This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 20 September 2020

මීගමුවේ කොස් කෑම

මට මතක විදිහට දිවුලපිටියේ හෙන්පිටිගෙදර පියනන්ද හාමුදුරුවෝ 1965 ලියපු 'ගමක වෙනස' කියන නවකතාවේ එකතැනක කියනවා මීගමුවෙන් කත් බැදන් එන මාළු වෙළෙන්දෝ ආපහු යද්දී කොස් අරන් යනවා කියලා...ඇත්තටම මීගමු පොලේ, මාකට්වල කොස් විකුණන්න තිබුනත් මීගමුවේ එහෙම සාරේට කොස් වැවෙන පලාතක් නෙමේ...

පත දෙල් ගස් නම් අඩුවක් නැතිව තිබුනා...

එත් මීගමුවේ මිනිස්සු මස්,මාළු, කරෝල එක්ක කොස් කන්න රුසියෝ. 

ඉස්සර මාකට් එකේ ලපටි කොස් හෙවත් හෙරළි ලියන කාන්තාවෝ කිහිපදෙනෙකුම හිටියා. මීගමුව සා. පීතර විදුහල අසල පිහිටි බන්දුල මාර්කට් එකට ඇතුල්වෙන තැනම කාන්තාවන් තුන්දෙනෙක් හෝ හතර දෙනෙක් හෙරළි ලිවීම ජීවිකාව කරගෙන ජීවත්වුවා. ඒ අය අතර ඇග්නස් නැන්දා නම් කාන්තාවක්දවූ බව මට තවම මතකයි. නගර මධ්‍යයේ පිහිටි බන්දුල මාකට් එක හැරුනහම මීගමුව පොලේද, කාමච්චෝඩේ පිහිටි ඩඩ්ලි මාකට් එකේද, පෙරියමුල්ල සහ කොච්චිකඩේ මාකට්වලද, දළුපොත සහ දළුවකොටුව කඩපේලිවලද,මුන්නකරය අලියා පිට්ටනිය අසලද ලපටි කොස් හෙවත් හෙරළි  ලියන කාන්තාවන්හෙරළි ලිවීම මෙන්ම කොස් විකිණීමද ජීවිකාව කරගත් කාන්තාවන් සැලකිය යුතු පිරිසක් සිටියා. මීගමුවේ මිනිස්සු පෝලිමේ ඉදලයි ඒ අයගෙන් කොස් හෙරළි අරන් ගියේ. ගම්බිරිස් රසට හෙරළි මැල්ලුම පිලියල කිරීම මීගමුවට ආවේනික ව්‍යංජනයක් විදිහට ඒ දවස්වල බොහෝ ප්‍රසිද්ධියක් දිනා සිටියා. (මීගමුවේ අතීත නිෂ්පාදන සහ පරිභෝජන රටාව ගැන මගේ පැරණි ලිපියක මින් පෙර සටහන් කලා එය මෙතනින් කියවිය හැකියි.)

ඇත්තටම එළවළුවක් විදිහට හරි තම්බලා කන ආහාරයක් විදිහට හරි කොස් මීගමුවේ ජනප්‍රිය ආහාරයක් වීම නිසාම අර මාළු වෙළදාමේ ගිය වෙළෙන්දෝ ආපහු මීගමුවට එද්දී කොස් අරන් ආවා කියන එක පිළිගන්න පුළුවන්. මාළු කත් කාරයෝ කොස් අරන් ආවා කියන එකෙන් පෙනීයන දෙයක් තමයි මීගමුව වෙරළ අද්දර කෙසේවෙතත් මීගමුවේ සිට හැතැප්ම කිහිපයක් රටතුලට ගමන් කරපුවහම ඕනෑ තරම් කොස් හොයාගන්න පුළුවන් කියන එකයි. මීගමුවේ ඉදන් මාළු අරගෙන කත් කරුවන් අවට පළාත්වලට ගියා වගේම තමයි මීගමුව අවට පිහිටි මිනුවන්ගොඩ, දිවුලපිටිය, කටාන, මැල්ලව ගෙදර ආදී අවට පළාත්වලින් මාළු මිලදී ගැනීමට මාළු වෙළෙන්දන්ද පැමිණියා. ඔවුන්ද මීගමුවට කොස් ගෙනා බව පිළිගන්න පුළුවන්. මේ සියල්ලෙන්ම කියවෙන්නේ මීගමුවේ ජයටම කොස් කෑමක් තිබුන බවයි. 

ඔය ටික මට කියන්නවුනේ ඉහත ජායාරූපය දැක්කහමයි.

1950 වර්ෂයේදී මීගමුවේදී ගනුලැබු ජයාරූපයක් ලෙස දැක්වෙන්නේ මෙම ජායාරූපයේ දැක්වෙන්නේ මගීන් පිරිසක් මීගමුව කලපුවෙන් ඔරුවක නැගී ගමන් කරන්න සුදානම්ව සිටින ආකාරයයි. ඉස්සර මීගමුවේ කොතලාවල පාලම හදන්න කලින් දූව, පිටිපන, තලාහේන, මුන්නක්කරය, දුන්ගාල්පිටිය දක්වා ප්‍රදේශවලට මිනිස්සු ගමන්කලේ ඔරුවෙන්.

කොහොම හරි, ඔය ඔරුවේ යන්න යන මගීන් අතර ඇති කූඩවල තියෙන්නේ කොස්ගෙඩි කියලා පැහැලිව පේනවා. ඒවගේම එම කූඩ මීගමුවේ බහුලව භාවිතාකරන මාළු වට්ටි නැතිනම් මාළු කූඩ කියලත් පැහැදිලියි. ඒ කියන්නේ මේ ජායාරූපයේ ඉන්නේ, අර හාමුදුරුවන්ගේ පොතේ කියනවා වගේ උදේ මාළු විකුණන්න ගිහින් හවස කොස් අරන් එන මාළු වෙළෙන්දන්/වෙළෙන්දියන් පිරිසක්ද? බලන්න දන්න කියන අය එහෙම ඉන්නවාද කියලා....

ඒවගේම මෙම ජයාරූපයේ සිටින කාන්තාවන් ඇදන් සිටින හැට්ට ගැන ද යම් කථාවක් මතුවුනා. එහිදී කියවුන දෙයක් තමයි වැලමිටෙන් පහලට අත් ඇති හැට්ට ඇදන් හිටි කාන්තාවන් බොහෝදුරට මීගමුව පිටිපන පැත්තේ කාන්තාවන් විය හැකි බවත්... වැලමිටෙන් ඉහලට අත් ඇති හැට්ට ඇදන් සිටි කාන්තාවන් බොහෝදුරට දූව, තලාහේන පේරුව ආදී ප්‍රදේශවලට අයත් කාන්තාවන් විය හැකි බවත් කියවුනා. දැන් මීගමුවේ කාන්තාවන් අතර දැකිය නොහැකි මේ ඇදුම්වල වෙනස්කම කුල වෙනස්කම් මත නිර්මාණය වුවක් ලෙස පිළිගත හැකියි. 
 
1955දී මීගමුව කලපුව හරහා කොතලාවල පාලම ඉදිකිරීමත් සමග දූව, පිටිපන පළාත්වලට ඔරුවෙන් යෑම නතර වුනත් තවමත් කොස් කෑම අත් හැරී නැහැ. මෙම ජායාරූපයේ දැක්වෙන සරුසාර පොල් වගාවත් දැන් මීගමුවේ දැකීමට නැහැ. සරු සාර පොල්වතු කුඩා කුඩා ඉඩම් කුට්ටිවලට බෙදිලා දැන් පොල් ගස්වලට වැඩිය තියෙන්නේ ගෙවල්. ඒ කාලේ කොච්චර නම් පොල්වතු මීගමුවේ තිබුනද කියලා හිතා ගන්න වෙන්නත් මේ වගේ ජයාරූපවලින්ම තමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
20/09/2020

1 comment:

  1. මම ජීවත් වෙන්නේ කටුවැල්ලේගම. මට සීයා , තාත්තා කියලා තියනවා මීගමුව නගරයේ සිට කොස් ගෙනියන්න මිනිස්සු එනවා කියලා 😊😊😊

    ReplyDelete