This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 13 July 2016

මීගමූව ගුවන්තොටුපළේ නම වෙනස් කිරීම සහ දේශපාලන බලයේ හිමිකම

විවිධ රටවල සිදුවන දේශපාලන බලයේ වෙනස්කම් අනුව එම රටවල වැසියන්ගේ පුද්ගල නාමයන්ගේ සිට විවිධ ස්ථානවල සහ විදීවල පවා නම්  වෙනස්වෙන බවට බොහෝ සාක්ෂි තිබේ. ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන සමයේදී මෙන්ම නිදහස ලැබීමෙන් අනතුරුවද එම ක්‍රියාවලිය  දිගහැරුණු ආකාරය ගැන යම් අදහසක් කොළඹ වීදිවල නම් වෙනස්කිරීම ගැන Geoff Ells (2012) ලියූ 'Colombo Jumbo: The Origin of Colombo Street Names' කෘතිය ඇසුරින්වුවද උකහාගත හැක. කෙසේවෙතත්, මෙම ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ අවසාන වශයෙන්  සිදුව ඇත්තේ කුමක්ද? එයින් අත්කරදී ඇති ප්‍රතිපලය කවරාකාරද? යන්න ගැන හොද අවබෝධයක් මීගමුව ගුවන්තොටුපළේ නම වෙනස්කිරීමේ ක්‍රියාවලිය තුලින් දැකගත හැකිය යන්න මගේ අදහසය.

මීගමුවේ නමට බැරවූ  ගුවන්තොටුපළක් සහ ගුවන්පථයක් ඉදිවනුවේ මීගමුව නගර මාධ්‍යයේ සිට සැතපුම් 6.5 දුරින් පිහිටි කටුනායක ස්ථානගතකර තිබු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා (RAF Negombo - Royal Air Force, Negombo) කදවුරේ ඉදිකළ ගුවන්පථය කේන්ද්‍ර කරගෙනය. දෙවන ලෝක යුද්ද සමයේදී ඉදිකළ මෙම ගුවන් පථය එවකට මීගමුව ගුවන්තොටුපළ (Negombo Airport) සහ මීගමුව ගුවන්පථය  (Negombo Airfield)   නමින් හදුන්වාදී ඇති බව බ්‍රිතාන්‍ය යටත්විජිත ලේකම් කාර්යාලය නිකුත්කර ඇති ලිපිලේඛනවලත්, ජාත්‍යන්තර ගුවන්ගමන් සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය එවකට නිකුත්කර ලිපිලේඛනවලත් දැක්වේ (Ref: 2112, Greater Manchester County Record Office with Manchester Archives-UK). 
ඇත්තවශයෙන්ම, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා   කදවුරත් (RAF Negombo),  මීගමුව ගුවන්තොටුපල (Negombo Airport) සහ  මීගමුව ගුවන්පථයත් (Negombo Airfield)   ඉදිකර ඇත්තේ මීගමුව නගරයේ එක් කෙළවරක්වූ 'ගල්කන්ද' හන්දියට එපිටින් පිහිටි 'ගොළුවපොකුණ' වත්තේ සිට කටුනායක ඇවරිවත්ත දක්වා දිවයන අති විශාල පොල් වත්තකය. 

අනෙක් අතින්, එය ඉදිකර ඇත්තේ, රජයේ නොසැලකිල්ල නිසා, මෑතකදී කඩාවැටුණු  මීගමුව කදවල කුළුන  සහ දැන් ඉතාමත් අබලන්ව ඇති ඇවරිවත්ත කුළුන සම්බන්ද කරමින් විහිදුනු බේස්ලයින් පාර (Baseline Road) හරහාය. එය යටත්විජිත යුගයේ ප්‍රධාන මිනින්දෝරු ජෙනරාල්වරයාවූ ෆ්‍රේසර් සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු වූ මේජර් ස්කිනර් සහ කැප්ටන් ගැල්වේ විසින් ත්‍රිකෝණීක (triangulation) මිනුම්ක්‍රමය යොදාගෙන ශ්‍රී ලංකාවේ මිනුම් කටයුතු  සැකසීම සදහා යොදාගත් මීගමුවේ පිහිටි ලන්දේසි කුළුණු දෙක  සම්බන්දකල පාරය.ඒ ගැන වැඩිදුර මෙම යොමුවෙන් කියවිය හැක.  

ඒහින්, ඉහත බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුරත්, ගුවන්තොටුපළත්, ගුවන්පථයත් මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුර, මීගමුව ගුවන්තොටුපළ සහ මීගමුව ගුවන්පථය ලෙස මීගමුව නගරයේ නම කේන්ද්‍ර කරගනිමින් හැදින්වීමේ අරුමයක් නැත. එහෙත්, ඒ සමගම, වඩාත් නිශ්චිතව, මෙම ගුවන්හමුදා කදවුරත්, ගුවන්පථයත්, ගුවන්තොටුපළත් හැ-දින්වීම සදහා කටුනායක, මීගමුව යන්නද පැහැදිලිවම යොදාගත්බව දැක්විය යුතුමය. 
කෙසේවුවද, ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු නිකුත්කළ ලංකාවට ඇතුල්වීමේ සහ පිටවීමේ ස්ථාන දැක්වෙන ගැසට් නිවේදනයේ සිට 1952 කට පසු ක්‍රමයෙන් නිකුත්කල සෑම රාජ්‍ය ලේඛනයකම මෙම ගුවන්තොටුපළත්, ගුවන්පථයත්, ගුවන් හමුදා කදවුරත් හැදින්වීම සදහා එතෙක් භාවිතාකල කටුනායක, මීගමුව යන්නෙන් මීගමුව යන්න ඉවත්කර, හුදෙක් කටුනායක යන්න පමණක් ඉතිරිකර ඇත. 

ඒ මීගමුව ආසනයෙන් 'කටාන' සහ 'කටුනායක-සීදුව' යන ප්‍රදේශ ඉවත්කර  'කටාන' නමින් වෙනම ආසනයක් පිහිටවීමට හෝ 'කටුනායක-සීදුව' නමින් වෙනම නාගරික කලාපයක් බිහිකිරීමටත් පෙරය. ඇතිවෙමින් ඇති තත්වය තුල මීගමුවේ වැදගත්කම නිලවශයෙන් ලඝුකරමින් ඇතැයි මීගමුව තුල යම් හඩක් ගොඩ නැගී තිබේ. එය මීගමුව මහ නගර සභාව තුලත්, ශ්‍රී ලංකාවේ ඉපැරණිම පුවත්පත සහ ලාංකීය කතෝලිකයන්ගේ  සදා නොමැකෙන හඩ වන 'ඥානාර්ථ ප්‍රදීපය' පුවත්පතේත් මතුවූ බව වාර්තාවේ. 

තවදුරටත්, අඩුම වශයෙන් හෝ මෙම ගුවන් හමුදා කදවුරේත්, ගුවන්තොටුපළේත්, ගුවන්පථයේත් 'කටුනායක, මීගමුව' යන්න ඉතිරිවී පැවතියේ බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදා කදවුර මීගමුවේ (RAF Negombo - Royal Air Force, Negombo) පැවතිතාක්කල් පමණි. එහෙත්, 1956 බලයට පැමිණි S.W.R.D. බණ්ඩාරනායක මහතා නායකත්වයදුන් මහජන එක්සත් පෙරමුණ රජයේ 

ඉල්ලීමට අනුව 1957 දී මීගමුව කටුනායක පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා (RAF Negombo - Royal Air Force, Negombo) කදවුර බ්‍රිතාන්‍යයන් විසින් ඉවත්කරගන්නා ලදී. 

ඒ සමග බ්‍රිතාන්‍ය රජයේ සහ  බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British council) අනුග්‍රහයෙන් එම ගුවන් හමුදා කදවුර භූමියේ පවත්වාගෙන ගිය ඉංග්‍රීසි භාෂා  පුහුණු පන්ති, ටෙනිස්, ටේබල් ටෙනිස්, ක්‍රිකට්, පිහිනුම්, පාපන්දු, අසුන් සහ පොනින් පිටයෑම පුහුණු කිරීම්, තරග සදහා වෙඩි තැබීම පුහුණුකිරීම්, මල්වගාව, කේක්, පාන් සහ පෙස්ට්‍රි සැකසීමට ඉගැන්වීම්, විලාසිතා සහ මෝස්තර පංති, කදවුරේ පිහිටි සිනමා ශාලාවේන් මසකට දෙවරක් සති අන්තයේ නොමිලේ ප්‍රදර්ශනයකල ඉංග්‍රීසි චිත්‍රපටි නැරබීමේ අවස්ථාව වැනි දහසකුත් එකක් අවස්ථා මීගමු වැසියන්ට අහිමිවන ලදී. මෙම මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුරෙන් සැපයු සේවාවන් තුලින් ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ජයගත් පුද්ගලයන් රාශියක්විය. ඒ අය අතරින් 60-70 දශකවල බ්‍රිතාන්‍යයේ ප්‍රකට බොලින් සහ ටෙනිස් ක්‍රීඩිකාවක් බවට පත්වූ, බ්‍රිතාන්‍ය වෙනුවෙන් ඔලිම්පික් තරගාවලිය පවා නියෝජනයකල පිප් කෙයාර් (Pipp Care) මුල්තැන ගනී. ඇය සිය ක්‍රීඩා දිවිය ආරම්භ කර ඇත්තේ මීගමුව රාජකීය ගුවන් හමුදා කදවුරෙන්වූ අතර ඇගේ ප්‍රථම ජයග්‍රහණයවී ඇත්තේ මීගමුව ටෙනිස් ශුරතාවය දිනීමයි (1959 Negombo Tennis Club Championship). ඇයගේ එම  ජයග්‍රහණය ගැනත්, මීගමු ටෙනිස් සමාජය ගැනත්, මීගමුව ටෙනිස් ශුරතාවය ගැනත්, මීගමුව බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ගැනත් (RAF Negombo), ඇය නැසීයාමට මත්තෙන් සිදුකල සාකච්ඡාවකින් කොටසක් පහතින් වේ. 
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ඉවත්කර ගැනීමෙන් 
අනතුරුව එම ගුවන් තොටුපළද, ගුවන් පථයද, ගුවන් හමුදා කදවුරද ශ්‍රී ලංකා රජය අභිනවයෙන් ගොඩනගන ලද ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. ඔවුන්ද 1990 දශකයේ ආරම්භය දක්වාම එම ගුවන් හමුදා කදවුරේ පිහිටි පිහිනුම් තටාකය, සහ ටෙනිස් පිටිය පුහුණු පංති සදහා විවෘතව තබන ලදී. එහෙත් බ්‍රිතාන්‍ය රජයේ සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ (British council) අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය අනෙක් සියලූ සේවා නැවත ස්ථාපනය නොවිණි. 

ඒ සියල්ලටම වඩා, බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ඉවත්කර ගැනීමෙන් අනතුරුව පිහිටවූ ලංකා ගුවන් හමුදා කදවුරද, එහි ගුවන්පථය සහ ගුවන්තොටුපළද හැදින්වුයේ 'ලංකා ගුවන් හමුදා කදවුර කටුනායක' ලෙස මිස කටුනායක, මීගමුව යනුවෙන් නොවේ. ඉන් මීගමුව යන්න සදහටම අතුරුදහන් කරවන ලදී. 

1960 දශකය ආරම්භවෙනවාත් සමග  මෙම ගුවන්පථය සහ ගුවන්තොටුපළ ජාත්‍යන්තර තත්වයට ගෙන එම පිළිබදව යෝජනා ඉදිරිපත්ව ඇත. ඒ සම්බන්ධයෙන් මහත් උනන්දුවෙන් කටයුතුකර ඇත්තේ 1964 රජයේ සන්නිවේදන ඇමතිවරයා ලෙස කටයුතුකල ලංකා සම සමාජ පක්ෂයේ අනිල් මුණසිංහ මහතාය. ඔහු කැනඩා රජය සමග මිත්‍රත්ව ගිවිසුමක් අත්සන්කර ගුවන්පථය පුළුල්කර, අවට මංමාවත් නවීකරණයකර,   ගුවන්තොටුපළට නව ගොඩනැගිලි ඉදිකරදී  කටුනායක ගුවන්තොටුපළ නමින් ලංකාවේ ප්‍රථම  ජාත්‍යන්තර ගුවන්තොටුපළ පිහිටුවන ලදී. 

එහෙත්, 1970 බලයට පත්වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රජය මෙම ගුවන්තොටුපළ සිය සැමියාගේ සහ විවාහයෙන් පසු ඇගේද, ඇයගේ දරුවන්ගේද වාසගම වන බණ්ඩාරනායක නමින් සංවර්ධනය කල නව ජාත්‍යන්තර ගුවන්තොටුපළ  නම්කරන ලදී. එහිදී මෙම ගුවන්තොටුපළ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒමට කටයුතුකල, අනගාරික ධර්මපාලතුමාගේ ලගම නෑයෙකුවූ,
ලංකා සම සමාජ පක්ෂයේ අනිල් මුණසිංහ මහතාවත්, මෙම ගුවන්පථය සහ ගුවන්තොටුපළ මෙයට පෙර හැදින්වූයේ කටුනායක, මීගමුව යන්න ලෙස බවත් ඔවුන් නොසලකාහරිමින් බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටුනායක ලෙස පමණක් නම් කරනලදී. 

එහෙත් 1977 බලයට පත්වූ J.R. ජයවර්ධනගේ මහතාගේ රජය සිය ප්‍රධාන දේශපාලන තරගකරුවා වූ බණ්ඩාරනායක නාමය  රටේ එකම  ජාත්‍යන්තර ගුවන්තොටුපළේන් ඉවත්කරමින් එය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නැවත නම් කරමින් බණ්ඩාරනායක යන්න ගලවා දමන ලදී. එම නම් මාරුවේදීද මීගමුව යන්න  ගිලිහිගොස් තිබුණි. එහෙත් කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටවීමට අවශ්‍ය ආයෝජකයින් ගෙන්වාගැනීම සදහා ආයෝජන මණ්ඩලය (BOI) විසින් එවකට  නිකුත්කර තිබු බොහෝ ලිපි ලේඛනවලට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ අභිනවයෙන් ඉදිකරන කටුනායක නිදහස් වෙළද කලාපය පිහිටා ඇත්තේ මීගමූව නගර මායිමේ බව ඉතා පැහැදිලිව දක්වා තිබුණි. ජාත්‍යන්තර ආයෝජකයින් ගෙන්වාගැනීමට මීගමූව සහ කටුනායකත්, ජාත්‍යන්තර ගුවන්තොටුපළත් අතර ඇති සමීපත්වය ඉස්මතුකලද J.R. ජයවර්ධනගේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මීගමුව ලෙස නැවත නම් කිරීමට ඉදිරිපත්වුයේ නැත. ඒ වෙනුවට කලක් වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් සහ පසුව කොළඹ  දිස්ත්‍රික්කයේ කොටසක් ලෙස පැවති මීගමුව, ගම්පහ නමින් අලුතින් බිහිකළ දිස්ත්‍රික්කයට පවරා දෙන ලදී. 

1995 වසරේ බලයට පැමිණි බණ්ඩාරනායකවරුන්ගේ ඊලග පරපුර නියෝජනය කල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නැවත බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම්කරන ලදී. ඉන් වසර 21ක් ගෙවීයෑමෙන් අනතුරුව අදවනවිට බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ යන්න මෙම ගුවන්තොටුපලේ  මුල්බැසගත් නම බවට පත්ව තිබේ. කලින් සදහන් කල කටුනායක, මීගමුව යන්නෙන් මීගමුව පමණක් නොව කටුනායක යන්නද දැන් සම්පුර්ණයෙන්ම ඉවත්කර දමා ඇත. ඒ වෙනුවට 'බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ, ශ්‍රී ලංකාව ලෙස නම් කර ඇත. එහි ගුවන්   සංඛේත නාමය වන CMB යන්න සැකසී ඇත්තේද ඒ අනුවය.

ඇත්තවශයෙන්ම, මෙම ගුවන්තොටුපළ බණ්ඩාරනායක ගුවන් තොටුපළ ලෙස නම්කිරීමට S.W.R.D. බණ්ඩාරනායක මහතා සිදුකලේ එක් දෙයක් පමණි, එනම් රටේ අගමැතිවරයෙක් ලෙස බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා කදවුර ලංකාවෙන් ඉවත්කරගැනීමට ඉල්ලීමය. බ්‍රිතාන්‍යයන්ද කිසිදු පැකිලීමකින් තොරව එය ඉවත්කරගැනීම සිදුකළේය. එම නිසාම පමණක් ඔහුගේ නමින් මෙම ගුවන්තොටුපල නම්කිරීම සිදුකර ඇත.  ඒ තුල කිසිම ලෙසකින් ජාතික අනන්‍යතාවය ගොඩනැගීමවත්, ගුවන්තොටුපල යථාර්ථයක් ලෙස ගොඩනැගීමට ක්‍රියාකල අනිල් මුණසිංහ වැනි පුද්ගලයන් අගය කිරීමක්වත් සිදුව නැත. ඒ වෙනුවට මෙම ගුවන්තොටුපළ බණ්ඩාරනායක නමින් නම් කිරීම තුල පැහැදිලිවම සිදුව ඇත්තේ බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන්ට විවිධ සේවා සපයමින්, රා රේන්ද, අරක්කු තැබෑරුම් කරමින් සහ ඉඩම් හිමි වැවිලිකරුවන් ලෙස ධනය, බලය සහ දේපල රැස්කර ගොඩනැගුන දේශීය ප්‍රභූ පැලන්තියකගේ නම විරාජමාන කිරීමය. එය කුමාරි ජයවර්ධන (2007) දක්වන නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ගොඩනැගුන 'Dynastic Democracy' ('පැලැන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය') නම් දේශපාලනයේ තවත් එක් ප්‍රකාශනයකි. 

ඔවුන්ගේ නම් දිදුළවීම වෙනුවෙන් නිවීයනුවේ සාමාන්‍ය ජනයාය, එම ජනයාගේ අනන්‍යතාවයන් ගොඩනැන්විය හැකි ඉඩප්‍රස්ථාය. බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන්තොටුපළට අදාළව නම් මීගමුවය. මීගමූ ජනයාගේ අනන්‍යතාවය ඉස්මතුකල හැකි ඉඩප්‍රස්ථාය.
මාකස් ප්‍රියන්ත පෙරේරා
13/07/2016

14 comments:

  1. වොට්ස් ඉන් එ නේම් මේට්?

    ReplyDelete
    Replies
    1. නතින් මච් මේට් !!!

      Delete
  2. හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර්වාඩිය සිහිවිය

    ReplyDelete
    Replies
    1. හෙන්රි වර්ණකුලසූරිය ගේ විල්ලර්වාඩියත්, මංජුල වෙඩිවර්ධනයේ බත්තලංගුණ්ඩුවත් මම ලියන දේවලට බොහෝදුරට අදාලයි රසිකොලොජිස්ට්.

      Delete
  3. හොඳ ලිපියක් ස්තුතියි.

    ගුවන්තොටුපොළ නාමකරණය ගැන නම් මට පැහැදිලි අදහසක් නෑ. එය කටුනායක ද මීගමුවද කියන එක ලොකු වෙනසක් නෑ කියලයි මට හිතෙන්නෙ. දේශපාලකයන්ගේ නම් ගහගැනීම් නම් පහුගියකාලෙ අන්තෙටම ගියානෙ.

    කොහොමවෙතත් මේ ලිපියෙන් තමයි දැනගත්තෙ බේස්ලයින් පාර එතනින් ඉවරවෙලා නොතිබිච්ච බව. ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දුම්රිය මාර්ගවලත් වෙනස්කම් කළාද?

    කණගාටු හිතුන කාරණය තමයි බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරෙන් සැපයුණු සේවාවන් අහිමිව යෑම.

    ReplyDelete
    Replies
    1. හරී, දේශපාලකයන්ගේ නම් ගහගැනීම පිටුපස තිබෙන්නේ ප්‍රභූත්වයක් ආරෝපණය කරගැනීම පිළිබද උවමනාවක්. ඒ ඔවුන් රටේ අනෙක් ජනයාට සාපේක්ෂව තමන් සුවිශේෂීය කියන කරණය ඉස්මතුකිරීමට කරන උත්සහයක්. කිසිම කෙනෙක් තවත් කෙනෙකුට වඩා සුවිශේෂී නැත යන්න අපි මතුකල යුතුයි.

      Delete
    2. බේස්ලයින් පාර කදවල සිට අමන්දොළුව දක්වා දිවගිය හරි කෙලින් පාරක්. ඒගැන google සිතියමකින්වුවත් දැකිය හැකියි. ඒ වගේම මීගමුව දුම්රිය පාර හදන්නේ 1909, මම දන්න විදිහට නම් එම දුම්රිය පාරේ වෙනස්කම් කිරීම වෙනුවට සිදුවී ඇත්තේ දුම්රිය ස්ථානයේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීම විතරයි.

      Delete
    3. බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරෙන් සැපයුණු සේවාවන් ඇත්තවශයෙන්ම එම කදවුර සහ ප්‍රදේශවාසීන් අතර යහපත් සම්බන්දයක් පවත්වාගෙන යෑමේ අරමුණින් සිදුකරනු ලැබුවක්. කදවුර ඉවත්කරගත්තායින් අනතුරුව ප්‍රදේශවාසීන් අතර සම්බන්දයක් පවත්වාගෙන යෑමේ උවමනාවක් ඉතිරිවන්නේ නැහැ. එහෙත් මීගමුව නගර සභාව හෝ මැදිහත්වී බ්‍රිතාන්‍ය ගුවන් කඳවුර කරගෙනගිය ඇතැම් සංස්කෘතික සහ අධ්‍යාපනය සේවාවන්වත් දිගින් දිගටම ලබාගැනීම සදහා British Councilයක් හෝ පිහිටවීමට උත්සුක නොවීම කණගාටුවට කරුණක්.

      Delete
  4. ලාංකීය දෙමළ ජාතිවාදය, ලන්දේසීන් වින්නඹුකම් කර, බිරිතානීන් විසින් බෞතීස්ම කරන ලද දෙයක්.
    ඔබ දැක ඇති බිරිතානි ජනමාධ්‍යයවල සහ කලාකෘතිවල ආදර්ශ ඉන්දියානුවා ලෙස පෙන්වනුයේ ශීක් ජාතිකයෙක්. ආදර්ශ ශ්‍රී ලාංකිකයා ලෙස පෙන්වනුයේ කළුම කළු දෙමලෙක්. බිරිතානින් දෙමළුනට දක්වන සහයෝගට එය හොඳ නිදසුනක්.
    ලංකාව තුල බිරිතානි ගුවන්තොටුපලවල් සහ නාවික කඳවුරු තිබුණිනම්, සිංහල බෞද්ධයන්ට කවදාවත් දෙමළ බෙදුම්වාදී කැරැල්ල මර්ධනය කිරීමට හැකිවන්නේ නෑ. දාවිත් කැමරන් මුරලිධරයා (කොහාඹා යකා?) හමුවී, ඌ ලවා ඊලාම් කතාවක් කියවා ගැනීමට උත්සාහ කල ආකාරය මතක්කරගන්න. බණ්ඩාරනායක රජය රටට කල ලොකුම සේවය වනුයේ මෙම බිරිතානි කඳුවුරු ඉවත් කිරීමයි.

    ReplyDelete
  5. ජගත් අධිරාජ්‍යවාදීන්ගේ කදවුරු පැහැදිලිවම ඉවත් කල යුතුයි. ජාතීන්ගේ නිදහස් අරගලය දිනිය යුතුයි . ඒ ගැන මම පැහැදිලිවම සිටගනු ලබනුයේ ඔබ සමගයි. එහෙත් මම විරුද්ධවෙන්නේ එසේ දිනාගත් නිදහස අපේම රටේ තවත් කොටසක් පෑගීමට යොදාගැනීමට විරුද්ධවයි. ඒ වගේ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස්කරගත් රට ඔවුන් විසින් ගොඩනැගූ ප්‍රභූන් කිහිපදෙනෙකුගේ පාලනයට නතුවීමට විරුද්ධයි.අපි කලයුත්තේ සියළු සංස්කෘතික වෙනස්කම්වලට ඉඩසලසමින්, රටේ සියළු ජනකොටස් එකතුකරගෙන රටේ සියළුදෙනාටම සෙත සැලසෙන, සෑම සියලු දෙනාටම සාධාරණ සමාජයක් ගොඩනැගීම මිසක් එකෙකුට අනෙකෙකුට වඩා සුවිශේෂ ස්ථානයක් හිමිකරදීම නොවේ !!!

    ReplyDelete
  6. මේ ගැන මට හිතෙන දේවල් මෙහෙමයි.

    ලෝකයේ තිබෙන බොහොමයක් අන්තර්ජාතික ගුවන්තොටුපළ (තොටුපොළවල් නෙවෙයි. අර, තොරණ කියන වචනය වගේ, මේකෙත් ඒක වචන බහුවචන, තේරුම් දෙකම තියනවා) නම්කර තිබෙන්නේ, එය පිහිටි ප්‍රදේශයේ නමින් නොව ආසන්නතම ප්‍රධාන නගරයේ හෝ අගනුවරට ආසන්න නම්, එම අගනුවර නමින්. ඒ නිසා, කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කියා නම් කිරීමේ වරදක් මා දකින්නේ නැහැ.

    එමෙන්ම, ලෝකයේ බොහොමයක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, ඒ ඒ රටවල හිටපු/සිටින රාජ්‍ය නායකයන්ගේ නමින්, නම්කර තිබෙනවා. මෙහිදී වැදගත්ම සාධකය වන්නේ, ඒ පුද්ගලයා, දේශපාලන බේධයකින් තොරව, පොදුවේ ජනාදරයට පත්වී තිබේද යන්නයි.

    අපේ රටේ එක්තරා මානසිකත්වයක් තිබෙනවා, සමහර දේශපාලකයන් තුළ, පොදු වැසිකිලියට පවා, තමන්ගේ නම දමාගැනීමට.

    ගුවන්තොටුපොළේ ඉතිහාසය, ඔබ මෙහි දක්වා ඇති තොරතුරුද සහිතව,එහි යන එන අයට දැකගතහැකි පරිදි ප්‍රදර්ශනය කළහැකිනම්, බොහොම අගෙයි.

    ReplyDelete
  7. ඔබේ තර්කයට මම එකගයි: ලෝකයේ බොහොරටවල් තමන්ගේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අගනුවර නමින් කිරීම සහ ජනාදරයට රාජ්‍ය නායකයන්ගේ නමින් නම්කර තිබෙනවා. ඒවගේම ගුවන්තොටුපොළේ ඉතිහාසය සහ එය මීගමුවට ඇති සම්බන්දය ගැන ප්‍රදර්ශනය කළහැකිනම් ඉතාමත් වටිනවා. ඒ වගේම ගුවන්තොටුපොළ කේන්ද්‍රකරගෙන සිදුකරන ඉදිරි සංවර්ධන ක්‍රියාදාමයන් වල ප්‍රතිලාභත් මීගමුවට ලැබෙනසේ කට‍යුතු කිරීම වැදගත්- විශේෂයෙන්ම අධිවේගී මාර්ග නගරාන්තර විදුලි දුම්රිය වැනි සේවා කටුනායක ගුවන්තොටුපොළේන් නවතින්නේ නැතිව මීගමුව දක්වාම දිවයනවානම් තමයි හොද.

    ReplyDelete
  8. "මීගමුව ජාත්‍යන්තර ගුවන් තොටුපල" කියන නම ඉංග්‍රීසියෙන් ලියන්නේ meegamuva කියලද negambo කියලද? සමහරවිට කටුනායක නම දාන්න ඕකත් හේතුනක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  9. වෙන කිසිම ගැටළුවක් නැතිනම් Colombo කියන්න උල්වෙන කටවලට Negombo කියන්න කිසි අමාරුවක් තියෙන්න විදිහක් නැහැ ජගත්.

    ReplyDelete