This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Thursday 9 March 2017

සෝමවංශ අමරසිංහගේ සිට ඉතාලිය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය දක්වා රටපටවන මීගමුවේ වරාය

මීගමුවේ සිට මුහුදු මාර්ග ඔස්සේ නිතී විරෝධීව නවසීලන්තය බලා ගමන් කිරීමට ගිය පිරිසක් අත් අඩංගුවට ගත්බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තාවල පලවී තිබුණි. ඊට දින කිහිපයකට පෙර තමිල්නාඩුවේ වෙරළක් අසල නවතා තිබු ශ්‍රී ලංකාවට අයත් මුහුදු යාත්‍රාවක් සොයාගත් බවත්, එහි ලියාපදිංචි අංකය අනුව එය මීගමුවේ යාත්‍රාවක් යැයි හදුනාගත් බවත් වාර්තාවිනි. මෙලෙස නිතිවිරෝධීව, අනවසරයෙන්, වීසා නොමැතිව, සංක්‍රමණිකයන් ප්‍රවාහනය කරන මෙන්ම, නිතී විරෝධීව භාණ්ඩ ප්‍රවාහනය කරන මධ්‍යස්ථානයක් වශයෙන්ද මීගමුව කාලාන්තරයක් තිස්සේ  සැලකෙන බව පසුගිය දශක කිහිපයේ පළවූ මාධ්‍ය වාර්තා දෙස බැලීමෙන්වුවද පෙනීයනු ඇත. එහෙයින් මෙය කිසිසේත්ම අළුත් ප්‍රවෘත්තියක් නොවන්නේය. එහෙත් එවැනි ප්‍රවෘත්ති පලවන සෑමවිටම මීගමුවේ සිට මේ සිදුවන්නේ කුමක්දැයි යන්න ගැන දැනගැනීමට උනන්දුවක් ඇතිවන බව නොරහසකි. පැහැදිලිවම ඒ සියල්ල සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව සිදුවන වැඩපිලිවලක් ලෙසය. ඒහින් මීගමුවේ වැසියන්ටද ඒ සිදුවන ක්‍රියාවලිය පිලිබදව සීයට සීයක අවබෝධයක් නොමැත. එහෙත් නීතී විරෝධීව සිදුකරන භාණ්ඩ ප්‍රවාහනය පිළිබද තොරතුරුවලට වඩා, නීතී විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්දයෙන් නම් මීගමු වැසියන්ට යම් තොරතුරු ප්‍රමාණයක් රැස්කරගැනීමට අපහසු නැත. ඒ ප්‍රවෘත්ති වාර්තාවල නිතර මේ සම්බන්දයෙන් පුවත් පලවන නිසාම නොවේ. ඔවුන් දන්නා-කියන අය අතරින් එකෙක්-දෙන්නෙක් හෝ ඉහත ආකාරයට විදේශ ගතවී ඇති නිසාය. එසේ මීගමුවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ඉතාලියට සංක්‍රමණයවී ඉතාලියේ පුරවැසිබව ලබාගත් මිතුරන්ද, මිතුරන්ගේ මිතුරන්ද, අප අතරවේ. මේ ලිපිය සකස්වීමට එම මුලාශ්‍රයන්ද සැලකිය යුතු දායකත්වයක් ලබා දුනි. 

1995  පාස්කු සමයේ සවස් කලක ගමන් මල්ලක් රැගෙන තවත් මිතුරෙකු සමග පාපැදියකින් ගමන් කරමින් සිටි මිතුරෙක් අප අසල නැවතී අපට කියා සිටියේ ඔහු දැන් ඉතාලිය බලායෑමට යන බවය. එවිට, මා සමග සිටි, ඈත පළාතකින් මීගමුවට පැමිණ සිටි, තවත් අපේ මිතුරෙක් ඔහුගෙන් ඇසුවේ "මෙහෙම? ගමේ යනවා වගේ? කරේදාන බෑග් එකකුත් දාගෙන?" ආදී ප්‍රශ්නය. එසේ ඉතාලි ගිය මිතුරා 2000 වසරේ දී ඉතාලියේ 'Soggiorno' (නිල වශයෙන් නීත්‍යානුකූලව රැදී සිටීමට අවශ්‍ය) බලපත්‍රයක් ලැබ නැවත ලංකාවට නිවාඩුවක් සදහා පැමිණ සිටියදී මට මුණගැසුනි. දුෂ්කර මුහුදු ගමනකින් පසුව ඔවුන් ඉතාලියට ලගාවූ අයුරැ කෙටියෙන්ද, ඉතාලියේ ඔහු ගෙවූ කාලය ගැන වැඩියෙන්ද කියන ලදී. එහෙත් ඒ ව්‍යාපාරය ගැන ඔහු දැනසිටියේ අල්පයකි. ඔහු ලක්ෂ 2ක් ගෙවූ තැනත්තා ගැන පමනක් ඔහු දැනසිටියේය. තවද එදා විවිධ ප්‍රශ්න ඇසු දුර පලාතකින් මීගමුවට පැමිණ සිටි අනෙක් මිතුරාද මෙම මිතුරාගේ සම්බන්දතාවය ඔස්සේම ඉහත ආකාරයට ඉතාලියට සංක්‍රමණයවී ඇත. එසේ එහි ගියපසු ඔහුට මෙන්ම මටද ඔහු  නැවත මුණ ගැසුනේ නැත.

එහෙත් එදා ඔහු ඇසු "මෙහෙම? ගමේ යනවා වගේ? කරේදාන බෑග් එකකුත් දාගෙන?" යන ප්‍රශ්න දෙවරක්ම කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාවට සිටි ගුවන් සෙබළුන් මගෙන්ද ඇසුවිට මට ඔහු සිහිපත්විය. එසේවුයේ එකල තායිලන්තය, හොංකොං හෝ වෙනත් රටක සම්මන්ත්‍රණයක් සදහා යන සෑම අවස්ථාවකම මා පිටත්වුයේ මීගමුව කොප්පර හන්දියේ සිට ඇවරිවත්ත බසයක නැගී ගුවන්තොටුපල අසලින් බැස, එතැන් සිට ගුවන් තොටුපලට පයින් යෑම නිසාය. එලෙස ගිය අවස්ථා දෙකකදීම කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාවට සිටි ගුවන් සෙබළුන් ඇසූ වේ "කොහෙද යන්නේ? මෙහෙම ? ගමේ යනවා වගේ? කරේදාන බෑග් එකකුත් දාගෙන?" ආදී ප්‍රශ්නය. ඒ සෑම අවස්ථාවකම ගමන් බලපත්‍රය සහ ගුවන් ටිකට්පත ඉදිරිපත් කරමින් මම කියා සිටියේ ''මම ඉන්නේ එහා පැත්තේ මීගමුවේ'' බවය. එය එක් අතකින් මුහුදින් හෝ ගුවනින් විදේශ රටකට යෑමට මීගමුවේ වැසියන්ට ඇති පහසුවත්, අනෙක් අතින් පිටරටකට යෑම මීගමුවේ ජනයාට එතරම් අරුමයක් නොවන බවත් කියාපාන්නේ යැයි මට සිතේ.  

කෙසේවුවද, ධීවර කර්මාන්ත සම්බන්දයෙන් චිර ප්‍රසිද්ධ මීගමුව තුල සියවස් ගනනාවක සිට  මුහුද, කලපුව සහ හැමිල්ටන් ඇළ ආශ්‍රිතව වරාය ක්‍රියාකාරීත්වයක් දැකිය හැක. අතීතයේදී අලි-ඇතුන්, කුරුදු, කරෝල ආදී ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමද, ඉන්දියාවේ සහ අරාබියේ සිට විවිධ භාණ්ඩ ගෙන ඒමද, දකුණු ඉන්දියාව, කොළඹ, කළුතර සහ මන්නාරම ආදී ප්‍රදේශවලට ජනයා ප්‍රවාහනය කිරීමද  ඒ ඔස්සේ සිදුකර තිබේ. යටත්විජිත යුගයේදී මීගමුව කේන්ද්‍රකර ගනිමින් සිදුවන ඉහත වරාය කටයුතු මෙහෙයවීමට රේගු අධිකාරියක්ද පිහිටුවා තිබුණි. අද ද ඉතුරුවී ඇති මීගමුවේ රේගුපාර (customs house road) එයට එක් උදාහරණයකි. එහෙත් 1948 නිකුත්කරන ගැසට් නිවේදනයක් මගින් මීගමුව නිල වරායක තත්වයෙන් පහතහෙලා එය ධීවර වරායක් ලෙස පමණක් ගැසට්කර තිබේ. නිල පිළිගැනීම කෙසේවුවද දිගින් දිගටම මීගමුව මුහුද, කලපුව සහ හැමිල්ටන් ඇළ ආශ්‍රිතව නීතීවිරෝධීව, භාණ්ඩ ආනයන-අපනයන ක්‍රියාවලියක් හෙවත් 'හොර බඩු ජාවාරමක්' සිදුවන බවත්, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි ඈත එපිට රටවලට පවා මගීන් ප්‍රවාහනය  සිදු කරන බවත් ඉහත මාධ්‍ය වාර්තා තුලින් පමණක්වුවද හෙළිවේ. 

එහෙත් ඉන් නොකියවෙන දෙයක් වනුයේ එසේ සත්සමුදුර තරණය කිරීමට ඔවුන්ට ඇති නිර්භීතකම සහ පරිචය ය. ධීවරයන් ලෙස මුහුදට පිවිසි ඔවුන් තම වෙරළ අද්දර සිට ඉන්දියානු සාගරයේ ඈත  එපිට කෙළවරවල්ද, ඒ වටා ඇති නොයෙකුත් රටවල් ගැනද, ඒ රටවලට පිවිසිය හැකි මාර්ග ගැනද, සිය යාත්‍රා පදවාගෙන එහි යාහැක්කේ කෙසේද යන්න ගැනද ඇත්තේ විශ්ව විද්‍යාලයකින්වත් ලැබිය නොහැකි දැනුමකි. අවබෝධයකි. පුහුණුවකි.

මීගමුවේ සිට ඉතාලියට මුහුදු මගින් යෑමට නම් ආසන්න වශයෙන් නාවික සැතපුම් 4900 ක් යාත්‍රා කල යුතුය. ඒ සදහා දින 28 ක් රතු මුහුද, සුවස් ඇළ සහ මාධ්‍යධරණීය මුහුද ඔස්සේ එක් දිගට යාත්‍රා කල යුතුය. ඔස්ට්‍රේලියාවට යෑමට නම්  ආසන්නවශයෙන් නාවික සැතපුම් 5500 ක් පසුකල යුතුය. ඒ සදහා ලංකාවේ දකුණු මුහුදවටා යාත්‍රා කර ඉන්දුනීසියානු වෙරළ දෙසින් ඔස්ට්‍රේලියාවේ බෑස් (Bass) තුඩුව පසුකර දින 30ක්වත් යාත්‍රා කලයුතුය. ඊටත් එහා පිහිටි නවසීලන්තයට යාත්‍රා කිරීමට නම් ඉන්දුනීසියාව පසුකර ටිමෝරය, පැපුවයි නිව් ගිනියාව ඔස්සේ දින 40ක් පමණ නාවික සැතපුම් 7200ක් යාත්‍රා කිරීමට සිදුවේ. මේ සියළු දුර යාත්‍රා කරනුයේ මීගමුවෙන් පිටත්වන අඩි 55 ක් පමණ දිග බහු දින ධීවර යාත්‍රාවක් හෙවත් ට්‍රෝලර් යාත්‍රාවකිනි. එහි සාමාන්‍යයෙන් දින 30 කට ප්‍රමාණවත් ආහාර සහ ඉන්ධන රැගෙන යැයි. මෙතරම් දුරක් මුහුදු මගින් කුඩා ධීවර යාත්‍රාවකින් ගමන් කිරීම පුදුම උපදවන සුළුය. 

කිසිසේත්ම පහසු නැති ජීවිතයත් මරණයත් ගැන අවදානම දෝතින් දරාගෙන යන ඒ වැනි ගමන් ඇතැම් විට අවසාන වන්නේ ගමනාත්යෙන්ම නොව මරණාසන්න අනතුරුවලිනි. ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ග්‍රීසිය ඉලක්ක කොටගත්  නීති වීරෝධි ලෙස පුද්ගලයන් පිටරට යවන මිනිස් ජාවාරමක් කාලාන්තරයක් තිස්සේ මීගමුවේ සිට කරගෙන යන බව මුළු රටම මුලින්ම දැනගත්තේද රතු මුහුදේදීත්, මාධ්‍යධරණීය මුහුදේදීත්, සුවස් ඇලේදීත්, ජාවා-සුමාත්‍රා සහ බටහිර ටීමෝරයේත් සිදුවූ අනතුරු පිළිබද පුවත් වාර්තාවීමත්, සංක්‍රමිනිකයන් ඉතාලියේදී හෝ ඔස්ට්‍රේලියාවේදී අත් අඩංගුවට පත්වීමත් නිසාය.   

Bernardo Brown  විසින් 08/02/2012 දී Groundviews වෙබ්අඩවියට ලියූ 'Undocumented Sri Lankan Migration to Italy: Its Rise and Fall' ලිපියට අනුව මෙම මිනිස් ප්‍රවාහය ජයටම කෙරුණේ යැයි සැලකෙන 2000 වර්ෂය වනවිට සතිපතා ඉතාලියට මීගමුවේ සිට අනවසර සංක්‍රමනිකයන් රැගත් බෝට්ටු පැමිණෙමින් තිබුණි (At the height of the smuggling business in 2000, boats were arriving weekly to Italy from Negombo...). එම ලිපියට අනුව මුහුදු මගින් ඉතාලියට නීති විරෝධීව සංක්‍රමනිකයන් යැවීම ආරම්භ වන්නේ 1990 මුල්කාලයේ සිටය. එසේ ඉතාලිය බලාගිය පුද්ගලයන්ගේ අති බහුතරයක් මීගමුව, වෙන්නප්පුව, හලාවත ආදී ප්‍රදේශවලින් පිටත්වූ කතෝලික  ධීවර තරුණයන්ය (this transnational migratory flow to Italy had initially been almost monopolized by Catholic youth from the western seaboard. Virtually all of these young men who sought to relocate to Italian cities as an alternative to working with their families in the fishing industry came from smaller towns like Negombo, Wennappuwa and Chilaw, all located to the north of Colombo). තවද J. R. ජයවර්ධන රජයේ ධීවර ඇමතිවරයාවූ පෙස්ටස් පෙරේරා (Festus Perera) මහතා සහ වැල්ලවීදියේ ශා. සෙබස්තියන් දේවස්ථානයේ සිටි ජෝශප් (ජෝ) ප්‍රනාන්දු පියතුමාත් යටතේ මීගමුව සිට හලාවත දක්වා ජීවත්වෙන ධීවර ප්‍රජාවට යාන්ත්‍රික ධීවර යාත්‍රා හදුන්වාදීමත්, නීල් ෆර්නැන්ඩු මහතා මීගමුවේ 'නීල් මැරීන්' ආයතනයෙන් ශක්තිමත් සහ විශ්වසනීය යාත්‍රා නිෂ්පාදන ඇරබීමත්, ඒ ඔස්සේ ගැබුරු මුහුදේ මසුන් මැරීමට වඩා ඉතාලිය ආදී රටවලට සංක්‍රමනයවීම සහ සංක්‍රමිනිකයන් රැගෙන යෑම වඩා ලාභදායක යැයි ඔවුන් ගණනය කිරීමත් නිසා මෙම අනවසර  සංක්‍රමිනික ප්‍රවාහය ඇතිවූ බවත් Bernardo Brown දක්වයි. 
කතෝලිකයන් වඩා ප්‍රියකරන යුරෝපයේ නගරයවන රෝමය පිහිටි ඉතාලියට පුංචි රෝමය වූ මීගමුවේ සිට සංක්‍රමනය වීම තුල 'වඩා හොද ජීවිතයක් ලැබිය හැකි යැයි යන' බලාපොරොත්තුවද මෙසේ  ඉතා විශාල අවධානමක් නොතකමින් ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා ඉතාලිය බලා මීගමුවේ පිරිස් ඇදුන බව මුල්කාලයේදී  ඉතාලි ගිය පිරිස් කියන අසා තිබේ

කෙසේවුවද, 1990 දශකයට පෙර පවා, එනම් විශාල යාත්‍රා නොතිබි 1985/6 තරම් ඈත කාලයක පවා මීගමුවේ සිට පුද්ගලයන් නීතී විරෝධීව වෙනත් ආකාරයකින් විදේශ රටවලට යැවීමේ වැඩපිළිවලක් කෙරීගෙන ගිය බවට ද තොරතුරු තිබේ. ඒ සම්බන්දයෙන් එක් උදාහරණයක් වනුයේ 1987 ජුලි මාසයේදී කැනඩාවේ Nova Scotia ප්‍රදේශයට නීති වීරෝධිව මුහුදු මගින් පැමිණි ශ්‍රී ලංකික දෙමළ සරණාගතයන්ගේ ප්‍රකාශය. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් කිහිපදෙනෙකු සිය ගමන ආරම්භ කර ඇත්තේ මීගමුවේ සිට තමිල්නාඩුවට මුහුදු මගින් පැමිණීමෙනි. එසේ ඔවුන්ව මීගමුවේ සිට තමිල්නාඩුවට පිටත්කර ඇත්තේ නැවියන් සේ රැකියා කිරීමට හැකි ව්‍යාජ CT සහතිකද සහිතවය. තමිල්නාඩුවට මුහුදු මගින් ගොස් නැවක සේවකයන් සේ බැදී පසුව ඔවුන් සිය ගමනාත්තයට ගොස් තිබේ.  

එය එසේවුවද, විධිමත් ලෙස CT සහතික සදහා තරුණයන් යොමුකර සාස්තරයක් කියන්නා සේ ඔවුන්ගේ අනාගතය කියවූ මීගමුව පිටිපන මේරිල් මහතා වැනි මීගමුවේ ජනයා අතර ගෞරවයට පාත්‍රවූ මහත්වරුන්ද සිටී. ඔවුහු   නිලවශයෙන් පිළිගත් CT සහතික ඔස්සේ විදේශ රටවල නැව් සේවා සදහා මහ සයුර ගෙවත්ත මෙන් කරගත් මීගමු තරුණයන් යොමුකර ඔවුන්ගේ පරම්පරා ගනනාවක්ම සුඛිත-මුඛි කලහ. මෙන්ම CT සහතික හොරට නිකුත්කර විදේශ රටවල නැව් සේවාවලට මීගමුවේ තරුණයන් යොමුකල පිරිස්ද වේ. කෙසේවුවද, අවසාන වශයෙන් කුමන අයුරයකට හෝ CT සහතික ලබාගෙන ඒ ඔස්සේ නැව් නැග, නැව යුරෝපයේ හෝ ඇමරිකාවේ වාරයකට ඇතුල්වූවිට ඉන් බැසගොස් අදාල රටට ඇතුල්වූ පිරිස්ද ඒ අතර අතිවිශාල ප්‍රමාණයක් වේ. 

මීගමුවේ සිට ඈත එපිට රටවලට මිනිසුන් යාත්‍රා කිරීම 80/90 දශකවල මුල් බැසගත්තද මීගමුවේ ජනයා කාලාන්තරයක් තිස්සේ දකුණු ඉන්දියාවේ කන්‍යාකුමාරි තුඩුවට හෝ  ෂෙට්ටිකුලම් වෙරළට හෝ කෝරමන්ඩල් හෝ කොචින් යන ප්‍රදේශයන්ට නිතර  යෑම් ඒම් සිදුකර තිබුණි. අදටත් ඇතැම් මීගමු වැසියන්ගේ නෑයින් සිටින්නේ දකුණු ඉන්දියාවේය. මීගමුවේ සිටින බරත, පරවර, කොච්චි, සින්දි, මුක්කර, සහ සෙට්ටි ආදී ජන කොටස්වල මුල් පාරම්පරාවල් කෙලින්ම ඉන්දියාවේ සිට මීගමුවට විශාල රුවල් ඔරු මගින් යාත්‍රා කල බව කියවේ. දූවේ සුප්‍රකට පාස්කු නාට්‍ය සදහා භාවිතා කරන අශ්චර්යාමත් ක්‍රිස්තු ප්‍රතිමාව පවා දූවේ සිද්‍රාත්‍රි දේවමාතා පල්ලියට රැගෙන ආවේ කොචින් හී සිට මුහුදු මගිනි. එම කටයුත්ත සදහා  මීගමුව දූවේ වැසියන් කිහිපදෙනෙකු මුහුද මගින් කිහිපවරක්ම ඉන්දියාවට යාත්‍රා කර තිබේ. යුද්ධය ඇරබීමට පෙර ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුහුදු රස්සාවේ (ධීවර කටයුතු) ගිය පිරිස් නැවත මීගමුවට පැමිණියේ මුහුදු මගින් පැමිණී අවස්ථා ගැන මම අසා තිබේ.

මේ සියළු කරුණු ඔස්සේ පෙනීයනුවේ ලංකාවේ හලාවත, මාන්පුරීය, තලවිල, කල්පිටිය, බත්තලංගුණ්ඩුව, පුත්තලම, සීලාවතුර, මන්නාරම, පුනරින්, වැල්වැටිතුරය, මුලතිව්, කෝකිලායි, පාසිකුඩා වැනි වෙරළවල් පමණක් නොව දකුණු ඉන්දියාවේද, ලක්තිව් දුපත්වලද, සීෂෙල්, මාලදිවයින, කෙන්යා, යේමන් යන රටවල වෙරළවලද, අන්දමන් නිකෝබාර්, රොන්ගන්, පටියා, බණ්ඩාආචේ, පැන්ඩාග් යන වෙරළවල්ද පිළිබදව මීගමුවේ ධීවරයන්ට   ඉතා ඉහල අවබෝධයක් තිබූන බවය. පසු කලක දියත්වූ රට රටවලට සංක්‍රමිණිකයන් රැගෙන යාමේ වැඩපිළිවෙල සදහා මේ අවබෝධය උපකාරීවූබව පෙනේ. 

මා දැනට රැස්කරගෙන ඇති තොරතුරුවලට අනුව නම් මීගමුවේ සිට ඈත එපිට ඉතාලිය දක්වා මුහුදු මගින් ජනයා ප්‍රවාහනය කිරීම ආරම්භකර ඇත්තේ මීගමුව පිටිපන විසු තිනිප්පුරිආරච්චිගේ ෂෙල්ටන් ප්‍රනාන්දු හෙවත්  'ෂෝල්ටන්' විසින් 1990දී පමණය. මීගමුවේ පිටිපන යනු ෂෝල්ටන්ගේ ආච්චීගේ ගමය. මීගමු දූවේ වෙරෝනිකා නම් ස්ත්‍රීයක් සමග විවාහවී සිටි ඔහු සිය ජීවිතයේ මුල්කාලය වැඩිපුරම ගතකර ඇත්තේ කල්පිටිය, පුත්තලම සහ මන්නාරම යන ප්‍රදේශවල ධීවර වාඩිවලය. වෘත්තියෙන් ධීවර කාර්මිකයන්වූ ඔහු දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට නිතර යෑම් ඒම් කල  ප්ලොට්, ටෙලෝ සහ E.P.R.L.F සංවිධානවලට සම්බන්ද තරුණයන් ඇසුර කල පුද්ගලයෙකු විය. ඔහුගේ ජීවිතයේ බරපතලම සංදිස්ථානයවුයේ සිය නැගනියක් බලෙන් විවාහකරගැනීමට සැරසුණු මීගමු දූවේ තරුණයෙක් සමග ඇතිවූ ආරවුලකදී එම තරුණයා සහ එම තරුණයාගේ සහෝදරයා පිහිපාරකින් මියයෑමය. ඒ සම්බන්දයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ෂෝල්ටන් 1984 අගදී හිරෙන් නිදහස්වී මීගමු පිටිපනට පැමිණ නැවත පදිංචිවී ඇත. 

එසේ පැමිණි ඔහු ඉන් අනතුරුව ඉන්දියාවේ සිට මීගමුවට හොර බඩු ගෙන්වීමේ ජාවාරමක නිරතවී ඇති බව ඔහු සම්බන්ද තොරතුරු ගවේෂණයේදී මට තොරතුරු ලබාදුන් අය දක්වන ලදී. ඔහු හොරබඩු පමණක් නොව කොළඹ සම්බන්දයක් මත ඉන්දියාවේ සිට මත්ද්‍රව්‍යද ප්‍රවාහනය කල බවත්, දෙමළ සටන්කාමී සංවිධානවූ ප්ලොට්, ටෙලෝ සහ E.P.R.L.F සංවිධානවලට අවශ්‍ය ද්‍රව්‍යද මීගමුවේ සිට මුහුදු මගින් කල්පිටියට, සිලාවතුරට සහ මන්නාරමට ප්‍රවාහනය කල බවත් දැක්වුහ. 

එපමණක් නොව විජය කුමාරතුංග ඉන්දියාවට ගොස්  දෙමළ සටන්කාමී සංවිධාන හමුවීමට පෙර ඔහු විජය කුමාරතුංග සහ  ප්ලොට්, ටෙලෝ, E.P.R.L.F යන සංවිධානවල නියෝජිතයන් මීගමුවේදී මුණගැස්සවූ බවත් ඒසදහා සරත් ආනන්ද හෙවත් 'පොඩි සිල්වා'  හෙවත් 'ප්‍රා සිල්වා' සම්බන්දීකරණ කටයුතු සිදුකල බවත් තවත් තොරතුරකින් කියවිණි. කෙසේවුවත් ඒ සම්බන්දයෙන් කිසිවක් නිශ්චිතව කීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මට ලැබී නැත. 

එහෙත් 'ෂෝල්ටන්' යනු විජය කුමාරතුංගට හදවතින්ම ආදරය කල, ඔහුගේ පින්තුර පවා ගෙදර එල්ලාගෙන සිටි, විජයගේ දේශපාලනයෙන් උන්මාදවූ තැනත්තෙකි. එක් අතකින් ඔහුගේ පෙනුමෙන් පවා 'ෂෝල්ටන්' සහ විජය කුමාරතුංග අතර තිබී ඇත්තේ දැඩි සමානකමකි. වෙනසකට ඇත්තේ 'ෂෝල්ටන්' තරමක් කළුය, ඉන්දීය දෙමළ නළුවන් මෙන් සුදු ෂර්ට් එකක් ඇද එහි සාක්කුවේ රුපියල් 1000 කොල මිටියක් පේන්න දමාගෙන සිටිමය. ඔහුගෙන් පසුකලක මීගමුවේ සිට වෙනත් නීතිවිරෝධී කටයුතුවලට සම්බන්දවූ තාර්සියුස්, පේරෝස් සහ ප්ලේද්‍රන් ආදීන්ද ඔහු මෙන් ඇදීමට, ඔහුව අනුකරණය කිරීමට පෙලබුන බව පෙනේ.  

'ෂෝල්ටන්' විජය කුමාරතුංගට කෙතරම් ආදරය කලද, ඔහුගේ දේශපාලනයෙන් උන්මාදවූ තැනත්තෙක් වුවද, විජය කුමාරතුංග ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවූ ජනතා විමුක්ති පෙරමුණේ ඉතිරිවූ ප්‍රධාන නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා ඉන්දියාවට ගෙනගියේ ඔවුන් යැයි මීගමුවේ ප්‍රබල මතයක්වේ. කොළඹ යම් සම්බන්දකම්ක් විසින් ඔහුගෙන් කල ඉල්ලීමකට අනුව මීගමුවට ඒවා තිබු, ඔවුන් නමක් නොදන්නා, පුද්ගලයෙකුව මීගමුවේ සිට 'ෂෝල්ටන්'ගේ සොහොයුරාවූ  සැම්සන් සමග ඉන්දියාවට පිටත්කල බවත් ඉන්දියාවට ගොඩ බැසීමෙන් අනතුරුව තමා පැලද සිටි ජැකට් ඒක සැම්සන්ට දී තමා සෝමවංශ අමරසිංහ බව සැම්සන්ට හදුන්වාදුන් බවත් කියවේ. පසුව  සැම්සන් එය තැබැරුමේ සිට වෙනත් සෑම තැනකම කී බව මට තොරතුරු ලබාදුන් මීගමු පිටිපන ගම්වැසියෙක් දැක්වීය. එම විස්තරයට අනුව සෝමවංශ අමරසිංහ නැවත ලංකාවට පැමිණිවිට ෂෝල්ටන්ට සහ සැම්සන්ට කොළඹට ආරාධනා කර ස්තූති කල බවද කියවිණි. තවද මේම කටකථාව නිසාම 'ෂෝල්ටන්'ව රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මාස ගනනාවක් 04වන තට්ටුවේ රදවා තබාගෙන සිට ඇති බවද එම තොරතුරුවලින්ම කියවිණි. 

කෙසේවුවද, 89 කැරැල්ල ගැන වඩාත් විශ්ලේෂනාත්මක විග්‍රහයක් කරන ධර්මන් වික්‍රමරත්නට අනුව නම් සෝමවංශ අමරසිංහ රටින් පිටකලේ ඉස්වරන් බ්‍රදර්ස් හී සේවය කල කොළඹ කොටහේනේ පදිංචිව සිටි 'සෙල්වා' නම් තැනත්තෙකි ගේ මැදිහත්වීමෙන් රුපියල් 50,000ක් ගෙවා කල්පිටිය ප්‍රදේශයෙනි. 

පෙනීයන කරුණුවලට අනුව නම් ෂෝල්ටන් මිනිසුන් ඉතාලි යවන කටයුත්ත අරම්භ කරනුයේ මෙම සිදුවීම්වලින් අනතුරුවය. 1990 දශකය උදාවනවිට මීගමුවේ නීල් මැරීන් ආයතනය දින 30ක් යාත්‍රා කළහැකි බාහුදින ධීවර යාත්‍රා නිෂ්පාදනය ඇරබීමත් මෙයට හේතුවන්නට විය. කෙසේවුවත් 1995 වනවිට මීගමුවේ සිට සතිපතා  ඉතාලියට බෝට්ටු පැමිණීම ක්‍රමයෙන් වර්ධනය විය. ෂෝල්ටන් ට අමතරව තවත් කිහිපදෙනෙකුම මෙම කටයුත්තට ඒවන විට අතගසා තිබුණි. ඉන් සමහරක් බෝට්ටු අනතුරට පවා පත්වී ඇති නමුත් මුහුදු මගින් ඉතාලියට යෑමට තිබු උනන්දුව අඩුවී නැත. එම නිසාම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්දයෙන් අත් අඩංගුවටගෙන නඩු භාණ්ඩයක් ලෙස මීගමුව උසාවිය අසල කලපුවේ නවතා තිබු බෝට්ටුවක් පවා හොරෙන් ගෙනගොස් ඉතාලියට යෑමට යොදාගෙන තිබුණි.  

දිගින් දිගටම ඉතාලියට ලංකාවේ සිට බෝට්ටු පැමිණීම සිදුවීම නිසා ඉතාලි රජය මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කල අතර එය මීගමුවේ සිට ඉතාලියට යෑම එක්තරා ආකාරයකට අඩපන කළේය. ඒ සමග ෂෝල්ටන්වද නිතර අත් අඩංගුවට පත්විය. තත්වය නරක අතට හැරෙන බව වටහාගත් ෂෝල්ටන්ගේ ප්‍රධාන නැවියා ලෙස කටයුතුකල සිය සොහොයුරැ සැම්සන්ද තවත් කිහිපදෙනෙකු සමග මුහුදු මගින් ඉතාලියට ගොස් සිය යාත්‍රාවද ගිල්වා දමා ඉතාලියේ නැවතුනි. ඉතාලියේදී පවා සරම ඇදීම අත්නොහල සැම්සන් අධික ලෙස මත්පැන් පානයට යොමුවී ඉතාලියේ නාපෝලි නුවරදී තරප්පු පෙලකින් වැටී මිය ගියේය. ෂෝල්ටන්ව 2005 දී සිරගෙදරදීම ඝාතනය කර තිබේ.

ඉතාලි යෑම මෙසේ අඩුවීමත් සමග ඔස්ට්‍රේලියාවට යෑමේ නව ප්‍රවනතාවයක් මතුවිය. වරක් එසේ ඔස්ට්‍රේලියාවට ගිය පිරිසක්  අත් අඩංගුවට පත්වී ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව මීගමුවට පැමිණි ඔස්ට්‍රේලියානූ පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් පිරිසක් අදාල පිරිස බැස්සවූ යාත්‍රාව මීගමුව වරායට නැවත පැමිණෙන අයුරු මීගමුව මුන්නකරයේ මහ පාලම අසල සිට නිරීක්ෂණය කල බව කියවේ. එසේ නිරීක්ෂණය කල ඔවුන් අදාල යාත්‍රාව පැදවූ 'තොඩුවාවේ ලාල්' ගේ නිර්භීතකම සහ නෞක ගමනාගමනයේ ඇති දක්ෂතාව අගයකර අත් අඩංගුවට ගෙන තිබේ. ලාල් සිය යාත්‍රාවන් ඔස්ට්‍රේලියාවේ සිට නැවත මීගමුවට පැමිණෙනවිට ඔස්ට්‍රේලියානු බලධාරීන් ගුවන් මගින් ඔහු රැගෙන ආ පිරිසෙන් සමහරක් නැවත ලංකාවට රැගෙනවිත් තිබේ.

කෙසේවුවද ඉන් අනතුරුවද දිගින් දිගටම ඔස්ට්‍රේලියාවට මෙන්ම ඉතාලියට, දැන් නවසීලන්තයටද නීතී විරෝධීව මිනිසුන් ප්‍රවාහනය කිරීම නොකඩවාම සිදුවන බව මුලින් සදහන් කල පුවත්වාර්තා සක්ෂි දරයි. ඉන් පෙනීයන්නේ මේ වැඩපිළිවෙල සම්පුර්ණයෙන් තවමත් හෙළිකර ගත නොහැකි මනාව සංවිධානයවූ වැඩපිළිවෙලක් බවය. එහෙයින් එහි නියම තොරතුරු තවමත් නිසිපරිදි හෙළිවී නොමැත. මගේ මේ ලිපියටද පදනම්වූ කරුණු බොහොදුරට සපයාගෙන ඇත්තේ දෙවෙනි, තෙවෙනි හෝ ඊටත් පහලට ගලාවිත් ඇති මුලාශ්‍රයන් සහ තොරතුරුවලින්ය. ඒහින් මෙහි සපයා ඇති තොරතුරු තවදුරත් අධ්‍යනයකල යුතු පරික්ෂාවට ලක්කළ යුතු තොරතුරුය. එහෙත් එහිලා අවශ්‍යකරන කුහුල, සෙවීමේ උවමනාව මෙම ලිපිය ඔස්සේ උත්පාදනය කල හැකි නම් මම බොහෝසේ සතුටුවෙමි. මන්දයත්, එමගින් මේ ආකාරයට මුහුදු මගින් ඉතාලියට, ඔස්ට්‍රේලියාවට හෝ වෙනත් රටකට ගොස් සිය ජීවිත ගොඩනගාගත් දහස් සංඛ්‍යාත ජනයාට වඩා එසේ අනතුරුදායක මුහුදු ගමන්වල ගොස් ජීවිත අහිමිවූ දහස් සංඛ්‍යාත ජනයාට මහත් සාධාරණයක් ඉන් ඉටුවන නිසාය. 
මාකස් ප්‍රියන්ත පෙරේරා
09/03/17.

4 comments:

  1. මාකස්......නීල් ෆර්නැන්ඩස්ද....නීල් ප්‍රනාන්දුද...

    ReplyDelete
  2. ප්‍රනාන්දු නම් නෙමේ සාමාන්‍යයෙන් කියන්නේ ෆෙර්නැඩො නැතිනම් ෆර්ඩිනැන්ඩො කියනවා වගේ තමයි මතක සිළුමිණ පත්තරය එයා කියලා තිබුනේ නීල් ෆර්නැන්ඩු කියලා. http://www.silumina.lk/2017/03/04/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD/%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8-%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94-%E0%B6%95%E0%B6%A9%E0%B6%BB%E0%B7%9A-%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මාකස්. මට මතක දෙයක් කිව්වේ. නම මොකක් වුනත් වැඩේ තමයි වැදගත්. මම උඹේ ලිපි කියවනවා සහ යමක් ඉගෙන ගන්නවා. ධර්මනුත් වික්‍රමසිංහ නෙමේ වික්‍රමරත්න. ඒවා නිවැරදි වුනොත් ,තොරතුරු හොයන අයට ලේසි වෙයි. මාව සීරියස් ගන්න එපා. එම්.එස් ෆර්නැන්ඩො, පෝල් ෆර්නැන්ඩො...
      ෆර්නැන්ඩො..ෆර්නැන්ඩො මාත් ෆර්නැන්ඩු..දෙන්න අත්පුඩියක්.

      Delete
    2. Thank you අනුර, මම ඒදෙක දැන් හරි ගැස්සුවා. එහෙම දැක්කහම මොනවා හරි තිබුනොත් කියන්න. සමහර අඩුපාඩු මටත් හව්වේන්නේ නැහැ. ස්තූතියි,

      Delete