This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 21 October 2020

පාස්කු ප්‍රහාරයට මාස 18යි: කොමිසම තවත් ප්‍රරචාරක ව්‍යාපෘතියක්ද?

පාස්කු ප්‍රරහාරය එල්ලවී අදට (21/10/20) වසරකුත් මාස 6ක් ගෙවී ගොස් ඇත. එහෙත් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන, රෝහල්වල සායනයන්ට නිතර යන එන ප්‍රහාරයෙන් විපතට පත් ජනයාගේ අඩුවක් නැත.

කොරෝනා වසංගත තත්වය තුල ඔවුහුද කබලෙන් ලිපට වැටී ඇත. ඒ තම තමන්ගේ පවුල්වල බර කරට ගෙන කටයුතු කල තම ආදරණීයන් අහිමිවීම නිසා හෝ ඔත්පලවීම නිසා ජීවන අරගලය නම් කබලෙන් ලිපට වැටීමට අමතරවය. එමෙන්ම තම ආදරණීයන් අහිමිවීම නිසා හෝ උත්පලවීම නිසා හෝ රෝගීන්වීම නිසා ඇතිවු මානසික වේදනාවන් හෝ කම්පනයන් තවමත් එම ජනයාගේ මනසින් මැකීගොස් නොමැත. ඔවුහු අදටත් දුක්විදති. ඔවුන්ගේ සොවුල්, තැවුල්, ලතැවුල් වේදනාවන් තවමත් පහව ගොස් නැත.

ඒ සියල්ල ඔවුන්ට උරුමවී ඇත්තේ පාස්කු ඉරිදා සුපුරුදු පරිදි සිය ආගම ඇදහීමට ගමේ පල්ලියේ දේවමෙහෙයට සහභාගීවීම නිසාය. එකී ජනයා එම ඉරනමට ගොදුරුවුයේ ජන ජීවිත අනතුරේ ඇති බව, ඔවුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට සියලු තොරතුරු ලැබී තිබියදීය. එසේ තොරතුරු ලැබී තිබියදීත් එම ජනයාගේ ජීවිත ආරක්ෂා කරදීමට, ප්‍රහාරය වැලැක්වීමට කිසිවක් කිරීමට පැවති ආන්ඩුවද, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයද පොලීසියද අසමත්වු නිසාය. ඔවුන්ගේ අකාර්යක්ෂමතාවයන් නිසාය. වගකීම් විරහිත ක්‍රියාකාරීත්වය නිසාය. මහජන බදුබදු මුදල්වලින් වැටුප් ලබමින් මහජනයා ආරක්ෂා කිරීමට ඔවුන්ට පැවරී ඇති රාජකාරීය පැහැර හැරීම නිසාය.

එසේ සිය-දහසකුත් මහජන ජීවිත අනතුරේ හෙලූ ඔවුන් අදටත් මහජනයාගේම බදු මුදලින් වැටුප්, වාහන, වරප්‍රසාද ලබමින් යහතින් ජීවත්වන අතර ප්‍රහාරය නිසා විපතට සහ අනතුරට පත් ජනයා සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සදාතනක වේදනාවන් දුක්විදිමින් සිටී. මේ නම් කුමන සාධාරණයක්ද?

නිරපරාදේ ජනයා අනතුරේ හෙලීම ගැන ඔවුන්ට දඩුවමක් නැතිද? ඔවුන් සිය වගකීම් පැහැර හැරීම නිසා සිදුවු මේ මහා විනාශය සම්බන්දයෙන් ඔවුන්ට නීතියෙන් දඩුවමක් හිමි නැද්ද? විපතට පත් ජනයාට යුක්තිය ඉටුවන්නේ කවදාද?

ඒ සම්බන්දයෙන් පාස්කු ප්‍රහාරය පිලිබදව සොයාබැලු පසුගිය රජයේ කොමිසන් සභා ඔස්සේ සිදුවු කිසිවක් නොමැත. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පතකල දැනටත් ක්‍රියාත්මකවන පාස්කු ප්‍රරහාරය පිලිබද විමර්ශන කොමිසම ඔස්සේ කලින් කොමිසන් ඔස්සේ හෙලිනොවු කරුනු රාශියක්ම හෙලිවුවද පසුගිය සති තුන තුල කොමිසමේ ගමන් මග දෙස විමසා බැලීමේදී ඇතිවන ගැටලුව වනුයේ කොමිසම ගමන් කරමින් සිටින්නේ වරදකරුවන් ගැන හෙලිදරව් කරගමින් ඔවුන් මෙම ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත්වුයේ ඇයි යන්න ගැන සොයාබලමින් ඔවුන් සම්බන්දයෙන් ගතහැකි නීතියානුකූල පිලිවෙත් වෙත යොමුවිම සදහා අවශ්‍ය ප්‍රවේශයන් සම්පාදනය කරගැනීම සදහාද? නොඑසේනම් පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් රජය ක්‍රියාත්මක වෙමින් තිබේයැයි යන්න පෙන්වීම සදහාද? යන්න ගැන සැකයක් පවතින බවයි.

පැහැදිලිවම කොමිසමේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන්වෙන වගක් නොපෙනේ. හිටපු ජනාධිපති මෙන්න ආරක්ෂක ඇමැතිවරයාදවූ මෛත්‍රීපාල සිරිසේන මෙන්ම හිටපු පොලිස්පති, ආරක්ෂක ලේඛම් සහ වෙනත් ආරක්ෂක ප්‍රධානීන් සිය වැරදි වසාගැනීමට, වගකීම පැහැර හැරීම පිලිබද ඔවුන්ට එල්ලවී ඇති චෝදනාවලින් බේරීමට එකිනෙකාට චෝදනාකර ගනිමින්, තම නම බේරාගැනීමට කොමිසමේ කාලය නාස්තිකමින් සිටී.

අනෙක් අතට මෙතෙක් දියත්වු විමර්ශන ඔස්සේ අත්අඩංගුවට පත් ප්‍රධාන චූදිතයෙකුවූ රිශාඩ් බදුර්දීන්ගේ සොහොයුරාව නඩු පැවරීමකින් තොරව නිදහස් කරමින් පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශන මෙන්ම චුදිතයන්ද ක්‍රමයෙන් පලරහිත කිරීමට උත්සාහයක්ද දියත්වෙමින් පැවතිනි. එහෙත් කාදිනල්තුමාගේ සහ ශ්‍රී ලංකාවේ කතොලික සභාවේ දැඩි විරෝධය හමුවේ පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනවලින් එසේ ලෙහෙසියෙන් ගැලවිය නොහැකි බව පෙන්වා දුනි. ප්‍රතිපලයවුයේ රිශාඩ් බදුර්දීන්ගේ සොහොයුරාව නැවත අත්අඩංගුවට ගෙන විමර්ශන නැවත ඇරබීම නොව පොලිස් නිලධාරියෙකුගේ සේවා ස්ථාන මාරුවක් සිදුවීම පමණි. ලංකාවේ නීතිය ක්‍රියාත්මකවන්නේ එසේය.

කාදිනල්තුමා ඇතුළු ලංකා කතොලික සභාවත්, සෑම සියලු ශ්‍රීලංකිකයෙක්මත් යුක්තිය ඉල්ලා දිගින් දිගටම හඩ නොනගින්නේ නම් රටේ බොහෝ අපරාධ විමර්ශනයන්වලට අත්වූ ඉරනමම පාස්කු ප්‍රරහාරය පිලිබද විමර්ශනයන්ටද අත්විය හැක. එහෙත් යහපත් සමාජයක් ගොඩනැගීමට නම් අපරාධ සම්බන්දයෙන් නිසි විමර්ශනයක් කර අපරාධකරුවන්ට නීතියෙන් දඩුවම් කල යුතුය. නැවත එවැන්නක් සිදුනොවීමට කටයුතු සම්පාදනය වියයුතුය. එසේ නොමැතිව කුණු බුමුතුරුණ යට සගවා දැමීමෙන් පලක් නොවේ. පාස්කු ප්‍රහාරය සදහා අපි දිගින් දිගටම යුක්තිය සහ සාධාරණය ඉටුවිය යුතුයැයි කියන්නේ එහිනි. පාස්කු ප්‍රරහාරයට වසරකුත් හයමසක ගෙවෙන තැනද අපි යලි යලිත් පාස්කු ප්‍රරහාරයෙන් විපතට පත්වුවන් වෙනුවෙන් යුක්තිය සහ සාධාරණය ඉල්ලා දැඩිව නැගීසිටිමු !!!

මාකස් ප්‍රියන්ත පෙරේරා.
21/10/20.

No comments:

Post a Comment