This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 21 June 2021

පාස්කු ප්‍රහාරය අමතකද?

පාස්කු ප්‍රහාරය දැන් කරේ තියන් යන්නේ කාදිනල් විතරක්යැයි එක් මාධ්‍යවේදියෙකු පසුගියදා ලියා තිබෙනු දුටුවෙමි. එය පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ඔහුගේ ප්‍රවේශයේ තරම හෝ මේ වනවිටද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් සිදුවෙන්නේ කුමක්දැයි යන්න පිලිබදව ඔහුගේ ඇති උන්නදුවේ සහ අවබෝධයේ තරම කියාපාන්නකි. ඇතැම්විට ඔහු මෙතෙක් පාස්කු ප්‍රරහාරය ගැන අවධානය යොමුකර ඇත්තේ තනිකරම එය කරේ තියන්නේ කවුද? එහි දේශපාලන වාසිය යන්නේ කාටදැයි? යන රාමුවක සිට වියහැක.

ලංකාවේ මාධ්‍යවේදීන් බොහෝදුරට උන්නදුවන්නේ එදිනෙදා ප්‍රවෘත්ති ගැනය. එයිනුත් මූලික වශයෙන්ම දේශපාලනය ප්‍රවෘත්ති ගැනය. එයත් තමතමන්ගේ රුචි අරුචිකම් අනුවය. පක්ෂ, පාට, හිතවත්කම් සහ ලෙන්ගතුකම් අනුවය. රටේ ජනයාගේ කැකෑරෙන වේදනාවන්, දින දින පැසවමින් කෙදිනක හෝ පුපුරා යාහැකි ලෙස ගිනි කන්දක්සේ ගොඩනැගෙන මහජන විරෝධය, දිගින් දිගටම සිය දුක්ගැනවිලි ගැන නොසලකා හරිමින් ක්‍රමයෙන් බිත්තියට හේතුකරමින් යන පීඩාවට පත් ජනයාගේ නොනැනවතිය නොහැකි ප්‍රතිරෝධයන් ගැන ඔවුන් දක්වන උනන්දුව අල්පය.

පීඩාවට පත් ජනයාගේ හඩ මාධ්‍යය තුලින් හෝ දිගින් දිගටම නිරාවරණය වෙන්නේ නම් එයද එම ජනයාට ඇස්වැසිල්ලකි. රටේ දේශපාලනය මෙන්ම රටතුල ඇති මෙම මාධ්‍යය සම්ප්‍රදායද රටේ ජනයාගේ ඉච්ඡාභංගත්වයට පැහැදිලිවම හේතුවී තිබේ.

පාස්කු ප්‍රහාරය සිදුවී අදට, 21/06/21, මාස 26කි. 

සති දෙකකින් සියල්ල අමතක වෙනවායැයි කියන රටක වසර දෙකකුත් මාස දෙකක් ගත්වී තිබුනද පාස්කු ප්‍රහාරය රටට අමතකව ගොස් නැත. විපතට පත් ජනයාගේ නෑබන්දුමිත්‍රාදීන් පරම්පරා කිහිපයක්ම ජීවත්වන තෙක්ම එය ඔවුන්ට අමතක නොවනු ඇත. මීගමුව, කටුවාපිටිය සා. සෙබස්තියන් පල්ලිය. කොලඹ, කොච්චිකඩේ සා.අන්තෝනි පල්ලිය, මඩකලපුවේ සියෝන් පල්ලිය තිබෙන තාක්කල්, 2019 අප්‍රියල් 21වෙනි පාස්කු ඉරිදා එම පල්ලිවලට ඉස්ලාමීය අන්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර දිව්‍ය පූජාවට සහභාගීවෙමින් සිටි ලමා ලපටීන්, කාන්තාවන්, පිරිමින් අදීන් පවුල් පිටින්ම අමුඅමුවේ මරාදැමූ බව සටහන්වනු බව නොවනුමානය. ශ්‍රී ලංකා කතෝලික පල්ලිය මෙන්ම ලෝක ව්‍යාප්ත විශ්විය කතෝලික පල්ලිය ඇති තාක්කල් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේද කිතුවන්ගේ සමුහ ඝාතනයකට ලක්කල බව සදාකාලිකව සටහන්වෙනු ඇත. ඔවුහු ඔවුන් නම්නොකල සාන්තුවරුන් ලෙස සලකනු ඇත. මන්දයත් කතෝලික පල්ලිය ගොඩනැගුනේම දහස් සංඛ්‍යාත කිතුනුවන්ගේ ජීවිත පුජාවෙන් බව ඔවුන් අදහන බැවිනි. වසර දෙදහසකට පෙර මරාදැමු සිය ශාස්තෘවරයාගේ මෙන්ම ඔහුගේ අනුගාමිකයන්ගේ ඝාතනයන් අදද ඔවුන් වසරක් වසරක් පාසා සමරති. එහින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය කිසිදිනක අමතක කල නොහැකි, කිසිදිනක ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි, කාලයේ වැලි තලාවට හෝ ඉතිහාසයේ කුනු බක්කියට නොයන සිද්ධිවාචකයන් බව නම් නොකියමානය.

ඒ සම්බන්දයෙන් බින්දුවක හෝ සැකයක් නැත.

යම් ආකරයක හෝ සැක සාංකාවක් ඇත්නම් ඇත්තේ මෙකී පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් එය වැලැක්වීමට කිසිවක් නොකල බලධාරීන්ට සහ නිලධාරින්ට එරෙහිව ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස නිසි පියවර ගනීද?නොගනීද? යන්න සම්බන්දවය. පාස්කු ප්‍රහාරය ගැන සිදුකල විමර්ශන ඔස්සේ රජයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බාරව සිටි ඇතැම් නිලධාරීන්ට මෙන්ම බලධාරීන්ටද ඇගිල්ල එල්ලවී ඇති බව පැහැදිලිය. එමෙන්ම පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදුකල කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තුවේදී සිදුකල විවාදයේදී ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශයේ කණ්ඩායමක් වෙතටත් ඇගිල්ල දිගුවිය. එහෙත් ඔවුන් පිලිබදව, අදාල නිලධාරින් සහ බලධාරීන් පිලිබදව, ශ්‍රී ලංකාවේ වත්මන් රජය නිසි පියවරක් ගන්නේද? නැද්ද? යන්න ගැන ඇත්තේ මහත් විචිකිච්ඡාවකි.

ඔවුන් සම්බන්දයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම කෙසේවුවද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් 42 දෙදෙනෙකුට හෝ ඊට වඩා අඩු පිරිසකට 2021 ජුලි මාසය අගවනවිට නඩු දැමිමට අභිනවයෙන් පත්වූ නිතිපතිවරයා කටයුතු කරනු ඇති බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය 18/06/ 2021 පැවති පුවත්පත් සාකච්ඡාවකදී දක්වා තිබුණි. එහිදී ඔහු දක්වා තිබුණු ආකාරයකට පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මේ වනවිටද චුදිතයන් 32 දෙදෙනෙකුට එරෙහිව නඩු 8 පවරා අවසන්ය. එකී නඩු අතර 1.මාවනැල්ලේ බුදුපිළිම කැඩිම, 2.ලැක්ටෝස් වත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම, 3.පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දුන් තස්ලිම්ට වෙඩි තැබීම, 4. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය ආදිය වේ.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දක්වා ඊයේ (20/06/21) දක්වා තිබුනේ පොලිසියේ සහ ආරක්ෂක හමුදාවල නම් සදහන් කරමින් පාස්කු ප්‍රහාරයට සම්බන්දයෙන් ප්‍රශ්න කිරිමට අවශ්‍යයැයි සදහන් කරමින් කපප්පම් ඉල්ලා සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුම මේවන විට අත් අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් කවුද, ආරක්ෂක අංශවලට සම්බන්ද පිරිසක්ද? ආදිය ගැන මෙතෙක් කරුණු හෙළිකර නොමැත. ඒ මහතා තවදුරටත් දක්වා තිබුනේ 2019 පාස්කු ඉරිදා සිට මේ දක්වා එම ප්‍රහාරය සම්බන්දයෙන් 724 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතරින් 227 දෙනෙකු රක්ෂිත බන්දනාගාර ගතකර, 83 දෙනෙකු රැදවුම් නියෝග ඔස්සේද රදවාගෙන සිටින බවයි. තවද පොලිස් භාරයේ ඇති එකී සැකකරුවන්ගේ දේපල සහ වත්කම්වල වටිනා කම රුපියල් මිලියන 205 ක් බවද සදහන් කළේය. එමෙන්ම විමර්ශන ඔස්සේ රුපියල් බිලියන 28.5ක්ද, ඇමරිකානු ඩොලර් හය ලක්ෂ 95, 830ක්ද, රුපියල් මිලියන 14ක නිල් මැණික් තුනක් සහ රුපියල් මිලියන 24ක ස්වර්ණාභරණද, වෑන් රථ 7ක්, කැබ් රථයක්, මෝටර් සයිකල් 7ක්, ත්‍රිරෝද රථයක්ද, කාත්තන්කුඩියේ සහ වනාතවිල්ලුවේ ඉඩම් අක්කර 7 බැගින් ඉඩම් දෙකක් සහ තවත් ඉඩමක්ද පොලිස්භාරයේ ඇති බව දැක්වීය. ඒ අනුව සැකසැකකරුවන් 42කට ඊට ආසන්න ප්‍රමාණයකට අධිචෝදනා ඉදිරිපත්කරන බව දැක්වීය.

එම ප්‍රකාශය ඔස්සේ කියවෙනුවේ, පාස්කු ප්‍රහාරය ගැන ඊලගට නඩුවරන්නට යන්නේද සරත් වීරසේකර මහතා දැක්වූ නඩු 8 ආකාරයේ නඩු බවයි. එනම් පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ද, ඒ සම්බන්දයෙන් දැනදැනත්, ඒ ගැන තොරතුරු තිබියදීත් එය වැලක්වීමට කිසිවක් නොකල නිලධාරීන්ට සහ බලධාරීන්ට එරෙහිව නඩු පවරණ බවක් කියවෙන කිසිදු ඉගියක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයෙන් ඉදිරිපත්වී නැත. රජය ඔවුන් සම්බන්දයෙන් දක්වන ඇල්මැරුණු උනන්දුව, ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සමබන්දයෙන් නිසි පියවර නොගැනිම සම්බන්දයෙන් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයා පසුවන්නේ මහත් ආවේගයකය. ශ්‍රී ලංකාවේ කිතුනුවන් පසුවන්නේ මහත් උදහසකය. කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය පසුවන්නේ මහත් විරෝධයකය.

ඒ බව පසුගිය මස 21 සිට මේ මස 21ක දක්වා මාසක පමණ කාලයක්  තුල පමණක් කාදිනල්තුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දැක්වූ ප්‍රකාශයන්ගෙන් පෙනීයනු ඇත. ජුනි මස මුලදී කාදිනල්තුමා සදහන් කලේ පාස්කු ප්‍රහාරය සමබන්දයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකර අපරාදකරුවන්ට දඩුවම්දීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කදිනල්වරයාට ලබාදුන් පොරොන්දුව දැන් පුස්සක් වී ඇති බවයි. එහින් ජාත්‍යන්තර සහය ලබාගෙන පුළුල් විමර්ශනයකට යෑමට ශ්‍රී ලංකා කතෝලික පල්ලිය නොපැකිලෙන බව දැක්වීය. එමෙන්ම නෞකාවේ අනතුරෙන් අනතුරුව කාදිනල්තුමා ප්‍රකාශ කලේ ලංකාව සාපයකට ලක්වී ඇති බවයි. එකී සාපය පිළිබද කථාව සමග බොහෝ දෙනාගේ මතකයට නැගුනේ හරින් ප්‍රනාන්දු මතුකළ පාස්කු ප්‍රහාරයේ සාපය ඇතුලත් 'ස ගේ සත් සාපය' පිළිබද කතාවය. එමෙන්ම පසුගිය සතියේ සා. අන්තෝනි මංගල්‍යය දිනය සමරමින් කොච්චිකඩේදී සා. අන්තෝනි පල්ලියේදී කාදිනල්තුමා පැවසුවේ රජය පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ලවී ඇති අයට දඩුවම් නොදෙන්නේ නම්  දේව දඩුවම් ඉල්ලා යදින බවයි.

මෙකී ප්‍රකාශ තුල පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය දක්වන උදාසීන, මන්දගාමී වැඩපිළිවෙල ගැන ශ්‍රී ලංකා කතෝලික පල්ලිය දක්වන අප්‍රසාද පැහැදිලිවම සටහන්වෙන බව පැහැදිලිය. එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකරගැනීමට ඔවුන් දරන්නාවූ නොපසුබස්නා උත්සහය තවමත් අත්හැර නැති බවද පැහැදිලිය. ඔවුන් මෙතක් සිදුකල ආකාරයටම, දෙවියන් ඉදිරියේ යැදිම, විරෝධය දැක්වීම, යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තරයට යෑමට වුවද ඔවුන්ගේ ඇති අප්‍රතිහත ධෛර්යය සහ උවමනාවේ කිසිදු අඩුවක් දැකිය නොහැකි බවද පැහැදිලිය. රටේ පවත්නා කොරෝනා වසංගත තත්වය හමුවේ යම් යම් ක්‍රියාකාරීත්වයන්ගේ අඩුවක්, සීමාවක් දැකිය හැකිවුවද පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් යුක්තිය ඉටුවීමට ප්‍රමාදවීම සම්බන්දයෙන් කිතුනුවන්ට ඇති උවමනාවේ කිසිදු අඩුවක් නැත. කිසිසේත්ම එය ඔවුන්ට අමතකව ගොස් නැත. ඇත්තවශයෙන්ම, පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවීමට තවදුරටත් පමාවීම ඔස්සේ සිදුවන්නේ එය ඔවුන් තුල අභ්‍යන්තරව සක්‍රියවෙමින් ඇති ගිනිකන්දක් බවට පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉටුනොවුනා යන මතය පත්වීමය. ගිනිකන්දක් පුපුරා යන මොහොත කිසිවෙකු නොදනී. එහි ඇතිවිය හැකි ආනිසංස ගැනද කිසිවෙකුට කලින් කිව නොහැක. එහින් ප්‍රමාදයකින් යුක්තිය ඉටුකර මේ ගිනිදැල් නිවා දමන්නේ නම් මැනවි!!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/06/21

No comments:

Post a Comment