This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 21 February 2021

පාස්කු ප්‍රහාරයට මාස 22කයි. කාදිනල් උසාවියට. කිතුනුවන් දංගෙඩියට

පාස්කු ප්‍රහාරයට අදට මාස 22ක් ගතවී තිබුනද ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයාට එම සිදුවීම අද ඊයේ සිදුවූ සිදුවීමක් වැනිය.  කිසිසේත්ම ලේසියෙන් අමතක කල නොහැකි එම දුඛ්‍යවේදනාවන් සිතාමතාම, සැලසුම් සහගතවම, අප ජනයා මත පතිතකල විනාශයක් බව දැන් හොදහැටි පැහැදිලිය. මේ ජන ඝාතක කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කවුද? ඔවුන්ට ආධාර අනුඅබල දුන්නේ කවුද? ඔවුන්ගේ අරමුණු කුමක්වුයේද? යන්න හෙලිකරන්නාතුරු, ප්‍රහාරකයන් පිටුපස සිටින්නන් නීතිය ඉදිරියට පත්කරනතුරුම, පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ ඥාතිමිත්‍රාදීන් පමණක් නොව යුක්තිය සහ සාධාරණය වෙනුවෙන් සාපිපාසාවෙන් පෙලෙන්නන්ද නිහඩනොවන බව ඊයේ (20/02/2021) දිනයේ කටුවපිටියේ දියත්වූ විරෝධයේදීද, නිදහස් දිනයදා (04/02/2021) උතුරු නැගෙනහිර දියත්වූ දැවැන්ත විරෝධතා පාගමන්වලදීද ප්‍රදර්ශනය විය. 

කටුවපිටියේ විරෝධතාවය ගැන මාධ්‍ය වාර්තාකලද නිදහස් දිනයදා උතුරු නැගෙනහිර දියත්වූ විරෝධතාවයන්වලදී 2019 පාස්කු ඉරිදා මඩකලපුව සියොන් කිතුනු දේවස්ථානයටද එල්ලවූ ප්‍රහාරයෙන් විපතටපත් ජනයාට යුක්තිය ඉටුකරන්න යැයි සදහන් පුවරු රැගත් ජනයාද ගමන්කල බව සිංහල මාධ්‍ය වාර්තාකර නොතිබුණි. එක් අතකින් නිදහස් දිනයදා උතුරු නැගෙනහිර දියත්වූ විරෝධතාවයන් සංවිධානයකලේ දෙමළ සන්ධානය විසින් වීමත්, එකී විරෝධතාවයන් මුලික වශයෙන් සංවිධනය කර තිබුනේ රජය අත්කරගෙන ඇති ඉඩම් නැවත අත්පත් කර ගැනීම, වසර ගණනාවක් නඩු නොමැතිව සිරගෙවල්වල රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, අතුරුදහන්වීම් පිලිබදව තොරතුරු හෙළිකරගැනීම, කොරෝනාවෙන් මියයන මුස්ලිම් සහ කතෝලික ජනයාගේ සිරුරු ආදාහනයට ඇති අයිතිය සහ වතුකරයේ කම්කරුවන්ට දිනක වැටුප රු1000 කරන ලෙසවූ ඉල්ලීම ආදීය කේන්ද්‍රකරගෙන මිස හුදෙක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය ඉල්ලීම වෙනුවෙන් පමණක් නොවීමත් ඉහතකී මාධ්‍ය අවධානය ගිලිහීයෑමට හේතුවන්නට ඇත. එහෙත් එම විරෝධතාවයන්වලදී පවා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවන්ට යුක්තිය ඉටුකරනු යැයි සදහන් දෙමළ භාෂාවෙන් කියවුණු පුවරු රැගත් ජනයා ගමන්කල බව සදහන්වෙන බව සටහන් කල යුතුමය.

ඒ කෙසේවුවද ඊයේ (20/02/2021) කටුවපිටියේ දියත්වුයේ නම් කිසිසේත්ම කලින් සැලසුම්කල උද්ගෝෂණයක් නොවේ. බිෂොප්වරයෙකු ආගමික වැඩසටහනක් (අභිවෘද්ධි ආලේපය) සදහා කටුවපිටිය පල්ලියට පැමිණීමට නියමිතව තිබී ඇති අතර ඉන් අනතුරුව නිහඩ විරෝධතාවයක් දැක්වීමට කටයුතුකර තිබුණි. එයට මුලික වශයෙන්ම හේතුවූයේ  පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට ජනාධිපති පත්කළ කොමිසම් සභාවේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව ඔහු ඒගැන නැවත නිර්දේශ කිරීමට ඇමතිවරුන්ගෙන් සමන්විත තවත් කමිටුවක් පත්කිරීමට එරෙහිවය. පැහැදිලිවම මේ කරන්නේ එක්තරා විදිහක කාලය කා දැමීමකට වඩා කිසියම් ආකාරයක තවත් ගැටයක් ගැසීමට මිස ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරීමට නොවන බව ජනතාවට සක්සුදක්සේ පැහැදිලිව එත්තුගොස් තිබුණි. 

පාස්කු ප්‍රහාරයෙන් විපතටපත් ජනයාට යුක්තිය ඉටුකිරීමට යැයි කියමින් බලයට පැමිණි මේ රජය දැන් කරන්නේ එය යටගැසීමට හෝ කාලයේ වැලිතලාවට යටවී යන්නට හෝ දී අතසෝදාගැනීමට බව පැහැදිලිය. කොමිසමේ වාර්තාව සහ නිර්දේශ මහජනයාට විවෘත නොකර, රටට හෙලිනොකර, ඒ ගැන අධ්‍යනය කිරීමට තවත් කමිටු පත්කරන්නේ රටකපටිකමකට  බව පැහැදිලිය.  මුල පටන්ම ඒගැන ඉවවැටුන නිසාදෝ මෙන් කාදිනල්තුමා ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ඉල්ලා සිටියේය. එහෙත් අද වනතුරුද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකී වාර්තාවේ පිටපතක් කාදිනල්වරයාට ලබාදුන්නේ නැත. අඩුම තරමින් පාර්ලිමේතුවේ සභාගත කලේ හෝ නැත. කටුවපිටියේ උද්ගෝෂණය ගැන කනවැකුණු කාදිනල්තුමා මීගමු කටුවපිටියට පැමිණ ජනාධිපතිවරයා සහ රජය  කොමිසමේ වාර්තාව ගැන භයවී ඇත්දැයි හැගීයන්නේ යැයි කිව්වේ එවැනි පසුබිමකය. ඇත්තවශයෙන්ම, කොමිසමේ වාර්තාව සහමුලින්ම එලියට නොදාන්නේ කිසියම් හොරයක් ඇති නිසාය. නැතිනම්  රජයේ දේශපාලන බලයට අභියෝගයක්වන නිසාය. ගෝඨාභය රාජපක්ෂ රජය තුනෙන් දෙකක බලයක් ලබාගෙන පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සභයෝගය ඇතිවය. එහි නායකයා පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබයදීත් එය වැලක්වීමට කිසිවක් නොකල හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ඇමතිවු මෛත්‍රීපාල සිරිසේනය. කොමිසමේ වාර්තාවෙන් ඔහුට එරෙහිව පියවරගන්නයැයි නිර්දේශවී ඇතයි කියවේ. අනෙක් අතට කොමිසමේ විමර්ශන කටයුතුවලදී ප්‍රහාරය වැලක්වීමට කටයුතු නොකලේ මන්ද යන්න පමණක් නොව සහරාන්ලා මුදල්, අරමුදල් සහ ආයුධ රැස්කර ගත්තේ කෙසේද, ඔවුන්ට ආධාර, අරමුදල්, පුහුණුව, තොරතුරු, තාක්ෂණික දැනුම සහ ආයුධ ලබාදෙමින් ඔවුන්ව මෙහෙයවුයේ කවුද යන්න ගැන පවා විමර්ශනය කල යුතුයැයි අතිගරු මැල්කම් රංජිත් කාදිනල්වරයා ලිඛිතවම ජනාධිපති කොමිසමෙන් ඉල්ලා තිබුණි. කාදිනල් වරයාගේ එකී ඉල්ලීමට විමර්ශන කොමිසම දැක්වූ ප්‍රතිචාරය කුමක්ද යන්න ගැන දැනගැනීමට නොහැක. එය දැනගත හැක්කේ කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය. එහෙත් රජය කරමින් සිටින්නේ කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත්නොකරමින් 'කොකා පෙන්වීමය'.  කාදිනල්වරයා ප්‍රශ්නකරන පරිදි රජයට හැංගීමට යමක් තිබේද? රජය මේ හදන්නේ මේ කොම්සම් වාර්තාවත් හමස්පෙටියට යැවීමටද? උගත් බුද්ධිමත් විනිසුරුවරුන් විසින් සිදුකල විමර්ශනයක් ගැන නිර්දේශ කරන්නට '8ට පාස් දේශපාලුවන්' ගෙන් යුතු කමිටු පතකරන්නේ මක්කටද? සිදුවිය යුත්තේ අදාල විමර්ශන වාර්තාව නිතිපතිවරයට ලබාදී නිතිප්‍රකාරව කටයුතු කිරීම නොවේද? අත්තවශයෙන්ම  කාදිනල්වරයා කියන පරිදි තරාතිරම නොබලා  එලෙස කටයුතුකළ හැක්කේ කොන්ද පණ ඇති නායකයින්ටය. අපිට අවශ්‍ය කොන්ද පණ ඇති නායකයින්ය. 

කාදිනල්තුමාගේන් කවදා හෝ අභියෝගයක් මතුවෙන බව රජය කාලයක් තිස්සේ තක්සේරු කරමින් සිටින බව නොරහසකි. විශේෂයෙන්ම කොමිසමේ විමර්ශන කටයුතු හොදින් සිදුවී නොමැති නම්, අඩුම තරමින් කොමිසම නිර්දේශකර ඇතිදේවත් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකරයි නම්, පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීමට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර අධිකරණයට වුවද යෑමට එතුමා පසුබට නොවන වග රජය හොද හැටිදනී. ඔවුන් බලාපොරොත්තුවූවාට පෙරම කාදිනල්තුමා පසුගිය අළු බදාදා (17/02/2021)  ප්‍රකාශ කලේ රජය පාස්කු ප්‍රහාරය පිළිබද නිසි විමර්ශනයක් කර යුක්තිය සහ සාධාරණත්වය ඉටුනොකරයි නම් තමන් ජාත්‍යන්තර විමර්ශනයකට සහ ජාත්‍යන්තර අධිකරණයට යෑමට නොපැකිලෙන බවය.  එය රජයේ දෙකොණ ගිනිගත් ප්‍රකාශයක්විය. විශේෂයෙන්ම ජිනීවා හමුව රැස්වීමට නියමිත කාලවකවානුවක මෙවැනි ප්‍රකාශයක  ඇති බරපතලකම රජයට වැටහීමට ඇත. රජය එයට ප්‍රතිචාර දැක්වුයේ ඔවුන්ගේ අඩහැරයක් වන දෙරණ නාලිකාව යොදාගනිමින් කාදිනල්වරයාගේ ප්‍රකාශයක කොටසක් යොදාගනිමින් ඔහුව හෑල්ලුවට ලක්වීමට ඉඩ හැරීමය. එම ප්‍රකාශය නම් ''පාස්කු ප්‍රහාරය පිලිබදව අපි   දෙවියන්ගේ උසාවියට යනවා'' යන ප්‍රකාශය. එය සමාජ මාධ්‍යවලට අල්ලා ගැනීමට හොද කෑල්ලක් බවට  පත්වීමට ගතවුයේ නිමේෂයකි. කතෝලිකයින් පවා වගක්විගක් නොවිමසමින් දෙරණ විකෘති කරනලද ප්‍රකාශය ගැන විවිධ ප්‍රකාශ කරමින් එය share  කරන්නට විය. එකී කථාව තුල කාදිනල්තුමාව හෑල්ලු කිරීමේ උත්සහයක් තිබුබව ඔවුන් අවබෝධකර නොගත්හ. කාදිනල්තුමාගේ ප්‍රකාශයේ පදනමවුයේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයාගේ දුක්වෙදනාවන් අපි දෙවියන්ගේ අධිකරණයට අරගෙන යනවා යන්නය. 

එහෙත්, එහෙන්මෙහෙන් කෑලි කපා අලවා, කරුණු විකෘතිකර, කාදිනල්තුමා කිචකර හෝ පාස්කු ප්‍රහාරය පිලිබදව යුක්තිය සහ සාධරණය ඉටුකරන ගැනීමට නගන හඩ හෝ එම ව්‍යායාමය යටපත් කල නොහැකි බව ඊයේ කටුවපිටියේ පැවති උද්ගෝෂණය නැවත තහවුරු කළේය. සටන දියත්වී ඇත්තේ facebook හෝ මාධ්‍ය ලෝකය දියත්කරන විවිධ කොලිත්තම් සමග නොව මහපොළොවේ ඇත්ත තත්වය සමග බව කටුවපිටියේ ජනයා ඊයේද නැවත ඔප්පු කරනලදී. වෘර්කයන් ගහන පාළුකරකයක  සිටිනා බැටළු රැලකට එඩේරකු සිටීම  ශක්තියක් බව අප තේරුම්ගත යුතුය. එඩේරා දුර්වලවීමේ හෝ දුර්වල කිරීමෙ වාසිය යන්නේ බැටළු රැලට කෙලහලන වෘර්කයන්ටය. 

මාකස් ප්‍රියන්ත පෙරේරා
21/02/2021    

4 comments:

  1. WHY THE CATHOLIC PRIESTS CAN'T LEAD THEIR PEOPLE IN A MORE ORGANISED & EFFECTIVE MANNER FOR AN ISLAND WIDE PROTEST CAMPAEIGN DEMANDING JUSTICE FOR EASTER TERROR ATTACK ???.......... THE COWERDY SILENCE OF CATHOLIC CLERGY ( ESPECIALLY THE YOUNG PRIESTS ) IS A BLESSING FOR POLITICAL BARSTARDS IN ALL PARTIES TO HIDE THIS JENOSIDE & RELEASE TERRORISTS & THEIR SUPPORTERS FOR POLITICAL & FINANCIAL GAINS FROM THE EXTREMISTS ......... SADLY WE'RE FAR BEHIND OUR ENEMY IN UNITY & CLERGY WITH A BACK BONE 😢.

    ReplyDelete
  2. I think island-wide catholic protests are on the cards, perhaps it will happen in a few months time. Once the church moves in to protest mode, it wouldn't be easy for lazy or pleasure-seeking clergymen, who will be put back into line, too.

    ReplyDelete
  3. https://lankacitizens.com/political/පාස්කු-ප්%e2%80%8dරහාරයට-මාස-22කයි/

    ReplyDelete