This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Monday 12 June 2017

නව ඉස්ලාම් රාජ්‍ය බිදවැටීමට ඉතා ආසන්නය.


මීට වසර 3කට පෙර මතුවූ ISIS හෙවත් ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය’ (Islamic State of Iraq and the Levant or Islamic State of Iraq and Syriaor Islamic State of Iraq and al-Shamor IS ) නමින් හැදින්වූ ඉස්ලාමීය සටන්කරුවන් විසින් බිහිකළ 'ඉස්ලාමීය රාජ්‍යය' දැන් බිදවැටීමට ඉතා ආසන්නව ඇත. සිරියානු හමුදා 'ඉස්ලාමීය රාජ්‍ය' සටන්කරුවන් අත්කරගෙන සිටි සිරියානු භූමිය සහමුලින්ම පාහේ නිදහස් කරගෙන ඉරාක දේශසීමාවට ආසන්නවෙමින් සිටී. සිරියානූ සහ ඉරාක දේශසීමාව ආසන්නයේ ඇති al-Tanf කපොල්ල (Al-Tanf crossing)ට සමීපවෙමින් ඇති සිරියානු හමුදා පසුවන්නේ ඉතා ජයග්‍රහී මානසිකත්වයකය. මේ අතර ඉරාකයේ ISIS ඉස්ලාමීය සටන්කාමීන්ගේ ඉතාම තීරණාත්මක නගරය ලෙස සැලකෙන Mosul නගරය අත්කර ගැනීමේ මහා සටනෙහි ඉරාක හමුදා නිරතව සිටී. එහිලා ඇමෙරිකාවේ සහ බටහිර රටවල නොමද සහයෝගය හිමිව ඇත. මේ සියල්ල තුල කියවෙනුවේ  ISIS සටන්කාමීන් බිහිකළ  'ඉස්ලාමීය රාජ්‍යය' බිදවැටීමට ආසන්න බවකි. ලොව පුරාම දිගින් දිගටම එල්ලවෙන ISIS ත්‍රස්‌ත ප්‍රහාර 'ඉස්ලාමීය රාජ්‍යය' අත්කර ගැනීමට එල්ලකරන ප්‍රහාරයන්ට පලිගැනීමක් ලෙසද, 'ඉස්ලාමිය රාජ්‍යය' එරෙහිව එල්ලවන ප්‍රහාරයන් මැඩ පැවැත්වීමට සිදුකරන උපක්‍රමයක් ලෙසද විග්‍රහ කළහැක.

ඒමෙන්ම භූමිය අහිමිවුවද ISIS ත්‍රස්‌තයන්ගේ ප්‍රහාර නවත්වනු ඇත්දැයි යන්න තවම නිගමනය කල නොහැක. කෙසේවුවද මෙම ත්‍රස්‌ත ව්‍යාපාරය මතුවන අවධීයේම මම 'සමබිම' පුවත්පතට ලියූ ලිපිය පහතින් වේ. එය ඉදිරියේදී  සාකච්ඡා කිරීමට නියමිත  ISIS ත්‍රස්‌තයන් සහ ඉස්ලාමීය රාජ්‍යය පිලිබදවූ සිහිනය පිළිබද ලිපි පෙලට යම් ප්‍රවේශයක් සපයනු ඇති බව මගේ විශ්වාසයයි.  


නව ඉස්ලාම් රාජ්‍ය: සිහිනය සහ යථාර්තය අතර රික්තකයක

මීට‍ සති කිහිපයකට ඉහතදී උතුරු සහ බටහිර ඉරාකයේත්, උතුරු සහ නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවලිනුත් ඉදිරියට පැමිණි ISIS හෙවත් ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය’ (Islamic State of Iraq and the Levant or Islamic State of Iraq and Syriaor Islamic State of Iraq and al-Shamor IS ) නමින් හැදින්වූ ඉස්ලාමීය සටන්කරුවන් දැන් උතුරුදිග සිරියාවේ සිට උතුරු ඉරාකය දක්වා නිල නොලත් ‘ඉස්ලාම් රාජ්‍යක්’ ප්‍රකාශයට පත්කර තිබේ. මෙම නව ඉස්ලාම් රාජ්‍ය විසින් මිට වසර සීයකට පමණ පෙර පැවති අරාබියාවත්, එයටත් වඩා ඈතට දිවයන (එනම් ක්‍රි.ව. 661-750 දක්වා) පෘතුගාලයේ සහ ස්පාඤ්ඤයේ සිට ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් දක්වා ව්‍යාප්තව පැවති පැරණි මුස්ලිම් ලෝකයත්, ලෝකයේ සියලුම මුස්ලිම්වරුන් වෙනුවෙන් ‘උම්හා’ (Ummah) රාජ්‍යයකුත් ස්ථාපනය කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.

එහෙයින් මධ්‍යතන යුගයේ පැවති මුස්ලිම් ප්‍රදේශයන්ගේ පාලන තන්ත්‍රය සදහා භාවිතා කළ ‘ක්ලීෆාට්’ (Caliphate orkhilāfa) යන්න ඔවුන් සිය නව ඉස්ලාම් රාජ්‍ය සදහා යොදාගෙන ඇත. මෙම ‘ක්ලීෆාට්’ හි නායකයා හෙවත් ‘ක්ලිෆා’ (Caliph / the head of state) වශයෙන් Abu Bakr al-Baghdadi පත්කරගෙන තිබේ. දැන් ඔවුන් ලොව සියලු මුස්ලිම්වරුන්ට සහ ඔවුන්ගේ පාලන තන්ත්‍රයන්ට මෙම නව ‘ක්ලිෆා’ ව පිළිගන්නා ලෙසත් ඔහුගේ අණට යටත් වන ලෙසත් අණකර තිබේ.

ලෝකයේ අවසන් වරට ‘ක්ලීෆාට්’ රාජ්‍යක් හෝ ‘ක්ලිෆා’වරයෙකු යටතේ මුස්ලිම් පාලනයක් පැවතියේ පැරණි දෙවැනි අබ්දුල්මෙජ්ස්ඩ් (Abdülmecid II) අධිරාජ්‍යා යටතේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය (Ottoman Turkish Empire ) පැවති කාලයේදීය. එහෙත් පළමු ලෝක යුද්ධයෙන් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය පරාජය වීමත් සමග 1924 දී ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් එයට අයත් ප්‍රදේශ බෙදා වෙන්කොට නව රාජ්‍යයන් ගණනාවක්ම මැද පෙරදිග අරාබියානු අර්ධද්වීපයේ පිහිටුවන ලදී. ඉරාකය සහ සිරියාව නමින් රාජ්‍යයන් දෙකක් බිහිවුයේ එලෙසිනි. එහෙත් මෙම ඉරාකයට සහ සිරියාවයට අයත් වන්නාවූ භුමි කලාපයන් පිළිබද තීරණය කෙරුනේ ජාතීන්ගේ සංගමය පිහිටවීමටත් පෙර ප්‍රංශ සහ එංගලන්ත අධිරාජ්‍යවාදීන් විසින් 1916 මැයි මාසේදී අත්සන් තැබූ කුප්‍රකට සයික්ස්-පිකොට් ගිවිසුම (Sykes–Picot agreement) මගිනි. රුසියාවේ සාර් රජය ද පාර්ශ්වකරුවන් කරමින් අත්සන් කළ මෙම ගිවිසුම, රුසියාවේ ලෙනින්ගේ බෝල්ෂෙවික් විප්ලවය (1917) මගින් පිහිට වූ රජයේ විදේශ කටයුතු පිළිබද කොමසාරිස්වරයා වූ ලියොන් ට්‍රොට්ස්කි ( Leon Trotsky) විසින් ලොවට හෙළි කරනු ලැබුනි. (ඉස්තාන්බුල් ඇතුළු තුර්කි ප්‍රදේශ රැසක් රුසියාවට ලැබීමට නියමිතව පැවති මෙම ගිවිසුමෙහි වාසිය ලබා නොගෙන එය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් ට්‍රොට්ස්කි රුසියානුවන්ගේ වුවමනාවන් දෙවැනි තැනට ඇද දැමුවෙ යැයි ජෝශප් ස්ටාලින් විසින් ට්‍රොට්ස්කිට එරෙහිව නගන චෝදනා මුලින්ම පැන නැගුනේ මෙහිදීය). දැන් ඉරාකයේ පිහිටුවා ඇති ‘නව ඉස්ලාම් රාජ්‍ය’ ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රංශ සහ එංගලන්ත අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවන් අනුව සකස් කළ සයික්ස්-පිකොට් ගිවිසුම මගින් පිහිට වූ සියලු අරාබියානු දේශ සීමා කඩාබිද දමන බවයි.

කරණු එසේ වුවද, ලෝකයේ විවිධ රටවල, විවිධ පාලන තන්ත්‍රයන් යටතේ ජීවත්වෙන බිලියන 1.6 ක් නොහොත් ලෝක ජනග්‍රහනයෙන් 23% වන සමස්ථ මුස්ලිම් ජනයාත්, ලෝක මුස්ලිම් සහයෝගිතා සංවිධානයේ සමාජිකත්වය (Organisation of Islamic Cooperation –OIC) දරණ රටවල් 57ක පාලන තන්ත්‍රයන්ද මෙම නව ‘ක්ලීෆාට්’ ඉස්ලාම් රාජ්‍ය සහ එහි ‘ක්ලිෆා’ සිය නායකයා වශයෙන් පිළිගනු ලබයිද ? එම නායකයාගේ අණසක අනුව කටයුතු කරයිද ? බොහෝ දුරට එය එසේ නොවීමට වැඩි ඉඩක් තිබේ.

මන්ද යත්, දැඩි ආගමික අන්තවාදයක සිට කටයුතු කරන මෙම නව ‘ක්ලිෆා ඉස්ලාම් රාජ්‍ය’ දැනටමත් වගවිභාගයකින් තොරව දහස්ගණන් ජනයා ඝාතනය කරමින් තිබෙන බවත් අසල ප්‍රදේශවල ජීවත්වෙන මුස්ලිම් ජනයා පවා එයට බොහෝ බියක් දක්වන බවත් බොහෝ ජනමාධ්‍ය දක්වයි. ඒ අතරම, ලොව පුරාම රැඩිකල් මුස්ලිම් කොටස් මේ ISIS සටන්කාමින් සමග එකතුවෙමින් සිටන බවත්, මෙතෙක් එකිනෙකාට විරුද්ධව සිටි කණ්ඩායම් පවා දැන් ඔවුන් සමග කටයුතු කරන බවත් එම වර්තාම දක්වයි. සිය අරමුණු සක්ෂාත් කර ගැනීමට වෙන විකල්පයක් නොමැති බව පෙනී යන හෙයින්, මෙම එකතු වන පිරිස් සමග ISIS සටන්කාමින් සිය අරමුණවලට එරෙහිවන කුමන බලවේගයක් සමග හෝ දැවන්ත යුදයකට යාමට සැරසෙන බවද දැක්වේ.

එහෙත් ඔවුනට එවැනි යුද්ධක් කළ නොහැක. ඒ මන්ද යත් ISIS සටන්කාමින්ට හෝ වෙනත් ඕනෑම මුස්ලිම් සටන්කාමීට වඩා ඔවුන්ගේ සතුරන් සතුව දැවන්ත යුද්ධ බලයක් (Firepower ) පවතී. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට හෝ දීර්ඝ කාලීන ගරිල්ලා යුද්ධයකට පහසුවෙන් බිද දැමිය නොහැක්කකි. එමෙන්ම සම්පත් අතින්ද ISIS සටන්කාමින්ට වඩා සෙසු ලෝකය පසුවන්නේ පහසු තැනකය.

එය එසේ වුවද, ඔවුන්ගේ වර්ධනය තීරණය කිරීමට තවත් කරුණක් ඉවහල් වන බව පෙනේ , ඒ ලෝකයේ මුස්ලිම් ප්‍රජාවට කෙතරම් සාධාරණයක් ඉෂ්ට වේද යන්නයි. ලෝකයේ ඕනෑම තැනක වෙසෙන මුස්ලිම් ප්‍රජාවකට දිගින් දිගටම සිදුවෙන අසාධාරණයන් මගින් සිදුවනුයේ ලොව පුරාම වෙසෙන මුස්ලිම් ජනයා ඔවුන්ගේම ඉස්ලාමීය රාජ්‍යක් තුළ ජීවත්වීමට වුවමනාවක් වර්ධනය කරන්නක් වන අතර, ඒ සදහා වන දැවන්ත යුද්ධයකට පෙලඹවීමක්ද වේ. යහපත් සමාජයක් බලාපොරත්තු වන සැමගේම අද දිනයේ වගකීම වනුයේ එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමයි.

මාකස් ප්‍රියන්ත පෙරේරා
(Jul 7th, 2014 සමබිම පුවත්පතට ලියූ ලිපියකි.)

7 comments:

  1. මේන් බලන්න කතෝලික රටක් ඇංග්ලිකන් ආධිපත්‍යයට ලක්වෙනවා

    https://www.theguardian.com/world/2017/jun/12/puerto-ricans-vote-in-favour-of-being-51st-us-state-but-doubts-remain

    ReplyDelete
  2. ජගත් ඔතන සිදුවන්නේ කාලයක් (1898) අමෙරිකාවේ commonwealth රටක් ලෙස එහි ආරක්ෂාව සහ සහයෝගය මත සිටි රටක් එහි පුර්ණ පෙඩරල් රාජ්‍යයක් හෙවත් අමෙරිකා එක්සත් ජනපදයේ කොටසක් බවට පත්වීමයි. සමහරවිට මෙම එක්වීම අමෙරිකාවේ කතෝලික සාධකය වැඩිවීමට හේතුවක් විය හැකියි. කොහොමත් දැන් ඇංග්ලිකන් - කතෝලික කියලා බෙදීමක් තියෙන්නේ නලින් ද සිල්වා වැනි අයගේ ලියවිලිවල මිසක් ක්‍රිස්තියානි ජනයා තුල නෙමෙයි.

    ReplyDelete
  3. Thanks. It was written three years ago-14/07/2014.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. contain of this article is highly credible. you have written this article at correct time. Many Thank to contribute the new knowledge…

    ReplyDelete