This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday 18 June 2021

ගම්වල නම් හැදීම ගැන ඉංග්‍රීසි කතාවක්

ගම්වල නම් ඉතිහාස කතා එක්ක සම්බන්ද කරන හැටි ලංකාවේ අපි හොදින් දන්නවා.

බ්‍රිතාන්‍යයෙත් එහෙම උත්සාහයන් හොදින් දකින්න තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙ ගමක් තියෙනවා Whestone (වෙට්ස්ටෝන්) කියලා. එහි වචනාර්ථය තමයි මුවහත් තියෙන ගල (sharpening stones) කියන එක. එම අර්ථය හා එක්කාසු කරපු ඉතිහාස කතාවකුත් තියෙනවා. 

ඒ තමයි ක්‍රි.ව.1455–1487 යන කාලවල ඉංග්‍රීසි රජපෙලපත් දෙකක් අතර ඇතිවූ රෝස යුද්ධවලදී (Wars of the Roses) තීරණාත්මක සටනක්වුනු 1471 'බාර්නට් සටනේදී' (The Battle of Barnet) ජයගත් 4 වන එඩ්වඩ් (Edward IV) රජගේ හමුදා මෙතන තිබුන ගලකින් කඩු මුවහත් කල නිසා ඒ ගමට කඩු මුවහත්කල ගල හෙවත් Whestone (වෙට්ස්ටෝන්) කියන නම ලැබුනා කියන එක. ඒ කතාව ඔප්පු කරන්න මේ ගමේ හන්දියේ තඩි ගලකුත් තියෙනවා මහජනයාට පේන්නම. 

ඕවා ඉතින් ගම්වලට අවධානය දිනාගන්න, වටිනාකම් එකතුකරගන්න ගොඩනගපු කතා වෙන්න පුලුවන්. ඒ වගේම තමයි මෙවැනි ගොඩනගන්න ලද ඉතිහාස කතා ඔස්සේ එකී ගම් රටේ ජාතික ඉතිහාසය ලෙස ප්‍රකාශිත මහා ඉතිහාස කතාවත් එක්ක සම්බන්ද කරනවා. එමගින් ජාතික ඉතිහාසය, ජාතික අනන්‍යයතාවය සමග එම ගම්මානත් පුරුද්දනවා. 

හරියට අර මීගමුව සහ මීවදය වගේ. විහාර මහාදේවිගේ දොලදුක සම්පුර්ණ කරන්න මීවදය හොයාගත්තේ මීගමුවේන්ය, ඒ නිසා මීගමුවට ඒ නම ලැබුනාය කියලා අපි කවුරුත් අහලා තියෙන කතාවක් තියෙනවා. විහාර මහාදේවිගේ දොලදුක ගැන කතාව මුලින්ම සදහන්වන්නේ ථුපවංශයේයි. ඒහි දක්වන්නේ ඔය කියන මීවදය හොයාගත්තේ 'ගොළු මුහුද' සමීපයෙන් කියලයි. 'ගොළු මුහුද' කියන්නේ මීගමුව මුහුදයි කියලා අර්ථ නිරූපනය කලේ මීගමුවේ හෙළහවුලේ ප්‍රධානියාවුනු, ඒ වගේම 1940ස් ගනණ්වල ලංකා සම සමාජ පක්ෂයේ මීගමුවේ නායකයාවුනු, පසුව පිලිප් ගුනවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ සභාපතිවරයාවුනු, ව.ස. ප්‍රනාන්දු හෙවත් වර්ණකුලසූරිය සන්තියාගෝ ගුරුන්වහන්සේයි කියලා අපි හොයාගෙන කියලා තියෙනවා කලින්ම.

මීගමුව ඇතුළු බස්නාහිර මුහුදට ඉස්සර කියලා තියෙන්නේ අරාබි මුහුද කියලයි. ඇරැත් මීගමුවේ ඉදන් කිලෝමීටර් 200 විතර එහායින් තියෙන මාගම හිටිය විහාර මහාදේවිලා මීවද හොයාගෙන මෙච්චර දුරක් එනවද ලංකාව වගේ මීවද බුහුලව සොයාගත හැකි රටක. 

ඒහෙත් කරුනු විකෘති ලෙස අර්ථ දක්වමින් හෝ ව.ස. ප්‍රනාන්දු ගුරුන්වහන්සේ උත්සාහ කලේ මීගමුවත් එවකට මහාවංසය මුල්කරගනිමින් නැගී එන ජාතික ඉතිහාසයට සම්බන්ද කිරීමටයි. ඔහු එහිලා අතිසාර්ථකවුනු බව අදත් මීගමුවේ නම සමග විහාර මහාදේවි, දුටුගැමුණු ආදීන් සම්බන්ද කිරීමෙන් පෙනීයනවා. 

ව.ස. ප්‍රනාන්දු ගුරුන්වහන්සේගේ එකී උත්සාහය ගැන ප්‍රවීන පුවත්පත් කතුවරයෙකුවූ එඩ්මන් කාරියකරවන මහතාත් සදහන් කරලා තියෙනවා.

ඔහොම ඉතිහාස කතා එමටයි. 

ඔය අපි මුලින් කතාකල බ්‍රිතාන්‍යයේ තියෙන Whestone (වෙට්ස්ටෝන්) ගමේ කතාවත් ඒ වගේමයි. ඒත් දැන් තහවුරු කරගෙන තියෙනවා ඔය තියෙන කඩුගෑවයි කියන ගලත් එච්චර පරණ නෑ. ඒ වගේම හොයාගෙන තියෙනවා ඔය ගමේ මුල් නම ලෙස සදහන්වී ඇත්තේ 'Le Weston' (1398), පසුව එය 'Wheston' (1417), 'Whestonestret' (1440) ඉන් අනතුරුව දැන් හදුන්වන Whestone (වෙට්ස්ටෝන්) නම පන නැගුන බව. ඒ අනුව එය 'කඩුගෑ ගල' යන අර්ථයෙන් බිදී ආවක් නොවන බව පැහැදිලියි. ඒ වගේම දැන් සොයාගෙන් තියෙන පැරණි වාර්තා (සුද්දෝ ලේඛනගත වාර්තා පවත්වාගෙන යන්න රුසියෝ) අනුව මේ ගමේ මුල් පදිංචිකරුවන් වෙලා තියෙන්නෙත් කුරුස යුද්ධ සමයේ ජෙරසලමේ කදවුරු බැදන් හිටපු උපස්ථායකයෝ (Hospitallers) කියන භටකණ්ඩායම් සහ ඔවුන්ගේ පවුල් කියලත් හොයාගෙන තිබෙනවා. බොහෝදුරට ඔවුන් මධ්‍යධරණීය කලාපයෙන් පැමිණි අය වියහැකියි කියලයි විශ්වාස කරන්නේ. මොකද කුරුස යුද්දයට සම්බන්දවුණු උපස්ථායකයෝ (Hospitallers) කියන භටකණ්ඩායම් ඉතාලි, ග්‍රීක සහ මෝල්ටා සම්භවයක් ඇති පිරිසක් ලෙස තමයි පොදුවේ පිළිගන්නේ. 

මෙන්න මෙහෙම තමයි ඔය මිනිස්සු මරාගෙන මැරෙන්න, ලියලා, විවිධ අර්ථ දැක්වීම් ඉදිරිපත්කරලා පිළිගන්වලා තියෙන විවිධ ඉතිහාස කතාවල් ගොඩනැගිලා තියෙන්නේ. ලංකාවෙත් තත්වය එක්කයි, බ්‍රිතාන්‍යයේ තත්වයත් ඒකයි. 

හුගාක්වෙලාවට ඔය ඉතිහාසය ලියන, කියන එක ඔස්සේ වෙලා තියෙන්නේ දන්න කරුනුවලින් නොදන්න කරුණු ආවරණය කරගන්න හදන එකයි, නැතිනම් දන්න කරුනු විවිධ විදිහට අර්ථ කථනය කිරීමයි. ඒ නිසා තමයි E.H.Carr (1961) ඔහුගේ 'What is History' කියන පොතේ කියන්නේ ''ඉතිහාස කරුණුත් හරියට මාළු කාරයාගේ මාළු ලෑල්ලේ තියෙන මාළු වගේ, අරන් ගිහින් විවිධ විදිහට හදලා විවිධ විදිහට පිලිගන්වන්න පුලුවන්'' කියලා ("The facts...are like fish on the fishmonger's slab. The historian collects them, takes them home and cooks and serves them"). ඔහු එයින් පෙන්වා දෙන්නේ ඉතිහාසය ගොඩනගන්නේම, ලියමින්, කියමින් ඉදිරිපත් කරන්නේම, කිසියම්වූ සමාජ සංදර්භයකට, හෝ කිසියම්වු අරමුණක් හෝ වුවමනාවක් වෙනුවෙන් කියන එකයි. 

අපි තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ එවැනි ඉතිහාස කතා ඔස්සේ තහවුරු කරන්න, මතුකරන්න බලාපොරුත්තුවෙන වෙන කාරණය කුමක්ද? එහි අරමුණ කුමක්ද? කියන කාරණයයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
18/06/2021

No comments:

Post a Comment