This blog is dedicated to my home town Negombo, its people, its history, culture, its life, politics and the norms and the values which I learned from them.

Friday, 11 December 2015

මහත්මා ගාන්ධි මීගමු ජනයා අමතයි, ඉන්දියානු නිදහස් සටනට සහය ඉල්ලයි, ජනයා දහස් ගණනින් මුදල් ආධාර පිරිනමයි - ලංකා ඉතිහාසයෙන් මකාදැමු 1927 යෙදුනු මහත්මා ගාන්ධිගේ මීගමු සංචාරය.

මහත්මා ගාන්ධි එක්කෝ මීගමුවට පැමිණ තිබේ, නැතිනම් ඔහු මීගමුව හරහා ගොස් තිබේ, යැයි මම බොහෝ කලකට පෙර සිටම සැක කලෙමි.  ඒ, ඒ සම්බන්ධයෙන් ලද ආරංචි සහ තොරතුරු කිහිපයක් නිසාය. 


මට මතක ලෙස මෙම කරුණ ගැන ප්‍රථමයෙන්ම මගේ අවධානය යොමුකලේ මීගමු කොච්චිකඩේ තෝප්පුව ප්‍රදේශයේ තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයේ (YCS) ක්‍රියාකාරිකයෙකු වූ 'ජෙරොම්' ය. ඒ 1991 දී පමණය. ඔහු මට පැවසු ලෙස මහත්මා ගාන්ධි මීගමු කොච්චිකඩේට පැමිණ තිබේ. එමෙන්ම එම ගමන සිහිවීමට ඔහු තෝප්පුව ප්‍රදේශයේ පැලයක්ද පැලකර ඇති බව ඔහුට කවුරු හෝ කියා තිබේ. ඒ බව ඉන් වසර දහයකට පමණ පසුවද, එනම් 2000 දී පමණ, එවකට ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කල ජෙරොම් මට නැවත  මතක් කරන ලදී. එහෙත් අපට අද වෙන තුරුම මහත්මා ගාන්ධි මීගමු තෝප්පුවේ පැලයක් පැලකලේ කොහේද යන්න සොයාගත නොහැකි විය. 


පසුකාලයකදී, මහත්මා ගාන්ධි හලාවතට පැමිණ C.E. කොරයා මහතාගේ 'සීගිරි' නිවසේ නවාතැන් ගත්බව පුවත්පත්වලින් කියවුවෙමි. 2006 වසරේ ජනවාරි 29 වැනි දින ලංකාවේ Sunday Observer පුවත්පතේ පළවූ කොරයා පවුලේ පුත්‍රයෙක් වන Sri Sangabo Corea ලියූ 'Tribute to a father: C. E. Victor S. Corea' ලිපියට අනුවද, 2011 වසරේ ජුලි 09 දින Daily News පුවත්පතේ පළවූ 'Gandhi - A guest at Sigiriya' ලිපියට අනුවද ගාන්ධි හලාවතට පැමිණ C.E. කොරයා මහතාගේ 'සීගිරි' නිවසේ නිසැකවම නවාතැන් ගත්බව දැනගත්තෙමි. 


C.E. කොරයා හෙවත් Charles Edgar Corea මහතා හලාවත සංගමයේද, පහතරට වැවිලි කරුවන්ගේ සංගමයේද, 1924 දී ලංකා ජාතික සංගමයේ ද  සභාපතිවරයා වූ අතර ඔහු මහත්මා ගාන්ධිගේ ශ්‍රී ලාංකා ගමන සංවිධානය කල තැනැත්තෙකි. එමෙන්ම මහාචාර්ය කුමාරි ජයවර්ධනයන්ගේ 'Nobodies to Somebodies' The Rise of the Colonial Bourgeoisie in Sri Lanka (2007) කෘතියේ 195 වෙනි පිටුවේ එන විස්තරවලට අනුව නම් C.E. කොරයා වූකලී යටත්විජිත යුගයේ බිහිවූ අනෙක් ප්‍රභූන් මෙන් අරක්කු වෙළදාමේන් ධනවතෙක් නොවූ හුදෙක් වැවිලි කර්මාන්තයෙන්ම ධනවතෙක් වුවේකි. ඒහින්, ලංකාවේ වෙනත් කිසිම ප්‍රභූවරයෙකුගේ නිවසකට වඩා මහත්මා ගාන්ධිට  C.E. කොරයාගේ නිවසේහි නවාතැන්ගැනීමට හොද හේතුවක්ද තිබුණි.   

එහෙත් ඒ ගමන ගැන සදහන් කිසිම ලිපියක මහත්මා ගාන්ධි හලාවතට පැමිණයේ කුමන මාර්ගයක් ඔස්සේද? මීගමුව හරහාද? මහත්මා ගාන්ධි හලාවතදී කලේ C.E. කොරයාගේ නිවසට යෑම පමණක්ද? ඔහු හලාවත කිසිදු ජන රැළියක් ඇමතුවේ නැතිද? යන්න ගැන කිසිවක් සදහන් නොවේ.  සාමාන්‍යයෙන් කොළඹ සිට හලාවතට යන මාර්ගය වැටී ඇත්තේ මීගමුව හරහාය. එමෙන්ම ගාන්ධි හලාවතට යන අතරතුර නයිනමඩම ප්‍රදේශයේ 'ස්වරාජ්‍ය පුර' නමින් කොරයාවරුන් තැනූ නිවාස කිහිපයකින් යුතු ගමක් නම්  කිරීමට සහභාගීවූ බව සදහන්ය. නයිනමඩමට යායුත්තේ ද මීගමුව හරහාය. එහෙත් මහත්මා ගාන්ධි මීගමුව හරහා හලාවත පිහිටි C.E. කොරයාගේ නිවසට ගමන්කල බවක් සදහන් නොවේ. කොටින්ම නිදහසින් පසු බිහිවූ ශ්‍රී  ලංකා ඉතිහාසය නැවත රචනා කිරීමේ  ක්‍රියාවලියේදී මහත්මා ගාන්ධිගේ ලංකා ගමන ගැන යම් ඉඩක් වෙන්කර තිබුනේ නම් එයින් ද මීගමුව යන්න මැකී ඇත. (මහත්මා ගාන්ධි නවාතැන්ගත් C.E.කොරයාගේ හලාවත සීගිරි නිවසේ කාමරය ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයට නැවත පිළිසකර කරති අයුරු පහතින් වේ.) 
මහත්මා ගාන්ධි සහ මීගමුව ගැන තවත් අපුරු කරුණක් මට නැවත කියවීමට ලැබුණි. ඒ කලක් කොලඹ සරසවියේද, දැන් නෙදර්ලන්තයේ Leiden සරසවියේද සේවය කරන ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක් වන නීරා වික්‍රමසිංහ ගේ 'Dressing the Colonised Body: Politics, Clothing and Identity in Colonial Sri Lanka (2003)' කෘතියේ පිටු 26-27වල සහ නැවතත් ඇයගේම 'Sri Lanka in the Modern Age. A history of contested identities (2006)' කෘතියේ පිටු 150-152ද එන සටහනකය. එම විස්තරවලට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දිනය සැමැරීමට මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව (Urban District Council) සංවිධානය කල ප්‍රධාන නිල උත්සවයේදී මීගමු ජනයා ඉංදියාවට නිදහස දිනාදුන් මහත්මා ගාන්ධිව අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක සිටින ලද බව දැක්වේ. 

මහාචාර්ය නීරා වික්‍රමසිංහ දක්වනුයේ කතෝලිකයන් බහුතරක් වෙසෙන මීගමුවේ එම නිදහස් උත්සවයේදී ශ්‍රී ලංකාවේ නිදහස දිනාගැනීමට සම්බන්ද කිසිවකු සමරන්නේ නැතිව, ශ්‍රී ලංකාවේ නිදහසට කිසිසේත්ම සම්බන්දක් නැති, ඉංදියාවේ මහත්මා ගාන්ධිව සමරමින් මීගමුව දිස්ත්‍රික් නාගරික සභාවේ එවකට සභාපතිවරයා (C.M.ප්‍රනාන්දු) ප්‍රකාශකලේ ගාන්ධිමෙන් නිදහස දිනාගැනීමට සටන්කල හෝ ආගම් සහ ජාතීන් එක්සේසත් කිරීමට සමත් කිසිම නායකයෙකු ශ්‍රී ලංකාවේ නොසිටි බව යැයි දක්වයි. ඇගේ වචනයෙන්ම නම් එය දක්වා ඇත්තේ මෙසේය: "By honoring the Indian nationalist leader instead of any sons of the soil, any  Ceylonese national hero, the chairman of the Negombo UC was making a clear and uncompromising political statement. Ceylon had no real nationalist fighter, no leader of the messes who united or attempted to unite classes, castes and religions of the caliber of Mahatma Gandhi."  (Dressing the Colonised Body: Politics, Clothing and Identity in Colonial Sri Lanka, (2003), page 26)

කෙසේවුවද, ඇය ද මීගමුව සහ මහත්මා ගාන්ධි  අතර තිබු සම්බන්ධය කුමනාකාරදැයි හරියටම හදුනාගත් බවක් නොපෙනේ. ලංකාවේ ඉතිහාස රචකයින් ඉතිහාසය ලිවීමේදී බිම් මට්ටමේ ඇති කරනු කරනාවලට දක්වන්නේ අඩු වැදගත්කමක් යැයි නිතර ලියන (2006, page x), ඒ ගැන අපට ඉගැන්වූ ඇය, ඉහත මීගමුවේ පැවති  ප්‍රථම නිදහස් දින සමරුවේදී මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව මහත්මා ගාන්ධිට මේසා විශාල වැදගත්කමක් දීමට සහ ඔහුගේ කාර්යභාරය ගැන මෙතරම් පැහැදීමකින් කථාකලේ ඇයිදැයි සොයාබැලුවෙ නම් ශ්‍රී ලංකා ඉතිහාස රචකයින් සැගවීමට උත්සහකල තවත් වැදගත් තොරතුරක් මතුකර ගැනීමට තිබුණි. එහෙත් ඇයගේ අධ්‍යානය හුදෙක් මීගමුව ගැන ඉලක්ක කරගත්තක් නොවුයෙන්, ඇයට එම කරුණු ගැන වඩාත් ගැබුරින් අධ්‍යනය කිරීමේ අවශ්‍යතාවයක් නොතිබීමට ඇත.

කෙසේවුවද, ඉහත සදහන් කල සියලු තොරතුරු මහත්මා ගාන්ධි මීගමුවට පැමිණ තිබේදැයි යන්න ගැන වඩාත් අධ්‍යනය කිරීමට මා පොලබවන ලදී. එහි ආරම්භයක් ලෙස ප්‍රථමයෙන් සොයාබැලුවේ මහත්මා ගාන්ධි ලංකාවට පැමිණි ඇත්තේ කවදාද? ඔහු කීවරක් ලංකාවට පැමිණ තිබේද? ඔහු කොපමණ කාලයක් ලංකාවේ ගතකර තිබේද? එහිදී ඔහු ආගිය තැන් මොනවාද? කල-කී දෑ මොනවාදැයි සොයාබැලිමය. මෙහිදී මට සොයාගැනීමට හැකිවුයේ මහත්මා ගාන්ධි එකම එක වතාවක් ලංකාවට පැමිණ තිබේන බවය. ඒ 1927 නොවැම්බර් මස 12 වෙනිදාය. එම දිනයේ සිට ලංකාවේ පළවූ පැරණි පුවත්පත් වාර්තා සොයා බැලීමේදී  මහත්මා ගාන්ධි ප්‍රථමයෙන් දින 05ක් කොළඹද, අනතුරුව මීගමුවේද, පසුව කුරුණෑගල, මාතලේ, මහනුවර, බදුල්ල, නුවරඑළිය, ගාල්ල සහ යාපනයේ ද රැස්වීම් මාලාවක් කරමින් සති තුනක කාලයක් ගතකර ඇත. ඉහත නගර අතරින් මීගමුව හැර අන් සෑම නගරකටම  මහත්මා ගාන්ධි පැමිණි බව බොහෝ තැනවල සදහන් වුවද ඔහු මීගමුවට පැමිණි බව නිෂ්චිතවම සැකහැර දැනගත්තේ පහතින් දැක්වෙන 1927 නොවැම්බර් මස 18 වෙනිදා පළවූ Ceylon Independent පුවත්පතේ සදහන් කර ඇති ප්‍රවෘර්තියකිනි. 
එම ප්‍රවෘර්තියට අනුව මහත්මා ගාන්ධි 1927 නොවැම්බර් 17 වෙනි බ්‍රහස්පතින්දා උදේ 8.30 ට මීගමුවට ලගාවී ඇත. ඔහු එන අතරමග පැලියගොඩ ප්‍රදේශයේ ද කලින් සැලසුම් නොකළ පිළිගැනීමකටද ගොඩවී ඇත. ඒ මගදෙපස රැස්ව සිටි ජනයාගේ පෙරෙත්ත කිරීම නිසාය. කෙසේවුවද, මහත්මා ගාන්ධි එනතුරු මීගමු ජනයා මගදෙපස රැස්ව පුලපුලා බලාසිටි බව දැක්වේ. ප්‍රධාන උත්සවය පවත්වා ඇත්තේ මීගමු නගර සභා ශාලාවේය. ( එය වත්මන් නගර සභා ශාලාව නොවේ - පැරණි මහඅධිකරණ ශාලාවය). මහත්මා ගාන්ධිව පිළිගැනීම සදහා නගර සභා ශාලාව අසල විශාල තොරණක් ද ඉදිකර තිබු බව සදහන් කර තිබේ. මහත්මා ගාන්ධිව පිළිගැනීමට එවකට නගරාධිපති C.H. Z. ප්‍රනාන්දු මහතා ද, A.E. අසරප්පා මහතාද, H.D.Z.සිරිවර්ධන මහතාද කටයුතු කර ඇත. අනතුරුව රැස්ව සිටි ජනයා අමතා මහත්මා ගාන්ධි දේශනයක් කර තිබේ. කථාව අරභමින් මහත්මා ගාන්ධි පවසා ඇත්තේ තමන් මීගමුවේ සුන්දරත්වය දැක වශීවූ බවයි. ඇත්තවශයෙන්ම, මීට පෙර මීගමුවට ප්‍රථමවරට දුම්රිය පැමිණි දා (එය මෙතනින් කියවිය හැක) පිළිබඳ ලිපියේ මම සදහන් කල ලෙස ලංකාවේ දුම්රිය සේවය ගැන 1910 දී පොතක් ලියු Henry William Cave මීගමුවේ සුන්දරත්වය ගැන සදහන් කිරීමට භාවිතා කල 'picturesque town'  හෙවත්  'චිත්‍රසදෘශ්‍ය, නැතහොත් චිත්‍රාකාර, දර්ශනීය නගරයක්' යන්න මහත්මා ගාන්ධි ද මීගමුව සම්බන්දයෙන් භාවිතා කරනු ලබයි. ඒ අනුව මීගමුව එදා කෙතරම් සුන්දර නගරයක්ව තිබීමට ඇත්ද ? 
එලෙස කථාව ආරම්භකරමින් මහත්මා ගාන්ධි ප්‍රකාශකරනුයේ ඔබේ නගරයේ (මීගමුවේ) ජීවත්වන මගේ රටේ මිනිසුන් (ඉන්දියානුවන්) සිය සංස්කෘතික අනන්‍යතාවය අනුව ජීවත්වෙනු ඇතැයි මම බලාපොරොත්තුවන අතර ඔවුන්ව අසල්වැසියන් සේ උපේක්ෂාවෙන් බලාකියා ගන්නා ලෙස මීගමු ජනයාගේන් තමන් ඉල්ලා සිටීන බවයි. 

තවද ඉන්දියානුවන් දුප්පත්කමටත්, සාගතයටත් එරෙහිව තමන්ගේම වූ ස්ව රාජ්‍යයක් වෙනුවෙන් කරන සටනට සහය සහ ආධාර දෙන ලෙසත් ඉල්ලයි. ස්ව රාජ්‍යයක් සදහා තමන්කරන සටනේදී මීගමු ජනයාට නිහඩව සිටිය නොහැකි බව තමාට විශ්වාස යැයිද, තමාගේ මෙම ගමන හේතුකොටගෙන ඔබගේ වගකීම සම්බන්ධයෙන් ඔබ නැගී සිටින්නේ නම් හෙතෙම ඉතා සතුටුවන බවද මහත්මා ගාන්ධි දක්වයි. අනතුරුව නගරාධිපති C.H. Z. ප්‍රනාන්දු මහතා සහ A.E. අසරප්පා මහතා සභාව අමතා මහත්මා ගාන්ධිගේ සේවය අගයකරමින් ගුණකථන පවත්වා ඉන්දියානු නිදහස් සටනට ඔහුගේ කැපවීමත්, ඔහුගේ ලංකා ගමන ශ්‍රී ලංකාවටද නිදහස පිළිබඳ අළුත් බලපොරොත්තු දල්වන බවක් ද දක්වා ඇත. අනතුරුව මහත්මා ගාන්ධිට රෝස වතුර ඉස අසිරි ගැන්වීමක් සිදුකර ඇත. අනතුරුව H.D.Z. සිරිවර්ධන මහතා අතින් මීගමු ජනයා එකතුකළ රුපියල් 1,860 ක මුදලක් මහත්මා ගාන්ධිට පිරිනමා ඇත. 

රැස්ව සිටි ජනයාගේ ඔල්වරසම් මැද අනතුරුව මහත්මා ගාන්ධි මීගමුවේ සිට මාදම්පේ සහ හලාවත බලා පිටත්ව ගොස් ඇත. ඒ යන මග අතරතුර, සැලකියයුතු ඉන්දියානු සම්භවක් සහිත ජනයා විශාල පිරිසක් ජීවත්වූ, මීගමු කෝච්චිකඩේ දීද විශාල පිලිගැනීමේ උත්සවයක් පවත්වා ඇත. ඇතැම්විට මහත්මා ගාන්ධි කෝච්චිකඩේ දී පැලයක් සිටවීමටද ඇත, එහෙත් ඒ පිළිබද ලිඛිත සාක්ෂි නැත. පෙනීයන ලෙස  මහත්මා ගාන්ධි හලාවත C.E. කොරයාගේ නිවසේහි නවාතැන්ගැනීමට යන්නේ මෙලෙස මීගමුවේ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුවය. එහෙත් කලින් කියූ ලෙස එම ගමන ගැන තොරතුරු සදහන්වුවද මීගමුව ගැන කිසිවක් සදහන් නොවීම ගැන මම පුදුමවෙමි. 

කෙසේවුවද, එක කරුණක් නම් පැහැදිලිය එනම් ඉතිහාසයෙන් කෙතරම් මකා දැමීමට උත්සහ කලද, ඉතිහාස රචකයින් කෙතෙක් සගවා තැබීමට උත්සහකලද, 1927 නොවැම්බර් 17වෙනි දින ඉන්දියානු නිදහස් සටනේ වීරයකු මෙන්ම අවිහිංසාවාදයේ පියා ලෙසද හදුන්වන  මහත්මා ගාන්ධි නිසැකවම මීගමුවට පැමිණ එහි ජනරැලියක් පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් දිනය සැමැරීමට මීගමුව දිස්ත්‍රික් නාගරික සභාව (Urban District Council) සංවිධානය කල ප්‍රධාන නිල උත්සවයේදී මහත්මා ගාන්ධිව අනුස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක දැක්වීම පිටිපස ඔහුගේ මීගමු ගමන ගැන මෙනෙහි කිරීමක්ද කැටිකොටගත් බව පැහැදිලිය.  

මහත්මා ගාන්ධිගේ ලංකා ගමන සම්බන්දයෙන් ශ්‍රී  ලංකාවේ නිදහසින් පසු ලියවුනු සෑම ලියවිල්ලකින්ම පාහේ ඔහුගේ මීගමු ගමන ගැන සදහන් නොකිරීම සම්බන්දයෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වේ. එනම්, ශ්‍රී  ලංකාවේ ඉතිහාසය මෙන්ම වෙනත් බොහෝ දේ ලියන රචකයින් මීගමුවට හිමිවියයුතු අවශ්‍ය අවධානය සහ වැදගත්කම ලබා නොදී එය හුදෙක් ධීවර ගමකට, විජාතික ගතිසිරිත් ඇති පිරිස් ජීවත්වෙන භූමිකඩක් ලෙස පමණක්  සිතා සිටින්නේද? නැතහොත් මීගමුවට හිමි අවධානය සහ වැදගත්කම ලබාදීම තුල ඔවුන් විචිත්‍රණය කරමින් යන 'අපුර්ව සිහිනය' මෙන්ම ඔවුන්ගේ මනස් ඍෂ්ටිය ද බිද වැටෙන්නේද ?

මාකස් ප්‍රියන්ත පෙරේරා
11/12/2015

7 comments:

  1. meyaghandhi British anduwe otthu karayek kiyala kiyanawa neda

    ReplyDelete
  2. කොරයල ගැන කියපුවම මට ඓතිහාසික කාරනයක් මතක් වුනා. පෘතුගීසීන් මේ රටේ කළ කෲර ක්‍රියා වල මූලිකත්වය ගත්තෙ කොරයල. කොරයලගෙ මුල් මට හිතෙන්නෙ මාතර. සීමන් කොරයා තමයි අසවේදුගෙ කෲර ක්‍රියා මෙහෙයවූ දේශීය ප්‍රධානියා. කොරයල හලාවත පදිංචියට ආවෙ පෘතුගීසි කාලෙම වෙන්න ඇති.

    සීමන් කොරයා සිංහල ගම්මාන ගිනිතබමින් ගෑනුන්ගෙ පියයුරු කපමින් උඩරටට ගියාලු. එසේම කිරි දරුවන් වංගෙඩිවල දාල කොටන එකත් සීමන් කොරයගෙ සොයාගැනීමක්ලු .ශ්‍රී වික්‍රම රාජසිංහ දුන්න ඔය දඩුවම ඊට පෙර ලංකාවෙ අසන්නට නොළැබුන නිසයි මම ඒ ගැන විමසා බැලුවෙ.

    ReplyDelete
  3. Good article ... thanks for publishing

    ReplyDelete
  4. Good article ... thanks for publishing

    ReplyDelete