This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday 22 March 2017

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රහාරය වැළක්විය හැකිව තිබුණිද ?

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව අසල ත්‍රස්ත ප්‍රහාරයක් දියත්වී තිබේ. ඉන් ප්‍රහාරකයා, පොලිස් නිලධාරීයෙකු, සහ තවත් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු 5 දෙනෙකු මියගොස් තිබේ. තුවාල ලැබුවන් සංඛ්‍යාව 40 දෙනෙක් වන අතර ඉන් 12 දෙනෙකුගේ තත්වය භයානක බව දැක්වේ. 


ප්‍රහාරය සදහා පැමිණ ඇත්තේ ඉහත ඡයාරූපයේ සිටින තරුණයාය. ඔහු බොහෝදුරට කළු ජාතිකයෙක් විය යුතුය. ප්‍රහාරය සදහා සහභාගීවී ඇත්තේ ඔහු පමණක්ය යන්න පොලිසියේ විශ්වාසයයි. එනම් එය තනි පුද්ගලයෙකුගේ ප්‍රහාරයකි. ඒ සදහා ඔහු භාවිතා කර ඇත්තේ පිහි දෙකක් සහ වාහනයකි. ඔහු කාගේ කවුරුන්ද යන්න තවමත් හෙළිකර නැත.

මාධ්‍යවලින් දක්වන ආකාරයට නම් වෙස්මිනිස්ටර් පාලම (Westminster Bridge) දෙසින් පාර්ලිමේන්තුව දෙසට කළු පැහැති කාරයක් පදවාගෙන පැමිණි ප්‍රහාරකයා පාලමේ සහ පාර අයිනේවූ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පුද්ගලයන් රාශියක් යටකරමින් ගමන්කර සිය කාරය පාර්ලිමේන්තුවේ යකඩ වැටේ හප්පා එය බිදගෙන යෑමට උත්සහකර තිබේ. එය අසාර්ථකවූ තැන ප්‍රහාරකයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුල්වන ගේට්ටුව දෙසට පිහියක් රැගෙන දුවගොස් එම දොරටුවේ සිටි පොලිස් නිලධාරියෙකුට පිහිපහරවල් කිහිපයක් එල්ල කර පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වී තිබේ. එහිදී පොලිසිය ඔහුට නවතිනූ ලෙස අණකර ඇති මුත් අණ නොතකා ඉදිරියට යෑම නිසා වෙඩි තබා ඇත. 

ප්‍රහාරකයා මෙන්ම පිහි පාරවලට ලක්වූ පොලිස් නිලධාරීයාද රෝහල් ගතකිරීමෙන්  අනතුරුව මිය ගියහ. පාර්ලිමේන්තුව අසල වැටී සිටි තුවාල ලැබූ පොලිස් නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමට විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයෙක් වන, Bournemouth East ආසනය නියෝජනය කරන, Tobias Ellwood මන්ත්‍රීවරයා උත්සහකරනු සහ මුඛ ස්වසනය දෙනා අයුරු පුවත්පත්වල අවධානයට ලක්විය. හිටපු හමුදා නිලධාරීයෙක් වන Tobias Ellwood මන්ත්‍රීවරයාගේ සහෝදරයා මීට ටික කලකට (2002) පෙර ඉන්දුනීසියාවේ බාලි (Bali) ත්‍රස්ත ප්‍රහාරයෙන් මරණයට පත්විනි. ප්‍රහාරකයා පැදවූ වාහනයට යටකිරීම නිසා දෙදෙනෙක් එතැනම මරණයට පත්විය. අනෙක් තැනැත්තා රෝහලේදී මියගොස් තිබේ. තුවාල ලැබූ අයෙක් දිවි බේරා ගැනීම සදහා වෙස්මින්ස්ටර් පාලමෙන් තේමිස් ගගටද පැන ඇති අතර පසුව ඇයව බේරාගත් බව දැක්වේ. එහෙත් රෝහලට ඇතුල්කල පුද්ගලයන් රාශියකගේ ජීවිත තවමත් ඇත්තේ ඉතා අනතුරු සහගත තත්වයකය. ප්‍රහාරකයා යටකරගෙන ගිය මගදෙපස ගමන්කල අය අතර ප්‍රංශයේ සිට ලන්ඩනයේ අධ්‍යන චාරිකාවක් සදහා පැමිණි ප්‍රංශ පාසැල් ළමුන් කිහිපදෙනෙකුද  සහ ලන්ඩනයේ සංචාරය සදහා වෙනත් රටවලින් පැමිණි විවිධ ජාතිකයන්ද වන බව සැලය.
බොහෝ සංස්කෘතින්වලට සිය අනන්‍යතාවය රැකගනිමින් සමාන අයිතිවාසිකම් ඇතිව නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසා ඇති ලන්ඩන් නගරයේ නගරාධිපතිවරයා පවා මුස්ලිම් බැතිමතෙකි. එහෙත් පසුගිය වසර කිහිපය තුල පමණක් ලන්ඩන් නගරය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයන් ගණනාවකට අර ඇදි බවත් එහෙත් ඒවා කෙසේ හෝ වලක්වාගැනීමට හැකිවූ බවත් රජයේ වාර්තා දක්වයි. නගරයේ ආරක්ෂාවද ඉතා ඉහල තත්වයක පවතී. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට ඇතුල්වීමට ඇත්තේ ගුවන් තොටුපලට සමාන ආරක්ෂාවක් බව එහි කමිටු රැස්වීම් සදහා කිහිපවරක්ම ගොස් ඇති මා ප්‍රත්‍යක්ෂව දැක ඇත. 

එහෙත්  ප්‍රහාරකයා මෙතරම් ආසන්න තත්වයකට පැමිනියේ කෙසේද යන්න තවමත් ප්‍රහේලිකාවකි. බැලූ බැල්මට ප්‍රහාරය ප්‍රංශයේ නීස් (Nice) ප්‍රහාරය සහ ජර්මනියේ බර්ලින් ප්‍රහාරයට සමාන බව පෙනී යයි. ඒ අනුව පොලීසිය විශ්වාස කරනුයේ මෙම ප්‍රහාරයද ස්ලාම් අන්තවාදයට සම්බන්ද බවය. මේ සියල්ල සම්බන්දයෙන් බොහෝ තොරතුරු පසුව හෙළිවනු ඇත. 

කෙසේවුවද, මෙම ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය සහ යුරෝපයේ සෙසු රටවල් කල සේම බ්‍රිතාන්‍යයද සිද්ධිය පිළිබද පුර්ණ අවධානය යොමුකරන අතරම එදිනෙදා ජීවිතයේ සෙසු කටයුතු කිසිදු වෙනසකින් තොරව දිගටම සිදුකරනු නියතය. ආරක්ෂාවද තව තවත් ඉහල දමනු ඇත. එහෙත් ප්‍රහාරකයන්ද කුමන හෝ ප්‍රහාරයක් දියත් කිරීමට වෙර දරණු ඇත. ඒ සදහා ඉතා සරල ලී දන්ඩක් හෝ සිය ආයුධය ලෙස යොදාගනු ඇත. එමෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් ලෙස පැමිණ ප්‍රහාර දියත් කරනු වෙනුවට එකිනෙකාට සම්බන්ද නැති තනි තනි පුද්ගලයන් සේ පැමිණ හෝ ප්‍රහාර එල්ල කිරීමට වෙර දරනු ඇත. එම නිසාම ප්‍රහාරකයන් කවුද, පැමිණෙන්නේ කොහේ සිටද, ප්‍රහාරය කොයි ආකාර වේදෝයි යන්න ගැන කලින් දැනගැනීමට නොහැකිවනු ඇත. මේ සියල්ල තුල කියවෙනුවේ කොතරම් ආරක්ෂාවක් පැවතියත්, අනතුර ඉවත් කල නොහැකි බවය. 


මාකස් ප්‍රියන්ත පෙරේරා. 

22/03/17.

3 comments: