නිදහසින් පසු යුගයේදී නැතිවාම නොවේ. එහිලා දරූ එක් උත්සහයක් ලෙස 1950 පෙබරවාරි 04 දින නිකුත් කල වෙසක් ඔර්කීඩ් (Vesak Orchid)  මුද්දරය දැක්විය හැක.

එම වෙසක් ඔර්කීඩ් (Vesak Orchid)  මුද්දරය ශ්‍රී ලංකාවේ වෙසක් සැමරුමත්, වෙසක් ඔර්කීඩ් මලත්, මෙරට සංස්කෘතික අනන්‍යතාවයත්  ලෝකයට ගෙනයාමට සමත්වූ මුද්දරයකි. එමෙන්ම මේම මුද්දරය නිකුත් කිරීම සම්බන්ධ තොරතුරු දෙස බැලීමේදී පෙනි යනුයේ, එය නිදහසින් පසු ශ්‍රී ලංකා දේශපාලනයේ  ක්‍රමයෙන් නැගී ආ ප්‍රවණතා  ඉතා ඉවසීමෙන්  ජයගත් අවස්ථාවක් ද ලෙසය.  
වෙසක් සමරුව සදහා මුද්දරයක් නිකුත්කිරීමට අදහස් කරන බව, 1947-1951 දක්වා සේවයකල, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල්වරයා වූ අ. ඉග්නේශ්ෂ් පෙරේරා (A. Ignatius Perera (1947 - 1951))  මහතා 1949 වසරේ මුල් කාර්තුවේ නිකුත්කල නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරනු ලැබ තිබේ. ඒ කුමන වසරේ වෙසක් උත්සවය සදහා දැයි සදහන් කොට නැත. එහෙත්, එහිලා  විවිධ යෝජනා ඉදිරිපත්වී ඇත. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුද්ධාගම රාජ්‍ය ආගම විය යුතුයි ඉල්ලා සිටි 'ලංකා එක්සත් භික්ෂු මණ්ඩයත්', 'සමස්ථ ලංකා බෞද්ධ කොංග්‍රසයත්' මෙහිලා ඉතා ඉහල ප්‍රතිචාරක් දක්වා තිබු අතර ඔවුන් බොහෝ දුරට යෝජනා කර තිබුනේ ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය හෝ බුදුන් වහන්සේගේ රුව-ගුණ හෝ බෞද්ධාගමික නිර්මාණ ඇතුලත් නිර්මාණයක් හෝ ලංකාවේ පැරණි බුදු පිළිමවලින් එකක් යොදාගැනීම උචිත බවයි. 

විශේෂයෙන්ම ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය සදහා වැඩි ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්තේ 1950 වෙසක් මස පුර පසලොස්වක දිනයේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව අබියස රටවල් 27 ක නියෝජිතයන් 129 දෙනෙකු සහ ලාංකික නියෝජිතයන් ඇතුළු විශාල බෞද්ධ පිරිසක් සහභාගී කොටගෙන ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි නිසාත්, බෞද්ධ කොඩිය එහිලා සහභාගීවන සියළුදෙනාටම පොදුවේ පිළිගත හැකිවන නිසාත්ය. එම සමුළුව මගින් ලෝකයේ වසන බෞද්ධයින් සමගි සම්පන්න කිරීම, ‍ථේරවාදී, මහායාන, වජිරයාන ආදී කොටස්වලින් සැදුම් ලද බුදුදහම ඒකරාශී කිරිම  ආදී  උතුම් අරමුණු පෙරදැරි කර ගත්තක් විය.

එහෙත් වෙසක් සමරුව වෙනුවෙන්  මුද්දරයක් නිකුත් කිරීමේදී ඉහත සමුළුව පමණක් ඉලක්ක කරගෙන මුද්දරයක් නිකුත් කරන්නේද නැතහොත් එයට වඩා පුළුල් අරමුණක් මත පිහිටා මුද්දරයක් නිකුත් කරන්නේ දැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට තීරණය කිරීමට සිදුව තිබුණි. මේ සම්බන්ධයෙන් ගත් තීරණය කුමක් වුවද  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව නිල වෙසක් මුද්දරයක් නිකුත් කිරීම සිදුකරනුයේ ඉන් වසර කිහිපයට පසුවය.                             
එහෙත් එවකට තැපැල්පතිවරයා වූ ඉග්නේශ්ෂ් පෙරේරා මහතාගේ අනුමැතිය යටතේ 1950 වෙසක් මසට මාස තුනකට පෙර, එනම් 1950 පෙබරවාරි 04 දින, වෙසක් ඔර්කිඩ් (Vesak Orchid) නමින් විශේෂ මුද්දරයක් නිකුත් කොට ඇත.

එම මුද්දරය හුදෙක් 1855 දී ලංකාවේ බ්‍රිතන්‍ය ආණ්ඩුකාරයවූ චාර්ස් මැකාති ගේ (Charles MaCarthy) බිරිද වූ, ශ්‍රී ලංකාවේ උඩවැඩියා (Orchid) සහ මල් වර්ග කිහිපයක් ගැන ලෝකයට හදුන්වාදුන්  මැකාති ආර්යාව (Lady MaCarthy) විසින් අපේ රටට පමණක්  විශේෂ යැයි ලෙස හදුන්වා දුන් Dendrobium maccarthiae මල හෙවත් වෙසක් ඔර්කීඩ් (Vesak Orchid) මලින් පමනක් සමන්විත නොවිණි. එය බුදු හිමියන්ගේ පාදස්පර්ශන ලද, මෙරට වෙසෙන සෑම ආගමකම ජනයා ගරු කරන ශ්‍රි පාද ස්ථානය පසුබිමේ සිටින සේ, ලංකාවේ සුවිශේස්ත්වයත්, ප්‍රෞඩ ඉතිහාසයත් විදහාපාන ලියවැල්, කැටයම්, සිංහ රූපවලින් මෙන්ම ස්වභාවික සෞන්දර්යත්, ශ්‍රී ලංකාවට පමණක් උරුමවූ, බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් මාසේ පමණක් පිපෙන (මැකාති ආර්යාවට අනුව නම් වෙසක් මාසේ පමණක් පිපී, වෙසක් මාසේම පරවන)වෙසක් ඔර්කීඩ් (Vesak Orchid) මලත් කැටි කොටගත් විශිෂ්ඨ නිර්මාණයක් විය.
අපට මෙන්ම ලෝකයාටද ලංකාව ගැන මහත් පහන් ගැහීමක් ඇති කළ මේ මුද්දරය ලංකාව ගැන ලෝකයට ගෙනගිය පණිවිඩය කෙතරම්ද යත් එය v වන ජෝර්ජ් සහ vii වන එඩ්වර්ඩ් (1935-1947) යන රජවරුන්ගේ ශීර්ෂ සහිතව නිකුත්වූ  ලංකාවේ රබර් කිරි කපන්නියන්, තේ දළු නෙලන්නියන්, සිගිරිය, අලිඇතුන්, මුරගල, වරාය, වෙරල, දළදා මාලිගය ආදී මුද්දර වලින් අනතුරුව බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සහ මුද්දර කෞතුකාගාරයේ සුචියට ඇතුල්කර ගත් ප්‍රථම මුද්දරය වීමේ අවස්ථාව ද හිමිකර ගන්නා ලදී. මේ මුද්දරයේ සාර්ථකත්වය එහි මල ලෙස වැටහාගැනීමට යාම නිසා දෝ මෙන් නැවත 1984දී වෙසක් මල පමණක් රැගත් මුද්දර දෙකක්ම නිකුත්වුවද එහි කිසිදු සාර්ථකත්වයක් දැකගත හැකි නොවිණි. ඇත්තවශයෙන්ම, මෙම මුද්දරයේ සාර්ථකත්වය හේතුවුයේ එවකට සිටි තැපැල්පතිවරයා එක සීමාවකට පමණක් සිර වී නොසිට වඩා ලෞකික සහ ජාත්‍යන්තර දුෂ්ටියකින් සිතා කටයුතු කර මෙම මුද්දරය සැලසුම් කොට නිකුත් කිරීමයි. මෙරට අද බිඳ වැටී ගිය මුද්දර ක්‍ෂේත්‍රයට පමණක් නොව සෙසු සෑම ක්‍ෂේත්‍රයට අද අවශ්‍ය කරන්නේ එවැනි එක සීමාවකට පමණක් සිර වී නොසිට රාජ්‍යයක් වශයෙන් වඩා ලෞකික සහ ජාත්‍යන්තර දුෂ්ටියකින් සිතා කටයුතු කිරීමයි. ශ්‍රී ලාංකිකයන් දැන් ඉතා උත්කර්ෂවත් ලෙස සමරන වෙසක් උත්සවයේ උත්සවත් ශ්‍රීය වඩා ඉහල නැන්වීමෙහිලා දායක වී ඇති ඉහතින් පෙන්වා දුන් සෙසු සාධකයන්ද සැලකිල්ලට ගන්නේ නම් අති උත්කර්ෂවත් වෙසක් උත්සවයද හොද උදාහරනයක් සපයන බව මගේ විශ්වාස යයි. 

එහෙත් ගෙවීගිය වසර 70 කට ආසන්න කාලය තුල සිදුවුයේ එකී සාධකයන් සැලකිල්ලට ගනිමින් අන්‍යෝන්‍ය වශයෙන් පෝෂණයවීමද? නැත්ද? යන්න  පසුගිය කාලය තුල නිකුත්කල වෙසක්  මුද්දරවලින් හදුනාගත හැකිද ?









මාකස් ප්‍රියන්ත පෙරේරා
02/05/15.

2 comments:

  1. ගොඩක් අර්ථවත් ලිපියක් කියෙව්වා කාලෙකට පස්සෙ.

    ReplyDelete