This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Sunday 8 January 2017

ජනවාරි 08 සැමරිය හැකි ශ්‍රී ලංකාව සම්බන්දයෙන්වූ චීන පිළිවෙතේ ජයග්‍රහණය !!!

ජනවාරි 08 ලංකාවට දේශපාලන වශයෙන්  වැදගත්ය. එය ඒක අතකින් 1956 මහා යුග පෙරලියක් කල S.W.R.D. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දිනයය. අනෙක අතින් යුද්ධය ජගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කරමින් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගැනීම සහ සිරිසේන-වික්‍රමසිංහ රජය බිහිවූ දිනයය. එහෙත් ඒ සියල්ලටම වඩා 2017 ජනවාරි මස 08 වෙනිදා සැමරිය හැක්කේ ශ්‍රී ලංකාව සම්බන්දයෙන් චීන රජය අනුගමනය කල පිළිවෙතේ ජයග්‍රහණයක් තහවුරුකල දිනයක් ලෙසය. එය ඊයේ (07/0/17) මුල් ගල තැබූ   හම්බන්තොට චීන කර්මාන්ත පුරය සහ මතු එලෙබෙන චීන-ලංකා ගිවිසුම අනුව වඩාත් නිශ්චිත වනු ඇත. 

ඈත අතීතයේ පවා චීනය ලංකාවේ ගජ මිතුරෙකු යැයි කියමින් චීනය ලංකාවේ  නුතන ආර්ථික-දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීමට උත්සහ කලේ 1952 අත්සන්කල චීන ලංකා රබර් සහල් ගිවිසුම ඔස්සේය. එය ලංකාවට සහල් හිගවූ 1952 දී සහල් ලබාගැනීම සදහා අත්සන් කල වෙළද ගිවිසුමක් පමණක්වුවද, චීනයට නම් දකුණු ආසියානු කලාපයේ මෙන්ම ඉන්දියානු සාගරයේ කටයුතු සම්බන්දයෙන් යම් මැදිහත්වීමක් කල හැකි කදිම දොරටුවක් විවරකල ගිවිසුමක්විය. 

ඒබව වඩා පැහැදිළිවුයේ ශ්‍රී ලංකාව 1967දී බිහිවූ ආසියානු (ASAN / Association of Southeast Asian Nations) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට  උන්නදුවුවිට චීන-ලංකා රබර් සහල් ගිවිසුම අත්හිටවන්නේ නම් එහි සාමාජිකත්වය ලබාදිය හැකි බව ඔවුන් දැක්වීමයි. ආසියානු සංවිධානය බිහිවුයේම කලාපයේ නැගී එන චීන බලවතාට මුහුණ දීමටය. එහෙත් ලංකාව ආසියානු සංවිධානය වෙනුවට චීනය සමග සිටීම තෝරා ගන්නා ලදී. 

රබර් සහල් ගිවිසුම ක්‍රමයෙන් 1982 දක්වා සෑම රජයක්ම අළුත් කරගනිමින් චීන මිත්‍රත්වයද අළුත් කරගත්හ. ගිවිසුමේ වැදගත්කම ඉන් අනතුරුව අඩුවුවද චීන මිත්‍රත්වයේ වැදගත්කම අඩු නොවන ලදී. සිවිල් යුද්ධ සමයේදී, විශේෂයෙන්ම 1987 ඉන්දු-ලංකා ගිවිසුමට සාපේක්ෂව, චීනය ලංකාවේ මිතුරෙකුගේ සිට ආරක්ෂකයෙකු ලෙස සළකන්නට විනි. 

කොටි පැරදවීමට චීන මකරා තවතවත් ලංකරගත් මහින්ද රාජපක්ෂ රජය ඉන් අනතුරුව දියත්කල සියළු සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ ගැලවීමට නොහැකි චී-ණ(ය) ගැටයකට රට අසුකර දුනි. 

ඉඩම් ටිකක්, වාරයක් සහ තවත් මොනවා හරිදී හෝ ඉන් ගැලවීමට සිරිසේන-වික්‍රමසිංහ රජය උත්සහකරන බවක් පෙනේ. එහෙත් එය තව තවත් මෙම චී-ණ(ය) උගුලේම හිරවීමක් සිදුකරන්නක් දැයි අපි තවම නොදනිමු. 

එහෙත් එක් දෙයක් පැහැදිලිය: එනම්, දැන් චීනයට දකුණු ආසියානු කලාපයේ මෙන්ම ඉන්දියානු සාගරයේ කටයුතු සම්බන්දයෙන්ද ඍජු මැදිහත්වීමක් කල හැකි කදිම ස්ථානයක්  ලංකාව තුලින් විවර කර දී ඇති බවය. ඒ වූ කලී ශ්‍රී ලංකාව සම්බන්දයෙන්වූ චීන පිළිවෙතේ පැහැදිලි ජයග්‍රහණයකි. ජනවාරි 08 මහින්ද රාජපක්ෂ පරාජය වුවද, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යටතේ වෙනත් රජයක් බිහිවී තිබුනද,  චීනය පරාජය වී නොමැත. චීන ප්‍රාග් ධනය පරාජය වී නොමැත. 2017 ජනවාරි 08 වන විට අපට සැමරීමට ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්දයෙන්වූ චීනය ගෙනගිය පිළිවෙතේ ඔවුන් ලබා ඇති ජයග්‍රහණය !!!
 මාකස් ප්‍රියන්ත පෙරේරා
08/01/2017.

4 comments:

  1. අවසාන වශයෙන් බැලුවහම චීනය තමා දිනුම්.

    ReplyDelete
  2. ඇත්ත අජිත්, අන්තිමට දිනලා තියෙන්නේ චීනයයි. චීන ප්‍රාග් ධනයයි. චීනය ලංකාව සම්බන්දයෙන් අනුගමනය පිළිවෙතයි.

    ReplyDelete
  3. චීන ප්‍රාග්ධනය ලෝකේ කොහේවත් පරාජය වෙන එකක් නොවෙන බව ඒ ඉන්වෙස්ට්මන්ට් වලින් පේන බව තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
  4. ඇත්ත අනුර, චීන ප්‍රාග්ධනය එහෙම ලෙහෙසියෙන් පරාජය වෙන එකක් නොමෙයි වගේ තමයි දැන් ලෝකය පුරාම පෙන්න තියෙන්නේ.

    ReplyDelete