This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Saturday 6 March 2021

කළු ඉරිදාට කලින් ආතුරවීම

'කළු ඇදන් එන්න හොද නෑ' - වරක් නොව දෙවරක්ම, කණ්ඩලම රැකගැනීමේ සටනට මෙන්ම එප්පාවල පොස්ට්පෙස් නිධිය රැකගැනීමේ සටනටද සහභාගීවූ සුදු ලෝගුවකින් සහ කළු බද පටියකින් (cincture) සැරසී සිටි කතෝලික පියතුමන්ලාගේ කළු බද පටිය පෙන්වමින් සිල්ඇදුමින් සැරසී සිටි උපාසක අම්මලා කිහිපදෙනෙකු කියනු මම අසාසිටියෙමි. 

එවකට කම්කරු ඇමතිවරයාවූ මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවූ අතුරුදහන්වුන් සිහිකරනු පිණිස රද්දොළුගම හන්දියේ ඉදිකර ඇති ස්මාරකය අසල පැවති ඔක්තෝම්බර් 27 සැමරෑ සභාවක් මෙහෙයවීමේ කටයුතු පැවරී තිබු මම කළු කමිසයකින් සැරසී සිටීම ගැන අතුරුදහන්වූ  පුතු සැමරීමට පැමිණ සිටි මවක් සිය නොසතුට පලකලේ 'කළු අදින්න එපා පුතේ, කළු අපලයි' යැයි කියමිනි. ශ්‍රී ලාංකික සමාජය තුල කළු ඇදුම පිලිබදව ඇත්තේ කෙතරම් නම් තැතිගන්නා සුළු ආකල්පයක්දැයි මම ඒ සෑම අවස්ථාවකදීම පසක්කර ගත්තෙමි.

මාගේ මෙම මතකයන් නැවත අවධිකලේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය සහ සාධාරණය ඉල්ලා ශ්‍රී ලංකා කතෝලික පල්ලිය, රංජිත් මැල්කම් කාදිනල්තුමාගේ ප්‍රදානත්වයෙන්, ප්‍රකාශයට පත්කළ මාර්තු 7 ඉරිදා කළු ඇදුමෙන් සැරසී පල්ලියෑම හෙවත් 'කළු ඉරිදා විරෝධය' පිළිබද පෙලගැස්මත් සමගය. මේවනවිටද එහිලා ඇති පෙළගැස්ම කෙතෙක්දයත් මාගේ facebook පිටුවේ බොහෝදෙනෙකු, ආගම, ජාතිය හෝ භාෂාව ආදිය නොසලකමින් සිය ජයාරූපයන් 'කළු ඉරිදා මාර්තු 7' යැයි යනුවෙන් වෙනස් කරගෙන තිබේ.

ඇත්තටම මේම පෙළගැස්මට යම් උද්දීපනයක් ඇති කිරීමට ඉකුත් පෙබරවාරි 23 බොදුබල සේනා සංවිධානයට සම්බන්ද භික්ෂුන් විසින් කාදිනල් හිමියන්ට සහ ශ්‍රී ලංකාවේ කතෝලිකයින්ට අනතුරු අගවමින් සිදුකල මාධ්‍ය හමුවද හේතුවන්නට ඇති බව මගේ තක්සේරුවයි. එකී මාධ්‍ය හමුවේදී ඉහතකී හික්ෂුන් දැක්වුයේ කතෝලිකයින් ලංකාව තුල සංස්කෘතික ආක්‍රමණය නිරතවී ඇති බවත්, 'උන්වහන්සේ' වැනි වචන පවා දැන් සිංහල කතෝලිකයින් භාවිතයට ගන්නා බවත්, එකී වචන බෞද්ධ වචන බවත්, ඒවා කතෝලිකයින් භාවිතා කිරීම සිදුනොකල යුතුබවත් දැක්වීය. භාෂාවක් තවත් භාෂාවකින්ද, සංස්කෘතියක් තවත් සංස්කෘතියකින්ද, පෝෂණයවනවග මෙම භික්ෂුන් නොසලකා හැරියා පමණක් නොව සිංහල භාෂාවට සහ සංස්කෘතියට වෙනත් භාෂාවලින් සහ සංස්කෘතින්ගෙන් එකතුවුනු වචන මෙන්ම විවිධ සංස්කෘතික අංගද, සිංහල භාෂාවෙන් සහ සිංහල සංස්කෘතියෙන් වෙනත් භාෂාවලට සහ වෙනත් සංස්කෘතියන්ට එකතුවුනු වචන මෙන්ම සංස්කෘතික අංගද ඇති බව ඔවුහු නොතකා හැරියේය. ඊටත් වඩා මෙම භික්ෂුන්ගේ ඉහත ප්‍රකාශ ඔස්සේ සිංහල කතෝලිකයින්ට සිංහල සංස්කෘතියට ඇති අයිතියද නිෂේධනය කළේය.

ඒ සියල්ලටම වඩා කාදිනල්තුමා පසුගිය අළු බදාදා (17/02/2021) ''රජය පාස්කු ප්‍රහාරය පිළිබද නිසි විමර්ශනයක්කර යුක්තිය සහ සාධාරණත්වය ඉටුනොකරයි නම් ජාත්‍යන්තර විමර්ශනයකට හෝ ජාත්‍යන්තර අධිකරණයකට යෑමටවුවද නොපැකිලෙන'' බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් ඔවුන් දැක්වූ ප්‍රතිචාරයවුයේ අනාගතයේදී ඔවුන් සංස්කෘතික විප්ලවයකට පෙළගැසෙන බවට කල ගර්ජනය ය. ඇත්තවශයෙන්ම, කාදිනල්තුමාගේ ඉහත ප්‍රකාශය ආණ්ඩුවේ සහ එහි ඇතැම් බලවේගවලවල දෙකොණ ගිනිගත් ප්‍රකාශයක්විය.

විශේෂයෙන්ම 'ජිනීවා හමුව' හමුවේ ආතතියක පසුවෙන රජය කාදිනල්තුමාගේ ප්‍රකාශයත් සමග කාදිනල්ව කෙසේ හෝ අඩපන කිරීමට තීරණයකට පැමිණි බව ආණ්ඩුවේ ප්‍රබල ප්‍රචාරක නාලිකාවක් වන දෙරණ නාලිකාව කාදිනල්වරයාගේ ප්‍රකාශයක කොටසක් යොදාගනිමින් ඔහුව හෑල්ලුවට ලක්වීමට ඉඩ හැරීමට කටයුතු කලා අයුරින්ම පෙනීයනලදී.

එම ප්‍රකාශයවුයේ කාදිනල්ගේ කතාවක කොටස් මෙහෙන් අමුණා නිර්මාණයකල ''පාස්කු ප්‍රහාරය පිලිබදව අපි දෙවියන්ගේ උසාවියට යනවා'' කියන කොටසය. කාදිනල්තුමාගේ ප්‍රකාශයේ පදනමවුනේ ''පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනයාගේ දුක්වෙදනාවන් අපි දෙවියන්ගේ අධිකරණයට අරගෙන යනවා' යන්නය. එහෙත් විකෘතිකර ප්‍රචාරයකල කොටස සමාජමාධ්‍ය හරහා කාදිනල්තුමාගේ ප්‍රතිරූපය සවුත්තු කිරීමේ අදහසින් නිර්මාණය කරනු ලැබුවක්බව පසුව පැහැලිවිය. එහෙත් සටන දියත්වී ඇත්තේ facebookවල හෝ මාධ්‍ය ලෝකය දියත්කරන විවිධ කොලිත්තම් සමග නොව මහපොළොවේ ඇත්ත තත්වය සමගය යන්න ඊට පසු සෙනසුරාදා කටුවපිටියේ දියත්වූ උද්ගොෂණයත් සමග සනාථවිය. බොදු බලසේනා සංවිධානයට සම්බන්ද භික්ෂුන්වහන්සේලා කිහිප නමක් ඉදිරියට පැමිණ ඉහත මාධ්‍ය හමුව පැවැත්වුයේ ඉන් අනතුරුවය. එහිදී ඔවුන් කාදිනල්තුමාට තර්ජනාත්මක ස්වරූපයෙන් දැක්වුයේ කාදිනල්තුමා ජිනීවා එහෙම ගියහොත් ඔවුන් සංස්කෘතික විප්ලවයක් කරන බවත්, ලංකාවේ කෙතරම් දෙනෙක් මියගියද රටේ ප්‍රශ්න ජාත්‍යන්තරයට රැගෙන යෑම ද්‍රෝහී ක්‍රියාවක් බවත් දක්වමිනි. 

එහිදී ඔවුන් අමතක කරන තවත් කරුණක් වන්නේ රටේ ප්‍රශ්න ජිනීවාවලට මෙන්ම ජාත්‍යන්තරයටද මුලින්ම රැගෙන ගියේ ඔවුන්ගේ අද විරුවෙක්වී සිටින මහින්ද රාජපක්ෂ මහතා බවය. 1988/89 සිංහල තරුණ/තරුණියන් මරණවිට ජිනීවා ගිය මහින්ද රාජපක්ෂ විරුවාවීමටත්, දෙමළ තරුණයින් මරණවිට ජිනීවා යන දෙමළ නායකයින් හෝ පාස්කු ප්‍රාහාරයට යුක්තිය සොයා ජිනීවා ගියහොත් කතෝලික නායකයින් ද්‍රෝහීන්වන්නේ රාජ්‍යයේ ඇති මර්ධනකාරී ස්වරූපය අවබෝධකර ගැනීමෙන් තොරව හුදෙක් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් ඔද්දල්වන පිරිසකට පමණි.

ඇත්තවශයෙන්ම, ඉහත ජාතිවාදී සහ වර්ගවාදී පෙලගැසීම් අපි කලින්ම දුටුවා පමණක් නොව එගැන අවස්ථා ගණනාවකම ලියා ඇත්තෙමු. දෙමළ සහ මුස්ලිම් විරෝධයන්ගෙන් පසුව ඔවුන් ඊලගට පෙළගැසෙන්නේ ක්‍රිස්තියානිකාරයින් වෙතටබව අපි කලින්ම කිව්වෙමු. මේ මොහොතේ කාදිනල්ව ගොදුරු කරගන්න උත්සකරන මේ ජාතිවාදී, ජාතිකවාදී, වර්ගවාදී බලවේගවලට ඉඩදුන්නොත්, එය කතෝලිකයින්ගේ විනාශයට පාර කැපීමක්වනබව අපේ අදහසය. එහෙත් සභා නායකයින් ඒ සියළු තර්ජන ගර්ජන හමුවේවුවද සන්සුන්ව, සැදැහැ සිතින් පසුවුහ.

එයට හොදම උදාහරණය ඉකුත් 02/03/2021 දින මාර්තු 07වෙනිදා පැවැත්වීමට නියමිත කළු ඉරිදා විරෝධතාවය ගැන අදහස් දක්වමින් කාදිනල්තුමා ඇතුළු පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවය. බොදුබල සේනාවේ තර්ජන ගර්ජන ආදිය ගැන කිසිදු හැලහප්පිමකින් තොරව, ඒවාද හරිහැටි තේරුම් ගනිමින්, එම මාධ්‍ය හමුවේදී එතුමා ප්‍රකාශකලේ ''අපිට බෞද්ධ-ක්‍රිස්තියානි ගැටුමක්වත්, ක්‍රිස්තියානි-මුස්ලිම් ගැටුමක්වත් අවශ්‍ය නෑ, අපිට අවශ්‍යය අපරාධකරුවන්ව නීතිය ඉදිරියට ගෙනියන්නයි, කුමන බාධක ආවත් අපි ඒ සටන නවත්වන්නේ නෑ'' යන්නය.

මගේ ගැටළුව නම් මේ ආකාරයෙන් සිදුකරන සියළු බාධක හමුවේ, අටවන උගුල් හමුවේ, පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වූවනට යුක්තිය ඉටුකරගැනීම ලංකාව වැනි රටක කෙතරම් නම් දුෂ්කර කාර්යභාරයක්ද යන්නය. සියළු බොරුවල්, මර උගුල් සමග පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරීමට කාදිනල්තුමා වැනි අයකු මිස වෙනත් කිසිදු ජගතෙකුට පහසු නැතිබව පැහැදිලිය. සියළු පාර්ශව ගැන අවධානය යොමුකරමින්, අවශ්‍ය ලෙස සියළු පාර්ශව කලමාණාකරනය කරගනිමින්, කිසිදු ගැටුමකින් තොරව සාමකාමිව ඉදිරියටයෑමට කාදිනල්තුමාට ඇති අසමසම හැකියාව කිසිසෙත්ම සුලුපටු නැත. එම හැකියාව නම් ලංකාවේ කවුරු කවුරුත් උන්වහන්සේගෙන් ඉගෙනගත යුතුම අභ්‍යාසය.

කිතුනු ජනතාව සාමකාමිව එකම බැටළු රැලක් ලෙස එකට තබාගනිමින් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුවනට යුක්තිය ඉටුකිරිමට ඔහු සිදුකරමින් ඇති කාර්යභාරය මැඩ පැවැත්වීමට දැන් අලුත්ම කුමන්ත්‍රණයවී ඇත්තේ එතුමාව දේශපාලනකාරණයකට ලක්කර කිසියම් ආකාරයක රාමුවකට කොටුකිරීමය.

එය 'කළු ඉරිදා විරෝධතාවයට' සමගාමිවම සාමාජ මාධ්‍ය ඔස්සේ දියත්වී ඇති බව මා දුටු  සමාජ පොස්ට් කිහිපයක් ඇසුරින් පෙන්වාදිය හැක. ඉන් එකක්වුයේ: "ඝාතකයා රජ කරවලා ඉරිදාව කළු කරලා වැඩක් නෑ කාදිනල්" යන්නය. ඇතැම්විට එයින්ම උපුටාගෙන සකස්කලා වියහැකිවූ තවත් පොස්ට් එකක තිබුනේ "ඉරිදා කළු කරලා වැඩක් නැහැ අපරාධකාරයින්ට රට බාරදීලා" යන්නය. මෙකී ප්‍රකාශ ඇතුලත් පොස්ට් එකකුත් සමාජ මාධ්‍යවල සංසරණයවනු දැකිය හැකිවිය.

ඇත්තවශයෙන්ම ඔය කියන අපරාදකාරයින්ට රට බාරකලේ කාදිනල්ද? කතෝලිකයින්ද? කතෝලිකයින / ක්‍රිස්තියානිකාරයින්ගේ  චන්දවලින් ඉහතකී අපරාධකාරයින්ට බලයට පත්විය හැකිද?

ලංකාවේ කතෝලිකයින් සිටින්නේම ලක්ෂ 12කි. එයිනුත් සිංහල කතොලිකයින් ඇත්තේ ලක්ෂ 7කි. ලක්ෂ 5ක්ම දෙමළ කතෝලිකයින්ය. ජනාධිපතිවරණයේදී දෙමළ චන්ද මේ ආන්ඩුවට ලැබුනේ නැත. ඒ අනුව ඉතිරිවෙන සිංහල කතෝලික චන්ද ලක්ෂ7ම මේ ආන්ඩුවට ලැබුනිද? කාදිනල්තුමා ඒ සියළු සිංහල කතෝලික චන්ද රාජපක්ෂලාට හැරෙව්වාද? එසේවුයේ එම ජනාධීපතිවරණයේදී මීගමුව, වත්තල වැනි ආසනවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරදීද?

මොරටුවේ සිට හලාවත දක්වා පහුගිය ජනාධිපතිවණයේදි එකී පලාත්වල චන්දය භාවිතා කිරීම සහ ඊට පෙර පැවති ජනාධිපතිවණවලදී ඒ පලාත්වල ප්‍රකාශ කරනලද චන්දවල වෙනසේ ප්‍රතිශතය සලකා බලන්න: ඒ දෝලනය (swing) සමග ‍රටේ සෙසු පලාත්වල චන්දවල දෝලනය හා සලකා බලන්න. එවිට ඔබට පෙනේවී රටේම සිංහල-බෞද්ධ පලාත්වල ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවති රැල්ල කතෝලික ජනයා බහුලව වෙසෙන  පලාත්වල නොපවති බව.

අප අමතක නොකල යුත්තේ මේ රජය බලයට පත්වන්නේ 69 ලක්ෂයකගේ චන්දවලින් බවය. එම චන්දවලට වැඩියෙන්ම බලපෑම් කලේ කාදිනල් නොව, භික්ෂුන්ය. ඉහත පොස්ට්වල දක්වන ආකාරයේ අපරාදකරුවන්ට රට බාරදීමක් සිදුකර ඇත්නම් එහිලා වැඩියෙන්ම දායකවී ඇත්තේ භික්ෂුන් මිස කාදිනල් නොවේ. ඉහතකී 69 ලක්ෂයට වඩාත්ම බලපෑවේ භික්ෂුන්ගේ ප්‍රකාශ මිස කාදිනල්ගේ ප්‍රකාශ නොවේ. ඇත්තවශයෙන්ම, රාජපක්ෂලාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩියෙන්ම දායක්වුයේ  බෞද්ධ භික්ෂුන් මිස  කාදිනල් නොවේ. එහින් කාදිනල්ට කරන චෝදනාවට පදනමක් නැති තරම්ය.

සමාජ මාධ්‍යවල තවත් සංසරණයවන පත්‍රිකාවක් වන්නේ 'උදේම ගිහින් චන්ද දෙන්න යැයි කාදිනල් කල ප්‍රකාශයකි. කාටද, කින්ද, මන්ද කියා සදහන් නැති එකී පත්තර කෑල්ල ගැන මට ඇසීමට ඇත්තේ පහුගිය මැතිවරණවලදී උදේම ගිහින් චන්දේ දෙන්න කියලා කාදිනල් නොකියපු  මැතිවරණය මොකක්ද යන්නය. සෑම මැතිවරණයකදීම මෙන්ම පසුගිය මැතිවරණයේදීද කාදිනල් ඇතුළු ආගමික නායකයින් කියන්නේ චන්දය යනු ඔබේ අයිතියක් බවත් එහින් උදෑසනම ගොස් චන්දය භාවිතා කරන්න කියාය.

ඇත්තවශයෙන්ම, මෙවැනි ප්‍රචාරක උපක්‍රම ඔස්සේ දිගහැරෙන්නේ කාදිනල්ගේ ප්‍රතිරූපය විනාශකර කාදිනල්ව සවුත්තුකර, කිසියම් දේශපාලන රාමුවකට ඔබා, කාදිනල් සහ කතෝලිකයින් අතර ඇති බැදීම බිදවැට්ටවීමට වෑයම් කිරීමය. එමගින් කතෝලිකයින්ගේ එක්සත්කම සහ එකටඑක්ව නැගීසිටීම වැලැක්වීමය.

අපරාධකාරයෝයැයි කියන පිරිස් බලයට ගෙනාවේ කාදිනල්වත්, කතෝලිකයෝවත් නොවේ. සිංහල කතෝලික චන්ද ලක්ෂ 7ම දුන්නද, නොදුන්නද, කතෝලිකයින්ට මේ ආණ්ඩුව පත්කිරීමට නොපුළුවන. පහුගිය චන්දයේදී රාජපක්ෂලාට තිබු රැල්ල ගැන වැටහිමක් ඇති කිසිවෙකුට පැහැදිලිව පෙනීයන  සත්‍යයවනුවේ මේ රජය බලයට පත්කලේ කාදිනල්වත් කතෝලිකයින්ගේවත් තීරණාත්මක චන්දයකින් නොවන බව. තිබු රැල්ල හමුවේ කතෝලික චන්ද යනු 'කාලවල් අස්සේ අළුක්කාල්' ගහනවා වගේ වැඩකි. ඒ චන්දේදි කාදිනල්ට හෝ කතෝලිකයින්ට සමස්ථ චන්ද ප්‍රතිපලයට  කිසිදු තීරණාත්මක බලපෑමක් කිරීමට ඉඩක් නොවිණි. 

මෙවැනි හෝ හැදැරීමකින් තොරව ඔය එක එක බොරු, පට්ටන්දර, කයිකතන්දර ලියන්නේ එක පැත්තකින් කාදිනල්තුමාව විනාශ කරන්නය. අනෙක් පැත්තෙන් කාදිනල්තුමා සමග කතෝලිකයෝ එකට හිටගන්න එක නවත්වන්නය.

මට නම් පේන්නේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකරන පලමුවැනි විරෝධතාවය වන 'කළු ඉරිදා' විරෝධතාවයට දැනටමත් හුගාක් දෙනෙක් දැන්ම බයවෙලා වගෙයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
06/03/2021

No comments:

Post a Comment