This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday, 4 June 2017

ඊලග මහා ගංවතුරෙනුත් මීගමුව බේරේයිද?

ගිය වසරේ මෙන්ම මේ වසරේද ශ්‍රී ලංකාවට දරුණු විනාශයක් ගෙනදුන් මහා ගංවතුර මීගමුව අවට ප්‍රදේශවලට බලපෑවේ නැත. එයට හේතුව ගංවතුර බලපෑ  රටේ සෙසු ප්‍රදේශවලට ලැබුන තරම් මහා වර්ෂපතනයක් මීගමුව අවට ප්‍රදේශවලට නොලැබීමය. කාලයක සිට මීගමුව අවට ප්‍රදේශවලට 'ඉස්සර තරම්' වැසි නොලැබෙන බව බොහෝ පැරුන්ණන් කියනු මා අසා ඇත. විශේෂයෙන්ම ගුවන් තොටුපල විශාලවීමත්, කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටවීමත් නිසා මෙම ප්‍රදේශවල උෂ්ණත්වය ඉහල ගිය බවත්, වැසි ලැබීම අක්‍රමවත්වූ බවත්, දැන් මේ ප්‍රදේශවල ඇත්තේ 'කෘතීම කාලගුණයක්' බවත් 1996-97 අතර කාලයේ පලවූ 'නිවෙකා' පුවත්පතට කටුනායක අමන්දොලුවේ පදිංචිකරුවෙක් විසින් සපයන ලද විස්තරයක පලව තිබුණ බව මට මතකය.  එවකට කටුනායක නිදහස් වෙළද කලාපය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මකවූ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ ජයන්ති දන්දෙනිය විසින් පවත්වාගෙන ගිය 'කලාපේ අපි' සංවිධානය විසින් පලකල 'නිවෙකා' පුවත්පතට මා ද කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස සිටියදී ලිපි ලියූ අතර ඉහත විස්තරය හා සම්බන්ද තොරතුරුද,  එම සංවිධානයේ ක්‍රියාකාරීත්වයන් සම්බන්දයෙන්ද මට නොඅඩු මතකයක් තිබේ. මෑතකදී කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පථය අළුත්වැඩියා කිරීමේදී නැවතත් මීගමුව අවට ප්‍රදේශවලට වැසි නොලැබීම සහ ඊට කටුනායක ගුවන්තොටුපලත්, නිදහස් වෙළද කලාපයත් බලපා ඇතැයි සදහන් කරමින් පලව තිබු විවිධ පුවත් වාර්තා සමග ඉහත  සදහන්කල 'කෘතිම කාලගුණය' පිළිබද මගේ මතකය නැවත අවධිවිය. 

මීගමුව අවට ප්‍රදේශවලට 'ඉස්සර තරම්'  වැසි ලැබීම-නොලැබීම කෙසේවුවද පොඩි වැස්සකට පවා මීගමුව නගරය දනක් යටවෙන නගරක් විය. 2005 වසරේදී නෙදර්ලන්ත රජයේ සහ ලෝක බැංකුවේ ආධාර ඇතිව මීගමුව නගරයේ රැස්වෙන ජලය මීගමු කලපුවට පොම්පකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමට පෙර මීගමුව නගරයේ තත්වය එසේවිය. 

ස්වභාවයෙන්ම මීගමුව නගරයේ බොහෝ ප්‍රදේශ පිහිටා ඇත්තේ මුහුදුමට්ටමින් තරමක් පහලිනි. කලපුව මෙන්ම කුඩා පොකුණුද, දිය කඩිති රාශියකින්ද සමන්විතවුයෙන් මීගමුව එක්තරා ආකාරයක 'තෙත්බිමක්' විය. පෘතුගිසි සහ ලන්දේසි යුගවලදී ඉදිවූ කුඩා ඇළ මාර්ග මගින් එකී ඇතැම් පොකුණු සහ දියකඩිති එකිනෙකට සම්බන්ද කිරීම් හෝ කලපුවට සම්බන්ද කිරීම් රාශියක්  සිදුවී ඇති බවට තොරතුරු තිබේ. දෙපා ඇළ, දළුපොත ඇළ, ඩීන් ඇළ, දිය හොද ඇළ, දෙහිමල්වත්ත ඇළ ආදිය මීට උදාහරණ කිහිපයකි. එමගින් වර්ෂා සමයේදී මීගමුව අවට සිදුවන ගංවතුර ගැලීම් කළමනාකරණය කරගැනීමට හැකිවිය. ලන්දේසීන් මීගමුවේ හැමිල්ටන් ඇළ ඉදිකළ විට ඒ අවට පැවති කුඩා පොකුණු සහ දියකඩිතිවලින් වර්ෂා කාලයේදී උතුරා ගලන ජලය හැමිල්ටන් ඇළට ගලායන ලෙස කුඩා ජල මාර්ගද සකස්කර තිබේ. පෙරියමුල්ල 'බින්තුරා හේන' ප්‍රදේශයේ පැවති මෙවැනි කුඩා ඇළක් 1916 දී ඉදිකළ මීගමුව-හලාවත දුම්රිය මාර්ගය නිසා වැසී ගොස් තිබේ. එය ඉන් වසර ගණනාවකට පසුව, එනම් 1943දී, ඇද හැලුන මහා වර්ෂාපතනයක් නිසා ඇතිවූ ගංවතුර තත්වයකට හේතුවී තිබිණි. මීගමුව-පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයද අඩාලවූ මෙම ගංවතුර තත්වය පාලනය කිරීමටත්, ජලය හැමිල්ටන් ඇළ දෙසට හරවා යැවීමට වෙනත් ජල මාර්ගයක් ඉදිකිරීමටත් එවකට පැවති කටුනායක රාජකීය ගුවන් හමුදා කදවුරේ භටයන් (R.A.F. Negombo)  යෙදවූ බවට  ඔවුන්ගේ Flarepath සගරාවේ  පලවී තිබේ. 

මේ අනුව පෙනී යනුවේ වර්ෂාපතනය නිසා මීගමුවේ විවිධ තැන්හී රැස්වන ජලය  විවිධ ජලමාර්ග ඔස්සේ හැමිල්ටන් ඇළට හෝ දිය හොද ඇළට රැගෙනවිත් එය මීගමුව කලපුවට මුදා හැරීමේ ක්‍රමයක් යටත්විජිත පාලන සමයේ සිට මීගමුවේ ගොඩනංවා තිබෙන බවත්, එම නිසාම ගංවතුර තත්වයක් වැඩි  විනාශයකින් තොරව පාලනය කරගැනීමට මීගමුවට හැකියාවක් පවතින බවය. 

එහෙත් මීගමුවේ විශාල ගංවතුර තත්වයක් වාර්තාවූ අවස්ථාක් තිබේ. මීගමුවේ ඇතිවූ විශාලතම ගංවතුර ලෙස වාර්තාවනුවේ 1958 ජනවාරියේ දී මුළු රටටම ලැබුණු මහා වර්ෂාව සහ කුණාටුව නිසා මීගමුව නගරය සහමුලින්ම යටවීමය. ඒ සම්බන්ද තොරතුරු විමසා බැලීමේදී පෙනීයනුවේ මහ වැස්ස පමණක් නොව, රටේ බොහෝ ප්‍රදේශවලට ඇතිවූ අධික වර්ෂාපතනය නිසා මහ ඔය, දිය හොද ඇළ, හැමිල්ටන් ඇළ, අත්තනගාලු ඔය, ජා-ඇළ ඇළ සහ කිදි ඔය ආදිය ඔස්සේ ඇදී ආ අතිවිශාල ජලකද  නිසා මීගමුව කලපුව උතුරා යෑමද මීගමුව නගරය සහමුලින්ම යටවීමට හේතුවූ බවය. එවකට මීගමුව නගරාධිපතිවරයාව සිටි, පසුව කටාන ආසනයෙන් පාර්ලි‌‌මේන්තුවට ගිය, විජයපාල මෙන්ඩිස් මහතාගේ පියාවූ මුදලිදු ඩේවිඩ් මෙන්ඩිස් මහතා මෙම ගංවතුර ගැන ඉංග්‍රීසි පුවත්පතකට "වතුර මගේ (ගෙයි) පඩියටම ආවා'' යන්න ඉංග්‍රීසියෙන් කිව්වේ 'water coming to my salary' ලෙස බව කියමින් සිනාසෙන්නන් අදද මීගමුවේ සිටී.  1958 ගංවතුරට මීගමුව කොටුව බන්ධනාගාරයේ සිටි රැදවියන් පවා ඉවත්කිරීමට කටයුතු කිරීමට හේතුවන තරම් නගරයේ ජල මට්ටම ඉහල යෑමේ අනතුරක් තිබී ඇත. 

කෙසේවුවද, සුළු වැස්සකින් වුවද යටවෙන මීගමුව මහා ගංවතුරකින් පවා ආරක්ෂාවනුවේ මීගමුව කලපුව නිසා බව පැහැදිලිය.  මහා ජලකදක් රදවා තබා ගැනීමට සමත් මීගමුව කලපුව සුනාමියෙන් පවා මීගමුව ගලවා ගත්තේ එය සතු මෙම අතිවිශාල ජල ධාරිතාවයක් රදවාගැනීමේ  හැකියාවය. 

එහෙත් දැන් මීගමුව කලපුව හතර වටින්ම ගොඩකරමින් තිබේ. එක් පැත්තකින් කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසාද, අනෙක් පැත්තෙන් විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් දේශපාලන බලයක් ඇතිව හෝ නැතිව කලපුව, ඇළ මාර්ග, කුඩා පොකුණු සහ දියකඩිති ගොඩකරමින් සිටී. මීගමුව ලෙල්ලම අවට ප්‍රදේශයද, දූව සහ පිටිපන වීදිය අතර ප්‍රදේශවල කුඩා කලපු තීරයන්ද මේ දිනවල ලහි ලහියේ ගොඩකරමින් සිටී. දේශපාලන බලය යොදා කොච්චිකඩේ ඇළ ඉවුර හරස්කර හෝටලයක් ඉදිකර තිබේ. පසුගිය වසරේ මහින්ද රාජපක්ෂ මහතාගේ රැස්වීමක් පැවැත්වුයේද මෙම හෝටලයේමය. කලපුව අවට හෝටල් සහ නිවාස ඇතුළුව සිය ගණනක්වූ කලපුව ගොඩකර  ඉදිකල ඉදිකිරීම් රාශියක් දැකිය හැකි අතර ඒ සදහා දේශපාලන බල අධිකාරීත්වයන්ගෙන් නොඅඩු අනුග්‍රහයක් ලැබී තිබේ. මීගමු නගර මධ්‍යයේ ඇති 'සමනල' ගොඩනැගිල්ලේ වාහන නැවතුම (Car Park) ඉදිකර ඇත්තේද දෙහිමල්වත්ත ඇලේ ඉවුරු උඩින් කොන්ක්‍රිට් ලෑලි දමා වසා දැමීමෙනි. එයට මීගමු නගරසභාවේ අවසරයද හිමිව තිබේ. තවත් එවැනි ගොඩකිරීම රාශියකි.

මේ තත්වය තුල නැවත වැඩි කාලයක් යෑමට පෙර ඇතිවෙන ඊලග මහා ගංවතුරකින් මීගමුව යටවෙනු නියතය. එවිට "අපේ මීගමුව හරි වාසනාවන්තය" යැයි කියමින් සිටින සියල්ලෝම සිදුකර ඇත්තේ කකුළුවා වතුර උතුරමින් සිටින තාක්කල් සිදුකරන ක්‍රියාව බදු ක්‍රියාවක් නොවේදැයි සිතනු ඒකාන්තය. එහින් දේශපාලන බලයක් ඇතිව හෝ නැතිව කලපුව, ඇළ මාර්ග, දිය කඩිති සහ කුඩා පොකුණු ආදිය ගොඩකරමින් සිදුකරන මේ මහා විනාශය වහා නැවැත්විය යුතුය.  විධිමත් නගර සංවර්ධන සැලැස්මක් වහා ක්‍රියාත්මක කලයුතුය. එය නීති ක්‍රියාමාර්ග තුලින් පමණක් සිදුකල නොහැක්කකි. ඒ සදහා මහජන ක්‍රියාකාරීත්වයක් අවශ්‍යය. තවද අවසරයක් ඇතිව හෝ නැතිව සිදුකරන සියළු ගොඩකිරීම් නිසා ඇතිවන ගංවතුර තත්වයකදී අනතුරට ලක්වන්නන්ට, හානිවන්නන්ට සිය අලාභය සහ වන්දි එම ගොඩකිරීම්වලට අදාල පුද්ගලයන්ගෙන් කෙලින්ම අය කරගැනීමේ ක්‍රමයක් හදුන්වා දිය යුතුය. එබදු ක්‍රියා මාර්ග ඔස්සේ හෝ ගංවතුර වැනි මහා ව්‍යසනයන් වලට පාර කපන මේ මහා විනාශයන් නැවැත්වීමට කාලය එලබ තිබේ.


මාකස් ප්‍රියන්ත පෙරේරා 

04/06/17 

4 comments:

  1. ඒ කතාව ඇත්ත. කතාකරන අය හැර වැඩ කරන අය අද නැහැ. වැඩක් කරන්න බැරිනම් කමක් නැහැ කට වහගෙන වැඩක් කරන පුලුවන් අයට පාලනය කරන්න දීලා පැත්තකට වුනානම් හොඳයි රටෙ සල්ලි යටිමඩි ගහනැතිව.

    ReplyDelete
  2. සුනාමියෙන් බලපෑම කොහොමවුනාද?

    ReplyDelete
  3. මීගමුව වෙරළ ආසන්නයේ තියෙන ගල්පර සහ කලපුවේ කඩොලාන නිසා සුනාමි රළපහරේ වේගය අඩාලවුනා. කලපුව විශාල වතුර ප්‍රමාණයක් රදවා ගත්තත් මීගමුවේ ස්ථාන කිහිපයකට රළ පහර පැමිණ තුබුණා. ජීවිත හනිවුනේ නැහැ. ගෙවල් කිහිපයකට පමණක් හානිවුනා. සුනාමිය බලපෑ සෙසු ප්‍රදේශවල සාපේක්ෂව අවම හානියක් තමා වාර්තාවුනේ.

    ReplyDelete