This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 19 May 2021

කොස්, පොලොස් සහ ඇපැල්

ගිය සුමානේ මම මේ ටින් තෝරතෝර ඉද්දී සුද්දෙක් ඇවිල්ලා කියනවා මේවා නම් මරු, ඌරු මස් වගේමයි: Absolutely fantastic, කියලා. මම එයාට කියන්න ගියේ නෑ ඔව්, ඔව් මම දන්නවා. අපි පොඩිකාලේ ඉදන් ඕවා කලා තියෙනවා. සුද්දෝ අපිට ඕවා කියලා දෙන්න ඕනෑ නෑ, කියලා..

අපි මොකටද අපි දන්න කියන දෙයක් අලුතින් රසවිදින මිනිහෙක්ට එහෙම පල්පාට් දාන්නේ? තවතවත් ඔහුව දිරිමත් කරනවා මිසක්.

ඒත් මම ඔහුගෙන් ඇහැව්වා ''උබ කොහොමද මේවා ඉව්වේ?'' ''මොකක්ද රෙසපි එක?'' කියලා. එතකොට මට මේ හාදයා YouTube එකෙනුයි, වෙබ් සයිට්වලිනුයි රෙසපි බර ගානක් පෙන්නුවා .

ඊට පස්සෙ මගෙන් ඇහැව්වා අපි කොහොමද මේවා උයන්නේ කියලා...YouTube එකේ උයන "අපේ අම්මා" උයන්නේ සිංහලෙන් විතරක් නිසා මට සිද්දවුනා ඒ ටික ඒ හාදයාට තේරුම් කරලා දෙන්න. ඒ වගේම අපේ රටේ, අපේ අම්මලා, කාන්තාවෝ පොලොස් හදන හැටි ගැනත් මම දන්න ටිකත් කිව්වා.

ඊට පස්සේ මම ඔහුට වරකා ටින් එහෙමත් තියෙනවා කාලා බලන්න කිව්වා. ඔහු මගෙන් ඇහැව්වා ඊට අමතරව තව මොනවද මේ Jack Fruit වලින් උයන්නේ කියලා. මම ඔහුට කොස්, පොලොස්, හෙරලි, Brazil nut වගේ තියෙන කොස් ඇට ගැනත්, කිරිකොස්, වැල / වරකා ගැනත් කිව්වා. ඊට අමතරව කොස් කොළ, කොස් ලී ගැනත් සදහන් කලා.

එතකොට ඔහු කියපු දෙයක් තමයි මේ වගේ රටවල (බ්‍රිතාන්‍යයේ/යුරෝපයේ) එහෙම ගස් නෑනේ කියලා. ඔහු එයින් අදහස් කලේ කොස් ගස් නෑ කියන එක නෙමේයි; කොළයක ඉදන් කද දක්වා ප්‍රයෝජනයට ගත හැකි ගස් නෑ කියන එකයි.

මම ඔහුගෙන් ඇහැව්වා ''ඇපැල් ගස් ටිකක් ඒ වගේ නේද?'', ''ඇපැල් ගෙඩි කන්න, උයන්න, රසකැවිලි/ඩෙසර්ට්(dessert) හදන්න, සයිඩර් (Cider) ඉදන් ඇපැල් යුස පානයන් හදන්න, ඌරුමස්, සලමන්, මැකරල් වගේ මාළු දුම් ගස්සන්න ලී දඩු වශයෙන් භාවිතා කරන්න, ඇපැල් කොළ, දළු, උදරාබාධ, සමේ රෝගවලට, තම්බලා, කොටලා එහෙම ගන්නවා නේද''? කියලා.

"ඇත්තම නේන්නම් උබ කියනකම් මට ඒක මතක් උනේ නෑනේ" කියලා ඔහු කිව්වා. මම කිව්වා කොස් (Jack Fruit) උනත් අපේ රටවල එහෙම තමයි. එහි වටිනාකම අවබෝධ වෙන්නේ මෙහෙම ටින් වලින් හරි, මර්කට් එකෙන් හරි සල්ලිදීලා ගන්න ගියහමයි, එතකන් තවත් නිකන් බෝගයක්, අතුරු ආහාරයක් (staple food) විතරයි කියලා...

ඇත්තටම එහෙම නෙමේද? වටිනාකමක් එකතුකරනකම් වටිනාකමක් නෑ නේද? කොස් උනත්, ඇපැල් උනත් එහෙම නෙමේද? ගස්යට වැටිලා යනකම්, ඔහේ තියෙනකම් කිසිම වටිනාකමක් නෑ. වටිනාකමක් එකතුකෙරුවොත්, මිලක් එකතුකෙරුවොත්, තමයි වටිනාකමක් ලැබෙන්නේ...

එහෙම වෙන්න ඕනේ නෑ...

හැම දේකම වටිනාකමක් තියෙනවා කියලා අවබෝධ කරගෙන ජීවත්වුනාම, හැමදෙයක්ම රැක ගන්නවා විතරක් නෙමේ, හැම දෙයක්ම හොදින් ‍රසවිදිනත් පුලුවන්. අවශ්‍යවන්නේ වටිනාකමක් තියෙනවා කියලා අවබෝධකරගෙන, වටිනාකමක් ඇතිව ජීවත්වීමයි !!!

අපේ ගම්වල කොස් කාපු හැටි ගැන මේ ලිපියෙන් කියවන්න - මීගමුවේ කොස් කෑම

මාකස් ප්‍රියන්ත පෙරේරා
19/05/21

4 comments:

  1. මේකයි, "මීගමුවේ කොස් කෑම"යි දෙකම කියෙව්වා. පෝස්ට් දෙකම කොස් වගේම රහයි.

    ReplyDelete