This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 25 October 2020

ටෙනී Double Meaningද? Single Meaning ද?

මීට වසර 4කට පෙර විජය නන්දසිරි කලාකරුවා මියගිය විට මා ලියු ''විජය නන්දසිරිගේ මරණය ගැන දුක්වෙන අය ටෙනිසන් කුරේ මියගියවිට කුමක් කරයිද?'' යන ලිපිය  අවසාන  කරමින්  මම  මෙසේ සටහන් කලෙමි: 'විජය නන්දසිරි මැරුණවිට අඩපු අය ටෙනිසන් කුරේ මැරුණවිට අඩන්නේ නැහැ නේද ?' (එම ලිපිය මෙතනින් කියවිය හැක)

ඉන් හතර වසරකට පසුව ටෙනිසන්  කුරේ කලාකරුවා  පසුගියදා  මියගියේය. ඉහතින් දැක්වූ ප්‍රශ්නය මම  නැවත  මතුකලවිට  ලැබුන  ප්‍රතිචාර කිහිපයක් පහතින් දැක්වේ.

1. ''ටෙනිසන් කුරේගේ අන්තිමට ආව චිත්‍රපට බලන්න. ඒවාට හිනා යන්න ගුලි කන්න ඕනී.. පහත් කුනුහරප පිරුනු විහිලු.. විජය නන්දසිරි ගේ චිත්‍රපට බලන්න.. ඒ චිත්‍රපට වල තියෙන class එක ටෙනිසන් කුරේ ගෙ නෑ..එකයි වෙනස..''

2. ''ටෙනිසන් කුරේගෙ ගොන් ජෝක් තියෙන්නේ දෙපිට කාට්ටු වචන කුනුහර්ප භාවිතය තුලින් බැන පහත් විනෝදශීලී ක්‍රමයක් අනුගමනය කලේ. මට මතකයි අපි ස්කොලෙ යන කාලේ ඇන්ඩන්ගේ කතා කියල ඉස්කොලේ ලමයි අතර තිබුනා අන්න ඒ වගේ ලාමක විහිලු සමහර විට ලො බජට ෆිල්ම් නිසා මේවගේ චරිත දෙක තුනක් දාල පිල්ම් එකක් කරන්න පුළුවන් වියකැකියි. දැන්කාලෙ යූටියුබ් චැනල් තියෙන්නේ ජෝක් කරන ඒවගේ අනූව දසකයේ දී මේ වගේ බාලවර්ගයේ ෆිල්ම් ගොඩක් ආව ඒකෙන් උනේ සිංහල සිනමාව නැත්තටම නැතුවන තරමට කඩාගෙන වැටෙන මට්ටමට ආව. දැන් ෆිල්ම් හැදෙන්නෙත් අකලට ප්‍රේක්ෂකයත් නෑ ඉන්න ඈයො ෆිල්ම් බලන්න යන අයම නෙවෙයි වෙන වෙන අරමුණු වලට ෆිල්ම් හෝල්වලට යන්නේ...''

3. ''මේ වෙලාවේ විජය නන්දසිරි සහ ටෙනිසන් කුරේ යන කලාකරුවන් දෙදෙනාව සංසංදනය කරන එක සුදුසු නෑ නේද?විජය නන්දසිරි යනු ජෝ අබේවික්‍රම මහතා තරමටම ඉහළට යා හැකිව තිබුණු , සිනමාකරුවන් විසින් හරිහමන් වැඩක් නොකරගත්තු විශිෂ්ට ගණයේ චරිතාංග නලුවෙක්. ඔහුව සම කරන්න බෑ ටෙනිසන් කුරේ මහතාට. ටෙනිසන් කුරේ කියන්නෙ ඉතා හොඳ විකට නලුවෙක්. එතුමා මෙහෙයවපු අයගේ වරදින් මිසක් එතුමාගේ වරදකින් නෙවෙයි පහත් රසිකත්වය කියන තලයට වැටුණේ. සමහරවිට එතුමාට බැරෑරුම් චරිත ලැබුණා නම් ඔය තත්ත්වය වෙනස් වෙන්න තිබ්බා. ඔය කවුරුත් අවසානයේ මුදල් මත යැපෙන අය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම රඟපෑම වුණාම ජීවිතේ සමහර කාලවකවානුවල ඕනෑම එකක රඟපාන්න හිත හදාගන්නවා. ටෙනිසන් කුරේ මහතා දෙපිට කැපෙන වචන කිව්ව පළියට එතුමාව කුණුහරුප කාරයෙක් කරන එක වැරදියි. එතුමාගේ ඇතැම් වේදිකා නිර්මාණවල සූක්ෂම විදියට දේශපාලනය විවේචනය කරනවා. ඒ වේදිකා නාට්‍ය බහුතරයක් නැරඹුවේ මේ රටේ උගත් බුද්ධිමත් දොස්තරවරු, ඉංජිනේරුවෝ සහ නීතඥවරු . ඔය කියන තරං අවර ගණයේ නං ඒ කියන බුද්ධිමත්තු මානසික රෝගියෝ වෙන්න ඕන ඒවා බලන්න. ඊටත් , මනුස්සයෙක් මැරුණම එහෙම කියන එක වැරදියි. මොකද අපි අපේ ජීවිත වලදි කොයි තරං විහිලු සහගත ගොං වැඩ කරල ඇද්ද.''

4. ''I'm not insulting a man who is dead. But as an observer, you seriously cannot compare Wijaya Nandasiri and Tenison. Wijaya Nandasiri never did cheap jokes like Tenny. And the acting by Wijaya Nandasiri as Maname is superb. Bandu and Tenny dng jokes by all disgusting acts and filth. ඇඟේ මඩ /Cake ulagena, මඩ කාලා, කුණුහරුප කියාගෙන කරන විකාර comedy නෙමෙයි. But I respect Tenison as an artist and wish him RIP.''

5. ''ටෙනී අහිංසක මනුස්සයෙක් ....ටෙනීගෙ කුනුහරුප ගැන කියන අය ඉතිං සැබෑ ලෝකෙත් කුනුහරුප නොකියපු, තව එකෙකුට හිනායන්න වත් දෙපැත්ත කැපෙන වචන නොකියපු සත්ගුනවත් මහත්තුරු නෝනලා නිසා ටෙනියට බැන්නට කමක් නෑ...ජෝතිපාල ට පීචං ගායකයා කිව්වා වගේ තමයි ඉතිං මේ රට බයිලා...හම්මේ සම්භාව්‍ය පොරවල් ඉන්න රට...''.

ඉහත කී අදහස් වලට අනුව විජය නන්දසිරි  සහ ටෙනිසන් කුරේ සමාන කල නොහැකි අතර විජය නන්දසිරිගේ රංග ප්‍රතිභාව හා සැසදීමේදී  ටෙනිසන් කුරේ සිටින්නේ ගව්ගානක් ඈතිනි. එහෙත් ඒ සම්බන්ද මිනුම්දඬු කවරක්ද යන්න ගැන පොදු නිර්නායකයක් සොයාගැනීම අපහසුය.  

විජය නන්දසිරිද ටෙනිසන් කුරේ මෙන්ම විකට නළුවෙක් වෙන නමුදු ටෙනීසන් කුරේගේ විහිළු 'ගොන් ජෝර්ක්' වන අතර විජය නන්දසිරිලාගේ ජෝර්ක් 'ප්‍රබුද්ධ ජෝර්ක්ය'. එයට හේතුව ලෙස පෙනෙන්නේ විජය නන්දසිරි ටෙනිසන් කුරේ තරම් කුණුහර්ප හෝ දෙපැත්ත කැපෙන වචන  කියන්නෙක් නොවේයැයි අදහසක් පවතී. එහෙත් ඇත්ත තත්වය නම් සිංහල සිනමාවේ මුල්ම විකට නළුවා වූ හියුගෝ ප්‍රනාන්දු හැර එඩී ජයමානගේ සිට සියල්ලෝම කුණුහර්ප හෝ දෙපැත්ත කැපෙන වචන කියන්නන් වීමය. අපි එක් උදාහරණයක් ගතහොත් ටෙනිසන් කුරේගේ මුල් කාලීන ප්‍රසිද්ධ විහිළුවක් වන ''බළලා මීයන් අල්ලයි......බල බල හිටියෝත් අල්ලයිද?..."  ආදී කථා අවශ්‍ය නම් කිසිවෙකුට Double Meaning කථා ලෙස ලෙසද, නැතහොත් එසේ නොවන හුදු හාස්‍යජනක යෙදුම් ලෙසද හදුනාගත හැක. එහෙත් මගේ නිරීක්ෂණය වන්නේ විජය නන්දසිරි ඉහත කී බළලා මීයන් අල්ලයි කථාවම කියනවාට වඩා හාස්‍යජනක ලෙස ටෙනිසන් කුරේට එය ඉදිරිපත්කල හැකිවුවද විජය නන්දසිරිට හිමිවන 'ප්‍රබුද්ධ' 'රෙද්ද' ටෙනිසන් කුරේට කිසිලෙසක හිමි නොවනු ඇති බවය.   

ඉහතින් දැක්වූ විවිධ ඇයගේ අදහස් අතරවූ තවත් අදහසක් සමබන්දයෙන් අදහස් දක්වන්නේ නම් ටෙනිසන්  කුරේලා  බිහිවුයේ මෙරට සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටෙමින් තිබුන අවධියක වන අතර අත්තවශයෙන්ම ඔවුන්ගේ දායකත්වය තුල සිනමා කර්මාන්ත තවත් ටික කලක් හෝ දුවගැනීමට හැකිවිය.  ඒ අනුව ඔවුන් නිසා සිනමා කර්මාන්තය කඩා වැටුනා නොව කඩා වැටෙමින් තිබු සිනමා කර්මාන්තය ඔවුන්ගේ  රංගදායකත්වය තුල යම්කලක් අල්ලාගෙන සිටීමටත්, කඩා වැටෙමින් තිබු එම සිනමාවට පවා ජනතා ආකර්ෂණයක් දිනාදීමටත් ඔවුන්ට හැකිවිය. සිනමා කර්මාන්තයේම පැවති නොහැකියාව නිසාම රංගන ක්ෂේත්‍රයට පිවිසි ටෙනිසන් කුරේට පමණක් නොව විජය නන්දසිරිට පවා සිය රංගන  හැකියාවන් දියුණුකර ගැනීමට නිසි  සහයක් ලැබී නොතිබුණු අතරම රංග ශිල්පීන් පුහුණු කරන ආයතනයන් හෝ ක්‍රමවේදයන් ලංකාව තුල මුල්බැසගෙන නොතිබීමද ඔවුන් වැනි සිනමාවට පිවිසෙන්නන්ට නිසි මගපෙන්වීමක් නොලැබීමට හේතුවිය. 

කෙසේවුවද ටෙනිසන් කුරේ සහ විජය නන්දසිරි සම්බන්දයෙන් දක්වා තිබු අදහස්වල  සත්‍ය  අසත්‍යතාවය හෝ නිරවද්‍යතාවය පිලිබදව සලකා බලමින් හෝ කිසිසේත්ම කිසිවක් බැහැරකල නොහැක්කේ පැහැදලිවම  එකී අදහස් දැක්වීම තුල පුද්ගල රුචිකත්වයන් සහ  රසවින්දනයන්ගේ ඇති වෙනස්කම්ද ගැබ්ව ඇති නිසාත් එකී අදහස් දැක්වීම පිළිබදව පොදු නිර්නායකයන් හෝ නැති නිසාත්ය. පොදුවේ ගතකල පීචන්  සහ ප්‍රබුද්ධ බෙදීම  හාස්‍යය උත්පාදනයට / ප්‍රභාසනය අදාල වන්නේ කෙසේද?   ගොන් කථා හෝ වේවා, කුනුහර්ප හෝ වේවා, දෙපිට කැපෙන කථා හෝ වේවා,  විජය නන්දසිරිගේ මෙන්ම ටෙනිසන් කුරේගේ  ජෝක්වලටද ලාංකිකයන් හිනාවුයේ නැතිද? එසේ බඩ අල්ලන් හිනාවෙන ගමන් මේක පීචන්, අරක ප්‍රබුද්ධ කියන්නේ, හෝ මේවා 'ගොන් ජෝර්ක්' අරවා 'මරු ජෝක්'  කියන්නේ කෙසේද?  මොකකින් හෝ ප්‍රේක්ෂකයා සිනා සාගරයක ගිල්විය හැකි නම් එතනදීම ඔවුන් දක්ෂ හාස්‍ය උත්පදකයින් වන්නේ නැතිද? 

එසේ නොවන්නේ නම්, එනම් විහිළුවක් විහිළුවක් ලෙස සලකා සීනාසීමට නොහැකි නම්, එතන ඇත්තේ යමෙකුට හිනාවිය නොහැකිකම පිළිබද ප්‍රශ්නයකි. විකසිත සිතකට මිස විවිධ සීමාවල හිර කලගත් සිත්වලට සැබෑවටම සිනා සිය නොහැක...අද ශ්‍රී ලාංකිකයන් සෑම අතින්ම සීමාවූ ජනතාවක් බවට පත්වී ඇත. ඔවුන්ට විජය නන්දසිරිව මෙන්ම ටෙනිසන් කුරේ යන දෙදෙනාවම එකම ලෙස රසවිදිය නොහැක..රසවිදිය හැක්කේ දෙකෙන් එකක් පමනි..ඔවුන් ඒතරමටම සීමා සහිත මනසක් නඩත්තු කරමින් සිටී. ඇත්තවශයෙන්ම, විජය නන්දසිරි මෙන්ම ටෙනිසන් කුරේ ඇසුරින් සලකුණු කල හැක්කේ ශ්‍රී ලාංකිකයන්ගේ මෙකී බෙදීම හාස්‍ය උත්පාදනය නම් සුන්දර ක්ෂේත්‍රයක පවා තීව්‍රව විහිදී ඇති ආකාරයයි. 

විජය නනදසිරිගේ ජෝර්ක් රස විදින්නන් විජය නන්දසිරි යනු  විද්‍යුත් මාධ්‍යවල විවිධ වැඩසටහන්වලට පවා සුඛනම්‍යලෙස, ලාලිත්‍යයක් ඇතිව, දේශිය උරුවකින් යුතුව සිංහල භාෂාව හසුරවමින් ජනහිත් ජයගත් විකට නළුවෙක් පමණක් නොව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ මනමේ හී සිට වෙනත් බොහෝ ප්‍රබුද්ධ චරිත රගදැක්වූ කුසලතා පිරි නළුවෙක් යැයි පාරම් බාන අතර ටෙනී ලා එවැන්නො නොවේ. ඔවුන්ට අනුව ටෙනිසන් කුරේලා ඔහේ හාල් කෑලිය. එහෙත් ටෙනිසන් කුරේ පවා ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරයෙකුගේ පුතෙක් බවත් කිසියම් සංස්කෘතික සන්දර්භයක් තුල ගොඩ නැගුන චරිතයක් බවත් ඔවුන් නොසලා හරිති. ඊටත් වඩා ටෙනිසන් කුරේ යනු ඉතාමත් ඉහල මනුෂ්‍ය වටිනාකම්වලින් යුතු පුද්ගලයෙක් බව ඔහුගේ මරණයදා ඔහුත් සමග ඔහුගේ ගමේ එකට හැදී වැඩී පසුව කතෝලික පියතුමෙක්වූ ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා දැක්වූ පහත සටහන සාක්ෂිදරයි: 

//''අපායේ තත්පර එක්දහස් අටසීය" වෙසක් සමයේ, එක්දාස් නවසිය හැත්තෑ ගණන්වල, අපේ ගමේ පෙන්වපු වෙසක් නාට්‍යය යි. ලී කොටන් බාපු වත්ත සුද්ධ කොට, පොල් කොටන් උඩ තනපු ලෑලි වේදිකාවේ, දවස් තුනක් පුරා නොමිලේ පෙන්වපු එම නාට්‍යය, වේදිකාව ඉස්සරහම ඉඳන් නරඹපු කොලු ගැටව් අතර මාද එකෙකු විය. එම නාට්‍යය ටෙනිසන් කුරේ ගේ නිර්මාණයක් විය.

ඉන්පසු ටෙනිසන් කුරේ ගේ රංගනයන් වේදිකාව, ටෙලිනාට්‍ය, හා චිත්‍රපටය ආක්‍රමණය කරන අයුරු අපි සතුටින් බලා සිටියෙමු. මොරටුව, විල්ලෝරාවත්ත ගමට ආඩම්බරය රැගෙන ආ එක් පුරුකක් බවට ඔහු පත් විය.
ඔහු සැමට සිනහව රැගෙන ආ නළුවෙකු විය. නමුත් බොහෝ විට එම දෙබස් වල ගැබ්ව තිබුණේ දෙපැත්ත කැපෙන කතා ය. කුණුහරුප ය. ඒවා අහපු,නරඹපු ඇත්තෝ බඩ අල්ලාගෙන සිනාසුනහ.

ඔහුගේ දෙබස් තුළ කුණුහරුප තිබුණද, ඔහුගේ ජීවිතය 'කුණුහරුපයක්' නොවී ය. බොහෝ නළුවන්, නිළියන් තුල නොතිබුණු දෑ ඔහුගේ ජීවිතයේ විය. ඔහු යහපත් බිරිදක් හා යහපත් දරුවන් සමග යහපත් පවුල් දිවියක් ගත කළ යහපත් ස්වාමි පුරුෂයෙක් හා පියෙක් විය. පවුලක් ලෙස ගමේ පල්ලියේ මෙහෙයට සහභාගි වූ යහපත් කිතුනුවකු විය. ගමේ මඟුලට, අවමඟුලට නිතර දායක වූ පින්වතෙක් විය. ඔහුගේ කාර් රථයෙන් දේවස්ථානයට 
මනාලියන් ලෙස පැමිණි අය අප ගමේ බොහෝ ය. වෙලට වතුර දමා ගෙවල් කඩා වැටුණු විට, ඉස්කෝලේ යන්නට දරුවන්ට පොත් ගන්නට මුදල් නැති වු විට, පාසල් මාසික ගාස්තු ගෙවා ගන්නට බැරි වූ විට, හාල් තුනපහ ටික ගෙදරට ගන්නට බැරි වූ විට, දොස්තර ලියා දුන් බෙහෙත් ටික ගන්නට බැරි වූ විට, ඔහුගේ දෑත් කාටත් හොරා ඒ අසරණයින් වෙත යොමු වූ බව සත්‍යයකි. 

ඔහු සැබැවින්ම මෙතෝදිස්ත ධර්මය ජීවත් කළ කිතුනුවකු විය. එනමුදු ගමේ පන්සල, කතෝලික පල්ලිය, කිසි දින අමතක නොකළ පින්වතෙක් විය.

ටෙනිසන් කුරේ අද අපෙන් සමුගෙන ඇත. "ටෙනිසන් කුරේ" කියූ පමණින් අප දැන සිටියේ කුණුහරුප කියා හෝ වෙනත් වචන යොදාගෙන අනුන් සිනා ගැස්සූ පුද්ගලයෙකු ලෙස ය. එනමුදු ඔහුගේ හැබෑ රුව දැනගෙන සිටියේ කිහිප දෙනෙක් පමණි. මිනිසුන් ඇස් දෙකෙන් දකින දෙයට වඩා මිනිසුන්ගේ ජීවිත වල බොහෝ යහපත් දේ රැඳී ඇති බව අපට කියා දී ඔහු අද අපෙන් සමුගෙන ඇත. ප්‍රශ්න අමතක කොට සිනාසෙන්නට කියා දී ඔහු අද අපෙන් සමුගෙන ඇත. ප්‍රශ්නවලදී පවා සිනාසෙන්නට අපට උගන්වා සමුගෙන ඇත. අඩන මිනිස්සුන්ට සිනහව ලං කර දිය හැකි අයුරු කියා දී අපෙන් සමුගෙන ඇත. ජීවිතය යනු විඳවන්නට ඇති දෙයක් නොව, විඳින්නට ඇති දෙයක් බව කියා දී අපෙන් සමුගෙන ඇත. අපටත් කඳුළු අතරින් සිනාසෙන්නට මිනිසුන්ට කියා දෙන්නට හැකිනම් ජීවිතය කොයිතරම් සුන්දර වන්නේ ද?(ගරු ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා. 30/09/2020) //

අවසාන වශයෙන් විජය නන්ද සිරි සහ ටෙනිසන් කුරේ යන චරිත දෙකක් අසුරුන් මම සාකච්ඡා කිරීමට අදහස් කලේ කුමක්ද යන්න පිලිබදව සදහන් කරමින් මෙම සටහන අවසාන කරමි. විජය නන්දසිරිගේ මෙන්ම ටෙනිසන් කුරේද හාස්‍ය, හාස්‍යය ලෙස රසවිදීමට ශ්‍රී ලාංකිකයන්ට නොහැකිවන්නේ නම් එසේ වෙන්නේ ඔවුන් දෙපළගේම හාස්‍යවල ඇති ප්‍රබුද්ධ හෝ පීචන් කමක් නිසා නොව අපේ ඇති රුචි අරුචිකම් තුලය. එය අපි මෙතෙක් කලක් අත්විදි සංස්කෘතික ගොඩනැංවීවල ප්‍රතිපලයක් ලෙසය. එකී සංස්කෘතික ගොඩනැංවීම් අපිව කිසියම් සීමාවල හිරකර ඇතිවා පමණක් නොව අපේ සිනහව පවා පාලනය කරමින් සිටී.

ඉතින් අපි  සිනහ නොමසෙන් දසුන් දක්වා වෙනුවට කොක් හඩලා සිනාසීමට පුරුදුවෙමු !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා
25/10/2020

No comments:

Post a Comment