This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 7 June 2017

මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ගෙනෙන අත්භූත ප්‍රථිපලය කවරේද?


ඉකුත් වසරේ (23/06/2016) බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය සමග තවදුරටත් සිටින්නේද? නැතිද? යන්න සම්බන්දයෙන් පැවති ජනමත විචාරණයට (Brexit)  දිනකට පෙර, එනම් 22/06/2016 දින, බ්‍රිතාන්‍යයේ ප්‍රකට දේශපාලන සගරාවක්වන 'New Statesman' සගරාව දැක්වුයේ Brexit ජනමතවිචාරණය යනු පැන්ඩෝරාගේ අත්භූත පෙට්ටිය (pandora's box)  විවෘත කිරීමකට සමානවන්නක් බවයි. එහි අදුරු සහ දරුණු ප්‍රථිපල ඉදිරිකාලයේදී බ්‍රිතාන්‍යයන් විසින් අත්විදිය හැකි බව එම සගරාව දක්වා මෙසේ දක්වා තිබුණි: 'Pandora’s box has been opened. The referendum has unleashed dark forces and furies into the body politic and we shall be living with the consequences for years to come.'). 

ඉහත 'New Statesman' සගරාව දැක්වූ අදහස අනුව යමින් ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවයක් විසින් පවත්වන ලද බලය බෙදීම පිළිබද දේශපාලන සාකච්ඡාවකදී ශිරාල් ලක්තිලක මහතාද Brexit ජනමතවිචාරණය හැදින්වුයේ පැන්ඩෝරාගේ පෙට්ටිය විවෘත කිරීමක් ලෙසය. 

පැන්ඩෝරාගේ පෙට්ටිය (pandora's box) හෙවත්  'වරක් ක්‍රියාත්මක කළ විට උභතෝකෝටික ප්‍රශ්න රාශියක් ඇති කරන' තත්වයක් Brexit ජනමතවිචාරණයත් සමග බ්‍රිතාන්‍යයේ උද්ගතවූ බව පැහැදිලිය: 

ජනමතවිචාරණය අතරතුර කම්කරු (Labour) පක්ෂයේ මන්ත්‍රී Jo Coxව සහාසික වර්ගවාදියෙකු විසින් මරා දමන ලදී. (ඒ සම්බන්දයෙන් මා ලියූ සටහන මෙතනින් කියවිය හැක). 'ක්‍රම විරෝධී' දේශපාලන ප්‍රචන්ඩත්වය සංවිධානාත්මක තලයක සිට තනි තනි පුද්ගලයන් මගින් වුවද දියත්විය හැකි බවට ඉන් අනතුරු ඇගවිනි. 

ජනමත විචාරයේ ප්‍රථිපල නිකුත්වීමෙන් අනතුරව නැගෙනහිර යුරෝපියානූ ජාතිකයන්ට එරෙහි විරෝධය සහ ප්‍රචන්ඩත්වය ප්‍රධාන නගරවල මෙන්ම ඈත එපිට ගම්මානවලින්ද වාර්තා විය. බ්‍රිතාන්‍යය නිතර ආඩම්බරවන බ්‍රිතාන්‍ය වටිනාකම් 
(British values) වලට කණකොකා හැඩීම ඇරබුවේ දැයි සැකයක් ඉන් මතුවිණි. 

David Cameron අගමැතිවරයා (13/07/2016 දින) ඉල්ලා අස්වූ අතර කොන්සර්වේටිව් පක්ෂයේ ගතානුගතික-දක්ෂිණාංශිය නියෝජනය කල, ඇංග්ලිකන් පල්ලියේ පුජකවරයෙකුගේ දුවෙකු වූ, ස්වදේශීය කටයුතු පිළිබද ඇමති, Theresa May කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව බවටත්, බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයටත්  පත්වන ලදී. බ්‍රිතාන්‍යයේ නුතනත්වයේ සංකේතයක් බවට සැලකු Boris Johnson ලත් තැනම ලොප් වී ගතානුගතිකත්වයට ඉදිරියට ඒමට ඉඩදෙන ලදී.

කුමන  නීතිමය සහ දේශපාලන බාධක පැමිණියද යුරෝපා සංගමයෙන් ඉවත්වීමට දුන් ජනමතවිචාරණයේ ප්‍රථිපලය ක්‍රියාත්මක කිරීමට තමා කටයුතු කරන බවත්, ඒ සදහා නැවත මහ මැතිවරණයක් කැදවීමේ අවශ්‍යතාවයන් නොමැති බවත් මුලදී ප්‍රකාශකල Theresa May අගමැතිනිය, හෙට (08/06/16) පැවැත්වීමට නියමිත හදිස්සි මහා මැතිවරණයක් කැදවා තිබේ. 

ඒ Brexit ජනමතවිචාරණයත් සමග බ්‍රිතාන්‍යයේ උද්ගතවූ පැන්ඩෝරාගේ පෙට්ටිය (pandora's box)  හෙවත්  'වරක් ක්‍රියාත්මක කළ විට උභතෝකෝටික ප්‍රශ්න රාශියක් ඇති කරන' තත්වයන්ගෙන් කිහිපයක් පමණි.

අගමැති 
Theresa Mayගේ  මෙම හදිස්සි මහ මැතිවරණය කැදවීම ඔස්සේ බලාපොරොත්තු වන්නේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබද ක්‍රියාපටිපාටිය සදහා අවශ්‍ය දේශපාලන බලය ගොඩනගාගැනීම බව දක්වා තිබේ. එහෙත් අදාල ක්‍රියාපටිපාටිය සදහා  කටයුතු කිරීමට අවශ්‍ය දේශපලන සහය සහ දේශපාලන සහයෝගය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන කම්කරු (Labour) පක්ෂය සපයමින් සිටියදීත් Theresa May අගමැතිනිය  මහ මැතිවරණයක් කැදවනුවේ වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් ඇයට තිබෙන නිසා බව පැහැදිලිය. 

විශේෂයෙන්ම, බ්‍රිතාන්‍යය ලෝක ආර්ථිකයේ 05වෙනි විශාලතම ආර්ථිකය ඇති තනි රටක් බැවින් යුරෝපා සංගමයට තමන් සමග දෙපාර්ශවයටම වාසිදායක ආර්ථික සහ ආරක්ෂක එකගතාවයන්ට පැමිණීමට සිදුවෙන බවත්,  එහින් යුරෝපා සංගමයෙන් ඉවත්වීම (Brexit)  බ්‍රිතාන්‍යයට එතරම් අවුලක් ඇති කරන්නක්  නොවන බවටත් වූ මුල්  බලාපොරොත්තුව දැන් වියැකී ගොස් තිබේ.  යුරෝපා සංගමයේ නායකයන්  'බ්‍රිතාන්‍යයට පාඩමක් ඉගැන්වීමේ' ස්ථාවරයක සිටින බැවින් බ්‍රිතාන්‍යයට හිතුතරම් වාසි සහගත පිටවීමක් යුරෝපා සංගමයෙන් ලබාගත නොහැකි බව පෙනේ.

ඒ අනුව ඉදිරියේදී බ්‍රිතාන්‍යයට අනිවාර්යෙන්ම මුහුණදීමට සිදුවන ආර්ථික විචල්‍යතාවයන් සහ දුෂ්කරතාවයන් හමුවේ දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ගැනීමට Theresa Mayගේ  කොන්සේවෙටිව් පක්ෂයට සිදුවේ. ඒ අතර මහජන සුබසාධන වියදම් කප්පාදුව, සහනාධාර කප්පාදුව, බදු වැඩිකිරීම ආදී (austerity) ක්‍රියාමාර්ග ගැනීම් සදහා අවශ්‍ය දේශපාලන බලය අත්කර ගැනීම මෙම හදිස්සි මහ මැතිවරණයේ යටි අරමුණ බව පැහැදිලිය. 

මැතිවරණය කැදවන අවස්ථාවවූ පසුගිය අප්‍රියල් මාසේ දෙවන සතිය වනවිට බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු (Labour) පක්ෂයේ ජනප්‍රියත්වය එහි ඉතිහාසයේ පහලම මට්ටමට වැටී තිබීමත්, කම්කරු (Labour) පක්ෂයේ නායකයා වන Jeremy Corbyn සම්බන්දයෙන් ප්‍රබල විරෝධයක් පක්ෂය තුලත් ඉන් පිටතත් වර්ධනයවී තිබීමත්, දක්ෂිණාංශික ජාතිකවාදී බ්‍රිතාන්‍ය නිදහස් පක්ෂය (UKIP) Nigel Farage නායකත්වයෙන් ඉවත්වීමත් සමග නායකත්ව ආර්බුධයකටත්, පක්ෂය දේශපාලන වශයෙන් 'ගමනක අවසානයට' ලගාවී තිබීමත්, ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නව නායකයෙකු (Tim Farron) යටතේ නැවත ප්‍රතිසංවිධාන කටයුතුවල නිරතවෙමින් සිටීමත් තුල  Theresa Mayගේ කොන්සේවෙටිව් පක්ෂයට පැහැදිලි බහුතරයක්  අත්කර ගතහැකි වෙතැයි පෙනීගියාමද මෙම හදිස්සි මහා මැතිවරණය කැදවීමට අවස්ථාව උදාකරන ලදී.

ඒ අනුව Theresa May 1983 දී හිටපු අගමැතිනී Margaret Thatcher ලබා ගත්තා (43.9 %) කටත් වඩා වැඩි චන්ද ප්‍රතිශතයක් සහ Thatcher ලබාගත් ආසන 397ට වඩා ලබා ගනු ඇතැයි පුරෝකතනය කළේය. පුවත්පත් වාර්තා සදහන් කලේද එයමය. එනම් "Theresa May will win the biggest landslide since Thatcher" ලෙසය. එම තත්වය තුල  Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂය Margaret Thatcher සමග තරගවැදුණු Michael Foot ලබාගත් (28 %) වඩා අඩු චන්ද ප්‍රතිශතයක් සහ කම්කරු (Labour) පක්ෂය ලබාගත් අඩුම ආසන සංබ්‍යාවක් වන 209කට වඩා අඩු ආසන සංඛාවක් ලබාගනු ඇතැයි අපේක්ෂා කලේය.

හෙට (08/06/17) පැවැත්වෙන මැතිවරණය කැදවීමට පෙර  බ්‍රිතාන්‍යය පාර්ලි‌‌මේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලයේ (House of Commons) ආසන 650 සමන්විත වුයේ පහත ආකාරයටය, එනම්:

කොන්සර්වේටිව් පක්ෂයට  ආසන 330 ක් ද
ලේබර් පක්ෂයට ආසන 229 ක් ද 
ස්කෝට්ලන්ත ජාතික පක්ෂයට ආසන 54ක්ද 
ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ආසන 09ක් ද 
සෙසු පක්ෂවලට  ආසන 28 ක්, ලෙසය. 

ඒ අනුව කොන්සර්වේටිව් පක්ෂයට පාර්ලිමේන්තුවේ සෙසු සියළු පක්ෂවල එකතුවට වඩා ආසන 20ක පැහැදිලි බුහුතරයක් තිබිණි. (කථානායක, කාරක සභා ප්‍රධානීන් තිදෙනා හැරුණු විට ඇත්තේ 17 දෙනෙකුගේ-Working Government Majority යක් පමණි).

දැනට සිදුකර ඇති මැතිවරණ පුරෝකතනයන් වලට අනුව නම් කොන්සර්වේටිව් පක්ෂය (43-44 %) බුහුතරයක් ද, ලේබර් පක්ෂය (34-37%) අඩු චන්ද ප්‍රමාණයක්ද ලබාගනීයැයි විශ්වාස කෙරේ. මේ අනුව Theresa Mayගේ කොන්සර්වේටිව් පක්ෂයට (43-44%) බුහුතරයක් ලැබූනද  ඇයට දිනාගත හැක්කේ ආසන 360කට ආසන්න ප්‍රමාණයක් පමණි. එය Margaret Thatcher ගේ වාර්තාවවූ ආසන 397 අභිබවායාමට නොහැකිවනු ඇත. එහෙත් Theresa May පැහැදිලිවම තවත් ආසන 30කට වඩා වැඩි ප්‍රමානයක් රැස්කර ගැනීමේ ඉඩප්‍රස්ථාවක් පවතී. 

එහි අනෙක් පැත්ත වන Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂයට ඇත්තේ එතරම් විශිෂ්ඨ තත්වයක් නොවේ. මැතිවරණයට පෙර සහ මැතිවරණය අතරතුර  Jeremy Corbynන්ට  එරෙහිව නැගෙන විරෝධයේ සහ ප්‍රසාදයේ  අඩු-වැඩිය කෙසේවුවද බ්‍රිතාන්‍ය තුල කම්කරු පක්ෂයට හිමි අවම චන්ද ප්‍රතිශතය වන (30-37%)  සීමාව පසුකර යෑමට ඔවුන්ට හැකිවී ඇති බවක් නොපෙනේ. එහි ප්‍රථිපලය වනුයේ Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂය කෙතරම් සමාජ සුබසාධන සහ ප්‍රගතිශීලී යෝජනා ඉදිරිපත්කර තිබුනද ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය තවත් ආසන 98ක් වැඩිපුර දිනාගැනීමේ අති විශාල අභියෝගය ජයගැනීම අභියෝගයක් වී තිබේ. අඩුම වශයෙන් ඔවුන්ට ආසන 250-260ක් කරා ලගාවීමට හැකිව ලැබුනහොත් පාර්ලිමේන්තුව තුල තනි පක්ෂයකට සන්ධානයකින් තොරව ආණ්ඩුවක් පිහිටවීමට නොහැකි වනු ඇත. ඔවුන්ගේ පැත්තෙන් එයද ජයග්‍රහණයකි. එහෙත් මැතිවරණ පුරෝකත්නයන් දක්වා ඇති ආකාරයට කම්කරු පක්ෂය 30-37% චන්ද ප්‍රතිශතය ගතහොත් ඔවුන්ගේ ආසන සංඛාව 210-215 දක්වා පහත වැටීමට ඇති හැකිව හෙවත් පවත්නා ආසන සංබ්‍යාවට වඩා ආසන 15-20ක් අතර සංබ්‍යාවක් අහිමිවීමට ඇති ඉඩකඩද බැහැර කල නොහැක. 

ලිබර් ඩිමොක්‍රටික් පක්ෂය පැහැදිලිව සිය ආසන සංබ්‍යාව 9යේ සිට 12-15 අතර සංඛාවක් කරා ගමන් කරනු ඇත. 

ස්කොට්ලන්ත ජාතික පක්ෂයට ඇති ආසන 56ය මීට වඩා වැඩිකරගත නොහැකි බව මගේ පෞද්ගලික අදහසයි. බොහෝදුරට ඔවුන්ගේ  ආසන සංඛාව 14-6 අතර ප්‍රමාණයකින් අඩුවෙනු ඇති බව මගේ අදහසයි. 

අයර්ලන්තයේ  Sinn Féin ආසන සංබ්‍යා 4-5 කට වඩා වැඩි නොවණු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදී Democratic Unionist Party පක්ෂය  Sinn Féin මෙන් දෙගුණයක් ගැනීමේ ප්‍රවණතාවය මෙවරද ලොකු වෙනසක් නොපෙන්වනු ඇති බව පෙනේ. 

එමෙන්ම, ගියවර (2015)  වාර්තාගත ලෙස ආසියානු-අප්‍රිකානු සම්භවයක් ඇති මංත්‍රීවරුන් 42ක් බ්‍රිතාන්‍යය පාර්ලි‌‌මේන්තුවට තේරීපත්වූ අතර මෙවර එම වාර්තාව අභිබවා යාහැකි බවක් පෙනේ. ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් 56 ක් මෙවර මැතිවරණයට ඉදිරිපත්වී සිටින අතර හිටපු මන්ත්‍රීවරුන්/වරියන් (10) සහ ඇමතිවරුන් (Priti Patel) මෙන්ම කුප්‍රකට කීත් වාස්ද නැවත මැතිවරණයට ඉදිරිපත්වේ. 

හිටපු පාකිස්ථාන සම්භවයක් ඇති මන්ත්‍රීවරුන්/වරියන් 10 දෙනාම මෙවර මැතිවරණයට තරග කරන අතර ඊට අමතරව තවත් 8 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්වී සිටී. 

ගියවර බංග්ලාදේශ සම්භවයක් ඇති පුද්ගලයන් 8 දෙනෙකු මැතිවරණය සදහා ඉදිරිපත්වුවද ඉන් තේරී පත්වුයේ 3ක් පමණි. ඒ අතර බංග්ලාදේශයේ නිර්මාතෘ ෂේක් මුජුබල් රහමන්ගේ මිනිබිරිය වන ටියුලිප් රිස්වානා ඉදිරියෙන් සිටින අතර  ගාර්ඩියන් පුවත්පතට ලිපි ලියන රූපා හක්ද ප්‍රකට චරිතවේ. 

(පසුගිය මැතිවරණයෙන් ජයගත් ආසියානු-අප්‍රිකානු සම්භවයක් ඇති මංත්‍රීවරුන් පිළිබද තොරතුරු  මා මීට පෙර ලියූ 'වාර්තාගත ආසියානු-අප්‍රිකානු සහ සුළු ජාතික මන්තී‍්‍රවරු පිරිසක් මෙවර බ්‍රිතාන්‍ය පාර්ලි‌‌මේන්තුවට'  යන ලිපිය මෙතනින් කියවිය හැක .) 

මෙවර මැතිවරණයට ඉදිරිපත්වී ඇති  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අපේක්ෂකයින් ගණන 01කි. ඒ පසුගිය මැතිවරණයේදී දැඩි වර්ගවාදී ප්‍රහාරයකට කලක්වූ (එය මෙතනින් කියවිය හැක) නමුත් දකුණු හැම්ශේයර් පළාතේ කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ජයගත් රනිල් මැල්කම් ජයවර්ධන පමණි. සිංහල ජනයා අතර වැඩි උනන්දුවක් පැවති චමාලි ප්‍රනාන්දුට මෙවර කොන්සර්වේටිව් පක්ෂයෙන් නාම යෝජනා හිමි නොවුන අතර දෙමළ ජාතිකයන් අතර වැඩි කථාබහට ලක්වූ උමා කුමාරන් මෙවර මැතිවරණයට තරග නොකරයි. එහෙත් ඇය ලේබර් පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව තුල ඉතා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින තැනැත්තියක්වේ. 

සියළු මැතිවරණ පුරෝකතනයන් අගමැති Theresa Mayගේ කොන්සර්වේටිව් පක්ෂයට ඇත්තේ පැහැදිලි ජයක් යැයි දක්වා තිබුනද බ්‍රිතාන්‍යයේ චන්ද දායකයාගේ තීරණය මැතිවරණ ප්‍රථිපල නිල වශයෙන් දක්වනතුරු  නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බව පොදු පිළිගැනීමයි. විශේෂයෙන්ම, 1992 දී බලාපොරුත්තුවූ ලෙස අගමැති ජෝන් මේජර් (John Major) පරදා ලේබර් පක්ෂයේ නීල් කීනොක් (Neil Kinnock)   යටතේ කම්කරු පක්ෂ රජයක් පිහිටවුනු ලබන්නේ යැයි කී සියළු මැතිවරණ පුරෝකතනයන් කණපිට පෙරලමින් ජෝන් මේජර් (John Major) නැවත වරක් අගමැතිවන ලදී. 

පැහැදිලිවම, මෙවර මැතිවරණයේදී Theresa May ගේ කොන්සර්වේටිව් පක්ෂය Margaret Thatcherගේ වාර්තාව අභිබවමින් වාර්තාගත ජයග්‍රහණයක් ලැබීම  හෝ Jeremy Corbynන්ගේ කම්කරු (Labour) පක්ෂයට ආසන සංබ්‍යාව වැඩි කරගැනීමට හැකියාවක් ලැබීම හෝ ස්කෝට්ලන්ත ජාතික පක්ෂයට සිය ආසන සංබ්‍යාව පවතින ලෙස රැකගැනීම හෝ වැඩිකර ගැනීම මෙම මැතිවරණය තුල තීරණාත්මක සාධකයක් වනු ඇත. 

කෙසේවුවද, Brexit ජනමතවිචාරණය නම් වූ පැන්ඩෝරාගේ පෙට්ටියේ (pandora's box) තවත් දිගහැරුමක් ලෙස පැමිණි මේම හදිස්සි මහ මැතිවරණය කුමන අත්භූත ප්‍රථිපලයක් උදාකරදේ දැයි තවම නොදන්නා  බ්‍රිතාන්‍යයන් තුරන්කල නොහැකි 'ත්‍රස්ත ප්‍රහාරයන්' ගේ අනතුර පිළිබද අවධානය විසින් දල්වන ලද ජාතික ආරක්ෂාව (national security) සහ බ්‍රිතාන්‍යය වටිනාකම්  (British values) අතර  ගොඩනැගෙන සම්මුතිය කුමනාකාර වේදැයි විමසීල්ලෙන් සිටී. 

මාකස් ප්‍රියන්ත පෙරේරා.
07/06/17. 

1 comment:

  1. මොනවා වෙයිද දන්නේ නැහැ.// Jeremy Corbyn සම්බන්දයෙන් ප්‍රබල විරෝධයක් පක්ෂය තුලත්// පස්කය තුල ජෙරෙමි කෝබින් විරෝධය ගෙනාවේ සුළුතරය. බහුතරය නොවේ. ඔහු දෙපාරක්ම ඉතා වැඩි චන්ද ගණනකින් දිනුව. බිමේ නම් පේන්නේ කොබින්ට සපෝර්ට් එක වැඩි බව. නමුත් කියන්න බැහැ.

    ReplyDelete