This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Tuesday 21 June 2022

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරගැනීම රටම වින්දිතබවෙන් ගලවා ගැනීමකි

අද ද 21 වෙනිදාවකි. 2019 අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා දින කිතුනු දේවස්ථාන තුනකට සහ කොළඹ  සංචාරක හෝටල් කිහිපයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ලවී අද ට (21/06/22) මාස 38 කි. ප්‍රහාරයෙන් 269 දෙනෙකු මියගොස් 500යකට වැඩි  පිරිසක් තුවාල වූහ. මියගිය ජනයා ගැනවූ වේදනාවෙන් පසුවන්නන් මෙන්ම අදටත් තුවාල සහ පසු කම්පනවලට ප්‍රතිකාර ලබන්නෝද එමටය. එහෙත් අවුරුදු 3කුත් මාස දෙකක් හෙවත් මාස 38 ගතවී ගියද පාස්කු ප්‍රහාරයට යුක්තිය මෙතෙක් ඉටුවී නොමැත. 

 පාස්කු ප්‍රහාරය යනු නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ නිමක් නැති ඝාතන ගොන්න අතර තවත් එක් මේලේච්ච සමූහ ඝාතනයක් පමණක් නොවේ. ලේ වැකි ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසය තුල තවත් එක් හුදකලා කල හැකි කෲර අපරාධයක් පමණක් නොවේ. 

පාස්කු ප්‍රහාරය යනු කිසිසේත්ම  සරලව සැලකිය හැකි එක් අපරාධයක්වත්, අපරාධ අතර තවත් එක් අපරාධයක්වත් නොව, නිදහසින් පසු ගොඩනැගුනු ශ්‍රී ලංකා රාජ්‍යයේ විවිධ පැතිකඩවල් තීව්‍ර ලෙස විවරකර පෙන්වන, රටේ ගොඩනැගී ඇති ජඩ දේශපාලනයේත්, අභ්‍යන්තරයෙන්ම කුණුවී ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ විෂම ව්‍යහුයෙත් හරස්කඩක් හොදින් නිරූපනය කරන, රාජ්‍යය යාන්ත්‍රණයේ ඉහල සිට පහලටම්ස් ඇගිල්ල දිගුවී ඇති 'සංවිධානාත්මක අපරාධකි'.  

ඒබව, "පාස්කු ප්‍රහාරය දැවැන්ත කුමන්ත්‍රණයක්" යැයි කියූ හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රකාශණයේ සිට පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශන කල මලල්ගොඩ කොමිසමේ වාර්තාව, පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ වාර්තාව, පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ශන කල ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාව ඇතුළු රටතුල විමර්ශන සිදුකල කොමිසම් සභා වාර්තා ඇසුරින් පමණක් නොව ඇමැරිකා එක්සත් ජනපදයේ FBI වාර්තාවේන් පවා පෙනීයන සත්‍යයකි. 

 එකී විමර්ශන අසුරෙන් පෙනී යන කරුණු අතර:

1. පාස්කු ප්‍රහාරය එල්ල කිරීමේ ක්‍රියා පටිපාටියද, සම්පත් සහ අමු ද්‍රව්‍යය රැස් කරගැනීමද, ප්‍රහාරය එල්ල කරන තුරු ප්‍රහාරකයින් අත් අඩංගුවට පත්නොවීම දක්වාද, ප්‍රහාරයෙන් පසුව ප්‍රහාරය පිටුපස සිටි පිරිස් අනාවරණය නොවී සිටිමට මෙන්ම නීතිය ඉදිරියට නොපැමිණීම දක්වාද, එසේ නිතිය ඉදිරියට පැමිණියහොත් නීතියෙන් ගැලවී යෑම දක්වාද දියත්වූ,  ශ්‍රී ලංකා රාජ්‍යයේ රාජ්‍ය නිලධාරීන්ගේ සිට රාජ්‍ය යාන්ත්‍රණ හැසිරවීම දක්වාම දිගැස්සුණු ක්‍රියා කලාපයකින් යුතු පුලුව විහිදී ගිය සබදතා ජාලයක් ඔස්සේ මනාව සංවිධානය වී එල්ල කල ප්‍රහාරයක් බව විද්‍යාමානවීම.

2. විදේශ බුද්ධි සේවා ඔස්සේ මෙන්ම අභ්‍යන්තර බුද්ධි තොරතුරු ඔස්සේද ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ ප්‍රහාරයක් එල්ලවන බවට හෝ නිශ්චිත තොරතුරු ලබා දී තිබියදී රාජ්‍යයේ ඉහලම දේශපාලන බලාධිකාරයේද හෝ රාජ්‍යයේ ආරක්ෂාව භාරව සිටින බුද්ධි ප්‍රධානීන්ගේ හා රාජ්‍යය ආරක්ෂාව බාර රාජ්‍ය නිලධාරීන් මෙන්ම බලධාරීන්ද දැනුවත්වම ප්‍රහාරය වලක්වා නොගැමට කටයුතු කර ඇති බව හෙලිවී තිබීම.

3. ප්‍රහාරය හරහා දේශපාලන අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට සහ රාජ්‍යය බලය ලබාගැනීමේ ඉලක්කයක් මුදුන් පමුනුවා ගැනීමේ උත්සහයක් ගැන කරැණු අවධානයට ගෙන ඇති බැවින් "ඝාතන සංස්කෘතිය ඔස්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන බලය අත්කර ගැනිම, බලය පැතිරවීම, බලය තහවුරු කර ගැනීම උපාය-උපක්‍රමයක් ලෙස භාවිතා වූයේය" යැයි ඒ. ජේ විල්සන්, ජේමිස් මැනොර් ආදින්ගේ  සිට රාජන් හූලේ ආදින් දක්වා මතුකරන තර්ක නැවත අලුත් වටයකින් පාස්කු ප්‍රහාරය තුලින්ද මතුවීම,

4. ශ්‍රී ලංකාව සුළු ජාතීන්ගේ, සුළු ජනකොටස් වල ආරක්ෂාව, රැකවරණය සැලසීමට අපොහොසත් හෝ එහිලා ප්‍රමාණවත්ව කටයුතු නොකරන, රටේ දේශපාලන බලයේ අධිකාරිත්වය හිමි බුහුතර ජනවර්ගයාගේ දේශපාලන අභිලාෂයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක යැයි සලකන 'වාර්ගීක රාජ්‍යයක්' යැයි නැගෙන චෝදනා පාස්කු ප්‍රහාරය ඇසුරෙන් ද මතුවීම,

5. අභ්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක දේශිය යාන්ත්‍රණයන් ඔස්සේ සත්‍ය සහ යුක්තිය ඉටුකරගැනීමට හැකි තරම් විනිවිද භාවයකින් යුතු අපක්ෂපාතී රාජ්‍යය යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුල නොමැති බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක අවශ්‍ය තාවය පිලිබදව අවධානය යොමුවීම, 

ආදිය පාස්කු ප්‍රහාරය පිලිබදව සිදුකර ඇති විමර්ශන ඔස්සෙත්, ඉන් අනතුරුව සිදුව ඇති සියලු ක්‍රියාදාමයන් ඔස්සේත් තහවුරුවී ඇති කරුණුය. 

මේ අනුව පාස්කු ප්‍රහාරය යනු රට තුල සිදුවු තවත් එක් මේලේච්ච අපරාධයක් නොව ශ්‍රී ලංකා රාජ්‍යය ට එරෙහිව ගොනුවී ඇති බොහෝ අපරාධවල හරස් කැපුමක් විවරකර පෙන්වන අපරාධයක් බවට දැන් ඒත්තු ගොස් අවසන් ය. 

පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු හෙලිදරව්කර සත්‍ය සහමුලින්ම මතුකර ගැනීම තීරණාත්මක වශයෙන් වැදගත් වන්නේ එම අර්ථයෙනි. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම ඒකී වින්දිතයන්ට පමණක් නොව රටම වින්දිත භාවකින් ගලවාගත හැක්කේ මතුව ඇත්තේ ඒවැනි පදනමකින්ය. එසේ නොවන තාක්කල් ශ්‍රී ලංකා රාජ්‍යයට ගොඩඒමක් නොමැත. ගරු සිරිල් ගාමිණී පියතුමා වරක සදහන් කල සේ "පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුවූ දාක රටේ ජඩ දේශපාලනයේ සැබෑ ස්වරූපය එලියට එනු ඇත". 

පාස්කු ප්‍රහාරයේ සත්‍ය මතුකර ගැනීම රටේ ජනයා වෙලාගෙන ඇති රොදුරු ඉරණමකින් නිදහස් කිරීමකි. අපරාධකරුවන් හෙලිදරව් නොවන ඔවුන්ට දඩුවම් හිමි නොවන සමාජයකට  පැවැත්මක් මෙන්ම අනාගතයක්ද නොමැත. යුක්තිය ඉටුවීමකින් තොරව අත් කරගත හැකි ජයග්‍රහණයක් නොමැත. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 

21/06/22

No comments:

Post a Comment