This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 23 September 2020

''අනේ මේ ධර්මපාලතුමාගේ ප්‍රතිමාව ඔයාට කොහෙන්ද?''

දැන් ටික කාලේකට පෙර අපේ ගෙදර ආව අපේ යාළුවෙක්ගේ බිරිදක් ඔය තියෙන Bust sculpture එක දැකලා පුදුමයෙන් වගේ ඇහැව්වා ''අනේ මේ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රතිමාවක්නේ...ඔයා කොහෙන්ද මේක ගත්තේ..." කියලා. 

ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් මම එක පාරටම ඇහැව්වේ ඔයා ඉස්කොලේ ගියේ කොලඹ ආනන්ද බාලිකාවටද කියලයි. ඒක තරමක් අමුතු/බලාපොරොත්තු නොවන (odd) ප්‍රශ්නයක් වුනත් මම එහෙම ඇහැව්වේ අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරය තියෙන්නේ කොලඹ ආනන්ද බාලිකා විදුහල් භුමියේයි. එහි ඉහත වර්ගයේ ධර්මපාලතුමාගේ Bust sculpture කිහිපයක්ම තියෙනවා. ඒවා දැකලා පුරුද්දට ඇය එහෙම ඇහැව්වද කියලා මම හිතපු නිසයි මම එහෙම ඇහැව්වේ. නෑ ඇය එම පාසලට ගිය ශිෂ්‍යයාවක් නෙමේයි. 

මම මේ ධර්මපාලතුමා ගැන කතා කරන්න හිතුවේ පසුගිය සුමානේ එතුමාගේ ජන්ම සංවත්සරයක් යෙදී තිබුන නිසාත්, සමහර ලාංකිකයන්ගේ facebook පිටුවල වගේම ලංකාවේ පත්තරවලත් පසුගිය සතිය පුරාම ධර්මපාලතුමා ගැන පුළුල් සාකච්ඡාවක් ඇතිවි තිබුන නිසයි. 

ලංකාවේ කිතුනු අපිට කෙසේවෙතත් සිංහල බෞද්ධ සමාජයට නම් අනගාරික ධර්මපාලතුමා කියන්නේ සුවිශේෂ චරිතයක්. 

මක්නිසාදයත් අනගාරික ධර්මපාලතුමා තමයි ලංකාවේ යටත් විජිත යුගයේ සිට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තිබු ලාංකික සමාජය තුල සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ක්‍රියාකල තැනත්තාවුනේ. 

ඇතැම් විද්වතුන්ට අනුව නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය ගොඩනැගුවේ අනගාරික ධර්මපාලතුමාගේ මගපෙන්වීම තුලිනුයි. ඔහු එහිලා දෙයාකාරයක ක්‍රියාමාර්ග අනුගමනය කලා. 

එකක් තමයි බටහිර සංස්කෘතිය, ක්‍රිස්තියානි ආගම, බටහිර සභ්‍යත්වය, බටහිර ශිෂ්ටාචාරය සහ බටහිර වටිනාකම් ප්‍රතික්ෂේප කරමින් පැරණි ලංකාවේ පැවති ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීම. 

අනෙක තමයි එසේ බටහිර සහ දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි ආදී අනෙකුත් අනන්‍යතා ප්‍රතික්ෂේප කරන ගමන්ම ඒ ඒ අනන්‍යතාවල විවිධ අංග උපාංග, සංස්කෘතික ලක්ෂණ එකතුකර ගනිමින් මේ යුගයට ගැලපෙන ලෙස ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනැගිමට ක්‍රියාකිරීම. උදාහරණයක් ලෙස ක්රිස්තියානින්ගේ නත්තල වගේ වෙසක් උත්සවය සැමරීමට කැරොල් වගේ භක්ති ගීත, නත්තල් කාඩ් වගේ වෙසක් කාඩ් මුද්‍රණය කිරීම ආදී මෙකී නොකී දාහක් දේවල් දැක්විය හැකියි.

මේක හරියට 'දවල් මිගෙල් රැ දැනියෙල්' වගේ වැඩක්. ඒත් අපි අහලා තියෙනවානේ ''පෙදරේරුවා ඉවතදැමු ගලම එහි මුල්ගල විය'' කියලා කථාවක් (The stone the builders rejected has become the capstone - Psalm 118:22). එහෙ උනෙත් එකම තමයි ප්‍රතික්ෂේප කරපු එකම අරන් එහෙටමෙහෙට කරලා අළුත් එකක් හදාගත්තා. ධර්මපාලතුමාගෙන් පස්සේත් ඔහුගේ ඒ වැඩ පිලිවෙල ලංකාවේ විවිධ අය විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දිගටම ක්‍රියාත්මක කලා .

එහිදි යම් ආකාරයකට ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට ලංකාවේ සිංහල බෞද්ධ ජනයාට හැකිවුනත් ශ්‍රී ලංකාවට රටක් වශයෙන් බොහෝදේ අහිමිවී ගොස් තිබෙනවා. අහිමිවූ විශාලමදේ තමයි සිංහල බෞද්ධ (සහ, පසුකාලීනව ඊට ප්‍රතිපක්ෂව ගොඩනැගුන ලංකා දෙමළ) ආදී වාර්ගික ජාතිකත්වයන් (ethnonationalism/Ethnic-nationalism) ගොඩනගා ගැනීමට සමත්වුවත්: ශ්‍රී ලාංකික නම් සමස්ත දේශයම නියෝජනය කල හැකි පුළුල් සිවිල් ජාතිකත්වයක් (Civic nationalism) ගොඩනගා ගැනීමට නොහැකිවීම. එක තමයි නිදහසෙන් පස්සේ අපිට අහිමිවූ, තවමත් කීයටවත් අත්කරගැනීමටවත් පුළුවන් කියලා හිතන්නවත් බැරි විශාලතම නොලැබීම. 

ඊට අමතරව අහිමිවූ බොහෝ දේවල් තිබෙනවා. ශ්‍රී ලංකාවටම කියලා සම්භව්‍ය සංගීතයක්වත් නොතිබීමත් ඉන් එකක්. අද අපි ලග ඇති ශාස්ත්‍රීය සංගීතය කියන්නේ ඉන්දියානු දෙයක්...බටහිර සම්භාව්‍ය සංගීතය ලංකාවට තවමත් ආගන්තුකයි. මහජනයාට කිසිසේත්ම රසවිදීමට හෝ ඉගැනීමට ඉඩක් නැති, අවකාශයක් නැති ක්ෂේත්‍රයක්. එනිසා තමයි අපේ මිතුරාගේ බිරිදට අර අපේ ගෙදර තියෙන Mozartගේ Bust sculpture එක නුහුරුවෙන්නේ, අදුනගන්න බැරිවෙන්නේ... අනගාරික ධර්මපාල වගේ පෙන්නේ...

මම හිතන්නේ ලංකාවේ තරමක් හරි බටහිර සම්භාව්‍ය සංගීතය ගැන පරිචයක් සහ නැබුරුවක් ඇති පිරිසක් ඉතුරුවෙලා තියෙන්නේ ABRSM හරි Trinity College හරි music exam කරන පිරිස නිසා නෙමේයි: කතෝලික/ක්‍රිස්තියානිපල්ලි නිසයි. ඒවායේ කැරොල්/පසන්/කන්තාරු/choir නිසයි. ඉන් පුහුණව ලැබූ පිරිසක් වගේම, ඔවුන්ගෙන්, ඒවායින්, ආශ්වාදය ලද පිරිස් නිසා අදටත් ලංකාවේ බටහිර සංගීතය කියලා යමක් ඉතුරුවෙලා තියෙනවා. ඒත් එකත් බටහිරම නෙමේ. ධර්මපාලගේ පාරේ ගිහින් ලංකාවේ පැරණි ශිෂ්ටාචාරය පදනම් කරගත් නූතන සිංහල බෞද්ධ අනන්‍යතාවය අනුව ගොඩනැගුන එකකුත් නෙමේ. ලංකාවේ ක්‍රිස්තියානි ජනයාගේ අනන්‍යතාවය කියන්නේ බටහිරමත් නොවන සිංහලමත් නොවන වෙනම එකක්. එකට හේතුව එහි 'මුල' බටහිර වීමත් 'කද' දේශීය වීමත් වීමයි. ඉතින් මල්, පලතුරු, කොළ ගැන අමුතුවෙන්ම හිතාගන්න ඕනේ නේ...හැබැයි ඒ අයට ධර්මපාලවත් අදුන ගන්න පුළුවන් Mozartවත් අදුනගන්න පුළුවන්... 

කාට හරි ඕනේ නම් එක ගැන කියන්න පුළුවන් 'මට නම් ඒ ගැන ඇත්තේ සතුටක් වගේම ආඩම්බරයක්' කියලා. නමුත් එකත් වැරදියි... මොකද එකට කියන්නේ ස්වොත්මවාදය (chauvinism) කියලයි. ඒ කියන්නේ තමන්ගේ දේ උසස් කියලා හිතීමවගේ දෙයක්. කිසිම අනන්‍යතාවයක්වත්, සංස්කෘතියක්වත් අනිකට වඩා උසස්වත් පහත්වත් නෑ. අරකට වඩා මේක ඉස්මතුකර දැක්වීමවත් මේකට වඩා අරක ඉස්මතුකර දැක්වීමවත් තේරුමක් නැති දේවල්. ඒවා සියල්ලම මිනිස් වර්ගයාගේ නිර්මාණ. එකක් අනෙකෙන් පෝෂණය වෙනවා. එකක්වත් ප්‍රතික්ෂේප කරන්නවත් ඉවත දමන්නවත් අවශ්‍ය නැහැ. කොහෙත්ම අපිට ධර්මපාලගේ මාර්ගයේ යන්න ඕනේ නැහැ... අපිට අවශ්‍ය සාර්වභෞමික, විශ්වදේශි (cosmopolitan) මනුෂ්‍ය ප්‍රජාවක් වීමටයි. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
23/09/2020

6 comments:

  1. https://lankacitizens.com/social/අනේ-මේ-ධර්මපාලතුමාගේ-ප්%e2%80%8d/

    ReplyDelete
  2. ලෝකය තියෙන්නෙ ලන්කාව ඇතුලෙ කියල හිතන අය අහන ප්‍රශ්න ඕවා තමයි. මේකට වඩා අරක ඉස්මතුකර දැක්වීමෙන් වෙන්නෙ අනිත් දේවල තියෙන positives ගන්න බැරි වීම විතරයි.

    ReplyDelete
  3. "බටහිර සම්භාව්‍ය සංගීතය ලංකාවට තවමත් ආගන්තුකයි" Very true. One person who tried to educate Sri Lankans on Western Classical Music was Mrs Sujatha Jayawardena, wife of Mr Stanley Jayawardena. She ran a programme on Rupawahini in the 80s called "Introduction to Classical Music". She didn't just play classical music, but gave a short talk about the composer and the background that put the particular music piece in context. Pity that programme didn't run for long.

    ReplyDelete
  4. It is a pity. I don't know why Sri Lankan authorities are not putting enough effort to introduce and promote (Western) Classical music for their people, perhaps it may be a big challenge to their cultural establishment or a practical huge hurdle for them to jump over.

    ReplyDelete