This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 19 April 2021

ලංසලාට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදයි


ඉස්සරහට ජාතිවාදීන්ගෙන් නිමල් ලංසලාටත් බේරුමක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. එයාලා මුල්වටයෙන්ම ලංසලාවත් කුණුකූඩෙට විසිකරලා දාන්න තමයි යන්නේ. කාට හරි ඕනේ නම් කියන්න පුලුවන් එහෙම වෙනවා නම් හොදයිනේද කියලා. ඒත් ප්‍රශ්නය එච්චර සරල නෑ...

ලංසාලා කොච්චර පොහොට්ටුවට කඩේ ගියත්: 'අපි ගම්පහ', 'අපි සිංහල', 'අපි ලංකාවේ ජාතිකත්වය නියෝජනය පොහොට්ටුවේ නියමුවන්', 'ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රට බේරගත්ත වීරයා', 'මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ ජන නායකයා' වගේ මොන 'ලොකු ටෝක්ස්' දුන්නත්, ලංසා කියපු ගමන් "මුන් මේ කොහෙ උන්ද?" කියලා තමයි රටේ උන් අහන්නේ (මාකස් ලා කිව්වත් එහෙම ම තමයි ).

රටේ තත්වය දැන් ඕක තමයි. 

ඉස්සර වගේ ක්‍රිස්තියානි බෞතීස්ම නම් විතරක් නෙමේ පෘතුගීසි වාසගම් පවා තියෙන උන් දිහා පිටස්තරයන් වගේ බලන තත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. මේ තත්වය රාජපක්ෂලාගේ යුගයේදී වඩාත් තීව්‍ර ලෙස වර්ධනය වුනා. ඉස්සරහට තත්වය තවත් දරුනුයි. 

ඉතින් නිමල් ලංසලා උඩදාගෙන රාජපක්ෂලාට කඩේ ගියාට රාජපක්ෂලා පිටිපස්සේ තියෙන බලවේගය තනිකරම ජාතිවාදී ජාතිකවාදී බලවේගයක් කියලා ලංසාලා තේරුම් ගන්නේ නෑ. එයා මේ 'බැසිල් බැසිල්' කිය කිය රාජපක්ෂලාගේ පස්සෙන් පාරෙන් වැටුනට බැසිල්වත් මට්ටුකරන් තමයි සිංහල-බෞද්ධ ජාතිවාදී ජාතිකවාදී බලවේග ඉස්සරට එමින් තියෙන්නේ. 

මොකද විමල් - බැසිල් අතර පොහොට්ටුවේ බල අරගලය උත්සන්න වුනු ගමන් විමල් වීරවංශගේ 'ලංකා සී නිවුස්' වෙබ් අඩවිය බැසිල්ට විතරක් නෙමේ බැසිල්ගේ ඇට්ටෝ බැට්ටෝ, බැච්චෝ බිජ්ජෝ, ඔක්කොටම දිගටම ගහන්න ගත්තා. ඕක කලින්ම දැක්ක නිසා තමයි මම අර 30/03/21 පද පේලි 04කුත් ලිව්වේ:

පාසැල් මිතුර නිමල් ඔබේ සැපදුක් කෙලෙසින්වීද?
අප්පා නැතිකලට ඔබ රැකුමට බාප්පා ගුවනින් එයිද?
කොයිහැටි උනත් බැසිල් ගැන සිතා ආන්ඩුව රැකගන්න,
එත් හැම කුණු ගොඩටම කටමැද නොදොඩන්න!!

දැන් විමල් ලා නෙමේ පොහොට්ටුවේ න්‍යායාචාර්ය විදිහට සලකන නලින් ද සිල්වාත් කෙලින්ම ලංසලාට 'පල නොකියා පල කියන' පලා බෙදන්න පටන් අරන් තියෙනවා. නලින් ද සිල්වාගේ කාලය වෙබ් පිටුවේ 13/04/21 පලවුනු 'ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා' ලිපියේ කෙලින්ම කියලා තියෙනවා 'ලංසාලා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගැන දැනුමක් නැති, මහා සංඝයා වහන්සේලාට ගරු බුහුමන් නැති, රණවීරුවන්ගේ ජීවිත පුජාවන් ගැන අබමල් රේනුවක තැකීමක් නැති පොහොට්ටුවේ සිටින ජාතිකත්වයක් නැති, ජාතිකත්වයට විරුද්ධ' එකෙක් කියලා. (ලිපිය පහලින් තියෙනවා කියවන්න පුලුවන්.) 

ඉස්සරහට ලංකාවේ දේශපාලනය බෙදෙන ජාතිකත්වය සහ ජාත්‍යන්තරත්ව කියන බෙදුම් රේඛාවකදී ලංසලාට පැහැදිලිවම තමන්ගේ පිල තෝරාගන්න සිදුවෙනවා නියතයි. එය පොහොට්ටුවේ ඇතුලේද පිටද කියලා වෙනසක් නෑ. සටන දිග හැරෙන්නේ එහෙම නම්, ලංසා එකතුවෙන්නේ ඔය කොයි ගොඩටද කියන එක උඩ තමයි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තීරණය වෙන්නේ. 

ඕනේ නම් කාට හරි අහන්න පුලුවන් ලංසාලා මෙහෙම හරි කැපිලා යනවා නම් ඒක නෙමෙද වෙන්නේ ඕනෑ? කියලා. 

මම නම් හිතන්නේ ලොකු තුවාලයකින් පීඩා විදින දියවැඩියාව රෝගියෙකුගේ තුවාලයට විතරක් නෙමේ දියවැඩියාවටත් නිසි ප්‍රතිකාර නොකර සුවවීමක් නෑ කියලයි. ඒ කියන්නේ ලංසා වැනි දේශපාලකයින් ඉවත්කිරීම තුල පමනක් ලංකාවේ දේශපාලනය යහපත් දිසාවකට යොමුවෙන්නේ නෑ. ඒකට ලාංකීක දේශපාලනය වෙලාගෙන ඇති ජාතිවාදී ජාතිකවාදී බලවේග පරාජය කල යුතුයි. ඇත්තටම ලංකාවේ දේශපාලනය තුල තීරණාත්මක සාධකය එයයි.

අර ඉතාලියේ ජිවත්වූ දේශපාලන දාර්ශනිකයෙක්වු  Antonio Gramsci ගේ 'Contradiction and Overdetermination' කියන දේශපාලන විග්‍රයක් අනුව යමින් ආචාර්ය නිව්ටන් ගුණසිංහ 1984 මැයි මාසේ දී Lanka Guardian සඟරාවට ලිව්ව 'May Day After July Holocaust' නම් ලිපියේ දැක්වූවා වගේ ලංකාවේ ජන වාර්ගික අර්බුදය ප්‍රමුඛතම දේශපාලන සාධක බවට, 'Overdetermination' සාධක බවට ත්වීම, 'අධිනිශ්චයවීම', තමයි 1980 දශකයේ ඉදන් අදටත් ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකය බවට මුල් බැසගෙන තියෙන්නේ. ඒක විසදන්නේ නැතිව සංවර්ධනය නෙමේ යහපත් පාලනයක්වත් ලංකාවට අත්කරගන්න බෑ කියලා තමයි අපි තවමත් තේරුම් ගන්නේ. 

ඒ අනුව ලංසාව පොහොට්ටුවේන් විසිවෙනවාද? නැද්ද? කියන එකට වඩා පොහොට්ටුව තුලත්, රට තුලත් ජාතිවාදී ජාතිකවාදීන් කොච්චර බලවත් වෙනවාද කියන එකයි අපිට මුලික වශයෙන්ම වැදගත් වෙන්නේ. 

මාකස් ප්‍රියන්ත පෙරේරා 
19/04/2021 

මහාචාර්ය නලින් ද සිල්වා හුගේ කාලය  වෙබ් පිටුවේ ලියු ලිපිය 

Tuesday, 13 April 2021

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

පළාත් සභා මැතිවරණය තියන්න එපා කියලා එක එක්කෙනා කිව්වට, ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව අපිට කටයුතු කරන්න බැහැ. පළාත් සභා මැතිවරණය තියන එක ජනතාවගේ අයිතියක්. අපි කොට්ඨාස ක්‍රමය පළාත් සභාවට හඳුන්වා දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොට්ඨාස ක්‍රමය. නමුත් සමහර අය, සමහර පක්ෂ පරණ ක්‍රමයට යමු කියනවා. කොට්ඨාසය තුළත් අපේක්ෂකයෝ තුන්දෙනෙක්, දෙදෙනෙක් දාන්න පුළුවන් වෙන්න ඕන. පක්ෂයට ඡන්දය දෙනවා. හැබැයි ඉල්ලන පුද්ගලයාට කැමති නැහැ. අකමැත්තෙන් මනාපය දෙනවා. එය ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී අපි දැක්කා. දැන් මෙම ක්‍රමය තුළත් සුදුස්සන් තෝරන්න පුළුවන්. එම අයිතිය ජනතාවට ලැබෙනවා.



මේ සඳහාත් සමහර අය විරුද්ධ වෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට දෙද්දී විරුද්ධ වෙන්න බැහැ. තමන්ට කැමති පක්ෂයකට ඡන්දය දෙන්න පුළුවන්. කැමති අපේක්ෂකයෙක් තෝරන්න පුළුවන්. එක එක අය කෑගැහුවට ජනතාවට තියෙන අයිතියක් අපිට නැති කරන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.”



ඉහත සඳහන් වන්නේ රාජ්‍ය ඇමති ලංසා කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැන ලංකා සී නිවුස් සමාජයිය මාධ්‍යයේ සටහන් වී තිබූ පුවතක කොටසක්. එය නිවැරදි යැයි අප විශ්වාස කරනවා. ඒ නිවැරදි නම් පමණක් පහත සඳහන් ප්‍රතිචාරය වලංගුයි. මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ ලංසාගේ නොදැනුවත්කම, උද්ධච්ඡකම, මහා සංඝායා වහන්සේට නොසැලකීම ආදී කරුණු රාශියක්. ඕනෑම දේශපාලනඥයෙක් කරන ආකාරයට ලංසා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ද එල්ලෙනවා.

1987 දී වයස දහතුනක් වූ ලංසා කළේ මොකක් ද ඔහුගේ දේශපාලනය කුමක් ද යන්න ආදිය ගැන මට වැටහීමක් නැහැ. පළාත් සභා ඇති කෙළේ කාගේ වුවමනාවට ද, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව ද, ඔය කියන මහජනයා පළාත් සභාවලට එකඟ වුණා ද ආදිය ගැන ලංසා දන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ. ලංසා කියන්න පුළුවන් පළාත් සභා කොහොම ඇති වුණත් ඒවා දැන් මෙරට ස්ථාපිතයි කියල. ඒ තර්කය අනුව අප 1815 දී කොහොම එංගලන්තයට යටත් වුණත් එය ස්ථාපිතයි කියල එහෙම ම ඉන්න තිබුණා. අප නිදහස වෙනුවෙන් සටන් කළා. ජ වි පෙ නම් සටන් කෙළේ නිදහසක් ගැන නොවෙයි. නොදන්නා අය නම් කියයි විජේවීරට විරුද්ධ ව නඩු පැවරුවේ රැජනට විරුද්ධව කැරළි ගැසීම කියා තිබූ පමණින් විජේවීර එලිසබෙත්ට විරුද්ධ ව සටන් කළා කියලා. ඔහුගේ ඊනියා සටන මාක්ස්ගේ ඊනියා පංතියක් වෙනුවෙන් මිස ජාතියක් වෙනුවෙන් නො වෙයි.

ලංසාට අමතක ඇති ජේ ආර් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ හැටි. එහෙමත් නැත්නම් මන්ත්‍රීවරු හෝටල්වල හිරකරගෙන දහතුන්වැනි සංශෝධනය ශ්‍රෙෂ්ඨාධිකරණයට එරෙහිව ගොස් ජනමතවිචාරණයක් නොවත්වා සම්මත කරගත් හැටි. දහතුන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයකට අනුව සම්මත කරගත් එකක් නො වෙයි. ලංසා එය ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියන්නේ ඔහු ජේ ආර් පාක්‍ෂිකයකු නිසා ද? එහෙමත් නැත්නම් එකල ඔහුට වයස දහතුනක් පමණක් වූ නිසා ද? දන්නෙ නැත්නම් විජේමුනි විජිත රෝහණ ද සිල්වාගෙන් දැන ගන්න.

අනෙක් අතට පළාත් සභා ඇති කෙළේ කාගේ ප්‍රශ්නයක් විසඳන්න ද? ලංකාවේ දෙමළ ජනයාගෙන් බහුතරය ඉන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට. පළාත් සභා පිහිටුවීමෙන් ඔවුන්ගේ ඇතැයි කියන ප්‍රශ්නය විසඳෙනවා ද? රණවිරුවන් ජීවිත පූජාවෙන් සටන් කෙළේ අහවල් දේකට ද? පළාත් සභා පවත්වාගෙන යනවා කියන්නේ රණවිරු ජීවිත පූජාව සතපහකට ගණන් නොගැනීමක්. ලංසාට චන්ද්‍රිකා ජීඑල් මංගල සමග එක් වී ඊනියා සාම සාකච්ඡා මගින් ඔය කියන ප්‍රශ්න විසඳා ගැනීමට බැරි වුණේ මොකද? ඉන්දියාවෙ වුවමනාවට අප මත බලෙන් පැටවූ පළාත් සභා ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ද? අද අපේ නිදහස වෙනුවෙන් නම් කරන්න ඕන ඉන්දියාවට යට නොවී පළාත් සභා අහෝසි කිරීමයි. ලංසා පක්‍ෂ ලංකාවට නො වේ ද?

පොදුජන පෙරමුණේ ජාතිකත්වයක් නැති අය ඉන්නවා. ඔවුන් හිතන්නේ ජාතිකත්වයක් ඇති අය ජාතිවාදීන් කියා. ජාතිකත්වවාදීන් නිසා තමයි ඊනියා සාම සාකච්ඡා බිඳ වැටුණේ. ලංසාලා ක්‍රියා කරන්නේ ජාතිකත්වයට විරුද්ධ ව. පළාත් සභාවලින් කසිකබල් දේශපාලනඥයන් කිහිප දෙනකුගේ රැකියා ප්‍රශ්නය හැරෙන්නට විසඳෙන වෙනත් ප්‍රශ්නයක් නැහැ.

ලංසා කියන්නේ එක් එක්කෙනා කීවාට පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න ලංසාගේ ප්‍රජාතන්ත්‍රවාදය, එ කියන්නේ ජේ ආර්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අනුව බැහැ කියා. මේ කියන එක එක්කෙනා කවුද? මෙරට මහා සංඝයා වහන්සේත් ලංසාට අනුව එක එක්කෙනා ද? මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටින්නේ පළාත් සභා මැතිවරණ නොතියා ඉන්න පමණක් නොවෙයි. ජේ ආර්ගේ හා රජිව් ගාන්ධිගේ පළාත් සභා අහෝසි කරණ ලෙසටයි. මෙරට මහා සංඝයා වහන්සේ ලංසාට අනුව එක එක්කෙනා වෙන්න පුළුවන්. ඒ ලංසාට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හා ඉතිහාසය ගැන දැනුමක් නැති නිසා වෙන්න පුළුවන්. මට නම් ඔය මන්ත්‍රීවරුන් එක එක්කෙනාවත් නො වෙයි. අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය. 

No comments:

Post a Comment