This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Wednesday, 2 December 2015

සෞදි අරාබියේ දී ගල් ගසා මරාදැමීමට නියමිත ශ්‍රී ලාංකීක කත වෙනුවෙන් අද උද්ගෝෂණය කරන මිතුර මිතුරියනි, අෂ්රාෆ් ගැනත් හඩ නගන්න !!!

චීනය, ඉරානය, පකිස්ථානය, ඇමෙරිකා එක්සත් ජනපදය හැරුන විට වැඩියෙන්ම මරණ දඩුවම පමුණවන අනෙක් රට සෞදිය අරාබියය. 

මේ වසරේ මේ දක්වා පමණක් 151 කට  සෞදිය  මරණ දඩුවම පමුනවා තිබේ. ඉන් බොහෝ දෙනෙක් සෞදියේ රැකියාවට පැමිණි විදේශිකයන්ය. ඔවුන්ගෙන් 43 දෙනෙක්ම මත්පැන් සහ මත්ද්‍රව්‍ය සදහාද, විවාහයෙන් පිටස්තර ලිංගික සබදතා සම්බන්දෙන් 07 දෙනෙකුටද මරණ දඩුවම පමුනවා තිබේ. ශ්‍රී ලංකික කාන්තාව අයත් වන්නේද ඉහත විවාහයෙන් පිටස්තර ලිංගික සබදතා පැවැත්වූයේ යැයි කියන ගොඩටය. 

වෙනත් රටක නම් එය මරණ දඩුවම පැනවීමට තරම් දෙයක් නොවනු ඇත. එහෙත් සෞදියේ ක්‍රියාත්මකවන ශාරියා නීතියට අනුව නම් එය බරපතල අපරාදයකි. එමෙන්ම සෞදියේ රැකියාවට පැමිණෙන ඕනෑම කෙනෙකු එහි ෂරියා නීතියට යටත්ව කටයුතු කරන බවට ගිවිසුමකින් බැදේ. එහින් ෂරියා නීතියට අනුව කටයුතු කිරීමට සෞදියට නිත්‍යානුකූල අයිතියක් තිබේ යැයි සෞදි රජය මීට පෙර අවස්ථා කිහිපයකදීම දක්වා තිබේ. 

එහෙත්, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමේදී සෞදි රජය වෙනත්   ශාරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල් තරම්වත් විනිවිද භාවයකින් කටයුතු නොකරන බවත්, වරදකරුවන්ට දඩුවම් පැමිණවීමේදී සෞදිය අනෙකුත් ඉස්ලාමීය ෂරියා නීතිය ක්‍රියාත්මක කරන රටවල් තරම්වත් සාධාරණ සහ නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවත්, චුදිතයන්ට තම නිදොස්භාවය ඔප්පුකිරීමට ප්‍රමාණවත් කාලයක් සහ අවස්ථාවක් නොදෙන බවටත් චෝදනා එල්ලවී තිබේ.

ඒ ඉස්ලාමීය ෂරියා නීතිය සහ එහි ගල් ගසා මරාදැමීම වැනි දඩුවම් ක්‍රම කිසිසේත්ම නුතන ශිෂ්ටාචාරයේ මුලික ඇගයීම් සහ පිළිගැනීම්වලට අනුව නොගැලපෙන, අමානුෂික සහ යල්පැනගිය නීති පද්ධතියක් යැයි නගන හඩට අමතරවය. 

එහින්, ෂරියා නීතිය යටතේ වුවද සෞදියේ යුක්තිය පසිදලීමේ ක්‍රමය ගැන ලෝකයේ විශාල විරෝධයක් තිබේ. විශේෂයෙන්ම සෞදි රජගේ සහ එහි කුමාරවරුන්ගේ පාලනය ඉස්ලාමීය ඉගැන්වීම් වලට පවා පටහැනියැයි ඉගැන්වූ  Sheikh Nimr Baqir al-Nimr, Dawood Hussein al-Marhoon, Abdullah Hasan al-Zaher සහ Ali Mohammed Baqir al-Nimr යන ෂියා (Shi'a) ආගමීක ක්‍රියාකාරීන් පවා සෞදි රජය ඝතනය කලේ ඉස්ලාමීය ෂරියා නීතිය නාමයෙනි. 

ඉහත ක්‍රියාකාරීන්ට මරණ දඩුවම පැනවීමේදී සෞදිය භාවිතයට ගත්තේ මෙතෙක්  සෞදිය භාවිතයට නොගත් එහෙත් ඇෆ්ගනිස්ථානය, ඉරානය සහ (2013 වර්ෂයට පෙර) පකිස්ථානය වැනි මුස්ලිම් රටවල් භාවිතා කරන 'Apostasy' හෙවත් ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් විකෘති කිරීම් හෝ නොමග යැවීම නම් චෝදනාවය. 


එහි අලුත්ම ගොදුර වී ඇත්තේ පලස්තීන ජාතික කවියෙකුවන අෂ්රාෆ් ෆයාඩ් (Ashraf Fayadh) නම් කලාකරුවා සහ නිදහස් චින්තකයාය. පලස්තීන යුද්ධ භූමියේ සිට සෞදියට සංක්‍රමණය වී ඇති අෂ්රාෆ් ගේ කවි මගින් මුස්ලිම් ආගම ප්‍රශ්නකරන බවත්, ඉස්ලාමීය ප්‍රදේශ තුල නිරාගමික (atheism) මතයන් ප්‍රචලිතකරන බවටත් සෞදිය චෝදනා කරයි. පසුගිය නොවැම්බර් 23 දා (23/11/15) සෞදි බලධාරීන් විසින් අෂ්රාෆ් ෆයාඩ් (Ashraf Fayadh)ට මරණ දඩුවම පැනවූ අතර කොයියම්ම හෝ සිකුරාදාවක ඔහුගේ හිස ගසා මරා දැමීමට නියමිතය. 

අෂ්රාෆ් ෆයාඩ්ට මරණ දඩුවම පැනවීම අසාධාරණ බවත් එය හුදෙක් ඒක පාර්ශික, අයුක්ති සහගත තීන්දුවක් බවත්, එය පැමිණවීම වලක්වාලන ලෙසත් ඉල්ලමින් ලොව පුරාම මානව හිමිකම් සංවිධානය, කලාකරුවන් මාධ්‍යවේදීන්, බුධිමතුන්, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙනුත්, සාමුහික වශයෙනුත්, පෞද්ගලිකවත් සෞදි රජයට බලපෑම් කරමින් සිටී. 


සෞදී අරාබියෙදී ගල් ගසා මරාදැමීමට නියමිත අපේ රටේ කාන්තාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් කොලඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට සහ සෞදී අරාබි තානාධිපති කාර්යාලය ඉදිරිපිට අද (03/12/2015) උද්ගෝෂණය කරන මිතුර මිතුරියනි, පලස්තීන ජාතික අෂ්රාෆ් නම් කවියාගේ මරණ දඩුවමට එරෙහිවද හඩ නගන්න. 

එය සෞදී අරාබියාවේ ජීවත්වන, වැඩකරන, සෑම කෙනෙකුටම කෘර වධබන්දනවලින් තොරව ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීම සදහා මේ මොහොතේ ලෝකයේ සෑම ප්‍රගතිශිලියෙකුම කරන උත්සාහයට මහගු රුකුලක් වනු ඇත !!!! 

අෂ්රාෆ් ෆයාඩ්ගේ නිදහස ඉල්ලා Amnesty සංවිධානය සකස්කර ඇති පෙත්සමට මෙතනින් පිවිසිය හැක.

https://www.amnesty.org.uk/actions/free-ashraf-fayadh-saudi-arabia-palestinian-poetry-apostasy-execution

මාකස් ප්‍රියන්ත පෙරේරා
03/12/2015. 

6 comments:

  1. ඉබිසා නගරය පසුකොට මම ගියේ තවත් නගරයකටයි. මේ නගරය චන්ද්‍ර නගරයයි. මිනිසුන් ස්වභාවික සම්පත් අසීමිතව විකුණගෙන කනවා. ඔවුන් ඒ නිසා සුපිරි ධනවත්. නමුත් තවම සමාජයික අතින් ඉන්නේ ගෝත්‍රික යුගයේ. ඔවුන්ගේ නගරය ඉතා අලංකාරයි. නිවාස මාලිගා වගේ. නගරයේ මැද තිබුණා උයනක්. ඒ උයන හරිම මනස්කාන්තයි. නදුන් උයන පරදන සිරිය. මට ඇසුනා ගෝසාවක්. මිනිසුන් කණ්ඩායමක් රූමත් ගැහැනියක් කුදලාගෙන එනවා. ඇයව උයන මධ්‍යයේ කිරිගරුඬ ඇතිරූ ගෝලාකාර පොලව මතට තල්ලු කලා. ඇය කිරිගරුඬ පොලවේ ඇද වැටුනා. අයි මේ පිරිමි සේනාවක් එක තනි ගැහැනියකට හිරිහැර කරන්නේ. මම ළඟ සිටි මිනිසාගෙන් ඇසුවා. ඔහු කිව්වා, ඇය පව්කාරියක්. ඇය පිරිමියෙකු සමග අනාචාරයේ හැසිරිලා කියලා.


    ඒ අසරණ ගැහැණියව, අඩ කවයක ආකාරයට පිරිමින් වට කර ගත්තා. ඒ එක්කම තව මිනිසෙක් කුඩා අත් කරත්තයක පටවාගෙන දොඹ ගෙඩි ප්‍රමාණයේ ගල් තොගයක් ගෙනාවා. ඒ ගල් බෑවේ මිනිස් අඩ කවය ළඟ. වටවී හිටිය මිනිසුන් ගල් අහුරු අහුරු අත් වලට ගත්තා. ඔවුන් ගල් ගැනීමට පොර කෑවේ පොඩි ළමයි සිනි බෝල වලට පොර කනවා වගේ. මම අර මිනිසාගෙන් ඇසුවා දැන් මොකද වෙන්නේ කියලා. ඔහු කිව්වා ඇයට දඬුවමක් ලෙසට අනාචාරයේ යෙදුනු මේ පව්කාරියට ගල් ගසා මරා දැමීමට යනවා කියලා. මම එහිදී ඔහුගෙන් ඇහුවා, ඇයි ගැහැණියට විතරක් ගල් ගහන්නේ ? ඇය සමග අනාචාරයේ යෙදුනු පුරුෂයා, ඔහුත් පව්කාරයෙක්, ඇයි ඔහුවත් මෙතෙන්ට කුදලාගෙන ඇවිල්ලා දඬුවම් නොකරන්නේ කියලා. එතකොට අර මිනිසා මා දෙස බැලුවේ දවා හළු කරන ක්‍රෝධයෙන්. මම නිහඬ උනා.

    ReplyDelete
  2. ලෝගුවක් පොරවාගෙන සිටි එක් මහලු පුරුෂයෙක් ඇයට විරුද්ධව ඇති චෝදනා එකින් එක කිව්වා. ඉන් පසු ඔහු තම අත තිබූ ගල ඉස්සුවා ඇයට ගැසීමට. මට බලාගෙන සිටීමට හැකියාවක් තිබුනේ නැහැ. මම අසරණ ගැහැණිය ඉදිරියට පැන්නා. සහෝදරවරුනි ඕක මොහොතකට නවත්වලා මම කියන එක අහන්න, මම උස් හඬින් කිව්වා. ඔවුන් සියලුදෙනා එකපාරටම ගැස්සිලා මා දෙස බැලුවා. දැන් සියලුදෙනාගේම ඇස් මා දෙසට යොමු වෙලා. මම ඔවුනට කිව්වා, "සහෝදරවරුනි, මෙතන පව් නොකරපු කෙනෙක් ඉන්නවනම් පළමු ගල ගසන්න" කියලා. සෙනග එකිනෙක සමග කොඳුරනවා. එක් මිනිසෙක් මා ලඟට ඇවිල්ලා මාව පසෙකට තල්ලු කළා, බොරුවට ක්‍රිස්තුස් වෙන්නේ නැතුව අහකට පළ කියලා. ලෝගුව පොරවාගෙන සිටි මහලු පුරුෂයා කිව්වා, මම කිසිම දවසක ගැහැණියකගේ පහස සොයා ගෙන ගිහිල්ලා නැහැ ඒ නිසා මම පව්කාරයෙක් නෙවෙයි කියලා, තඩි ගලක් අරගෙන අර ගැහැණියට ගැහැව්වා. ඒක වැදුනේ ඇයගේ නළලට. ඒ සමගම, අනෙක් මිනිසුන් ඇයට ගල් ගසන්න පටන් ගත්තා. ගැහැණිය වේදනාවෙන් මොර දෙනවා. ඇයගේ සිරුරට වැදෙන ගල් වල හඬ මට ඇසෙනවා. ඒක හරිම බොල් හඬක්.

    මටත් තිරිසන් ආසාවක් ඇති උනා ඇයට ගල් ගැසීමට. මටත් චන්ද්‍ර නගරයේ පුරුෂයෙකු වෙන්න අවශ්‍ය උනා. මමත් ගලක් අහුලාගෙන සෙනග අතරින් රිංගලා ඉලක්කය අරගෙන, අර ගැහැනියගේ ඔළුවට ගැහුවා. ඒක වැදුනේ ඇයගේ වම් කම්මුලේ. එතනින් ලේ ආවා. මට ඇයට ගල් ගසන්න පුදුමාකාර ආසාවක් ඇතිඋනා. මම ගල් වලින් මගේ සාක්කු පුරවාගෙන, සෙනග තල්ලු කරගෙන ඉදිරියට ගිහිල්ලා අර වැටිලා ඉන්න ගැහැණියට ගැහුවා. ගල් ඇයගේ ශරීරයේ වැදෙන්න වැදෙන්න මට දැනුනේ පරපීඩාකාමී ආශාවක්. මේ මිනිසුන් සියලුමදෙනට ඒ ආශාව දැනෙන බව මට තේරුනා. ගැහැනියගේ අඳෝනාව, වේදනාවෙන් කෑ ගසන හඬ, අපගේ හැඟීම් උද්දීපනය කළා.

    ReplyDelete
  3. අපි තරගයට ගල් ගැසුවා. බොහෝ වෙලාවක් ගල් ගැසුවා. අපේ කමිස දහදියෙන් පෙඟෙන තුරු ගල් ගැසුවා. ගැහැණිය මැරිලා, ඒත් අපි ගල් ගැසුවා. ඇයගේ ශරීර මස් තැළිලා, ඒත් අපි ගල් ගැසීම නැවැත්තුවේ නැහැ. ඇයගේ මළකුණ හප වන තුරු අපි ගල් ගැසුවා. අවසානයේ අඳුර වැටිලා ඉල්ලක්කය ගැනීමට ඇයගේ මළකඳ පෙන්නේ නැහැ. නමුත් අපි ඉල්ලක්කය අනුමාන කරගෙන ගැහුවා. සඳ පෑයුවා, අපි සඳ එලිය ආධාරයෙන් හප ගිය මිනිස් කුනුපයට ගල් ගැහුවා. ගල් ඉවර වෙනකොට අර හපය ලඟට ගිහින් ලේ තැවරුණු ගල් අරගෙන ආවා. අවසානයේදී, එතන තිබුනේ විසිරි ගිය මස් කෑලි තොගයක් විතරයි. මිනිසෙකු තවත් මිනිසෙකු විනිශ්චය කිරීම, ඔහුට හෝ ඇයට දඬුවම් දීම කොතරම් සුමිහිරි දෙයක්ද. එහි ප්‍රීතිය නියමාකාරයෙන් භුක්ති වින්ඳේ අද. මට විශාල ප්‍රීතියක් දැනුනා. උඩ පනින්න, ගී ගයන්න, නටන්න මගේ සිත උද්දාමයෙන් පිරිලා. චන්ද්‍ර නගරය කොතරම් අනගි නගරයක්ද? ගැහැනුන්ට ගල් ගසා මරා දමන, වරදකරුවන්ගේ අතපය කපන, ප්‍රසිද්ධියේ මිනිසුන්ට කස පහර දෙන අපේක්ෂාවේ නගරය.

    චන්ද්‍ර නගරයේ ජීවිතය ඉතා සරලයි. එක්කෝ තහනම් නැත්නම් අනිවාර්යයයි. ඉන් අතර මැද විකල්පය නැහැ. සෑම දේම තීරණය කලේ පැරණි ශුද්ධ ලියවිලි වල තියන නීති අනුව. ශුද්ධ ලියවිල්ලක තිබුනා නම් මිනිසා ආහාර ගත යුත්තේ මුඛයෙන් නොව නාසයෙන් කියලා, අනිවාර්යෙන්ම මිනිසුන් එය පිලි පැදිය යුතුයි. කිසිවෙකුට ශුද්ධ ලියවිල්ලේ තථ්‍යතාව ප්‍රශ්න කරන්න තහනම්. එයට විරුද්ධ අදහස් දැරූවන්, මිථ්‍යා දෘෂ්ටිකයන්. ඔවුන් ගෙල කපා මරා දැමිය යුතුයි. මා තුල සිටි පරපීඩකයාට රිසි සේ තෘප්තිය ලබා දුන් චන්ද්‍ර නගරය. මම නුඹට සුභ පතනවා. මගේ ගමන මා යා යුතුයි, ඒ නිසා මම අමාරුවෙන් චන්ද්‍ර නගරයට සමු දුන්නා."



    (මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි )

    ReplyDelete