This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 27 December 2024

සෝනියා ගාන්ධි මෙන්ම මන්මොහාන් සිං ද හින්දූත්වයට ගොදුරු වූයේ ද?

"මාධ්‍යවලට හෝ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂවලට වඩා ඉතිහාසය මට කරුණාවන්ත වනු ඇත" - "I honestly believe that history will be kinder to me than the contemporary media, or for that matter, the opposition parties in parliament" - ඉංදියාවේ ප්‍රථම සීක් අගමැතිවරයා වූ මන්මොහන් සිං අගමැතිවරයා අවසන්වරට පැවැත් වූ මාධ්‍යය සාකච්චාවේ දී දක්වා ඇති එම ප්‍රකාශය සම්බන්ධයෙන් මන්මොහන් සිං මහතාගේ මරණයත් සමග දැන් නැවැතත් සාකච්ඡාවට ලක්වීමට පටන් ගෙන ඇත.

2004 සිට 2014 දක්වා ඉංදියාව පාලනය කළ ඉංදියාවේ 13 වෙන් අගමැතිවරයා වූ මන්මොහන් සිං ඊට පෙරත්, නරසිංහ රාවෝ අගමැතිවරයා යටතේ මුදල් ඇමැතිවරයා ලෙසත් කටයුතු කරමින්, ඉංදියාවේ අද පවත්නා ලිබරල් වෙළද පොළ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ, ඉංදියාවේ ආර්ථික වර්ධන වේගය 8%ක ඉහල අගයක පවත්වාගෙන යෑමටත්, කටයුතු කළ තැනැත්තෙක්. 2008 දී ඇතිවූ ලෝක ආර්ථික අවපාතයට ඉංදියාව හොදින් මුහුණ දීමට සුදානම් කළ තැනැත්තෙක් ලෙසත් පිලිගැනීමට ලක් වූයෙක්. 

ඒ වගේම 1998  ඉංදියානු න්‍යෂ්ටික වැඩ පිළිවෙළ  තුල බටහිර ලෝකය හමුවේ ඉංදියාව හුදකලා කර තිබු තත්වය 2005 දී ඇමැරිකානු එක්සත් ජනපදය සමග එකගතාවයක් ඇති කරගනිමින් ඉංදියානු න්‍යෂ්ටික වැඩපිළිවෙළ  ඉදිරියට ගෙනියෑමටත් කටයුතු කළ තැනැත්තෙක්. 

එවැනි පසුබිමක් තුල පවා "ඉතිහාසය මට කරුණාවන්ත වනු ඇත" යනුවෙන් අවිනිශ්චිත  විශ්වාසයක් ගැන බලාපොරොත්තු තබන තත්වයකට ඔහු ඇද  වැටුනේ ඇයි?

ඔහුට මූලික වශයෙන් එල්ල වූ චෝදනාව වූයේ ඔහු ගාන්ධි පවුoලේ අතකොලුවක් වූ බවයි. ඇත්ත එය නොවූව ද, ඇත්ත වශයෙන්ම ඔහුව 2004 අගමැති වශයෙන් පත් කළේ  සෝනියා ගාන්ධි ගේ මැදිහත්වීමෙනි. 2004 දී සෝනියා ගාන්ධි  නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී සංධානය එවකට පැවැති ආතල් බිහාරි වජ්පායිගේ භාරතීය ජනතා පක්ෂ රජය පරාජය කරමින් මහා මැතිවරණය ජයගන්නා ලදි. එහෙත් භාරතීය ජනතා පක්ෂය ඒවන විටත් ඉංදියාව තුල ගොඩනගා තිබූ හින්දූත්වය මුල්කරගත් ඉංදියානු ජාතිකවාදී මතවාදය විසින් උපතින් ඉතාලි ජාතික කතෝලිකයෙකු වූ සෝනියා ගාන්ධි ඉංදියාවේ අගමැති නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ගොඩනැගීමට සමත්ව සිටිහ. කොංග්‍රස් පක්ෂය ද එම විරෝධය නොසලකා නොසිටිය යුතුය යන තත්වයකට පත්වෙමින් තිබිය දී සෝනියා ගාන්ධි ගේ තෝරා ගැනීම වූයේ මන්මොහන් සිං මහතා අගමැති ලෙස පත් කිරීමයි. 

මන්මොහන් සිං  මුදල් ඇමතිවරයෙක් ලෙසත්, විපක්ෂ නායකවරයා ලෙසත් දේශපාලන අත්දැකීම් තිබූ තැනැත්තෙක්. බ්‍රිතාන්‍යයේ Oxford විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබදව ආචාර්ය උපාධියක් හිමිකරගෙන 1980 දශකයේ ඉංදියාවේ මහා බැංකුවේ අධිපතිවරයා ලෙසත් කටයුතු කරමින් ඉහල අධ්‍යාපන හා වෘත්තිය සුදුසුකම් තිබූ තැනැත්තෙක්. ඒ වගේම සීක් ජාතිකයන් 'කාලිස්ථානය' නමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන්  සටන් කරන විටත් මන්මොහන් සිං  ඉංදියානු ජාතික දේශපාලනය තුල ජාතික සමගිය වෙනුවෙන්, ඉංදියාව බෙදී වෙන් නොවී පැවැතීමේ  වැදගත්කම වෙනුවෙන් පෙනී සිටියෙක්. 

මේ සියළු සාධක හමුවේ ඔහු ඉංදියානු අගමැති  තනතුරට ඉතා හොද සුදුස්සෙක්. ඒ වගේම අගමැති තනතුරේ වගකීම් අකුරටම ඉටුකරමින් ඉංදියාව ඉහලින්ම ඔසවා තිබූ තැනැත්තෙක්. එහෙත් ඔහුට හිමි ගෞරවය හා හිමි තැන ඉංදියානු සාමාජය තුලින් ඔහුට හිමි වුනාද?  "I honestly believe that history will be kinder to me than the contemporary media, or for that matter, the opposition parties in parliament" යන ප්‍රකාශය තුල කියවෙන්නේ, ඔහුට හිමි පිලිගැනීම හිමි නොවූ බවක් හෝ කිසියම් නොසතුටක් නොවේද? 

මට නම් හිතන්නේ ඉංදියාව තුල මුල බැසගෙන ඇති හින්දූත්ව ජාතිකවාදී සංකල්ප මුල්කරගත් සමාජ - දේශපාලන - සංස්කෘතික මතවාදයන්ට සෝනියා ගාන්ධි මෙන්ම මන්මොහාන් සිං ද ගොදුරු වූ බවයි.

ඉ‍ංදියානු හින්දූත්ව සංකල්පය මුල්කරගත් සමාජ - දේශපාලන - සංස්කෘතික මතවාදයන් සමාජ ගතකරමින්, ඒමත සිය දේශපාලන බලය තහවුරු කරගත් නරේන්ද්‍ර මෝදී අගමැති ධුරය දරන

හාරතීය ජනතා පක්ෂ රජයක් යටතේ මන්මොහාන් සිං ට හිමිවිය හැකි පිලිගැනීම කවරාකාර ද? ඔහුට එරට ඉතිහාසය තුල හිමි විය යුතු ස්ථානය හිමිවේ ද? මන්මොහාන් සිං මහතාගේ මරණයත් සමග දිග හැරී සාකච්ඡා ඔස්සේ අපට ඒ සම්බන්ධයෙන් යම් නිගමනයකට  ලැබිමට හැකිය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

27/12/24

No comments:

Post a Comment